![]() |
බුදු සසුනට හිමි තැන අහිමි කරන , රට ෆෙඩරල් කරන ව්‍යවස්ථා සංශෝධනයට මහජන අදහස් යනුවෙන් තමන්ගේ බෙදුම්වාදී අදහස් ඇතුළත් කළ ලාල් විජේනායක මහතා ආර් සම්බන්ධන් මහතා සමග... |
හොර බළලාට පොල්බෑයෙන් දමා ගැසුවා වගෙයි කියා අපේ කියමනක් තිබේ. මේ කියමන යෙදෙන්නේ යම්කිසි මෝඩකමක් එක් අතකට ඇඟවීමටය. හොර බළලාගේ පරමාර්ථය හොරා කෑමය. හොර බළලෙකු විසින් ගෙදරක මනුස්සයන් කන බොන දෙයක් හොරා කා දමනු ලැබීම යම්කිසි අලාභයකි. එහෙයින් එවැන්නක් නතර කරනවා මිස හොරාකන්නට එන බළලෙකුට උගේ අරමුන ඉටු කරගැනීමට ඉඩ දීම අනුවන කමකි. එවැන්නක් කිසිවෙකුත් කරන්නේද නැති අතරම බොහෝ විට සිදු වෙන්නේ හොර බළලා පන්නා දැමීමය. එහෙත් එය කිරීමට පොල් බෑයකින් ඌට දමා ගැසීම මෝඩ කමක් වන්නේ සමහර විට හොර බළලා හොරා කන්නට මාන බලා සිටියේද පොල් බෑයම වීමට ඉඩ ඇති නිසයි. එසේ වූ විට ඌට පොල් බෑයෙන් දමා ගසා එලවා ගත්තද හොර බළලාගේ පොල් බෑය හොරාකෑමේ අරමුණ ඉටු වී හමාරය. සතෙකුට කන්නට දී සැනසීම වෙනමම දෙයකි. එහෙත් හොරා කන එකා දැනුවත්ව හෝ නොදැනුවත්ව සැනසීමට යෑම තවත් දෙයකි. මේ නිදසුන එක්තරා විදිහකින් සමපාත වන්නේ අපේ රටේ ඇතැම් උගත් බුද්ධිමත් යැයි කියාගන්නා විශේෂයෙන් වාමාංශිකයින් ලිබරල්වාදීන් ආදී පුද්ගලයන් කියන පරිදි මෙරට ජාතිකත්වය පිළි නොගන්නා උතුරේ හා නැගෙනහිර දෙමළ දේශපාලන කණ්ඩායම් වලට බලය ලැබෙන පරිදි බලය බෙදන දේශපාලන විසඳුමකින් රට බෙදීමේ බෙදුම්වාදය තුරන් කළ හැකිය යන මිථ්‍යාව සමගය.
බටහිර මතවාදී ආධිපත්‍යයේ රාමුවක් තුල පිහිටා ඇති අපේ අධ්‍යාපනය තුලින් බිහිවෙන බටහිර පරමාදර්ශය කොට ගත් උගතුන්ට මෙරට දෙමළ ඉතිහාසය හා දෙමළ ජාතිවාදයේ විකාශනය පිළිබඳ සත්‍ය වටහා ගැනීමේ හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ එය තේරුම් ගැනීමට අවශ්‍ය මානසික සංවේදීබව අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන මතවාද තුලින් මොට කර තිබීමයි. ඔවුන්ට අනුව අපේ රටේ දෙමළ ජාතිවාදයක් හෝ වෙනත් සුළු ජන වර්ගවාදයක් නැත. මේ අයගේ දැක්මට අනුව ඇත්තේ සිංහල ජාතිවාදයකි. මොවුන් සිංහල ජාතිවාදය ලෙස හඳුනාගන්නේ මෙරට ජාතිකත්වය හා ජාතිකත්ව රාමුව තුල ඇති ජාතික මතවාද අනුව සිංහල බෞද්ධ බහුතරයක් ක්‍රියා කිරීමයි. මේ උගතුන්ට අනුව අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් වූ පසු මේ රටට ආවේනික හා රට රටක් ලෙස ගොඩනැගුවා වූ සිංහල බෞද්ධ බහුතරයගේ ජාතික නායකත්වය රටේ රාජ්‍යත්වයට හා පාලනයට නැවත උරුමකම් කීම, ලෝකය ඉදිරියේ සිංහල බෞද්ධ ජාතික අනන්න්‍යතාවය විදහා පෑම අනෙකුත් ජනකොටස් වලට කරන අසාධාරනයකි. එමෙන්ම ඔවුන්ට අනුව එය වැරදිය. ඒ අයුරින් ගත් කළ අධිරාජ්‍යවාදියා රට අත්හැර ගිය පසු ඔහුගේ වහල් සේවකයන්ට අවශ්‍ය ආකාරයට අධිරාජ්‍ය වරප්‍රසාධ තුල සිටිමින් රටේ ජාතික අනන්‍යතාවය යටපත් කිරීමට ඉඩ නොදීම හා රටෙන් පැත්තකට උරුමකම් කියමින් බෙදුම්වාදී මාර්ගයක ගොස් වෙනම රටක් හැදීමට ඉඩ නොදීමත් අධිරාජ්‍යවාදීන්ගේ සේවකයන් විසින් ගොතන ලද ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පයට එරෙහි වීමත් සිංහල ජාතිවාදයයි. මේ ඔවුන් ලද අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන බටහිර ගොන් මතවාද වලින් ඔවුන්ගේ මොළ කුරුවල් කර ඇති ආකාරය මිස වෙනත් දෙයක් නොවේ. ලංකාව තුල ඇත්තේ මේ අනුකාරක උගතුන් කියන ආකාරයේ සිංහල ජාතිවාදයක් නොවේ. ඇත්තෙන්ම තිබෙන්නේ සිංහලයාගේ නිවටකමකි. රටක් ලෙස ලොව ඕනෑම රටක් අනුගමනය කරන මූලික රාජ්‍ය ප්‍රතිපත්තිවත් හරියට ක්‍රියාත්මක කරගත නොහැකිව වසර දහස් ගනනක් තිස්සේ තමන් හා තම ආදි පරම්පරා ගනනාවක් විසින් ගොඩනැගූ රට තුල තමන්ම අසරන වී සිටීම වත්මන් සිංහල බෞද්ධයාට අත් වී තිබෙන සැබෑ ඛේදවාචකයයි.
මාක්ස්වාදය ලෙනින් වාදය ලිබරල්වාදය, පස්චාත් නූතනවාදය, කාන්තා විමුක්තිවාදය ආදී බටහිර මතවාද වලින් මොළ කුරුවල් කරගත් කවරෙක් කුමක් කීවද මේ රටෙ උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමළ ජනයාගේ ඉතිහාසය වැඩි ඈතකට දිවයන්නක් නොවේ. පැහැදිලිවම ඔවුන් මෙරටට සංක්‍රමණය වී ඇත්තේ ලන්දේසින්ගේ දුම්කොල වගාවත් සමග ලන්දේසි වැවිලිකරුවන්ගේ කම්කරුවන් ලෙසයි. එදා ලන්දේසින්ට කන්ද උඩරට රාජධානියේ රජුගේ නීතියට යටත්ව සියල්ල කිරීමට සිදු වූ හෙයින් ඔවුන් රජුට එරෙහිව ඉන්දියානු වහල් සේවකයන් බලගැන්වීමට උපායශීලීව කටයුතු කළෝය. පසු කලෙක මෙරට පාලන බලය ගිවිසුමකින් අත්පත් කරගත් ඉංග්‍රීසින් එලෙස බලගැන්වූ දෙමළ ප්‍රභූ පැලැන්තියට තවත් වරප්‍රසාද ලබාදී මෙරට සමස්ථ ජාතිකත්වයටම එරෙහිව සවිබල ගැන්වීය. ඉංග්‍රීසීන් උත්සහ කළේ හැකිනම් ඔවුන් මේ රට අත්හැර යන දාට ඔවුන්ගේ කීකරු ඉන්දියානු වහල් සේවක පැලැන්තියට රටේ සමස්ථ පාලන බලයම පවරා රටට ආවේනික සිංහල බෞද්ධ ජනයාගේ සියළු උරුමයන් මෙන්ම චින්තනයද යටපත් කර දමා යෑමටයි. මේ බටහිර අධිරාජ්‍යවාදී කොල්ලකරුවන්ගේ කීකරු සේවකයන් ලෙස හැදී වැඩුනු ඉන්දියානු දෙමළ වහල් සේවකයින් බටහිර ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ හයියෙන් බලගැන්වී සිටි ආකාරය අනුව ඔවුන් කිසි විටකත් කෙදිනක හෝ මෙරට සිංහල බෞද්ධ ජනයා රාජ්‍ය පාලනය හිමිකරගනිමින් මුළු රටම මෙහි ආවේනික ජාතික අනන්‍යතාවය තුලට ගැනීම බලාපොරොත්තු නොවීය. එවැන්නක් බලාපොරොත්තු නොවුනා පමණක් නොව ඊට ඉඩ නොදීමටද ඔවුන් කටයුතු කළෝය.
ඉංග්‍රීසින්ගෙන් මෙරට නාමික නිදහසක් ලබාගත් දා පටන් පෙර කී ලෙස බලගැන්වී සිටි දෙමළ ජාතිවාදීන් හැම විට උත්සහ කළේ රටට ආවේනික ජනයා වූ සිංහල බෞද්ධයාගේ චින්තනය අනුව ගොඩනැගි ජාතිකත්වයක් ස්ථාපිත වීම වැලැක්වීමටයි. එසේ බැරිනම් සිංහල බෞද්ධ ජාතිකත්වය සමග සම වන ලෙස උතුරටත් නැගෙනහිරටත් දෙමළ ජාතිවාදීන් ඔවුන් වෙනම ජාතියක් ලෙස සලකාගනිමින් වෙනම ජාතික අනන්‍යතාවයක් අටවා ගැනීම හෝ කළ යුතුය යන මතයේ සිටියෝය. මේ සිද්ධි එකක්වත් යටපත් කළ නොහැක. එසේ යටපත් කර වර්තමාන දේශපාලනය හා ජාතික ගැටළු තේරුම් ගැනීමටද හැකියාවක් නැත.
අධිරාජ්‍යවාදීන් රට අත් හැර ගිය පසු උතුරේ හා නැගෙනහිර ස්ථාපිත වී තිබූ දෙමළ ජාතිවාදය අධිරාජ්‍යවාදියාගෙන් පසුවට මෙරට ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය යටපත් කිරීමේ කාර්යට අත ගසා තිබුණි. එහෙත් එය කළ නොහැකි බව තේරුම් ගත් අදිරාජ්‍යවාදීන්ගේ සේවක දෙමළ ජාතිවාදී නඩය උතුරත් නැගෙනහිරත් අල්ලා තම බුක්තියට සවි කරගැනීම හෝ කිරීමට කටයුතු කළේ ඒ තුලින් හෝ මෙරට ජාතිකත්වය දුර්වල කිරීමටය. නිදහසින් පසුවටද දේශපාලනය තුල පනහට පනහ ඉල්ලීම ආදී ක්‍රියා වල නිරත වෙමින් සිංහලයා සමග සම වීමටත් උතුරට හා නැගෙනහිරට වෙනම පාලනයක් ඉලක්ක කරමින් සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් වෙන්ව දෙමළ ජාතිකත්වයක් බලෙන් ඇති කිරීමට දෙමළ නිජභූමි මිථ්‍යාව පවා ගොඩනැගුවේ දෙමළ ජාතිවාදීන් අධිරාජ්‍යවාදියාගේ හයිය ඇඟට ගෙනය. පසු කලෙක කොටි ත්‍රස්තවාදය දක්වා වැඩුනු මේ දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාවේ සහයද ඇතිව ඇතිව සමස්ථ ජාතියටම තර්ජනය කරමින් විටෙක සාකච්චා කරමින් තවත් විටක ආරක්ෂක අංශ වලටත් සිංහල ගම් වැසියන්ටත් පහර දෙමින් නිවට ආණ්ඩු නැටවීමටද සමත් විය. කොටියා පසුබසින විට සාකච්චා කර එකළ සිටි රාජ්‍ය නායකයින්ගෙන් දේශපාලන විසඳුම් ඉල්ලා පොල් බෑයට ඉව අල්ලන හොර බල්ලාගේ භූමිකාවද ඉඳ හිට කළ ආකාරය කාටත් අමතක වන්නට පුළුවන්කමක් නැත. අනුකාරක ව්‍යාජ උගතුන් බුද්ධිමතුන් එකළද කොටියා පැරදවිය නොහැකිය යන තර්කය ගෙන එමින් කොටි ත්‍රස්තවාදය ප්‍රමුඛ දෙමළ ජාතිවාදීන්ට දොලපිදේනි නොදී මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය යන මතය බලෙන් මුළු රටටම ගිල්ලන්නට උත්සහ කළෝය. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමගද කොටියා පුරුදු සෙල්ලම කරන්නට ගොස් තමන්ගේ අවසානය සනිටුහන් කර ගත්තේය. කොටියා යුධමය අතින් පරාජය කර සුන් කර දැමීම ජාතිය විසින් පැනගතයුතුව තිබූ ප්‍රධාන කඩයිම් තුනෙන් එකකි. අනෙක් කඩයිම් දෙක නම් දෙමළ නිජභූමි මිත්‍යාව ඇතුළුව දෙමළ ජාතිවාදී ඊලාම් බෙදුම්වාදය මතවාදීවත් මුළුමනින්ම පරාජය කිරීම හා රටට ආවේනික ලෙස සිතන පතන මේ රටට ගැලපෙන අදහස් මතවාද ඇති පිරිස රටේ තීරක බලවේගය බවට පත් කරගෙන රටටම ආවේනික ඉදිරි ගමනක් යෑමයි. එහෙත් අවාසනාවට පළමු කඩයිම අමාරුවෙන් පැනගත් පසු දෙවන හා තුන්වන කඩයිම් පැනගැනීමට රටටත් නායකත්වයටත් නොහැකි විය.
![]() |
රට බෙදන , බුදු සසුනට හිමි තැන අහිමි කරන බෙදුම්වාදී ව්‍යවස්ථා යෝජනා තමා පත් කළ අගමැතිවරයාට බාර දෙන ලාල් විජේනායක මහතා. |
රාජ්‍ය නොවන සංවිධාන හෝ ඒවායේ ආවතේව කරුවන් ඇතුළු විජාතික බලවේග සමග කෙලින්ම සම්බන්ධ පුද්ගලයන්ගේ මානසිකත්වය අමුතුවෙන් තේරුම් ගන්නට අවශ්‍ය නොවේ. ඒ ඔවුන්ගේ අරමුණු පැහැදිලි බැවිනි. එහෙත් විජාතික අධ්‍යාපනය ඔස්සේ විජාතික මතවාද ගිලගත් මෙරට සිටින සිතන්නට බැරි අනුකාරක උගතුන්ගේ මානසිකත්වය ගැනනම් අප සොයා බැලිය යුතුය. මොවුන්ට අනුව රට බෙදෙන්නට යන්නේත් බෙදුම්වාදී අරගල සිදුවන්නේත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රට පුරා බලෙන් ස්ථාපිත කිරීම නිසාය. මේ අය සිතන ආකාරයට උතුරේ හා නැගෙනහිර වසර 30ක් තිස්සේ ක්‍රියාත්මක වූ සටන සාධාරනය. ඔවුන්ගෙන් සමහරෙක් කොටි ත්‍රස්තවාදයට එරෙහි වුවත් වැඩිදුරට කියන්නේ කොටියා යුධමය වශයෙන් පරාජය කළද දෙමළ ජනයාට සිංහල ජාතිකත්වය පිළිගැනීමට සිදුවීම අසාධාරන දෙයක් බැවින් ඒ සලකා ඔවුන්ගේ අනන්‍යතාවය අනුව රටෙන් කොටසකට බලය බෙදෙන දේශපාලන විසඳුමකින් බෙදුම්වාදය අවසන් කළ යුතුය. මේ උගතුන් කියන්නේ ඉන් පසුවට ඔවුන් සමග සම්මුති වලට එළඹ රටේ පාලනය ගෙනයා යුතු බවයි. ඔවුන්ට අනුව එවිට සියළු ප්‍රශ්න විසඳේ. මේ ඔවුන්ගේ මොළ කුරුවල් කළ බටහිර මතවාද තුලින් ඇති කර තිබෙන බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයේ තරමයි. මේ ජාතික සමගි මානසික අධි ශික්ෂණය තුලින් ඔවුන්ට හුරු කර තිබෙන්නේ මෙරටට ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය සුළු ජන කොටස් වලට ඉවසිය නොහැකි කරදරයක් යන්න හා ඊට එරෙහිව කෙරෙන අරගල ඔවුන්ගේ සාධාරන අයිතීන් වෙනුවෙන් යන්නත්, සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව සුළු ජන අන්තගාමී කණ්ඩායම් කවර දෙයක් කළත් එයට පක්ෂ වී එහි සාධාරනය දැකීම ජාතික සමගිය යන්නත් ලෙස සැලකීමටය.
මේ පුහු උගතුන්ගේ මනස්ගාත වලට අප තවත් කන් දිය යුතු නොවේ. මොවුන් චන්ද්‍රිකාගේ කාලයේ සිටම ඔය මනස්ගාත දෙඩෙවුවා අපට මතකය. ඔවුන්ට අනුව ඊලාම් බෙදුම්වාදී හොරබල්ලාට ෆෙඩරල් පොල්බෑයෙන් දමා ගැසුවේනම් ප්‍රශ්නය විසඳෙන්නේ ෆෙඩරලය ඔස්සේ ඊලමට පාර කපා දීමෙනි. එවිටද මේ හිතන්නට බැරි මෝඩ උගත් රැල කියනු ඇත්තේ රටක් බෙදීම වරදක් නොවන බව හා දෙමළ ජනයාගේ සාධාරන අරගලය අනුව එය සිදු වුනා කියායි. මේ උගතුන් කියන ආකාරයට සිංහල භාශාව රාජ්‍ය භාෂාව වීම හෝ මේ සිංහල රටේ ජාතික කොඩිය උතුරේ ලෙළදීම වත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රටපුරා ස්ථාපිත වීම නිසාවත් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වී නැත. ඇත්තේ අධිරාජ්‍යවාදී වහල් සේවකයා තම ස්වාමියාගේ හයිය ගෙන ලොව අනෙකුත් ඕනෑම රටක් අනුගමනය කරන මූලික රාජ්‍ය ප්‍රතිපත්තිවත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය අනුව මෙරට කිසිදු රජයකට ගෙන යෑමට ඉඩ නොදීමේ මහන්තත්ත කමකි. අදටත් මෙයට එකම විසඳුම ඊලාම්වාදියාට දොලපිදේනි දීම නොව දෙමළ නිජභූමි මිථ්‍යාව සමගින් දෙමළ ජාතිවාදය දේශපාලනය තුලත් මතවාදීවම පරදවා කුණු කූඩයට යැවීමයි. ඒ සඳහා කළ හැකි හෑම වැඩ කොටසක්ම කිරීමට බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයෙන් මිදීම අත්‍යවශ්‍ය වේ. සිංහල බෞද්ධ ජාතිකත්වය රට පුරා ස්ථාපිත වීම වරදක් නොව වෙනත් රටවල් සමග බැලුවද විය යුත්තකි. එයින් සුළු ජන කොටස් වලට අසාධාරනයක් වන්නේ නැත. මෙරට ජාතිකත්වය හරියට පිළිගෙන ඒ සමග එක්ව එකට ඉදිරි ගමනක් යෑමට
සුළු ජනවර්ග වල යම් පිරිසක් අනිවාර්ය ලෙසම කැමතිය. ඒ කාරනය අමතක කරමින් බෙදුම්වාදීන්ට දොලපිදේනි දීම ප්‍රශ්න විසඳීමක් නොව නැති ප්‍රශ්න ඇති කිරීමකි. මේ රටේ උතුරු හා නැගෙනහිර හැර සෙසු පලාත් වල දෙමළ ජනයාට මෙරට ජාතික අනන්‍යතාවය ගැටළුවක් වී නැත. කළ යුතුව ඇත්තේ රටේ අනෙකුත් ප්‍රදේශ වල සිටින දෙමළ ජනයා ජීවත් වන පිළිවෙලට උතුරේත් නැගෙනහිරත් දෙමළ ජනයාට ජීවත් වීමට හැකි බව පෙන්වීමය. ඊලාම්වාදියාට දොලපිදේනි දීම පැත්තක තබා 13 වන ව්‍යවස්ථා සංශෝධනයද සමගින් පලාත්සභාද අහෝසි කළ යුතුවේ. ඉන්දියාව හෝ බටහිර කියන කියන දේ කිරීමට අප බැඳී සිටිය යුතු නොවේ. බෙදුම්වාදය පරදවා රටේ ජාතිකත්වය සමග එකට සිටින සියළු ජනකොටස් ඒකරාශී කර ගනිමින් අප රටක් ලෙස අළුත් ගමනක් යා යුතුය. එය අපට කළ හැකිය.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
අවාසනාවට තුට්ටු දෙකේ පුද්ගලික වාසි තකා මේ හොර බල්ලත් එක්ක බුදියන්න යන එවුනුත් මෑ කාලේ ඉන්නවා.
ReplyDeleteI think we should go for a "secular" constitution. Good for everybody.
ReplyDelete