7/08/2016

අටපට්ටම් ආණ්ඩුව කුඩුපට්ටම් කරන්නට අලුත් ජාතික ව්‍යාපාරය

කතෘ:යුතුකම     7/08/2016   No comments

අටපට්ටම - කුඩුපට්ටම්
-ධර්මන් වික්‍රමරත්න-

යූ.එන්.පී ආණ්ඩුවක් ආවොත් බිස්නස්වලට හොදයි කියූ ව්‍යාපාරිකයෝ වැට් බද්දට එරෙහිව කඩවසා හර්තාල්ය. සරසවි සිසුන් මර්ධනයට එරෙහිව මහපාරේය. දොස්තරවරුන් සයිටම් එකට එරෙහිව වර්ජනයේය. ඉංජිනේරුවන් සහ පරිගණක වෘත්තිකයන් එක්ටා ගිවිසුම හරහා රට ඉන්දිය කොලනියක් කිරීමට එරෙහිව උද්ඝෝෂණයන්ය. රබර්, තේ සහ වී ගොවියෝද සටන් බිමේය. මේ සියළු අරගල ජර්මනියේ හැමලින් නුවර විසූ බටනලා වාදකයා මෙන් බොරු පොරොන්දු දී වසඟයට ගන්නා පාලකයින් දුන් පොරොන්දු වාෂ්පකර දමති. රට පුරාම ඇත්තේ ‘යහපාලන’ කොමඩිය. ‘යහපාලන’ හවුල් ආණ්ඩුවේම ශ්‍රිලනිප ඇමති එස්.බී දිසානායක පවසන පරිදි මේ අටපට්ටම් ආණ්ඩුවකි. වැඩ කරන්න අසීරුය. අටපට්ටම දැන් කුඩුපට්ටම් වෙමින් පවතී.

ආණ්ඩු විරෝධී සටනේ ගමේ අක්මුල් පෙළ ගස්සවන්නට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් සහ බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් සතියේ තෙදිනක් පුරා පැවති ආණ්ඩු විරෝධී සහ රට දිනවන නව ජාතික ව්‍යාපාරයේ ජන රැල්ල රටපුරා යෝධ ගැම්මක් ඇතිකල බව නොරහසකි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විවිධ සුළු පක්ෂ අතර එකඟතාවයක් නැති බවට ආණ්ඩුවේ මාධ්‍යයන් ගෙනගිය ප්‍රචාරයන්ද පුස්සක් බවට පත්විය. බැසිල්ගේ දේශපාලන ආගමනය ආණ්ඩුවේ ඇමති වරදානගත් ශ්‍රිලනිප ඇමතිවරුන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් හැර සෙසු ශ්‍රිලනිප පාක්ෂිකයින් මුළුමනින්ම වාගේ උද්යෝගයෙන් යුතුව පිළිගත් අතර එය ‘යහපාලන’ ආණ්ඩුවට දැන් පාරාවලල්ලක් බවට පත්වෙමින් පවතී. ‘යහපාලන’ ආණ්ඩුව බැසිල් රාජපක්ෂට භයබව ඔහුට එරෙහිව ගෙන යන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරයෙන් පැහැදිලි විය. ගැරහුම් විවේචන හමුවේ නොසැලිය යුතුය. මක් නිසාද යත් තැලෙන යකඩේ මුවහත් වන අතර තලන එකා හෙම්බත් වන බැවිනි.

වෙනදා පයින් පොලේ ගිය එජාප නායකයා වන අගමැති වික්‍රමසිංහ බදුල්ලේ ශ්‍රිලනිප ජනබලය ඇරඹූ දිනට පසුදින බදුලු නගරයේ ගමන්කළේ රෝද තුනේ රථයකිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද විහිළුවක ස්වරූපයෙන් දකුණේ මහ ඇමති ශාන් විජේලාල්, ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු කිහිපදෙනෙක් සිරකුටියක දමා දොර වැසුවේද සීරුමාරුවෙනි. මිට්ටා කට්ටයා කියන සාම්ප්‍රදායික උපමාව සිහිගන්වමින් මාතර එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ පමණක් එළියට පැන ඉන් ජාමේ බේරාගැනීමට සමත් විය. මාතරට පැමිණි ජනාධිපති සිරිසේන හෙලිකොප්ටර් අංගනයටම ගොස් පිළිගත්තේද එජාප මන්ත්‍රී බුද්ධික විසිනි.

වර්තමාන ශ්‍රිලනිප නෛතික නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර්ය විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විපක්ෂ නායකවරයා ලෙස පත්කළේ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයා නොව ජනාධිපතිවරණයේදී ආණ්ඩුව වෙනුවෙන් දරදිය ඇදි තැනැත්තාය. ජවිපෙ නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවූ අනුර කුමාර දිසානායකද එම සියළු දේශපාලන උපාය උපක්‍රම වෙනුවෙන් පෙනීසිටි අයෙකි. දැන් ආණ්ඩුව ප්‍රධාන විපක්ෂය කියා බේදයක් නැත. ඔවුන් එක වල්ලේ පොල්ය. සැබෑ විපක්ෂය වන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසය. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යළි 56ක් බිහිකල යුතු බව ඉකුත් සතියේ ශ්‍රිලනිප මහජන පාර්ශවය වටා එක්වූ දස දහස් ගණන් ජනයා එක හඬින් සපථ කළහ. එජාපය සමඟ ඩීල් නොදමා ශ්‍රිලනිප සහ එහි පාක්ෂිකයා ශක්තිමත් කොට රැකගැනීමටද එය එක තැනකට නාභිගත කොට ඉදිරි මහ මැතිවරණයන්ට මුහුණදීමටද නව බලවේගය දැන් පියවරින් පියවර ශක්තිමත් වෙමින් පවතී. මැතිවරණයකට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යය. බදුලු දිස්ත්‍රික්කය පුරා දැන් එය ගොඩනැගී අවසන්ය. ඉදිරියට ඇත්තේ එය රට පුරාම ව්‍යාප්ත කිරීමය.

යහපාලන ආණ්ඩුවට එක්වී සිටින ඇමති වරදාන ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ තමන් එජාප ආණ්ඩුව සමඟ එක්වී ඇත්තේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණයක් මත කියාය. එහෙත් 2015 අගෝස්තු 24වැනිදා හිටපු ශ්‍රිලනිප මධ්‍යම කාරක සභිකයින් ඉවත්කර පක්ෂ නායකයා විසින් පත්කරන ලද්දේ ෆයිසල් මුස්තාපා, අතාවුද සෙනෙවිරත්න, ජීවන් කුමාරතුංග, යු.කේ ආරියතිලක, කේෂරලාල් ගුණසේකර, රුවන් රණතුංග සහ කීර්ති උඩවත්ත ඇතුළු 13 දෙනෙකි. ඒ අනුව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණ බඩුත් හාමුදුරුවන්ගේය. නඩුත් හාමුදුරුවන්ගේය වැනි වැඩකි. නෛතික ශ්‍රිලනිප තුළද දැන් විවිධ කණ්ඩායම්ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අහුංගල්ල හෝටලයේ පෙරේදා පැවැත්වූ රහස් සාකච්ඡාවට එස්.බී ඇතුළු කිහිපදෙනෙක්ම හැලීගොස් ඇත.

රටේ යහපත සඳහා වූ දර්ශනයක් මත සංවිධානයක් අවශ්‍යය. එම දර්ශනය වෙනුවෙන් අයෝමය කැපකිරීමක් සිදුකිරීමට සූදානම් පිරිසක් රටේ තවමත් සිටින බව නොරහසකි. රටේ ඉදිරියේදී මතුවන අභියෝගවලට මුහුණදිය හැක්කේ එවැනි බලවේගයක් දර්ශනයක් මත එක්වී හදන නව දේශපාලන ජාතික ව්‍යාපාරයක් මගින් පමණි. ප්‍රථමයෙන් එන්නේ එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ගේ තාලයේ 1982 ලාම්පු කළගෙඩි සෙල්ලමක් මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් බව පැහැදිලිය. එයට එක්සත්ව, එක්සිත්ව මුහුණදීම වර්තමානයේ ඇති ප්‍රබලතම අභියෝගය වේ. බදුලු දිස්ත්‍රික්කයෙන් පැන නැගි රට පුරා හමා යන බලවේගයට එම අභියෝගය ජයගත හැකිය. ජයගත යුතුය. ඒකාබද්ධ විපක්ෂයද තමන්ටම කියා මෙසේ නව ජාතික දේශපාලන බලවේගයක් නිර්මාණය කරගනිමින් රටට නායකත්වය නොදෙන්නේනම් ඔවුනටද ඇත්තේ විකල්ප දෙකකි. එකක් එජාපයට එක්වීමය. අනෙක ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයට එක්වී ඇමතිකමක් ගෙන ලබන මැතිවරණයෙන් විශ්‍රාමයෑමය.

ගොඩනැගෙන සහ ගොඩනැගෙමින් පවත්නා නව ජාතික බලවේගය පිළිබඳව ඇතැම් ‘පඩිවරුන්’ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරති. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළද විජේ ඩයස්ගේ කම්කරු මාවතේ සිට ටී. අන්ද්‍රානිගේ ස්පාට්සිස්ට් ලිග් ට්රොස්කිවාදී කණ්ඩායම දක්වා මෙවැනි කණ්ඩායම් සහ කල්ලි රැසකි. ඒවා බොහෝමයක් වර්තමානයේ හුදු නාමපුවරු පමණි. මෙම යථාර්ථය තේරුම්ගත යුතුය. එජාප නායක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් රාවුෆ් හකීම්ලාද, පලනි දිගම්බරම්ලාද, රිෂාඩ් බදුරුදීන්ලාද, පාඨලී චම්පිකලාද, රාජිත සේනාරත්නලාද, අර්ජුන සහ නාවින්නලා වැන්නෝද අවශ්‍ය වේලාවට ලඟට ගත්තේය. දේශපාලනය යනු දාම් ක්‍රීඩාවකි. එහිදී ටික් බෝල ගසා පලක් නැත. දේශපාලනයේදී පටු වේදිකා සැදීමට නොහැක. එහි සියළු දෙනාමගේම ප්‍රධාන අරමුණ එක වූවද එකම මතයක සිටිය යුතු බවට තීරණය කල නොහැක. කුමන්ත්‍රණවලට පමණක් නොව පොකුරු දේශපාලන බෝම්බවලටද මුහුණදිය යුුතුය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරම්භක යුගයේදී සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන්ගේ සියළුම නොගැලපීම් ගලපාගෙන ආණ්ඩුව පවත්වාගෙන ආවේය. ඉකුත් ජනාධිපතිවරණයේදී වැරදුන තැන රටට රහසක් නොවේ. එය නිවැරදිව අවබෝධ කරගෙන නව ජාතික බලවේගයක් ලෙස මුහුණදුන් විට ගොඩය.

‘යහපාලන’ ආණ්ඩුවට ඔවුන් පිටතට පෙන්වන තරමේ ශක්තියක් නැත. එසේ තිබුණේනම් මෙලහකට එක්ටා ගිවිසුම අත්සන් කරලාය. පෙඩරල් ව්‍යවස්ථාවද සම්මත කරලාය. සංඝ පනත ගෙනවිත් හිමිවරුන්ට නීති පනවලාය. යෝජිත මර්ධන පනත් සියල්ල කඩිමුඩිසේ සම්මත කරගෙනය. මාලඹේ වෙද සිසු කඩය හෙවත් සයිටම් එකට නීත්‍යානුකූල අවසර දීලාය. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති පුටුවේ තවමත් වැඩය. ආණ්ඩුව හැම පැත්තෙන්ම හිරවී ඇත්තේ ශ්‍රිලනිප මහජන පාර්ශවය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ සකලවිධ බලවේගයන් යෝධ පවුරක් සේ නැගී සිටින නිසාය. තම පණ දෙවැනි කොට රට වෙනුවෙන් පෙළ ගැසෙන ලක්ෂ සංඛ්‍යාතික පිරිසක් සිටින නිසාය. මේ සඳහා ගොඩනැගෙන නව ජාතික බලවේගය එකම යදමින් බැදී තව තවත් ශක්තිමත්වීම වැදගත්ය. සියල්ලටම වඩා දෙමළ බෙදුම්වාදීන්ගෙන් සහ කුමන්ත්‍රණකරුවන් ගෙන් මහින්ද රාජපක්ෂ රැකගැනීමද වැදගත්ය.

ආණ්ඩුවක් ලබාගැනීමට වඩා ආණ්ඩුවක් නිසිලෙස ක්‍රමවත්ව කාර්යක්ෂමව පවත්වා ගැනීම අසීරුය. සංවර්ධනය සහ ආර්ථික සැලසුම් පිළිබඳව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇති හැකියාව සහ ‘යහපාලන’ ආණ්ඩුවේ නොහැකියාවේ වෙනස දැන් අවබෝධවී ඇත. නව බලවේගය සිදුකරනුයේ මහින්ද රාජපක්ෂ සාධකය ජයග්‍රහණය කරමින් රට දිනවීම සඳහා මාවත සකස් කිරීමය. ආර්ථිකය ශක්තිමත් කරමින් සහ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමෙන් සංවර්ධනයේ අරුණළු ගෙන යා හැක්කේද පුළුල් දැක්මත් සහිත නව ජාතික ව්‍යාපාරයකට පමණක් බව පැහැදිලිය. රටේ ජනතාව අදටද භුක්ති විදින්නේ රාජපක්ෂ ආණ්ඩුව මගින් සිදුකල සංවර්ධන වැඩසටහන්හි ප්‍රතිඵලය. ‘යහපාලන’ ආණ්ඩුව වර්තමානයේ විවෘත කරන්නේද එදා මුළුමනින්ම වාගේ සදා නිමකල සංවර්ධන කටයුතුය. කැලණියේ රංවල පාලමටද දැන් රංවල දෙවියන්ගේම පිහිටය.

‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව මතුවන මෙම විරෝධතාවය සමනය කිරීමට හදනුයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහ ආණ්ඩුවේ උපදේශකයෙකුවන අසාද් සාලි අතර ආණ්ඩුවේ මාධ්‍ය මගින් තව රඟපෑමක් එළි දැක්වීමෙනි. එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පංච මහා බලවේගය වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුය. එහෙත් ඇල්ලේ ගුණාවංශ හිමියන් පවසන පරිදි අදවන විට ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ පංච මහා බලවේගය වී ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, රොස්මීඩ් පෙදෙස සහ ඩෝඩ් පෙදෙසය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති ලෙස පත් කෙරිණි. ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳව ප්‍රශ්නක් නැති වුවද කුමාරස්වාමිගේ අතීත ක්‍රියාකලාපය සහ රට හමුවේ ඇති අවදානම අනුව සැබෑ සිවිල් ක්‍රියාකාරින් නව මහ බැංකු අධිපතිගේ ක්‍රියා කලාපයන් ගැන සුපරික්ෂාවෙන් සිටිය යුතුය. ආචාර්ය රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයා වන ඔහු විනිමය වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකාවේදී වසර 11ක් සිර දඬුවම් නියමවූ රාජ් රාජරත්නම්ගේ සමාගමක් වන ‘ගැලයන්’ සමාගමේ හිටපු උපදේශකවරයෙකි. සියල්ලටත් වඩා ඉන්දීය එක්ටා ගිවිසුම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙකි.

ගිලටීනයට හසුවූ අලුත්ම රාජ්‍ය සේවකයා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඬල්ලගේය. කෙලින් කථා කිරීම නිසා ඔහු තැපැල් සහ මුස්ලීම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මාරුකර යවා ඇත. මේවා පිටුපස සිටින්නේ රාජ්‍ය සේවයේ කොන්ද බිදින එන්.ජී.ඕ සංවිධානයන්ය. ලේකම් දඬල්ලගේ කියන්නේ තමා ඉදිරිපත්කර ඇති අභියාචනය රජය විසින් පිළි නොගතහොත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන බවකි. රාජ්‍ය යන්ත්‍රණයට අවශ්‍ය මෙවැනි කශේරුකාවක් ඇති මිනිසුන් බව රාජ්‍ය නිලධාරින්ගේ මතය වී තිබේ. ජීවිතය යනු විවිධාකාර වූ පරිච්ඡේදයනගෙන් සමන්විත වූ පොතක් වැනිය. එම පොතෙහි එක් අදුරු පරිඡේදයක් යනු මුලු පොතෙහිම අවසානය නොවන බව ඔහු සිහිතබාගත යුතුය.

යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කළුතර තෙවරප්පෙරුම ගැනනම් කියලා වැඩක් නැත. ඔහු කරන වැඩවලට කැලණියේ ආචාර්යාත් කැළේය. සියදිවි නසාගන්නට ගොස් අන්තිමට කළුතර මීගහතැන්න පාසැලේ විදුහල්පතිවරයාද බිය වද්දමින් බලහත්කාරයෙන් ඇතුල්කල දරුවන්ගේ දෙමාපියන්ද අමාරුවේ දමා හත්පොලේ ගා ගත්තේය. දරුවෙක් පාසැලකට දාගන්නට තරම් ‘යහපාලන’ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකමක් දරණ පුද්ගලයෙකුට විදුලි පංකාවක එල්ලී සියදිවි නසා ගැනීමට තැත්කිරීමට සිදුවූයේනම් එරට වැසියන් ගැන කවර කථාද? ඒ වැඩේදී නම් නීතිය ෆුල් මාර්වලස්ය. අං තිබුණ පළියට හැමතැනටම අනින්න ගියහොත් අවසානයේ සිදුවන්නේ කොට්ටෝරුවා කෙසෙල් ගසට ඇන්නා වාගේ වැඩකි.

‘යහපාලන’ ආණ්ඩුවෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවූ සැමට දැන් හත් දින්නත් තරුය. රාජ්‍ය නාට්‍ය උළෙලට කඩා වැදෙන ඔවුහු රාජ්‍ය මෙතරම් පීචංද මචං කියා ලියූ බෝඩ් ලෑල්ලක් ඔසවාගෙන වේදිකාවේ සීරුවෙන් සිටිති. කඳුළු සලති. මෙයට හේතුව කලින් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබුණු කලා මණ්ඩලය යහපාලන ආණ්ඩුව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ වීමෙන් ප්‍රතිපාදන කැපීයාමය. ආණ්ඩුවේ එම මුග්ධත්වයට එරෙහිව හඬ නඟන පිරිස් මේ කරන්නේද රඟපෑමකි. උදේට විරෝධය දක්වන ඔවුහු සැන්දෑ යාමයේ රජගෙදර උපදේශකයන්ය. එදා රාජ්‍ය නාට්‍ය උළෙල උසස් තැනක වැඩි සැලකිල්ලකින් පැවැත්වූ අතර දැන් අහසින් පොළවට වැටී නන්නත්තාරය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබදව මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ එක් ප්‍රමුඛ යෝජනාවක් වන්නේ ලංකාව අන්‍යාගමික රාජ්‍යයක් විය යුතු බවය. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ තිබෙන ප්‍රශ්න විසදීමට මිස නව ප්‍රශ්න ඇති කිරීමට නොවේ. සංහිදියාව ඇතිකිරීමට යැයි ගෙනෙන මෙම යෝජනා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි. ජාතිකත්වය හා ආගමිකත්වය යනු කිසියම් මානව සමාජයකට ඇති හැඟිම්ය. පොදු සිතුවිලිය. ජාතිකත්වය මහ පොළොවද සමඟ බැදුන මානවයාගේ සමූහික ස්වරූපයකි. තමා බැඳුනු මහ පොළොව හෝ පරිසර පද්ධතිය තුළ සිය අනන්‍යතාවය මිනිසා අපේක්ෂා කරයි. තමන්ගේම වූ මහ පොළොවක් - නිෂ්පාදන රටාවක් හිමිකර ගන්නට ජාතික අනන්‍යතාවය හට ගනි. ආගමිකත්වය සමාජීය ස්වරූපයක්ද උසුලයි. එමෙන්ම මිනිසාගේ ලෝක දැක්මද තීන්දු කරයි. එය දේශපාලනයටද බලපායි. ජාතිකත්වය මෙන්ම ආගමිකත්වය මානව ජීවයේ නොමැරිය හැකි සමාජ සාධකයන්ය. ව්‍යවස්ථා මරඋගුල ඉදිරියේදී ජාතියේ අවමඟුල වනු ඇත.

රට වටා සරසවිවල සිසු උද්ඝෝෂණයන්ට විසදුම් නැත. විවිධ සරසවිවල සිසුනට එකම සැලකිමය. ඒ මර්ධනයෙනි. පොලිස් ප්‍රහාරය. සිරගත කිරීම්ය. නඩු පැවරීම්ය. බදගිරිය, මීතොටමුල්ල, අම්පාර ඇතුළු උද්ඝෝෂණයන් රැසකට පහරදීම්ය. තැනෙක නීතියේ සාධාරණත්වය ඉල්ලා මැර ප්‍රහාරයන්ට එරෙහිව කොලොන්නාව සහ හෝමාගම ප්‍රාලේ කොට්ඨාශවලට අයත් ග්‍රාමසේවක වරුන්ද ඉකුත්දා කොලොන්නාවේදී උද්ඝෝෂණයක යෙදුනේය.

ගෙදර යන ගමන් ගන්න යනවානම් එලවළු ගිනි ගණන්ය. කාලා හමාරය. කොමිසන් දමා ඇති නිසා සිවිල් සමාජයේ ප්‍රශ්න වාෂ්පවී ගොසිනි. බොහෝ පොරොන්දු චේතිය රජුගේ පොරොන්දු වගේය. රාජ්‍ය නිලධාරින්ට වාහන බලපත්‍ර දෙනවා කීවද, වැට් බද්ද වෙනස් කරනවා බව කීවද මේ කිසිවෙකට චක්‍රලේඛන නිකුත් කිරීමක් නැත. ඉදිරියට තව තව බදු ගසනු ඇත. බස් ගාස්තුවද හෙට අනිද්දා වැඩිවූවද පුදුම නොමැත. දේශීය ව්‍යාපාරයන් බිඳවට්ටන වැට් බදු සංශෝධනයන් හකුලා ගන්නා ලෙස ඉල්ලමින් රටපුරා ව්‍යාපාරිකයෝ ලබන සිකුරාදා ජුලි 15 හර්තාලයක්ද කැඳවා ඇත.

සාධාරණ සමාජයක් උදෙසා යන ගමනේදී පුංචි ඡන්දය කල් දැම්මේ ගානට මිම්මටය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද නෝ කථාය. මෝ සිනාය. ගමේ පුංචි ආණ්ඩුවේ බලය දැන් ඇත්තේ ඡන්දදායකයින්ට නොව ආණ්ඩුවේ නිලධාරින්වූ පළාත් පාලන කොමසාරිස්වරුන්ටය. මේ සියළු කරුණු කාරණා මැද ඒකාබද්ධ විපක්ෂය ජනසටන පාදයාත්‍රාවට ගෙන ඒමට සැරසෙනවාය. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com Like us on facebook :
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions