7/12/2016

අපේ ජාතික බලවේගය කවර මගක් ගත යුතුද?

කතෘ:යුතුකම     7/12/2016   7 comments

-බණ්ඩාර දසනායක-
ජාතිකත්වයක් යනු එක් රැයකින් බිහිවන්නක් නොවේ. යම්කිසි මිනිස් ජන සමූහයක් සුවිශේෂ වූ භූගෝලීය කලාපයක් තුල එහි පාරිසරික දේශගුණික සාධක වලට විශිෂ්ඨ අනුවර්තන දරමින් ගොඩනගා ගන්නා සම්පත් පරිහරන රටාවක් ඇතුළු දියුණු මිනිස් ලක්ෂණ මත පදනම්ව ගොඩනගා ගන්නා සමස්ථ සංස්කෘතික පරිසරය ජාතික අනන්‍යතාවයක මූලික පසුබිම වේ. ලොව විවිධ රටවල් බොහොමයක් බිහි වී ඇත්තේ මෙලෙස තව තවත් වැඩි දියුණු වූ හර පද්ධතීන් හරහා විවිධ භූගෝලීය කලාප වලට ආවේනික ශිෂ්ඨාචාරයන් ඇති වීමත් සමගයි. රට රටවල ජාතිකත්වය හා එහි අනන්‍යතාවය පිළිබිඹු වන්නේ මේ ශිෂ්ඨාචාරික අනන්න්‍යතාවය භූගෝලීය කලාපයට දක්වන ආවේනිකත්වයත් සමගයි. මෙරට මිනිස් ජනාවාස ඉතිහාසය ලිඛිත ඉතිහාසයට වඩා බොහෝ ඈතට යන්නක් බව පිළිගන්නට සාක්ෂි තිබේ. අතීතයේ මෙරට විසූ විවිධ ජන කණ්ඩායම් පොදුවේ හෙළයන් වූහ. යක්ෂ නාග ආදී හෙළ ජන කණ්ඩායම් අතීතයේ මෙරට පරිසරය හා සොබාදහමේ අංගයන් කලමනාකරනය කළ ආකාරය සම්බන්ධ සාක්ෂි අනුව කෘෂි කර්මය කේන්ද්‍රගත වූ සම්පත් පරිහරන රටාවක් තිබූ බව පෙනෙන්නට ඇත. පසු කළෙක උතුරු ඉන්දියාවෙන් පැමිණි විජය පරපුර හා මෙරට ස්වදේශීය ජන කණ්ඩායම් වල සම්මිශ්‍රණයක් ලෙස සිංහල ජාතිය බිහි වී ඇති බව සිංහල ඉතිහාසය පිළිබඳ වඩාත් පිළිගත හැකි සාධකයය වේ. දේවානම්පියතිස්ස රජ සමයෙන් පසු රට තුල රාජ්‍ය අනුග්‍රහය ඇතිව බුදු දහම ප්‍රචලිත වී තිබෙන්නේ මහින්දාගමනය සමගයි. ඉන් පෙරද බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථා ගැන බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. බුදු දහම සමග මෙරටට පැමිණි ඉන්දීය දැනුම ස්වදේශීය දැනුම් පද්ධතියත් සමග ඉදිරියට යමින් ශක්තිමත් ලෙස ගොඩනැගුනු කෘෂිකාර්මික සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය ලොව අද්විතීය ලෙස පෙරට පැමිණ ඇත. ඒ අනුව ලොව අන් කවර තැනක හෝ දක්නට නැති දිගු ඉතිහාසයක් සහිත සුවිශේෂී ජාතික අන්න්‍යතාවයක් මේ රට තුල ගොඩනැගී ඇති බව ඉතා පැහැදිලිය.

