8/10/2017

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය - 1

කතෘ:යුතුකම     8/10/2017   No comments

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය - 1
-
උදය ප්‍රභාත් ගම්මන්පිල
ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැඳී සිටීම පිළිබඳ මාස කිහිපයක සිට විවිධ පාර්ශවයන්ගෙන් කර්කශ විවේචන එල්ල වේ. ඊට හේතු වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය එම මණ්ඩලය තුල රැඳි සිටින්නේ ඇයිදැයි පැහැදිලි නොකිරීමයි.

ත්‍රෛනිකායික මහ නායක හිමිවරු මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි අනුශාසනා කර ඇත. සමස්ත ඒකාබද්ධ විපක්ෂය සිටින්නේ ද එම මතයේය. එමෙන්ම සකසන නව ව්‍යවස්ථාව විදේශිකයින්ගේ බලපෑම මත සකසන විනාශකාරි ව්‍යවස්ථාවක් බවට ද කවුරුත් එකඟය. එසේ නම් ඒකාබද්ධ විපක්ෂය තුල පරස්පරයක් මතු වී ඇත්තේ කෙසේද? ඇත්තෙන්ම ඒකාබද්ධ විපක්ෂය තුල ඇත්තේ මතවාදිමය වෙනස්කම් නොව උපාය මාර්ග පිළිබඳ වෙනස්කම්ය. නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් පිටතට පැමිණිය යුතු බවට එක් පක්ෂයක් විශ්වාස කරන අතර අනෙකුත් පක්ෂ අට විශ්වාස කරන්නේ ඒ සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල රැඳී සිටිය යුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඇතුළු වීමේ පළමු අරමුණ වූයේ එම ක්‍රියාවලිය හැකි පමණ කල් දැමීමයි. ඒකාබද්ධ විපක්ෂය මණ්ඩලයෙන් ඉවත් වීමෙන් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අඩපණ නොවේ. ඇත්තෙන්ම සිදු වන්නේ එකී මණ්ඩලය තුල තිබෙන එකම බාධකය ද ඉවත් වී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වේගවත් වීම පමණි.
ව්‍යවස්ථාව යනු ජනතාවට සමීප කරුණක් නොවේ. එබැවින් ජනතාව ජනමත විචාරණයක දී ව්‍යවස්ථාවට ඡන්දය ලබා දෙන්නේ ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු අනුව නොව ආණ්ඩුව පිළිබඳ තිබෙන ප්‍රසාදය අනුවයි. ජනතාව ආණ්ඩුව පිළිබඳ ප්‍රසාදයෙන් සිටිත් නම් ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දෙනු ඇත. ජනතාව සිටින්නේ ආණ්ඩුව පිළිබඳ අප්‍රසාදයෙන් නම් එය පළ කිරීම සඳහා ව්‍යවස්ථාවට විරුද්ධ වනු ඇත.
ඉන්ධන මිළ පහත දමා රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නංවා සහනාධාර පිළිබඳ දැවැන්ත බලාපොරොත්තු ඇති කළ විට ජනතාවගෙන් බහුතරයකට බෙදුම්වාදය සහ ජාතික ආරක්ෂාව අමතක විය. මාස හතක විනාශකාරි පාලනයකින් පසු 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජය ගත්තේ එබැවිනි. එජනිස ලක්ෂ 47ක් ඡන්ද ගන්නා විට එජාපය ලක්ෂ 51ක් ඡන්ද ගත් අතර ද්‍රවිඩ සංධානය සහ ජවිපෙ යන නව ව්‍යවස්ථාවට පක්ෂ බලවේග ලැබූ ඡන්ද ද එකතු කළ විට එය ලක්ෂ 62 දක්වා ඉහළ නගියි. මෙරට ජනතාව පක්ෂ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ දී ජනමත විචාරණය පැවැත්වූයේ නම් නව ව්‍යවස්ථාවට මහජන අනුමැතිය ඉතාම පහසුවෙන්ම ලැබෙනු ඇත.

සිංහල සමාජය පක්ෂ අනුව බෙදී සිටියත් අන්තවාදින්ගේ ප්‍රචාරණ හේතුවෙන් දෙමළ සහ මුස්ලිම් සමාජයන්හි පෙඩරල් ක්‍රමය ජනප්‍රියය. ව්‍යවස්ථාව පරාජය කිරීම සිංහල ඡන්ද මත පමණක් රැඳෙයි නම් සිංහල ඡන්ද වලින් තුනෙන් දෙකක් ව්‍යවස්ථාවට එරෙහි විය යුතුය. එබැවින් ජනමත විචාරණයක දී නව ව්‍යවස්ථාව පැරදවීම දැවැන්ත අභියෝගයකි. නමුත් වාසනාවට ආණ්ඩුව දිනපතා දැවැන්ත පිරිහීමකට ලක් වෙමින් තිබේ. මේ පසුබිම අපට බල කරන්නේ ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණය හැකි පමණ කල් දමා ගැනීමටයි.
නව ව්‍යවස්ථාව එළි දැකීම මෙතෙක් කල් ගොස් ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය හේතුවෙනි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාව 2016 ජනවාරි 9 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ එදිනම සම්මත කර ගැනීමේ අරමුණෙනි. නමුත් එය සම්මත කර ගැනීමට හැකි වූයේ 2016 මාර්තු 9 දිනයි. යෝජනාව සම්මත වීමට එතරම් කාලයක් ගත වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් එකී යෝජනාවට ගෙනා සංශෝධනයන්ට ශ්‍රිලනිප ද සහය දැක්වූ හෙයිනි. සාමාජිකයින් විසිදෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ එ්කාබද්ධ විපක්ෂයෙන් සිටින්නේ දෙදනෙකු පමණි. ඒ දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රිවරුන්ය. මෙම දෙදෙනා මෙහෙයුම් කමිටුව තුල නිරන්තරයෙන් කරන අරගල හේතුවෙන් මණ්ඩලය පිහිටුවා මාස 17ක් ගත වී ඇතත් තවමත් ව්‍යවස්ථාවේ කෙටුම්පතක්වත් සකසා නැත (සකසා ඇත්තේ යෝජනාවලියක් පමණි). මෙම දෙදෙනා කමිටුවේ නොසිටියේ නම් මේ වන විට නව ව්‍යවස්ථාව සැකසී අවසන්ය.
මණ්ඩලය තුල රැඳීමට දෙවන හේතුව වන්නේ කමිටුවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් නව ව්‍යවස්ථාවට එරෙහිව ජනමතය සැකසීමයි. මණ්ඩලය විසින් පත් කළ අනුකමිටු හය විසින් පෙඩරල් ව්‍යවස්ථාවට අවශ්‍ය සැකිල්ල සකසා තිබිණි. මණ්ඩලය පිහිට වූ යෝජනාව අනුව නම් එකී වාර්තා නොපමාව ප්‍රසිද්ධ කළ යුතුය. නමුත් එය එසේ සිදු නොකරන ලදී. ඒවා ප්‍රසිද්ධ කලේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. එකී කමිටුව වාර්තා වලට සඟ රුවනෙන් නැගුණු විරෝධය හේතුවෙන් 2017 ජනවාරි මස 9, 10 සහ 11 දිනයන් හි පැවැත්වීමට තිබුණු කමිටු වාර්තා විවාදය දින නියමකින් තොරව කල් තැබිණි. අදටත් ඒ විවාදය පවත්වා නැත.
මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් ලෙස අපූරු යෝජනාවලියක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ට ලැබිණි. එහි ඒකීය රාජ්‍යය පිළිබඳ කියවෙන දෙවන වගන්තියට විකල්ප 4ක් ද බුදු දහම පිළිබඳ කියැවෙන 9 වන වගන්තියට විකල්ප හතක් ද යෝජනා කර තිබිණි. මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය රට දැනුම්වත් කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් නව ව්‍යවස්ථාවට විරෝධය දැක්වූහ. රට පුරාම නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් බිහි විය.

ඒකාබද්ධ විපක්ෂය කමිටුව තුල නොසිටියේ නම් අනු කමිටු වාර්තා හය මෙන්ම අතුරු වාර්තාව ද ප්‍රසිද්ධ නොවනු ඇත. එසේ නම් අදටත් සමස්ත ජාතිය ව්‍යවස්ථාව පිළිබඳ සිටින්නේ අඳුරේය. මෙම ලේඛණ ප්‍රසිද්ධ කළ පසුත් ජනපති සහ අගමැති බුදු දහම සහ ඒකීයභාවය පිළිබඳ වගන්ති වෙනස් නොකරන බවට ජාතියට ප්‍රතිඥා දෙති. එවිට පදනම් විරහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කර රට ගිනි තබන්නේ ඇයිදැයි සමහර නායක ස්වාමින් වහන්සේලා අපෙන් අසති. එවැනි අවස්ථාවන්හි අප පවසන කරුණු ඇත්ත බවට ඔප්පු කළ හැකි වන්නේ මෙම ලේඛණ අප සතු බැවිනි. අපට මණ්ඩලයෙන් ඉවත් වන මෙන් ඉල්ලා සිටින අය ද නව ව්‍යවස්ථාවට එරෙහිව ඉදිරිපත් කරන්නේ අප කමිටුව තුල සිට එළියට ගෙනා කරුණුය.

ආණ්ඩුව තවමත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා නැත. මෙම කෙටුම්පත තීරණාත්මකය. ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ නමින් ඒකීය වන නමුත් සැබෑවට පෙඩරල් වන ව්‍යවස්ථාවක් බව ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පැහැදිලිය. එවිට ලංකාව ඒකීය රාජ්‍යයක් වන්නේය යන දෙවන වගන්තිය ඒ අයුරින්ම නව ව්‍යවස්ථාවේ ද තිබෙනු ඇත. නමුත් අනෙකුත් වගන්ති හරහා පෙඩරල් ලක්ෂණ ව්‍යවස්ථාවට ඇතුළු කරනු ඇත. යම් වගන්තියක වචන යොදා ඇති ආකාරයෙන් ව්‍යවස්ථාව පෙඩරල් වී ඇත්දැයි තේරුම් ගැනීමට දේශපාලකයින්ට හැකියාවක් නැත. එය කළ හැක්කේ ව්‍යවස්ථා විශාරදයින්ටයි.

ඒකාබද්ධ විපක්ෂය මණ්ඩලයෙන් ඉවත් වී සිටියොත් ව්‍යවස්ථා කෙටුම්පත සැකසීමෙන් පසු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අහෝසි කර ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව නව ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුවට හැකියාව තිබේ. එවිට නව ව්‍යවස්ථාව ගැසට් මගින් ප්‍රසිද්ධ කරන තෙක් එහි අන්තර්ගතය දැන ගැනීමට අපට නොහැකි වනු ඇත. ගැසට් කර සති දෙකකින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිය. නව ව්‍යවස්ථාවක් අනිවාර්රයෙන්ම ජනමත විචාරණයකට යොමු කෙරෙන බැවින් එය අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට ද නොහැක. එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සතියක් ඇතුලත එය සම්මත කර ගත හැක. ඒ අනුව ව්‍යවස්ථා විශාරදයින්ට දැවැන්ත ව්‍යවස්ථාව හදාරා එහි පෙඩරල් ලක්ෂණ හඳුනා ගෙන ඒවා පිළිබඳ දේශපාලකයින් දැනුම්වත් කර දේශපාලකයින් විසින් ජනතාව දැනුම්වත් කර ව්‍යවස්ථාවට එරෙහිව ජනතාව පෙල ගැස්වීමට අපට තිබෙන්නේ සති තුනක කාලයක් පමණි. එවැනි දැවැන්ත කාර්රයකට සති තුනක් කෙසේවත් ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙතෙක් කළ අයුරින් මෙහෙයුම් කමිටුවේ සිදු වන දෑ සිදුවන සැනෙන් රටට හෙලි කිරීමට නම් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් මණ්ඩලය තුල සිටිය යුතුය.

තීරු ලිපියේ සීමිත ඉඩ හේතුවෙන් මෙම ලිපියේ ඉතිරි කොටස ලිවීමට සිදු වන්නේ ලබන සතියේය. මෙම ලිපියට පිලිතුරු ලිවීමට යමෙක් අපේක්ෂා කරත් නම් එතෙක් ඉවසීමට කාරුණික වනු ඇතැයි අපේක්ෂා කරමි.
-උදය ප්‍රභාත් ගම්මන්පිල 2017.07.27

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions