7/02/2016

අඳුරු ව්‍යසනයෙන් රට මුදවාගැනීමට : අලුත් පෙරමුණක්

කතෘ:යුතුකම     7/02/2016   No comments

-ධර්මන් වික්‍රමරත්න-

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් සහ බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගෙන ආණ්ඩු විරෝධී සහ රට දිනවන නව ජාතික ව්‍යාපාරය පිළිබඳව විවිධ විග්‍රහයන් ඉකුත් මාස කිහිපය තුළ අසා, කියවා, දැක ඇත්තෙමු. එහෙත් ඒ බොහෝ විග්‍රහයන් මතුපිටින් බලා කරන ලද පාර්ශ්වීය පටු ඒවා වූ නිසා නිවැරදි නොවීය. ගොඩනැගෙන ආණ්ඩු විරෝධී ජාතික දේශපාලන ව්‍යාපාරය ගැන ඇතැමුන් බලනු ලැබුවේ නිවැරදි දෘෂ්ටි කෝණයකින් නොවේ. නිවැරදි විධික්‍රමයකින්ද නොවේ. බිහිවෙමින් පවත්නා නව දේශපාලන බලවේගය තේරුම් ගැනීමට එජාපයේද, ‘යහපාලන’ ආණ්ඩුවේ ඇමති වරදාන ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගෙන් යැපෙන අයටද, ‘යහපාලන ආණ්ඩුවේ පිහිටෙන් ජීවිකාව සරුකර ගන්නා කණ්ඩායම්, කල්ලි සහ පුද්ගලයින්ගේද පටු දෘෂ්ටීන් කොහෙත්ම සෑහෙන්නේ නැත. ඔවුන්ගේ විග්‍රහයන් අන්ධයන් අලියා ගැන පැවසූ කථා වැනිය.

ලංකාවේ වර්තමාන සමාජ ආර්ථික අර්බුදය හුදු ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙන් ඔබ්බට ගිය එකකි. එය ශ්‍රී ලංකාවේ අභිමානයේ තටු සිඳ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි රටවල් විසින් මව්බිම යටත් විජිතයක් කර ඔවුන්ගේ පිලිකන්නක් බවට පත්කරගැනීමේ අරමුණ මුදුන්පත් කරවාගැනීම සඳහා වර්තමානයේ ආණ්ඩුව ලවාම ක්‍රියාත්මක කරවන අදිසි සැලසුමකි. ශ්‍රි ලංකාව වර්තමානයේ අර්බුදයට විසදුම් සෙවිය යුත්තේ ප්‍රතිසංස්කරණ තුළ හෝ හුදකලා අරගල තුළ නොව සැබෑ ජාතික නිදහස දිනා ගැනීම සඳහාවු අරගලයන් තුළ නව පන්නයේ ජාතික බලවේගයක් හරහාය. එම සමාජ පරිවර්තන ක්‍රියාවලියේදී ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් පක්ෂ, පාටභේද අමතක කර කොන්දේසි විරහිතව ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් ගොඩනැගෙමින් පවත්නා නව ජාතික බලවේගය සමඟ එක්විය යුතුය. එක්කරගත යුතුය. ලාංකීය රාජ්‍ය දුබල කොට දියකර හැරීම පරාජය කිරීම සදහා වර්තමානයේ ප්‍රමුඛතම කාර්යයක්ද එය වේ.

නව ජාතික බලවේගයේ නැවුම් ගමන හෙට සිට එනම් ජුලි 2 සිට 4දක්වා ආරම්භ වන්නේ ඓතිහාසික ඌව වෙල්ලස්සෙනි. ආණ්ඩු විරෝධී බලවේගයන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් එක ධජයක් යටතේ පෙළගැස්සීමට ශ්‍රිලනිප මහජන පාර්ශවයේ ක්‍රියාකාරිකයින් දහසකට අධික පිරිසක් බදුලු දිස්ත්‍රික්කයේ ආසන 9ක ගම් නියම්ගම් සැරිසරනු ඇත. එයට නායකත්වය දෙමින් ශ්‍රිලනිප මහජන පාර්ශවයේ මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නායකයින්, ජුලි 2වන සෙනසුරාදා හල්දුම්මුල්ල , හපුතලේ, වැලිමඩ, ඌව පරණගමද ජුලි 3වන ඉරිදා බණ්ඩාරවෙල, හාලිඇල, බදුල්ල, පස්සර, ලුණුගලද ජුලි 4වන සඳුදා සොරණාතොට, මීගහකිවුල, කන්දකැටිය, රිදීමාලියද්ද පෙතියාගොඩ කෙසෙල්පොත සහ මහියංගණයේ ඇතුළු ස්ථාන 16ක පැවැත්වෙන මහජන රැස්වීම්වලට සහ ජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් සියගණනකට සහභාගි වනු ඇත. එය සංවිධානය කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභා 1ක නගරසභා 2ක සහ ප්‍රාදේශීය සභා 15ක පළාත් පාලන ආයතනයන්හි හිටපු මන්ත්‍රීවරුන්වරුන්ය. දැනටමත් මෙම රැස්වීම් තබන ගොඩනැගිලි සහ පිට්ටනිවලට අවසර දීමේ තහංචි සහ බාධකයන් රැසකි.

ඕනෑම වැඩක කොටන් ඇදීමටද පෙරහැරේ යාමටද පිරිසක් සිටී. පෙරහැරේ යන අය පෙරහැරේ යනවා පමණක් නොව කොටන් අදින අයගේ අඩුපාඩු පමණක්ම විවේචනය කරමින් ගමන් කරන්නේනම් එය අනුචිතය. නෙල්සන් මැන්ඩලා වරක් ප්‍රකාශ කරන පරිදි හැමදෙයක්ම කරනකල් අපට පේන්නේ කරන්න බැහැ කියාය. බොහෝ විට ජීවිතයේ වටිනාම දේවල් අප වෙත පැමිණ ඇත්තේ දිරිය මිනිසුන් කිහිපදෙනෙකුගේ ආරම්භයකිනි. යහපාලන’ ආණ්ඩුව තුළ සිටින ශ්‍රිලනිප ඇමතිවරුන් ශ්‍රිලනිප පාක්ෂිකයින් ඇතුළු ප්‍රගතිශීලින් වෙනුවෙන් පෙනී සිටින බව කීවද එහි සත්‍යයක් නැත. එජාප ඇමතිවරුන් සහ ශ්‍රිලනිප ඇමතිවරුන් දෙපිරිසම යා දෙක නොරත රත කීවද එය බොරුය. ඔවුහු තකට තකය. ගමරාලගේ කුකුල් කොටුව බලා ගැනීම නරියාට බාරදුන්නා සේ නිල ශ්‍රිලනිපයද නායකත්වය හිමිව ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේ ශ්‍රිලනිපය සහ එය නියෝජනය කල බලවේගයන් පරාජය කල එජාප ඇතුළු ප්‍රතිවාදී පිලේ අපේක්ෂකයාටය. ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් ‘යහපාලන’ ආණ්ඩුවට එක්වී ඇමති වරදාන ලබාගෙන මෙතෙක් රටට වුණු සෙතක් නැත. ලැබුණු දේකුත් නැත. එපමණක් නොව රටෙන් පළුවක් අහිමිවීමේ ඉඩකඩද දැන් විවරවෙමින් පවතී.

එදා ‘යහපාලන’ ආණ්ඩුව මහින්ද සුළඟට එරෙහිව ප්‍රහාර එල්ල කළේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලටය. මහින්ද සුළඟ ප්‍රචාරකවාදී ව්‍යාපෘතියක් වූවා මිස අක්මුල් සහිත ජාතික බලවේගයක් වූයේ නැත. ඒ ශ්‍රිලනිප නිල පලුව ඩාර්ලි පාරට ගිය නිසාය. ඉකුත් සැප්තැම්බර් මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට ස්වාධීන බලවේගයකට නායකත්වයකින් ඉල්ලා සිටීමට බලකිරීමට නොහැකි වූයේ සැබෑ බලවේගයක් ගොඩනැගී නොතිබුණ නිසාය. එබැවින් ආණ්ඩුව සිය ප්‍රහාරයන් පසුව එල්ල කළේ ඒකාබද්ධ විපක්ෂයටමය. දැන් බැසිල් රාජපක්ෂටය. ඒ මහින්ද රාජපක්ෂගේ ජන රැල්ල සැබෑ ලෙසම ජාතික දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කිරීම නිසාය. බැසිල් රාජපක්ෂ යනු ආණ්ඩු විරෝධී අරගලය තුළ දැනට සිටින හොදම සංවිධායකයා බවට වාද විවාදයක් නැත. ඡන්ද 28ක් ජයග්‍රහණය කල ඔහු ඉකුත් ජනාධිපතිවරණ ඡන්දයෙන් ලත් පරාජයේ වගකීම තමාම භාරගත් අයෙකි. ඔහු නොසිටියානම් එම පරාජය එයටත් වඩා බරපතල වන්නට ඉඩ තිබුණු බවට සැකයක් නැත. ‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව ජාතික දේශපාලන බලවේගයන් නිර්මාණය නොකොට බැසිල් රාජපක්ෂ ෂේප්වී සිටියානම් ඇතැම් විට නඩු හබද නිමවී විවේක සුවයෙන් ගතකිරීමට ඉඩ තිබිණි. රටට වන අනතුර දැක දැකම ඔහු තෝරාගත්තේ ආණ්ඩු විරෝධී විකල්ප මාර්ගයකි. මිනිසුන් එදා අනගාරික ධර්මපාලට සේ මෙදා මහින්ද රාජපක්ෂට ගෞරව කරන බව සැබෑය. එම ගෞරවය කතිරයක් බවට පත්කර ගැනීමට සැබෑ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යව ඇත. දැන් සිදුවන්නේ එය බව පැහැදිලිය.

එජාපය සමඟ හවුල් ආණ්ඩුවක් ගෙන යන ශ්‍රිලනිප නෛතික පාර්ශවය සමඟ තවදුරටත් එක්වීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප මහජන පාර්ශවය වටා එක්රොක්වී සිටින මිනිසුන් සූදානම් නැත. ඉකුත් මහ මැතිවරණයේදී එසේ එක්වීමෙන් වූ හානිය දන්නා නිසා ඔවුන් සමඟ හවුලේ කැඳත් ජනතාවට දැන් එපා වෙලාය. මහින්ද රාජපක්ෂ නොව සක්‍රයාගේ පුතා වයිමා කීවද ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටීමට සූදානම් නැත. දහඅට වන්නම් රඟන ශ්‍රිලනිප ඇමතිවරුන් කෙසේ වෙතත් ශ්‍රිලනිප පාක්ෂිකයින්ගෙන් අති බහුතරයක් දැන් ශ්‍රිලනිප නෛතික පාර්ශවය හැරගොස්ය. හැරයාම යනු හරියෑමක ආරම්භයක්ය. රට දිනවන නව ජාතික දේශපාලන බලවේගය සමඟ ඔවුහු එක්වී සිටිති. එක්වෙමින් පවතී.


යහපාලන ආණ්ඩුවේ සෘජු නියෝජිතයින් වන එජාපයද වක්‍ර නියෝජිතයින් වන ඇමති වරදානගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන්නන්ද අධිරාජ්‍යවාදීන් ගේ දේශීය ඒජන්තයින් වන එන්.ජි.ඕ ඇතුළු ඒවායින් ජීවත්වන පුලන්නයින්ද මහත්මා ගාන්ධි පැවසුවක් මෙන් ආණ්ඩු විරෝධී නව ජාතික බලවේගය ප්‍රථමයෙන් නොසලකා හරිනු ඇත. දෙවනුව සිනාසෙනු ඇත. තෙවනුව සටන් වදිනු ඇත. ඊළඟට ඔවුහු පරදා නව ජාතික බලවේගය ජයග්‍රහණය කරනු ඇත. ඉකුත් සැප්තැම්බර් මහ මැතිවරණයේ කිසිවෙකු පක්ෂ නායකයාවූ මෛත්‍රීපාල සිරිසේනගේ කටවුට් එකක් ගසාගෙන ඡන්දයක් කළේ නැත. ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල මහ මැතිවරණයේදි ශ්‍රිලනිප රැස්වීමක් ඇමතුවේනම් ඒ අනුරාධපුර දුමින්ද දිසානායකගේ නිවසේදි පමණි. ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ ඇමතිවරුන්වූ මන්ත්‍රීවරුන් සියල්ලම වාගේ පාර්ලිමේන්තුවට ගියේ මහින්ද රාජපක්‍ෂට පින්සිදුවන්නටය. සමනලයින් බවට පත්ව අත්තටුවලින් පියාඹන ශ්‍රිලනිප ඇමතිවරුන් ඉකුත් මහා ඡන්දයේදී මහින්දට එරෙහිව පෙනී සිටියානම් සිදුවන්නේ දළඹුවන් මෙන් සැමදා බිම සිටීමටය. නව බලවේගයත් සමඟ මීලඟ ඡන්දයේදී ඇමති වරදාන ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට අබ සරණය. රාජපක්ෂ ආණ්ඩුව පොදුජන අප්‍රසාදයට පත්වීමට හේතුවූ සජින් වාස් සහ මර්වින් සිල්වා වැනි දේශපාලඥයින් බහුතරයක් සිටින්නේ ‘යහපාලන’ ආණ්ඩුව සමඟය.


ජවිපෙ තුණ්ඩු කෑල්ලෙන් කඩ වසා එදා හර්තාල දැම්මේ තුවක්කු කටින් සහ බෝම්බ ඩප්පියෙනි. අද කඩ වැසෙන්නේ ස්වෙච්ඡාවෙනි. ඒ රටපුරාම වැට් විරෝධතා නිසාය. කැලණිය, කිරිබත්ගොඩ, මාකොල, කඩවත, කළුතර, බදුල්ල, අනුරාධපුර, අකුරැස්ස, කඹුරුපිටිය, මාතර, දික්වැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉකුත් සතියේද පැවති වැට් විරෝධතාවයන්ට මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා සිට සපත්තු මහන්නාද එක්විය. වැට් හර්තාල්වලින් රටපුරා ප්‍රදේශ ගණනාවක් ගිගුම් දුන්නේය. වැට් බද්දට එරෙහි ව්‍යාපාරිකයින්, වෙළඳ සංගම් සහ වාණිජ මණ්ඩල කියනුයේ දිනක වෙළඳාම රුපියල් 33,350ක් නම් වෙළදාමෙන් උපයන සෑම රුපියල් 100කටම රුපියල් 15කටම වැට් බද්ද නැමති සර්පයා දෂ්ඨ කරන බවය. ඔවුහු රජයට බලකර සිටිනේනේ සියයට 15 වැට් බද්ද ඉවත් කොට සුදුසු සරල බද්දක් අයකරන ලෙසය. වැට් වලින් ගන්නා බදු මුදල් රටේ සංවර්ධනයට හෝ ජනතාවට සහන ලබාදීමට වැයකරනවානම් කමක් නැත. එහෙත් ඒවා වියදම් කරන්නේ බ්‍රිතාන්‍යයේ කැමරන්ලා වෙනුවෙන් කැම්පේන් කිරීමට ලංකාවෙන් ගිය කළු සුද්දන්වූ ඇමති දුසිම් භාගයේ බිල් පියවීම වැනි තුට්ටු දෙකේ වැඩවලටය. මින් තට්ටු වන්නේ ජනතා මුදල්ය. වැට් බද්ද වැඩි කළේ සහන දෙන්නට මුදල් සෙවීමට බව කීවේය. ඡන්දෙට පෙර මෙය කීවානම් ලක්ෂ 62කම ඔය සහනය එපා කියනවාය. ‘යහපාලන’ ආණ්ඩුවේ හක්කේ බුදුරැස්ය. බොක්කේ දඩමස්ය. ‘යහපාලනයෙන්’ රට වසර ගණනාවක් දැන් ආපස්සට ගොස්ය.


පාසැල් නිල ඇදුම කප්පාදු කළේය. ඇමතිවරුන්ට සුපිරි වාහන මේනියාවකි. පොඩි මිනිහාගේ වාහනයට බදු රැසකි. ගොවියා මහපාරේය. විරුවා හිරබාරේය. එළවළු මිල නහුතෙටය. ජනයා කුසගින්දරේය. ආර්ථිකය නන්නත්තාරය. එට්කා ගිවිසුම හරහා රට ඉන්දියාවේ කොලනියක් බවට පත්කිරීමට එරෙහිවද වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් මෙන්ම සාමාන්‍ය ජනයා අතරද විරෝධයකි. රැකියා විරහිත උපාධිධාරියෝ රැකියා ඉල්ලා වීදි දිගේය. නාවින්නේ රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයෝ දූෂණයට එරෙහිව එළිපිට සටනේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දේශපාලන පත්වීම්වලට එරෙහිව කෑම පැයේ පිකටීන්ය. රටපුරා ජන උද්ඝෝෂණයන්ය. වෛද්‍ය ශිෂ්‍යයින්ට පවා පහර දෙන්නේ අමානුෂිකය. උතුරු මැද පළාත් සභා ලොක්කෙකු රැකියා ලබාදීමට ඉල්ලන්නේ ලිංගික අල්ලස්ය. යාල වනයේ සතුන් මරාගෙන කෑ දේශපාලන හෙංචයියන්ට එරෙහිව දේශපාලන බලපෑමට යටත් නොවී කටයුතු කල යාල භාරකරු සුරංග රත්නායකට ස්වෙච්ඡාවෙන්ම මාරුවකි. විල්පත්තු වන විනාශයද තවමත් නිමක් නැත. දේශපාලන බලපෑම්වලට අවනත නොවූ වනජීවි අධ්‍යක්ෂක ආචාර්ය සුමිත් පිලපිටිය වාෂ්ප කර හැරියේය. මේවා කිසිම දෙයක් ආණ්ඩුව ගණන් ගන්නේ නැත. අවම වශයෙන් ඇහුම්කන්දීමේ සදාචාරයක් හෝ පෙන්නුම් කරන්නේද නැත.


එදා රුපියල් 87 තිබූ සිනි කිලෝව දැන් 113කි. රුපියල් 35ට තිබූ ලුණු පැකට් එක දැන් රුපියල් 85කි. සින්න වෙන්න ගිය රත්තරන් බඩු ටික බේරාදීම කෙසේ වෙතත් එය සදහටම සින්නවී වෙන්දේසියේ ගියේය. අලුත් බදුබර සමඟ නිවසේ විදුලි බිල වැඩිය. ස්ථාවර දුරකථන බිල වැඩිය. වතුර බිල වැඩිය. ජංගම දුරකථන බිල වැඩිය. මසකට එම ටිකෙන් පමණක් වැඩිවූ බදුබර 5,000කට ආසන්නය. ගෑස් මිල අඩුකල බව ඇත්තය. එහෙත් ගෑස් මිල අඩුවීමෙන් ඉතිරිවූ සොච්චමට වඩා අනෙකුත් මිල ඉහළයෑම් කප්පරකටය. දැන් ජනතාවට දුක ලැබෙන්නේ කිලෝ වලිනි. සතුට මිලිග්‍රෑම්වලින් හෝ නොලැබේ.

දැනටමත් ඇමති වරදාන ලබාගත් ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, මොහාන් ලාල් ග්‍රේරු, මහින්ද සමරසිංහ ඇතුළු කිහිපදෙනෙක්ම එජාප සරණං ගච්ඡාමිය. සරත් ෆොන්සේකාද පන්දම නිවා එජාපයට ඊයේ රිංගුවේය. ජනවාරි 8වැනිදා සිදුවූයේ අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රමන්ත්‍රණයක් බව පැහැදිලිය. එළිවෙන ජාමෙට තව හොද හොද සෙල්ලම්ය. සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි නඩේ ප්‍රධානියා ඇතුළු පිරිසේ ක්‍රියාකාරකම්ද දැන් හෙළිදරව් වෙමින් පවතී. ඔවුහු දවල්ට මහජන පුස්තකාලයේ පුරවැසි පොරවල්ය. රෑට ජනාධිපති උපදේශකයන්ය. උදු වපුරා මුං පතා වැඩක් නැතිබව කවුරු කවුරුත් තේරුම්ගත යුතුය.


රට පුරා ආණ්ඩුවට එරෙහිව ඇති සකලවිධ විරෝධය පුළුල් දේශපාලන බලවේගයක් වෙනුවෙන් මීලඟ මැතිවරණයන්හිදී කතිරයන් බවට පත්කර ගැනීමේ අභියෝගය ජය ගැනීම අද දවසේ ප්‍රමුඛ කාර්යයකි. දැනටමත් එක්සත් ජාතින්ගේ සංවිධානය රටින් පිට ඊළම ප්‍රකාශයට පත්කල සංවිධානය නිල නොවන මට්ටමින් පිළිගෙන ඇත. යහපාලන ආණ්ඩුව ප්‍රථමයෙන් තබනු ඇත්තේ ව්‍යවස්ථාව සඳහා ෆෙඩරල් නාමය වෙනත් වචනයකින් ඇතුළත් කරමින් ජනමත විචාරණ ඡන්දයකි. එය එදා 1982දී ජේ.ආර්ගේ එජාප ආණ්ඩුවේ ලාම්පු කලගෙඩි සෙල්ලමට වඩා ලොකු ගේමක් වනු ඇත. පළාත් පාලන ඡන්දය පවත්වනු ඇත්තේ ඉන් පසුවය. ඒ අනුව එළැඹෙන ඕනැම ඡන්දයකදී ග්‍රාමසේවා වසම් 14,023කට අයත් ගම්මාන 36,000කට ආමන්ත්‍රණය කල යුතුය. එපමණක් නොව හොර ඡන්ද මඟඩි වැලකීමට ඡන්ද පොලවල් 11,000කට නියෝජිතයන් අවශ්‍යය. මේ සඳහා ආමන්ත්‍රණය කල හැක්කේ බිම් මට්ටමේ සිට උඩට දිවෙන ජාතික දේශපාලන බලවේගයක් ඇති සක්‍රීය යාන්ත්‍රණයකට පමණි. බැසිල් රාජපක්ෂ පණ පොවන්නේ එම භූමිකාවටය. හෙට දින බදුල්ලෙන් අරඹන්නේ එහි පළමු වෙඩිමුරයයි. මහින්ද රාජපක්ෂ නව දේශපාලන ප්‍රවාහයේ මෙහෙයුම්කරුවෙකු ලෙස බැසිල් රාජපක්ෂ පිළිගෙන ඇති අතර එය මෙවැනි පුළුල් ජාතික බලවේගයකට අතවශ්‍ය සාධකයක් බව පළාත් සභා මන්ත්‍රින් සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීන් මුළුමනින්ම වාගේ එකහෙලා අනුමත කර ඇත.


වර්තමාන සමාජයේ එදා මෙන් නොව අති බහුතරයක් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු හෝ හිතවතෙකු නොවේ. එහෙත් වර්තමානයේ ජීවත්වන බහුතර සමාජයේ පුද්ගලයින්ට දේශපාලන දැක්මක් ඇත. කිසිදු දේශපාලනඥයෙකු සමඟ බැදීමකින් තොරව අතින් කයිට් කරගනිමින් ගෙදරින් බැනුම් අසමින් ඔවුහු රටේ ප්‍රගමනය වෙනුවෙන් පෙනී සිටිති. ගොඩනැගෙමින් පවතින්නේ ඕනෑම දේශපාලන පක්ෂයයකට අයත්වන හෝ නොවන ආණ්ඩු විරෝධී සෑම ප්‍රගතිශීලියෙකුටම එක්විය හැකි දේශපාලන බලවේගයකි. එය ශ්‍රිලනිප මහජන පාර්ශවයේ බීජයකින් ආරම්භ වුවද එයට පසද, ජලයද, වාතයද, තෙතමනය සහ හිරුරැස් සපයනු ඇත්තේද සෙසු පිරිස්ය. වැඩෙන පැලය වූ කලී එම සියළු දෙනාගේම සංකලනයකි. එබැවින් එකම එක පිලකි. පුළුල් ජන බලවේගයකි.


එහි නියාමක බලවේගය වන්නේ බිම් මට්ටමේ සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන්ය. සංක්‍රාන්ති සමයේ අවසන් අදියරේදී නිසිකලට නිසිවේලාවට ශ්‍රිලනිප මහජන පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එනවා මිස පක්ෂ ව්‍යවස්ථාවන් ඉදිරියේ ඔවුන් දියකර හැරීම සිදුකල යුතු නැත. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කල යුත්තේ පක්ෂ රාමුවලින් නොව අවස්ථානුකූලව උපාය උපක්‍රමයන් ක්‍රියාවට නැගීමය. එමෙන්ම නව බලවේගයේ අදිසි නායකයාවූ මහින්ද රාජපක්ෂව ප්‍රබල චින්තනමය පවුරකින් නිරන්තරයෙන් සුරක්ෂිත කිරීම සහ පෝෂණය කිරීමද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි.


‘යහපාලනය’ සොයා පියාසර කල මිනිසුන් අවසානයේ සැම තැනම දුටුවේ හිස්බව පමණි. අද මෙන්ම හෙටද ඉර පායන නමුදු හෙට මෝදුවන්නේ අලුත් ඉරක්ය. ඒ ඌව වෙල්ලස්සේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. මෝදුවන එම හිරු කිරණ ඉනික්බිතිව රටපුරා ගම් නියම්ගම් හරහා හමායනු ඇත. එය ජාතික දේශපාලන බලවේගයක් බවට පත්වී නව උපතකට විදුලන නැකත ලඟ ලඟම උදාවනු ඇත. ‘යහපාලනයෙන්’ බැටකන මිනිසුන් සහ ප්‍රගතිශීලි ජනයා බලාපොරොත්තුවන සැබෑ වෙනසද එය හැර අන් යමක් නොවේ.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions