7/05/2016

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල (PMC) එපා නම් අපේ විකල්පය කුමක්ද?

කතෘ:යුතුකම     7/05/2016   No comments

-සංඛ රන්දෙනිකුමාර-

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සටන උද්වේගකර හා තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබේ.බොහෝ විට ඉදිරි සතිය තුළදී ශ්‍රී ල0කාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය තීරණය වනු ඇත. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට වගකියන වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොර හා ඉන් ප්‍රතික්ෂේප වූ ඊනියා වෛද්‍ය විද්‍යාලයක්යැයි කියා ගන්නා ආයතනයක ඉරණම අධිකරණ තීන්දුවකින් වෙනස් වුවහොත් එය වෛද්‍ය අධ්‍යාපනයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට සෘජුවම බලපානු ඇත.

කෙසේ වුවද අපේ රටේ සමහරක් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ආවඩන බව රහසක් නොවේ.
ශ්‍රී ල0කාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද?
එසේ නම් ඒ ඇයි?
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව කියන්නන් එය සාධාරණීකරණය සඳහා ප්‍රධාන හේතු 2ක් ඉදිරිපත් කරන බව පෙනේ.
1. මෙරට වෛද්‍ය විද්‍යාලවලට සීමිත පිරිසක් පමණක් 'දිස්ත්‍රික් පදනමක්' යටතේ බඳවාගැනීම හා එවිට යාන්තම් වෛද්‍ය විද්‍යාලය මඟ හැරෙන පිරිසට සාධාරණයක් ඉටු කළ යුතු වීම
2. මෙරට වෛද්‍ය විද්‍යාලවලට යෑමට නොහැකිව විදෙස්ගතවන පිරිස හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වීම

බැලූ බැල්මටම මෙම කරුණුවල සාධාරණයක් ඇති වගක් පෙනේ. ඉහත කරුණු මඟහරවා ගැනීම සඳහා අප කළ යුත්තේ හතු පිපෙනවාක් මෙන් PMC බිහි කිරීමද?

ඉහත සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලෙස PMC බිහිකළ යුතුමයැයි පවසන්නන්ගෙන් බහුතරයක් සැබැවින්ම එම ප්‍රශ්නවලට විසඳුම් අපේක්ෂා කරන්නන් නොව තම දරුවන් කෙසේ හෝ වෛද්‍යවරුන් කරගැනීමට පරම අභිලාෂයෙන් පෙළෙන එක්තරා මූඪ උන්නතිකාමීන් පිරිසක් වෙති. ඒ පිරිස අතර බස් මුදලාලිලා, දේශපාලකයින් මෙන්ම නිදහස් අධ්‍යාපනය නොතිබිණි නම් වෛද්‍යවරයෙකු වීමට සිහිනෙන්වත් ඉඩ හසර නොමැති වූ වෛද්‍යවරුන් ද බොහෝමයක් සිටීම දෛවයේ සරදමක් විය යුතුය. මින් බහුතරයකට තම දරුවාද වෛද්‍යවරයෙකු කර ගැනීමට අවශ්‍යව ඇත්තේ සමහරක් වෛද්‍යවරුන් ආරෝපණය කරගෙන ඇති වෙනම සමාජ තත්වය, සිවිල් බලයේ උද්දාමය හා තනතුරේ ආලෝකයෙන් ගිනි කණ වැටීම නිසා විය යුතුය. වෛද්‍ය වෘත්තිය උතුම් වෘත්තියක් බව සැබෑය. එහෙත් වෛද්‍යවරුන් යනු අනෙක් අයට වඩා උසස් වෙනම සමාජ පන්තියක් නොවේ. විය යුතු ද නැත. එසේම රටේ ඇති සෑම වෘත්තියක්ම වෛද්‍ය වෘත්තිය සේම රටට වැදගත් බවද, කැපවීමක් ඇත්නම් ඒ සියල්ලෙන්ම පෞද්ගලික හා වෘත්තීය දියුණුවක් ලබාගත හැකි බවද තේරුම් ගැනීමට තරම් ඥානනයක් උගතුන්යැයි කියාගන්නා බොහෝ දෙනෙකුට හිමිව නොතිබීම මීට හේතුව විය යුතුය. එහෙත් රටේ සියළු දෙනාටම ඔවුන්ගේ හෝ දෙමව්පියන්ගේ අවශ්‍යතාව මත පමණක් වෛද්‍යවරු විය හැකිද? එසේ විය යුතුද?
කිහිප දෙනෙකුගේ පරමාර්ථ සාධනය සඳහා නීතියේ සිදුරු සොයමින්, දේශපාලන බලය අවභාවිතා කරමින් අටවාගත් ව්‍යාපාරික අරමුණු සහිත ''වෛද්‍ය විද්‍යාලයක්'' යැයි කියා ගන්නා ආයතනය නිසා රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලින් සිදුවන බුද්ධි ගලනය හා ඒවාට ඇතිව තිබෙන තර්ජන අපි දකිමු. එසේම එවන් ආයතනයකින් රැවටීමට බඳුන් වන්නේ ද අපේම සමාජයේ දූ දරුවන් පිරිසකි. පාඨමාලාවට නොගැලෙපෙන මිලක් ගෙවමින් කෙසේ හෝ වෛද්‍යවරයෙකු වීමට ඉගෙනගන්නා ඔවුන් හසුව සිටින්නේ වෛද්‍ය විද්‍යාලයකට රෝහලක් ඇවැසි බව නොදන්නා, අධ්‍යාපනය සඳහා රෝගීන් පැමිණෙන රෝහලක් තනා ගැනීමට බැරි ව0චාකාරී ව්‍යාපාරිකයෙකුට, එපමණක් නොව ශ්‍රී ල0කා වෛද්‍ය සභාවේ අනුමැතිය කෙසේ හෝ ලබා ගැනීමට එයට තර්ජනය කරන මැර රැළකට නොවේද?. සමාජ ප්‍රශ්න දඩ මීමා කරගෙන අපේ රටේ වෛද්‍ය අධ්‍යාපන‍ය හා සෞඛ්‍යය වනසන්නට මෙවන් තක්කඩියන්ට ඉඩ දිය යුතුද?
වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිලි නොදී සහ එහි විශ්වාසනීය බව රඳවා ගනිමින් ඉහත සඳහන් කෙරුණු ගැටළුවලට පිළිතුරු සොයන්නේ කෙසේද?

අපේ අදහස නම් PMC සඳහා කඩේ යෑම මෙන්ම, විකල්ප විසඳුමක් නොපෙන්වා ''NO PMC'' යනුවෙන් මොර දීම යන දෙකම අන්තගාමී වීමකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන්, යන්තම් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල අහිමි වන බහුතරයකට කිසිදු සෙතක් අත් නොවන්නේ බොහෝ දෙනෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට රුපියල් ලක්ෂ 120ක් ගෙවීම යනු සිහිනයක් පමණක් වන බැවිනි. මේ රටේ බහුතරයක් දෙනා පහළ මධ්‍යම පන්තියට සහ අඩු ආදායම්ලාභීන් ගණයට ඇතුළත් වන බව මෙවැනි අපූරු විසඳුම් යෝජනා කිරීමට පෙර අප සිහි තබා ගත යුතුය. බහුතරයක් ග්‍රාමීය පාසල්වල වාඩිවීමට ඩෙස් බ0කු නැති රටක, සාමාන්‍ය පෙළට උසස් පෙළට ඉගැන්වීමට ගුරුවරු නැති රටක, රජයක ප්‍රමුඛතාව විය යුත්තේ මුදල් ඇති අයට පමණක් විවෘත පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට වලිකෑම නොවන බව මගේ විශ්වාසයයි. ඒ අනුව ධනයට බලයට නොව දක්ෂයාට තැන ලැබෙන වඩා සාධාරණ ක්‍රමයක් පිළිබඳව අප සිතිය යුතුමය.
එපමණක් නොව වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නම් ලාභ ලැබීම අරමුණු කරගත් පුද්ගල මූලික ආයතනවලට ඒවා හැසිරවීමේ බලය ලබා දීම සුදුසු නොවන බව ගෝලීය අත්දැකීමයි. ලෝකයේ අධ්‍යපනයේ ගුණාත්මකභාවය රැකගත් රටවල පිළිගත් වෛද්‍ය විද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්ව විද්‍යාල වන අතර එසේ නොවන ඒවා කිහිපය ලාභ ඉපයීම අරමුණු කර නොගත් සමාජ සුභසාධනයට කැපවූ ස0විධාන සතු ඒවා වෙයි. එසේ නොමැතිව ශ්‍රී ල0කාවේ මෙන් මූල්‍ය සක්විත්තන් විසින් හසුරුවමින් මුදල් ගරන, දේශපාලකයන්ට අල්ලස් දෙන, සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින්ම විභාග අධීක්ෂණය කර සියල්ලන්ටම පන්ති සාමාර්ථ ලබා දෙන තුට්ටු දෙකේ 'වෛද්‍ය විද්‍යාල' එවන් රටවල නැත!

මෙහිදී අප යෝජනා කරනුයේ අපේ රටේ වර්තමානයේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගන්නා අතරේම වැඩි දක්ෂයන් පිරිසකට සරසවි වරම් හිමි කර දීමට රාජ්‍ය විශ්ව විද්‍යාල ගාස්තු ගෙවා අධ්‍යාපනය ලැබීමට ද විවර කළ යුතු බවයි. (මේ කරුණ ඇසීමෙන් ඊනියා සමාජවාදීන්ට හෘදයාබාධ නොසෑදෙනු ඇතැයි අපේක්ෂා කරමි! ) අප කරන මේ යෝජනාව නිදහස් අධ්‍යාපනයේ හිතසුව පිණිසම වනු ඇත. මෙහිදී කුසලතාවට ප්‍රමුඛතාව ලබා දිය යුතුමය. ඒ සඳහා සුදුසු කඩයිම් Z අගයන් තීරණය කළ හැකිය. ඉහළම Z අගයන් හිමි වූවන්ට වෙනදා මෙන්ම ගාස්තු ගෙවීමකින් තොරව සරසවි අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථා විවර වනු ඇත. ඉන් පසු එක්තරා Z අගයක් ඉක්මවූ පිරිසට ගාස්තු ගෙවන පදනම මත වෛද්‍ය අධ්‍යාපනය ලබා ගත හැකිය. මෙහිදී අයවන ගාස්තුව ද අධ්‍යාපනය ''බිස්නස් එකක්'' කරගත් ආයතනයකට වඩා සාධාරණ වනු ඇති සේම අධ්‍යාපන සුදුසුකම්වල පාරදෘශ්‍යභාවයක් සහිතව (ධනවත්, බලවත් දෙමව්පියන්ගේ ඕනෑ එපාකම් සැපිරෙනු වෙනුවට ) සුදුසුම පුද්ගලයන් සරසවි ප්‍රවේශය ලබනු ඇත. මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රාජ්‍ය බැ0කු හරහා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීම තුළින් මුදල් ඇති දක්ෂයාට පමණක් නොව සියලුම දක්ෂයන්ට සාධාරණ වන පරිදි අධ්‍යාපනයේ අවස්ථාවන් ඉහළ නැ0වීමට හැකි වනු ඇත. එසේම මින් ජනනය වන මුදල් යොදා ගෙන නිදහස් අධ්‍යාපනයේ අවස්ථාවන් හා විශ්ව විද්‍යාලවල පහසුකම් පුළුල් කිරීමට නිසැකවම හැකිවනබව පැහැදිලිය. මෙවන් ක්‍රමයක් ප්‍රථමයෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා අත් හදා බැලීමෙන් අනතුරුව අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා ද ක්‍රියාවට නැඟීමට හැකිවනු ඇත.

වෛද්‍යවරුන් බිහිකිරීම වැනි වඩාත් වගකීම් සහගත හා ස0කීර්ණ ක්‍රියාවලියක් මුදලට ගිජු වූ ව්‍යාපාරිකයන්ට පැවරීමට වඩා රජයේ පූර්ණ වගකීම හා අධීක්ෂණය යටතේ සිදු වීම තුලින් වර්තමානයේ ඊනියා ''වෛද්‍ය විද්‍යාලය''ට එල්ලවී ඇති ගුණාත්මකභාවයේ පිරිහීම හා පක්ෂපාතීත්වය වැනි චෝදනා ඉවතලන්නට හැකිවනවා සේම, ධනය, බලය වැනි කරුණු මත පදනම් නොවී සැබෑ දක්ෂයින් වැඩි පිරිසකට අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කිරීමට හේතු වනවා නිසැකය.

මේ වන විට ETCA ගිවිසුමට එරෙහිව සිදු කරන කාර්යභාරය දකින කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස0ගමය (GMOA) සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිතිවලට ට මෙවැනි ප්‍රතිපත්තියක් ඇති කර ගනු වස් රජයට බල කිරීමේ වගකීම පවතිනවා සේම ඒ සඳහා හැකියාවක් ද ඇති බව අපි උදක්ම විශ්වාස කරමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com