ජාතික බලවේගයක් ශක්තිමත්ව ගොඩනැගිය යුත්තේ රටේ ජාතිකත්වයට සමගාමීවයි. අපේ රටේ ජාතික බලවේගය ගත යුතු මග ගැන කීමට පෙර ලොව විවිධ රටවල ජාතිකත්වයන් දුර්වල කළ සාධක ගැන යමක් කියා සිටීම වැදගත් වේ. ජාතිකත්වයක මූලික ගුණාංග පවත්වා ගැනීමට ඕනෑම ජාතියකට යම් ජාතික වගකීම් කොටසක් ඉටු කිරීමට සිදුවන්නේ නිරායාසයෙනි. මේ සඳහා යම් ජාතියකට අයත් ජන සමූහයක සාමූහිකත්වය හා ඒකාබද්ධතාවය තිබිය යුතුය. ලෝක ඉතිහාසය තුල බටහිර හා මැද පෙරදිග අතර ඇති වූ ආගමික යුධ ගැටුම් හරහා පෙරදිග දැනුම බටහිරට ගමන් කරීම තුලින් බටහිර දැනුම පුළුල් වීමත් චින්තන විප්ලවයේ ඇරඹුමත් සිදු විය. දැනුම සමග පුළුල් වූ තාක්ෂණය 17 වන සියවසේ කාර්මික විප්ලවයට මග පෑදීය. කාර්මික විප්ලවය සමග දැනුමත් තාක්ෂණයත් මෙන්ම එහි ප්‍රතිඵලද ගලා ගියේ වානිජ පරමාර්ථයන් මුල් කරගෙනයි. එතෙක් යුරෝපයේ මුල් බැසගෙන තිබූ රෝමානු කතෝලික චින්තනයේ හා කෘෂිකර්මයත් එඬේර කර්මාන්තයත් කේන්ද්‍රගත වූ ආර්ථික රටාවේ බිඳ වැටීම මේ සමග සිදු විය. ඒ සමග ඉදිරියට පැමිණියේ යුදෙවු චින්තනයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බරහිර යුදෙවු චින්තනය ශක්තිමත් වී ප්‍රධාන චින්තන ධාරාව බවට පත් වී ඇත. මිනිස් අවශ්‍යතාවයන් වෙනුවෙන් මුළු මහත් සොබාදහම වුවද කනපිට පෙරලීම දියුණුව ලෙස දකින යුදෙවු චින්තන ධාරාව සොබාදහමට ලැදි නොවූවා පමණක් නොව විවිධ රටවල ජන සමාජයේ සාමූහිකත්වය හා ඒකාබද්ධතාවයද බිඳ වැට්ටවීය. මේ තත්වය කාර්මික විප්ලවයෙන් පසු උග්‍ර අතට හැරී තිබේ.
වානිජත්වයත් පුද්ගල ආත්මාර්ථකාමීත්වයත් බටහිර ජනයා අතර සාමූහිකත්වය බිඳ වැට්ටීම ඒ ඒ රටවල ජාතිකත්වයන් දුර්වල වීමේ ප්‍රධාන සාධකයයි. රස්සාව පඩිය නිවාඩුව සේවක අයිතිය ආදීය කාර්මික විප්ලවය සමග පෙරට ආ සංකල්ප වේ. අතිරික්ත නිෂ්පාදන කතා හා පන්ති ප්‍රලාප වැනි දේ දොඩවා වීරයෙකු වීමට කාල් මාක්ස්ට මේ පසුබිම මහෝපකාරී වී තිබේ. නිර්ධන දුප්පත් ජනයාට එක්ව කටයුතු කිරීමටත් සාමූහිකව විප්ලව කිරීමටත් මාක්ස් අනුබල දී ඇත්තේ ශක්තිමත්ව පැවති ජාතික රාජ්‍ය වල ජාතික ධනය තනි තනි පුද්ගලයන් සතු කර ගැනීමේ අරමුණ මත මිස රටක මිනිස් සමාජයේ පැවැත්මට බලපාන ආර්ථික නොවන වෙනත් කිසිදු වැදගත් ගුණාංගයක් රැකීමට නොවේ. එහිදී ඊනියා නිර්ධන පන්තියේ විප්ලවයට ප්‍රධාන බාධකය ලෙස සලකා ඇත්තේ මාක්ස්වාදය අනුව රට රටවල ජාතිකත්වයන් හා ජාතික නායකත්වයයි. යුදෙවු චින්තනය තුලින්ම පැනනැගි ලිබරල්වාදයද සාමූහික වගකීම් වලින් ගැලවී පුද්ගල ආත්මාර්ථකාමීත්වය මත ක්‍රියා කිරීමේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක විය. බටහිර සමාජය රෝගාතුරු කළ තවත් ව්‍යාධිජනක මතවාදයක් උනේ කාන්තාවාදයයි. ලිංගිකත්වයේ ස්වභාවයටත් සොබාදහමටත් එරෙහි වෙමින් තමන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රී ලිංගිකත්වය කරදරයක් ලෙස සැලකීමට මෙන්ම ප්‍රතිවිරුද්ධ පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය දෙස වෛරී සහගත ලෙස බැලීමටත් කාන්තාවන් පොළඹවන මේ මායාකාරී මතවාදය එක් අතකට මිනිස් කුහකත්වයන් තොගයකම ප්‍රතිඵලයක් විය. ඒ තුලින් දියුණු මිනිස් අනුවර්තනයන් වූ ස්ත්‍රී පුරුෂ සමාජීය හා මානෝවිද්‍යාත්මක හැඩගැසීම් බිඳවැටීම හරහා ලොව ඕනෑම දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක යහපත් පැවැත්මට අත්‍යවශ්‍ය මූලික ගුණාංග වැනසෙන බව අමුතුවෙන් කිවයුතු නැත. අද බටහිර සමාජය ලිංගික වශයෙන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව තිබේ. මෙකී මතවාද අනුගමනය කරන්නන් එක්තරා ආකාරයකට ක්‍රියා කරන්නේ ඉහඳ පනුවන් මෙනි. ඉහඳපනුවන්ට සාරය උරාබොමින් වැඩෙන්නට මළකුණක් අවශ්‍යවේ. මේ විනාශකාරී මතවාද වල අනුගාමික ඉහඳපනුවන්ද කරන්නේ තමන්ට සාරය උරා බොමින් වැඩීමට හොඳින් ස්ථාපිත වූ ජාතිකත්වයන් මළකඳන් කර ගැනීමයි.

යුදෙවු චින්තනය පෙරට පැමිණ බටහිර තුල බලවත් වීමත් සමග එම චින්තන රටාවේ විවිධ පැති ඔස්සේ පැනනැගුනු මාක්ස්වාදය ලිබරල්වාදය කාන්තා විමුක්තිය පස්චාත් නූතනවාදය ආදියද ඉදිරියට ආවේ දේශපාලනය, නීතිය, අධ්‍යාපනය, දැනුම, කලාව, තාක්ෂණය ආදී සියල්ල සමග විවිධ මට්ටම් වලින් කලවම් වෙමිනි. මේ මතවාද වලින් බටහිර රටවල ජාතිකත්වයන් දුර්වල වෙද්දී එම මතවාදී සංරචකයන් අතර යම්කිසි ජාලකරනයක්ද ඇති වී තිබෙන්නේ විවිධ ජාත්‍යන්තර සංවිධාන බිහි වීම හරහායි. නමුත් දුර්වල වූ බටහිර ජාතිකත්වයන්ට මේ පන්නරය නොතිබුණි. ජාත්‍යන්තරයේ සියළුම අංශ වල බලය තිබෙන්නේත් මේ ජාතිකත්ව මාර්ගයෙන් පිට ගමන් කරන ජාතිකත්ව විරෝධී මතවාද කරපින්නාගත් පිරිසකටයි. මේ බටහිර රටවල මාක්ස්වාදී ලිබරල්වාදී හෝ කාන්තා විමුක්තිවාදී කණ්ඩායම් බටහිරදී අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පමණින් ඔවුන් ලංකාව වැනි රටවලදී ඒ ඒ රටවල ජාතිකත්වයන්ට හිතවත් යැයි සිතීම තරම් මෝඩකමක් මිහිපිට නැති තරම්ය. මාක්ස්වාදීන් ලිබරල්වාදීන් මෙන්ම කාන්තා විමුක්තිවාදීන්ද බටහිරදී අධිරාජ්‍යවාදයට එරෙහි වන්නේ ඒ ඒ රටවල ජාතිකත්වයන්ට ප්‍රතිවිරුද්ධ මතවාද තුල සිටයි. ඔවුන් ලංකාව වැනි රටවල් තුලදීද ඒ ඒ රටවල ජාතිකත්වයන්ට විරුද්ධය. යුදෙවු චින්තන රටාව තුලින් පැන නැගි මේ මතවාද අනුගමනය කරන්නන්ද උග්‍ර මතවාදී ආක්‍රමණිකයන් වෙති. මොවුන්ද වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ වෙනත් ආකාරයක යටත්විජිතවාදයක්ම වේ.
අපේ රටේ සැබෑම ජාතික බලවේගයට ජාතික මතවාද තිබිය යුතුය. එහිදී එවැනි බලවේගයක මුල් තැනක් ගත යුත්තේ රටට ආවේනික ලෙස සිතන පතන රටට ගැලපෙන අදහස් ඇති පිරිසකි. රටේ ඉතිහාසය භූගෝලීය පාරිසරික සාධක, දේශගුණික රටා මෙන්ම සම්පත් පරිභෝජන රටාව යන සියළු සාධක හමුවේ රට ගොඩනගා ජාතික අනන්‍යතාවය ලබාදුන් සිංහල බෞද්ධයන් තම රටට දක්වා තිබෙන ආවේනිකත්වය හා හැඩගැසීම් මීට අදාල වේ. අපගේ සැබෑ ජාතික ව්‍යාපාරයක් කිසි ලෙසකින් මාක්ස්වාදී නොවිය යුතුය. එමෙන්ම බටහිර දේශපාලන විග්‍රහයේ වාමාංශික දක්ෂිණාංශික බෙදීම අපට අදාල නොවේ. අපේ ආර්ථික ක්‍රමවේදයන්හි කේන්ද්‍රීය සාධකය රටට ආවේනික සම්පත් පරිභෝජන රටාව විය යුතුය. එහිදී එය සොබාදහමේ සමතුලිතතා බිඳවට්ටන බටහිර කාර්මීකරනය සමග ඇති වූ විනාෂකාරී අධික පරිභෝජනය මුල් කරගත් එකක් නොවිය යුතුය. අපේ සම්පත් පරිහරන රටාව තුල ජනයා අතර ඒකාබද්ධතාවය වැදගත් දෙයක් වේ. පුද්ගල ආත්මාර්ථකාමීත්වය අනුව තනි තනි පුද්ගලයන් වෙන් වෙන්ව ධනය රැස් කිරීමට වඩා ජාතික ධනය පිළිබඳ දැක්මක් තිබීමද ඉතා වැදගත්ය. පුද්ගල ආත්මාර්ථකාමීත්වය මත පිහිටා සමාජ වගකීම් වලින් ඈත් වීමේ නිදහස වැදගත් කොට සලකන ලිබරල්වාදයද මොන මට්ටමකින්වත් අපේ ජාතික ව්‍යාපාරය තුලට ඈඳා ගත යුතු නැත. බෞද්ධ දර්ශනය අනුව මැදුම් පිළිවෙත අපේ සම්පත් පරිභෝජනයේදී පරමාදර්ශය කොට සැලකිය යුතුය. කාර්මික විප්ලවයෙන් පසු පාරිසරික සමතුලිතතා බිඳවට්ටමින් ලෝකයට හෙන දුන් කාර්මීකරනය හරහා ඉදිරියට පැමිණි සංවර්ධන මිම්ම ඔස්සේ එහි හිනි පෙත්තට යෑමට උත්සහ කිරීම ලොව කිසිදු තැනක ප්‍රායෝගික නැත. ඒ ඒ රටවල ආවේනික සම්පත් පරිහරන රටා තවමත් සක්‍රීයව පවතී. එය එසේ නොවන්නට ප්‍රමිතියකින් තොර සංවර්ධනය හා කාර්මීකරනය මුළු ලෝකයේම යහපත් පැවැත්ම කෙටි කර හමාරය. අපට ලෝකයේ හයිය වීමට අවශ්‍යතාවයක්ද තිබිය නොහැක.

අපගේ ජාතික බලවේග තුල කිසිම විටක බටහිර කාන්තා විමුක්තිවාදයට ඉඩක් ලබා නොදිය යුතු වන්නේද පෙර කී කරුනු අනුවමය. මේ කාන්තා විමුක්ති විෂබීජය බටහිර රටවල් රෝගාතුරු කර ඇත. බටහිර ජාතිකත්වයන්ගෙන් බැහැරව යන නූතන මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයන්ගෙන් සැදුම්ලත් ජාලය ලොව වෙනත් රටවල අභ්‍යන්තර සමාජය හා ජාතිකත්වය දුර්වල කිරීමට කාන්තා විමුක්තිය අවීයක් ලෙස යොදා ගනු ලබයි. කාන්තා විමුක්තිය යනු ලිංගිකත්වයේ නියම ස්වභාවය මත පදනම් වූවක් නොව ඊට එරෙහිව ඒ කෙරෙහි ද්වේශය හා වෛරය ඇතිකරවන මතවාදයකි. ලොව කුමන දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක් සැලකිල්ලට ගත්තද ස්ත්‍රී පුරුෂ සමාජීය හැඩගැසීම් සමාජයේම පැවැත්මට අවශ්‍ය මූලික ගොඩනැගීම් වේ. ස්ත්‍රී පුරුෂ කායික හා මානසික හැඩගැසීම් යනු දියුණු මිනිස් අනුවර්තන වෙයි. ලොව ඕනෑම රටක ජාතික අනන්‍යතාවය පිළිබිඹු කිරීමට අවශ්‍ය සමාජ සංස්කෘතික පරිසරය නිර්මාණය වීමේදීද මේ දියුණු මිනිස් අනුවර්තනයන් එහි මූලික පදනමක් ලෙස ක්‍රියා කරයි. බටහිර කාන්තා විමුක්තිවාදය මේ කිසිවක් පිළිනොගනී. මිනිස් ලිංගිකත්වයේ පැහැදිලි මනෝවිද්‍යාත්මක සාධකයක් ඇත. එහි සංකීර්ණබව අනුව මිනිස් වර්ගයාගේ පිරිමි ලිංගිකත්වය කායික වශයෙන් පමණක් නොව මනෝවිද්‍යාත්මකවද ගොඩනැගීමේ දැඩි අවශ්‍යතාවය මත පීතෘත්වය යන සාධකය දියුණු මිනිස් ලක්ෂණයක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. එය පිළිගන්නට අකමැති කුහකයින් කුමක් කීවද සත්‍ය එයයි. විෂමලිංගික පීතෘමූලිකත්වය මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය සමග වඩා හොඳින් ගැලපෙමින් මිනිස් සමාජයන් ගොඩනැගීමේ වඩා සාර්ථක ආකෘතිය බවට පත් වී ඇත්තේ එලෙසයි. කුහක කාන්තා විමුක්තිවාදයේ වෛරයට පාත්‍ර වී තිබෙන්නේද මේ කාරනාවම වේ.
ලොව වෙනත් රටවලදී මෙන්ම බටහිර කාන්තා විමුක්තිවාදය අපේ රටේදීත් සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි වෙයි. කාන්තා විමුක්තිකාමීන් ගෙනයන ජාතිකත්ව විරෝධී වැඩපිළිවෙලෙහි ප්‍රධානම අංගය වන්නේ සිංහල සමාජය දුර්වල කිරීමයි. අපේ රට තුලත් පුරුෂයා හා පුරුෂ ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි මෙන්ම පවුල කෙරෙහි ද්වේශසහගත අදහස් වපුරමින් කාන්තා සමාජය විසංවිධානය කිරීම කාන්තා විමුක්තිකාමීන් ඒ සඳහා යොදන එක් උපක්‍රමයකි. කාන්තා විමුක්තිවාදයේ පදනම විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය නොවේ. කාන්තාවන්ට පිහිටන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයද කරදරයක් ලෙස සලකමින් පිරිමි ලිංගිකත්වය පවා පිස්සුවෙන් අනුකරනය කිරීම කාන්තාවන්ගේ ජයග්‍රහනයක් ලෙස සලකන කාන්තා විමුක්තිය කාන්තාව යනු ගැහැනු මිනිස් ජීවියාය යන කාරනයද පිළි නොගැනීමට තරම් විකුර්ති අදහස් වලින් පිරී ඇත. මේ විකුර්ති කාන්තා විමුක්තිවාදය විෂමලිංගික ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත් සියල්ලට වඩා වෛර කරන්නේ එය විෂමලිංගික පුරුෂ අනුවර්තනයන්ට හා පීතෘත්වය යන සාධකවලට තිබෙන කායික මෙන්ම මානසික සමරූපී බව නිසයි. කාන්තා විමුක්තිය පසුපස සිටින්නේ විශේෂයෙන්ම ගැහැනු පිරිමි දෙපාර්ශවයේම සමලිංගිකයන් දෙබිඩ්ඩන් හා ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ හැසිරීම් ඇති කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම් වලින් ව්‍යාකූල හැසිරීම් ඇත්තවුන්ය. ඔවුන් තර්ක කරන්නේ ඔවුන්ගේ විකුර්ති හැසිරීම් වලට මග පෑදූ සියළු සමාජ දුර්වලතාවයන්ට පිළිගැනීමක් ලබාදී තවත් පෝෂණය කළ යුතු බවටයි. ඔවුන්ට අනුව අපේ සිංහල සමාජයේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් හා ජාතිකත්වයේ වගකීම් කාන්තා විමුක්තියට බාධක වේ.

සිංහල බෞද්ධ ජාතික බලවේගයේ සියළු දෑහිතකාමී වැඩසටහන් වලදී කාන්තාවන්ට සුවිශේෂී ජාතික වගකීම් කොටසක් පැවරිය යුතුය. එහි පදනම විය යුත්තේ සිංහල සමාජයේ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් හා කාන්තා සමාජයේ විශේෂනයන්හි පසුබිම වන විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වයයි. පුරුෂයාට එරෙහිව සටන්වැදීම පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කරමින් සම අවස්ථා ඉල්ලීම සිංහල බෞද්ධ කාන්තා සමාජයට අදාල නැත. ජාතික අනතුරකදී වුවත් කාන්තාවන් සටන් මෙහෙයවීට යොදා ගතයුතු නොවේ. ඊට පිරිමි පාර්ශවය ප්‍රමාණවත්ය. ඇතැමුන් සිතන පරිදි විහාරමහදේවිය අතීතයේ රට වෙනුවෙන් මුහුදට බිළි වීම හා වලගම්බා රජුගේ බිසව කරත්තයෙන් බිමට පැන සතුරාට බිලිවී රජුට පලා යෑමට සැලැස්වීම වැනි සිද්ධි කාන්තාවන් කඩු පොලු අවි ගෙන සටන් වැදීමට සමාන වන්නේ නැත. ස්ත්‍රීත්වයේ විශේෂණ මත මානසික හැඩගැසීමක් නොදක්වන සටන්කාමී මෙන්ම සමාජයේද පිරිමින්ට සුවිශේෂ වූ ක්‍රියාකාරකම් වල නිරත වීමට උත්සහ කරන කාන්තාවන්ට පුරුෂ මානසික නැඹුරුවක් ඇත. කිසි ඉවක් බවක් නැතිව ජාතික අනතුරු වලදී මෙවැනි කාන්තාවන්ට සටනට එන්නට ආරාධනා කළහොත් අවසානයේ සිදුවන්නේ සියළු සටන් වලින් පසුව මේ ව්‍යාකූල හැසිරීම් ඇති කාන්තාවන් බටහිර කාන්තා විමුක්තියේ මතවාද සමග අත්වැල් බැඳ ගැනීමයි. බටහිර කාන්තා විමුක්තිය යනු ජාතික මතවාදයක් නොව රටටත් ජාතියටත් හෙනයක් වන විජාතික මතවාදයකි. සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදී ඒ වටා ඇති අනෙකුත් සියළු ව්‍යාකූලත්වයන්ද සාධාරණීකරනය කිරීම බටහිර කාන්තා විමුක්තිවාදයේ ප්‍රධාන කොන්දේසියක් බව අප තරයේ සිහි තබාගත යුතු වේ. එබැවින් ජාතික බලවේග ජාතික අරමුණු කරා ගමන් කිරීමේදී විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය මත පිහිටා කාන්තාවන්ට සුවිශේෂී ජාතික වගකීම් කොටසක් පැවරීම වඩා වැඩදායකය.

පාරිසරික සමාජ සංස්කෘතික හා දේශපාලන අංශ තුලදීත් ජාතික බලවේග වලට තිබිය යුත්තේ රටට ආවේනික මතවාද වේ. පාරිසරික වටිනාකම් තුට්ටුවට මායිම් නොකරන සංවර්ධන මිථ්‍යාව පසුපස දුවමින් ලෝක පරිසර දින සැමරීම අපට අදාල නැත. රටේ ස්වභාවික පාරිසරික සමතුලිතතාවයන් ගැන රටට ආවේනික මිනිසුන්ට නිසි අවබෝධය ඇත්නම් රටට ආවේනික වූ පරිසරහිතකාමී සම්පත් පරිහරන රටාවක් රටේ ජනතාවට නිසි පරිදි පවත්වාගෙන යා හැකිනම් අප ඌන සංවර්ධිත යැයි කියා කලබල වෙන්නට දෙයක් නැත. අපට පළමුව අප ගැන මිම්මක් තිබිය යුතු වේ. අනෙකුත් ජාත්‍යන්තර දින සැලකුවත් ඒ සියල්ල හරහාද සිදුවන්නේ බටහිර මතවාදී ආක්‍රමණයම පමණි. අපට සංවර්ධනය පිළිබඳ ලෝක බැංකුවේ ප්‍රලාප වැඩකට නැත. වෙනත් එකක් තියා අපේ මහ බැංකුවේ සංවර්ධන ඉලක්ක වාර්තා හෝ අප ගනනකට ගත යුතු නොවේ. ඒ වෙනත් කිසිවක් නිසා නොව විජාතික මතවාදී ආක්‍රමණය ජාතිකත්වයට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාරයක් ලෙස සංවර්ධනය යන්න ක්‍රියාත්මක වීමයි. මේ මතවාදී ආක්‍රමණයේ අනික් කොටස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් හා බටහිර නූතනත්වයේ ව්‍යාජනයන් වේ. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වැනි සංකල්ප මේ වන විට බටහිර නූතන මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයා විසින් අවස්ථාවාදීව යොදා ගැනෙන්නේ ඔවුන්ගේ නූතනත්වයේ ආකෘතියට අනුගත නොවන ලොව වෙනත් රටවල සංස්කෘතීන් හා චින්තන රටා බිඳ වැට්ටවීමටය. බටහිරනම් මොනම දෙයක්වත් එපා යන අන්තයටද අප නොයා යුතුය. අපට අපේ සමාජ පරිසරය තුලට ගැලපෙන ලෙස ආදේශ කරගත හැකි යමක් බාහිරින් එක්කර ගැනීම වරදක් නොවේ. එමෙන්ම තමන්ට හොඳ යැයි හිතෙන බටහිර විජාතික මතවාද පවා බුදු දහම සමග අවිචාරයෙන් ගලපන්නටත් තමන්ට නරක යැයි හිතෙන සියල්ල ඒවායේ වටිනාකම් ගැන විචාරයකින් තොරව අධිරාජ්‍යවාදයටත් බයිබලයටත් ගැටගසා පහර දීම වැනි ඇතැමුන්ගේ ක්‍රියාකලාපයන්ද පිළිගත නොහැක. ජාතික මතවාද ඉදිරියට ගෙන යෑමේදී විචාරයක් තිබීම ඉතා වැදගත් වේ. ජාතික බලවේගයට පැහැදිලිවම දේශපාලනයක් තිබිය යුතුය. එහෙත් එය පක්ෂ දේශපාලනය විය යුතු නොවේ. බටහිර ප්‍රජාතාන්ත්‍රික කුණු සියල්ල ජාතික බලවේගයේ අංග විය යුතුද නැත. ජාතික බලවේගයට තිබිය යුත්තේ ජාතික දේශපාලනයකි. ජාතික අරමුණු ජයග්‍රහනය කරවීම ප්‍රමුඛත්වයේ ලා කටයුතු කිරීම ජාතික දේශපාලනයේ ප්‍රධාන වගකීම විය යුතුය. ජාතික අරමුණු වලට පටහැනිව කටයුතු කරන අවස්ථාවාදී දේශපාළුවන් අත් හැර දැමීමට ජාතික බලවේග හැමවිට ක්‍රියා කළ යුතුය.

රටේ වර්තමාන තත්වය ජාතික බලවේගය පැත්තෙන් බැළුු කළ වර්තමානය වන විට අප විසින් ජය ගත යුතු ජාතික අරමුණු බොහොමයක්ම ඇත. මේ කරුනු කාරනා තේරුම් ගැනීමටනම් ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම මුලින් තේරුම් ගත යුතුය. ජාතික මතවාද හා විජාතික මතවාද වෙන්කර හඳුනා ගැනීමට සංවේදී වීමද මෙහිලා වැදගත් දෙයකි. විජාතික බලවේග වල උප්පරවැට්ටි වලට හසු නොවී ජාතික බලවේග ඉදිරියට යමින් විජාතික සතුරු කඳවුර පැරදවීමේදී උපක්‍රමශීලී වීමද වැදගත් වේ. විජාතික බලවේග විසින් ගොඩනගන රැවටිලිකාර හොර ජාතික බලවේග ගැනද අවදියෙන් සිටිය යුතුය. අප ජාතියක් ලෙස පැනගත යුතු මූලික කඩයිම් තුනක් ගැන මින් පෙරද කීවෙමු. එය නැවතත් මතක් කරගත යුතුය. එහි මුල් කඩයිමනම් අප මේවන විටත් පැනගෙන හමාරය. ඒ කොටි ත්‍රස්තවාදය අවියෙන්ම පරාජය කරමිනි. දෙමළ ජාතිවාදය මතවාදීව මුලිනුපුටා දැමීම හා රටට ආවේනික සිංහල බෞද්ධයන් තම රටට තිබෙන අයිතිය ගැන පැහැදිලි මතයකට පැමිණීමත්, රටට ආවේනික ලෙස සිතන පතන ජනයා රටේ තීරක බලවේගය කරගනිමින් රටත් ජාතියත් දුර්වල කළ සියළු විජාතික මතවාදයන්ගෙන් ගැලවීම අනෙක් කඩයිම් දෙකයි. ව්‍යාජ දෙමළ නිජභූමි සංකල්පයත් සමග දෙමළ ජාතිවාදය මුලිනුපුටා දැමීමේ කාර්ය අඩපන කළේ මෙරට මාක්ස්වාදීන් ලිබරල්වාදීන් කාන්තාවිමුක්තිවාදීන් ආදී විජාතික මතදාරී ව්‍යාජ උගතුන් රැලයි. කොටි ත්‍රස්තවාදය පැරදවීමේ ජාතික සටනටද අකුල්හෙළුවේ මේ පිරිස හා රනිල් වික්‍රමසිංහගේ විජාතික එ.ජා.ප යයි. අද නැවතත් දෙමළ ජාතිවාදය සමග එහි මතවාදී ආවතේව කරුවන් ශක්තිමත් වී ඇත. දෙමළ ජාතිවාදය නියෝජනය කරන්නේ බටහිර මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයා මිස සැබෑවට දෙමළ ජනතාවත් නොවේ. කලකට පෙර මේ ආක්‍රමණිකයාට සහයට කොටි ත්‍රස්තවාදියාද සිටියේය. රටට ආවේනික ජනයාගේ සිතුම් පැතිම් සඵල කර මෙකී තුන්වැනි කඩයිම පැනීමේ ජාතික අරමුණ කරා යෑමටනම් දෙවන කඩයිම පැන ගත යුතුමය. දැන් එය නැවතත් අපහසු තත්වයකට පැමිණ ඇත්තේ විජාතික ගැති රජයක් බිහිවීම තුලිනි. දැන් ජාතික බලවේගය කළ යුත්තේ ජාතික මතවාද තුල පිහිටා විජාතික බලවේග පැරදවීමට සිංහල බෞද්ධයන් අතර ඒකාබද්ධතාවය ඇතිකිරීමයි. බටහිර අධ්‍යාපනයෙන් මොළ කුරුවල් කරගෙන සුළු ජනකොටස්වල ස්වයංපාලන බෙදුම්වාදී පිස්සන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ බොරු ජාතික සමගි අධි ශික්ෂණයෙන් ජාතිය ගලවාගෙන පියවි සිහියට ගැනීමද ජාතික බලවේගයේ වගකීමකි. කළක සිට ජාතික අරමුණු යටපත් කර අවස්ථාවාදී කපටි දේශපාළුවන්ට බලය අල්ලා ගැනීමට යොදාගන්නා පුද්ගල ආත්මාර්ථකාමීත්වය ඉලක්ක කරන මහජනතාව හා ජනතා අපේක්ෂා යන සංකල්ප වෙනුවට සිංහලයන් අතර ඒකාබද්ධතාවය ඇති කර ජාතිය හා ජාතික අරමුණු යන සංකල්ප දේශපාලනය තුලටත් චන්ද සටන තුලටත් ආදේශ කළ යුතුය. එවිට මෙකී දෙවන හා තෙවන කඩයිම් සියල්ල පැන ගැනීම අපහසු නොවනු ඇත. ඒ සියල්ල කිරීමට ජාතික බලවේගය ගත යුතු මග වන්නේ පළමුව විජාතික බලවේගවල විජාතික මතවාද පැරදවීමට ජාතික මතවාද ශක්තිමත් කිරීමයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. අලුත් විදියකට ප්‍රශ්නය දෙස බැලීමක්. කියන්න දෙයක් නෑ හැම දෙයක්ම ලෙසටම කියල තියනව. බන්ඩාර මහත්මයා දිගටම ලියන්න.ජයවේවා

    ReplyDelete
  2. ජාතික බල්ලවේග හැම විටම අනගාරික ධර්මපාලතුමාගේ දැක්ම ආදර්ශයට ගත යුතුයි

    ReplyDelete
    Replies
    1. අපේ දේසපාලකයෝ මෙච්චර කල් කළේ බොරුවට අනගාරික ධර්මපාල පිළිරුවට මල්මාල දාපු එක විතරයි. එතුමාගේ දැක්ම ආදර්ශයට ගත්තේ නෑ.

      Delete
  3. Good opinion

    ReplyDelete
  4. Bayi aathal! Hiks! 😁

    ReplyDelete
  5. ඉතා වටින අදහස් ටිකක්

    ReplyDelete
  6. Genuine,well said bro.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions