12/15/2014

නායකයින් ආත්ම කේන්ද්‍රීය වීම උදෙසා තරුණයා ගොනාට ඇන්දවීම

කතෘ:යුතුකම     12/15/2014   8 comments

ඒ පැත්තෙන් මේ පැත්තට එන්නේ කවුද? මේ පැත්තෙන් ඒ පැත්තට යන්නේ කවුද? ඒ අද දේශපාලන ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන ජවනිකාවකි. මෙහිදී වඩා වැදගත් වන්නේ යන්නේ එන්නේ කවුද කියන කාරණයට වඩා ඔවුන් යන්නේ එන්නේ කුමන හේතුවක් මතද යන කාරණයයි. අපි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පටන් ගනිමු.

විධායක ජනපති ධූරය අහෝසි කරනවාද, නැත්ද?

විධායක ජනපති ධූරය අහෝසි කිරීම බැලූ බැල්මට ඉතා ආකර්ෂණීය සටන් පාටයකි. නමුත් එය එතරම් සරල කාරණාවක්ද නොවේ. 1978 ජයවර්ධන ජනාධිපති තුමා විසින් විධායක ජනපති ක්‍රමය ඇතුලත් කරමින් සැදූ වත්මන් ව්‍යවස්ථාවේ බොහෝ වගන්ති විධායකය සමඟ සබධතාවක් ඇත. එසේ අහෝසි කරනවා නම් ඒ සියළුම වගන්තිද සංශෝධනය කළ යුතුය. ඒ ඇතැම් අනෙක් වගන්ති සංශෝධනය, විධායකය අහෝසි කිරීමටත් වඩා තීරණාත්මකය. දේශපාලනිකය. උදාහරණයක් ලෙස දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ටාධිකරණ තීරණය ලැබෙන්නේ විනිසුරුවන් නව දෙනෙකුගෙන් පස් දෙනෙකුගෙන් පමණි. (සැබවින්ම එයින් ද එක් අයෙක් එයට පක්ෂ වූවාද නැතිද යන්න විවාද සම්පන්නය) ඔවුන්ද එමඟින් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය වන ශ්‍රී ලංකාව ඒකීය රටක් යන්න උල්ලංගනය නොවන බව පවසන්නේ ජනාධිපතිවරයා විසින් පළාත් සභාවලට ආණ්ඩුකාරවරයකු පත් කරන නිසාය. අද බෙදුම්වාදීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් උතුරු පළාතට පත් කරන ලද ආණ්ඩුකාරවරයා වන මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙනුවට වෙන අයකු පත්කිරීමයි. මෙහි ඇති බැරෑරුම් කම තේරුම් ගැනීමට ඒ ප්‍රමාණවත්ය. විධායක ජනපති ධූරය අහෝසි කරනා විට ජනාධිපතිතුමා විසින් පත්කරන පළාත් ආණ්ඩුකාරවරයාට සිදු වන්නේ කුමක්දැයි යන්නට මුනිවත රැකීමම වංචාවකි. යමෙකු මේවා ගැන හරියට නොසිතා තමන් විධායකය අහෝසි කරනවා  යයි සිංහ නාද පවත්වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමටය.

විධායක ජනපති ධූරය අහෝසි කරනවාත් සමඟ ව්‍යවස්ථාව පුළුල් වෙනසකට ලක් කළ යුතු වන අතර වඩා වැදගත් වන්නේ ඒ වෙනස කුමක්ද යන්නයි. චන්ද්‍රිකා ගෙනෙන්නට උත්සාහ කළ පැකේජය තුළ විධායකය අහෝසි වන්නේ මෙරට දෙකඩ කරවීමට බලා සිටිනා බටහිරයන්ගේ මනදොළ පිනවීමට ඒකීයභාවය බිද දමමින් මෙරට ෆෙඩරල් හෝ කොන්ෆෙඩරල් තත්වයක් දක්වා ඇදගෙන යාමෙනි. රනිල් එයට ගිනි තබන්නට ඇත්තේ රට ෆෙඩරල් වන නිසා නොව, එවක තමන්ට මීලඟට ලැබේ යයි සිතා සිටි විධායක ජනපති ධූරය ඉවත්වන නිසා බව සිතාගැනීම වඩා නිදොස් යයි සිතමි.

විධායක ජනපති ධූරය සම්බන්ධයෙන් යමක් සිරිසේන මහතාද පවසන බව පැහැඳිලිය. එජාපය ඇතුළු වෙනත් පක්ෂ හා සංවිධාන සමඟ එතුමා විහාර මහා දේවි උද්‍යානයේදී අත්සන් තබන්නේ විධායක ජනපති ධූරය දින සියයක් ඇතුලත අහෝසි කර දැමුමටයි. නමුත් එම ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර ජාතික හෙළ උරුමය සමඟ අත්සන් තබන්නේ විධායක ජනපති ධූරයේ අහිතකර බලතල පමණක් සංශෝධනයටයි. අහිතකර බලතල සංශෝධනයට එකඟ වනවා යනු විධායකය දිගටම පවත්වා ගැනීමට එකඟ වීමකි. එනිසා මේ ගිවිසුම් දෙක ඉඳුරාම එකිනෙකට පරස්පරය.

මෙහි ඇති ඉතාමත්ම අවාසනාවන්ත තත්වය නම් අද වත්මන් දේශපාලකයින් පත්ව ඇති දුර්ධාන්ත මට්ටමයි. යහ පාලනය සහ ප්‍රජාත්ත්‍ර්වාදය ඇති කරන්නට එන වීරයෝ තමන්ගේ තක්කඩි ගතිය ලොවට පෙන්වන්නේ තමන් යහපාලනය හා ප්‍රජාත්න්ත්‍රවාදය ඇති කරන බවට අත්සන් යොදන ගිවිසුම් තුළමය. දේශපාලනය ගැන ඉතා සරල නොගැඹුරු කියවීමක් ඇති තරුණයකු ඒගොල්ලොන්ගේ ගිවිසුම් ඒ ගොල්ලෝ බේරාගත්තාවේ, අපිට ඕනෑ මේ මහින්ද පරද්දන්න යයි කියනු ඇසුවෙමි. සැබවින්ම ඒ තරුණයාගේ සහ සිරිසේන, රනිල්, චන්දිර්කා, මනෝ ගනේෂන් හා චම්පික හවුලේ දේශපාලනයෙහි ඇති වෙනසක් නැත. මොවුන් මේ අත්සන් තබන්නේ සිය පුද්ගලික දේපළ සම්බන්ධ ගිවිසුම් වලට නොව, මේ රට පිළිබඳ ගිවිසුම්වලටය. මේ රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව විසින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනු උදෙසා පවරන ලද බලයේ අනුහසිනි මේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් පන්නයට ගිවිසුම් වලට අත්සන් තබන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පරමාධිපත්‍ය බලය හිමි ජනතාව අවඥාවට ලක්වන්නේ 'යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය' නළලේ ගසාගෙන එන්නන් අතර ඇතිකරගන්නා ගිවිසුම් තුළමය. මුසාබස් දෙඩීමට පමණක් නොවා ඒවාට අත්සන් දැමීමට කිසිදු හිරිකිතයක් නැති අයගෙන් අපට බලාපරොත්තු විය හැකි යහපාලනය කුමක්ද? මේ තත්වය තුළ සිරිසේන මහතා රජයෙන් ඉවත් වන්නේ විධායක ජනපති ධූරය අහෝසි කිරීමට හෝ එහි බලතල කප්පාදුවට හෝ යන දෙකෙන් එකක් හෝ මත නොවන බව උකුණූ හිසක් තරම්වත් මොළයක් ඇති මිනිසෙකුට වටහා ගත හැක.

ඖෂධ පනත සොරාගැනීම

එසේ නම් ඔහු ඉවත් වන්නේ ඇයි? අපට මීළඟට සිත යොමු කළ හැක්කේ රජයෙන් ඉවත් වී පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවේ ඔහු පැවසූ අනෙක් කරුණු දෙක වෙතය. ඉන් පළමු වැන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තුමේන්තුව තුළදී යම් අයකු විසින් සොරකම් කිරීමයි. එසේ සොරකම් කරන ලද නම් ඔහු විසින් කළ යුත්තේ කුමක්ද? ඒ ගැන කිය කියා නිකම් සිටීමද? එයද නායකයකුගෙන් අප බලාපොරොත්තු වන භාවිතාව? ඔහු කළ යුත්තේ නැවත එම කෙටුම්පත ඉදිරිපත් කිරීම සහ සොරකම් කළ වුන් සොයා ඔවුනට නිසි දඬුවම් දීමය. කෙටුම්පතෙහි පිටපත් කිහිපයක් කිහිප දෙනෙකු අත තිබෙන බව ඕනෑම තොත්ත බබෙකුට සිතාගත හැකි කරුණකි. සියළුම පිටපත් (සිරිසේන මහතා ළඟ තිබෙන පිටපත සහ පරිගනක තුළ ගබඩා වී ඇති පිටපත්ද ඇතුළුව) විනාශ කර ඇත්නම් එය නැවත වරක් කෙටුම්පත් කළ හැකිය. එසේ නම් මෙවැනි ලාමක කතා කියන්නේ අර සරල තරුණයන් ගොනාට අන්දන්නට නොවේද?

මෙහිදී සිදු වන්නට ඇත්තේ කුමක්දැයි අපට අනුමාන කළ හැකිය. සිරිසේන මහතා තමාට මරණ තර්ජන තිබෙන බව වරක් අපට පැවසුවා මතකය. ඒ, මේ ඖෂධ පනත සම්බන්ධයනි. ලොව පුරා විශාල ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බව අපි අසා ඇත්තෙමු. ඔවුන්ගෙන් සිරිසේන මහතාගේ චරිත ශක්තිය ගැන අවබෝධයක් ඇති යමෙක් ඔහුට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කළේය. ඉන් පසුව සිරිසේන මහතාගේ පනත් කෙටුම්පත නැති විය. එක නිර්ණාමික දුරකතන ඇමතුමක් ඔස්සේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නවතා දැමීමට හැකි පෞර්ෂයකින් හෙබි ඔහු ඒ පිළිබද අන් අයට දොස් පැවරීම නම් අපූරු මෛත්‍රියකි.

සිගරට් පැකට්ටුවට රූප

ඔහු ඉදිරිපත් කළ අනෙක් කාරණය නම් සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% දක්වා යාමට එරෙහිව අධිකරණය යම් තීන්දුවක් ලබා දීමය. අධිකරණයට තීන්දු ගන්නට සිදුවන්නේ පවතින නීතිමය තත්වයන්ට අදාළවය. රටේ නීතිය සැකසීමේ බලය ඇත්තේ සිරිසේන මහතාද නියෝජනය කරන ව්‍යවස්ථාදායකටයි. සිරිසේන මහතා කළ යුතුව තිබුනේ කළින්ම නීතියක් සාදා ගැනීමය. එනම් පනතක් ඉදිරිපත්කර එය පාර්ලිමේන්තුවේ සම්මත කොට සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% ක් අනිවාර්ය කිරීම රටේ නීතියක් බවට පත් කිරීමයි. එසේ නොකළ ඔහු, සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80%ක් අඩංගු කරන්නැයි නියෝගයක් ලබා දුන්නේය. එම නියෝගයට එරෙහිව දුම්කොළ සමාගම් උසාවි ගියහ. ඔහු එය පනතක් ලෙස සම්මත කරගෙන නොසිටි නිසා අධිකරණයට තීන්දු ලබා දීමට සිදුවන්නේ පවතින අනෙක් නීතිමය තත්වයන් උඩය. එනිසා සිරිසේන මහතා මෙහිදී යහපත් චේතනාවකින් කටයුතු කරන්නට ඇති වුවත් ඔහු නිවැරදි ක්‍රියාදාමය අනුගමනය නොකර නිසා එයද සාක්ෂාත් කරගැනුමට ඔහුට නොහැකි විය. දැන් ඔහු ජනතාවට කියන්නේ තමාට ඇමතිව සිට ඒවා කර ගත නොහැකි වූ නිසා තමා ජනපති කරදෙන ලෙසය. ජනපති වූ පසු ඔහුට මුහුණ දෙන්නට සිදු වන අභියෝගයන් හමුවේ ඖෂධ පනතත්, සිගරට් රූපත් ඉතා කුඩා ඒවා බව ඔහු නොදන්නවා විය නොහැකිය. එම අභියෝග ඇමති මට්ටමේ දී ජයගත්තා නම් ඔහුට අභියෝගයක් ජය ගැනීමේ කිසියම් හෝ හැකියාවක් ඇති බව අපට සිතන්නට තිබුනි.

ඔහු ආණ්ඩුවෙන් එළියට බැස්සේ විධායක ජනපති ක්‍රමයට එරෙහිව හෝ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ නොවන බව පැහැඳිලිය. ඖෂධ පනත හෝ සිගරට් රූප ක්‍රියාත්මක කරවා ගත නොහැකි වීම ඔහුගේ දුර්වල චරිත ශක්තියද පිළිඹීබු කෙරෙන්නක් නොවේද? එසේ නම් ඔහු පිල් මාරු කළේ ඇයි? එයද ඉතා පැහැඳිලි යයි සිතමි. ඒ අන් කවරක් නිසාවත් නොව පුද්ගල කේන්ද්‍රීය අභිලාෂයන් වන තමාට අගමැතිකම නොලැබීම සහ එහි වාඩුව ජනපති වීමෙන්ම පියවා ගැනීමේ චේතනාවෙන් යුක්තවය.  රජය පරදවන්නට හැකි නම් තවත් අය පනින්නට සූදානමින් සිටින නිසා ඒ සියළු දෙනා පනිනු ඇතැයි ඔහු සහ චන්ද්‍රිකා ගණන් බලන්නට ඇත. නමුත් චම්පිකද වරක් පැවසූ පරිදි මිණිගෙඩිය කරේ බඳින්නට ගිය පසු ඒ සඳහා අනුබල දුන් බොහෝ දෙනෙකු ආවේ නැත.

ආත්ම කේන්ද්‍රීය ගැටළු හා ජාතික දේශපාලනය අතර ඇති සහසම්බන්ධය

කරුණු මෙසේ නම් සිය පුද්ගල කේන්ද්‍රීය අභිලාෂයන් වෙනුවෙන් එළියට බැස්ස සිරිසේන මහතා “අයියෝ සිරිසේන” තත්වයට පත්වේද? අපි එසේ නොසිතමු. ඡන්දය, සිංහල දෙමළ හා මුස්ලිම් ආදී ජාතිකත්ව පදනමකින් සලකා බැලීම එතරම් හිතකර තත්වයක් නොවේ. නමුත් අප අකැමැත්තෙන් වුවත් භූමියේ පවතින යථාර්ථයන්ට මුහුණ දිය යුතුය. අප අකමැතියි කියා යථාර්ථය අමතක කොට සිහිනයක පාවෙමින් අපට තීන්දු ගත නොහැකිය. උතුරු නැගෙනහිර ඡන්දවලින් බහුතරයක් තවම ක්‍රියාත්මක වනුයේ දෙමළ සන්ධානයේ සිතැඟි පරිදිය. තිස් වසක් කුරිරු යුද්ධයෙන් බැට කමින් බලහාත්කාරයෙන් දශක තුනක් ඔස්සේ ප්‍රකෘතියෙන් බැහැර කරවා තබන ලද අපගේ ඒ සහෝදර ජනතාව නිදහසේ සිතන්නට පුරුදු වී නැත. එයට යම් කලක් ඔවුන් ගනු ඇත. එතෙක් ඔවුන් ඉහළින් එන බෙදුම්වාදී දෙමළ සන්ධානයෙන් එන නියෝගයන්හි වහළුන් පමණි. එතෙක් ඔවුනගේ ඡන්ද බෙදුම්වාදීය. සිංහලයන්ගේ ඡන්ද දෙකට බෙදා බහුතර සිංලයන්ගේ බලය නිෂේධනය කර බෙදුම්වාදී අරමුණු ඔස්සේ නැටවෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ මීළඟ පාර්ලිමේන්තු සටනේද සැලකිය යුතු කාර්ය භාරයක් සිරිසේනගෙ මෙන්ම චම්පිකලාගේ පුද්ගලික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම හා ගැටගැසෙනු ඇත.

නායකයින් තමන් වෙත එන පුද්ගලික ගැහැට ඉවසීමට පුරුදු පුහුණු විය යුතුය. ඒවාට මුහුණ දිය හැකි පෞර්ෂයකින් හෙඹි නොසැලෙන චරිත ශක්තියක් තමන් තුළ වඩවා ගත යුතුය. එසේ නොවන කල්හි, එම කුඩා පුද්ගලික කෙනිත්තිලි වල වාඩුව ගන්නා අටියෙන් දේශපාලනය කරන්නට යාමෙන් ඔවුන් නවතින්නේ බෙදුම්වාදී අධිරාජ්‍යවාදීන්ගේ අගු පිලේය. ඇහැලේපොළ චරිතය අපට ඉතිහාසයෙන් කියා දෙන පාඩම එය නොවේද?  චන්ද්‍රිකාට, සිරිසේනට මෙන්ම චම්පිකටත් ප්‍රමුඛ වී ඇත්තේ තමනට පුද්ගලිකව සිදුවූ හෝ සුදුවූවා යයි සිතන අසාධාරණකමක වාඩුව ගැනීම බව අවබෝධ කර ගැනුමට සිරිසේන මහතා එකම දිනයකදී අත්සන් තැබූ එකිනෙකට පටහැණි ගිවිසුම් දෙක වුවත් ප්‍රමාණවත්ය. ඔවුන් අභ්‍යන්තරික වශයෙන් මෙහෙය වෙන්නේ වෛරය විසිනි. හාස්‍යජනක කාරණය නම් එම වෛරයට මෛත්‍රී පාලනයක් යැයි නම් තැබුමය. මේ අයද බොරුවට හෝ දොස් පවරන විධායකය බිහිකිරීම පමණක් නොව, කළු ජූලිය, දේශපාලන පක්ෂ තහනම් කිරීම, මැතිවරණ නොපැවැත්වීම ආදී ඇත්තටම යහපාලනය නොතිබූ, මේ රට නියම අධර්මිෂ්ට යුගයක් කරා මෙහෙය වුනු ජේ ආර් ජයවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමාව වූයේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි කිරීම බව අපට අමතක නැත.

වෛරය, මෛත්‍රී වේශයෙන් මතුවිය හැකි බව බුදු දහමෙහි සඳහන්ය. නගරය හා සම්බන්ධ වන එහි යන එන, අන්තර්ජාලයේ ගොසිප් පුවත් ඔස්සේ "කාරණා කාරයකු" බවට පත්වන, තම ජාතියට උරුම ඉව අධ්‍යාපනය ඔස්සේ විනාශයට පත්කරගත් තරුණයින් කිහිප දෙනෙකු මේ මෛත්‍රී වේශයට රැවටී සිටිනු දැකිය හැක. බාහිරට පෙනෙන ලස්සන  සහ නවමු සටන් පාඨ වන විධායකය අහෝසි කිරීම, යහපාලනය ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වැනි සටන් පාඨ මඟින් ඒ තරුණයා ගොනාට අන්දා ඇත. කෙසේ වුවත් තවමත් හොඳ ඉවක් ඇති, සැමදාමත් රට මර උගුල්වලින් බේරා දෙන ගැමි ජනයාගෙ ඉවට නම් මෛත්‍රිය සහ වෛරය හඳුනා ගැනීම එතරම් ගැටළුවක් නොවේ.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

8 comments :

  1. විමලසේන12/15/2014 8:32 AM

    රටක නායකයා තේරීමේදී ඒ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන මතවාද, ක්‍රමවේද සහ භාවිතාවන් පිළිබද හරවත් සංවාදයක් ඇතිවනවා නම් මැනවි. නමුත් 2010 සිට සැඟවී සිට එක්වරම ප්‍රාදූර්භූතවන පොදු අපේක්ෂකයකු නිසා එවන් හරවත් සංවාදයකට ඇති ඉඩ අහිමි වී ඇත. පොදූ අපේක්ෂකයා සහ ඔහු සිටි පිළ මෙතෙක් කළ දෑ ඔහු අපේක්ෂකයා වූ පසු කැන්සල්ය. නිදන් සිට නැඟිට්ටා මෙන් තමා කාලයක් පුරා සිටි පිළ ඔහු විවේචනය කරයි. ඔහු අකවංක යයි සිතුවහොත් අපට පහත නිග මනය දෙකෙන් එකක් වෙත එළැඹිමට සිදු වේ. ඔහුට පොදු අපේක්ෂකයා වීමට පෙර පිස්සුවක් තිබී දැන් එය සුව වී ඇත. නැතිනම් ඔහුට දැන් පිස්සුවක් සැදී තිබේ.

    ReplyDelete
  2. meka nam maru adahasa
    "ඔහු අකවංක යයි සිතුවහොත් අපට පහත නිග මනය දෙකෙන් එකක් වෙත එළැඹිමට සිදු වේ. ඔහුට පොදු අපේක්ෂකයා වීමට පෙර පිස්සුවක් තිබී දැන් එය සුව වී ඇත. නැතිනම් ඔහුට දැන් පිස්සුවක් සැදී තිබේ. "

    ReplyDelete
  3. Anduwata Kade yana web site ekak kiyala tamai mata kiyanna wenne

    ReplyDelete
  4. අපිටත් දැනගන්න ඔය එකිනෙකට පටහැනි ගිවිසුම් දෙකේ මුල් පිටපත් මුලින් මේ වෙබ් සයිට් එකේ පලකරන්නකො. නැතිනම් ඉතින් Cනිව්ස් එක වගේම පචයක් කියලා තමයි කියන්න වෙන්නේ.

    ReplyDelete
  5. කොහොම හරි කරලා මේ ආණ්ඩුව දින්නොත් හොදයි.
    නැතිනම් උඹල වගේ ලේඛකයන්ට ** දීල තමයි ජීවත් වෙන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සුගත්12/16/2014 10:50 PM

      නිකම් මෝඩයෙක් වගේ කියවන්නේ නැතිව ලිපියේ අන්තර්ගතයේ වැරැද්දක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න..

      Delete
  6. ane sugathan, oyata uiya welada?

    ReplyDelete
  7. ubata me liyume thiyana ewa therenne na neda macchan,,,:) ohoma thama ..ganan ganna epa..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions