8/09/2016

යුගෝස්ලොවියාවේ මිලෙසොවික් ලාංකීය අපට දෙන පණිවිඩය

කතෘ:යුතුකම     8/09/2016   No comments

[ශෙනාලි වඩුගේ මහත්මිය ගේ  "ICTY takes 14 years to declare Milosevic did not commit War Crimes "
ලිපිය ඇසුරිනි. ]

යුගෝලාස්වියානු හිටපු ජනාධිපති ස්ලොබාදාන් මිලෙසොවික් මහතා යුධ අපරාධ චෝදනා සඳහා අත්අඩංගුවට ගත්තේ 2001 දීය. 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔහුට යුධ අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ වෙනුවෙන් චෝදනා කරනු ලැබිණ. වසර 5ක් තිස්සේ සිරකුඩුවට වී තමන්ට එරෙහි ව ඉදිරිපත් කළ එම චෝදනා වලට පිළිතුරු දෙමින් සිටි ඔහු 2006 මාර්තු 11 වන දින සිය සිරකුටියේදීම මරණයට පත්විය විය. දැන් වසර 14කට පසුව හේග් නුවර අපරාධ අධිකරණය පවසන්නේ මිලෙසොවික් යුධ අපරාධ සඳහා වැරදිකරු නොවන බවයි. නමුත් ඒ වින විට ප්‍රමාද වැඩිය. හිටපු යුගෝස්ලෝවියානු ජනාධිපති මියගොස් තිබිණ. එයට ඇමරිකාව ප්‍රමුඛ බටහිරය, එක්සත් ජාතීන්ගේ සංගමය හා ජාත්‍යන්තර මාධ්‍ය වගකිව යුතුය. ඔවුන් විසින් මිලෙසොවික්ව හැඳින්වූයේ බෝල්කනයේ ඝාතකයා ලෙසයි. ඔහුව හිට්ලර් හා සන්සන්දනය කෙරිණ. ඔහුට විරුද්ධව ජන සංහාර චෝදනා ගෙනිණ. ඔහු පිළිබඳ වැරදි චිත්‍රයක් මවා පා තිබුණි. එමඟින් 1999 දී ආර්ථික සම්බාධක පනවා සර්බියාවට ඇමරිකානු හමුදා විසින් බෝම්බ හෙළිණ. මේ සියල්ල සිදුකර පසුත් එම චෝදනා වලින් දැනට මියගොස් සිටින ස්ලොබොදාන් මිලෙසොවික් නිදහස් කළත් ඒ වෙනුවෙන් සමාව ප්‍රකාශ කිරීමක් වත් නැත. යුරෝපයේ අපට නුහුරු නුපුරුදු රටක් වන යුගෝස්ලෝවියාව දැන් නැත. එය රටවල් කිහිපයකට කැඩී ගොසිනි. අපිට නුපුරුදු යුගෝස්ලෝවියාවේ කතාව , ලාංකීය අපටත් ඉතා වැදගත්ය. ඒ සියළු බොරු චෝදනා අද ලංකාව දෙසටත් යොමුකර ඇත. ඒ බොරු චෝදනා ඉදිරිපත් කර යුක්තිය යයි වචනයක් පටලාගෙන සිදුකරන්නට යන විනාශයෙන් ලංකාව ගලවා ගත යුතුය.

මිලෙසොවික්ට එරෙහි යුධ අපරාධ අධිකරණය අතීතයේදී UK Guardian පුවත්පත පැවසූයේ හිට්ලර් ගේ නාසීන්ට එරෙහිව නියුරම්බර්ග් ට පසුව සිදුකළ සියවසේ දරුණුම යුධ අපරාධ විභාග ගැන්වීම බවයි. එය සියවසේ නඩු විභාගය වුණි.

එවකට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් පැවසුවේ"ඔබ දන්නා පරිදි එක්සත් ජනපදය හා නේටෝ හමුදා විසින් මිලෙසොවික් ගේ හමුදාවන්ට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇත. එමඟින් කොසෝවෝ ජනතාවට පහර දීමට ඇති හැකියාව මර්ධනය කරන්නට සූදානම් වෙමු" යන්නයි.

යුධ අපරාධ අධිකරණයේදී පැමිණිල්ලේ කැඳවුම්කරු වන ලුයිස් ආබර්, Louise Arbourපැවසූයේ යුගෝස්ලෝවියා රජයේ කොසොවෝ ප්‍රාන්තය විශාල අපරාධයක් සිදුවූ ස්ථානයක් බවයි.

එවකට යුගෝස්ලෝවියාව ඇමරිකාව ප්‍රමුඛ බටහිරය, එක්සත් ජාතීන්ගේ සංගමය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉලක්ක කර ඇති ආකාරය අද වන විට ලංකාව ඉලක්ක කරන ආකාරයට ඉතා සමානය. ‍

එවකට ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර මාධ්‍යයන් පැවසූවේ මිලෙසොවික් ගේ යුගෝස්ලෝවියාව හිට්ලර් ගේ මිනිස් ඝාතන මතක් කරන බවයි. අද වන විට ලංකාවට එරෙහිවත් මෙලෙස ජාත්‍යන්තර මාධ්‍ය හැසිරෙන ආකාරයට ඕනෑ තරම් නිදසුන් තිබේ. එවකට කොටින් වෙනුවෙන් පෙනී සිටි කෑදර එන් ජි ඔ ඩොලර් කාක්කන් විසින් අද ඇමරිකානු සැලැස්මට ලංකාව පාවා දෙමින් තිබේ.

1999 වස‍රේ මැයි මස දී කොසොවෝ යුද්ධය අතරතුර දී මිලෙසොවික්ට එරෙහිව යුගෝස්ලෝවියාවේ යුධ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංගමයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට චෝදනා පත්‍ර භාරදුණි. 2001 වසරේ අප්‍රේල් මාසයේදී මිලෙසොවික්ව අත්අඩංගුවට ගැනිණ. නඩු විභාගය 2002 දී පෙබරවාරි 12 වන දින ඇරඹුණු අතර 2002 නොවැම්බරයේදී ඔහු අසනීප විය. 2004 පෙබරවාරී මාසය වන විට පැමිණිලිකාර පාර්ශවය විසින් නඩුව ඉදිරිපත් කර අවසාන විය. මිලෙසොවික් සිය පිළිතුරු දීම 2004 අගෝස්තුවේදී පටන්ගත්තේ පැය 4 ක දේශනයකිනි.

හිටපු යුගෝස්ලෝවියානු ජනාධිපති ස්ලොබොදාන් මිලෙසොවික් ට එරෙහිව තිබුණු චෝදනා මෙසේය.

· යුද්ධයේදී ජාත්‍යන්තර යුධ නීතිය උල්ලංඝනය කිරීම.

· 1992 සිට 1995 තෙක් බොස්නියාවේ සිදුකළ ජනසංහාරය

· බොස්නියාවේ දහස් ගණනක ජනයා මරාදැමීම. විශේෂයෙන් 1995 දී සෙබ්රනිකා හිදී සිදුවූ මනුෂ්‍ය ඝාතන. මෙම සෙබ්රනිකා හිදී සිදුවූවා යයි කියන මනුෂ්‍ය ඝාතන පිළිබඳව එකල මාධ්‍ය වල පුවත් විශේෂයෙන් පළ වන්නට විය. ( ලංකාවට මෙය වැදගත් වන්නේ ලංකාවේ යුද්ධයේ අවසානය ගැන The Cage යන නමින් පොතක් ලියූ Gordon Weiss නම් හිටපු ලංකාවේ සිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් වරක් ප්‍රකාශ කර තිබුණේ, 2009 යුද්ධය ලංකාවේ සෙබ්රනිකා මොහොත බවයි. )

· මානව වර්ගයාට එරෙහි අපරාධ ( 1999 දී කොසොවෝ හිදී සිදුවූවා යයි කියන කෘර අපරාධ)

· නිත්‍යානුකුල යුද්ධයකදී සිදුනොවිය යුතු ආකාරයට සර්බියානු හමුදා විසින් ඉතා කෘර වධ බන්ධනයන් සිතා මතාම සිදුකළ බවට ඇමරිකාව හා එක්සත් ජාතින්ගේ සංගමය විසින් චෝදනා කළහ.

සර්බියානු හමුදා විසින් සාමාන්‍ය වැසියන් මරා දමමින් වාර්ගික සංහාරය සිදුකරමින් යුධ අපරාධ සිදු කළ බවත් උසාවිය විසින් මෙම අපරාධ මිලෙසොවික් විසින් දැන සිටියාද ඔහුගේ අණ කිරීම් නිසා එම අපරාධ සිදුකළා දැයි යන්න ප්‍රශ්න කෙරිණ.

ඔහුට පිළිතුරු සපයන්නට පැය 4ක කාලයක් ලැබුණු අතර ඔහු විසින් පැවසූයේ ඔහුට උත්තර සපයන්නට දින දෙකක කාලයක් අවශ්‍ය බවයි. ඊට හේතු වශයෙන් ඔහු දැක්වූයේ පැමිණිලිකාර පාර්ශවයට දින 3ක්ම සිය ප්‍රකාශය සටහන් කිරීමට කාලය ලබාදුන් බවයි. එමෙන්ම එම නඩු විභාගයේ සාක්ෂි කරුවන් ලෙස බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, ජර්මානු ජනාධිපති ගර්හට් ස්ක්‍රොඩර් හා හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් යන අයව ගෙන්වන්නට තමන් කැමති බවයි.

මිලෙසොවික් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළේය. මිලෙසොවික් ප්‍රකාශ කළේ ඔහුව කැඳවූ ජාත්‍යන්තර යුධ අධිකරණය නීත්‍යානුකුල නොවන බවයි. තමන් අසත්‍ය චෝදනා රැසකගෙන් බැට කන වින්දිතයෙකු බවත් සමස්ථ සර්බියානු ජාතියටම එරෙහිව මෙහිදී නඩු විභාග ඇති කොට ඇති බවත්ය. එම අධිකරණය මඟින් යුගෝස්ලෝවියාවට එරෙහිව සිදු කළ නේටෝ හමුදාවේ යුධ අපරාධ සාධාරණියකරණය කරන බවත් ප්‍රකාශ කර සිටියේය.

2006 මාර්තු 11 වන දින මිලෙසොවික් හේග් නුවර සිය සිර කුටියේදී මිය ගොස් සිටියදී හමුවිය. ඔහුගේ මරණය පවා සැකසහිත බවත් ඔහුගේ සිරුර සිරකුටියේදී හමුවීමට පැය 72 කට පෙර තමන්ව වස දී මරා දැමිය හැකි බවට මිලෙසොවික් විසින් ලිපියකින් රුසියානු විදේශ අමාත්‍යංශය වෙත දැනුම් දී තිබිණ. වෛද්‍ය වාර්තා අනුව 2006 ජනවාරියේදී මිලෙසොවික් ගේ රුධිරයේ තිබී ශරීරයට විෂ රසායනික හමුවී ඇත.

නමුත් මෙලෙස සිය රුධිරයේ මෙම රසායනික පවතින බවට වූ වෛද්‍ය වාර්තා අධිකරණය විසින් ඔහුගේ මරණය ළං වන තෙක් මිලෙසොවික්ට ලබා දී නැත. මේ පිළිබඳව අධිකරණය විසින් ලබා දුන් පිළිතුර වූ වෛද්‍ය රහස්‍යභාවය යන්න ඉතා බොළඳ පිළිතුරකි. නමුත් විකිලීක්ස් වාර්තා අනුව මිලෙසොවික් ගේ වෛද්‍ය වාර්තා පිළිබඳව රහස්‍යභාවය රැකීමට මිලෙසොවික්ට පවා නොපැවසූ ජාත්‍යන්තර අධිකරණය ඒ පිළිබඳ වාර්තා නිරන්තරයෙන් ඇමරිකානු තානාපතිවරුන්ට ලබා දී ඇත. එසේ කර ඇත්තේ මිලෙසොවික් ටත් රහසිනි.

නඩු විභාගය අතරතුරේ දී ජාත්‍යන්තර අධිකරණයේ Chief Prosecutor Carla Del Ponte ට විරුද්ධව නැඟුණු චෝදනාවක් වූයේ සාක්ෂිකරුවෙක්ට අල්ලස් ලබා දීමට තැත් කිරීමයි. මිලෙසොවික්ට එරෙහි සාක්කි සැපයීම වෙනුවෙන් එක් සර්බියානු සාක්ෂිකරුවෙක්ට ඇමරිකාව විසින් හොඳ වැටුපක් සහිත රැකියාවක් පවා ලබාදීමට ඉදිරිපත් වී තිබේ.

ලංකාවේ යුද්ධය දිනූ දේශපාලන නායකත්වය හා හමුදාවන්ට එරෙහිව යුධ අධිකරණ ආරම්භ කළ විට මීට සමාන තත්ත්වයක් ඇති වීමට හොඳටම ඉඩ කඩ ඇත.

මිලෙසොවික් ට එරෙහි නඩු විභාගයේදී සිටි ඩෙන්මාර්ක් ජාතික විනිසුරුවරයෙකු පිළිබඳ ඇති වූ සිද්ධියෙන්ම පෙනෙන්නේ විදේශ විනිසුරුවරුන් සිටීම විශ්වාසය ඇති කරවන්නක් නොවන බවයි. එම අවස්ථාවේදී පුද්ගලික ඊමේල් පණිවිඩ හුවමාරුවක් ප්‍රසිද්ධ වීමෙන් හෙළි වී ඇත්තේ අධිකරණයේ ප්‍රධානියා වන ඇමරිකානුවෙක් වන තියඩෝර් මෙරන් විසින් අධිකරණයේ නඩුකාරයින්ට බලකිරීම් කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ යුධ අපරාධ අධිකරණ වෙනුවෙන් විදේශ විනිසුරුවන් අවශ්‍යය බවට ඇමරිකාව විසින් දැඩිව ඉල්ලා සිටින්නේ ඇයි දැයි යන්න නැවතත් සිතා බැලිය යුතුය.

අධිකරණයේදී මිලෙසොවික් විසින් සර්බියානු දේශපාලන පොතකින් ඡේදයක් කියවමින් පවසා සිටියේ ජර්මානු විදේශ ප්‍රතිපත්තියේ එක් අරමුණක් වූයේ සර්බියාව යුරෝපයේ දේශපාලන සිතියමින් මකා දැමීම බවයි. මෙය මතක් කරන්නේ ලංකාව පිළිබඳ ඉන්දියාවේ අරමුණු සම්බන්ධවයි. ඉන්දියාව ලංකාවට එරෙහිව කොටි සංවිධානයට අවි ලබාදීමත් පුහුණු කිරීමත් කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමත් පසුකාලීනව ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සංගමයේ ඇමරිකානු යෝජනා ගෙන ඒමට හොරෙන් සහාය ලබාදීමත් මෙහිදී සැළකිය යුතුය.

ඇමරිකානු විදේශ සේවයේ සිටි දැනට කතෘවරයෙකු වෙන ලුයික් සෙල් විසින් මිලෙසොවික්ට අපහාස කළේ ඔහු කුඩා කළ සිට මානසික රෝග වලින් පීඩා විඳි නාසිස්ටික් පෞරුෂයක් හිමි පුද්ගලයෙක් ලෙසයි. මෙම කතෘ විසින් මෙහිදී මිලෙසොවික්හට අපහාස කිරීමට යොදා ගත් දැඩි මතධාරීන්, බටහිර විරෝධී යන වාග් මාලාව දෙස බැලූවිය මතකයට එන්නේ මහින්ද රාජපක්ෂයන්ට විරුද්ධව බටහිර කතෘන් still counting the dead හා cage යන කෘතින් ලියමින් සිදුකළ චෝදනායි.

මේවන විට පැහැදිලි වන්නේ මිලෙසොවික් විසින් සිදු කර ඇති අපරාධය වන්නේ යුගෝස්ලාවියානු රාජ්‍ය යේ බෙදීම නතර කිරීම වෙනුවෙන් පෙනී සිටීමත් ඇමරිකානු බලාධිකාරයට යට නොවීමත්ය. ශ්‍රී ලංකාව සම්බන්ධවද ඉහත කී හේතු නිසාවෙන්ම රාජපක්ෂවරුන්ව බලයෙන් පහ කිරීමට ඇමරිකාව ක්‍රියාකර ඇත.

සර්බියාව හා ශ්‍රී ලංකාව අතර සන්සන්දනයේදී අපට පෙනෙන තවත් වැදගත් සාධකයක් වන්නේ මාධ්‍ය විසින් මිය ගිය සංඛ්‍යාව අති විශාල ලෙස වැඩි කර පෙන්වීමය. සර්බියාවේ ඇල්බේනියානු ජනතාවගේ ජන සංහාරයක් සිදුවූ බවත් ලංකාවේ කොටි සංවිධානය පරාජයේදී දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට වූ ප්‍රකාශ කිරීම හා සමානය. මේ අවස්ථා දෙකේදී ම මිය ගිය සංඛ්‍යාව 250,000 හෝ 100,000 හෝ 50,000 හෝ 40,000 හෝ 10,000 අතර දෝලනය වෙමින් පැවතිණ. නමුත් මියගිය සිරුරු සොයා ගැනීමට නොහැකි විය.

බටහිර රටවල සිට අපරාධ විද්‍යාඥයින් (forensic) ගෙන්වා ගෙන යුගෝස්ලෝවියාවේ ජන සංහාරයන් සිදුවූ යැයි කියන පෙදෙස් වල පරීක්ෂණ කටයුතු සිදුකළහ. යුගෝස්ලෝවියාවේ ඇති කළ අතුරුදන් වූවන් ගැන සෙවීමේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සිටි ප්‍රධානියා (José Pablo Baraybar, a Peruvian) පැවසූයේ සර්බියාව යනු ලෝකයේ තිබෙන උපරිමයෙන්ම යුධ අපරාධ සම්බන්ධව පරීක්ෂණ සිදුකළ ස්ථානය බවයි. එහිදී ඔවුන්ට සොයාගත හැකිවූ මළ සිරුරු ගණන උපරිම වශයෙන් 2000ක් පමණ විය. මේ නිසාම ලාංකික අප විසින් 40,000ක් මිය ගියා යැයි පවසන වාර්තා අභියෝගයට ලක් කළ යුතුය. බටහිරයන් ගේ බොරු චෝදනා වලට වැරදිකරුවන් යයි ඔප්පු නොවූ අපේ හමුදා ජයග්‍රහණයට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් වසර ගණනකට පසු චෝදනා වලින් නිදොස් වී ඔප්පු වන තෙක් සිර භාරයේ අනවශ්‍ය ලෙස තැබීමට අප ඉඩ දිය යුතු නැත. බටහිරය පවසන 40,000 ක මියගිය ගණන මුල සිටම බොරුවක් බව අප දන්නා නිසා එයට කිසිසේත් ඉඩ දිය යුතු නැත.

යුගෝස්ලෝවියා හා ලංකාව අතර සන්සන්දනයේදී පැහැදිලි වන තවත් කාරණයක් නම් යුගෝස්ලෝවියා ව පිළිබඳ ව 1995 දී ඉදිරිපත් කළ යෝජනාව සැකසූ මාටිනි අතිසාරි (Marti Ahtisaari) යන පුද්ගලයා ලංකාව සම්බන්ධව කටයුතු කිරීමට UNHRC විසින් පරීක්ෂකයෙකු ලෙස පත් කර තිබීමයි. මෙහිදී මොහු යුගෝස්ලෝවියාව සම්බන්ධව සිදුකළ දෙය නැවතත් ලංකාවට කිරීමට පෙර අප පියවර ගත යුතුය.

යුගෝස්ලෝවියාවේ බටහිර ගැති බෝරිස් ටැඩික් ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම හා බටහිර පදයට නටන ලංකාවේ පඹයෙක් යයි කියන නායකයෙකු පත් කිරීම අතරද සමානතාවයක් ඇත. කොසොවෝ රාජ්‍ය යේ අගමැති වෙන හෂිම් තාචි, කොසොවෝ බෙදුම්වාදීන්ගේ (Kosovo Liberation Army) නායකයා වූ පුද්ගලයායි.ශ්‍රී ලංකාවේ දෙමළ සන්ධානයත් (TNA) මෙම කොසොවෝKLA සංවිධානයේ ලංකාවේ නිදසුන මෙන්ය. 90 දශකයේ මැදභාගයේදී ජර්මානු ඔත්තු සේවා හා සි අයි ඒ සංවිධානය විසින් මෙම KLA බෙදුම්වාදී සංවිධානයට සහාය ලබා දුණි. ලංකාවේ කොටි සංවිධානය ඇරඹුණූ ආකාරය අප කවුරුත් දන්නා කාරණයකි.

කොසොවෝ රාජ්‍යය අද වන විට බටහිර මඟින් පාලනය වන මාෆියා රාජ්‍යයකි. බොහෝවිට ස්වාධින ඊළාම් රාජ්‍යයකට සිදුවන්නේත් එයමය. දැන් දැන් පසක් වන කාරණය නම් නැගෙනහිර පළාතේ වසන මුස්ලිම්වරුන් පවා වෙනම මුස්ලිම් කලාපයක් වෙනුවෙන් කරන ඉල්ලීම් බලවත් වීමය. මෙම ඉල්ලීම් නිකම් මතුවන්නේ නැත. මේ සියල්ල සැලසුම් සහගතව වෙනත් බලගතු රටවල බලකිරීම් හමුවේ සිදුවේ. බටහිරය යනු මුස්ලිම් වරුන් ඇන්දීම යන කලාවේ කෙල පැමිණිය වුන්ය.

ඇමරිකාව ප්‍රමුඛ බටහිරය විසින් යුගෝස්ලෝවියාවේ (සර්බියාවේ) හිටපු ජනාධිපතිට එරෙහිව සුවිශාල අයුක්තියක් සිදුකර ඇත. ඔහුගේ බිරිඳ හා දරුවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු අතර වන්දියක් පවා ලබා දිය යුතුය. සර්බියානු ජනතාවගෙන් ද ඇමරිකාව ප්‍රමුඛ බටහිරය විසින් සර්බියානු ජනතාවට එරෙහිව සිදුකළ අසත්‍ය ‍චෝදනා වන ජන සංහාර හා යුධ අපරාධ වෙනුවෙන් සමාව ගත යුතුය.

ශ්‍රී ලංකිවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකරන ක්‍රියා පටිපාටිය හා සර්බියානු ජනතාවටත් එහි නායකයා වූ මි‍ලෙසොවික්ට වූ අයුක්තියත් අතර පොදු කාරණා තේරුම්ගන්නට ෂර්ලොක් හෝම්ස් කෙනෙක් විය යුතු නැත. මේ සියල්ල ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් ඉතා වැදගත් පාඩම් කියා දෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ යුතුය.

• විදේශ සහභාගිත්වයකින් යුතු යුධ අපරාධ යාන්ත්‍රණයකට කිසිදු ආකාරයකින් ඉඩ නොදී එය ප්‍රතික්ෂේප කළ යුතුය. හමුදා සාමාජිකයන්ට එරෙහිව සිදු කළ අපරාධයක් උදෙසා දඬුවම් කරනවා නම් එය කළ යුත්තේ පැහැදිලි හා ශක්තිමත් සාක්ෂි මත පමණක් පිහිටුවා ගෙනය. ශ්‍රී ලංකා රජය විසින් මේත් සමඟම කොටි සංවිධානයට හා එහි නායකයන්ට ( මෙරට හා විදේශගතව සිටින) එරෙහිව චෝදනා ගොනුකර නඩු විභාග ආරම්භ කළ යුතුය.

• විදේශ විනිසුරුවරුන් සහභාගී කරගැනීම එක හෙළාම ප්‍රතික්ෂේප කළ යුතුය. යුගෝස්ලෝවියාව සම්බන්ධ නඩු විභාග වලදී විදේශීය විනිසුරුවරුන් හට ඇමරිකාව බලපෑම් කළ අකාරයෙන් අපි පාඩම් ඉගෙන ගත යුතුය. එක්සත් ජාතීන්ගේ යෝජනාවට අනුව කිසිදු කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට විරුද්ධව වන අතර දැනට රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ඇති කිරීමට සම්බන්ධ පනත පරාජය කර අප ඊට විරුද්ධ විය යුතුය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළ යුධ අපරාධ නීති වේදීන්ගේ වාර්තාවට අනුව ලංකාව විසින් කිසිදු යුධ අපරාධයක් සිදු කළ බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නැත. ඒ වාර්තා කුණු කුඩුයට නොදමා ප්‍රයෝජනයට ගැනීමට රජය කටයුතු කළ යුතුයි.

• වසර 6කට පමණක් ඡන්දයෙන් පත්වූ කිසිදු රජයකට රටේ නීත්‍යානුකුල හමුදා හා ත්‍රස්තවාදී සංවිධානයක් සමතැනලා සැළකීමට කිසිදු අයිතියක් නැත. පොදු මහජනතාවගෙන් නොවිමසා එවැන්නක් කිරීමට අයිතියක් කිසිසේත්ම නැත. 2002 සටන් විරාම ගිවිසුම යටතේ සිදු කළ මෙම වැරැද්ද නැවත සිදුකිරීමට ඉඩ නොදිය යුතුය.

• මහජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිදු යුධ අපරාධ යාන්ත්‍රණයකට, කාර්යාලයකට හා විනිසුරුවන්ට එකඟ වීමට කිසිදු අමාත්‍යවරයෙකුට කිසිදු අයිතියක් නැත. අද වන විට ලංකාවේ සිටින විදේශ ඇමතිවරයා කිසිදු ජනබලයක් නැති දේශපාලකයෙකි. ඔහු ට ලංකාවේ මහජනතාව හා ආරක්ෂක අංශ කෙරෙහි කිසිදු ගෞරවයක් නැත. ජනාධිපති කෙරෙහිවත් කිසිදු ගරුත්වයක් නැත. ඔහු එම තනතුරෙන් වහාම ඉවත් කළ යුතුය.

• සර්බියානු උදාහරණයෙන් අපට එක් දෙයක් පැහැදිලිව පෙන්වයි. එනම් සර්බියානු ජනතාවට හා එහි හිටපු ජනාධිපති වූ මිලෙසොවික්ට ඉතා විශාල අසාධාරණයක් සිදුව ඇත. එවැනි වූ අසරණ හා අසාධාරණ තත්ත්වයකට අපේ හමුදාවන් පත්කිරීමට අප ඉඩ දිය යුතු නැත. රජය විසින් ම හමුදා නායකයින් හා යුධ ජයග්‍රහණයට මුල් වූ දේශපාලන නායකත්වය ට කිසිදු සාක්ෂියක් නැතිව මිනීමරුවන් යයි චෝදනා එල්ල කර වසර ගණනාවක් රිමාන්ඩ් භාරයේ තබාගෙන සාක්ෂි නැතයයි පවසමින් පසුව චෝදනා ඉවත්කර ගන්නා තෙක් මොවුන්ට හානි කිරීමට හා සිර කිරීමට අප ඉඩ දිය යුතු නැත.

ශ්‍රී ලංකාවේ රජය හා හමුදා විසින් යුධ අපරාධ සිදුකර ඇති බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර නොමැති අවස්ථාවක යුධ අපරාධ යාන්ත්‍රණයට අප විරුද්ධ විය යුතුය.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ජනතාව මියගිය බව සැබෑය. සිවිල් වැසියන් collateral damage ලෙස මිය නොයන යුද්ධයක් මේ ලෝකේ නැත. සත්‍යය නම් මියගියා යයි කියන 40,000 ක වැසියන් ගැන පෙන්වන්නට කිසිදු සාක්ෂියක් නැති අවස්ථාවක රජයේ හමුදා විසින් අවසන් මෙහෙයුමේදි කොටි ප්‍රදේශ වලින් බේරාගත් දෙමළ සාමාන්‍ය ජනතාව 300,000 ඉක්මවයි. ශ්‍රී ලංකා රජය විසින් ජනසංහාරයක් කිරීමට කිසිදු වුවමනාවක් නොතිබූ බවට තවත් සාක්ෂි අවශ්‍ය ද? බර අවි යොදාගෙන ආයුධ බලයෙන් බෝම්බ හෙළමින් පමණක් සටන්කර කොටි පරාජය කරන්නට ලංකා හමුදාව කටයුතු කළා නම් මෙම සිවිල් වැසියන් මරුමුවට පත්වෙන්නට ඉඩ තිබුණි. රජයේ හමුදා සාමාජිකයන් 5000ක මියගිය ගණන මීට අඩුකර ගත හැකිව තිබුණි. නමුත් සිය හමුදා සාමාජිකයන්ගේ ජිවිත පවා අනතුරේ හෙළමින් වඩා කාලය යන යුධ උපක්‍රම යොදා ගනිමින් සිවිල් වැසියන්ගේ මරණ අවම කරගැනීමට රජයේ හමුදා කටයුතු කළහ.

එම නිසා සර්බියාව හා මිලෙසොවික් සම්බන්ධයෙන් නඩු විභාගය මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ යාන්ත්‍රණයක් ඇති කරන්නට හැකි ආකාරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැහැදිලි පිළිගතහැකි චෝදනා නැත. එවන් අවස්ථාවක ශ්‍රී ලංකා රජය විසින් ඉතා මෝඩ ලෙස බයාදු ලෙස ලංකාවට එරෙහිව මෙම 2015 එක්සත් ජාතීන්ගේ යෝජනාව පිළිගෙන මුළු රටත් එහි යුධ ජයග්‍රහණය ලබා දුන් නායකයින් හා හමුදාවත් මහා උගුලක පටලා ඇත.

රජයේ ඇමතිවරුන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තේරුම්ගත යුතු කාරණාව වන්නේ තවදුරටත් මේ සම්බන්ධයෙන් සුළුවට සැළකිය නොහැකි බවයි. මෙම දේශපාලකයින් මුළු ලාංකීය ජාතියටම මේ සම්බන්ධයෙන් වගකිය යුතුවේ. ශ්‍රී ලංකාව තවදුරටත් විදේශීය උගුලේ සිරකරන විදේශිය සැලසුම් ඉදිරියට ගෙනයාමට තවදුරටත් ඉඩ දියු යුතු නැත. වහාම සිදුවන්නට යන ඛේදවාචකය නැවැත්වීමට පියවර ගත යුතුය.

-සටහන : අයි.ජයතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com