පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 11 ක් සපිරුණේ ඉකුත් 12 වැනිදාය. ගෙවුණු වසර 11 තුළදී රටේ පැහැදිලි දේශපාලන ආර්ථික හා සමාජමය පරිවර්තනයක් සිදුවිය. සෝම හිමියන්ගේ අභාවයෙන් පසු පිබිදුණු බෞද්ධ බලවේගය, මෙරට දේශපාලන ව්‍යාපෘතිය පෙඩරල්වාදයෙන් ජාතිකවාදයට ගෙනයැමට සමත් විය. සුදු නෙලුම වෙනුවට ත්‍රස්‌ත මර්දනය සඳහා අවශ්‍ය සමාජ බලවේගයක් බිහිවිය. 2004 අප්‍රේල් 04 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ඡන්ද 552724 ලැබී භික්‍ෂුන් නව දෙනකුට පාර්ලිමේන්තු යැමට හැකිවන්නේද මේ බෞද්ධ පිබිදීමට දේශපාලන වටිනාකමක්, අගයක් ලැබුණු නිසාවෙනි. 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණීම සඳහා තීරක බලවේගය වූවේද ජාතික හෙළ උරුමය බව ප්‍රකට කරුණකි. මහින්දට බලයට ඒමට හැකිවුණේ සිංහල බෞද්ධ ඡන්දවලිනි. ප්‍රභාකරන් උතුරේ ඡන්ද වර්ජනය කිරීමටදුන් අණ මාරාන්තික ප්‍රහාරයක් වූයේ එජාප නායකයාට මිස සන්ධාන අපේක්‍ෂකයාට නොවේ.
2004 පෙබරවාරි 17 වැනිදා ජාතික හෙළ උරුමය බිහිවිය. එහිදී හක්‌ගෙඩිය ලකුණින් දිවයින පුරාම මහ මැතිවරණය වෙනුවෙන් භික්‍ෂුන්වහන්සේලා ඉදිරිපත් කිරීමට එකඟතාවය පළවිය. ඊට පසුදින එනම් පෙබරවාරි 18 වැනිදා උඩුවේ ධම්මාලෝක හිමියන් එවක වැඩි සිටි අසපුවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්විණි. බෞද්ධයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් තමන් මැතිවරණයට පිවිසි බව මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ ප්‍රකාශ කර සිටියහ. එම පුවත්පත් සාකච්ඡාව වාර්තා කිරීම සඳහා මේ ලියුම්කරුද සහභාගිව සිටියේය. දැන් හෙළ උරුමය වසර දහයක් පැරණි පක්‍ෂයකි. ගෙවුණු වසර දහය තුළ නොයෙකුත් හැලහැප්පීම් මැද්දේ යම් දේශපාලන ගමනක් ගියද අද මේ පක්‍ෂයට සිදුව ඇත්තේ කුමක්‌ද? හංසයා සරණාගතව නිසා මේ බෞද්ධ පක්‍ෂය දෙදරීමකට පත්ව ඇති බවනම් පැහැදිලිය.
ඉකුත් නොවැම්බර් 16 වැනිදා දිවයින පුවත්පතට "හෙළ උරුමය දැලි පිහියෙන් කිරිකෑම" යනුවෙන් ලිපියක් ලියා පළකරනු ලැබුවේද නොබෝ දිනකින්ම හෙළ උරුමය පුපුරායැමට ඉඩ ඇති බව ඉවෙන් දැනුණු නිසාය. 2004 අප්‍රේල් මාසයේදී මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව "හෙළ උරුමය ලද ජය බෞද්ධයන් රවටන නායකයන්ට දුන් පිළිතුරකි" මැයෙන් ලිපියක් පළ කළෙමු. එහෙත් දැන් එවැන්නක් පළ කිරීමට නොහැකිය. ඕනෑම දේශපාලන පක්‍ෂයක් තුළ විවිධ මත ගැටුම් පවතී. පක්‍ෂ හැරයැම් ඉතා සුලභය. 2004 දී හෙළ උරුමයට පත් වූ භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද පක්‍ෂය හැරගොස් ඇත. නමුත් එයට තිබුණු සමාජ වටිනාකමේ විශාල නායයැමක් දක්‌නට ලැබුණේ නැත. සැබවින්ම මෙරට මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ජනතාව තුළ හෙළ උරුම මතයට විශාල ගෞරවයක් තිබිණි. නමුත් වර්තමානයේ සිදුවන්නේ කුමක්‌ද?
හෙළ උරුමය ආරම්භ කිරීමට මූලික වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට නම් නොවේ. බෞද්ධ අයිතිවාසිකම් රැකගැනීමටය. 2004 දී පිවිතුරු හෙටක් ගැන අප අසා තිබුණේ නැත. ව්‍යවස්‌ථා වෙනස්‌කම් වලින් බෞද්ධයන්ට සාධාරණය ඉටුකළ හැකිද? බෞද්ධයන් අන්‍යාගමට හැරවීමට එරෙහිව ගෙනා පනතට ස්‌වාභාවික මරණයක් අත්වන්නට ඉඩදුන් හෙළ උරුම නායකයෝ "පිවිතුරු හෙටක් ප්‍රතිපත්ති" ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්‍ෂ ක්‍රියා නොකරන්නේ යෑයි කියමින් සන්ධාන රජයෙන් ඉවත් විය. මෙය සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයා අන්දමන්ද කරන්නක් විය. ඔවුහු වික්‍ෂිප්ත වූහ.
මහින්ද රාජපක්‍ෂ රජය කඩා බිඳගෙන පැමිණි හෙළ උරුම නායකයෝ ප්‍රකාශ කළේ තමන් ගල්ලෙන බිඳ පැමිණි බවයි. හෙළ උරුම නායකකාරකාදීන්ට සිංහයා සමඟ ප්‍රශ්නයක් තිබුණද සාමාන්‍ය පාක්‍ෂිකයාට සිංහයා සමඟ වෛරයක් තිබුණේ නැත. එනිසා ඔවුහු උභතෝකෝටිකයකට පත්වූහ. දැන් ගල්ලෙන බිඳ හෙළ උරුමය ඇතුළු වී ඇත්තේ කොටි, නරි, හිවලුන් වෙසෙනා ලෙනකට බව කිවහොත් නිවැරදිය. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ වැරදි ඇති බව පැහැදිළිය. එහෙත් ඒ වැරදි මත "මහින්ද" එලවා දමා කවරකු පත් කරන්නේද? චන්ද්‍රිකා, රනිල්, වික්‍රමබාහු, මනෝ ගනේෂන්, අසාද් සාලි ඇතුළු කිසිවිටක එකිනෙකට නොපෑහෙන බලවේග සමඟ කටයුතු කරමින් මෛත්‍රී පාලනයක් ඇතිකළ හැකිද? බෞද්ධයන් රවටනු ලැබුවේ කවරකු විසින්ද? 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ශ්‍රී ල.නි.ප. මහලේකම්වරයා තම පක්‍ෂයේ සභාපතිට එරෙහිව පොදු අපේක්‍ෂකයා ලෙස තරගයට පිවිසියේය. එවිට එජාප මහලේකම්වරයා මේ පොදු අපේක්‍ෂකයාගේ හටන සුබ නැති බව හොඳින්ම අවබෝධකරගෙන ජනාධිපති මහින්දගේ ජය තහවුරු කිරීමට පැති මාරු කළේය. රටේ ප්‍රධාන පක්‍ෂ දෙක දෙදරා ගියා සේම ජාතික හෙළ උරුමයද දෙදරා ගියේය. හෙළ උරුම නියෝජ්‍ය ලේකම් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යළිත් ජනාධිපතිවරයාට සහය දීමට ඉදිරිපත් වූයේ මේ අශුද්ධ සන්ධානය තුළ තමන්ට කටයුතු කළ නොහැකි බව පවසමිනි. පාක්‍ෂිකයන් අතර ජනප්‍රිය නායකයකු වූ ගම්මන්පිල මහතා ආපසු හැරී යැම මගින් 2004 දී ආරම්භ කළ පක්‍ෂය එතෙක් මෙතෙක් අත්දුටු දැවැන්තම දෙදරීම සිදුවිය.
ගල්ලෙන බිඳ පැමිණි හෙළ උරුමය අද ගල්ලෙනෙන් පහළට ඇදවැටී ඇතැයි කියන්නේ කනගාටුවෙනි. බෞද්ධ මතය වෙනුවට පිවිතුරු හෙටක් ඉදිරියට පැමිණීම නිසා බලාපොරොත්තු වූ පරිදිම හෙළ උරුමය දෙදරා ගොස් ඇත. හෙළ උරුමයට ඡන්දය දුන් කිසිවෙකු යහපාලනයක් ගැන විශේෂ උනන්දුවක් දැක්‌වූයේ නැත. යහපාලනය ගැන කථාකරන්නේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම බටහිර බලවේග බව අමුතුවෙන් කිව යුතු නැත. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යහපාලනය ගැන කථාකරමින් රාජපක්‍ෂ ජනාධිපතිවරයා එළවා දමන බවට මහ හඬින් ප්‍රකාශ කිරීම සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයන්ගේ සතුටට නම් හේතුවූයේ නැත. උදය ගම්මන්පිල සමඟ හෙළ උරුමය මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ද නැවත ගල්ලෙන බිඳගෙන සන්ධානයට ගියේද පිවිතුරු හෙටක් ප්‍රතිපත්තියට වඩා සුපුරුදු මහින්ද චින්තනය හොඳ යෑයි හැඟුණු නිසාය. නායකකාරකාදීන් කවරක් කීවද සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂකයා පොදු අපේක්‍ෂකයා කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දක්‌වයිද යන්න පැහැදිළි නැත. 2004 වසරේ සිට හෙළ උරුමයේ දේශපාලන ගමනේ හොඳ නරක ගැන ලිපි රැසක් මා අතින් සටහන්ව ඇත. නමුත් මේ දෙදරා යැමත් සමඟ මේ සමාජ බලවේගයේ ගමන කොතැනටද? සැබවින්ම සිදුවූයේ ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහලට ඇදවැටීම නොවේද?
-චතුර පමුණුව
දිවයින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .