12/21/2014

සිංහල බෞද්ධ සංස්‌කෘතිය අමතක කර මෙරට සාහිත්‍ය නිර්මාණ කරන්න බැහැ

කතෘ:යුතුකම     12/21/2014   No comments

-ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

 ගුණදාස අමරසේකරයන් අපට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියෙකි. ඔහුගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානය තේමා කර ගනිමින් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්‌ඩලය ක්‍රියාවට නංවන මාසික සාහිත්‍ය සංකථන සම්මන්ත්‍රණ මාලාවේ අටවැන්න දෙසැම්බර් 11 දින ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි. ගුණදාස අමරසේකරයන් සමග මේ සංවාදය ඒ නිමිත්තෙනි.

සාහිත්‍යකරුවෙකු ලෙස මතුවීමට ඔබට බලපෑ මුල් කාලීන සමාජ, දේශපාලන පසුබිම කෙබඳුද?

මම සාහිත්‍යකරණයට පිවිසෙන්නේ 1950 දී පමණ. ඒ සමය රටේ ලොකු ජාතික ප්‍රබෝධයක්‌ ඇතිවෙමින් තිබුණු කාලයක්‌. හතළිස්‌ ගණන්වල සිට විවිධ ජාතික ව්‍යාපාර හරහා මේ නව තත්ත්වය උදාවෙමින් පැවතුණා. එහිදී විශේෂ කඩඉමක්‌ ලෙස 1944 බිහි වූ නිදහස්‌ අධ්‍යාපන පනත හඳුන්වන්න පුළුවන්. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ නිදහස්‌ අධ්‍යාපන පනත තනිකරම අධ්‍යාපනය පිළිබඳවම බිහිවූවක්‌ නොවේ. නිදහස්‌ අධ්‍යාපනය එහි මූලිකම පරමාර්ථය වුවත් ඒ හරහා විශාල ජාතික බෞද්ධ ප්‍රබෝධයක්‌ද ඇතිවුණා. නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දුන් වෙලාවේ එයට විරුද්ධව හිටියේ මේ රටේ ධනේශ්වරය වගේම ක්‍රිස්‌තියානි, කතෝලික පිරිසක්‌a. එයට පක්‍ෂව සිටියේ සිංහල බෞද්ධ නායකයෝ. මලලසේකර, මෙත්තානන්ද වගේ බෞද්ධ නායකයින් එහි පෙරමුණේ හිටියා. ඩී. එස්‌. සේනානායක හිටියේa සම්පූර්ණයෙන්ම එයට විරුද්ධව. ඒ නිසා කන්නන්ගර මහත්තයට නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරගන්න බොහොම අමාරු වුණා. එහෙත් අවසානයේ එය ජයගත්තා. මේ යුගය වෙද්දී ඉතා විශාල පුවත්පත් සංඛ්‍යාවක්‌ ද තිබුණා. 'සිංහල ජාතිය', 'සිංහල බෞද්ධයා' වැනි පුවත්පත් මෙන්ම 'ලංකාදීපය' ද බිහිවුණා. මෙම ජාතික ප්‍රබෝධයත් සමගම සාහිත්‍ය ප්‍රබෝධයක්‌ ද නිර්මාණය වීම නොවැළැක්‌විය හැකි වුණා.

මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා බිහිවුණා. සරච්චන්ද්‍රගේ නවකතා විචාරය බිහිවුණා. නොයෙක්‌ නොයෙක්‌ වාද විවාද ඇති වුණා. ඩබ්. ඒ. සිල්වා හා මාර්ටින් වික්‍රමසිsංහ අතර ඇති වුණ වාදය මේ අතර ඉතා ප්‍රධානයි. නවකතාව පිළිබඳ ඔවුන් දෙදෙනා අතර ඇතිවුණ මෙම වාදය ඉතා විශාල ලෙස ජනතාව අතර ජනප්‍රිය වුණා. ඒ හරහා සාහිත්‍යකරණය පිළිබඳව උනන්දුවක්‌ ජනතාව තුළ නිරායාසයෙන්ම නැත්පත් වුණා. ඒ වගේම තමයි කොළඹ කවිය බිහිවීම. මේ සියලු කරුණු කාරණා සමග විශේෂයෙන් කොළඹ අවට විශාල සාහිත්‍ය ප්‍රබෝධයක්‌ ඇති වුණා. ඒ වගේ පරිසරයක්‌ තුළ තමයි අපි ලියන්න පටන් ගත්තේ. මම පළමුව ලිව්වේ 'සිංහල බෞද්ධයා' පුවත්පතට. ඊට පස්‌සේ සිළුමිණට. 1940 ගණන්වල පටන් ගලාගෙන ආපු ජාතික ව්‍යාපාරය කූටප්‍රාප්ත වෙන්නෙන් 1956 පෙරළියක්‌ සමග. එම සන්ධිස්‌ථානය අපේ ලේඛන කලාවට ලබා දුන්නේ ඉතා විශාල වපසරියක්‌. ආලෝකයක්‌. මෙම සමාජ පසුබිම මත තමයි මගේ ලේඛන කලාව බිහි වෙන්නෙ.

ඔබගේ ප්‍රථම නිර්මාණ සංග්‍රහය වන "රතු රෝසමල" කෙටි කථා සංග්‍රහය මෙන්ම "කරුමක්‌කාරයෝ" නවකතාව බිහිවීමට බලපෑ විශේෂ කරුණක්‌ තිබෙනවාද?

විශේෂ හේතුවක්‌ නැහැ. "රතු රෝස මල" කෙටි කතා සංග්‍රහය බිහිවීමට ප්‍රථම මාර්ටින් වික්‍රමසිංහගේ හොඳ කෙටිකතා බිහිවී තිබුණා. ජී. බී. සේනානායකගේ හොඳ කෙටිකතා තිබුණා. "රතු රෝස මල" බිහිවුණේ එම කෙටි කතා ඇසුරෙන් යෑයි පැවැසීම නිවැරදියි. නමුත් " කරුමක්‌කාරයො" එසේ නොවෙයි. ඒකේ වැදගත්කම තිබෙන්නේ ඉන්a නිරූපණය කළ සමාජ චිත්‍රය තුළ. ඒක වැදගත්. එයින් පෙන්වනවා නගර ආශ්‍රිතව තිබුණු වෙළෙඳ පංතිය ක්‍රමයෙන් ගමට ඇතුල්වෙන හැටි. එතෙක්‌ වියුක්‌ත වෙලා තිබුණ ගමට වෙළෙඳ පංතියේ බලපෑම ඇතිවුණ හැටි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බස්‌ ගමනාගමනය ඇතිවුණා. ඒ ඔස්‌සේ ගම ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ තත්ත්වයට පත්වෙනවා පමණක්‌ නොවේ. ඒ ඇසුරෙහි මිනිසුන්ගේ ජීවිත ද සංකීර්ණ තත්ත්වයට පත්වෙනවා. ඒ අනුව ඒ යුගයේ තිබුණු සමාජ පෙරළිය "කරුමක්‌කාරයෝ" නවකතාවෙන් හොඳින් නිරූපණය වුණ බව මම අදත් විශ්වාස කරනවා. නමුත් එහි එන ප්‍රේම සම්බන්aධතාව දුර්වලයි. ඒක ඇත්ත වශයෙන්ම කෘත්‍රිමයි. ඒ නිසා නවකතාවේ අන්තෝ ජටා හා බහී ජටා යන දෙක වෙන වෙනම පෙනෙන බවයිs මට හිතෙන්නේ. ඒ දෙක හරියට එකට සම්බන්ධ වෙන්නේ නැති ලක්‍ෂණයක්‌ බව මට දැනෙනවා.

"කරුමක්‌කාරයෝ" නවකතාව සිංහල නවකතාවෙහි දිශානතිය වෙනස්‌ කරපු නවකතාවක්‌...

හොඳට හෝ නරකට පළමුවරට එක්‌තරා විදිහකට ලිංගිකත්වය නිරූපණය කළේ එම නවකතාවයි. නවකතාවක්‌ මගින් ලිංගිකත්වය පිළිබඳව එතෙක්‌ විවෘත ලෙස කතා කර තිබුණේ නැහැ. එහි ලිංගිකත්වය විවෘත ලෙස සාකච්ජා කරන නිසා බොහෝ ගුරුවරු ළමයින්ට එය කියවන්න එපා කියල කිව්වා. ඒකෙන් හොඳක්‌ වුණාද, නරකක්‌ වුණාද කියන්න මා දන්නේ නැහැ. හැබැයි නරකක්‌ වුණා යෑයි නම් මට හිතෙන්නේ නැහැ. එකම දේ අද තිබෙන්නේ ලිංගිකත්වය නිරූපණය කිරීම නොවෙයි. ලිංගිකත්වය සූරා කෑම. අනවශ්‍ය විදියට ලිංගිකත්වය ප්‍රයෝජනයට ගැනීම.

"යළි උපන්නෙමි" කෘතිය ඔබ ප්‍රතික්‍ෂේප කරන්නෙත් එම තර්කය මතද?

"යළි උපන්නෙමි" මම ප්‍රතික්‍ෂේප කරන්නේ ඇත්ත වශයෙන්ම එහි තිබෙන ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය නිසා නොවෙයි. එහි එන චරිතයත්, ඒ ප්‍රශ්නයත් එක්‌තරා විදියක ව්‍යාජයක්‌. එය මේ සමාජය තුළින් පැනනැඟුණු තත්ත්වයක්‌ නොවෙයි. එහි තිබෙන්නේ මේ සමාජයෙන් වියෝවුණු පුද්ගලයකුගේ මානසික රෝගයක්‌. සම්පූර්ණ කතාවම ගොඩනඟා තිබෙන්නේ එම පසුබිම මත. කවුරු හරි කෙනෙක්‌ අහන්න පුළුවන් එවැනි චරිත සමාජෙ නැද්ද? කියල. එහෙම චරිත නැත්තේ නැහැ. ඉන්නවා. ඒත් නවකතාකරුවෙක්‌ යම්කිසි චරිතයක්‌ නිර්මාණය කරනවා නම් ඒ චරිතය සමාජයේ පොදු චරිතයක්‌ විය යුතුයි. නවකතාකරුවා මනසින් පමණක්‌ නිරූපණය කරන මනස්‌ පුතෙක්‌ගෙන් ඇති වැඩක්‌ නැහැ. නවකතාකරුවා බිහි කරන චරිතය මගින් සමාජයේ එක්‌ පැතිකඩක්‌ නියෝජනය විය යුතුයි. එහෙම නැතුව හුදු පුද්ගල චරිත පමණක්‌ නිර්මාණය කිරීමේ තේරුමක්‌ නැහැ.

මානසික රෝගියෙක්‌ පිළිබඳ තිබෙන වාර්තාවක්‌ ඒ මානසික රෝගියාට වැදගත් වෙන්න පුළුවන්. ඒත් ඒක මුළු සමාජයටම වලංගු වෙන්නේ නැහැනේ. මේක ඉතා වැදගත්. ජෝර්ඡ් ලූකාස්‌ මෙම තත්ත්වය ඉතා හොඳට විස්‌තර කර තිබෙනවා. ඔහු පැහැදිලිව කියන්නේ යම්කිසි නවකතාවක චරිතයක්‌ නිරූපණය කිරීමේදී එහි තිබෙන එක්‌ ප්‍රධාන වැදගත්කමක්‌ තමයි, එම චරිතය මුහුණ දෙන ප්‍රශ්නය කොතරම් දුරට සමාජයට අනුකූලද යන්න පිළිබඳ නවකතාකරුවා අවධානය යොමු කිරීම. එය නිවැරැදියි. එහෙම නැති වුණොත් ඒක අභව්‍ය චරිතයක්‌ වෙනවා. "යළි උපන්නෙමි" තුළ ඉන්න ප්‍රධාන චරිතය එසේ අභව්‍ය චරිතයක්‌. එය මනඃකල්පිතයක්‌ පමණයි. එය බටහිර නවකතා ඇසුරෙන් බිහිවුණු අභව්‍ය චරිතයක්‌. එම චරිතය සමාජය විකෘති ලෙස හුවා දැක්‌වීමක්‌. එයින් සමාජයට කිසිදු වැඩක්‌ නැහැ. කොටින්ම එය සමාජයට අනුකූල නැහැ. ලියන දෙය සාධාරණ නැත්නම්, පාඨකයන්ට විෂය නොවෙනවා නම් එයට ඇතුල්වෙන්න බැරිනම් ලියන පුද්ගලයාට එය වැදගත් වුණාට සමාජයට වැදගත් වෙන්නේa නැහැ. "යළි උපන්නෙමි" සඳහා පමණක්‌ නොවේ පේරාදෙණිය සාහිත්‍යය පිළිබඳ කරන්න පුළුවන් ලොකුම විවේචනය තමයි එය. මාර්ටින් වික්‍රමසිංහ එය හොඳට තෝරා බේරා දී තිබෙනවා. එම නිර්මාණ මේ රටේ මිනිසුන්ගේ සමාජ ජීවිතයේ පැවැත්ම, ආකල්ප දිහා බලා ඒවා අවබෝධ කරගෙන ලියූ දේවල් නොව, අනුකාරක දේවල් කියලා. ඒක මගේ හිතේ සාධාරණ විවේචනයක්‌. ඇත්තෙන්ම "යළි උපන්නෙමි" මම නැවත මුද්‍රණය නොකරන්නේ එය නොවැදගත් නිර්මාණයක්‌ ලෙස මම හිතන නිසා.

කෙටි කතාව පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

නව කතාව ආමන්ත්‍රණය කරන්නේ මූලික වශයෙන් බුද්ධියට. කවිය ආමන්ත්‍රණය කරන්නේ මූලික වශයෙන් හදවතට. කෙටිකතාව මේ දෙක තිබෙන අතරමැදි තත්ත්වයක්‌. එය එක්‌වරම බුද්ධියට මෙන්ම හදවතටත් ආමන්ත්‍රණය කරනවා. කෙටිකතාව බොහෝ විට කවියට ළඟයි. ඒ නිසා එහි බස භාවපූර්ණ බසක්‌ වෙන්න ඕන. ඒ අනුව කෙටි කතාවක භාවමය ගුණය නවකතාවකට වඩා වැඩියි. ටෝල්ස්‌ටෝයිගේ 'යුද්ධය හා සාමය' කෘතිය ගන්න. එම නවකතාවේ සමහර තැන් බොහොම ආයාසයෙන් කියවන්න ඕන. ඒ කියන්නේ එහි භාවමය ගුණය අඩුයි. ඒක හරි. 'යුද්ධය හා සාමය', 'ඇනා කැරනිනා' වැනි කෘතිවල සාකච්ඡා කරන විශාල සමාජ විශ්ලේෂණය හරහා ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියට මිසක්‌ හදවතට නොවේ. ඩොස්‌ටොවුස්‌කිගේ කෘති පවා සමහර වෙලාවට දීර්ඝ වෙහෙසක්‌ අරගෙන කියවන්න ඕන. මොකද ඒව ලිව්වේ පාඨකයගේ බුද්ධියට.

නමුත් කෙටිකතාව ඊට වෙනස්‌. ඇන්ටන් චෙකොµaගේ කෙටිකතාව අරගෙන බලන්න. ඉහත සඳහන් කරන ලද නවකතාවල අපට හමුවන භාෂා විලාශයට වඩා වෙනස්‌. එය ඉතා සුඛනම්‍ය භාෂාවක්‌. කෙටිකතාවක තිබෙන සංක්‍ෂිප්ත භාවය තුළ රචකයා යොදා ගනු ලබන බස භාවපූර්ණ බසක්‌ නොවේ නම් එය සාර්ථක කෙටිකතාවක ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. කෙටිකතාව හරහා දෙනු ලබන පණිවිඩය හෝ අදහස කුමක්‌ වුවත් ඒ හරහා පාඨකයාගේ හදවතේ, බුද්ධියත් අවදි කළේ නැත්නම් එය නිකම්ම නිකම් වාර්තාවක්‌ විතරයි. ඒ වගේම නවකතාවක යොදා ගනු ලබන භාෂාව භාවපූර්ණ නොවිය යුතු යෑයි මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණයක්‌ නම් එය රචනා කරන ලේඛකයාගේ බස අනිවාර්යයෙන්ම නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් විය යුතුයි. මගේ 'ගමනක මුල' නවකතාව හරහා නිර්මාණය වන අනිකු=ත් සියලුම කෘතීන් තුළ සාකච්ඡා කරන්නේ මධ්‍යම පංතියේ සමාජ විකාශනයේ විශාල චිත්‍රයක්‌. ඒ තුළ සිදු කෙරෙන්නේ බුද්ධිමය සංවාදයක්‌. නමුත් එහි භාවමය ලක්‍ෂණ තිබෙනවා. එම භාවමය ලක්‍ෂණ බිහිවෙන්නේ එහි යොදාගෙන ඇති බස හරහා. 'කියනු මැන දිවි අරුත' කෙටිකතා පොතත් එයට හොඳ උදාහරණයක්‌.

ඔබගේ කෙටි කතා පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්‌ද?

මගේ පළමුවැනි කෙටි කතා පොත 'රතු රෝස මල'. එහි තිබෙන්නේ බටහිර කෙටි කතාවල ආභාෂය. ''ජීවන සුවඳ' පොතේ තිබෙන වැදගත්කම තමයි අත්දැකීම් මුල් කරගෙන ලිවීම. එහි එන තරුණයා එක්‌තරා විදියකට සමාජයෙන් වියෝවුණුq ලෝකයක ජීවත් වූ තරුණයෙක්‌. සමාජය හා ගැටෙන, සමාජයට අභියෝග කරන කෙනෙක්‌ නොවේ. නමුත් ඊට පස්‌සේ රචනා වන 'එක්‌ටැමෙන් පොළොවට', ''කතා පහක්‌', 'ප්‍රේමයේ සත්‍ය කතාව', 'අසත්‍ය කතාව' ඇතුළු අනිකුත් කෘති තුළ අපිට පෙනෙනවා සමාජය සමග පුළුල් ලෙස ආබද්ධ වුණු චරිත. සමාජයෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක්‌ නොවේ. සමාජයට වැදගත් වෙන්නෙ මෙන්න මේවයි. ජයතිලක කම්මැල්ලවීරගේ, පියසීලි විඡේමාන්නගේ, අනුලා කුමාරි විඡේරත්නගේ සමහර කෙටිකතාවල මෙම ලක්‍ෂණය තිබෙනවා. සයිමන් නවගත්තේගමගේ මුල් කාලීන කෙටිකතාවල යම් සාර්ථක ලක්‍ෂණ තිබෙනවා. ඒවා සමහරක්‌ සාර්ථකයි. නමුත් පසු කාලයේ ලියපු නවකතා කෙටිකතා ගන්න දෙයක්‌ නැහැ. ඒව තුළ තිබෙන්නේ බොරු මෝස්‌තර. "සාපේක්‍ෂනී" වගේ කෘතියක්‌ එයට හොඳ උදාහරණයක්‌.

එතකොට කරුණාසේන ජයලත්

ඔහුට හොඳ දක්‍ෂකමක්‌ තිබුණා. ඔහු ලොකු දෘෂ්ටිකෝණයකින් බලා රචනාවේ යෙදුණු ලේඛකයෙක්‌ නොවේ. නමුත් ඔහුගේ රචනාවල අපට ළං වෙන්න පුළුවන් සමාජ චිත්‍රයක්‌ තිබුණා. එවැනි සමාජ චිත්‍රයක්‌ නිර්මාණයක්‌ කරන්න පුළුවන් බසක්‌ ඔහු සතු වුණා. නමුත් මම කැමැති 'ගොළු හදවත' කෘතියට නොවේ. 'ගැහැනු ළමයි' කෘතියට. 'රිදී නිම්නය' ඔහු රචනා කළේ ගැඹුරු යමක්‌ ප්‍රකාශ කරන්න. නමුත් එය ඉතා සරල අසාර්ථක කෘතියක්‌. ජයලත්ගේ කතා වැටෙන්නේa 'මළගිය ඇත්තෝ', 'මළවුන්ගේ අවුරුදු දා' වගේ කොටසකට. 'මළගිය ඇත්තෝ', 'මළවුන්ගේ අවුරුදු දා' කෘති දෙක වුණත් ඉතා වටිනා ගද්‍ය කාව්‍ය දෙකක්‌ මිසක්‌ සාර්ථක නවකතා දෙකක්‌ නොවේ.

"විරාගය" මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හොඳම කෘතිය බවට ඔබ පිළිගන්නවාද?

'විරාගය' හොඳ තමයි. නමුත් එයට වඩා 'ගම්පෙරළිය', 'කලියුගය', 'යුගාන්තය' කියන නව කතා තුන 'විරාගයට' වඩා ගැඹුරු දෙයක්‌ කියනවා. 'විරාගය' ජනප්‍රිය වුණේ මාර්ටින් වික්‍රමසිංහයන් ඒ හරහා දෙන්න හදපු බුද්ධිමය පණිවිඩය නිසා නොවේ. එහි ඇති ප්‍රේම කතාව නිසා. මම 'විරාගය' ගැන ලිපි කිහිපයක්‌ රචනා කර තිබෙනවා. කතා කර තිබෙනවා. අරවින්ද හරහා වික්‍රමසිංහයන්ට කියන්න අවශ්‍ය වුණේ ගමෙන් ආපු කෙනෙක්‌ වෙනස්‌ වන සමාජයට අනුව වෙනස්‌ වීමට නොහැකි වී ඒ තුළ හුදකලා වීමයි. ඒ හුදකලා පුද්ගලයාගේ වියෝවයි. එහි එන අනිකුත් චරිත වෙනස්‌ වන සමාජයට අනුකූල වෙමින් ජීවිතය සාර්ථක කරගන්නවා. අරවින්දගේ පරාජයෙන් පෙනෙන්නේ වෙන දෙයක්‌ නොවෙයි. ඔහුගේ ජීවිතයට සරිලන සමාජ ආර්ථිකයක්‌ මේ රටේ ගොඩනඟා ගැනීමට හැකි වීම. තරගය මුල් කරගත් බටහිර ධනවාදී ආර්ථිකය ඔහුට ගැලපෙන්නෙ නැහැ. ඔහුට සාර්ථක ජීවිතයක්‌ ගත කරනවා නම් ගත කරන්න වෙන්නේ මෙන්න මේ වෙනස්‌ වූ සාමාජික, ආකල්ප හා පුරුෂාර්ථ උඩ. එය තමයි, එහි තිබෙන හරවත් පණිවිඩය. නමුත් බොහෝ දෙනා තදින් වැළඳ ගත්තේ එහි තිබෙන භාව කම්පනය කරන ප්‍රේම වෘතාන්තය මිසක්‌ එහි සැබෑ අර්ථය නොවේ. 'ගම්පෙරළිය' නවකතාව සාර්ථකයි. යථාර්ථවාදී නවකතාවට පදනම වැටුණේ එම කෘතියත් සමගින්. 'විරාගය' අසාර්ථක හෝ නීරස කෘතියක්‌ නොවේ. නමුත් මම හිතන්නේ වික්‍රමසිංහගේ නවකතා ත්‍රිත්වය එයට වඩා ගැඹුරු සමාජ විශ්ලේෂණයක්‌ ඉදිරිපත් කරන බවයි.

නවකතා ත්‍රිත්ව අතරිනුත් " කලියුගය" විශේෂ වන බව මගේ පෞද්ගලික හැඟීමයි...

එය හරි. 'ගම්පෙරළිය' හා 'යුගාන්තය' එකට යා කරන්නේ 'කලියුගය' හරහා. ගම්පෙරළිය නවකතාව ඉතිහාසය තුළ ඉතා වැදගත් ස්‌ථානයක්‌ ගන්නා සේම එම ත්‍රිත්වය අතරිනුත් 'කලියුගය' ඉතා විශේෂයි. නමුත් ඒ පිළිබඳ හරවත් කතිකාවතක්‌ ගොඩනැඟුණේ නැහැ. හැමෝම කතා කරන්නේ 'ගම්පෙරළිය' ගැන පමණයි. මෙතැනදී තවත් කරුණක්‌ පැවසිය යුතුයි. 'විරාගය' තුළින් වික්‍රමසිංහ දෙන්න උත්සාහ කරපු පණිවිඩය 'විරාගය' චිත්‍රපටය තුළ ඉදිරියට ආවත්, 'ගම්පෙරළිය' චිත්‍රපටයේ තිබෙන්නේ නන්දා හා පියල්ගේ ප්‍රේම කතාව විතරයි. වෙන කිසි දෙයක්‌ නැහැ. රුසියන් නවකතාව ශ්‍රේෂ්ඨ වෙලා තිබෙන්නේ ඒ යුගයේ ඒ සමාජයේ මධ්‍යම පංතිය තුළ තිබුණ ප්‍රබල සංවාදය. ඒ සංවාදයේම කොටසක්‌ තමයි එම කෘතිවල තිබෙන්නේ. ටෝල්ස්‌ටෝයිට අවශ්‍ය වුණේ ජරාජීර්ණ වූ රුසියන් සමාජය වෙනුවට විකල්ප සමාජයක්‌ ගොඩනැඟීම. ඒ වගේ ගම්පෙරළිය හරහා වික්‍රමසිංහයන්ට අවශ්‍ය වුණෙත් පාරම්පරික වැඩවසම් සමාජය අභාවයට යැමත් සමග නැඟී එන නව වාණිජ පංතියේ ස්‌වරූපය පිළිබඳ අදහසක්‌ නිර්මාණය කරන්න. ඒත් චිත්‍රපටයේ ඒ කිසි දෙයක්‌ ගොඩනැඟී නැහැ. නමුත් 'ගම්පෙරළිය' යුග යුග ගණන් කියවා තිබෙන නිසා 'ගම්පෙරළිය' චිත්‍රපටය නරඹන ප්‍රේක්‍ෂකයෝ මානසික වශයෙන් අනිවාර්යයෙන්ම පොත සමඟ බද්ධ වෙනවා. එය සිහියේ තබාගෙන චිත්‍රපටය නරඹනවා.

මහාචාර්ය සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ ඔබගේ අදහස කෙබඳුද?

ඔවුන් දෙදෙනාම සිංහල සාහිත්‍යයට කරන ලද සේවය අති විශාලයි. ඒ පිළිබඳ විවාදයක්‌ නැහැ. සරච්චන්ද්‍රයන් 'විරාගය' පිළිබඳ කරන ලද නිරීක්‍ෂණය ඉතා වැදගත් යෑයි මට හිතෙනවා. ඔහුගේ අදහසට අනුව අරවින්ද තෘප්තියක්‌ ලබන්නේ අවසානයේ තමන්ට හිමි නොවන සිහින ලෝකයක්‌ තුළින්ය යන නිරීක්‍ෂණය තුළ යම්කිසි සත්‍යතාවක්‌ තිබෙනවා. වික්‍රමසිංහයන් මම අඳුර ගන්නේ එඩ්වින් ආරියදාස මගින්. හඳුනගත්ත දවසේ සිටම ඔහු මිය යනතුරු අපි අතරේ විශාල සුහදත්වයක්‌ ගොඩනැඟී තිබුණා. මම වික්‍රමසිංහගේ සියලුම පොත් පත් හා ලිපි ලේඛන කියවල තිබෙනවා. ඒ හරහා ඔහු පිළිබඳ ලොකු ගෞරවයක්‌ මට තිබුණා. කොටින්ම කියනවා නම් නූතන සිංහල සාහිත්‍යයේ නිර්මාතෘවරයා වික්‍රමසිංහ. ඔහු දැමූ පදනම උඩ තමයි අපි සියලු දෙනාම අපේ නිර්මාණ ගොඩනඟා තිබෙන්නේ. නමුත් හුඟ දෙනෙක්‌ එය වටහාගෙන නැහැ. සිංහල ජනතාවට ඔවුන්ටම සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ තිබෙන බව මෙම සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ පැහැදිලිව පෙන්වා දුන්නේa ඔහු. ඒක දැන් බැලූවිට සුළු පටු දෙයක්‌ වගේ තමයි. නමුත් එතුමා තමයි තර්කානුකුලව එම අදහස ගොඩනැඟුවේ.

'සිංහල සාහිත්‍යයේ නැඟීම' කෘතිය පුරාම ඔහු සාකච්ඡා කරන්නේ සිංහල මිනිස්‌සුන්ට අතීතයේ සිට බුදු සමය ආශ්‍රයෙන් බිහි වූ විදග්ධ සංස්‌කෘතිය පිsළිබඳව. එම සංස්‌කෘතික පදනම උඩ තමයි, එතුමා සියලුම සාහිත්‍ය විචාර ගොඩනැඟුවේ. ඔහු කිසියම් කෘතියක සාර්ථක අසාර්ථක බව පෙන්වා දුන්නේ සිංහල සංස්‌කෘතිය කියන සංකල්පය උඩ. එය නිවැරදියි. විචාරයට යම් කිසි පදනමක්‌ තිබිය යුතුයි. නිsකම් දොඩවා හරියන්නේ නැහැ. එම පදනම අපේ සමාජ සංස්‌කෘතික පරිසරය මත නිර්මාණය විය යුතු දෙයක්‌ මිසක්‌ කොහේවත් රටක තිබෙන විචාර පදනමක්‌ නොවිය යුතුයි. අද බිහිවෙන නවකතා මෙන්ම විචාරයන් තුළ ද දක්‌නට නොලැබෙන ලක්‍ෂණය එයයි. වර්තමාන නවකතාකරුවන්ට මෙන්ම විචාරකයන්ට ද එවැනි පදනමක්‌ නැහැ. ඒ නිසා ඒ ගැන වැඩිය කතා කිරීම පවා කාලය කා දැමීමක්‌. වික්‍රමසිංහයන් පෙර අපර දිග සාහිත්‍යය පිළිබඳ විශාල දැනුමක්‌ තිබුණු පුද්ගලයෙක්‌. ඒ වගේම විශ්ව විචාර න්‍යායන් පිsssssssළිබඳ පැතිරුණු දැනුමක්‌ තිබුණු පුද්ගලයෙක්‌. එවැනි පුද්ගලයෙකු පවා තම පදනම ලෙස යොදා ගත්තේa බුදු සමය හරහා ගොඩනැඟුණු සිංහල සංස්‌කෘතික උරුමය. අද නිර්මාණකරුවන් ඒ හැම දේම අතහැර අනුකාරක පිරිසක්‌ බවට පත්වීම ඉතා භයානකයි. සිංහල බෞද්ධ සංස්‌කෘතිය අමතක කර අපේ රටේ කිසිම සාහිත්‍යයක්‌ නිර්මාණය කරන්න බැහැ.

ඔබ කවියෙක්‌

අපිට තිබෙනවා, විශාල වියත් කවි සම්ප්‍රදායක්‌. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි, මගේ කවිය බිහිවුණේ. 'භාවගීත' ලියවුණේ සැහැලිවල, තොවිල් කවිවල, ජන කවිවල ආභාසයෙන්. 'අමල් බිසෝ' තුළ ඊට වඩා එහා ගියා. ඊළඟට 'ගුරුළු වත' තුළ සම්භාව්‍ය කවි බස යොදා ගත්තා. වියත් කවි බස තාම මැරිල නැහැ. කෝට්‌ටේ යුගයෙන් පස්‌සේ බිහිවෙච්ච වියත් කවි බස දිගින් දිගටම තිබෙනවා. එකම දේ තිබෙන්නේ අලගියවන්නගෙන් පස්‌සේ මේක කාලානුරූපව වෙනස්‌ කරන්න ශ්‍රේෂ්ඨ කවියෙක්‌ බිහි වුණේ නැහැ. කවියේ මූලිකම පරමාර්ථය තමයි රස ජනනය. ඒ නිසා තමයි මම කියන්නේ කවි බස කියන්නේ හදබස කියල. පුවත් පත් භාෂාවෙන්, කොළඹ කවි භාෂාවෙන් ඇතුළු ඕනෑම භාෂාවකින් කවි ලියන්න පුළුවන් කමක්‌ නැහැ. රස ජනනය සඳහා අර්ථ වනිය වගේම ශබ්ද වනියක්‌ද අවශ්‍යයි. මේ දෙකෙන් තමයි රසය උපදින්නේ. ශබ්ද වනිය සඳහා අවශ්‍යයි යම් විරිතක්‌. සිංහල භාෂාවට ප්‍රාණය ලැබෙන්නෙ විරිතෙන්. මෙය ගොඩක්‌ දෙනා වටහා නොගෙන ඕනෑම භාෂාවකින් කවි ලියන්න පුළුවන් කියල හිතාගෙන

කෑලි කෑලි කඩල වචන රාශියක්‌ ලියනවා. එතැනදී බිහිවෙන්නේ රසයක්‌ නැති නිර්මාණ බිහිවීම පමණයි. මම මුල ඉඳලම කවි ලිව්වේ රස ජනනය මූලික කරගෙන මිසක්‌ හුදෙක්‌ කවි රචනා කිරීමේ පරමාර්ථයෙන් නොවෙයි.

"අබුද්දස්‌ස යුගය" හරහා ආරම්භ වී" ගණඳුරු මැදියම..." හරහා ගලා ගිය ඔබගේ සමාජ සංස්‌කෘතික විවේචනය අද වන විට ප්‍රතිඵල අත්කර දී තිබෙනවාද?කිසි දෙයක්‌ වෙලා නැහැ. තව ඉතාම කෙටි කාලෙකින් සිංහල ජාතිsය නැත්තටම නැතිවෙලා යන කං අපි වෙන වෙන මනස්‌ගාත කර කර ඉන්නවා. අපේ අනාගතය ඉතාම භයානකයි. මෙවැනි මොහොතක සාහිත්‍යකරුවාගේ වගකීම අප නියමාකාරව අවබෝධ කරගත යුතුයි. අපේ වගකීම යොමු විය යුත්තේ අප වසන සමාජයට මිස අන්තර්ජාතිකත්වයට නොවේ.

සංවාදය - සුලෝචන වික්‍රමසිංහ [දිවයින]

යුතුකම සංවාද කවය

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com