8/14/2017

ඉන්දියාව විසින් නැවතත් දෙමළ සන්නද්ධ ව්‍යාපාරයක් ලංකාවේ ඇති කරයිද?

කතෘ:යුතුකම     8/14/2017   No comments

 Prabhakaran (3rd from left) at a LTTE training camp in Sirumalai, Tamil Nadu, India.
 -අයි. ජයතිලක-
පසුගිය දිනවල යාපනය ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට පහරදීම හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නැවතත් පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවන්නට රජය පියවර ගෙන ඇත. රටේ තත්ත්වය බොහෝ දුරට සාමකාමීයි, උතුරේ හමුදා ඉවත් කිරීම කළ යුතු යයි පාරම්බාමින් බලයට පැමිණි රජයකට එය සිදුකිරීමට වීම දෛවයේ සරදමකි. නමුත් මෙම තත්ත්වය ඇති වුයේ අහඹු ලෙස නොවේ.

වසර 30ක ත්‍රස්තවාදී යුද්ධය අවසාන වූ පසුව 2015 දී යහපාලන රජයේ පැමිණීමත් සමඟ උතුරේ ආරක්ෂක තත්ත්වයේ යම් ලිහිල් වීමක් ඇතිවුණි. බුද්ධි අංශවල කාර්යයන් සීමා වුණු අතර හමුදා කඳවුරු ඉඩම් සිවිල් වැසියන්ට ලබා දීමත් සිදුවිය. උතුරේ හමුදා සාමාජිකයන් රඳවා සිටීම ක්‍රමානුකුලව අඩු කෙරිණි. උතුරේ සාමාන්‍ය ජනයාට සිදුවිය හැකි අපහසුතා මැඩීමත් සාමාන්‍ය ජන ජිවිතය ඇති කිරීමට කටයුතු කිරීමත් ශ්‍රී ලංකා රජය විසින් සිදු කළ යුතුයි. එය රජයේ වගකීමක් වන අතර ඒ ගැන විවාදයක් නැත. නමුත් ආරක්ෂක තත්ත්වය ලිහිල් කිරීම සිදුවිය යුත්තේ දෙමළ ඩයස්පෝරාවේ හෝ විදේශ ගත දේශපාලකයින් ගේ අවශ්‍යතා අනුව නොව ලංකාවේ ආරක්ෂක අංශයන් ගේ අවවාද මධ්‍ය යේ ක්‍රමානුකූලවයි. ඒ සමගම නැවතත් අවි අතට ගැනීමක් හෝ සන්නද්ධ ක්‍රියාකාරකම් ඇති වීමට ඇති හැකියාව සොයා බැලීමට තියුණු බුද්ධි අංශ සේවයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යය. ඉමහත් මානුෂීය කැපකිරීම් හමුවේ ලබාගත් සාමයත් රටේ ස්ථාවරත්වයත් ආරක්ෂා කිරීමට එය අත්‍යාවශ්‍ය කාරණයකි. ශ්‍රී ලංකාවේ නැවතත් සන්නද්ධ දමිළ බෙදුම්වාදී ව්‍යාපාරයක් ඇති විය හැකි ද? බොහෝ විදෙස් ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ නැවතත් ප්‍රභාකරන් වැනි අයකු බිහි වන්නේ නැති බවයි. ඒ ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබුණ ද නැවතත් දමිළ සන්නද්ධ ව්‍යාපාරයක් බිහි නොවේ යයි කෙනෙකුට පැවසිය නොහැක. ලෝකය පුරා සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් කොතෙකුත් ඇත, ඒ සඳහා ප්‍රභාකරන් කෙනෙකු අවශ්‍යම නැත.

රජය විසින් ඩයස්පෝරාවේ සිටින අන්තවාදී ඊළාම්වාදී කොටි සහායකයින්ට ලංකාවට ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. ඒ අනුව උතුරේ ජනතාව සදා බෙදුම්වාදී මානසිකත්වයේ තබා ගැනීමට අවශ්‍ය සාධක වලට රටට ඇතුළු වීමට ලංකාවේ රජයම උපකාර කරයි. අප මතක තබා ගත යුතු සත්‍යයක් වන්නේ ලංකාවේ යුද්ධයේ නිමාව විශේෂයෙන් කොටි සංවිධානයේ විනාශය නොඉවසන හා ඒ පිළිබඳ දුක්වන බාහිර බලවේග සැහෙන ප්‍රමාණයක් සිටින බවයි. ඒ අතරින් ලංකාවේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වුවහොත් ඊට සහාය ලබා දීමට ඔවුන් පසු බට නොවනු ඇත. යාපනයේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හා ඊට දායකවී ඇති තරුණ කොටස් අනුව පෙනී යන්නේ බාහිර පාර්ශවයකට සන්නද්ධ ව්‍යාපාරයකට භාවිතා කිරීමට හැකි ආවේග ශීලි තරුණ කොටස් ඕනෑ තරම් සිටින බවයි. ලංකාවේ නැවතත් බෙදුම්වාදී දමිළ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් අනිවාර්යයෙන් ඉන්දියාවේ සහාය අවශ්‍ය වේ. මෙහිදී ඉන්දියාවේ සහාය යනු ඉන්දීය රජයේ සහායම නොව ඉන්දීය ඔත්තුසේවාවන්ගේ සහාය පමණක් වුවද ප්‍රමාණවත්ය. 80 දශකයේ මුල් භාගය වන විට ප්‍රභාකරන් ගේ දෙමළ කොටි යනු ඉන්දියාව විසින් පෝෂණය කළ එකම සංවිධානය පමණක් නොවේ. සංවිධාන ගණනාවක් අතරින් එකක් පමණයි. සියළු සංවිධාන ඉන්දියානු රෝ ඔත්තු සේවාවන්ගේ සුවච කීකරු ගෝලයන් වන විට ප්‍රභාකරන් පමණක් ඉන්දියානු ඔත්තු සේවාවන්ගෙන් ස්වාධීනව ක්‍රියාකිරීමට පටන් ගත්තේය. අවසානයේ ඉන්දියානු සාම සාධක හමුදා හා ප්‍රභාකරන් අතර ගැටුමට මුල්වූයේත් ප්‍රභාකරන්ගේ ස්වාධීන බවයි.

1980 දශකයේ මුල් අවධියේ දී ප්‍රභාකරන් හා තවත් දෙමළ සංවිධානයක අයෙක් අතර ඉන්දියාවේ චෙන්නායිහිදී වෙඩි හුවමාරුවක් ඇති විය. මේ වෙඩි හුවමාරුව නිසා ප්‍රභාකරන් ඇතුළු තවත් අයෙක් අත් අඩංගුවට පත්ව ඇත. එහිදී චෙන්නායි පොලිසිය දැනගත් කරුණු ඉන්දීය මධ්‍යම රජයට දන්වා ඉන්දිරා ගාන්ධිගේ කණ වැකුනු පසු ගත් තීරණය නම් මේ අයට යන්න දුන්නද ඉන්දියානු රෝ ඔත්තු සේවය හා මොවුන් අතර සබඳතා පවත්වා ගත යුතු බවයි( kept in touch) මේ දැන හැඳිනගැනීම ඉන්දියාව විසින් පසුව ලංකාවේ ඇති කළ ත්‍රස්තවාදී ගැටුමෙන් කෙළවර විය. ප්‍රශ්නය වන්නේ ඉන්දියාව විසින් නැවතත් එවැන්නක් සිදුකරයිද යන්නයි. ඒ ගැන හොඳින් අවබෝධ කර ගැනීමට ඉන්දියාව විසින් සිදුකළ මැදිහත් වීමත් ඒ සම්බන්ධයෙන් ඉන්දියානු රජය දරණ ස්ථාවරය පිළිබඳවත් සොයා බැලීම වටී.

ඉන්දියාව විසින් ලංකාවට මැදිහත් කිරීමක් සිදුකරන්නට අවස්ථාව ලැබෙන තුරු බලා සිටි අතර දෙමළ බෙදුම්වාදය එයට හොඳම අවස්ථාව සැලසුවේය. දෙමළ බෙදුම්වාදීන් හා ඉන්දීය රෝ ඔත්තු සේවය අතර සබඳතා ඇති වුණි. රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුත් රෝ සංවිධානයට කොටි සංවිධානය කෙරේ තිබූ ඇල්ම හිටපු රෝ ප්‍රධානියෙකු වන බී.රාමන් නැමැත්තාගේ බ්ලොග් අඩවිය පරීක්ෂා කිරීමෙන්ම පෙනේ. ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදියෙකු වන ශමින්ද්‍ර ෆර්ඩිනන්ඩු මහතාට අනුව 1983 දී ප්‍රභාකරන් ඇතුළු කොටි කාඩරයන් විසින් වැල්වැටිතුරේ දී හමුදා සාමාජිකයන් 13 කු මරා දැම්මේ කිසිවකු නොසිතු ලෙසයි. මීට පෙර කොටි සිදුකළ ත්‍රස්ත ක්‍රියා වූයේ බැංකු කොල්ලකෑම්, හොර බඩු ප්‍රවාහනය හා පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමයි. ෆර්ඩිනැන්ඩුට අනුව 83 හමුදා සාමාජිකයන්ට එරෙහි ප්‍රහාරය තනිව සිදුකිරීමට තරම් හැකියාවක් හෝ දැනුමක් ඒ වන විට කොටි සංවිධානයට තිබුණේ නැත. එම ප්‍රහාරයට අවශ්‍ය දැනුම සපයා දුන්නේ ඉන්දියාවේ රෝ සංවිධානය බවට ඔහු සැක කරයි. මෙම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් 13 කු මිය ගියෙන් පසු ලංකාවේ දකුණේ සාමාන්‍ය දෙමළ වැසියා ඉලක්ක කරගෙන එවකට පැවති රජයේ සහායෙන් සංහාරයක් ක්‍රියාත්මක වුණි. එයින් 3000 කට ආසන්න පිරිසක් මිය ගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර කොළඹ සිටි දෙමළ ජනයා යාපනය ප්‍රදේශයට කෝච්චි මගින් ප්‍රවාහනය කළේය. මෙහිදී දෙමළ වැසියන් ආරක්ෂා කරගැනීම ටවත් කොටි සංවිධානය ශක්තිමත් වීම වැළැක්වීමටවත් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වූයේ නැත. ෆර්ඩිනැන්ඩුට අනුව ලංකා රජය ඉතා හොඳින් රෝ උගුලේ වැටුණි.

From left LTTE commander Yogi, Shankar , LTTE chief Prabhakaran with his bodyguards Sornam(4th) and Gaddafi (standing behind the IPKF officer)

එවිට ලංකාවේ රජය විසින් දෙමළ ජනයා මර්ධනය කරන බවට ලෝකයට ඒත්තු ගැන්වීමට රෝ සංවිධානයට හැකි විය. ඉතිහාසයේ පළමු වරට රටේ අභ්‍යන්තර අර්බුධය ජාත්‍යන්තරකරණය විය. දෙමළ ජනයා හා පක්ෂ වෙනුවෙන් යයි කියමින් ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයට ඉන්දියාව අත දැමීය. තිම්පු සාකච්ඡා ඇති විය. එම සාකච්ඡා වලට කොටි සංවිධානය ඇතුළු තවත් සන්නද්ධ කණ්ඩායම් වල නියෝජිතයින් එක්විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින්ද එක්විය. සාකච්ඡා වලදී කොටින් විසින් කොන්දේසි ඉදිරිපත් කළහ. රජය එම කොන්දේසි ප්‍රතික්ෂේප කළ අතර තිම්පු සාකච්ඡා සාර්ථක නොවීය. කොටින් හා අනෙක් කණ්ඩායම් විසින් රටේ තැන තැන බෝම්බ පිපිරවීමත් නැගෙනහිර පළාතේ සිංහල ජනතාව ඉලක්ක කරමින් ඝාතනයන් සිදුකිරීමත් ආරම්භ කළහ. මේ අතර කොටි සංවිධානය විසින් අනෙක් දෙමළ කණ්ඩායම් මර්ධනය ආරම්භ කර තිබිණ. තත්ත්වය පාලනය කළ යුතු නිසා කොටි සංවිධානය මුලිනුපුටා දැමීමට රජය ක්‍රියාත්මක විය.

ජෙනරාල් කොබ්බැකඩුව හා මේජර් ජෙනරල් විජය විමලරත්න යන හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වඩමාරච්චි මෙහෙයුම ආරම්භ විය. 1987 දී වඩමාරච්චි මෙහෙයුම සාර්ථකව සිදුවන අතරතුරේ දී උතුරේ හමුදා මෙහෙයුම් නැවැත්විය යුතු බවට ඉන්දියාව විසින් තර්ජනය කරන්නට විය. කොටි සංවිධානය ඉලක්ක කර ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයුම් සිදුකළද එම මෙහෙයුම් නිසා උතුරේ දෙමළ ජනයා අතිශය දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් හමුදා මෙහෙයුම් වහාම නැවැත්විය යුතු බවටත් ඉන්දීය රජයේ පණිවිඩය එවකට තානාපති ඩික්සිත් විසින් ජේ ආර් ජයවර්ධනට පැවසීය. ඉන්දීය අවවාද නොතැකුව හොත් භයානක ප්‍රතිඵල අත්වේ යයි ඩික්සිත් විසින් ජනාධිපතිවරයාට පවසා ඇත. ජේ ආර් විසින් භයානක ප්‍රතිඵල මොනාවා දැයි විමසූ විට ඩික්සිත් පවසා ඇත්තේ ඉන්දීය හමුදා ආක්‍රමණයක් සිදුකොට ඊළමක් ඇති කිරීම වුවත් විය හැකි බවයි. කෙසේ වුවත් රජය හමුදා මෙහෙයුම දිගටම කරගෙන ගියේය. ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙසට ඉන්දීය ජෙට් යානා මගින් ගුවනින් පාර්සල් හෙළන බවත් එම ගුවන් යානා වලට කිසිදු කරදරයක් නොකර සිය කාර්යය කර ගැනීමට ඉඩ දිය යුතු බවටත් ඉන්දීය රජය විසින් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවා දන්වා සිටියේය. මේ අනුව සිදුවූයේ කුප්‍රකට පරිප්පු දැමීමේ මෙහෙයුමයි. එම ඉන්දීය මෙහෙයුම, පූමලෛයි හෙවත් දමිළ භාෂාවෙන් මල්මාලය ලෙසට නම් කර තිබුණි. එම මෙහෙයුමේ අරමුණ වූයේ කොටි සංවිධානය පරාජයෙන් බේරා ගැනීමයි. ඉන්දීය රජය විසින් ප්‍රචලිත කළ ආකාරයට දමිළ ජනයාට ආහාර හිඟයක් හෝ අතිශය දුෂ්කර තත්ත්වයක් නොතිබූ බව ඩී බී එස් ජෙයරාජ් කැනේඩියානු දමිළ මාධ්‍ය වේදියා විසින් පසුකාලීනව පවසා ඇත. සිදු වූයේ ප්‍රභාකරන්ව බේරා ගැනීමට රජීව් ගාන්ධි විසින් ‘මල් මාලාවක්’ එවීමයි. එයින් වසර 4කට පසු සිය කළ ගුණ සැළකීමට ප්‍රභාකරන් අමතක කළේ නැත. දෛවයේ සරදමක් ලෙස රජීව් ගාන්ධිට ප්‍රභාකරන් විසිනුත් මල් මාලාවක් එවූ අතර එය යැව්වේ ධනු නම් සියදිවි නසාගන්නා බෝම්බකාරියෙක අතේය.

1987 වසරේ දී ශ්‍රී ලංකා රජයට එරෙහිව හමුදා ආක්‍රමණයක් කරන බවට තර්ජනය කර ශ්‍රී ලංකා රජය සිය අදහසට නම්මා ගන්නට ඉන්දියාව සමත් විය. ජේ ආර් ජයවර්ධන රජයට බලපෑම් කර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. එම ගිවිසුමට අනුව ලංකාවේ ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ගබඩා සංකීර්ණය ඉන්දියාව නොවන වෙනත් කිසිම පිටස්තර පාර්ශවයකට ලබා දිය නොහැක. ඒත් සමඟම ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට 13 වන සශෝධනය එකතු කළහ. මෙම 13 වන සංශෝධනය යටතේ උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ අතර ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල සමූහයක් පළාත් වලට ලබාදුණි. එසේ ඒකාබද්ධ කළ උතුරු හා නැගෙනහිර පළාතේ ඡන්දයක් පවත්වා කවුන්සිලයක් පත්කළ යුතු වුණු අතරම මහ ඇමතිවරයෙක් ඡන්දයෙන් පත්විය යුතුය. ඒත් සමඟම උතුරු පළාතේ ආරක්ෂාව තහවුරු කිරීමට හා සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට මුවාවෙන් ඉන්දීය හමුදාව සාම සාධක හමුදාවක් ලෙස ලංකාවට පැමිණයේය. ඉන්දීය හමුදා කුමන අවස්ථාවක හෝ ලංකාවට එවීමට ඉන්දීය රජය සූදානම්ව සිටි අතර ඒ සඳහා මේ අවස්ථාව ඔවුන් ප්‍රයෝජනයට ගත්හ.

මේ වන විට කොටි සංවිධානය හා ඉන්දියාව අතර තිබූ ඇයි හොඳයිය බිඳ වැටෙමින් පැවතිණ. ඊට ප්‍රධානම කාරණය ඉන්දියාවේ අරමුණ හා කොටි සංවිධානයේ අරමුණ දෙකක් වීමයි. කොටි සංවිධානය බලාපොරොත්තුවූයේ 71 දී නැගෙනහිර පාකිස්ථානයේ සිදුකළාක් මෙන් ඉන්දියානු මැදිහත්වීමක් යටතේ ලංකාවේ ඊළමක් සෑදේ යන්නයි. නමුත් සිදුවූයේ ඉන්දියාව හා ලංකාව අතර ගිවිසුමක් අත්සන් කර පළාත් සභා බලය බෙදීමේ ක්‍රමයකට දෙමළ පාර්ශවයට එකඟ වන්නයි ඉන්දියාව විසින් බලකිරීමයි. ඉන්දියාව බලාපොරොත්තු වූයේ මෙම ක්‍රමය මගින් උතුරු නැගෙනහිර ඉන්දියාවේ පදයට නටන නිල වශයෙන් ලංකාවට අයත් වුවත් නොනිල ලෙස ඉන්දියානු ප්‍රාන්තයක් ලෙස පවත්වා ගෙන යාමයි. සයිප්‍රසයේ තුර්කියට පක්ෂ කොටසක් පවතින ලෙස ලංකාවේත් ඉන්දීය රජයට යටත් ඉන්දීය පාලනයේ පවතින කොටසක් ඇති කර ගැනීමයි. මෙය හුදු ඉන්දීය අරමුණු ඉටු කරගැනීමකි. කොටි සංවිධානය ඇතුළු අනෙක් සියළු සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් මේ සැකැස්මට එකඟ කර ගැනීමට ඉන්දියාව සමත්විය. ටෙලෝ, ඊපිආර්එල්එෆ් යන සංවිධාන රෝ ඔත්තුසේවයට අනුව ක්‍රියාකරන ඉන්දීය රජයේ අතකොළු විය. ඉන්දීය රජයේ සැලැස්ම ඉන්දියාවට අවශ්‍ය ලෙසම ක්‍රියාත්මක විය. ඉන්දියානු අතකොළු අතට ලංකාවේ උතුරු නැගෙනහිර බලය යන අතර ශ්‍රී ලංකා රජයට ඔවුන් පාලනය කළ නොහැකිය. ඉන්දියානු හමුදා ලංකාවට ගොඩ බැස තිබුණි. සියල්ල හොඳින් ක්‍රියාත්මක විය, එකක් හැර. කොටි සංවිධානයේ නායකයා හා ඉන්දීය රජය විශේෂයෙන් තානාපති ඩික්සිත් අතර ගැටුම් ඇති වන්නට විය. කොටි සංවිධානයට අවශ්‍ය වූයේ ඊළමක්ම වන අතර ඉන් මෙහාට කිසිම දෙයකට කැමති වූයේ නැත. ඉන්දීය අතකොළු වීමට ප්‍රභාකරන් කෙසේවත් කැමති වූයේ නැත.

The LTTE training camp in Kulathur, Salem district, India,
where the 16th batch was trained in 1985/6.
ප්‍රභාකරන් සමඟ තම සැලසුම ක්‍රියාත්මක කිරීමට බැරි බව තේරුම් ගත් ඉන්දීය රජය තමාගේ සුවච කීකරු තවත් සන්නද්ධ කල්ලියක් වන ඊපිආර්එල්එෆ් සංවිධානයට උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය ජය ගැනීමට ඉඩ ලබා දුණි. 1988 උතුර නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී ඉන්දියානු සාම සාධක හමුදාව විසින් කෙලින්ම ඊපිආර්එල්එෆ් හා ටෙලෝ සංවිධානයට උපකාර කළේය. ඔවුන් වෙනුවෙන් හොර ඡන්ද දැම්මේය. අවසානයේ ඊපිආර්එල්එෆ් සංවිධානය, උතුරු නැගෙනහිර පළාතේ කවුන්සිලයේ බලය අතට ගත් අතර රෝ සංවිධානයේ ඒජන්ට් කෙනෙකු වන වර්ධරාජා පෙරුමාල් මහ ඇමති පදවියට පත්විය.

කොටි සංවිධානයට තව දුරටත් ඉන්දීය රජය හා සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැති විය. ඉන්දීය සැලසුම ප්‍රශ්නයක් නැතිව ඉදිරියට ගියා නම් අද වන විට ලංකාවේ උතුර හා නැගෙනහිර ලංකාව යටතේ තිබේ දැයි යන්න පවා ප්‍රශ්නයකි. ප්‍රභාකරන් විසින් ඉන්දීය සැලසුමට පිටින් යාම නිසා ඒ අප්‍රසන්න තත්ත්වයෙන් ගැලවීමට අපිට ඒ මොහොතේ හැකි විය. කොටි සංවිධානය විසින් සාම සාධක හමුදා ඉලක්ක කරමින් ප්‍රහාර ආරම්භ කළහ. සතියකින් කොටි සංවිධානය අවසාන කරනවා යැයි පාරම්බෑ ඉන්දීය සාම සාධක හමුදා ප්‍රධානියා වන හර්කිරාත් සිංග්ට ලංකාවේ උතුරු ප්‍රදේශයේ කැලැතුළ දුෂ්කර යුද්ධයක වසර දෙකක් පුරා නියැළෙන්නට විය. කොටි සංවිධානය විසින් සාම සාධක හමුදා හා යුද්ධ කරන අතර ම අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන සමූල ඝාතනය කරන්නට ද කටයුතු කළේය. ඉන්දීය රජය විසින් තවත් උපායක් යෙදවීය. කොටි නොවන අනෙක් සියළු සන්නද්ධ කණ්ඩායම් එකතු කර එක් සංවිධානයක් නිර්මාණය කර එයට ටැමිල් නැෂනල් ආමි නැතහොත් දෙමළ ජාතික හමුදාව ලෙස නම් කර කොටින් හා සටන් වැදීමට ඔවුන් යොමු කළේය. එසේම සාම සාධක හමුදා කිසි විටක ලංකාවෙන් ඉවත් ව තම සැලැස්ම බාගෙට ක්‍රියාත්මක කරන්නට ලැහැස්ති වූයේ නැත. මේ නිසා සාම සාධක හමුදා පිළිබඳ බිය හා අවිශ්වාසය මුළු රට පුරාම දැඩි වන්නට විය. සාම සාධක හමුදා ඉවත් කරන බවට ප්‍රේමදාස ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරණ සටනේ දී පොරොන්දු විය. කොටි සංවිධානයටත් එය එලෙසම අවශ්‍ය විය. ඒ හේතුව නිසා ප්‍රේමදාස රජයත් කොටි සංවිධානයත් අතර තාවකාලික ලෙස නිල නොවන සන්ධාන ගතවීමක් සිදුවුණි. අප කවුරුත් දන්නා කොටින්ට ආයුධ ලබා දීම සිදුවුනේ ඒ අයුරිනි. කෙසේ නමුත් සාම සාධක හමුදා සමඟ සටන් කිරීමට හෝ කොටින්ට ආයුධ ලබා දීම ඒ තරම් නුවණට හුරු සැලැස්මක් නොවීය. ඒ අවස්ථාවේ සාම සාධක හමුදා රටින් යැවීම හා ඔවුන්ගේ නියෝජිතයින් වන දෙමළ ජාතික හමුදාව මර්ධනය ප්‍රේමදාස රජයට අවශ්‍ය වන්නට ඇත. වාසනාවට මෙන් ඉන්දීය රජය පෙරළුණු අතර බලයට ආවේ භාරතීය ජනතා පක්ෂයයි. ඒ පක්ෂය රජීව් ගාන්ධි විසින් සාම සාධක හමුදා ලංකාවට යැවීම මැතිවරණ වේදිකා වල දැඩි සේ විවේචනය කළ අතර බලයට පැමිණි විගස ප්‍රේමදාස රජයේ ඉල්ලීම් වලට කන් දී සාම සාධක හමුදා නැවත ඉන්දියාවට කැඳවා ගත්තේය. ඉන්දීය සැලැස්ම සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට නොහැකිව ඉන්දීය හමුදා නැවතත් ඔවුන්ගේ මව් බිමට ගියහ. පෙර කීවාක් මෙන් ඉන්දීය සැලසුම් ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වූයේ නම් අද වන විට උතුරු නැගෙනහිර බිහි වන්නේ ඉන්දීය පාලනය යටතේ පවතින ඉන්දීය නියෝජිතයන් ගේ පාලනයකි. එම නියෝජිතයන් වන්නේ දෙමළ දේශපාලකයන් හා සන්නද්ධ කල්ලිය. ඔවුන් කිසි ලෙසක ශ්‍රී ලංකා රජයට අවනත නොවන අතර උතුරු නැගෙනහිර නිල නොවන ලෙස ඉන්දියාවේ කොටසක් වන්නට තිබිණ. අප අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදුවන්නේ මේ සැලැස්ම අවුල් වීමට බලපෑ එකම හේතුව ප්‍රභාකරන් යන සාධකයයි. ඉන්දියාව හා කොටි සංවිධානය අතර ප්‍රශ්න ඇති වීමට මුල් වූයේ ප්‍රභාකරන් නැමැති සාධකයයි.

ඉන්දියාවට තමන් විසින් කිරි පොවා ඇති දැඩි කළ නාගයා තමන්ට අවශ්‍ය පරිදි නැටවීමට නොහැකි විය. නමුත් කොටි සංවිධාය නැවතත් ඉන්දියාවට අවශ්‍ය ලෙස නටවන්නට උත්සාහ කිරීම නැවත්වූයේ නැත. පසුව ඉන්දියාව විසින් සිය අණසකට යටත් වූ ප්‍රභාකරන් ගේ දෙවනියා වූ මහත්තයා යොදාගෙන ප්‍රභාකරන් ඝාතනය කරවා කොටි සංවිධානය ඉන්දීය ග්‍රහණයට ගන්නට රෝ සංවිධානය විසින් උත්සාහ කළේ ද මේ නිසායි. එදා මහත්තයා විසින් ප්‍රභාකරන් මරා දමා කොටි සංවිධානයේ නායකත්වය ලබා ගත්තේ නම් ඉන්දීය සැලැස්ම නැවතත් ක්‍රියාත්මක කරවන්නට ඉන්දියාවට හැකිවන්නට තිබිණ. එක් අතකින් ප්‍රභාකරන් විසින් මහත්තයා මරා දැමීම ලංකාවට සිදුවූ යහපතකි. එයින් පසු ප්‍රභාකරන් විසින් නිරන්තරයෙන් ඉන්දියාව සැක කිරීම සිදුවුණි. ඉන්දියාවේ රෝ ප්‍රධානියෙකු වන ලංකාවේ කොටි ඇතුළු අනෙක් සන්නද්ධ කණ්ඩායම් සමඟ 80 දශකය මුල සිටි කටයුතු කළ අයෙකි, බී. රාමන්. බී රාමන් විසින් පසුකාලීන සිය සටහන් වලින් නිරතුරුව මතුකළ කාරණා කිහිපයකි. කොටි සංවිධානය හෝ ඉන්දීය බලපෑම නැති වූවිට ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිසිවිටක ලබා දෙන්නේ නැත. 1983ට පෙර පැවති තත්ත්වයට ලංකාව නැවතත් යනු ඇති බවත් එය වැළැක්වීමට නම් කොටි සංවිධානය සංශෝධනය වී ඉන්දීය රජය සමඟ සබඳතා ඇති කරගත යුතු බවයි. එනම් ප්‍රභාකරන් වෙනුවට එතැනට වෙනත් නායකයෙක් පැමිණිය යුතු බවයි. එම නිසා ඉන්දියාවට හා රෝ සංවිධානයට ප්‍රශ්නය තිබුනේ ප්‍රභාකරන් සම්බන්ධව මිස කොටි සංවිධානය සමඟ නොවේ. ඒ නිසා නැවතත් සන්නද්ධ කණ්ඩායම් උතුරේ ඇති වනවාට ඉන්දියාව අකමැති වන්නට හේතුවක් නැත. ඇත්ත වශයෙන්ම කියනවා නම් ප්‍රභාකරන් සාධකය නැති වීමත් සමඟ නැවතත් පළමු සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවට අවකාශය ඇත. සිය සැලැස්ම ඉටු කිරීම කල් දමා ඇතිවා මිසක ඉන්දියාව විසින් එය කිසිවිටක අත්හැර නැති බව මගේ හැඟීමයි. නැවතත් සැලැස්ම ක්‍රියාත්මක කරනවා නම් ප්‍රභාකරන් වැනි චරිතයක් මග හැර තමන්ට අවනත වෙනත් ත්‍රස්ත නායකයින් ඇති කරන්නට ඔවුන් පසුබට නොවනු ඇත. ඒ සඳහා හොඳම ආයෝජනය විය හැක්කේ කොටි සංවිධානයේ සිටි පුද්ගලයින්ය. ශ්‍රී ලංකා රජය විසින් 13000 ට ආසන්න හිටපු කොටින් පුනරුත්ථාපනයෙන් පසු සමාජගත කළහ. එමෙන්ම රජයට හසු නොවූ කොටි සංවිධානයේ සිටි 4000ක පමණ කොටසකුත් ලංකාවේ සිටින බවට වාර්තා වේ. මේ අනුව නැවතත් සිය සැලැස්ම ඉටු කරනවා නම් ඉන්දියාවට එය කරන්නට සුදුසු පුද්ගලයින් ඇත. පසුගිය වසර වල විටින් විට හිටපු කොටි සාමාජිකයින් ඉන්දීය ගුවන් තොටුපලවල් හිදී අත්අඩංගුවට ගත් අතර ඒ අයට ඉන්පසු කුමක් සිදුවූයේ දැයි වාර්තා වූයේ නැත. ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ව නැවතත් ඉල්ලා සිටියාද මේ අය රෝ සංවිධානය විසින් භාවිතා කරන අයදැයි නිශ්චිතව කිව නොහැකිය. නමුත් එක්ක කිය හැකිය, නැවත ලංකාවේ දෙමළ සන්නද්ධ ත්‍රස්තවාදය ඇති කිරීමට ඉන්දියාට හැකියාව හොඳන්ම ඇත, එවැන්නක් පළමු වතාවේ මෙන් නොව වඩා සාර්ථකව සිය අරමුණ ඉටු වන දේ සිදුකරන්නට හැකිය, එසේ කිරීමෙන් ඉන්දියාවට වාසි ලබා ගත හැකිය. පවතින රජය යටතේ හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය හා අජිත් ඩෝවල් විසින් මෙවැන්නක් නොසිතා සිටින්නේ නැති බව මගේ හැඟීමයි. එම නිසා නැවතත් ඉන්දියාව විසින් ලංකාවේ ලංකාවේ සන්නද්ධ දෙමළ ත්‍රස්තවාදය ඇති කිරීමට උත්සාහ කිරීම සිදුවිය හැකිය. එවැන්නක් සිදුවීමට පවතින රජය ඉඩ ප්‍රස්ථාව ලබා දුන්හොත් එය කිසි දිනෙක සමාව දිය හැකි වරදක් නොවනු ඇත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා රටකට අනාගතයක් නැත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions