ඩඩ්ලි සේනානායක මහතා 1965 දී දෙමළ ජාතිවාදියෙකු වූ චෙල්වනායගම් සමඟ අත්සන් කළ රහස් ගිවිසුමට විරුද්ධව රට ජාතිය වෙනුවෙන් කවදත් කැපවුනු කහ සිවුර වීදිබට අවස්ථාවේදී තැබූ වෙඩි පහරකින් දඹසාරේ රතනසාර හිමියන් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති තුනුවිල විමලදම්ම හිමියන්ගේ උරපත මතට කඩා වැටුනේද ජනවාරි 8 වැනිදාවකය. ඒ අයුරින්ම අධිරාජ්‍යවාදයෙන් නිදහස්ව නැගිට පා තැබීම ඇරඹූ මොහොතේදීම විජාතික බලවේගයන්හි පහර කෑමට ලක්ව මරණීය තුවාළ ලැබූ සිංහල ජාතිය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ උරපත මතට කඩාවැටීම මා කම්පනයට පත්කළ දෙවන සිදුවීමයි.
පියවර දෙකක් ඉදිරියට සිතීමට අසමත් සිංහලයා
සිංහල ජන සමාජය විනිවිද බද්දේගම (පරිවර්තනය ) නමින් නව කතාවක් රචනා කරන යටත් විජිත සමයේ මෙරට සිවිල් සේවකයෙකු වූ ලෙනාඩ් වුල්ෆ් ඔහු දුටු සිංහලයා සිළිඳු නම් චරිතය ඔස්සේ රූපගත කරයි. වරෙක සිළිඳු සිරගත වෙයි. ඔහුගේ දඬුවම් කාලය වසර හැටකි. අවුරුදු හැටක්? නඩුකාර උන්නාන්සේ "තමා මැරෙනතුරු හිරේ" යනුවෙන් පැවසුවේනම් මරණය කුමක්දැයි ඇස් ඉදිරිපිට දැක ඇති සිළිඳුට එය අවබෝධ කරගත හැකිය. හෙතෙම අද යන දවසද හෙට යන දවසද අනිද්දා යන දවසද හඳුනයි. සුමානයක් දෙකක් මාස දෙක තුනක් හමසක් පමණක් නොව අවුරුද්දක් දෙකක් යන්න වුවද අමාරුවෙන් තේරුම් ගැනීමට ඔහු සමත්ය. නමුත් අවුරුදු හැටක්? එය සූත්‍රගත කරගැනීමට සිංහලයා අසමත්ය. විශ්ලේශන සංස්ලේශන හැකියාවෙන් දුර්වල සිංහලයා පියවර කිහිපයක් ඉදිරියට යමක් සිතින් ගොඩනගා ගැනීමට අසමත්ය. එක් එක් සිදුවීම් අන්තර් සබඳතා ඔස්සේ එකට ගැටගසා තේරුම් ගැනීමට අසමත්ය.ලෙනාඩ් වුල්ෆ් වැනි සුදු ජාතිකයන් ජාතියක් වශයෙන් අපට හිමි එවන් දුර්වලතා පසුගිය පන් සියවස තුළම මනාසේ කළමනාකරණය කිරීමට සමත් වී ඇත. අදට හරියටම වසර 200කට පෙර 1815 දී අප ගිවිසුමක් මඟින් සුද්දන්ට රට භාර දෙන්නේ එතෙක් සිටි සිංහල රජතුමාගේ "අධර්මිෂ්ඨකම්" දුරලා "යහපාලනයක්" ඇතිකර ගැනීමටයි. අධිරාජ්‍යවාදීන් ආසියාකරය වටළා රටවල් යටත් කරගත්තේ ඇයි? පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි වශයෙන් පිළිවෙළින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගත්තේ ඇයි? වැනි කරුණු පිළිබඳ අදහසක් සිංහලයාට නොතිබිනි. එක්කෝ ඔවුන්ට ගිවිසුමේ අඩංගු කරුණු හැර අධිරාජ්‍යවාදීන්ගේ යටි අරමුණ පිළිබඳ කිසිඳු අදහසක් නොතිබෙන්නට ඇත. නැතිනම් ඒ පිළිබඳ යම් කුකුසක් පැවතුනද රාජසිංහ රජුගේ අධර්මිෂ්ඨ පාලනයට වඩා එය දරුණු ප්‍රතිවිපාක ගෙන දේවි යැයි නොසිතන්නට ඇත. රදළයන් හෙවත් රජයේ දෙවන පෙළ බලධාරීන් අභිබවමින් ගෙන ගිය රාජසිංහ පාලනය සිංහලයා ඇස් ඉදිරිපිටම දැක තිබිනි. එබැවින් ඒ පිළිබඳ සැකයක් ඔවුන්ට නොතිබිනි. නමුත් සුද්දන් ඇති කිරීමට යන අධිරාජ්‍යවාදී පාලනය පිළිබඳ තිබුනේ අනුමානයක් පමනි. පියවර දෙකක් ඉදිරියට සිතීමට අසමත් සිංහලයා අනුමානයෙන් දුටු එම අනතුර වටහා ගැනීමට අසමත් විය. ඔවුන් ඒ විපත ඇස් ඉදිරිපිටම දැක අවබෝධ කරගන්නා විට පෙරහැර ගොස් හමාරය.
වසර තුනකින් එම "යහපාලනයේ" තරම වටහාගන්න සිංහලයා 1818 දී කැරළි ගසයි. නමුත් ප්‍රමාද වැඩිය. එම නිදහස් අරගලය පරාජයෙන් කෙළවර වෙයි. සිංහල රාජ්‍ය අවසන් බවද වසර 17ක පාලනය අධර්මිශෂ්ඨ යැයි හංවඩුගසා දෑත් පිටිකර බැඳ නින්දනීය ලෙස බලයෙන් පහකර එළවා දැමූවේ සිංහලයේ අවසන් නරපතියා බවද සිංහලයා තේරුම්ගත්තේ ඉන් වසර ගණනක් ගත වූ තැනය.
1848 දී ද ධර්මිෂ්ඨ වේශයෙන් ආ මෙම අධර්මිෂ්ඨ පාලනයට එරෙහිව සිංහලයා කැරළි ගැසුවේය. නමුත් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පසුව කෑවෝ කෑවෝ යැයි කෑගසා වැඩක් නැත. එම අරගලයද කඩුවෙන් තුවක්කුවෙන් මර්ධනය කිරීමට විජාතිකයෝ සමත් වූහ. යහපාලනය වෙනුවෙන් රජුන් පළවා හැරීම, කැරළි ගැසීම තබා අඩුම තරමින් රහසින් කෙඳිරීමටවත් සවියක් ඉන් අනතුරුව සිංහලයාට නොතිබිණි.
සුද්දන්ගෙන් පසු රට කළු සුද්දන්ට
1948 දී සුදු අධිරාජ්‍යවාදයේ දෙවන යුගය ඇරඹිනි. සුද්දන් බෝ කරගිය සිංහල කොන්ත්‍රාත්කරුවන් කෙතරම් ප්‍රබලදැයි සිංහලයෝ තේරුම් නොගත්හ. අනගාරික ධර්මපාලතුමා වැන්නන් පෙන්වාදුන් අනතුර වටහා ගැනීමට ඔවුහු අසමත් වූහ. පියවර දෙකක් ඉදිරියට සිතීමට අසමත් සිංහලයා 1815දී මෙන්ම 1948 දී ද සිතුවේ එතෙක් පැවති අධර්මිෂ්ඨ පාලනය අවසන්වී තමන්ට පූර්ණ නිදහස ලැබුනු බවයි. අද දවසේද එසේ සිතන සිංහලයන් හිඟ නැත. එම සුද්දන් ලබාදුන් නිදහස සැබෑම නිදහසක්ද නැතිද යන මතවාදයන් අතර දෝලනය වුනු සිංහලයා 1956 දී නිදහස වෙනුවෙන් තවත් අරගලයක් දියත් කළේය. 1959 වනවිට එම අරගලයද ලෙයින්ම සෝදා හැරීමට විජාතික බලවේග සමත් විය. නමුත් ඇස් ඉදිරිපිට සිදුවන දෙයක් මිස එයට පිටුපසින් ඇති බලවේගයන්හි කෙරුවාව අවබෝධ කිරීමේ චින්තනය සිංහලයාට නොතිබිනි.1972 දී නැවතත් නිදහස දෙසට පියවරක් තැබීමට සිංහලයා සමත්විය. එසේ වුවද 1977 වන විට විජාතිකයන් විසින් ඇස් ඉදිරිපිට මවා පෙන්වූ යහ පාලන ප්‍රෝඩාවේ පැටළුනු පියවර දෙකක් ඉදිරියට සිතීමට අසමත් සිංහලයා කිසිඳු කුකුසකින් තොරව විජාතිකයන්ට බලය ලබා දෙන්නේ 5/6ක බහුතරයකිනි. ඒ ධර්මිෂ්ඨ රාජ්‍යය යන මනෝ රාජ්‍යය වෙනුවෙනි. අභූත චෝදනා ඉදිරිපත් කර ජාතික බලවේගයන්හි නියමු චරිතය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිරගත කර එතුමියගේ ප්‍රජා අයිතියද අහෝසි කර ජාතික බලවේගයන් බිමටම සමතලා කිරීමට එම ධර්මිෂ්ඨයෝ ක්‍රියා කළහ. එම පරමාදර්ශී ධර්මිෂ්ඨ පාලන සමය තුළ උතුරේ ත්‍රස්තවාදය ඇවිළවීමට සුදු අධිරාජ්‍යවාදීහු සමත් වූහ. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පළාත් සභා වැනි වරදාන ලබාදීමටද ක්‍රියා කළහ. යැංකි ඩිකීලාගේ එම හැසිරීම ඇස් ඉදිරිපිට දුටුවද ඔවුන්ට පිටුපසින් සිටිමින් මෙය මෙහෙයවන බටහිර අධිරාජ්‍යවාදය හඳුනා ගැනීමට වියුක්ත චින්තනයක් නැති සිංහලයා අසමත් විය.
ඒ හේතුවෙන් එම අධිරාජ්‍යවාදීන්ගේම දෙවන අනුප්‍රාප්තිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග වෙත බලය පැවරීමට ඔවුහු ක්‍රියා කළහ. සිදුවූයේ එම යැංකි පාලනය 2005 දක්වාම දිග් ගැසීමයි. එම පාලන මුරයේදී අධිරාජ්‍යවාදීන්ට අප ලබාදුන් කාලය වසර 28ක් හෙවත් දශක තුනකි. එම දශක තුන තුළ විවෘත ආර්ථිකය හරහා ආර්ථික ශක්තියද, විවෘත සංස්කෘතිය, බටහිර ගැති අධ්‍යාපනය, ජනමාධ්‍ය හරහා සංස්කෘතික දේහයද, 78 ව්‍යවස්ථාවෙන් සුළු ජනවර්ග බලවත් කරන අබල දුබළ පාර්ලිමේන්තුවකට පාර කපන සමානුපාතික ඡන්ද ක්‍රමය, මධ්‍යම රජයේ බලය දුර්වල කර බෙදුම්වාදයට පාර කපන පළාත් සභා, රාජ්‍ය බලය සිවිල් නිලධාරින්ගේ නිලධාරිවාදී පාලනයකට නතුකර ජනතා පරමාධිපත්‍යය හෑල්ලු කරන 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, සුනාමි සහන මණ්ඩල, සටන් විරාම ගිවිසුම් හරහා දේශපාලන ව්‍යුහයද විනාශ කිරීමට යැංකි ඩිකීලා හරහා රට පාලනය කළ “එංගලන්ත මහ කොමසාරිස්වරයා” සමත් විය. මෙම අධිරාජ්‍යවාදීන්ගේ තරම යන්තමින් වුවත් වටහා ගැනීමට සිංහලයා සමත් වූයේ මේ සියල්ල සිදුවූ පසුවය. එම අවබෝධය ලබා ගැනීමට පියවර දෙකක් ඉදිරියට සිතීමට අසමත් සිංහලයාට වසර 28ක් උත්සාහ කිරීමට සිදුවිය. ඔවුහු 2005 දී මහින්ද රාජපක්ෂ මහතාව යන්තමින් බලයට පත් කරන්නේ එබැවිනි.
ජයග්‍රහණය ආපසු හැරවීම
දශක තුනකට පසු යන්තමින් ලද එම ඉස්පාසුවේදී එතෙක් රට පාලනය කළ එංගලන්ත මහ කොමසාරිස් යැංකි ඩිකීලා හරහා බිහි කළ ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීමට අපි සමත් වීමු. බටහිරට විරුද්ධව චීනය වැනි විකල්ප බල කඳවුරු ආධාරයෙන් යම් ආර්ථික ශක්තියක් ලබා ගැනීමට අපි සමත් වීමු. එම දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ශක්තිය ඔස්සේ පූර්ණ නිදහසක් වෙනුවෙන් අප පියවරක් එසවූවා පමණි. 1815 දී මෙන්, 1977 දී මෙන් සිංහලයාගේ ඇස් වලට යහපාලන වැළි ගසා පාලන බලය කොල්ලකෑමට එංගලන්ත මහ කොමසාරිස් සමත්වී ඇත. පන්සිය වසක් මුළුල්ලේ නිදහස වෙනුවෙන් අපමන බැටකන සිංහලයා මරණීය තුවාළ ලැබ මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් සමඟම බිම ඇද වැටී ඇත. එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම උපකල්පන ප්‍රමානයකට යටත්ව මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලය මඟින් පාලනය වන යැංකි ඩිකීලාට බලය ලබා දීමට සිංහලයා ක්‍රියාකර ඇත.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණනි,
"යුද්ධයක් කරමින් මේ රට මහා සංවර්ධනයක් කරා ගෙන ගිය ඔබතුමා මේ යුගයේ නායකයා ශ්‍රේෂ්ඨ නායකයා ලංකා පුත්‍රයාය. නව යුගයක් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ උතුමා ඔබයි. ඔබතුමා මේ රටේ මහජන සේවකයා වගේම මේ රටේ ජනතාව ඔබතුමාට ජනතාවගේ හෘද සාක්ෂියෙන් තමයි මහ රජානෝ කියල කිවුවෙ. ඇත්තෙන්ම ඔබ රජෙක් ජනාධිපතිතුමනි. විපක්ෂයේ දේශපාලන බලවේග දේශපාලන කුහකයො මොන විදිහට කිවුවත් ඔබතුමා මේ රටේ රජෙක් අතිගරු ජනාධිපති තුමනි. ඒ නිසා ඔබතුමාගේ මහා පිංවන්ත භාවය ඔබතුමාගේ මහා භාග්‍යවන්ත භාවය ඔබතුමාගේ උතුම් ගතිගුණ ඔබ සැබෑ මිනිසෙක් ලෙස මානව හිතවාදියෙක් ලෙස ශ්‍රේෂ්ඨයෙක් ලෙස නව යුගයක් බිහි කළ මේ යුගයේ නායකයා ලෙස ඉතිහාසයට එක් වී අවසානයි."
එහෙත් අපට වෙනසක් අවැසි විය. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා යන ගැමි වහර ගිරුවාපත්තුවේ ඔබතුමන්ට අමතක නැතැයි සිතමි.
එබැවින් කමාකළ මැනවි, සදාදරණීය නායකයාණනි,
-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .