7/22/2016

බැසිල්ගේ සංක්‍රාන්තිය:ආණ්ඩුවේ ග්‍රහචාරය

කතෘ:යුතුකම     7/22/2016   1 comment

-ධර්මන් වික්‍රමරත්න-

යෝෂිත එනවිට උදය ගම්මන්පිල ඇතුලේය. විමල් වීරවංශට රිදවන්නට මුසම්මිල් තවමත් ඇතුලේය. දැන් නාමල් එනවිට බැසිල් රාජපක්ෂ ඇතුළේය. බැසිල්ට තිබූ චෝදනාව සම්බන්ධයෙන් කිසිදු වංචාවක් සිදු නොවී ඇතැයි වර්තමාන සමෘද්ධි ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල හැන්සාඩ් වාර්තාවක්ද නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කළේය. ඇපදීමට නොහැකි කිසිදු අවස්ථාවක් නොමැති බවද ඔවුහු අවධාරණය කළහ. එදා කඩුවෙලය. දැන් නඩුවෙලය. හොද දේවල් කරනා මිනිසුන් රටේ කොතෙකුත් ඇත. ඔවුන් අගය කරනවා වෙනුවට අපහාස උපාහාස කිරීම ‘යහපාලන’ ආණ්ඩුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබේ.

පිබිදෙමින් පවත්නා නව ජාතික ව්‍යාපාරය කෙරෙහි ‘යහපාලන’ ආණ්ඩුව දක්වන බිය මොනවට පැහැදිලිය. විපක්ෂයේ දැනට සිටින දක්ෂතම සංවිධායකයෙක් ලෙස හැදින්විය හැකි බැසිල් රාජපක්ෂ සිරකර තබන්නේ ඒ අරමුණිනි. ශ්‍රිලනිප මනාප ලැයිස්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමුවැනියාවූ දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් පැදුරටත් නොකියා ඉවත්කර එයට පත්කළේ එම මනාප ලැයිස්තුවේ 5වැනි තැනගත් සන්ධානයේ මහලේකම් සහ ‘යහපාලන’ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීරගේ ඥාතියෙකි. එදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගය ගෙනආ හිටපු ඇමති ගාමිණී දිසානායක ගෙන් පළිගත්තේ බස්නාහිර පළාත් අමාත්‍ය මහින්ද සමරසිංහ තනතුරෙන් පහකරමිනි. එහෙත් එය කළේ ලතාවටය. ජනාධිපති ප්‍රේමදාස බස්නාහිර පළාත් සභාවේ ඇමති මණ්ඩලය මුලින් විසුරුවා හැරීය. පසුව නව ඇමති මණ්ඩලයක් පත් කළේය. එවිට මහින්ද සමරසිංහගේ ඇමතිධූරය හැලි තිබිණි.

නීතිය වල් වැදෙමින් පවතී. ඖෂධ ජාවාරම, ආයුධ, බැදුම්කර, රේගු වාහන, වී අළෙවි කිරීම්, වත්තල මංතීරුව වැනි මහජන දේපල විනාශ කිරිම්, කරුංකා වංචනිකව ගෙන ඒම චෝදනා ලැබූවන් පිළිබඳව පරික්ෂණ නැත. රජයේ පළාත් පාලන ආයතන සඳහා රජයේම අමාත්‍යාංශයක් හරහා රුපියල් දශලක්ෂ 36ක් වටිනා කොඩිකණු ලබාදීම මහජන දේපල විනාශකල බරපතල අපරාධ ලෙස පෙනෙන අයට මහ බැංකුවේ බැදුම්කර වංචාවෙන් රටට අදවන විට සිදුවූ රුපියල් කෝටි 200ක පාඩුව ගැන නෝ කථාය. වෙනස මාරය. අවසානයේ සිදුවූයේ මහ බැංකු ලොක්කා අර්ජුන මහේන්ද්‍ර ඉන් ඉවත්කර රැකියා දශලක්ෂයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ 5 අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස පත්කිරීමය. අමාත්‍යාංශවල අඩුපාඩු පෙන්වා දෙද්දි ඇමැතිවරු විගණකාධිපතිවරයාට පහරදෙමින් සිටින බව කෝප් කමිටු සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ.

රටපුරා නැගෙන ජනතා විරෝධයට නායකත්වය දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 21ක් සිටින නාමික විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය හෝ විපක්ෂ නායක රාජවරෝදියම් සම්බන්දන් විසින් පත්කරන ලද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාවූ අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජනතා විමුක්ති පෙරමුණ නොව සැබෑ විපක්ෂය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයයි. විවිධ පැත්තට යොමුවූ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම් මෙන්ම ගමේ ආණ්ඩුව වන පළාත් පාලන ආයතන නියෝජනය කල පළාත් පාලන නියෝජිතයින්ගේ ජනතා ක්‍රියාකාරකම් එක්තැනකට නාභිගතකර සංවිධානාත්මක කලමණාකරණය කිරීමේ කාර්යභාරය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පැවරී තිබුණේ බැසිල් රාජපක්ෂටය. බැසිල්ට එය සාර්ථකව ඉටුකල හැකිබව කිරුලපන පිටියේ මැයි 1දා පැවති මැයි දින රැළිය පමණක් නොව රටපුරා පළාත් පාලන ආයතනවල හිටපු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගෙන් සියයට 94ක් මහින්දගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප ජනතා පාර්ශවයට දිනාගැනීමෙන් තහවුරු විය. ගොඩනැගෙන දැවැන්ත බලවේගය බැසිල් රාජපක්ෂ හිරකර දැමීමෙන් හෝ වෙනත් අය බිය වැද්දවීමෙන් මර්ධනය කල නොහැකි බව පාලකයින් නුදුරේදීම දැනගනු ඇත. එය මහා සාගරය පොල් කට්ටෙන් වැසීමට යෑම වැනි නිරර්ථක ප්‍රයත්නයකි.

බැසිල් රාජපක්ෂ නව ජාතික ව්‍යාපාරය සඳහා මැතිවරණ ව්‍යූහයක් ගොඩ නැගුවේය. ඒ යටතේ රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 328කට අයත් ග්‍රාම නිලධාරි වසම් 14,013ක් යටතේ ගම්මාන 38,259කට එම ජාලය විහිදී පැතිරිණි. එමෙන්ම ඡන්දයකදි මැතිවරණ දිස්ත්‍රික් 22ක අයත් ඡන්ද කොට්ඨාශ 160ට අයත් ඡන්ද පොලවල් 10,000කට පමණ ඡන්ද නියෝජිතයන් පත්කිරීමේ යාන්ත්‍රණයද දැන් ඕනෑම මොහොතක සූදානම්ය. ලබන වසරේදී පැවැත්වෙන මහ නගර සභා 22, නගර සභා 42, ප්‍රාදේශීය සභා 275 ඡන්දය සඳහා ශ්‍රිලනිප මහජන පාර්ශවය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් වෙනම බලවේගයක් වශයෙන් තරඟකර ජයග්‍රහණය ලබාගැනීමට පමණක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුවාවෙන් රට අනතුරට පත්කරමින් බෙදුම්වාදය පෝෂණය කරන ජනමත විචාරණයක් රජය තැබුවද ඒ සඳහා වුවද නව බලවේගය සූදානම්කර තිබේ.

ආණ්ඩු විරෝධී නව ජාතික බලවේගය සටන්කළේ වැට් ඇතුළු බදුබර එක්කර බඩුමිල ඉහළ දැමීමට එරෙහිවය. ගමේ පුංචි ආණ්ඩුව වන පළාත් පාලන ඡන්ද කල්දැමීමට එරෙහිවය. ව්‍යවස්ථා මරඋගුලට එරෙහිවය. රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට එරෙහිවය. ගොවි සහන සහ පාසැල් නිල ඇදුම කප්පාදුවට එරෙහිවය. දේශපාලන දඬයමට එරෙහිවය. දෙමළ අන්තවාදයට පණදීමට එරෙහිවය. බදුලු දිස්ත්‍රික්කයේ ආසන 13ක ශ්‍රිලනිප ඇතුළු ප්‍රගතිශීලින්ගේ හඬ නැගුණේ ඒ වෙනුවෙනි. නුවර සිට කොළඹ දක්වා පාද යාත්‍රාව ඒ සඳහාය. මේ සියල්ලේ අදිසි නායකයෙකු වූයේ බැසිල් රාජපක්ෂය. අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ බැසිල් නිහඬකර ඒකාබද්ධ විපක්ෂයේ ගමන අඩපණ කිරීම බව පැහැදිලිය. එහෙත් නව යාන්ත්‍රණය ගොඩනැගී ඇති බැවින් එය එසේ අකා මකා දැමිය හැකි නොවේ. අක්මුල්ද වැනසිය හැකි නොවේ.

දිවි නැගුම අරමුදලේ මුදල් යොදා රජයේ පළාත් පාලන ආයතන 56කට ජී.අයි බට ලබාදී රාජ්‍ය දේපොල අවභාවිතා කිරිම සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් කර තිබේ. බට බෙදා දී ඇත්තේ ජනපතිවරණයට නාමයෝජනා කැඳවීමටත් පෙර 2014 ඔක්තෝබර් 30වැනිදාය. ඇතමුන් කෑ ගසන්නේ යකඩ බට ටික බැසිල් ගෙදර ගෙනහින් වාගේය. නමුත් මේවා දුන්නේ ගමේ මිනිසුන්ගේ මල ගෙදරට, දානේ ගෙදරට, කඩපිලට, සල්පිලට පළාත් පාලන ආයතන හරහා ලබාදීමටය. එයට එරෙහිව පැමිණිල්ල ලැබී ඇත්තේ 2015 මැයි 14වැනිදාය. මිලට ගැනීම නියමිත ටෙන්ඩර් පටිපාටියට සිදුවී ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේම සඳහන්ය. මෙම බට මිලදි ගැනීම සඳහා මුදල් ගෙවා ඇත්තේ දිවි නැගුම අරමුදලින් නොව රාජ්‍ය අයවැයෙන් අනුමත අමාත්‍යාංශයට වෙන්කර තිබූ මුදලිනි. මෙහිදී අවභාවිතයක් සිදුවී නැති බව වර්තමානයේ දිවි නැගුම භාර ඇමතිවරයාම පාර්ලිමේන්තුවේ කියා ඇත. මෙම බට ලබාදුන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතනවලට ජෙනරේටර්, ගලි බවුසර්, වතුර බවුසර්, කසළ එකතු කරන ට්‍රැක්ටර් වැනිදෑ සඳහාද විවිධ ප්‍රතිපාදන සපයා ඇත. එබැවින් කුමන චෝදනා එල්ල කලද කිසිදු මහජන දේපොලක් අවභාවිතය කර නැති බව පැහැදිලිය. ආණ්ඩුව තිත්ත වී ඇති ජනතාවට ඒකාබද්ධ විපක්ෂය හරහා ප්‍රජාතන්ත්‍රීය මංපෙත් ඔස්සේ විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය කිරීම නිසා බැසිල්ට මෙම දඬයමට මුහුණදීමට සිදුව ඇත. දැන් බැසිල් රාජපක්ෂ අගෝස්තු 1 දක්වා බන්ධනාගාර ගතකර ඇත. පාද යාත්‍රාවට බයවෙලා තියෙන තරමක්ය.

බැසිල් රාජපක්ෂ යනු විටක ශ්‍රිලනිප සියළු බර එසවූ මිනිසෙකි. සංවර්ධනයට නැවුම් පැතිකඩක් ගෙනආ නියමුවෙකි. කාලයේ තාලයට අභියෝග කරුවෙකි. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, ගම්පහ රන් අරුණ, ඇවිදින මංතීරු, සතිපොලවල්, මාතෘ සායන, දිවිනැගුම, එක ගමකට එක වැඩක් වැනි වැඩසටහන් ගණනාවක් තුළින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධන අරුණලු ගමට ගෙන ආවේ ඔහුය. දේශයේ ගැලවුම්කරුවාට යෝධ ශක්තියක්වූ මිනිසෙකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් මහින්ද රාජපක්ෂ ලැබූ සියලු ජයග්‍රහණයන්හි පිටුපස සිටි අයෝමය සෙන්පතියන් වූයේ ගෝඨාභය සහ බැසිල් සොහොයුරන්ය. ඡන්ද 28ක් ජයග්‍රහණය කර එක ඡන්දයක් පැරදුනද එහි පරාජයද නිහතමානීව තමාවෙත බාරගත් දේශපාලඥයෙකුවු බැසිල් රාජපක්ෂ කථාවට වඩා වැඩට දක්ෂයෙකු විය.

‘යහපාලන’ ආණ්ඩුව ඩීල් ලෝකයක්ය. ඇතුලත් ඩීල්ය. පිටතත් ඩීල්ය. ඩීල් වලටත් ඩීල්ය. එබැවින් ආණ්ඩුව සමඟ බැසිල්ගේ ලොකු ඩීල් එකක් ඇතැයි වරෙක කීවේය. බල්ලන් නාවන්නට රණවිරුවන් බලහත්කාරයෙන් යොදාගත් බවටද චෝදනා කළේය. එදා ජනපති මහින්ද රාජපක්ෂටත් එවැනි චෝදනා ගොන්නක් දමා ගැසුවේය. ඩුබායි හෝටලයේ අයිතිකරු මහින්ද බව කීවේය. නාමල් ඇතුළු පුතාලා උදේ හෙළිකොප්ටරයෙන් නුවරඑළියට ගොස් පෝනියෝ පිටේ ගොස් දවල් කෑමට කොළඹ එන බව පාරම් බෑවේය. රත්නරං අශ්වයෝ, ලැම්බෝගිනි කාර් ඇති බවද කීවේ ඇසින් දුටුවා වාගේය. ඒවා එදාවේල ෂේප්කර ගැනීමට මේවා ඇතැම් විකල්ප පත්තර විසින් කල ගේම්ය. ඉකුත් 2001/2 එජාප ආණ්ඩු කාලයේ මිලේනියම් සිටි බුද්ධි බලකායේ නම් ගම් පිටින් දමා එය හෙළිකළේද ඔවුන්ය. අවසානයේ කොටි සංවිධානය මගින් එම බුද්ධි නිලධාරින් එක් අයෙක් හැර සියල්ලෝම මරා දැමුවෝය.

ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවය එජාපය සමඟ හවුල් ආණ්ඩුවේ වරදාන භුක්ති වින්දද තමන් තවමත් ශ්‍රිලනිප පාක්ෂිකයින් වෙනුවෙන් පෙනි සිටින බව කීම හාස්‍යජනකය. එජාපය ආදා මාළු අතින් අරගෙන කද්දී එජාප ආණ්ඩුව සමඟ එක්වී සිටින ශ්‍රිලනිප නෛතික පාර්ශවය එම ආඳා මාළුම කන්නේ ඉරටුවෙනි.

ජනාධිපති විලියම් ගොපල්ලව 1978දී ගෙදර ගියේය. ජේ. ආර්. ජයවර්ධන 1989 ජනවාරියද, චන්ද්‍රිකා කුමාරතුංග 2005දී ජනාධිපති තනතුරුවලින් සමුගෙන ගෙදර ගියෝය. මොවුන් යළි ඉල්ලා කිසිවෙකු පාරට බැස්සේ නැත. ලක්ෂ ගණන් මිනිසුන් මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටින්නේ රටේ නිදහසේ ඒකීයබවේ, අභිමානයේ සහ සංවර්ධනයේ සංකේතය ඔහු නිසාය. මහින්දගේ පවුලේ සාමාජිකයෝ මෙහෙම හිරේදාලා රාජපක්ෂලාගේ දේශපාලනයට තිත තබන්නට හෝ ඔවුන් මානසිකව වට්ටන්නට කිසිවෙකු සිතනවානම් එය මිරිගුවකි.

ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන දෙමළ සිසුන් සංඛ්‍යාව 25,000කට අධිකය. වසර 1984න් පසුව කිසිදු සරසවියක දෙමළ සිසුන්ට ජාතිවාදී පදනමකින් හිරිහැර කල බවට පැමිණිලි නැත. එහෙව් 30 වසරක් පසුකල තැන යාපනය සරසවියේදී 1500ක් පමණ සිංහල සිසුන්ට අත්ව ඇති ඉරණම ගැන සැවොම කණගාටු විය යුතුය. යාපනය සරසවියේදි ගස්සපු පිරිසේ නායකයෙකු බවට චෝදනා ලත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිදරන් කනකේෂ්වරන්ට දවසින් අපේක්ෂිත ඇපය. ඔහු වෙනුවෙන් යාපනය උසාවියේ පෙනි සිටි නීතිඥයා වූයේ දෙමළ සන්ධානයේ සුමන්දිරන්ය. ගුටිකාපු සිසුවා තවම රෝහලේය. ඩෙනිම් අදින්න එපා කියා නවකවද සිද්ධියක සැකකරුවන් ලෙසින් මාස 2කට වැඩිකලක් රිමාන්ඩ්කර සිටින කැලණි සරසවියේ සිසු සිසුවියන් 8දෙනාට පෙරේදාද ගම්පහ උසාවියෙන් ඇප නැත. ඒ රජයේ නීතිඥවරිය නොපැමිණිමේ හේතුවෙනි. මෙම මාර වෙනස තේරුම් ගත යුත්තේ කෙසේද? අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

සහජීවනය දැන් මිරිගුවකි. සංහිඳියාව ගැන දැනුවත් කරන්නේ දකුණට පමණි. සහජීවනයේ නාමයෙන් උතුරේ ඇතැමුන් මිත්‍රත්වය දිගු කරන්නේ පොල්ලකිනි. ගංජා වැටලීමට ගිය පොලිස් නිලධාරින්ට සමන්තුරේදී පල නොකියා පලා බෙදති. ජාතික සංහිඳයාව කියමින් සෑම අසාධාරණයකටම ඔළුව පහත්කරගෙන සිටින්නැයි සිංහලයින්ට පුරුදු කිරීම බලධාරින්ගේ රාජකාරිය බවට පත්වෙමින් තිබේ. ගැටබෙර සද්දේ උතුරේ ඇතැමෙකුට වාවන්නට බැරි වූවද කාවඩි සද්දෙට දකුණේ මිනිසුන් මනාපය. දැන් සංහිදියාවද යහපාලනය මෙන් තවත් වචන සෙට් එකක් පමණි. ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාව නොසිතූ විරූ දියුණුවක් ඇතිවෙලා කියන්නේ ඇමරිකාවේ බිස්වාය. ඇය ලංකාවට පැමිණි වාර ගණන දැන් දුසිම් දෙකකට ආසන්නය. ඇය අපට උගන්වන්නේ ගෝවා වලින් අල කරියක් හැදීම නොව රටට දෙකට කඩා ඇමරිකාවට කොඩි එසවීමේ සැලසුමය.

අලි මදිවට හරක් කීවා සේ පාලන මිලද විහිළුවකි. සිනි කිලෝවේ තොග මිල රුපියල් 115කි. පාලන මිල 95කි. කඩල කිලෝව 300කි. පාලන මිල 260කි. අතවශ්‍ය ආහාර ආනායනකරුවන්ගේ සංගමය කියන පරිදි මේවා සිහින මාලිගාවල සිට ගහන ගැසට්ය. පාරිභෝගිකයෝ රැවටීමේ ඇස් බැන්දුම්ය. පාලන මිලට කුකුළු මස් දීමට නොහැකි බව කියමින් හැටන් මස්කඩ වෙළෙන්දෝ වීදි බැස්සේය. ආණ්ඩුවේ මිල පාලන දෙපාර්තමේන්තුව කීවේ කුකුල් මස් පාලන මිල ඇත්තේ දවටනයක සීල් තැබූ කුකුල් මස්වල පමණක් බවය. ඉන් පසුව සිදුවූයේ බොහෝ වෙළෙඳ සැල්වල සීල්කර තිබූ දවටන ඉවත්කර සිලිසිලි බැගයක දමා කුකුල් මස අළෙවි කිරීමය. මේවා අන්දරේ සීනි කෑවා වගේ තියරිය. මිල පාලනය කියලා වැඩක් නැත. නීති පොතේ එහෙම ඇතේය. ඒ වුනාට පලක් නැතේය.

සැහැසි බස්වලට මුලාවී දැනටමත් ගොවීන්ගේ පොහොර සහනාධාරය අහිමිය. පාසැල් දරුවන්ගේ නිල ඇදුමට තිතකි. තිස් වසරකට පසු යුද්ධයෙන් දිනාගත් රට යළි බෙදුම්වාදයට තල්ලු කරමින් පවතී. මෙවැනි දෑ බොහෝය. මේවා මුදලින් ගණනාය කල නොහැක. අවිස්සාවේල්ලේ සාලාවේ මිනිසුන් තවමත් මහපාරේය. අරණායක නාය යෑමෙන් අනාථ වූවන් තවමත් තැන්තැන් වලය. ලංගම බස් ගාස්තුද සියයට 6කින් ගණන් උස්සලාය. රැකියා විරහිත උපාධිධාරියෝ රැකියා ඉල්ලා සටන් බිමේය. නිදහස් අධ්‍යාපනය සුරකීමට සරසවි සිසුවෝ උපවාසේය. ඒ අතරතුර දේශපාලන දඬයමද යහමින් ක්‍රියාත්මකය. මත්තල ගුවන්තොටුපොල හාස්‍යයට ලක්කර වී ගබඩා කලද 2017 ජනවාරි සිට මාස 3කට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අලුත්වැඩියාවකට වසන බැවින් සියළු ගුවන්යානා එන්නේ මත්තල බව රජය ඉකුත්දා නිවේදනය කළේය. පණ පලයන් පෙරේදා කියන්නේ මේවාටය.

‘යහපාලන’ ආණ්ඩුවේද හවුල්කාර පක්ෂ අතර විවිධ හුටපටය. හෙළ උරුමයෙන් වෙන්වී රාජගිරියේ අසපුවේ සිටින අතුරලියේ රතන හිමියෝ දැන් මීලඟ දේශපාලන පිම්මට සූදානම් වෙමින් සිටිනු ලබයි. හකීම්ගේ මුස්ලීම් කොන්ග්‍රසයේ උත්තර මණ්ඩලයේ බහුතර සහාය සේගු ඉසදීන්ගේ සහ හසන් අලි කණ්ඩායමටය. එම දෙපලගේ පුතුන් ඉකුත් බදාදා කල්මුණේ මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා කොන්ග්‍රසයේ නායකත්වය නැගෙනහිරට ගැනිමට කරන වික්‍රමයන් කියා පෑහ.

‘යහපාලන’ ආණ්ඩුවේ උපත සිදුවූයේද බොරු පොරොන්දු රැසක් දෙමිනි. කටයුතු කරන්නේද බොරුවෙනි. ‘යහපාලන’ ආණ්ඩුව සිය පාලන කාලය තුළදී දිනූ දේ රැකගමු කියා හඬ නැගුවද දිනපු දෙයක් නැත. ආණ්ඩුව පලවා හරින්න නිසිකල පැමිණි විට ජනතාව සූදානම්ය. නුවර සිට කොළඹට එන පාද යාත්‍රාව එහි මූලාරම්භයකි. මහින්ද සමඟ ජනබලය ජුලි 28 ලබන බ්‍රහස්පතින්දා වීදි බසිනු ඇත. එකම දැයක්වී, මහ බලයක්වී, පෙරටම යන එය අවසන් වන්නේ අගෝස්තු 1 සඳුදා පස්වරු 3ට කොළඹ හයිඩ් පිටියෙනි. මීලඟ මැතිවරණයේදී ‘යහපාලන’ ආණ්ඩුවට ඇඩ්‍රස් නැතිවනු ඇත. හතර වටේ බොරු කියා පුංචි ඡන්දයද කල් දමන්නේ එබැවිනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Please learn to accept defeat. Your leader MR had 10 years. He messed things up. Now the majority have spoken. Why are you always trying to overthrow the legitimately elected government?? Why don't you RESPECT the democratic choice of your fellow Sri Lankans??

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions