8/20/2017

මහ නාහිමිපාණන් වහන්සේලාගේ තීරණයට බලපෑම් කිරීමට TNA ට යුක්තියුක්ත අයිතියක් තිබේද?

කතෘ:යුතුකම     8/20/2017   No comments

මහ නාහිමිපාණන් වහන්සේලාගේ තීරණයට බලපෑම් කිරීමට දෙමළ ජාතික සන්ධානයට යුක්තියුක්ත අයිතියක් තිබේද?

නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධන අනවශ්‍යයැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් නිකුත් කළ ඓතිහාසික ප්‍රකාශය අසා බොහෝ පාර්ශව “කුලප්පු වී” තිබේ. ඒ කුළප්පුව එක් එක් පාර්ශවයන්හී දේශපාලන පරිනතියට සමානුපාතිකව ප්‍රදර්ශනය වන්නටද විය. ජනතා විමුක්ති පෙරමුණ කීවේ මහ නාහිමිවරුන්ගේ අණ එකම විධානය නොවන අතර උන් වහන්සේලා තුළ නව ව්‍යවස්ථාව ගැන ඇති අනවභෝධය නිසා එයට විරුද්ධ වන බවය. දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ) කීවේ මහ නාහිමිවරුන්ගේ අදහස යළි සලකා බලන්නැයි උන් වහන්සේලාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවය. ටී.එන් ඒ නියෝජිතයින් ඒ සඳහා අවස්ථාවක්ද තමන් වහන්සේලා වෙතින් ඉල්ලා සිටි බව දක්වමින්, එසේ පැමිණෙන්නේ නම් තමන් බෙහෙවින් සතුටු වන බවද මහ විහාරයීය නාහිමිපාණන් වහන්සේලා ජනමාධ්‍ය අමතා ප්‍රකාශ කොට තිබිණි.

ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලා බැහැදැකීමට දෙමළ ජාතික සන්ධානයට පූර්ණ අයිතියක් ඇත. නිතර නිතර උන් වහන්සේලා බැහැදැකීම වඩාත් හොඳය. එහෙත් අප එකහෙළා කියා සිටින්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ නාහිමිපාණන් වහන්සේලාගේ ස්ථාවරය යළි සලකා බලන්නැයි ඉල්ලා සිටීමට දෙමළ ජාතික සන්ධානයට සදාචාරාත්මක අයිතියක් නැති බවය. එයට හේතුව ඔවුන් අසිංහල වීම හෝ වෙනත් ලබ්ධියක් ඇදහීම නොවේ. එයට ඔවුන් නුසුදුස්සන් වන්නේ පක්ෂයක්, සංවිධානයක් ලෙස පමණක් නොව ම්ලේච්ඡ මිලිටරි ව්‍යාපාරයක් ලෙසද ඔවුන් සිය සිතිවිලි, පෑන්, සම්පත්, කාලය, අවි, ලේ, ඩහදිය මෙහෙයවා ඇත්තේ බෙදුම්වාදය වෙනුවෙන්ම පමණක් වන නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය නැමැති ගර්හිත අසාර්ථක දේශපාලන යාන්ත්‍රණයේ අනුසරණින්, අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පුටුව දක්වා උස්ව උජාරුවෙන් ඒ වරප්‍රසාද ද රට බෙදන්නටම භාවිත කරන සුදු සළු හන්පළන් බෙදුම්වාදී ඒජන්තයින්ගේ සුළමුළ, විකල් මනසින් යුත් බොහෝ දෙනාගේ දැනුම්වත් වීම පිණිස සැකෙවින් ආවර්ජනය කළ යුතුව තිබේ.

පළමුව අප තේරුම් ගත යුතු කරුණ වන්නේ “දෙමල ජාතික සංධානය” (ටී.එන්.ඒ) නමින් පෙනී සිටින 1949දී චෙල්වනායගම් විසින් පිහිට වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය (ඉංග්‍රිසියෙන් ෆෙඩරල් පක්ෂය) ජීවමානව පවතින තුරු මෙරට සිංහල හා දෙමළ ජනයා අතර තිරසාර සාමයක් ගොඩ නැගෙන්නේම නැති බවය. ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාව අපේම සහෝදරයින් යැයි සිතන හා කියන අප එසේ කියන්නේ ඇයි? “දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ නිජබිම” යන, අදද ටී.එන්. ඒ ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ බෙදුම්වාදී පදනම පළමුව හඳුන්වා දුන්නේ ඒ ෆෙඩරල් පක්ෂයම ය. 1949දී ෆෙඩරල් පක්ෂය බිහි වූ වකවානුවේ එහි සම්මත වූ ප්‍රධාන යෝජනාවේ අන්තර්ගතය වූයේද, “වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බහු භාෂක රටකට නොගැළපෙයි. එය ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අභිලාෂයනට පටහැණි ය” යනුවෙනි. 1951 එම පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේදී ඔවුන් තහවුරු කළේ “ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතිකත්වය පිළිබඳ නිර්නායක අනුව සිංහලයන්ගෙන් වෙනස්” බවය. එතෙකින් නොනවතින ෆෙඩරල් පක්ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය “ස්වයං පාලනය සහතික කරමින් ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම උදෙසා සටන් කිරීම” යන අරමුණ පක්ෂය සිය සමාරම්භක යෝජනාවන්හි ඇතුළත් කරන්නේය.

1948දී දෙමළ ජනතාව වෙනම රටක් ඉල්ලූයේ නැත. එහෙත් 1949 දෙසැම්බර් මස 18 දා චෙල්වනායගම් විසින් දෙමළ රාජ්‍ය පක්ෂය කොළඹ මරදානේදී ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී වෙනම රාජ්‍යයක් පිළිබඳ සටන ඇරඹිණි. චෙල්වනායගම් යනු මැලේසියාවේ සිට ලංකාවට පැමිණි කතෝලික කල්ලතෝනියෙකි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මහ මොළකරුවකු වූ ඒ.ජේ විල්සන් විවාහ වූයේ චෙල්වනායගම් ගේ දෝනියැන්දා සමගය. මේ කුමන්ත්‍රණයේ තවත් පසුකාලීන පැතිකඩ එයින් පැහැදිළි වේ. සදා නොවෙනස් එම බෙදුම්වාදී පිළිවෙත, සාවද්‍ය වුවද මනාව ගොතන ලද න්‍යායික පසුබිමක් මත බිහිවූ දෙමළ රාජ්‍ය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියට යමින් දෙමළ තාරුණ්‍යයේ ජවය සමග මිලිටරීකරණයට ලක් කිරීමේ තීරණාත්මක අපරාධයේ දිග පළල, 1976දී අනුමත කෙරුණු “වඩුක්කෝඩෙයි සම්මුතියෙන්”ම පැහැදිළි වේ. අදාළ සම්මුතිය 2008 වසරේ සංශෝධනය කළා යැයි කියමින් කර ඇත්තේද එම බෙදුම්වාදී සම්මුතිය තවත් වතාවත් ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු පිරිස් වල අනුග්‍රහයද ලබාගත හැකි මට්ටමින් තහවුරු කිරීමම පමණි. 2008 වසරේ අවස්ථාවාදී සටකපට සංශෝධනය සිදු කරන්නේ එල්. ටී. ටී. ඊ සංවිධානය නැගෙනහිරින් සම්පුර්ණයෙන්ම පරදා අවසන් වූ පසුව වන අතර, උතුරේ පරාජයට පෙරය.

විග්නේශ්වරන් මහ ඇමතිවරයා නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරිම සඳහා උතුරු පළාත් සභාවේ ‘සම්මත’ කළ ‘අසම්මත’යෝජනා වලියේ අන්තර්ගතය අපි සිහිපත් කරමු. 2016 මැයි මස පළමු වනදා සන්ඩේ ඔබ්සවර් පුවත් පතෙහි පළවූ ඒ යෝජනා කියා සිටින්නේ භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක් උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක් දකුනේද ඇති කිරීමටය. එසේම උතුරු හා නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනතාව සඳහා වෙනම ස්වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්ද දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්වයං නිර්න අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්ෂේප කිරීමද, ජාතික ධජයෙන් ‘වාර්ගික නිරූපයන්’ ඉවත් කිරීමද පූර්ණ පොලිස් හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරන පැවැත්වීමේ බලයද ඒ යෝජනා වලිය ඉල්ලා සිටී. මෑතකදී උතුරු පළාත් සභාව උතුරේ ඇතැම් විහාරස්ථාන ඉවත් කිරීමට බලපෑම කර තිබිණි. බෞද්ධ වෙහෙර විහාර උතුරේ ඉදිවීම ඔවුන් අර්ථකතනය කරන්නේ “සිංහල බෞද්ධ ව්‍යාප්තවාදයක්” ලෙසය. ගොවි ජනපද ව්‍යාපාරය 1951, 1956 හා 1957 දෙමළ රාජ්‍ය පක්ෂ වාර්ෂික සමුළු වලදී හැඳින්වූයේ “දෙමළ නිජබිමෙහි සිංහල ජනාවාසකරණ ප්‍රතිපත්තිය දෙමළ භාෂක ජාතියේ පැවැත්මට එරෙහිව හිතාමතා සැළසුම් කළ ප්‍රහාරයක්” ලෙසනි. ඔවුන්ගේ ස්ථාවරය වෙනස්වී ඇත්ද? 2014 වර්ෂයේදී දෙමළ රාජ්‍ය පක්ෂයේ ව්‍යවස්ථාව, එහි අරමුණු හා ඉලක්ක ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් SC/SPL/03/2014 නඩු අංකය යටතේ නඩුවක් පවරනු ලැබීය. ඒ අනුව රජයේ භාෂා පරිවර්තකයා හට එම කර්තව්‍යය පැවරිණි. ඒ පරිවර්තනයෙන් වැදගත් කරුණු ගණනාවක් අණාවරණය විය. ඉන් එකක් නම්, 1949දී දෙමළ රාජ්‍ය පක්ෂය භාවිත කොට තිබූ “සමස්ති” යන වචනය වෙනුවට 2008 සංශෝධනයේදී “ඉනෛප්පාච්චි” යන වචනය යොදා තිබීමයි. සමස්ති යන්නෙහි තේරුම ෆෙඩරල් (හෙවත් සන්ධීය) නම්, ඉනෛප්පාච්චි යන යෙදුමෙහි තේරුම කුමක්ද?

මෙය නව ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා මාලාවක්ද; නැතහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ න්‍යාය පත්‍රයද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ සංශෝධන ක්‍රියාවලියට සුජාතභාවයක් ලබාදීමට පත් කළ ලාල් විජේනායක කමිටු වාර්තාවට බෙදුම්වාදී අදහස් ඇතුලත් කරන්නට දෙමළ ජාතික සන්ධානය උතුරේත් නැගෙනහිරත් ගෙනගිය අනෙකුත් මෙහෙයුම් ද අපි දනිමු. ඉදින් මේ කල්ලිය මහ නාහිමියන් වහන්සේලා බැහැ දකින්නට එන්නේ මොන අරමුණින්ද? විප්ලවාදී නායකයින්, කැරළි නායකයින්, කරුණු අවබෝධ කරගනිමින් පවතින දේශපාලන ප්‍රවාහයන් හා එක්ව සාමකාමීව යථාර්තයට අනුගත වූ අවස්ථා සඳහා ලෝක දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇත. දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයේ 1949 කෙටුම්පතට දැන් වයස අවුරුදු 68කි. ඒ කාලය තුළ දශක තුණක ම්ලේච්ඡ මිලිටරි අදියරයකින් පවා ජය ගත නොහැකි වූ සිය ප්‍රාතමික ඉලක්කයන්ගෙන් “හැට පැන්නත්” විස්ථාපනය නොවීම සමස්ත දෙමළ අනන්‍යතාවයේම අභාග්‍යයකි. මහ නාහිමිපාණන් වහන්සේලා බැහැදකින්නට යන්නේ රට බෙදීමේ තිරස්චීන අරමුණ උදෙසා උන් වහන්සේලා කැමති කරවා ගැනීමටද?

අනිත් කරුණ නම්, 2008 වසරේදී දෙමළ රාජ්‍ය පක්ෂය සිය ව්‍යවස්ථාව සංශෝධනය කළා පමණක් නොව, 1976 වඩුක්කෝඩෙයි සම්මුතිය මුළුමනින්ම අනුමත කෙරෙන යෝජනාවක්ද සම්මත කරගත්තේය. ඒ අනුව කියවෙන්නේ දෙමළ රාජ්‍ය පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය “වෙනම රාජ්‍යයක් සදහා වන යෝජනා” පිළිගන්නා බවකි. ව්‍යවස්ථා සංශෝධන හෝ එවැනි කිසිදු කටයුත්තකදී ඒ උග්‍ර බෙදුම්වාදීන් සම්බන්ධ කර නොගත යුත්තේ එහෙයිනි. එසේම දෙමළ ජාතික සංධානය කටමැත දොඩවන ඒකීය රටක් තුළ ජීවත් වන්නට අපට අවශ්‍ය යැයි කියන නරිවාදම් මෙමගින් මුළු මනින්ම නිෂ්ප්‍රභා වී යයි. ඛේදවාචකය නම් ආර්. සම්බන්ධන් හෙවත් මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ දේශීය නායකයා වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමය.

1949 දෙමළ රාජ්‍ය පක්ෂ ව්‍යවස්ථාවේ 17 (ඩී) වගන්තිය 2008 සංශෝධනය කරමින් ප්‍රකාශ කරන්නේ “දෙමළ රාජ්‍ය පක්ෂයේ විධායක කමිටුව 2008.04.24 හා 2008.08.03 දින තීරණය කරන්නේ 1976.05.14 දින එක්සත් දෙමළ විමුක්ති පෙරමුණෙහි (TULF) ක්‍රියා මාර්ග හා යෝජනා අනුමත කරන බවයි. මෙහි සැබෑ අරුත වැටහෙන්නේ 1976 වඩුක්කොඩෙයි සම්මුතිය සම්පූර්ණයෙන්ම වටහා ගත් විටය. එහි කොටසක් මෙසේ දක්වමු. “මේ සම්මුතිය යෝජනා කරන්නේ නිදහස්, ස්වෛරී, අනාගමික, සමාජවාදී, දෙමළ ඊළමක්, ස්වයං නිර්ණ අයිතිය මත ප්‍රතිස්ථාපනයෙන් හා ගොඩ නැංවීමෙන් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ පැවැත්ම තහවුරු කළ හැකි බවයි. (1985 තිම්පු සාකච්ඡා අනුව මේ ඊනියා ඊළම තුළ රටේ වෙසෙන සියලුම දෙමළ ජනතාවට සමාන පුරවැසිභාවය පිරි නැමීමට කථිකා කෙරිණි. එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනමම ජාතියක් ලෙස පිළිගැනීමටද යෝජනා කෙරිණ) මේ සම්මුතියෙන් පොදුවේ සමස්ත දෙමළ ජාතියටත්, විශේෂයෙන් දෙමළ තරුණයින්ටත්, මෙම පූජනීය නිදහස් සටනට ආරාධනා කරන අතර ස්වෛරී දේශයක් දිනා ගන්නා තෙක් පසු නොබසින්නටද ආරාධනා කරයි” (වඩුක්කෝඩෙයි සම්මුතිය ප්‍රකාරව උතුරු නැගෙනහිර ඉතිරිවන සිංහලයන් සුළු ජාතිය වන අතර සිංහලෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතත්, රාජ්‍ය භාෂාව වනුයේ දෙමළ බසයි)

එල්.ටී.ටී.ඊ සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කිරීමෙන් පසුව දෙමළ ඩයස්පෝරාව ක්ෂණිකව ජනමත විචාරන පැවැත්වීම් ආදිය කළේද මෙම වඩුක්කෝඩෙයි සම්මුතිය ප්‍රකාරවය. 2015 වසරේ දෙසැම්බරයේදී “විදෙස්ගත දෙමළ ඊළාම් ආණ්ඩුව” ප්‍රකාශ කළේ “ 1976 වඩුක්කෝඩෙයි සම්මුතියේ පැහැදිළිව දක්වා ඇති අයුරින් හා අන්තර්වාර ස්වයං පාලන යෝජනාත්, දෙමළ ඊළාම් නිදහස් ප්‍රඥප්තිය අනුවත් ලෝකවාසී දෙමළ ජනතාවගේ අදහස් අනුවත් දෙමළ ඊළාමයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ඇරඹීමු” යනුවෙනි. මෙයින් පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය, ඔවුන්ගේ ඊළම යුධයෙන් දිනා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වෙත්ම, බෙදුම්වාදය සඳහා වන ජාත්‍යන්තර දේශපාලන දායකත්වය සඳහා ස්වකීය ව්‍යවස්ථාව උපක්‍රමශීලී ලෙස වෙනස් කළ බවයි.

ටී.එන්. ඒ යනු දෙමළ රාජ්‍ය පක්ෂයේ දෘෂ්ටිවාදය එල්.ටී.ටී.ඊ මිලිටරීකරණ අදියරට සමගාමීව සිය බෙදුම්වාදී “සටනේ” දේශපාලන අනුප්‍රාප්තිකයා ය. එයට දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයෙන්ද, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡ සහාසික ගුණයෙන්ද විනිර්මුක්ත විය නොහැක. කළ හැකි එකම දෙය නම් කාලීනව විවිධ සළුපිළි වලින් සිට බෙදුම්වාදී ම්ලේච්ඡත්වය ආවරණය කර ගැනීමයි. ටී.එන් ඒ. 2001, 2004, 2010, හා 2013 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉතා නිර්ලජ්ජිතව එල්.ටී.ටී.ඊ ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බව ප්‍රකාශ කෙරිණ. 2014 වසරේදී ආනන්ද සංගරී මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත යැවූ ලිපියකද ඒ බව ස්ථිරව සටහන් කර තිබිණි. 2004, 2010 දෙමල ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) ප්‍රතිපත්ති ප්‍රකාශය මුළුමනින්ම වඩුක්කෝඩෙයි සම්මුතිය එහි අන්තර්ගත කරයි.
“Tamil organizations got together and resolved on May 14, 1976 to establish a sovereign independent Tamil Eelam based on our inalienable right to self-determination.”
(දෙමළ ජාතික සන්ධානයේ 2004 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)
“Tamil People are entitled to the right of self determination”
(දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)

“ITAK and the other Tamil parties came together under a banner called Tamil United Liberation Front (TULF), and in 1976 passed a resolution calling for a restoration of our lost sovereignty in the background of the continued denial of the right of the Tamil People to self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)
‘Our expectation for a solution to the ethnic problem of the sovereignty of the Tamil people is based on a political structure OUTSIDE that of a UNITARY GOVERNMENT, in a UNITED SRI LANKA in which Tamil people have all the powers of government needed to live with self-respect and self sufficiency’
(ආර්. සම්බන්ධන් - 2014 දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනය)

ඉහතින් කියන්නේ කුමක්ද? දෙමළ ජනතාවගේ අපේක්ෂා මල්පළ ගැන්වෙන, දෙමළ ජනතාවට ආත්මාභිමානයෙන් හා ස්වයං පෝෂිතව ජිවත්වීමට අවශ්‍ය පසුබිම සකස් වන්නේ එකීය ශ්‍රී ලංකාවක් තුළ නොව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බවය. ආර්.සම්බන්ධන් (විපක්ෂ නායක?) එසේ කියන්නේ 2014 වසරේ පැවැත්වූ දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනයේදීය. මෙය අපට සිහිපත් කරවන්නේ නිරන්තරයෙන් අප සිහිපත් කරන්නා වූ වර්තමාන ආණ්ඩුවේ අනුග්‍රාහකයින් එක්ව 2013 වසරේ සිංගප්පූරුවේදී පැවැත්වූ සාකච්ඡාවේ කුප්‍රකට එකඟතාවන්ය. සිංගප්පූරු එකඟතාව අනුව, නව ව්‍යවස්ථා මගඩියේදී, බහුතර සිංහල බෞද්ධයින් රවටාලීම සඳහා උපරිම ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබේ. ඒ එකඟතා ප‍්‍රකාරව, ‘‘රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වැදගත් වන්නේ ලේබලය නොව හරයයි’’, ‘‘නොබෙදුනු ශි‍්‍ර ලංකාවක් තුල ස්වයං පාලනයේ හා පාලන බලතල හවුලේ බෙදාගැනීමේ පදනම මත බලය බෙදා හැරීම සිදු කළ යුතුය’’, ‘‘ශි‍්‍ර ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය මෙන්ම ශි‍්‍ර ලංකාව සැදුම්ලත් ජනතාවන්ගේ අනන්‍යතාවයන් හා අභිලාෂයන් ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත යුතුය’’, ‘‘ශි‍්‍ර ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය රජයේ ආයතනයන් තුල පිළිබිඹු විය යුතුය’’, මෙන්ම ‘‘ශි‍්‍ර ලංකා ජනරජය අනාගමික රාජ්‍යයක් විය යුතුය - බුදු දහමට ප‍්‍රමුඛ ස්ථානයත් අනෙක් ආගම් වලට ඒ හා සමාන තත්වයත් සහතික කළ යුතුය’’ ආදී වගන්ති ඉතා සූක්ෂමව ඇතුළත් කර තිබේ. මේ කාගේ අවශ්‍යතාවන් ද? මෙවන් කල්ලියකට, මහ නාහිමිපාණන් වහන්සේලාගේ ස්ථාවරයන් “යළි සළකා බලන්න”යි යැයි කියන්නට කිසිදු අයිතියක් නැත්තේමය.

2014, දෙමළ රාජ්‍ය පක්ෂ සමුළුවේදී සම්බන්ධන් තව දුරටත් කියන්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා වන “ඓතිහාසික තීන්දුවක්” තම පෙරමුණ ගත් බවත්, අර්ථාන්විත බලය බෙදීමක් සඳහා 1987 ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ 13 වන සංශෝධනයෙන් ඔබ්බට යායුතු බවයි. 2015දී TNA මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ, නොබෙදුනු, ඒකීය ශ්‍රී ලංකාවක දෙමළ කතා කරන උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ඇති කිරීම ස්වකීය අභිලාෂය බවයි. මේ වචන හරඹය නෑකම් කියන්නේ යථෝක්ත කුප්‍රකට සිංගප්පූරු එකඟතාවට පමණි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩි දුරටත් කියන්නේ “ඉඩම්, නීතිය හා සාමය, අධිකරණය, ආදී ක්ෂේත්‍රයන්ගෙන් ස්වෛරී වූ විට දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය, එනම් සෞඛ්‍යය, අධ්‍යාපනය, උෂස් හා වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, කර්මාන්ත, සත්ත්ව පාලනය, සංස්කෘතිය, දේශීයවත් ජාත්‍යන්තර වශයෙනුත් ගුණාත්මකව ඉහල නැංවීම හා මූළ්‍ය බලය තහවුරු කර දෙමළ ජනතාවගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබේ”. මේ වෙනත් රාජ්‍යයක් නොවේද?

වඩුක්කෝඩෙයි සම්මුතිය දෙමළ බෙදුම්වාදයේ දේශපාලන අරමුණු වඩාත් රැඩිකල්ව කෙටුම්පත් කළ අතර, දෙමළ නොවන සියල්ලන් මත ඇති වෛරය පාදක කරගනිමින් ආයුධ සන්නද්ධ වන්නට දෙමළ තාරුණ්‍යය යොමු කළේය. එසේ හෙයින් යම් සාමයක් පිළිබඳ බලාපොරොත්තු ඇති කරගැනීමට නම්, වඩුක්කෝඩෙයි සම්මුතිය නම් වූ බෙදුම්වාදී ලියැවිල්ල අහෝසි කළ යුතු අතරම, දෙමළ ජනතාව විසින් එල්.ටී.ටී.ඊ හෝ දෙමළ රාජ්‍ය පක්ෂ දෘෂ්ටිවාදයට සම්බන්ධ පුද්ගලයින් කල්ලි හා කණ්ඩායම් ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. දෙමළ සමාජයෙන් පවා ප්‍රතික්ෂේප විය යුතු දෙමළ ජාතික සන්ධානය (හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂයේ දෘෂ්ටිවාදය) නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කේවල් කිරීමට ලඞකාද්පයේ උත්තරීතර අධිකාරිය හිමි මහ නාහිමිපාණන් වහන්සේලා බැහැදැකීම විහිළුවකි.
“සිංහලයින් අකමැති නම් අපට නිජබිම් එපා” ආදී මානසික අල්ලස් දෙන්නට දෙමළ ජාතික සන්ධානයේ ලොකු ලොක්කන් දක්ෂය. ජාතික ගීය දෙමළෙන් ගැයීමට විධාන දීමට තරම් රටේ විධායකය නිවට වූ විට, මේ රටේ සර්වාගමික මෝඩ සිංහලයන් හා ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට විග්නේශ්වරන් මහ ඇමතිවරයා මල් වට්ටියක් අරන් නාගදීප විහාරයට ගියේය. මේ තවත් එවැනි අවස්ථාවකි; නාට්‍යයකි; රංගනයකි. සිංහලයාට ඇති එකම ව්‍යවස්ථා ප්‍රශ්නය “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යන්නයැයි සිතමින් විවිධ උප්පරවැට්ටි වලින් සිංහලයින්ගේ ඇසට වැලි ගසා මස් රාත්තලම දිනා ගැනීමේ සටන මහ නාහිමිපාණන් වහන්සේලා නිසා “ගැස්සී” යනු දකින්නට සතුරා කැමතිම නැත.

1815 උඩරට සම්මුතිය කෙටුම්පත් කිරීමේදී බුද්ධාගම සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිපාදන සැකසූ මහා සංඝරත්නයම රවටාලීමට සුද්දා කටයුතු කළේය. බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන්නේය යන වගන්තියට මුවාවී රට සම්පූර්ණයෙන්ම පාවාගන්නා සුද්දා ඒ වගන්තිය තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත. මෙයද එවැනිම තීරණාත්මක අවස්ථාවකි. ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ ඓතිහාසික ආඥාවෙන් පසු මේ රටේ ව්‍යවස්ථා සම්පාදන හෝ සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ දෙමළ සන්ධානයට හෝ වෙන යම් පාර්ශවයකට ගැටුමක් ඇත්නම් එය ආණ්ඩුව සමග විසඳා ගැනීම වඩාත් ප්‍රඥා ගෝචරය; තාර්කිකය. එසේම දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් තේරුම් ගත යුත්තේ අපේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා බණපොත මෙන්ම “අණපොතද” දැන් වනපොත් කර ඇති බවය! උන් වහන්සේලා ලෝකොත්තර වශයෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදෙසාද, ලෞකික වශයෙන් ජාතික විමුක්තිය උදෙසාද ජාතියට නායකත්වය සැපයීමට සූදානම් බවය.

ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්ඩල සභික

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions