2/05/2015

ජාතික ව්‍යාපාරයේ දේශපාලන අනාගතය

කතෘ:යුතුකම     2/05/2015   6 comments

මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ ඇයි? මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීම ජාතික බලවේග වල පරාජයක් වන්නේ ඇයි? මේ ප්‍රශ්න දෙක දෙකක් වුවත් එකිනෙකට සම්බන්ධය. මහින්ද රාජපක්ෂ මහතා පැරදීමට විවිධ සංයුක්ත හේතු (දූෂණය, නීතියක් නැතිවීම, කැසිනෝ, කාර් රේස්, මෛත්‍රිපාල මහතාද මහින්ද මහතා මෙන්ම බයියෙක් වීම ආදිය)  දිය හැකි වුවත් ඒ සියල්ල එක් පොදු කාරණයකට ගොනු කළ හැකිය. මහින්ද රාජපක්ෂ මහතා එල්ටිීටීඊය යුධමය වශයෙන් පරාජය කිරීමට පියවර ගත්තේ ජාතික බලවේගවල න්‍යායපත්‍රය අනුවය. එසේම ඉන්පසුව ඒකීය රාජ්‍යය දිගටම පවත්වා ගැනීමට බෙදුම්වාදයේ දේශපාලනික පෙරමුණ නමැති රබර් බෝලය දිය යට ඔබා ගෙන සිටියේද ජාතික බලවේගවලට අනුකූලවය (ඔහුගේ අත නොමැති විට ඒ රබර් බෝලය ඉතා වේගයෙන් ඉහළට මතු වූ බව පසුගිය මාසයකට අඩු කාලයක වූ සිදූවීම් වලින් පෙනී යයි). මේ කාරණා දෙකම ඔහුගේ දේශපාලන බලය වැඩි කිරීමට හේතු විය. එහෙත් යුධ ජයග්‍රහණයෙන් පසුව ආර්ථික, සාමාජීය මෙන්ම අනිකුත් දේශපාලන ක්ෂේත්‍රවලද ජාතික මතවාදයක පිහිටා ක්‍රියා නොකිරීම ඔහුගේ පරාජයට හේතු විය. යුධ ජයග්‍රහණයට යොදා ගත් ජාතික මතවාදය අනිකුත් ක්ෂේත්‍රවලට ප්‍රසාරණය කිරීමට ඔහු අසමත් විය.

අනෙක් පැත්තෙන් ජාතික බලවේගවලින්ද විශාල අඩුපාඩුවක් විය. එනම් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් සෑහීමකට පත් වීමය. විකල්ප ජාතික නායකත්වයකට ඉඩ නැතිනම් අඩුම තරමින් අනෙකුත් ක්ෂේත්‍රද ජාතික මතවාදයක් අනුව මෙහෙයවීමට ඔහුට මතවාදී මෙන්ම දේශපාලනික බලපෑමක් එල්ල කිරීමට ජාතික ව්‍යාපාරයට අවකාශයක් තිබිණි. එමගින් ජාතික මතවාදය වර්ධනය වන අතර මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයද ආරක්ෂා වෙනු ඇත. එහෙත් එය සිදු නොවීය.

ඕනෑම මතවාදයක මතවාදී පෙරමුණ සහ දේශපාලන පෙරමුණ අතර චක්‍රීය සම්බන්ධයක් වෙයි. මතවාදය වර්ධනය වීමට දේශපාලන නායකත්වය අවශ්‍ය අතර දේශපාලන නායකත්වයේ පැවැත්මට මතවාදය වර්ධනය වීම අවශ්‍ය වෙයි. මහින්ද රාජපක්ෂ යුගයේදී, විශේෂයෙන්ම 2010 පසු යුගයේදී සිදුවූයේ මෙයින් එක් අර්ධයක් පමණි. එයද බාගෙටය. එනම් මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයේ පැවැත්මට ජාතික මතවාදය යොදා ගැනීමය. ප්‍රතිඵලය වූයේ ජාතික මතවාදය වර්ධනය නොවිමත් ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයද කෙමෙන් පිරිහීමත්ය. මෙහි කුටප්‍රාප්තිය මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පැරදීමය. මේ ආකාරයෙන්ම නොවුනත් චම්පික රණවක මහතා සහ අතුරලියේ රතන හිමි ප්‍රමුඛ හෙළ උරුමයට ජාතික බලවේග නියෝජනය කළ යම් පිරිසක් නොමග යවා සෘජු විජාතික බලවේග නියෝජනය කරන රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවක් බලයට පත්කිරීමට හැකි වූයේද ජාතික බලවේගවල මේ දුර්වලතාවය නිසාය. එනම් මතවාදය වර්ධනය කිරීම හෝ අඩුම තරමින් නායකත්වය ගන්නා දේශපාලන තීන්දු සහ මතවාදය අතර ඇති සංගතභාවය පරීක්ෂා කිරීම පසෙක තබා හුදෙක් දේශපාලන නායකත්වය පසුපස යාම නිසාය (‘අවුලක් නෑ චම්පික ඉන්නවානේ‘ පාඨය පිටුපස ඇති අර්ථයද මෙයම වෙයි).

ජාතික ව්‍යාපාරයට අද දේශපාලන නායකත්වයක් නැත. පාර්ලිමේන්තුව තුළ ජාතික බලවේග නියෝජනය කරන්නේ විමල් වීරවංශ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා පමණි. අද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද පාලනය කරයි. වාර්තාවන අන්දමට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද මේ ‘සභාගය‘ පවතින බවට එකගතාවයක් රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇතිවී ඇත. එවිට මහා මැතිවරණය යනු ඇස්බැන්දුමක් පමණක් වෙයි. කිසිදු ප්‍රතිවිරෝධයක් නැතිව ක්‍රියාත්මක වන එවැනි පාලනයක් වඩාත් මර්ධනකාරී, විශේෂයෙන්ම ජාතික බලවේග කෙරෙහි මර්ධනකාරී, එකක් වනු ඇති අතර එවැනි පාලනයක් තුළ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකිය. ගතවූ මාසය තුළ බෙදුම්වාදී මාවතේ ලංකාව ගියේ පියවරකින් හෝ ඉදිරියට මිස ආපස්සට නම් නොවේ. දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී දේශපාලනයට සහ බටහිර/ඉන්දීය බලපෑම්වලට හිස නමා යටත් වෙනු විනා එයට මුහුණ දිය හැකි නායකත්වයක් වර්තමාන ආණ්ඩුවෙන් අපි දුටුවේ නැත. පුදුමය එවැනි නායකත්වයක් තිබුනානම්ය. මෛත්‍රිපාල මහතා වැඳුම් පිදුම්, ව්‍යායාම් ආදිය කරන විට රටේ පාලනය මෙහෙයවන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ අතීත ක්‍රියාකාරකම් අනුව මෙය බලාපොරොත්තු විය හැකි තත්වයකි. මෙකී රාජ්‍යය දිය කර හරින ප්‍රවණතාව දේශපාලන මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයටද පොදු බව අතුරු අයවැයෙන් පෙනී යයි. මිට සමගාමීව සංස්කෘතික ආධිපත්‍යයක්ද ක්‍රියාත්මක වනු අැති. මහා මැතිවරණයට පෙරම තත්වය මෙසේනම් මැතිවරණයට පසු තත්වය සිතා ගැනීම අසීරු නැත.

ජාතික බලවේගවල දෘෂ්ටිකෝණය අනුව මේ තත්වය වහා වෙනස් විය යුතු බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ජාතික ව්‍යාපාරයේ මෙන්ම රටේද අනාගතය සුරක්ෂිත වීමටනම් එය සිදු විය යුත්තකි. මතවාදී පෙරමුණ සහ දේශපාලන පෙරමුණ අතර චක්‍රය ගොඩනගා ගැනීම යළි මුලසිටම කළ යුතුව ඇත. කලින් වතාවේ කළ වරද, එනම් දේශපාලන නායකත්වය මත පමණක් යැපීමද ප්‍රඥාගෝචර නොවේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේශ් ගුණවර්ධන වැනි දේශපාලකයන් විසින් ඉදිරියේදී සන්ධානයක් ගොඩනගන බව කියවෙයි. එය හොඳ දෙයකි. විශේෂයෙන්ම ජාතික බලවේග නියෝජනය කරන දේශපාලන බලවේග එක පෙරමුණකට ගොනුවීම අත්‍යවශ්‍යය. නමුත් ශ්‍රිලනිපය නැතිව ජාතික බලවේගවලට රටේ අනාගතය වෙනස් කළ හැකි දේශපාලන නායකත්වයක් ගොඩනගා ගැනීම සිහිනයක් පමණක් වෙයි.

ගුණදාස අමරසේකර මහතා එදා සිටම ශ්‍රිලනිපය හැදින්වූයේ ශ්‍රිලනිපය හිස නැති කවන්ධයක් ලෙසය. ආචාර්ය නලින්ද සිල්වාට අනුව ශ්‍රිලනිපයට වරින් වර සවි වූයේ ලිබරල්වාදී හිසකි. නැත්නම් මාක්ස්වාදී හිසකි. එහෙත් එහි ගත ජාතිකවාදී විය. එනම් එය වටා රොක් වූයේ ජාතික බලවේගය. එයට ජාතික හිසක් සවි කෙරුණේ 2005-2009 කාලයේ පමණක් යැයි සිතමි. ඉන්පසුවද ජාතිකත්ව හිස තිබූවද එහි ඇස් අන්ධ වී තිබිණි. අද වන විට ශ්‍රිලනිපයේ හිස ගසා දමා ඇති අතර ඒ මදිවාට ගතද ආබාධිත තත්වයට පත්ව රෝද පුටුවකට සීමා වී ඇත. නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ රෝද පුටුවේ වාඩි වී සිටින අතර මෛත්‍රිපාල සිරිසේන මහතා කරන්නේ රෝද පුටුව තල්ලු කරගෙන රනිල් වික්‍රමසිංහ මහතා පසුපස යාමය.

මේ තත්වයෙන් ශ්‍රිලනිපය මුදවා ගැනීම ජාතික බලවේග වලට පැවරෙන කාර්යභාරයකි. ශ්‍රිලනිපයට හැමදාම නැති වූ ජාතිකත්ව හිස සවි කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. වෙන කිසිම කාරණයක් නැතිනම් අඩුම තරමින් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගේ බලලෝභය නිසාවත් ඔවුන් ඊට එකඟ විය යුතු වේ. ජාතිකත්වයෙන් තොරව ශ්‍රිලනිපයට යළි කිසිදා බලයට පැමිණිය නොහැකිය. මතවාදයක් ලෙස අදටත් වඩාත්ම ශක්තිමත්ම සහ ජනප්‍රියම මතවාදය ජාතික මතවාදය වෙයි. මහින්ද පැරදුනේ ජාතික මතවාදයේ සංගතභාවය හෝ පිළිගැනීම පිළිබද ප්‍රශ්නයක් නිසා නොව බොහෝ අවස්ථාවල ජාතික මතවාදයකට අනුව (හෝ මොනම මතවාදයකට අනුවවත්) කටයුතු නොකිරීම නිසාය. ඔහුට එල්ල වූ එකදු විවේචනයක්වත් ජාතික මතවාදය පිළිපැදීම නිසා එල්ල වූ ඒවා වේද? අනෙක් පැත්තෙන් ඔහුට තිබූ එකම ධනාත්මක කාරණා වන යුධ ජයග්‍රහණය සහ බෙදුම්වාදයට ඉඩ නොතැබීම සිදුවූයේ ඔහු ජාතික මතවාදය අනුව කටයුතු කළ අවස්ථාවලය. එජාපයට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට ජාතික මුහුණුවරක් ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිදු වූයේද ඒ නිසාමය.

එජාපයට හෝ දෙමළ ජාතික සන්ධානයට ජනාධිපතිවරණයට පෙර ජාතික බලවේගවල විරෝ්ධයට හේතු වන 13 ගැන හෝ උතුරේ හමුදා කඳවරු ඉවත් කිරීම ගැන කතා කිරීමට නොහැකිව ස්වයං වාරණයක් දමා ගැනීමට සිදුවූයේද ජාතික මතවාදය මතවාදයක් ලෙස ජනතාව අතර ශක්තිමත් නිසාය. ඒ කතා කරළියට ආවේ ජනාධිපතිවරණයෙන් පසුවය. ශ්‍රිලනිපයට කිසිදා ලිබරල්වාදයෙන් රනිල් වික්‍රමසිංහගේ එජාපයට අභියෝග කළ නොහැකිය. ඔවුන්ට එකම පිහිට ජාතික මතවාදය පමණය. ඔවුන් ජාතික මතවාදය අතට ගතහොත් චක්‍රය නැවත සම්පූර්ණ වී රෝදය කරකැවීමට පටන් ගනු ඇත. ජාතික බලවේග ඒ වෙනුවෙන් හැකිතාක් මතවාදීව සහ දේශපාලනිකව ශ්‍රීලනිපයට බලපෑම් කළ යුතුය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ වැනි මහත්වරුන් සිය පක්ෂවල එකතුවෙන් නිර්මාණය කරගන්නේ යැයි කියන සන්ධානය එහිදී වැදගත් විය හැකිය. එවැනි සන්ධානයකට අලියා (අත) විය නොහැකි වුවත් හෙණ්ඩුව විය හැකිය.

අද ශ්‍රීලනිපය යනු ඉතා වටිනා නිධානයක් තමාගේ ගෙදර පිටුපස වළලා හිඟමනේ යන හිඟන්නෙක් වැනිය. වාසනාවකට හෝ අවාසනාවකට අදටත් ශ්‍රිලනිපය වටා ජාතික බලවේග ඒකරාශි කරගත හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂය. එය ‘මහින්දවාදයකට‘ ලඝු කළ නොහැක්කේ වර්තමාන දේශපාලන වටපිටාව තුළ ජාතික බලවේග ඒකරාශී කරගත හැකි විකල්ප නායකයෙක් ශ්‍රිලනිපය තුළ ඇත්තටම නොමැති බැවිනි. ශ්‍රිලනිපයේ මුල් පෙළේ නායකත්වය කෙසේ වෙතත් දෙවන පෙළ නායකත්වය සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් මේ තත්වය හැකි තාක් ඉක්මනින් අවබෝධ කර ගෙන ක්‍රියාකාරී වීම ඔවුන්ගේම සුබසිද්ධියට හේතු වේ. ඔවුන්ට කල් මැරීමට අවකාශයක් නැත්තේ මහා මැතිවරණයක් ළග ළගම එන බැවිනි. ජාතික බලවේගවලට යළි දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට ඇති අවසාන අවස්ථාව මෙය වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ජය ගතහොත් හෝ අඩුම තරමින් මෛත්‍රිපාල මහතාගේ ශ්‍රිලනිපය සමග සභාගයකට ගොස් නැවතත් ආණ්ඩුව පිහිටුවහොත් ශ්‍රිලනිපයට හෝ ජාතික බලවේගවලට යළි කිසිදිනක හිස එසවීමට ඉඩක් නොලැබෙනු ඇත. ඒ හරහා රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය අභියෝගයට ලක් වීම වැළැක්විය නොහැක්කේ ඊට විරුද්ධ විය හැකි විපක්ෂයක්ද නැති වන බැවිනි. මෙතැනදී ශ්‍රිලනිපය තම වගකීම පැහැරහැරියොත් එය ඓතිහාසික වරදක් වන අතර එහි පාඩුව මුළු රටටමය.

-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. සිරිසේන නායකයා වුවද තිරයෙන් පිටුපස සිට ශ්‍රීලනිපය මෙහය වන්නී චන්ද්‍රිකාය.චන්ද්‍රිකා මෙහය වන ශ්‍රීලනිපය හා රනිල් මෙහය වන එජාපය අතර වෙනසක් තිබේද?

    ReplyDelete
  2. සිරිසේනට තමන්ගෙ හම්පුතාලට එරෙහිවෙන්න තරම් කොන්දක් නෑ, නියම රූකඩ පාලකයෙක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් තේරුම් ගන්න ඕන සිරිසේනගේ මේ නිවටකම නිසා වෙන්නෙ සිංහලයාගේ මාළු සිංහලයගේ ඇඟේම තියල කපන එක බව.

    ReplyDelete
  3. I think this is totally a bull shit

    ReplyDelete
  4. Very well articulated document on nationalistic perspective of Sinhalese

    ReplyDelete
  5. A very insightful writing. Hope this should be read by public at large.

    ReplyDelete
  6. one of the best analysis!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com