10/02/2016

අප පෙළන ගණදුරෙන් මිදී- සභ්‍යත්ව රාජ්‍යයක් කරා [Video]

කතෘ:යුතුකම     10/02/2016   No comments

[ගුණදාස අමරසේකර ශූරීන් ගේ ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කිරීමේ උළෙලේදී විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි මහතා සිදු කළ විශේෂ දේශනය]

-වෛද්‍ය වසන්ත දේවසිරි-
සභ්‍යත්ව රාජ්‍යයක් කරා

ගුණදාස අමරසේකර ශූරීන් ගේ ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කරණු ලබන මොහොතේ දී එම කෘතිය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබීම මා ලද සුවිශේෂී ම භාග්‍යයකි. අමරසේකර මහතා මෙම නිර්මාණය හඳුන්වා දෙන්නේ ඔහු විසින් මීට තිස් වසරකට පෙර දී අරඹන ලද ජාතික චින්තනය පිළිබඳ කතිකාවතේ අවසන් අදියර ලෙසයි.

ජාතික චින්තන කතිතාවතේ ආරම්භ වන්නේ එතුමාගේ ‘ගනඳුර මැදියම දකිනෙමි අරුනලූ’ නමැති කෘතිය තුළිනි. ‘ගනඳුර මැදියම දකිනෙමි අරුනලූ’ දොරට වඩින්නේ 1988 දී ය. රට අරාජිකත්වයට පත් වුනු බියකරු යුගයක දී ය. අද ද අප එළඹෙමින් සිටින්නේ එවන් වූ යුගයකට යි මට හැෙඟ්. ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” ඉන් මිදෙන මඟ සොයා යෑමට අපට කරන ඇනවුමකි.

‘දකිමි රජත රේඛාවක් සැඟවුනු කළු වළා අතර‘

ගනඳුරු මැදියම තුළින් අමරසේකර මහතා මතු කර දැක්වූයේ මෙවන් වූ අදහසකි.

අප හට අනන්‍ය වූ ආවේණික වූ වින්තනයක් ඇත. මෙම චින්තනයට අවුරුදු දෙදහසක් ඉක්මවා යන අඛණ්ඩ ඉතිහාසයක් ඇත. මෙම චින්තනයේ පදනම බුදු දහම යි. ඒ ඔස්සේ බිහි වූ රාජ්‍ය තන්ත‍්‍රය රජු, සංඝයා වහන්සේ හා පොදු ජනතාව අතර වූ ති‍්‍රකෝණාකාර සහ සම්බන්ධයක් මත ගොඩ නැගුණකි.

එ කළ මෙරට සිටි උගතුන් බොහෝමයකට ජාතික චින්තනය යන සංකල්පය ම අවිෂය විය. ඒ ඔවුන් සිතීමට චින්තනයක් අවශ්‍ය බව තේරුම් නොගෙන චින්තනය යනු සිතීම යැ යි වරදවා වටහා ගත් බැවිනි.

ගනඳුර මැදියම ප‍්‍රකාශයට පත් වූයේ ලෝකයේ පරිවර්තනයක් සිදු වෙමින් පැවති යුගයක දී ය.

දෙවැනි ලෝක මහා යුද්ධය නිම වූවායින් පසුව බටහිර ධනවාදී කඳවුර හා සමාජවාදී කඳවුර අතර නොනවතින බල අරගලයක් නිර්මාණය විණි. සීතල යුද්ධය ලෙස හඳුන්වන්නේ මෙම බල අරගලය යි. ඇමරිකාව ප‍්‍රමුඛ ධනවාදී කඳවුරට තුන් වැනි ලෝකයේ රටවල් තම හිතු මතයට නව යටත් විජිත පාලනයකට නතු කර ගැනීමට තිබූ ප‍්‍රධාන බාධකය වූයේ සෝවියට් රුසියාව ප‍්‍රමුඛ සමාජවාදී කඳවුර යි. මේ කාලය වන විට සමාජවාදී කඳවුරු තුල නොයෙකුත් අර්බුද නිර්මාණය වෙමින් තිබුනි. බටහිර ජන මාධ්‍ය කොමියුනිස්ට් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාය, යහ පාලනය, මානව අයිතිවාසිකම්, පුද්ගල නිදහස ස්ථාපිත කිරීම වෙනුවෙන් මහා ඝෝෂාවක් නැඟී ය.

1991 දී සෝවියට් සමූහාණ්ඩුව විසුරුවා හරින ලදී. නැගෙනහිර යුරෝපයේ සෙසු සමාජවාදී රටවල් නව ලිබරල් ධනවාදී ආර්ථිකය වැළඳ ගත්තේ ය. ඇතැම් රටවල් බෙදුම් වාදී අරගල වලින් පිරුණු යුද පිටි බවට පරිවර්තනය විය. බටහිර රටවල් පී‍්‍රතියෙන් පිනා ගියේ බාධාවකින් තොරව ලෝකය පුරා ම නව යටත් විජිත ආර්ථිකයක් බල පැවැත්වීමට ඉඩ ලැබීම නිසා ය. ලෝකය ම සුපිරි බටහිර සභ්‍යත්වය පිළිගෙන එය අනුකරණය කරණු ඇතැ යි යන විශ්වාසය ඇති විය. එ් කාලයේ මෙරට උගතුන් ද විශ්ව ගම්මාන ගැන කතා කළා මට මතක යි.

ලෝකය ම බටහිර දෙසට නතුවන වකවානුවක දී අමරසේකර මහතා ඉදිරිපත් කළ පාරම්පරික චින්තනය හා සමාජවාදී ආර්ථිකය පදනම් කරගත් විසඳුම බොහෝ දෙනෙකුට ගෝචර නො වී ය. ඔවුන් එය තේරුම් ගත්තේ අතීතයට, ආ පස්සට යෑමට කරන යෝජනාවක් ලෙස ය. විශ්ව ගම්මානය තුල ජාතික චින්තනයට ඉඩක් තිබුනේ නැත.

සැමුවෙල් හංග්ටින්ටන් නමැති ලේඛකයාගේ The Clash of Civilizations and the Remaking of the World Order (1996) නම් වූ කෘතිය දේශපාලන විචාරකයන් ගේ නො මඳ අවධානයට ලක් විය.

පසු ශීතල යුද්ධ සමයේ දී (post-cold war period)  ලෝකයේ ගැටුම් නිර්මාණය වන්නේ ලොව පවතින විවිධ සභ්‍යත්වයන්  (civilizations) අතර බවත් දේශපාලන මතවාද මත හෝ ආර්ථිකය මත හෝ නොවන බවත් හංග්ටින්ටන් පැවසී ය.

The Clash of civilizations ග‍්‍රන්ථයෙන් සිදු වූ එක් මෙහෙයක් නම් බටහිර සභ්‍යත්වය හැර තවත් සභ්‍යත්වයන් ලොව සජීවී ව පවතින බව පෙන්වා දීමයි. එ මෙන්ම බටහිර සභ්‍යත්වය යනු ”සභ්‍යත්වය”  (The Civilazation)  නොව තවත් එක් විකල්ප සභ්‍යත්වයක් පමණක් ය යන්න ද අවධාරණය කිරීමයි. මුල් ම අවදියේ දී ප‍්‍රංශ දාර්ශනිකයින් සභ්‍යත්වය යන වචනය යොදා ගත්තේ යුරෝපීය සංස්කෘතිය සභ්‍ය යැයි ද සෙසු සංස්කෘතීන් ම්ලේච්ඡු යැ යි ද යන අර්ථයෙනි. (එසේ සිතන පිරිස් තවමත් මේ රටේ ද සිටිති.The Clash of civilizations  කෘතියේ සභ්‍යත්ව යන්න යොදා ගන්නේ බහු වචන අර්ථයෙනි (civilizations in the plural) ලෙසයි.

විය යුතු වූ පරිද්දෙන් ම මෙම කෘතිය ගුණදාස අමරසේකර මහතාගේ දැඩි අවධානයට යොමු විය. ගනඳුරු මැදියම පසු කාලීන මුද්‍රණ වල ”ශිෂ්ටාචාරය සංස්කෘතිය හා ජාතික චින්තනය” යන නමින් මෙම කෘතිය පිළිබඳ ව ලිපියක් ද ඇතුළත් කර තිබේ.

සභ්‍යත්වය යනු පුළුල් ම අනන්‍යතවකින් යුතු ජන සංඝය යි. මෙය සංස්කෘතිය ඉක්මවා පවතින්නකි. සභ්‍යත්වයක් තුළ සංස්කෘතීන් කිහිපයක් පැවතිය හැක. සභ්‍යත්වයකට අවශ්‍ය ම දෙය වන්නේ එයට අයත් ජන කොටස් සභ්‍යත්ව විඥානයකින් එයට සම්බන්ධව, බැඳී සිටීම යි.

ලොව පවතින්නේ බටහිර සභ්‍යත්වය පමණක් ය, දියුණුව යනු බටහිර සභ්‍යත්වය තුළට අනුගත වීම ය, යන මිථ්‍යාවෙන් අප ද අද වෙලා ගෙන ඇති බව අමතක නොකරන්න. සජීවී සභ්‍යත්ව රාජ්‍යයන් දැනටත් ලොව පවතින බවත් අඩුම ගණනේ පසු ගිය සිය වස දක්වා වත් දකුණු දිග ආසියාවේ සභ්‍යත්ව රාජ්‍යයන් ජීවමාන ව ම පැවතුණු බව අද අපට අමතක වී ඇත.

අප කතා කරණ සභ්‍යත්ව රාජ්‍යය හුදු මායාවක් පමණක් ද? එ වන් වූ සභ්‍යත්ව රාජ්‍යයක් මෙරට සැබැවින් ම පැවතුනේ ද? තිබුනත් එය නැවත ගොඩ නඟා ගත හැකි වෙයි ද? මෙවන් වූ සැක සංකා මේ වන විටත් ඔබ සිත් සතන් තුළ පහළ වෙන්නට ඇත. මෙවන් වූ සැක සංකා ගුණදාස අමරසේකර මහතාගේ සිත් තුළ ද ඇති වූ වා නිසැක ය.

මාර්ටින් ජැක් නැමති ඉංගී‍්‍රසි ජාතික ලේඛකයා විසින් 2009 වසරේ දී පළ කළ When China rules the world: The Rise of the Middle Kingdom and the End of the Western World  නම් කෘතිය අමරසේකර මහතාගේ අවධානයට හසු විය.

නුදුරු අනාගතයේ දී ම ලෝක බලවතා බවට පත්වන බවට බොහෝ දෙනා විසින් අනාවැකි පළ කරනු ලබන චීනය සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස යි මාර්ටින් ජැක් විසින් හඳුන්වා දෙනු ලබන්නේ.

When China rules the world  කෘතියේ එන චීන සභ්‍යත්ව රාජ්‍යයේ සවභාවය පිළිබඳ ව කරුණු රාශියක් ”සභ්‍යත්ව රාජ්‍යය කරා” කෘතිය තුල අමරසේකර මහතා ගෙනහැර දක්වයි.

මෙම සභ්‍යත්ව රාජ්‍යය අවුරුදු පන් දහසක් පමණ කාලයක් තිස්සේ පවතින බව චීන ජනතාව විශ්වාස කරති. මාර්ටින් ජැක්ට අනුව අවම වශයෙන් කි‍්‍ර පූ 221 දී ෂිං රාජ වංශය බලයට පත් වීමත් සමඟ ය දැනට පවතින ආකාරයෙන් චීන සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය වූයේ. කොන්ෆියුසියානු චින්තනය මත සකස් වුනු රාජ්‍ය පාලනය, පවුල් ජීවිතය, අධ්‍යාපනය, සමාජ සාරධර්ම වලින් යුතු වූ චීන සභ්‍යත්වය හුදු සභ්‍යත්වයක් පමණක් නො වී සභ්‍යත්ව රාජ්‍යයක් බවට පරිවර්තනය විය. එය මෙතුවක් කල් ආරක්‍ෂා වූයේ එසේ සභ්‍යත්ව රාජ්‍යයක් බවට පත් වුනු බැවිනි.

මෙම සභ්‍යත්ව රාජ්‍යය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුහු සැතපුම් 1500 ක් දිග මහා පවුරක් ඉදි කළ හ. නොයෙක් ආක‍්‍රමණ අතුරු අන්තරා මධ්‍යයේ චීන සභ්‍යත්ව රාජ්‍යය ද වෙනස් වෙමින් සුරැකුණි. කොන්ෆියුසියස් විරෝධියෙකු වූ මාවෝ සේ තුං ගේ පාලන කාලයේ දී පවා එය විශාල ලෙස වෙනස් නො වූ බව මාර්ටින් ජැක් පෙන්වා දෙයි. එපමණක් නොව සීතල යුද්ධයෙන් පසුව චීනය ප‍්‍රජාතන්තවාදය වෙත යොමු වුව ද එහි පවතින්නේ එක් දේශපාලන පක්‍ෂයක් පමණි. චීනයේ අධ්‍යාපනය, සංවර්ධනය, වෙළඳාම, ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, විදේශ සම්බන්ධතා චීනයට ම ආවේණික වූ ලක්‍ෂණ වලින් යුතු වෙයි. පසු සීතල යුද්ධ යුගයේ දී චීනය තුල ද යම් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු විය. නමුත් චීනය කිසි දින කොමියුනිස්ට් පක්‍ෂය විසුරුවා හැරියේ නැත. එහි සිවිල් සංවිධාන බිහි වුයේ ද නැත.

චීන ජාතිකයන් තරම් සිය අතීතය හා බැඳුනු තවත් ජාතියක් ලොව නැතැ යි මාර්ටින් ජැක් සඳහන් කරයි. ඔහු ලොව පවතින පැරණිම සභ්‍යත්ව රාජ්‍යය ලෙස චීනය හඳුන්යි.

ගුණදාස අමරසේකර මහතා තම කෘතිය තුළින් චීන හා සිංහල සභ්‍යත්ව රාජ්‍යයන් තුළ පැවති සමානකම් හා අසමානකම් ගෙන හැර දක්වනවා.

ඔහුට අනුව මෙරට පැවති සභ්‍යත්ව රාජ්‍යයේ ප‍්‍රධාන ලක්‍ෂණ වන්නේ සාමූහිකත්වය සහ සුභ සාධනය යි. දේවත්වයට වග කියන චීනයේ රාජ සංකල්පයත් සංඝයා වහන්සේට හා පොදු ජනතාවට වග කියන සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පයත් එකිනෙකට වෙනස් ය. වත්මන් චීන ජාතිකයා මෙන් ම සිංහලයා ද තම ඉතිහාසය සමග ප‍්‍රබල ලෙසත් සජීවී ලෙසත් බද්ධ වී සිටියි.

සභ්‍යත්ව රාජ්‍යයක් කරා යෑම යනු පැරණි සිංහල බෞද්ධ රාජ්‍යයේ සෑම අංගයක් ම එලෙසින් ම ස්ථාපිත කිරීම නොවේ. චීනය යනු නවීන පන්නයේ කාර්මික රටක් බව අමතක නොකරන්න. එය රජෙකු විසින් නොව චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් පාලනය කරනු ලබන රටකි.

අපගේ සභ්‍යත්ව රාජ්‍යයේ පදනම බුදු සමය යි. එහි ආරම්භය කි‍්‍ර පූ 292 වර්ෂයේ දී සිදු වූ මහින්දාගමනය යි. (චීන සභ්‍යත්ව රාජ්‍යය ට වසර 70 කට පෙර* එම සභ්‍යත්ව රාජ්‍යය මෙම භූමිය මත, (පොදු ජන විඥානය තුළ* තිරසර ලෙස තැන්පත් වන්නේ ගැමුණු මහරජ තුමා ගෙන් පසුව ය. ආක‍්‍රමණිකයාට එරෙහි ව දැවන්ත ජාතික ව්‍යාපාරයක් මෙහෙය වූ ගැමුණු කුමාරයාගේ මේ වදන් මෙනෙහි කරන්න.

”මාගේ මෙම ව්‍යාපාරය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ සාසනයේ පිහිටුවීම සඳහා ය.”

මෙම ප‍්‍රකාශය තුළින් තේරුම් ගත යුත්තේ මෙරට බිහි වෙමින් පැවති සභ්‍යත්ව රාජ්‍යයේ වගකීම බුදු සසුන සුරැකීම බවයි. සිංහලයා ගේ වංශ කතාව වූ මහා වංශය එම සභ්‍යත්ව රාජ්‍ය බිහි කිරීමේ හා එය රැක ගැනීමේ කතාන්දරය යි. ගැමුණු මහරජතුමාට චීන අධිරාජයාට මෙන් සභ්‍යත්ව රාජ්‍යයේ ආරක්‍ෂාව සඳහා මහා ප‍්‍රාකාරයක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් නො වී ය. ඒ සමුද්‍ර තීරයක් මඟින් මේ රට මහාද්වීපයෙන් වෙන් වී පවතින බැවිනි. එ තුමා එ් වෙනුවට රුවන්වැලි මහ සෑය ඉදි කළේ ය. රුවන්වැලි සෑය අද දක්වාත් සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය සජීව ව රැක ගන්නා පවුරක් වැන්න. මෙරට ජනතාවගේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, වැදුම් පිදුම්, සාහිත්‍ය කලා, පවුල් සම්බන්ධතා, භාෂාව, සංස්කෘතිය, ගොවිතැන, වාරි කර්මාණ්ත, රාජ්‍ය පාලනය, වෙළඳාම මෙන් ම විදේශ සම්බන්ධතා පවා ගොඩ නැගුනේ බෞද්ධ සභ්‍යත්වයට අනුරූප ව යි. මේ කරුණ සනාථ කළ හැකි සාධක අනන්තවත් අපගේ ජන ප‍්‍රවාද , වංශ කතා, අට්ඨ කතා හා සාහිත්‍යය තුලින් මතු කර ගත හැක. සිංහලේ නමින් හඳුන් වන ලද රාජ්‍යය සභ්‍යත්ව රාජ්‍යයක් වූ යේ මේ අර්ථයෙනි.

මෙරට ඉතිහාස කතාව යනු සියළු අතුරු අන්තරා වලට මුහුණ දෙමින් වසර දෙදහසකට අධික කාලයක් (2325 ක්) තිස්සේ බුදු දහම රැක ගෙන ආ විශ්මය ජනක කතාන්දරය යි. සිංහලයාට මෙය කිරීමට හැකි වූයේ ඔවුන් උරුම කරගත් ප‍්‍රබල සභ්‍යත්ව විඥානය විසින් දුෂ්කර අවස්ථා වල දී ඔවුන් මෙහෙයවන ලද නිසා ය.

1815 දී අවාසනාවන්ත ලෙස මෙරට වැසියන් බි‍්‍රතාන්‍ය කිරීටයේ යටත් වැසියන් බවට ූපත් විය. ඔවුන් ඉංගිරිසින්ට මේ රට බාර දුන්නේ බුදු සසුන ප‍්‍රමුඛස්ථානයෙ හි ලා සුරකින බවට ද, සිංහලයේ සම්ප‍්‍රදායට අනුව රාජ්‍ය කරන බවට ද ගිවිසුමක් මඟින් පොරොන්දු කරවා ගෙන ය. තමන් ඉතාමත් නින්දිත ලෙසින් රවටනු ලබන ලද බව වටහා ගත් දා පටන් උඩරට සිංහලයෝ ලොව කිසිම ජාතියකට නොදෙවැනි වික‍්‍රමාණ්විත භාවයකින් යුක්තව ඉංගිරිසින්ට විරුද්ධව අරගල කළ හ. 1818 දී මෙරට ගම් නියම් ගම් පාළු කරමින් මර්දනය කරන ලද්දේ වෙල්ලස්සෙන් ඇරඹි සභ්‍යත්ව අරගලය යි. ධර්මපාල තුමා විසින් විසි වන සිය වසේ මුල භාගයේ දී මෙහෙයවන ලද ප‍්‍රබල වූ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය දක්වා ම ඔවුන් සභ්‍යත්ව රාජ්‍ය යළි පිහිටුවීම සඳහා අරගලය අත් නොහළ හ.

1915 දී ඉංගිරිසින් විසින් මෙරට කළු සුද්දන් ගේ ද උදව්වෙන් යටපත් කර දමන ලද සභ්‍යත්ව රාජ්‍ය අරගලය යළි පන ගන්වන ලද්දේ 1956 දී ය.

1954 දි පත් කර ගන්නා ලද භික්‍ෂූන් ගෙන් හා උගතුන්ගෙන් සමන්විත වූ බෞද්ධ කොමිෂන් සභාව ලංකාව පුරා ම සංචාරය කර බෞද්ධයන්ගෙන් සාක්‍ෂි සටහන් කර ගත් හ. එසේ පොදු ජනතාවගේ සාක්‍ෂි අනුව සකස් කෙරුනු බෞද්ධ කොමිෂන් සභා වර්තාව මෙර ට සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය පිළිබිඹු කරණ කදිම කැටපතක් වැන්න. බණ්ඩාරනායක මහතා ට සුවිශාල ජන බලයක් ලැබුනේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට ම නොව 1956 දී ප‍්‍රසිද්ධ කරන ලද බෞද්ධ කොමිෂන් සභා වාර්තා නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට යි.

ගුණදාස අමරසේකර මහතා විසින් ම යළි යළිත් පෙන්වා දී ඇති අයුරු බණ්ඩාරනායක මහතා ජයග‍්‍රහණය කරා රැගෙන ගියේ එම පොදු ජන සභ්‍යත්ව විඥානය යි. ඔහුට අනුව එ් ධර්මපාල තුමා ඉන් කලකට ඉහත දී පුබුදුවාලන ලද මෙරට ජනතාවගේ සභ්‍යත්ව විඥානය යි.

එදා සිට අද දක්වා මෙරට ජනතාවගේ පැතුම වූ සභ්‍යත්ව රාජ්‍ය ට උරුම වූ සාධක මේ රට තුළ යළි ගොඩ නැගීම සඳහා යම් පමණක හෝ දායකත්වයක් දී ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයන් පමණි. බණ්ඩාරනායක යුගයේ දී ඉංගිරිසින් විසින් කොන් කර සිටි මෙරට සැබෑ ජනතා බලචේග යළි ඔසවා තබා, ඔවුන්ගේ බස ඔසවා තබා, රටේ ආර්ථික හා ආරක්‍ෂක මර්මස්ථාන රජය යටතට ගැනිණි. බණ්ඩාරනයක මැතිණිය විසින් පාසැල් පද්ධතිය රජයට පවරා ගැනීම, බුදු දහමට මුල් තැන දෙන ව්‍යවස්ථාවක් මඟින් මෙරට ජනරජයක් බවට පත් කිරීම ජනතාවගේ සභ්‍යත්ව විඥානය පුබුදුවා ලීමට සමත් වුනා. නමුත් ඒ කිසිවක් අපේක්‍ෂිත අරමුණ කරා ගෙන යෑමට ඔවුන් සමත් වුනේ නැත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නායකයන් අතර ආකර්ශණීම ම නායකයා වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ය. පනස් හයේ සුජාත දරුවෙකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ත‍්‍රස්තවාදය පරාජය කළේ මෙරට පොදු ජන සිත් සතන් තුළ නිද්‍රෝපගතව සිටි සභ්‍යත්ව විඥාන යළි පුබුදුවා ලමිනි. ඔහු එය ජයග‍්‍රහණය කරා මෙහෙයචීමට සමත් වූයේ ත‍්‍රස්ත වාදයෙන් ජනතාව මුදා ගැනීමට කරන ලද මානුෂික මෙහෙයුමක් වූ බැවිනි. මා කලින් ද සඳහන් කල මහා වංශයේ පාඨය සිහි කරන්න. රාජ්‍ය නායකයා ලෙස මෙරට සභ්‍යත්ව රාජ්‍ය රැක ගැනීමට එය එතුමා විසින් කළ යුතු ම වූ යුතුකමක් විය.

මහින්ද රාජපක්‍ෂ මහතාට තම ව්‍යාපාරය පොදු ජනතාව බලාපොරොත්තු වූ අන්තය කරා ගෙන යෑමට නො හැකි වූයේ ඇයි?

1948 දී ලද නිදහස ගැන මා වචනයක් වත් නොකීවේ එහි අපට ලජ්ජා වීමට මිස ආඩම්බර වීමට තරම් දෙයක් නොමැති බැවිනි. මේ නිදහසින් අපට උරුම වූයේ එංගලන්තයේ ත‘ිබෙන ආකාරයේ ම පාර්ලිමේන්තුවක් කැබිනෙට්ටුවක් හා පක්‍ෂ දේශපාලනයක් පමණි. කරුමයක් වූ මේ උරුමය කර ගසා ගෙන තව කොතෙක් දුර යා හැකි ද? මේ පැනය යි අමරසේකර මහතා මෙම කෘතියේ එන ‘උරචක‍්‍ර මාලයක් වූ දායාදය’ යන ලිපියෙන් විමසන්නේ.

මහින්ද රාජපක්‍ෂ මහතාට ද අපේක්‍ෂිත ගමන යෑමට නොහැකි වූයේ එතුමා ද උරචක‍්‍රමාලය කරගසා ගෙන යනු හැර වෙන විකල්පයක් නොදුටු බැවිනි.

අමරසේකර මහතා පෙන්වා දෙන පරිදිම අද මෙම උරචක‍්‍රමාලය අපගේ ගෙල සිර කරන මළ පුඩුවක් බවට පත් ව ඇත. අද එම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ ජන වරමට පටහැනිව අටවා ගත් ඊනියා ජාතික රජයක පිහිටෙනි. මෙම ජාතික රජය පිහිටවූවේ ජන වරම පාවා දුන් මන්තී‍්‍රවරුන් පරිසක් හා ජනවරමක් නොලද මන්තී‍්‍රවරුන් පිරිසක් ද එකතු කරගෙන ය. මෙම පාර්ලිමේන්තුව තුළ කඩි මුඩියේ සම්මත කරගන්නා සෑම පනතක් ම සිංහලයා ගේ සභ්‍යත්ව රාජ්‍ය ප‍්‍රාර්ථනය අවහිර කිරීමට, විනාශ කිරීමට සම්මත කරගනු ලබන අණ පනත් ය.

නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ගැනීමට පත් කළ කමිටුව රජයට නිර්දේශ කරන යෝජනා මෙම සභ්‍යත්ව රාජ්‍යයේ පදනම දියකර හැරීමේ අරමුණින් ම සකස් කර ඇති බව පෙනෙන්නට ඇත. අපේ ව්‍යවස්ථාව කොයි ආකරයේ එකක් විය යුතු දැ යි අපට කියා දීමට බටහිර නව ලිබරල් රටවල් ස්වේච්ඡුාවෙන් ම ඉදිරපත් වෙයි.

සියළුම බටහිර ලිබරල් වාදී රටවල් මෙන් ම ඔවුන් විසින් අටවා ගෙන ඇති විවිධ ආයතනය කිසිම හිරිකිතියක් නැතිව මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස අනුමත කරණු පමණක් නොව ප‍්‍රසංශා ද කරණු ඇත. ඒ අප (අප නොව මෙරට රජය* ඉටු කරමින් සිටින්නේ ඔවුන්ගේ උවමනාව නිසා ය.

ලොව පැරණිම සභ්‍යත්ව රාජ්‍යය ලෙස සැළකෙන චීන රාජ්‍යයටත් වඩා පැරණි සභ්‍යත්ව රාජ්‍යය විනාශ කළ යුත්තේ ඇයි? අප එය විනාශ කර දැමීමට ඉඩ දිය යුතු ද?

සුළු ජන කොටස් වලට ද සාමකාමි ව ජීවත් විය හැකි වට පිටාවක් නිර්මාණය කළ හැකි විභවයක් සිංහල බෞද්ධ සභ්‍යත්ව රජ්‍යය සතු වූ බව අතීතය තුළින් ද පෙන්වා දෙයි. මෙරට ජනවර්ග අතර ගැටුම් හටගත්තේ සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය බිඳී යෑමෙන් පසුව පමණක් බව අමතක නොකරන්න.

සෝවියට් බල කඳවුර බිඳ වැටී සීතල යුද්ධය අවසන් වූ යුගයේ දී මුළු ලෝකයම අනාගතයේ දී නව ලිබරල් වාදය වැළද ගනු ඇතැයි බටහිරයෝ උදම් ඇනූ හ. නමුත් චීනය එසේ කළේ නැත. එවකට චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වූ ඩෙන් සියෝපින්ග් වෙළඳ ආර්ථිකය පිළිගත් නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන වෙනුවෙන් කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍ය පාලනයේ ග‍්‍රහණය ලිහිල් කරේ නැත. මා මුලින් ද සඳහන් කළ අයුරු දේව වරමක් බඳු වූ කොන්ෆියුසියානු රාජ්‍ය සංකල්පය මධ්‍ය පාලනයක් සහිත ප‍්‍රබල එකකි. චීන සභ්‍යත්ව රාජ්‍යය ප‍්‍රබල රජෙක් යටතේ පවතින්නකි. ඔවුන් කිසි දා එය නැති කර ගත්තේ නැත. නව ලිබරල් වාදය වැළඳ නො ගත් චීනය දිනක ලොව ප‍්‍රබල ම රාජ්‍යය බවට පත් වනු ඇත.

සීතල යුද්ධය නිමා වීමෙන් පසු සමහරක් කොමියුනිස්ට් රටවල් කොමියුනිස්ට් වාදය අතහැර නව ලිබරල් වාදය වෙත යොමු වනු වෙනුවට ඔවුන් නැවතත් කොමියුනිස්ට් වාදය වැළඳ ගැනීමට පෙර සිටි තන්වයට ආපසු යෑමේ ප‍්‍රවණතාවයක් ඇතැ වේ යැ යි යන සැකය ලිබරල් වාදී දාර්ශනිකයන් තුළ පැවතිනි.

සාහිත්‍යය කරුවකු වූ අමරසේකර මහතා ජාතික චින්තන මතවාදය මුල් ම වතාවට ඉදිරපත් කළේ රුසියානු සාහිත්‍යයට සාපේක්‍ෂව ය. ඒ මීට හරියටම අවුරුදු තිහකට පෙර 1986 අගොස්තු මාසයේ දි දිවයින ඉරිදා සංග‍්‍රහයට ලියන ලද ලිපියකිනි. ”මාක්ස්වාදී චින්තනය හා ජාතික චින්තනය” යන එම ලිපියෙන් ඔහු ඉදිරිපත් කළ අදහස වූයේ රුසියානු විප්ලවයට මග පෑදුවෙි ශ්‍රේෂ්ට රුසියානු සාහිත්‍යකරුවන් විසින් කුළු ගන්වනු ලැබූ කි‍්‍රස්තියානි ඕර්තොඩොක්ස් දහම මත පදනම් වූ රුසියානු ජාතික චින්තනය මිස මාක්ස්වාදී චින්තනය නොවන බවයි. කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසුව රුසියාව යළි තම ජාතික චින්තනය, නො එසේ නම් සභ්‍යත්ව රාජ්‍යය වෙත යොමු වී ද? ඒ නිසා නොවේ ද ව්ලැඞ්මිර් පුටින් ගේ නායකත්වය යටතේ ලොව ප‍්‍රබල ම බටහිර විරෝධී බලවේගය බවට පත් වීමට ඔවුනට ශක්තිය ලැබුනේ.

ත‍්‍රස්තවාදය පරාජය කරීම සඳහා ත‍්‍රස්තවාදය නිර්මාණය කළ බටහිර අධිරාජ්‍යයට විරුද්ධව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගිය ඒ විකල්ප ගමනේ දී සභ්‍යත්ව රාජ්‍යයන් වූ චීනය හා රුසියාව සහෘද මිතුරන් සේ නිරන්තරයෙන් ඔහු සමඟ විය.

සභ්‍යත්ව රාජ්‍යයක් කෘතිය විකල්පයක් සොයා යෑමට කරණ ආරධනාවකි. අප විසින් ඒ සඳහා වූ සංවාදය දැන් මේ මොහොතේ ම ඇරඹිය යුතු ය. කල් ඇරියොත් උර චක‍්‍ර මාලාව අපගේ ගෙල සිර කරනු නියත ය.

මාගේ මේ දේශනයට සවන් දුන් ඔබ තුළ නොයෙක් සැක සංකා පහළ වන්නට ඇත. ජාතික චින්තනය යනු කුමක්ද? සභ්‍යත්ව රාජ්‍ය සභ්‍යත්ව විඥානය යනු කවරේ ද? අප විසින් කළ යුත්තේ කුමක් ද? මේ ප‍්‍රශ්න වලට මට දිය හැක්කේ එක පිළිතුරක් පමණි. ඒ අමරසේකර මහතාගේ අසක් දා කව කාව්‍ය සංග‍්‍රහයේ එන මෙම කවි දෙපාදය යි.

බලනු තම හද තුළ
පිළිතුර තිබෙි එ් තුළ


සභ්‍යත්ව රාජ්‍ය කරා යෑමට නම් අප අපගේ හෘදය සාක්‍ෂියට (සභ්‍යත්ව විඥානයට) පිටු පා ජීවත් වීමේ ව්‍යාධියෙන් .මිදිය යුතු ය.

මට මෙම අවස්ථාව ලබා දීම ගැන ඔබ තුමාටත්, ගෙවිඳු කුමාරතුංගටත්, යුතුකම සංවාද කවයටත්, විසිදුනු ප‍්‍රකාශකයන්ටත් බොහෝම පින්.

මෙහි පැමිණි අසා සිටි ඔබ සැමටත් පින්

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook  : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions