8/02/2016

‘ආවුද’ අතට ගන්නට කාලයයි!

කතෘ:යුතුකම     8/02/2016   No comments

-ආචාර්ය චමිල ලියනගේ-
තෙල් මිල, පාන් මිල අඩු කරගන්නට, වාහන බදු සහන ලබා ගන්නට, බස් ගාස්තු ගැන කතා කරන්නට, කොටින්ම සමලිංගිකයන්ගේ, ගණිකාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නට පවා වෘත්තීය සමිති බුරුතු පිටින් තිබුණද, ලොව මවිත කළාවූ මේ මහා සංස්කෘතියේ එක් මූලස්ථම්භයක් වන බුද්ධ බෝගයේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ කවුද? අමුඩ ගසා ගොවීන් පාරට බස්සන්නේ වී සංස්කෘතිය රකින්නට නොව, අමුඩ කෙටියෙන් නිරාවරණය වී පෙනෙන ගොවියගේ තට්ටම් වලින් හෝ බලය සිඟන දේශපාලන යාචකයන්ය. වී වගාව හෙක්ටෙයාර ලක්ෂයකින් පහත දැමීමට ප්‍රසිද්ධියේ විවාද කිරීමට තරම් පෙරදිග ධාන්‍යාගාරයේ නූතන දේශපාලන අලුගෝසුවන් ‘එඩිතර’වී (හෝ නිර්ලජ්ජිත වී) ඇත. වර්ෂ 1818 දී වෙල්-ලක්ෂයක් නැසූ සුද්දාගේ මුනුබුරු මිනිබිරියෝ 2018 පෙනි පෙනී වෙල් -ලස්සයක් නසති. පාට වෙනස් වුවද, සුද්දාගේම ප්‍රතිපත්ති මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක කරන කළු සුද්දන් රැළේ, ඒ අමනකම් වලට ප්‍රතිපක්ෂව, එනම් බුද්ධ බෝගයට පක්ෂව කතාකරන්නට කවුරුවත්ම නැද්ද? අසිංහල අබෞද්ධ ගර්හිත දේශපාලන සංස්කෘතියක වදා, වඩනු ලැබූ වර්තමාන දේශපාලකයෝ ඒ ගැන කතා නොකරති. සාහිත්‍යය කන්නටදැයි ඇසූ, ඉතිහාසය කන්නටදැයි ඇසූ දේශපාලන සංස්කෘතියක් ‘වියැට ගෙඩියේ’ අයතිය වෙනුවෙන් සටන් කරනු ලබතියි සිතීම මායාවකි.

වීදි සටන් කරන්නට නිමිති හොයන ‘රත්තේ’ නැති ‘පොත්තේ’ ඇති ප්‍රදර්ශන දේශප්‍රේමය වෙනුවෙන් ස්ටිකර් අලවාගත් ජාතිකවාදීන්ටද මේවා ‘හිට්’ වෙන නිමිති නොවේ. රිදෙන්නේ මඩේ ජීවත්වන මඩට ආදරේ කරන ගොවියාටය. මන්ද, කෘෂි තාක්ෂණික උපාධි පශ්චාත් උපාධි සහිතව දේශදේශාන්තරයන්හී සම්මන්ත්‍රණ, සමුළු න්‍යායිකව දිග්විජය කර, පදක්කම් සම්මාන දිනන, ගොඩ ඉඳන් නිර්දේශ නිකුත් කරන වක්කඩක් බඳින්නට බැරි ඇත්තන්ට මඩ ‘අරහං’ වූවාට, සිංහල ගොවියා මඩට ආදරේ කරන නිසාය. සිල්වත් භික්ෂුව බණ දහමට කෙසේ ආදරය කරන්නේද, ශාස්ත්‍රවන්තයා ශාස්ත්‍රීය දෙයට කෙසේ ආදරය කරන්නේද, සිංහල ගොවියා මඩට ඊටත් වඩා ආදරේය. අපි, හුන්ඩු, සේරු, මනා, බෙර, පෑල්, අමුණු ආදී පරිමාන ඒකක වලින් වී (හෝ වෙනත් ධාන්‍ය) මැන ඇත්තෙමු. එක හීයට හාන යායේ කුමක් හෝ කරුණක් නිසා කාගේ හෝ කට්ටියක් මග හැරෙන්නේද, යායේ සෙසු ගොවියෝ ඒ දෙස බලන්නේ වේදනාවෙනි. එහෙවු රටේ හෙක්ටෙයාර නොව, වී හුන්ඩුවක් වැපිරෙන වපසරිය හෝ අත්හරින්නට ‘මහ වාසලේම’ කතිකා කරන්නේ නම්, එය මේ රටේ ජන විඥානය දකින්නේ මහා මූසලකමක්, අසුභ නිමිත්තක් හැටියටය. බුද්ධ බෝගයේ වපසරිය අඩු කිරීම යනු මේ රටේ සංස්කෘතියේ මුලෙන් මුල කපා දැමීමකි.

