4/21/2016

නීතිපති හා පොලිස්පති

කතෘ:යුතුකම     4/21/2016   No comments

-ආචාර්‍ය නලින් ද සිල්වා-
පොලිස්පති පත්කිරීම පිළිබඳ ව විවිධ පුද්ගලයන් විවිධ මත පළ කර ඇත. එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය පිළිබඳ ව ඇතැමුන්ගේ අවධානය යොමු වී ඇත. චම්පක රණවක එකී සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස අසුන් ගැනීම ඔහු සිල් බිඳ ගත්තේ යැයි කියන සිද්ධියේ පරීක්‍ෂණ කටයුතුවලට සදාචාරාත්මක නොවන ආකාරයකින් බලපාන්නේ ය යන්න එහි දී ඉදිරිපත් වී ඇති මතයකි. එය ගැටළුවක් විය හැකි වුවත් මා මෙහි දී මතුකරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික ප්‍රශ්නයකි. මම නීතිඥයෙක් නො වෙමි. එහෙත් නීතිය අනුව අප සියළු දෙනා ම නීතිය දැනගෙන සිටි යුතු ය. අධිකරණයට ගොස් තමන් නීතිය දන්නේ නැති බැවින් චෝදනාවකින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය නො හැකි ය. මට තේරෙන නීතිය අනුව පොලිස්පති තේරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතියට අනුව ක්‍රියා කර නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇතැම් පත්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ජනාධිපති අනුගමනය කළ යුතු පිළිවෙත මෙසේ ය. අපි අදාළ 41 ඇ ව්‍යවස්ථාව උපුටා දක්වමු.

"41ඇ. (1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ ය."

එකී උපලේඛනය මෙසේ ය.
"උපලේඛනය
I වන කොටස
(අ) අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්,
(ආ) අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්,
(ඇ) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්.

II කොටස
(අ) නීතිපතිවරයා;
(ආ) විගණකාධිපතිවරයා;
(ඇ) පොලිස්පතිවරයා;
(ඈ) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඞ්ස්මන්)වරයා;
(ඉ) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා.

අපි මෙහි වරයා යන්නෙහි බහුවචනයෙහි අනුක්ත රූපය යෙදෙන්නේ වරයන්් ලෙස ද නැත්නම් වරුන් ලෙස ද යන්න විභාග කිරීම නීතිපතිට ම භාර දෙමු. අපට වැදගත් වන්නේ මෙහි සඳහන් වන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම ය. 41 ඇ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඉහත සඳහන් යම් නිලයකට කිසිවකු පත්කිරීමේ දී පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශයක් ඉදිරිපත් කළ යුතු ය. ඒ නිර්දේශය එකී සභාව අනුමත කළහොත් පමණක් ජනාධිපතිට අදාළ තැනැත්තා ඒ් නිලයට පත්කළ හැකි ය. එය ඉතා පැහැදිලි ය.

නීතිපති තේරීමේ දී ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් නිර්දේශ කළේ ය. එහෙත් එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියා සිටියේ ජනාධිපති එක් නමක් පමණක් නිර්දේශ කළ යුතු බව ය. ඒ අනුව ජනාධිපතිට එක් නමක් පමණක් නිර්දේශ කිරීමට සිදුවිය. ඒ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කෙරුණු බැවින් ජනාධිපති අදාළ පුද්ගලයා නීතිපති ලෙස පත්කළේ ය. එහෙත් පොලිස්පති පත්කිරීමේ දී වෙනත් ක්‍රමයක් අනුගමනය කෙරිණි. ජනාධිපති පෙර පරිදි ම නම් තුනක් නිර්දේශ කළේ ය. ව්‍යවස්ථාදායක සභාව නම් තුන ආපසු ජනාධිපතිට නොයවා ඡන්දයෙන් එක් නමක් තෝරා යැවී ය.

අවස්ථා දෙකෙහි දෙයාකාරයකින් කටයුතු සිදුවීම පසුපස වූ හේතුව කුමක් දැයි අපි නො දනිමු. එහෙත් පළමු අවස්ථාවෙහි දී ජනාධිපති ක්‍රියාකළ ආකාරය වැරදි නම් අඩුම තරමෙන් සංගත වීම සඳහාවත් දෙවැනි අවස්ථාවෙහි දී ද ඔහු වැරදි යැයි ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතුව තිබිණි. එහෙත් එසේ නො විණි. දෙවැනි අවස්ථාවෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතිය අනුව ක්‍රියා නො කෙළේ ද?
නීතිඥයකු නොවූවත් මට තේරෙන අන්දමට දෙවැනි අවස්ථාවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතියට එකඟ ව ක්‍රියා කර නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිගේ නිර්දේශයක් අනුමත කිරීම හෝ නොකිරීම හෝ භාර ය. එපමණ ය. ඉහත සඳහන් යම් තනතුරක් සඳහා ජනාධිපති නම් තුනක් නිර්දේශ කළ විට ව්‍යවස්ථාදායක සභාවට කළ හැක්කේ කුමක් ද? ව්‍යවස්ථාදායක සභාව නම් තුන ම අනුමත කරනවා විය හැකි ය. එසේ නම් ව්‍යවස්ථාදායක සභාව කළ යුත්තේ ඒ නම් තුන ම අනුමත කර ජනාධිපතිට යැවීම ය.

ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කර ඇති ක්‍රමය වැරදි ය. සභාව කළ යුතුව තිබුණේ නම් තුන වෙන වෙන ම ගෙන ඒ අනුමත කරන්නේ ද නැත් ද යන වග වෙන වෙන ම ජනාධිපතිට දැන්වීම ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 41 ඇ ව්‍යවස්ථාවෙන් නම් තුනකින් එක් නමක් තෝරා ගැනීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිමි කර නැත. එක් නමක් තෝරා ගත්විට ඒ අනුමත කරන්නේ යැයි උපකල්පනය කළ ද, අනෙක් නම් දෙක අනුමත කෙරී නැතැයි ගම්‍ය නො වේ. පොලිස්පති තනතුරට ජනාධිපති නිර්දේශ කළ අනෙක් නම් අනුමත කරන්නේ ද නැද්ද යන්න තීරණය නොකිරීමෙන් ව්‍යවස්ථා සභාව එකී පුද්ගලයන්ගේ අයිතියක් කඩ කර ඇත.
කාලය :2016 අප්‍රේල් 21
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com