අපි පෙරදිග ධාන්‍යාගාරයක් ගැන උදම් ඇනුවද, අද සහලින් ස්වයං පෝෂිතද? ගොවිතැන් හෙවත් කුඹුරු පුරන් වන තැනට වැඩ කටයුතු සිදුවූයේ මේ “අහිංසක කුරා කූඹියෙකුටද වරදක් නොකරන” යහපාලන ආණ්ඩුවෙන් නොවේ. හත්පොලේ ගාගත් විවෘත ආර්ථිකය විසින් ක්‍රමක්‍රමයෙන් අපේ ගොවිතැන මරා දැමුවේය. හරිත විපලවයෙන් පසුව සිංහල වී වර්ග විනාශ වෙද්දී, බාගෙට මැරුණු ගොවිතැන, විෂ රසායන බී ගත් පොළව මැරෙද්දී පණ ඇද්ද ගොවිතැන, විවෘත ආර්ථික ප්‍රහාරයන් සමග ඔත්පොල වූයේය. ප්‍රධාන වශයෙන් යැපීම හා ඇතොත් අතිරික්තය විකුනා ගැනීම පිණිස කළ අභිමානවත් ගොවිතැන, සශ්‍රීකත්වයේ ජිවනෝපාය, ක්‍රමයෙන් මැරෙද්දී යහපාලන ආන්ඩුව කලේ පණ අදින ලෙඩා පෙට්ටියට දමා ඇණ ගැසීමට කටයුතු සම්පාදනය කිරීමය. පසුගිය රජය පොහොර සහනාධාරය දීම විවිධ පාර්ශව විවිධාකාරයෙන් විග්‍රහ කරයි. ඇතැමුන් කියන්නේ එය ගොවිතැනට මහත් පිටිවහලක් වූ බවය. එනිසා ගොවියෝ වී වගාවේ නිරත වූ බව සැබෑවකි. එහෙත් ඉවක් බවක් නැතිව පොහොර පොලවට දැමීමේ පුරුද්දෙන් දීර්ඝ කාලීනව ගොවියා මුදා ගෙන ස්වයංපෝෂිත සිංහල ගොවිතැන යළි ස්ථාපනය කිරීමේ තිරසාර උනන්දුවක් පොහොර සහනාධාරයේ ‘දේශපාලන අල්ලස’ පිටුපස අපි නුදුටුවෙමු. එය සහනාධාරයක් වූයේ රුපියල් සත වලට සුසර කරනු ලැබූ ‘ගොයියන්ට’ මිස සිංහල ගොවියන්ට නම් නොවේ.

පසුගිය ශතවර්ෂ බාගයක කාලය මුළුල්ලේ බටහිරින් එන සංවර්ධන උප්පරවැට්ටි බදා ගනු විනා දේශයට ගැළපෙන සංවර්ධන මූලෝපාය නිර්මාණයට සපුරා අසමත් අපේ ප්‍රතිපත්ති සම්පාදක වෘෂභ රාජයන් විවෘත ආර්ථික සැණකෙළි පවත්වමින් ජාතිය, වෙසෙසින්ම තාරුණ්‍යය මුදලට ආශාකරන පිරිසක් බවට පත් කළද, සමස්ත ජාතියම රුපියල් සත වල ඇති ‘බල්ලාත් නොකන’ වටිනාකමට සුසර කළද, මඩ යට මුදල් ඇතිබව උන්ට කියා දුන්නේ නැත. ඌහු සල්ලි සොයා රට ගියහ. බතින් බුලතින් ආඩ්‍ය ජාතියක් ක්‍රමවත්ව හා ක්‍රමෝපායික කාර්මීකරණයකට ලක්කරනවා වෙනුවට සුද්දාට රෙදි මහන සන්නාලියන් බවට පත් කළේය. රටේ ඓතිහාසික ජාතියේ දූදරුවෝ ජාතිය ආක්‍රමණය කරන්නට ආ කල්ලතෝනීන්ට අයත් කම්හල් වල දිරාපත් වන කම්කරු ඇටසැකිළි බවට පත්විය; ‘සාදුකින් පෙලෙනවුන්’ විය! උන්ට කරන්නට ඉතිරිවූ එකම අරගලය ජාතික අරගලය නොව, කම්කරු අයිතීන් ඉල්ලා කරන වෘත්තීය සමිති සටන් හෙවත් සංවිධානාත්මක යැදීම්ය. රට ආසානාසි වූයේය. අපේ ජාතියේ ඉතිහාසය රඳා පවතින එක් වැදගත් මුල් ගලක් නම් වී ගොවිතැන ය. වී යනු තවත් ධාන්‍යයක් නොවීය. වී යනු කෑමක් හෝ මුදල් කළ හැකි පාරිභෝගික භාන්ඩයක් නොවීය. එය සංස්කෘතියේ මූලයක්ම විය. වියට ඇත්තේ මූල්‍ය වටිනාකමක් නොවේ. මුදල අභිබවා ගිය සංස්කෘතික වටිනාකමකි.

වී හැර අන් සියල්ලටම ප්‍රේම කරන කෘෂිකර්ම පණ්ඩිතයින් පිරිසක් අපේ විශ්ව විද්‍යාල විසින් නිපදවා තිබේ. උන් එක් එක් විදේශ දේශපාලන න්‍යායපත්‍ර හා ව්‍යාපාරික සංගතයන්ගේ ඩොලර් වලින් යැපෙන එක්සත් ජාතීන්ගේ සිට දේශීය පරගැති රාජ්‍ය නොවන සංවිධාන දක්වූ වූ ගුබ්බෑයම් වලට වැදී උක් ගැන කතා කරති; බඩ ඉරිගු ගැන කතා කරති; සෝයා ගැන කතා කරති. වී වගාවෙන් පාඩුම පමණක් සිදුවන්නේ යැයි මතවාදී බහුබූත සමාජගත කරති. ගොවිතැනේ පැවැත්ම කන්නය අවසානයේ ලබන රුපියල් සත ලාභය හෝ අලාභය මත තීරණය කරන්නට ඌහු අපට හුරු කළහ. සිංහල බිත්තර වී සංස්කෘතියද, වාරි පද්ධතීන්ද, ගොවි ජනවිඥානයද තාක්ෂණයද විනාශ කළහ. ස්වයංපෝෂිත සිංහල (වී) ගොවිතැන ආනයනික බාහිර යෙදවුම් හඳුන්වා දී පරපෝෂිත කළේය. හැංගී හැංගී වෙස් බැන්ද ඇත්තෝ දැන් එළි පිට නටන්නට පටන් ගෙන තිබේ. සියලු සතුරු බලවේග එළිපිටම හෙක්ටෙයාර් ලක්ෂ ගණනින් ගොවිතැන නසන තැනට ශක්තිමත්ව සිටිති.

කෘෂිකර්ම අමාත්‍යාංශයේම සංඛ්‍යා ලේඛන ප්‍රකාරව 2016 මහ කන්නයේදී මහා වාරි යටතේ වැපිරූ කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 371,850 සිට 300,395 දක්වාද, කුඩා වාරි යටතේ ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 230,715 සිට 134,860 දක්වාද, වැසි පෝෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 228,810 සිට 60,745 දක්වාද අඩුවන්නට බලපෑවේ වියළි කාලගුණයම නොවේ. ඊනියා පොහොර සහනාධාරය අසහනයක් වූ අයුරු අපි දුටුවෙමු. එහෙයින් ඒ සඳහා බොහෝ ව්‍යුහාත්මක කාරණා බලපෑ බව අපේ විශ්වාශයයි. මී උණ ආදී මතවාදී ප්‍රහාරයන් නිසා තවත් පිරිසක් මඩට බැසීම අත්හළහ. කුඹුරු හෙක්ටෙයාර ලක්ෂ ගණනින් අඩුකිරීමට පෙර, නිෂ්පාදන සාධයකයක් ලෙස භූමියේ ඇති මූල්‍ය වටිනාකම මත ඒ බිම් වෙනත් ආයෝජන සඳහා යොදවා වියළි කලාපය ආශ්‍රිතව පමණක් සහල් නිෂ්පාදනය පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිමය සැළසුම්ද වේ. අපේ පින්වන්ත රටේ වියළි කලාපයේ අඹ නැති කාලයට තෙත් කලාපයේ අඹ පළ ගනී. බහුවිධ කාලගුණික තත්ත්ව මත විවිධ ගොවිතැන් ක්‍රම භාවිතයෙන් රටේ කුමන ප්‍රදේශයක සහල් හෝ වෙනත් ආහාර නිෂ්පාදන හැකියාවක් පැවතීම සමස්ත ජාතියේම ආහාර සුරක්ෂිතතාව හා ස්වයංපෝෂිත හෝ සංතෘප්තතාවය පවත්වා ගැනීමට අවශ්‍ය බව සුද්දාගේ ආහාර සුරක්ෂිතතා පාඩම් උගත් මෝල්ලු දන්නේ නැත.

ඇත්තෙන්ම මේ කරන්නේ සිංහලයා කුඹුරෙන් ඈත් කිරීමය. පොළවෙන් ඈත් කිරීමය. හුදෙක් වෙළද පොළ ජීවියෙකු බවට පත් කීරීමය. එය ඇරඹී බොහෝ කල්ය. සද්ධාතිස්ස අස්වැද්දූ කුඹුරු යායන්ගෙන් හෙබි දිගාමඩුල්ලේද ත්‍රිකුණාමල මඩකලපු පලාතේද කුඹුරු අද කාගේද? උන් වියට වඳින්නෝද? දැන් ඉතින් ඕල්කොට් බෞද්ධයෙකු හෝ භෞතිකවාදයේ බෞස්තීමය ලැබූවකු අපෙන් වියට වඳින්නේ ඇයි දැයි අසනු ඇත. එය මිත්‍යාදෘෂ්ටියක් නේදැයි ප්‍රශ්න කරනු ඇත. ඉන් අස්වැන්න වැඩිවේදැයි අසනු ඇත. අම්මාද අප්පාද පාරිභෝගික භාන්ඩම සේ සළකන, දරුවකු යනු ගැහැණියකගේත් පිරිමියකුගේත් ලිංගික ආශාවේ අතුරු ඵලයකැයි සළකන ඒ නාස්තිකවාදී ගොබිලන් සමග අපි වාද නොකරමු. නාස්තිකවාදීන්ද මේ සමාජයේ සිටිය යුතුය. අයුක්තිය පළට නොවන්නේ නම් යුක්තියේ අගයට තැනක් නැත.

සියල්ලන්ට අතේ ඇති මුදලට වාහන දෙන්නට පොරොන්දු වූ පිරිස් බලයට පැමිණ කලේ වාහන බදු වලින් තම ඡන්දදායකයාට තැලීමය. බදු වැඩි කලේ ජපන් වාහන වලය. එමගින් ඉන්දියානු වාහන වලට ඇති ඉල්ලුම වැඩිවේ. ඉන්දියානු වාහන ගෙන්වන සමාගම් වල කොටස් හිමි ඇත්තෝ බලයේ ඉන්දැද්දී එසේ වීම සාධාරණය. දැන් බලයේ සිටින්නේ කළකට ඉහතදී කුඹුරු ගොඩකර ක්‍රිකට් පිටි සකස් කරන්නට යෝජනා කළ ඇත්තෝය. සහල් ආනයනයෙන් කොමිස් කුට්ටි ලබන්නන් බලයේ සිටිද්දී පසුගිය වසර 30-40 තුළ දේශීය වී ගොවිතැන ගැන කතා කිරීම අමුම අමු මෝඩකමක් වූ බව අපි දනිමු. වර්තමාන සංධර්භය තුළ ලංකාවේ ගොවිතැනට වින කැටීමෙන් වන්නේ කුමක්ද? ඉන්දියානු සහල් වෙළඳ පොළට පාරිභෝගිකයින් නිර්මාණය වීමය. ඇත්තටම ඉට්කා අත්සන් තබා අවසන්ද? තුට්ටුවට ගෙන්වන ඉන්දියානු සහලින් බත් කන ඇත්තෝ වැඩි ගානට දේශීය සහල් ගන්නට තරම් දේශප්‍රේමී නොවනු ඇත. ලංකා අල වලට වඩා රුපියල් පනහක් අඩුවෙන් පාකිස්ථාන් අල ඇති වෙළදපොලේ දේශප්‍රේමය වෙනුවෙන් අල කිලෝවකට රුපියල් පනහක් දෙන්නට තරම් දේශප්‍රේමීහු පොහොසත් නැත.

එවිට ශේෂ වී සිටින දේශීය වී ගොවියාටද සිය දිවි නසා ගැනීමට සිදුවනු නොඅනුමානය. ඒ සදහා වැඩි වැඩියෙන් කෘමිනාශක ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකාවක දැමීම නුවනට හුරුය. අනිත් අතින් කලකට ඉහතදී ඉන්දියානු පරිප්පු ලූනු සියල්ලට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණටද අද එසේ කළ නොහැක්කේ ඔවුන් දේශපාලනික කන්‍යාවියක සේ හැසිරුනද, මේ දේශපාලන සූදු පිටියේ බූරුකාරයන් ගණනාවක් සමග ප්‍රසිද්ධියේ රැය පහන් කර ඇති බැවිණි. සිංහලයාට සිංහල සංස්කෘතියට සාධාරණයක් කරන්නට දිව්රා බලයට පැමිණි ඇත්තන් කෝ? බටහිර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධයේ නාමයෙන් සරම ඇඳගෙන ඔලුවෙන් වුව හිට ගන්නට සූදානම් ඒ මූලාචාරීහු බත නසා මඩ රට හැර කූඹුරු ගොඩකර ඒ මත ඉදිවන සුවිසල් ගොඩනැගිලි සංවර්ධනයේ දර්ශක සේ දැකීමේ ‘මෙගා පොලිස් ජොලියක’ය. නැත්නම් කුප්‍රකට බහුජාතික සමාගම් වල ප්‍රත්‍ය වළඳමින් සිටිති. දේශප්‍රේමීන්ගේ සහය ඩැහැගනු වස් සිය දේශපාලන රූපාන්තරණයේ පදනම වූ කොමියුනිස්ට්වාදය ජාතික ඇඳුමින් හෝ චීවරයෙන් තාවකාලිකව වසාගත් ඒ ඇත්තෝ යළිත් තමන්ගේ සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීම අරඹා ඇත. ඒ සියල්ලන්, බත නසා රට නගන “සුසමාදර්ශීය වෙනසේ” අනිටු පළ විපාක ගැන සිතීමට හෝ ඉඩ නැති බුද්ධිමය වහල්ලුන් වී අවසන්ය.

ප්‍රමාන හා මාත්‍රා ඉක්මවා කෘෂිරසායන වලින්ම නිපදවන ඉන්දියානු හාල් අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් සංවර්ධනය කරනු ඇත. එවිට ජනාධිපතිතුමාට මෝඩි අගමැතිතුමාගෙන් වකුගඩු රෝහලට නොදෙවෙනි පිලිකා රොහලක් ඉල්ලාගත හැක. එය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වනු ඇත. එදා අපේ ස්වාමීන් වහන්සේලා ගව ඝාතනයට විරුද්ධව පාගමන් යද්දී සුද්දාගේ කෘෂිකර්ම ආර්ථික විද්‍යාව දත් ඇත්තෝ කීවේ ඒ න්‍යායන් අනුව ගවයන් ඝාතනය කළ යුතුම බවය; නැතිනම් ගොවිපොළ පවත්වාගෙන යා නොහැකි බවය. එසේම ඔවුන්ට දැන් ලාබෙට සහල් ඇති තැනින් සහල් ගැනීමේ ‘පොතේ වාසි’ උලුප්පා දක්වමින් ඩේවිඩ් රිකාඩෝගේ සාපේක්ෂ වාසි න්‍යාය ‘පට්ට ගැසිය’ හැක.

‘ආසාත්මිකතාවන්’ ඇතිවන්නේ ‘සාත්මික’ නොවන දේ හේතුවෙනි. ආයුර්වේදයේ, විශේෂයෙන්ම ආහාර මෙන්ම ඖෂධ සම්බන්ධයෙන් දේහ-සාත්මික හා දේශ-සාත්මිකතාව සාකච්ඡා කෙරේ. ඉන් කියැවෙන්නේ දේහයන්ට සරිලන හා දේශයන්ට සරිලන ආහාර ඖෂධ ගත යුතු බවය. රුහුණේ මී කිරි රට පුරා ජනප්‍රිය වුවද රුහුණේ මී ගවයින් හැදෙන වැඩෙන තත්ත්වයන්ද, අන්‍ය ප්‍රදේශයන්හි මී ගවයින් වැඩෙන තත්ත්වයන්ද වෙනස්ය. පරිසර රටාවන් වෙනස්ය. එහෙයින් රුහුණේ මී කිරි රුහුණේ ජනතාවට දේහ-සාත්මිකය; දේශ-සාත්මිකය. සරළව කියන්නේ නම් හොදින් පත්තියං වෙයි. ඒ අනුසාරයෙන් ආනයනික සහල් ගැන තේරුම් ගත හැක්කේ කුමක්ද? ඒවාට වැපිරූ දා සිට නැවෙන් ගොඩබාන දා දක්වා පොහොර හෝ නාශක ලෙසින් යොදන රසායනික විෂ ප්‍රමාණය අමතක කරමු. බත් යනු අතුරු පසක් නොවේ. ප්‍රධාන ආහාරයය. එය දේහ හෝ දේශ සාත්මික නොවූ කල ජාතියට කවර කළක් යාද?

මේ තත්ත්වයට මුවා වී එන ආර්ථික හා වෙළඳපොළ ආක්‍රමණයේ ස්වභාවය තේරුම් ගැනීමද වැදගත්ය. ඒ සඳහා වඩාත් යෝග්‍යතම උදාහරණය නේපාලයේ වී නිෂ්පාදනය හා සහල් අපනයනයට අත්වූ ඉරණමයි. වර්ෂ 1961 වන විට නේපාලය සහල් මෙට්‍රික් ටොන් 290,000ක් වාර්ෂිකව අපනයනට කළේය. 1988 වෙද්දී එය බින්දුවටම වැටිණි. 1981 දී සහල් මෙට්‍රික් ටොන් 22,000කින් ඇරඹූ සහල් ආනයනය 2013 වන විට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 325,000ක් ගෙන්වන තැනට පත්ව තිබේ. ශ්‍රී ලංකාව 1961දී සහල් අපනයනය කර නැති නමුත්, ඒ වර්ෂයේදී අපි සහල් මෙට්‍රික් ටොන් 469,000ක් ආනයනය කර ඇත්තෙමු. ක්‍රමක්‍රමයෙන් සහල් ගෙන්වීම අඩුකළ අපි 1978දී සහල් මෙට්‍රික් ටොන් 9000ක් පමණ අපනයනය කරන්නට සමත්වී ඇත. ඒ වන විට සහල් ගෙන්වීම මෙට්‍රික් ටොන් 186,000 දක්වා අඩු කර ගන්නටද සමත්වී තිබේ. 1994 වසරේදී පමන පටන් ඉතා කැපී පෙනෙන ලෙස සහල් ආනයනය අඩු කළ ශ්‍රී ලංකාව වර්ෂ 2000 දී සිට ස්ථාවර ලෙස සහල් ආනයනය අඩුකරගන්නට සමත්වී ඇත්තේ සුළු වශයෙන් හෝ සහල් අපනයනය වැඩිකර ගනිමිනි. ඒ වන විට වාර්ෂිකව සහල් ටොන් දහපහලොස් දාහක් රට අරින්නට අපි සමත්වීමු. ඒ අපනයන වර්ධනය කුඩා වුවද පසුගිය වසර කීපය තුළ ඒ ප්‍රවනතාව ස්ථාවර ලෙස වැඩිවීම අරඹද්දී වී වගාවට කණ කොකා හැඬීම කෙතරම් ඛේදජනකද?

දැන් ඉතින් ‘ආවුද’ අතට ගත යුතුමය! ජනශ්‍රැතියේ කටවහර ප්‍රකාරව සිංහලයෝ ‘අවි-ආවුද’ භාවිත කර ඇත; දැනුදු භාවිත කරති. අවි ගත්තේ සතුරාට එරෙහිවය. ගත්වහරින් ‘ආයුධ’ කටවහර අනුව කම්මලේ තැනූ ‘ආවුද’ය. ඒවා අතට ගත්තේ පොළව සමග හැපෙන්නටය. එහෙයින් අපි කාරුණිකව යමක් ඉල්ලා සිටිමු. ඔබ රැකියාවක නිරත හෝ රැකියා විරහිත අයකු විය හැක. සුලු සේවකයකු විය හැක; විධායක නිලධාරියකු විය හැක. මේ කවුරුන් වුවද, ඔබ ‘ආවුද’ අතට ගෙන කුඩා හෝ කුඹුරක් අස්වැදීදීමට කටයුතු කළ යුතුය. එහි සිංහල වී අහුරක් වැපිරිය හැකි නම් අගනේය. ඒ නැතත් ආණ්ඩුවේ වියක් වූව ප්‍රමාණවත්ය. ඔබ මඩ සුවඳ අත්විඳිය යුතුය. මේ සංස්කෘතිය පවත්වා ගන්නටද, දරුවන්ට පවරා දෙන්නටද පෙරමුණ ගත යුතුය. බත නසා සංස්කෘතිය වැනසීමේ මේ ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කළ හැකි ‘ස්වේච්ඡා ගොවි හමුදාවේ’ සෙබළෙකු සෙබළ ළියක විය යුතුය. ගොවි බසින් කියන්නේ නම් ‘අල්ලක්’ වපුරා ගන්නට මහත් වෙහෙසක් ගතයුතු නැත. ක්‍රියාවලියද, අස්වැන්නද ඔබේ ශරීර සෞඛ්‍යයටද බෙහෙවින්ම හිතකරම වනු ඇත. ඔබ වැපිරූ වියැට ගෙඩි බත් කර පිසිද්දී ඔබට මහා අභිමානයක්ද දැනෙනු ඇත. අපි අත හොල්ලා කට හොල්ලන ජාතියක් බව නැවතත් භාවිතයෙන් පෙන්වා දිය යුත්තෙමු.

-ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්ඩලය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions