2/27/2025

බොදු බල සේනා මග හැර යා නොහැකි කතාවක් - 1

කතෘ:යුතුකම     2/27/2025   No comments


රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් තෙවෙනි වරටත් සිරගත වී ඇප මත නිදහස් වන්නට යෙදුණි. තමන්ට මෙසේ නොකරන ලෙසත් අවශ්‍ය නම් එකවර තමාව මරා දමන ලෙසත් උන් වහන්සේ සිරගත කරන ලද මොහොතේදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව මාධ්‍යවල සඳහන් විය.


පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සහ එම්.එච්.එම් අෂ්රෆ් මහතා සහභාගී වූ TNL නාලිකාව මගින් විකාශය කරන ලද නැණ පහන සංවාදය

ඥානසාර හිමි යනු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් වරයා මෙන්ම එම සංවිධානයේ ජනප්‍රියම නායකයා ද වෙයි. උන්වහන්සේ දිගින් දිගටම සිරගත වීම් වලට ලක් වනුයේ බොදු බල සේනා සංවිධානය හා සහ සම්බන්ධව සිදු කළා වූ ක්‍රියාකාරකම් හේතුවෙනි.

පසුගිය දසක එකහමාරක කාලය තුළ බොදු බල සේනා සංවිධානය විසින් මෙරට සමාජ දේශපාලනයට සිදු කළ බලපෑම අති මහත් ය. මෙරට ජාතික ව්‍යාපාරයේ ඉදිරි ගමන සැළසුම් කරන්නෙකුට බොදු බල සේනා සංවිධානයේ නැගීම, එහි ක්‍රියාකාරීත්වය සහ පරිහානිය  විචාරය කර ගැනීම අතිශය වැදගත් වේ.


සිද්ධි ලෙබ්බේ වැන්නවුන් විසින් පණ පොවනු ලදුව මුස්ලිම් ජනතාවට ව්‍යවස්ථාදායකයේ වෙනම ජනවාර්ගික නියෝජනයක් ලබා ගැනීම වැනි ජාතිවාදී ප්‍රවේශයන් ඔස්සේ ඇදී ආ මුස්ලිම් දේශපාලනය මුල් කාලයේදී සංවර්ධනය වූයේ චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍ය පක්ෂය සෙවණේ ය. දෙමළ කතා කරන ජනතාවට වෙනම රාජ්‍යක් ලෙස චෙල්වනායගම් ගෙන ආ ව්‍යාපාරයට මුල් කාලීන මුස්ලිම් දේශපාලනඥයන් ඇතැමෙකුගේ සහය ද හිමි විය. 1960 දී කාරියප්පර් විසින් පිහිටවූ ස්ලාමීය එක්සත් පෙරමුණ මෙරට පළමු මුස්ලිම් වාර්ගික දේශපාලන පක්ෂය ලෙස හැඳින්විය හැකිය.

මෙරට මුස්ලිම් වාර්ගික දේශපාලනය ‘රජුන් තනන්නාගේ’ භූමිකාව ඉටු කරන ව්‍යාපාරය වශයෙන් වර්ධනය කරනු ලැබුවේ එම්.එච්.එම්  අෂ්රෆ්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසය විසිනි. අෂ්රෆ් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් නායකයන් 1976 දී මැතිවරණයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ තරඟ කළ බවත්, එහිදී ඊළම වෙනුවෙන් පෙනී සිටි බවත් රහසක් නොවේ. එසේම මෙරට මුස්ලිම් ජනයාගේ සම්භවය පිළිබඳව ව්‍යාජ ඉතිහාසයක් ගොතා එය ඉතා සාර්ථකව නිජ බිම් සංකල්පයක් ලෙස සාම්ප්‍රදායික මුස්ලිම් ජන මනසට ඇතුළත් කිරීමට ද මෙම මුස්ලිම් වාර්ගික දේශපාලනය සමත් විය. මෙම ව්‍යාජ ඉතිහාස ඉගැන්වීම මේ මොහොත වන විටත් නිදැල්ලේ ක්‍රියාත්මක වේ.

මෙලෙස මුස්ලිම් වාර්ගික දේශපාලනය සහ ඊළාම් බෙදුම්වාදී දේශපාලනය අතර පැවති අනියම් දීගය කෙළවර වන්නේ ප්‍රභාකරන් විසින් උතුරු නැගෙනහිර මුස්ලිම් සංහාරය ආරම්භ කිරීමෙන් පසුව ය. වරෙක ප්‍රේමදාස සමඟ ද, වරෙක චන්ද්‍රිකා සමඟ ද, වරෙක රනිල් සමඟ ද සන්ධානගත වූ මෙම මුස්ලිම් වාර්ගික දේශපාලනය මෙම කාලය තුළදී ඉතා උපක්‍රමශීලී ලෙස වාර්ගික නීති සම්මත කරවා ගැනීමටත්, අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පද්ධතිය සකස් කර ගැනීමටත් සමත් විය.

මෙරට මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය පිළිබඳව ප්‍රබල ජන මතයක් ඇති කිරීම සඳහා මුල් වරට කටයුතු කරන ලද්දේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. උන් වහන්සේ විසින් එකී අදහස් ජනගත කිරීම ඉතා සං‍යමයකින් සිදු කරන ලද අතර අෂ්රොෆ් වැනි මුස්ලිම් නායකයන් සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී සංවාද වලට එළඹීම දක්වා එම ක්‍රියා පිළිවෙත තියුණු විය.

වෙනම මුස්ලිම් රාජ්‍යක් පිළිබඳව ඇති කරගන්න ලද ඔලුවිල් සම්මුතිය පිළිබඳවත්, නැගනහිර ක්‍රියාත්මක වූ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් පිළිබඳවත්, ස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන වෙත විදේශයන්ගෙන් ගලා එන මහා පරිමාණ විදේශ අරමුදල් සම්බන්ධයෙනුත්, හින්දු සහ බෞද්ධ පවුල් ස්ලාම්කරණය කිරීම පිළිබඳවත් වරින් වර තොරතුරු වාර්තා වූ නමුත් 2009 වසර දක්වා මෙම කරුණු අරභයා එතරම් සමාජ අවධානයක් යොමු නොවූයේ ඊට වඩා ප්‍රබල අවධානයක් සමස්ත සමාජය තුළින් ඊළාම් බෙදුම්වාදය කෙරෙහි එල්ල වී තිබීම හේතුවෙනි. 

2012 දී බොදු බල සේනා සංවිධානය බිහි වන්නේ මෙවන් පසුබිමක ය. දේශීය වශයෙනුත්, කලාපීය වශයෙනුත්, ගෝලීය වශයෙනුත් ඒ වන විට ඇති වෙමින් තිබුණු ස්ලාම් අන්තවාදයට ප්‍රති විරෝධයක් ලෙස ඒ වන විටත් ඉන්දියාවේ ශිව් සේනා සංවිධානය, මියන්මාරයේ 969 ව්‍යාපාරය ආදී සංවිධාන බිහි වී තිබුණි.

බොදු බල සේනා සංවිධානයේ සභාපති, මහ ලේකම් ඇතුළු ප්‍රධාන නායක කාරකාදීන් බොහෝමයක් ඊට පෙර ජාතික හෙළ උරුමය සමඟ දේශපාලනික සම්බන්ධතා පැවැත් වූ අයවලුන් ලෙස හඳුනා ගත හැකි නමුත් සංවිධානයක් වශයෙන් බොදු බල සේනා සංවිධානය ක්‍රමික විකාශනයකින් තොරව එක්වනම මතු වූ සංවිධානයක් ලෙස නිරීක්ෂණය කළ හැකිය. බොදු බල සංවිධානයට අරමුදල් සැපයුණු ආකාරය, එහි නායකයන් විදේශයන් සමඟ පැවැත් වූ සම්බන්ධතාවල ස්වරූපය, දේශීය දේශපාලඥයන් සමඟ එම සංවිධානය සිදු කොට ඇති ගනුදෙනු පිළිබඳව ඉතා විවාදාපන්න කරුණු මතු වී තිබේ. එසේම එහි නායකයන්ගේ පෞද්ගලික චරිත සහ හැසිරීම් පිළිබඳව ආන්දෝලනාත්මක සිද්ධීන් වාර්තා වී තිබේ. ඒ සියල්ල එසේ තිබියදීත් එමගින් ස්ලාම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය පිළිබඳව ඉදිරිපත් කළ කරුණු, සාක්ෂි සහ සාධක බැහැර කළ නොහැකි බව සනාථ වී ඇත.

(මෙම ලිපියේ මීළඟ කොටස යුතුකම මාර්තු කලාපයෙන් බලාපොරොත්තු වන්න)

 -පැතුම් ඒ. රණසිංහ-

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

2/20/2025

සිංහල පුවත්පත් කලාව නව මගකට යොමු කළ කඩේ කොලු ගැටයා

කතෘ:යුතුකම     2/20/2025   No comments



මීට සියවසකට පමණ පෙර විසූ, දියෝගු බඩතුරුගේ කරෝලිස් ද සිල්වා යනු, ගාල්ලේ උපන් ඉඩම් හිමි ප්‍රභූවරයෙකි. හෙතෙම ගාල්ලෙන් තිස්සමහාරාමයට සංක්‍රමණය විය. 1905 ජනවාරී 5 වැනිදා උපත ලබන දියෝගු බඩතුරුගේ ඩේවිඩ් ද සිල්වා යනු ඔහුගේ පුත්‍රයෙකි. කුඩා අවදියේ ම සිය මව කලුරිය කිරීම හේතුවෙන් කුඩා ඩේවිඩ් හැදී වැඩෙන්නේ ගාල්ලේ විසූ තම නැන්දා ලඟ ය.

උදය වරුවේ ගාල්ලේ ග්‍රාමීය පාසලකට යන ඩේවිඩ්, සවස් වරුවේ තම නැන්දාට අයත් කඩයක සේවය කරයි. කෙසේ වෙතත්, ඩේවිඩ්ගේ පසු කාලීන වෘත්තීය ජීවිතයේ තිඹිරිගෙය මෙම කඩය වූවාට සැකයක් නැත. සවස ඇඳිරි වැටුනු පසු කඩය වසා දමන එහි ප්‍රධාන සේවකයා, අනෙකුත් සේවකයන්ට ඇසෙන පරිදි කුප්පි ලාම්පු එළියෙන් සිංහල පත්තර කියවීම එහි දෛනික අංගයක් විය. මෙසේ පත්තරේ විස්තරේට සවන් දෙන කුඩා ඩේවිඩ්ට එහි දී නිතර ඇසෙන නාමයක් වන්නේ "අනගාරික ධර්මපාල" යන නාමය යි. ඒ අනුව, ධර්මපාල තුමන්ගේ දේශනයක් ඇසීමට ගාල්ලේ කඩමණ්ඩියට යන විට ඩේවිඩ්ගේ වයස අවුරුදු හතකි. එම දේශනයට සවන් දෙන කුඩා ඩේවිඩ් එතැන් පටන් තම බටහිර නාමයන් අතහැර දියෝගු බඩතුරුගේ ධනපාල හෙවත් ඩී.බී. ධනපාල යන නමින් පෙනී සිටියි. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වන ධනපාලයන් සිය ලිවීමේ හැකියාව පෙන්නුම් කරන්නේ, පාසල් සිසුවෙකු ලෙස ඔහු "බුඩිස්ට් ක්‍රොනිකල්" නම් සඟරාවකට සපයන ලිපි මගිනි. කලක් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි බ්‍රිතාන්‍ය ජාතික ගොර්ඩන් පියර්ස් මහතාගේ මග පෙන්වීම මත, ඉන්දියාවේ අලහබාද් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ඔහු ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගනි යි. ඉන්දියාවේ වෙසෙන කාලය තුළ ඉන්දීය නිදහස් සටනේ ද අභාශය ලබමින්, ඉන්දීය පුවත්පත් සඳහා ලිපි ලිවීම අරඹන ධනපාලයන් හට මෙරටට පැමිණ සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත හා සම්බන්ධ වන ලෙස ආරාධනා කරන්නේ එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ හර්බට් හුලුගල්ල මහතා ය. ඒ අනුව 1933 දී ඩේලි නිව්ස් පත්‍රය සමග එක්වන ධනපාල මහතා 1940 දී පමණ ඉන් ඉවත් වන්නේ එවකට පත්‍රයේ කර්තෘවරයා සමග ඇති කර ගත් මත ගැටුමක් හේතුවෙනි.

එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් ආරම්භ කර තිබූ බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලයේ (වත්මන් කැලණිය, ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය) විදුහල්පති ලෙස ධනපාල මහතා එක් වන්නේ ඉන් අනතුරුව ය. ධනපාල මහතා විදුහල්පති ධූරය දැරූ යුගය (1942 – 1946) එම විදුහල ශ්‍රීඝ්‍ර දියුණුවක් අත් කර ගත් යුගය ලෙස සැලකේ. මේ වන විට විද්‍යාලංකාර පිරිවෙනෙහි භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන කටයුතු හේතුවෙන් එම පිරිවෙන සහ ආණ්ඩුවේ දේශපාලඥයින් අතර ගැටුමක් හට ගෙන තිබුණි. එම වකවානුවේ දී ලේක් හවුස් පුවත්පත් දිගින් දිගටම විද්‍යාලංකාර පිරිවෙනට විරුද්ධ ප්‍රචාර ගෙන යමින් තිබිණ. මේ වන විට ලේක් හවුස් ආයතනය "දිනමිණ" පුවත්පත ද ආරම්භ කර තිබූ අතර, එය බොහෝ දුරට ඩේලි නිව්ස් පුවත් පතෙහි පළ වූ ලිපි සහ ප්‍රවෘත්තිවල සිංහල පරිවර්තනයන්ගෙන් සමන්විත විය. මීට අමතරව පොදුවේ ලේක් හවුස් පුවත්පත් ගත්තේ අධිරාජ්‍ය ගැති මගකි. මේ වන විට විද්‍යාලංකාර භික්ෂූන් වහන්සේලා සහ ධනපාල මහතා අතර දැඩි මිතු දමක් ගොඩනැඟී තිබූ අතර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් ධනපාල මහතාගේ සමීපතම මිත්‍රයෙක් විය. පුවත්පත් ක්ෂේත්‍රයේ දෙස් විදෙස් අත්දැකීම් ගොන්නක් කැටි කොට ගෙන සිටි ඩී.බී. ධනපාලයන්ට සාධනීය සිංහල පුවත්පතක් ආරම්භ කිරීමේ දැඩි බලාපොරොත්තුවක් විය. විද්‍යාලංකාර පිරිවෙන සතුව තිබූ මුද්‍රණාලය පවා වසා දැමීමට රජය කටයුතු කර තිබූ පසුබිමක, පුවත්පතක් ආරම්භ කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් විය.

ලංකාවේ ප්‍රධාන පුවත්පත් සමාගමක් වූ ටයිම්ස් ආයතනය එවකට පාඩු ලබමින් වැසී යන තත්ත්වයට පත්ව තිබුණි. එහෙත් යාපනයේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද වූ ආරුමුගම් සංගරපිල්ලේ මහතා එම ආයතනය මිලට ගෙන යලි පවත්වා ගෙන යාමේ අදහසින් සිටියේ ය. ටයිම්ස් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස කුඩා ප්‍රමාණයේ සිංහල පුවත්පතක් ආරම්භ කිරීමට සංගරපිල්ලේ මහතා කැමැත්ත පළ කරන්නේ ධනපාල මහතාගේ යෝජනාවක් අනුව ය. ධනපාලයන් ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලයෙන් ඉවත් වී 1947 දී මෙම නව පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට එක් වන අතර, එහි ප්‍රධාන කර්තෘවරයා වන්නේ ජූලියස් ද ලැනරෝල් මහතා ය. මෙම නව පුවත්පතට විද්‍යාලංකාරයෙන් ලැබුණු ආභාශය කෙතරම් ද යත් පත්‍රයට "ලංකාදීප" යන නම ලබා දෙන්නේ ද යක්කඩුවේ හිමියන් සහ ලැනරෝල් මහතා එක්ව ය. මුල සිට ම දිනමිණට වඩා වෙනස් මගක් ගන්නා ලංකාදීපය, සෑම විට ම ජාතික වැදගත්කමකින් යුතු කරුණුවලට මුල් තැන දුනි. ඉංග්‍රීසි පුවත්පත්වල අනුකරණයක් නොවී, ස්වාධීන මගක් ගන්නා ආකාරය පෙන්වා දීමට ලංකාදීප පුවත්පත සමත් විය. 1949 දී ඒ වන විට දිවයිනෙහි ඉතා ජනප්‍රිය පුවත්පතක් බවට පත්ව තිබූ ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධූරයට ධනපාල මහතා පත් වේ. ආරම්භයේ පටන් විද්‍යාලංකාර හිමිවරුන්ගේ බුද්ධිමය දායකත්වය නොමදව ම ලබන ලංකාදීපය මෙරට ජාතික ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වන්නේ ය. එහි කූඨප්‍රාප්තිය වන්නේ 1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැනි පොරොන්දු රැසක් මැද බණ්ඩාරනායක රජය බලයට පත් වීම ය. ඒ සඳහා අති මහත් දායකත්වයක් සැපයූ ධනපාල මහතා ප්‍රමුඛ ලංකාදීපය, එම රජය නිර්දය විවේචනයට ලක් කරන්නේ, එකී පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන තැන ය. ධනපාල මහතා 1960 දී ලංකාදීප පුවත්පතෙන් ද ඉවත් වන්නේ කළමනාකාරීතවය සමග ඇති කර ගන්නා මත ගැටුමක් හේතුවෙනි.

ධනපාල මහතා 1961 දී දිනපතා පුවත්පතක් ලෙස "දවස" පුවත්පත ආරම්භ කරන්නේ ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහය යටතේ ය. දින කිහිපයක් ඇතුලත එහිම ඉරිදා පුවත්පත ලෙස, "රිවිදින" ආරම්භ කෙරිණි. චිත්‍ර සහ මූර්ති ශිල්පිනියක මෙන් ම ගුරුවරියක ද වූ රතී මුතුවේල් මෙනවිය සමග විවාහ වන ධනපාල මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් ද වේ. සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ සහ ඡායාරූප ශිල්පී ඩී.බී. සුරනිමල එම දරු දෙදෙනා වේ.

1971 වර්ෂයේ දී එතුමන් සිය දිවිසැරිය නිමා කරන අතර, මෙම වසරේ මාර්තු මස 18 වැනි දිනට එතුමා දැයෙන් සමු ගෙන වසර 54 කි.

නාරද බලගොල්ල
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 2

කතෘ:යුතුකම     2/20/2025   No comments


90' දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැගීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසු බවත් ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂීතාවයන් ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතු බවත් අප පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එලෙස 90’ දශකයෙන් පසුව ලෝකය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී ප්‍රවණතාවයන් සම්බන්ධ උදාහරණ කිහිපයක් පිළිබඳව විමසා බැලීම මෙවර කලාපයෙන් අපි ආරම්භ කරමු.

 බෝල්කන් ජාතිකවාදී පැන නැගීම

80 දශකයේ අග සෝවියට් සමූහාණ්ඩුව පරිහානියට පත්වෙත්ම ඊට සමාන්තරව යුරෝපයේ පිහිටි අනෙක් සමාජවාදී දැවැන්තයා වූ යුගෝස්ලෝවියානු සමූහාණ්ඩුව ද පරිහානියට පත් වීම ආරම්භ විය. ආර්ථික සහ දේශපාලන හේතු සාධක සමුච්චයක් පාදක කර ගනිමින් යුගෝස්ලෝවියාව බිඳ වැටෙත්ම එම සමූහාණ්ඩුවේ පාර්ශවකාර ජාතීන් අතට තියුණු ජාතිකවාදී රැල්ලක් හමා යමින් තිබුණි.

පළමු ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රො හංගේරියන් සහ ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙද්දී දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවයක් සහිත ජාතීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් යුගෝස්ලෝවියාව බිහි විය. දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවය පුළුල් ජාතික අනන්‍යතාවයකි. එහි ස්භාවය අවබෝධ කර ගැනීම සඳහා ලබා දිය හැකි ආසන්න උදාහරණයක් වනුයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ අනන්‍යතාවයයි. දකුණු ඉන්දියාවේ දෙමළ, මලයාලම්, තෙළිඟු, කණ්නඩ ආදී ජාතීන් ද්‍රවිඩ යන පොදු අනන්‍යතාවය යටතේ ඇතැම් තැන්හි පෙනී සිටී. එසේ වුවත් ද්‍රවිඩ යන පොදු කුලකය යටතේ තමන්ව හඳුන්වා ගන්නා එක් එක් ජාතීන් අතර භාෂාව, සංස්කෘතිය, ජීවන රටාව ආදී පදාසයන්හි නේක විධ වෙනස්කම් පවතී.

යුගෝස්ලෝවියා සමාජවාදී ෆෙඩරල් ජනරජය 1991 බිඳී යාමට පෙර


දකුණු ස්ලාව් යන පොදු කුලකය යටතට සර්බියානු, ක්‍රොඒෂියානු, බොස්නියානු, ඇල්බේනුයානු, මැසිඩෝනියානු ආදී විවිධ ජාතීන් ගොනු කොට යුගෝස්ලෝවියාව ගොඩ නගා තිබුණි. නමුත් යුගෝස්ලෝවියාව දුර්වල වෙත්ම එහි සිටි නොයෙක් ජාතීන් අතර තිබූ භාෂාමය, ආගමික සහ සංස්කෘතික වෙනස්කම් වඩ වඩා ඉස්මතු වන්නට විය.

රාජ්‍යක ආර්ථික සහ දේශපාලන ශක්තිය දුර්වල වීමේදී එම රාජ්‍යයේ වෙසෙන ජනවර්ග හෝ ජාතීන් අතර ඝට්ටනයන් ඇති වීම සුලභව සිදු වේ. රාජ්‍යක ජීවත්වන ජාතීන් හෝ ජන වර්ග අතර සාමග්‍රියක් පවත්වා ගැනීමට නම් නිසැක වශයෙන්ම එම රාජ්‍යයේ ආර්ථිකය සහ දේශපාලනය ශක්තිමත් මට්ටමක පවත්වා ගත යුතුය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීමෙහි ප්‍රතිපලය වූයේ යුගෝස්ලෝවියාව බිඳ වැටීමයි. 1991 දී ස්ලොවේනියාව, උතුරු මැසිඩෝනියාව, බොස්නියාව සහ ක්‍රොඒෂියාව සිය ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් උද්ගත වූ යුධ ගැටුම් වසර කිහිපයක් ඔබ්බට ඇදී යන ලදි. විශේෂයෙන්ම බොස්නියාව තුළ සිදු වූ ගැටුම් ඉතා විනාශකාරී සහ විදේශ අත පෙවීම් සහිත ඒවා විය.

දකුණු ස්ලාව් අනන්‍යතාවය මත යුගෝස්ලෝවියාව එක්සත්ව තබා ගැනීමට සමත් වූ දැවැන්ත ප්‍රතිරූපය වූයේ මාෂල් ටිටෝ ය. ඔහුගේ නායකත්වය යටතේ ‘සහෝදරත්වය සහ එකමුතුකම’ යන තේමාව පාදක කර ගනිමින් කලාපයේ ජාතිකවාදී ප්‍රවණතාවයන් පාලිත තත්ත්වයක පවත්වා ගන්නා ලදි. ඔහු 1980 දී මිය ගිය අතර ඒ හා සමගම බෝල්කන් ජාතිකවාදී රැල්ල හමා යාම ආරම්භ විය.


යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පමණක් බෝල්කන් ජාතිකවාදී රැල්ල නිමාවට පත් නොවූ අතර 2008 දී උද්ගත වී මේ දක්වාම නොවිසඳුණු ගැටළුවක් ලෙස ඉතිරිව පවතින කොසෝවෝ අර්බුධය ද එහිම දිගුවක් ලෙස හැඳින්විය හැකිය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීම ඔස්සේ ස්වාධීනත්වයට පත් වූ ඇතැම් ජාතීන් ඉන් සාර්ථක පල නෙළා ගැනීමට සමත්ව ඇති අතර තවත් ජාතීන් තවමත් ඉතා ව්‍යසනකාරී අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. උදාහරණයක් ලෙස 1991 දී ස්වාධීනත්වයට පත් ස්ලොවේනියාව මේ වන විට සංවර්ධිත තත්ත්වයට පත්ව කලාපයේ සංවර්ධිතම රාජ්‍ය බවට පත්ව සිටී. ක්‍රොඒෂියාව ද ඉහළ ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පත් වී ඇත. නමුත් සර්බියාවේ සහ උතුරු මැසිඩෝනියාවේ තත්ත්වය තවමත් පවතින්නේ සතුටුදායක තත්ත්වයක නොවේ. සර්බියාව ඉහල මැදි ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පැමිණියත් කොසෝවෝ අර්බුධය වැනි ගැටළුකාරී තත්ත්වයන් අභිමුව එහි ඉදිරි ගමනට බාධා පැමිණ ඇත

90’ දකයෙන් මෙපිට ලෝකය තුළ නිරීක්ෂණය වන ජාතිකවාදී පැන නැගීම් පිළිබඳව තවත් උදාහරණ කිහිපයක් මීළඟ කලාපවලින් සාකච්ඡාවට බඳුන් කරමු.

(සංවාදයට විවෘත්තයි)


පැතුම් ඒ. රණසිංහ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
https://www.facebook.com/yuthukama

1/30/2025

බුරුම ජාතික විමුක්ති අරගලයේ හිස ගසා දැමූ හැටි

කතෘ:යුතුකම     1/30/2025   No comments

සිතුවම : අවුන් සාන් ශ්වේදගොන් විහාරයේදී සිය සුප්‍රසිද්ධ නිදහස් ප්‍රකාශය සිදු කරමින් (1945)


ලෝකයේ දැවැන්තම ථෙරවාද බෞද්ධ ජනතාවක් වෙසෙන රාජ්‍ය වන්නෙ මියන්මාරයයි. මියන්මාරයේ සමස්ත ජනගහනය මිලියන 54 කට අධික වේ. ඉන් 90% ක් බෞද්ධයන් වෙති.

1989 ට පෙර මියන්මාරය හැඳින්වූයේ බුරුමය වශයෙනි. ලංකාව බ්‍රිතාන්‍යට යටත් වන මොහොත වන විටත් බුරුමය පැවතියේ ශක්තිමත් බෞද්ධ රාජාණ්ඩුවක් යටතේ බලයේ වර්ධනීය අවස්ථාවකය. ඒ වන විට එහි බලය වර්තමාන ඉන්දියාවේ ඇසෑම්, මනිපූර් දක්වා ද විහිදී තිබිණි. බ්‍රිතාන්‍යන්ට සහමුලින්ම බුරුමය අල්ලා ගැනීමට හැකි වූයේ 1824 දී ඇති වූ පළමු ඇන්ග්ලෝ-බුරුම යුද්ධයේ පටන් 1885 දක්වා ඇදී යුධ සටන් මාලාවකින් අනතුරුව ය.

1885 දී බුරුම රජු අල්ලා ඉන්දියාවට පිටුවහල් කළ ද බුරුමය නිශ්චලව සහ තමන්ට අවනතව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍යන් අපොහොසත් විය. බුරුමයේ විවිධ ප්‍රදේශවල නිරන්තරව බ්‍රිතාන්‍ය විරෝධී අරගල හට ගන්නා ලදි. ශ්‍රී ලංකාවේ මෙන්ම බුරුමය තුළද බ්‍රිතාන්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය මුවහත් කරනු ලැබූයේ භික්ෂූන් වහන්සේලා විසිනි. නමුත් ශ්‍රී ලංකාවේ නොවූ විරූ ලෙස බුරුම ජාතික ව්‍යාපාරය දේශපාලන මෙන්ම සන්නද්ධ විරෝධතාවන්ගෙන් ද සමන්විත විය. ඒ අනුව තමන්ට කරදර ගෙන දෙන බුරුම බෞද්ධ බලය මර්ධනය කොට දැමිය යුතු එකක් ලෙස අධිරාජ්‍යවාදීන් විසින් පැහැදිලිවම හඳුනාගෙන තිබුණි.

1915 දී උපත ලද අවුන් සාන් (Aung San) නම් උත්කෘෂ්ට නායකයා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී අරගලය නවීන මුහුණුවරකින් ඉදිරියට ගෙන ගිය සටන් කාමියෙක් විය. 18 වන වියේදී රැන්ගුන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස අධිරාජ්‍ය විරෝධී දේශපාලනය ආරම්භ කළ තරුණ අවුන් සාන් කෙටි කලක් තුළ විවිධ දේශපාලන කණ්ඩායම් ගොඩ නගමින්, ඒවාට නායකත්වය සපයමින් ජාතික නායකයෙක් වශයෙන් ඉස්මතු විය. ඔහුගේ ව්‍යාපාරවල මූලස්ථාන බෞද්ධ පන්සල් ආශ්‍රිතව නිර්මාණය වී තිබූ අතර 1939 දී ඔහු ප්‍රථම වරට අත්තඩංගුවට පත් වන්නේ ද ශ්වේදගොන් (Shwedagon) විහාරයේදී ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් බුරුමය නිදහස් කර ගැනීම සඳහා කැප වීමෙන් යුතුව කටයුතු කළ තවත් තරුණ නායකයන් 30 දෙනෙකු තෝරාගත් අවුන් සාන් 1941 දී බුරුමයෙන් පිට වූයේ ජාතික විමුක්ති අරගලයක් සඳහා අවශ්‍ය කරන අවි පුහුණුව ලබා ගැනීම වෙනුවෙනි. ගිනිකොනදිග ආසියාවේ බ්‍රිතාන්‍ය බලයට ප්‍රතිරෝධීව ක්‍රියා කරන ජපන් අධිරාජ්‍යයෙන් අවි පුහුණුව ලබා ගැනීමට මොවුන් කටයුතු කරන ලදි. පුහුණුවෙන් අනතුරුව අවුන් සාන්ගේ නායකත්වය යටතේ බුරුම නිදහස් හමුදාව පිහිටවනු ලැබීය. බුරුම නිදහස් හමුදාවේ සහයෝගය ද සහිතව බ්‍රිතාන්‍ය පරාජය කොට සහමුලින්ම පාහේ බුරුමය අල්ලා ගැනීමට 1942 වන විට ජපනුන් සමත් විය.

අවුන් සාන්ගේ ක්‍රියාකාරීත්වය තුළ දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණයක් වූයේ ඔවුගේ ඉලක්කය බුරුම ජාතික නිදහස වෙනුවෙන් පමණක් කේන්ද්‍ර ගත වී තිබීමයි. ජපානය විසින් බුරුම ජාතිකවාදී ව්‍යාපාරයට සහයෝගය ලබා දුන්නේ II ලෝක යුද්ධයේදී ජපානය ක්‍රියාත්මක කළ උපායමාර්ගයන්හි එක් පියවරක් වශයෙන් විනා තමන් කෙරෙහි ඇති විශේෂ ආදරයකින් නොවන බව අවුන් සාන් ඇතුළු නායකයෝ තේරුම් ගෙන තිබුණි. ඒ අනුව පළමුව ජපනුන් හා එක්ව බ්‍රිතාන්‍යන් එළවා දැබූ අවුන් සාන්ගේ බුරුම ජාතික හමුදාවපසුව බුරුම කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදී පක්ෂය හා සන්ධානගතව ෆැසිස්ට් විරෝධී පෙරමුණ පිහිටුවා ගනිමින් බ්‍රිතාන්‍යන් හා එක්ව ජපන් හමුදාවට පෙරළා පහර දුනි

ඉන්දියන් සාගර කලාපයේ බ්‍රිතාන්‍ය අණ දෙන්නා වූ මවුන්ට් බැටන් සාමිවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා අවුන් සාන් 1945 දී ශ්‍රී ලංකාවේ මහනුවරට පැමිණි බවත් එහිදී ඔහු දළඳා වහන්සේ වැද පුදාගත් බවත් කියැවේ.

අප්‍රමාදීව පරිපූර්ණ නිදහසක් ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යන් සමඟ ගිවිසුම්ගතව සිටි අවුන් සාන් 1947 පැවති මැතිවරණයෙන් ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය. මේ මුළු කාල වකවානුව තුළම පූර්ණ නිදහස නම් මස් රාත්තලම ඉල්ලා අවුන් සාන් සිදු කළ මුරණ්ඩුකම් බ්‍රිතාන්‍යන්‍ට හිසරදයක් වූ බවට සැකයක් නැත.

කරුණු කාරණා මෙසේ ගැළපෙමින් තිබියදී නිදහස ලබා ගැනීමට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී 1947 ජූලි 19 දා අවුන් සාන් ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය තුවක්කුකරුවන් කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් සිය කාර්‍යාලය තුළම සමූල ඝාතනයට ලක් වූයේ බුරුමයේ අනාගත නායකත්වය වෙනුවෙන් දැඩි රික්තකයක් ඉතිරි කරමිනි. එය බුරුමය අස්ථාවර වීමේ ආරම්භය විය. මෙම සමූලඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ 1940-42 කාලය තුළ බ්‍රිතාන්‍යන් යටතේ බුරුමයේ අගමැති ධූරය හෙබවූ අබෞද්ධයෙකු වූ යූ සෝ (U Saw) ටය. මෙම සමූලඝාතනය ඉතා සූක්ෂම කුමන්ත්‍රණයක් වූ බවත් ඝාතකයන්ට අවි සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය නිලධාරීන් බවත් පසුව හෙළි වූ අතර අද පවා මෙහි සමස්ත සිද්ධි දාමය අභිරහසකි.

කෙසේ වෙතත් ජාතික නායකයන් සමූලඝාතනය කොට මාස කිහිපයක් ඉක්ම ගිය තැන්හි 1948 ජනවාරි මාසයේදී බුරුමයට පූර්ණ නිදහස හිමි විය. එහෙත් මේ දක්වාම බුරුයේ පවතිනුයේ වියවුල් ජාලාවක ය.

බුරුමය සම්පත් ආකරයකි. අදටත් ලෝකයේ ප්‍රමුඛ සහල් නිෂ්පාදකයන් අතර 07 වන ස්ථානය හොබවන්නේ බුරුමයයි. රත්‍රන්, තඹ, ඊයම්, ටින් ආදී ලෝහයන්ගෙන් ද, ස්භාවික වායු සහ පොසිල ඉන්ධන ආදී බලශක්ති ප්‍රභවයන්ගෙන් ද, රූබි සහ කුරුවින්ද ආදී වටිනාකම් සහිත පාෂාණයන්ගෙන් ද බුරුමය ඉතා පොහොසත් ය. එහෙත් බුරුමය තවමත් සංවර්ධනය නොවූ දරිද්‍රතාවයෙන් පෙළෙන රටකි. සම්පත් බහුලතාවය ඛේදවාචකයක් බවට පත්ව, එහි බලපෑමෙන් අන්ත පීඩාවට පත් වූ රටක් පිළිබඳ උදාහරණයක් අවශ්‍ය නම් ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ බුරුමයයි.

යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

‘යුතුකම’ කුමක් සදහා ද? -1

කතෘ:යුතුකම     1/30/2025   No comments

ගෝල්ෆේස් අරගලකරුවන් බණ්ඩාරනායක ප්‍රතිමාවේ දෑස් කළු රෙදි කඩකින් බැඳ දමා තිබුණි
(AI Generated)


‘යුතුකම’ කියලා සඟරාවක්! ඒ මොනවට ද? කුමක් වෙනුවෙන් ද?

අලුත් ආණ්ඩුවකුත් පත්වෙලා. ජනතාව ඒ අයට ලොකු ජනවරමකුත් දීලා. ඒ මොනවාට ද? 76 වසරක ශාපය අවසාන කරන්න! අල්ලස, දූෂණය හා හොරකම නතර කරන්න! වෙනසක් වෙනුවෙන්! ඩොලර් ගේනන- ණය ගෙවන්න! රට සුද්ද කරන්න! පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබන්න! ඉතින් එහෙනම් තව මොනවා ද? “යුතුකම” ක් මොන එහෙකට ද? මීට වඩා යුතුකමක් තවත් තියෙනවා ද?

මොනවා වුනත්, ‘76 වසරක ශාපය අවසාන කරන්න’ කියන එක නම් හරිම අපූරු යි! ඒ මුළු කතාවම ඉන් කියවෙන හින්දා ද? 76 වසරක් තිස්සේ අප කර ඇත්තේ කුමක් ද? අද අප කර ඇති දේට වෙනස් යමක් ද? තව අවුරුදු 5න් එය 81 වසරක ශාපයක් නොවේවි ද? ගතවූ ඒ 76 වසරම ඇත්තටම ශාපයක් වුනා ද? 76 වසරක් පුරාවටම අපි රටක් ජාතියක් ලෙස කිසිවක් දිනාගෙන නැත් ද? එකදු ජයග්‍රහණයක්වත් ලබාගෙන නැත් ද?

56’ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, 71’ ජනරජ ව්‍යවස්ථාව සම්මත කරලා බිරිතානායට අපව බැද තිබුණු සියලුම නෛතික බැමි ගලවා දමා බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය තහවුරු කිරීම හා 2009’ බටහිර (බිරිතානියේ) හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් රට ආරක්ෂා කිරීම (ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීම) ඒ කාලය තුල අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයන් නොවේ ද?

ඒ සමගම ඒ සුවිශේෂ ජයග්‍රහණ අකාමකා දමන්න, ආපසු හරවන්න ගත්ත උත්සහායන් ද ඒ 76 වසර පුරාවටම අපට අත්විදින්නට සිදුවුනා නොවේ ද? ඒ මාරපායාශය ද 76 වසරක ශාපය? ඔව්; ඒ ශාපය නම් අපට ඉදිරියටත් අත්විදින්නට සිදු නොවනු ඇතැයි ඉදින් කාට නම් කිව හැකි ද?

අපි ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයෙන් පටන් ගනිමු. ඒ ‘76 වසරක ශාපයට’ වසර 65ට පමණ කලින්! එනම් 1818 නිදිහස් සටන පැරදී වසර 60 කට පමණ පසුව, එහෙමත් නැතිනම් 1848 නිදහස් සටන පැරදී වසර 30ට පමණ පසුව!! එම කාලය සුදු අධිරාජ්‍යවාදීන් ජය කෙහෙළි නගන ලද අවධියක්. මහා සංස්කෘතික පරිහානියකට හා ආර්ථික පරිහානියකට රටත් ජාතියත් ගොදුරු වෙමින් තිබූ අවධියක්. ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනය නගර තුල සංවිධිතව තහවුරු වෙමින් මුළු මහත් රට පුරා එහි සෙවනැලි පතිත වෙන්නට පටන් ගෙන! සම්බුද්ධ සසුන අනතුරක අභියස!! මෙවන් පසුබිමක අනගාරික ධර්මපාලතුමා විසින් 19වන සියවස අගභාගයේ පටන් රටපුරා යමින් ආරම්භ කරන ලද්දේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම අරමුණු කොටගත් ජාතික විමුක්ති ව්‍යාපාරයක් ය. එය සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සදහා සිංහලයා බලමුළු ගැන්වීම සදහා වූ ජාතික විමුක්ති අරගලයකි.

ඒ සදහා සංස්කෘතියෙන් ද චින්තන ශක්තියෙන්ද ආර්ථිකයෙන් ද පරිහානියට පත්ව සිටි සිංහලයා එයින් මුදවා ගත යුතු විය. හුදී ජනීජනයාගේ ආර්ථිකය නගා සිටුවීම ද ඒ ව්‍යාපාරය තුල එයින් වෙන් කළ නොහැකි වූ තවත් අරමුණකි. ඒ සදහා විවිධ ධාර්මික කර්මාන්ත ඇරඹීම සදහා ද ධර්මපාලතුමා ඒ සංචාරයන් අතරතුර දී ජනීජනයා උනන්දු කරන්නට විය. එපමණකින් නොනැවතී තෝරාගත් කිහිප දෙනෙකුම ජපානය ඇතුළු රටවල් කිහිපයකට විවිධ කර්මාන්ත මෙරට ඇරඹීම සදහා පුහුණුව ලැබීමට පිටත්කර යැවීමට ද එතුමා කටයුතු කලේය. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය තුල පක්ෂ

දේශපාලනයක් නොවී ය. භික්ෂූන් වහන්සේ සහ හුදී ජනීජනයා එතුමාගේ ශක්තිය විය. එදා ඉංගිරිසි යටත් විජිතවාදය බිය වූ එකම පුද්ගලයා ද ඔහු විය.

ඉංගිරිසි යටත් විජිතවාදීන් පමණක් නොවේ ඔහුට බිය වූයේ... බිරිතානියන්ගෙන් වරප්‍රසාද ලද එම සංස්කෘතියට අනුගත වූ අනාගතයේ දවසක රටේ පාලන බලය සුදු සෙවැනැලි යටතේ හෙබවීමට කැස කවමින් සිටි පිරිසට ද ධර්මපාලතුමාගේ ව්‍යාපාරය දරුණු අභියෝගයක් විය. ඔවුන් අතරින්, ඔවුන් වෙනුවෙන් මතුවූ ප්‍රභලයෙකි පිය පරපුරෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ක්‍රිස්තියානි පවුලකට අයත් වූ ඩී. ආර්. විජේවර්ධන මහතා. ඔහු විසින් සිය ධන බලය යොදාගෙන එවකට ප්‍රකාශනයේ පැවති සිංහල (දිනමිණ), දෙමළ (තිනකරන්) හා ඉංගිරිසි (Ceylon Daily News, The Observer) පුවත්පත් සමූහයක් ක්‍රමයෙන් මිල දී ගනිමින් සංනිවේදන මාධ්‍යයේ (පුවත්පත්) අධිරාජ්‍යක් ගොඩනගා ගැනීමට සමත් වී ය. ඒ පුවත්පත් සියල්ල එක්කර 1926 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුසිය) නමින් සමාගමක් ද ඔහු විසින් ආරම්භ කරනු ලැබීය. මෙම සංනිවේදන (පුවත්පත්) අධිරාජ්‍යයේ එක් මූලික අරමුණක් වූයේ අනගාරික ධර්මපාලතුමා ඉලක්ක කොට පහර දීමයි.

එම පුවත්පත් සමාගමේ ප්‍රහාර කෙතරම් දරුණු වී ද යත් මෙරට සිංහල බෞද්ධ හුදී ජනීජනයා විසින් බුද්ධංකුරයෙකු ලෙස සැලකූ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමාව මුට්ට කාසි හොරෙකු ලෙස හැඟවීම දක්වා දුරදිග ගිය අති දුෂ්ඨ ක්‍රියා මාර්ගයක් විය. ඒ ධර්මපාලතුමාව ජාතික දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම අරමුණු කොට ගෙන යි. එතුමා වටා එක්සිත්ව එක්රොක්ව සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු බොදු හුදී ජනීජනයා එතුමාගෙන් ඈත් කරවීම සදහා යි! [ධර්මපාලතුමාට එරෙහි දැවැන්ත මාධ්‍ය ප්‍රහාරය හමුවේ එතුමාගේ සහ එතුමා මුල පුරන ලද ජාතික ව්‍යාපාරයේ ඉරණම කුමක් වීද? යුතුකම පෙබරවාරි කලාපයෙන් කියවමු

-අභය-

යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි
 යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

ඇහැළේපොල තියරිය සහ කොනප්පු තියරිය

කතෘ:යුතුකම     1/30/2025   No comments

සිතුවම : ඇහැළේපොල, මොල්ලිගොඩ සහ කපුවත්තේ යන උඩරට සිංහල ප්‍රධානීන් 1815 දී ඉංග්‍රීසි ඔත්තු සේවා ප්‍රධානී ජෝන් ඩොයිලි හා සාකච්ඡා පවත්වමින්


වඩුගයන්ව පන්නලා දාන්න ඇහැළේපොලට මහ විසාල වුවමනාවක් තිබුණා. ඒ වුවමනාව පිටුපස්සෙ සිංහාසනේ ඉඳගන්න තිබුණු කෑදරකමත් නොතිබුණාය කියන්න අපිට බැහැ. වඩුගයන්ව පන්නලා දාන්න ඇහැළේපොල උදව් ගත්තෙ ඉංග්‍රීසීන්ගෙන්. ජාතියට එල්ල වෙලා තියන එක අභියෝගයක් ජය ගන්න ජාතියට කිසිම සහ සම්බන්ධයක් නැති පරදේසක්කාරයන්ගෙන් උදව් ගන්නවා.

ඇහැළේපොලව අල්ලන්න රාජසිංහ සබරගමුවට මිනිස්සු එවපු වෙලාවෙ ඉංග්‍රීසීන් ළඟට පැනලා යන්නෙ නැතුව සබරගමුවෙ මිනිස්සු එක්ක එකතු වෙලා සටන් කිරීමේ විකල්පය ඇහැළේපොළ තෝරා නොගත්තෙ ඇයි? එහෙමත් නැත්නම් තමන්ට තිබුණු ධනය සහ බලය යොදවලා රහසිගතව සිංහල සෙනඟක් සූදානම් කරලා නොසිතූ මොහොතක රාජසිංහට පහර දීලා සිංහාසනේ ඉඳගන්න ඇහැළේපොල උත්සාහ නොකළේ ඇයි? එහෙමත් නැත්නම් තමන්ට කලින් රාජසිංහට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්ත තමන්ගෙ ඥාතියා වෙච්ච පිළිමතලාවෙලා එක්ක එකතු වෙලා රාජසිංහව වට්ටන්න වැඩ කළේ නැත්තෙ ඇයි?

අපිට ඉතිහාසෙ වෙච්චි දේවල්වලට නිර්වචන දෙන්න බැහැ. ඒත් අපිට හිතන්න පුළුවන්.

දුරදිග බලලා හදාගත්තු සැලසුමක් නැතිකම, තමන් පිළිබඳව ඇති අවිශ්වාසය, තමන්ට වඩා වැඩි ධාරිතාවයක් තියන මිනිස්සු එක්ක වැඩ කරද්දි තමන්ගෙ තැන අහිමි වෙයි කියලා ඇති වෙන බිය, සැප සම්පත් විඳින්න තියෙන කෑදරකම වැනි කාරණා ඇහැළේපොලගෙ හැසිරීමට බලපාන්න ඇති.

කොහොම වුණත් ඇහැළේපොලත් පතන්නා වූ බෝධියකින් නිවන් දකින්නය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි තවදුරටත් ඇහැළේපොලගෙ තියරිය ඉදිරියට ගෙන යන්න අපි සූදානම් නොවිය යුතුයි.

එතකොට කෙනෙක් අහන්න පුළුවන් කොනප්පු බණ්ඩාරගෙ තියරියම නේද ඇහැළේපොලත් අරගෙන උරගාලා බැලුවෙ කියලා. මොකද්ද මේ කොනප්පු තියරිය. කොනප්පු තියරියෙ අදියර දෙකයි. පළවෙනි අදියර වුණේ පරංගින්ගෙන් උදව් අරගෙන සීතාවක රාජසිංහට ගහලා සෙංකඩගල නුවර බලපුළුවන්කාරයෙක් විදියට පැළපදියම් වුණු එක. දෙවෙනි අදියර වුණේ සෙංකඩගල භික්ෂූන් වහන්සේලා සහ අනික් බලපුළුවන්කාරයො එක්ක එකතු වෙලා පරංගියට ගහලා පරංගියාව සෙංකඩගලින් පන්නලා දාන එක.

මොකද්ද මේ ඇහැළේපොල තියරියෙයි කොනප්පු තියරියෙයි වෙනස. ඇහැළේපොල හැදුවෙ අනුන්ගෙ පානෙන් එළිය බලන්න. ඉංග්‍රීසිකාරයාට කියලා රාජසිංහව එලවගන්න කෑල්ල විතරයි ඇහැළේපොළගෙ සැලසුමේ තිබුණෙ. එයා හිතන්න ඇති ඊට පස්සෙ ඉංග්‍රීසිකාරයා බන්දේසියක තියලා ගෙනැල්ලා තමන්ගෙ ඔලුවට ඔටුන්න දායි කියලා. ඉතින් අන්තිමට මොකද්ද වුණේ. 1818 සිංහල සෙනඟ දාස් ගාණකගෙ ලේ ගංගාවටත් වග කියන්න ඕන මූසල හැඟීමකුත් එක්ක හිරකාරයෙක් වෙලා එයාට මුරුසියෙදි මැරෙන්න වුණා.

කොනප්පුත් පරංගියා ළඟ හැදුණා වැඩුණා, පරංගියාගෙ උදව් ගත්තා තමයි. හැබැයි කොනප්පු ළඟ හොඳට දුරදිග බලලා හදාගත්තු අදියර දෙකක් දක්වා දික්ගැස්සෙන ලොකු හීනයක් තිබුණා. එයා පරංගියා ළඟ ඉඳගෙන පරංගියාගෙ භාෂාව, ශිල්ප ක්‍රම ගැන හොඳට ඉගෙන ගත්තා. පරංගියා එක්ක එක්කහු වෙලා හිටිය පාතරැටියන්ගෙ ලස්කිරිඥා යුද සෙනඟ එක්කත් හොඳ ඇයිහොඳයිකමක් හදාගත්තා. ජීවිතේ ගැන භය පැත්තකින් තියලා, මාළිගාවල සැප අමතක කරලා තමන්ම සටන් පෙරමුණුවල යුද්දෙට බැස්සා. ඕන්න ඕකයි වෙනස.

අපේ උදවිය ඕන පරදේසක්කාරයෙක් එක්ක ඇයි හොඳයිකම තියාගත්තට කමක් නැහැ. හැබැයි තමන්ගෙ රට ජාතිය අනතුරේ වැටෙන විදියට උන්ට වහල්ලු වෙන්න හොඳ නැහැ. උන් කාලා ඉතුරු වෙන දංකුඩ කන්න ලෑස්ති වෙන්න එපා. පරදේසක්කාරයන්ගෙන් රටේ වැඩවලට උදව් ගන්න පුළුවන්. නමුත් එයාලා සීමාව පනිනවා නම් අවශ්‍ය මොහොතෙ දි අවශ්‍ය විදියට එයාලව දාං ලෑල්ලෙන් අයින් කරන්න පුළුවන් විදියෙ සැලසුමක් අපි අතේ තියෙන්න ඕන. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න ඕන කරන හයිය අපි හදාගෙන තියෙන්න ඕන.

ලෝකයේ හැම ජාතයකටම තමන්ගේම අභිලාෂයන් තියනවා. ජාතියක් තවත් ජාතියකට උදව් කරන්නෙම තමන්ගෙ ජාතිය වෙනුවෙන් ප්‍රතිලාභයක් බලාගෙන. අපේ සමහර උදවිය හිතන්නෙ මේ විදියට ජාතීන් උදව් කරන්නෙ අපිට තියන හැබෑම ආදරේකට කියලා. වමේ චින්තනය තියන අය හිතනවා වමේ මුල් තියන රටවල් අපිට හරි ආදරෙයි කියලා. දක්ෂිණාංශික චින්තනයක් තියන අය හිතනවා ලිබරල් මුල් තියන රටවල් අපිට උදව් කරන්නෙ අපේ සමාජය හැබෑම යහපත් සමාජයක් කරන්නය කියලා. එහෙම සිතීම මුලාවක් බව අපේ ජාතිකවාදීන් තේරුම් ගන්න ඕන. අපි ලෝකය එක්ක ගනුදෙනු කරද්දි අපේ අභිලාෂයන් පෙරදැරි කරගත්ත අපේම න්‍යාය පත්‍රයක් හදාගන්න ඕන.

-චරක ජනිත

යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

එකක් හෝ රකින්නට වැළපිය යුතු ඉහිරුණු කිරි...1

කතෘ:යුතුකම     1/30/2025   No comments

ඡායාරූපය : නිලාවරෙයි දාගැබ් වහන්සේ මතට අත් සෝදන දකුණේ වන්දනාකරුවන්

ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය දශක ගණනාවක් තිස්සේ ස්වදේශිකවාදීන්ගේ මෙන්ම ඊට විරුද්ධවාදීන්ගේ ද නිරන්තර සාකච්ඡාවට ලක්වෙන මාතෘකාවකි. උතුරේ පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ කතිකාවත ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයේ මුලටම එන කරුණක් වන අතර ජාතික ගැටුම්වල මුල්ම කාලයට අයත් 1958 දී වාර්තා වූ මූලික ම සිද්ධියක් ලෙස යාපනය කෞතුකාගාරයේ පුරාවස්තු විරූපී කිරීම වාර්තාවල දැක්වේ. නිජබිම් මිත්‍යා මතය මඩින්නා වූ සක්ක ගල් වන් මෙම පුරාවස්තූන් රැක ගැනීම ජාතියක් වශයෙන් තිරසාරත්වය සලකන ඕනෑම ජාතිමාමක අයෙකුගේ වගකීමකි. යාපනය අර්ධද්වීපය සැලකූවිට එහි සිංහල බෞද්ධ උරුමය දකුණේ ජාතිකවාදීන් පවා සාකච්ඡා කිරීමට පසුබට වන සහ විශ්මයාවහව බලන මාතෘකාවකි. කෙසේ නමුත් යාපනයේ සැලකිය යුතු සිංහල බෞද්ධ උරුමයක් තිබූ බවට සාක්ෂි සාධක පවතින අතර එම සාක්ෂි සාධක පසුගිය ශතවර්ෂය තුළ දකුණු ඉන්දියානු ආක්‍රමණවල දී සිදු වූවාටත් වඩා වේගයෙන් මැකී යමින් පවතියි.

වර්තමානයේ යාපනය දිස්ත‍්‍රික්කය තුළ පිහිටා ඇති පුරාණ යුගයට අයත් බෞද්ධ පුරාවස්තු දැකගැනීමට හමුවන්නේ ඉතාම අල්ප ව ය. දැනට යාපනයෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතියට අයත් කොට දැක්විය හැකි පුරාණ ස්මාරක ලෙස හමුවන්නේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමියත්, නිලාවරෙයි පතුල නොපෙනෙන ළිඳ අසළ පුරාවිද්‍යා භූමියත්, නෙල්ලියඩි කනගසිංගප්පිල්ලෙයාර් කෝවිල අසළ පැරණි ළිඳත්, කරෙයිතිව්හි කරෙයිනගර් වෙහෙරපිට්ටි පුරාවිද්‍යා භූමියත් පමණකි.

ඒවායින් ද යම් හෝ ආරක්ෂිත මට්ටමක ඇත්තේ කදුරුගොඩ පුරාවිද්‍යාස්ථානය පමණක් වන අතර ඉතිරි ස්ථාන සියල්ල ඉතා දැඩි අවදානමකට ලක් වී පවතියි. කරෙයිනගර් වෙහෙරපිට්ටි පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය කිරීමට හෝ මැනුම් කටයුතු කිරීමට ප‍්‍රදේශවාසීන් විසින් අදාළ බලධාරීන්ට ඉඩකඩ ලබා නොදෙන අතර ඒවා නිරීක්ෂණය කිරීමට පැමිණෙන්නන්ට ද ආයුධ සහිත ව ඉතා ප‍්‍රචණ්ඩ ලෙස ප‍්‍රතික්‍රියා දැක්වීමට ඔවුහු හුරු වී ඇත්තෝ ය. නිලාවරෙයි දාගැබ් වහන්සේ කිසිදු සංරක්‍ෂණයකින් තොර ව විනාශ වී යමින් පවතින අතර දකුණේ සිට පතුල නොමැති ළිඳ නැරඹීමට පැමිණෙන කණ්ඩායම් ද එම දාගැබ් වහන්සේ කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වනවා පෙනෙන්නට නොමැත. දාගැබ් වහන්සේ පසෙකින් ජල කරාමයක් සවිකර ඇති අතර දකුණෙන් පැමිණෙන නඩ ආහාර ගෙන අත හෝදන්නේ ද දාගැබ මතට ය.

මෙම ලිපි මාලාවේ අරමුණු වන්නේ එසේවත් දක්නට නොමැති අපට අහිමි වී ගිය උරුම ස්ථාන පිළිබඳ ජනතාව මඳක් හෝ දැනුවත් කිරීම යි.

වර්තමානය වන විට භෞතික ව ද, මතකයෙන් ද ගිලිහී ගොස් ඇති එවන් එක් ස්ථානයක් නම් යාපනය මන්තුවිල් ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටා තිබූ වේරක්කාඩු නම් ස්ථානය යි.

මේ පිළිබඳව පළමු වරට වාර්තා කරනු ලබන්නේ 1921 දී Ceylon Antiquary and Literary Register හි සත්වැනි වෙළුමට Some Ruins in Jaffna යන ලිපිය රචනා කරන එස්. ඥානප්‍රකාසර් පියතුමා යි. එතුමා එම ස්ථානය හඳුන්වන ‘වේරක්කාඩු’ වදනෙහි ‘වේර’, සිංහල භාෂාවේ ‘වෙහෙර’ යන වචනයෙන් ව්‍යුත්පන්න වූ බව කියයි. එවිට ‘වේරක්කාඩු’ යන වදන ‘වෙහෙර කැලේ’ යන අරුත දෙයි. ඥානප්‍රකාසර් පියතුමා එම ස්ථානයේ තිබූ නටබුන් ගොඩැලි බෞද්ධ දාගැබකට/හෝ කිහිපයකට අයත් විය හැකි බව සටහන් කරයි. එසේම එම ස්ථානය කැණීම් කළ යුතු බව ද එතුමා දක්වයි. මේ පිළිබඳව ඉන් පසු 1980 දශකයේ දී වාර්තා කරන යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය පොන්නම්බලම් රඝුපති මහතා එම ස්ථානය වෙනස් ප්‍රවේශයකින් වාර්තා කරනු ලබන අතර එතුමා යම් විරුද්ධවාදී චින්තනයකින් යුක්ත අයෙක් වූ බව ග්‍රන්ථ පරිශීලනය කිරීමේ දී වටහා ගත හැකි ය.

එතුමාට අනුව එම ස්ථානයේ ‘වේර’ යන නම ශාකයක් නිසා බැවහැර වූවක් වන අතර, එය විහාරයක් නොව මාළිගාවක් බව එතුමා අදහස් කරයි.

1955 දී ප්‍රකාශයට පත් කළ අඟලේ සිතියමේ මෙම ස්ථානය Veratidal (mounds) ලෙස දැක්වෙන අතර Tidal එනම් jply; යනු උස් ගොඩැල්ල යන්න යි. වර්තමාන පුරාවිද්‍යා ගවේෂණ තුළ මෙම ස්ථානය පිළිබඳ කිසිදු දත්තයක් වාර්තා නොවන අතර රඝුපති මහතා විසින් දක්වන ලද භූගෝලීය ක්‍රමාංකිත ඛණ්ඩාංක පමණක් ඉතිරි වී ඇත. දැනට පෙනෙන අන්දමට වේරක්කාඩු නටබුන් භූමිය බොහෝ දුරට ඝන ජනාවාස ස්ථානයක් වී හමාර අතර එම ස්ථානයේ අනාගතයේ දී හෝ කැණීමක් හෝ ගවේෂණයක් හෝ වීමට ඉඩ ඇතැයි සිතීම පවා දුෂ්කර ය.


-විනුක විදානපතිරණ-
යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය 1: ජාතිකවාදය, ලෝක ප්‍රවණතා සහ අපි

කතෘ:යුතුකම     1/30/2025   No comments

මිනිසා පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් තොරව දේශපාලනය අවබෝධ කරගත නොහැකිය.

දේශපාලනය යනු දේශයක ජනතාව පාලනයයි. එය ගෝලීය සන්දර්භයෙන් ගත් කළ භූ දේශපාලනය වේ.

දියුණු මනසක් පමණක් ඇති තවත් එක් සත්ත්වයෙකු වන මිනිසාගේ ස්භාවික චර්යාවන්, මිනිසාගේ සහ මිහිතලයේ යහපැවැත්ම උදෙසා අවශ්‍ය මානව චර්‍යාවන් ලෙස හැඩගස්වාගනිමින් පවත්වාගෙන යාම අප විශ්වාස කරන දේශපාලනයේ උත්තරාර්ථයයි.

ප්‍රායෝගික දේශපාලනයේ නියුතු බොහෝ දෙනා යම්කිසි දේශපාලන මතවාදයක පිහිටා කටයුතු නොකරතත් හැමදෙනාම පාහේ තමන් යම් දේශපාලන මතවාදයක් දරන බව පැවසීමට ආශා කරති. එය වත්මන් දේශපාලන භාවිතයේ ප්‍රචාරාත්මක අවශ්‍යතාවයකි.

මේ ආකාරයෙන් ගත් කළ ගෝලීය දේශපාලන ධාරා ලෙස ගත හැකි ප්‍රමුඛ දේශපාලන මතවාද ද්විත්වයක් පවතී.

ඉන් පළමුවැන්න වන්නේ ධනවාදයයි. පෞද්ගලික ධනය උපරිමයෙන් ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය විසින් පහසුකම් සැපයීමත්, ධන හිමි පුද්ගලයන් හෝ ධනහිමියන්ගේ ආශිර්වාදය සහිත අය රාජ්‍ය පාලනයේ සුක්කානම දැරීමත් ධනවාදයේ මූලික ලක්ෂණයන්ය. ධනවාදයට මානුෂීය සළු පිළි අන්දවා එය ලිබරල්වාදය ලෙස අභිෂේක කිරීම ඇඩම් ස්මිත්, රූසෝ වැනි චින්තකයන් විසින් සිදු කරන ලදි. එය නියෝ ලිබරල්වාදය ආදි උපචින්තන ධාරාවන්ගෙන් ද සමන්විතය. තනි පුද්ගල නිදහස ලෝකයේ සමස්ත පැවැත්මට බාධා කරන අවස්ථාවන්හි දී පවා ලිබරල් ධනවාදය තනි පුද්ගල නිදහසෙහි පැවැත්ම වෙනුවෙන් තව දුරටත් පෙනී සිටී. එය මිනිසා නම් සත්ත්වයාගේ උන්නතිකාමී සහජ හැසිරීම් ඒ අයුරින්ම භාර ගැනීමට සූදානම්ය.

දෙවැන්න වන්නේ සමාජවාදයයි. සැමට සම අයිතිවාසිකම් හිමි වන සාමූහිකත්වය පෙරදැරි කරගත් සමාජවාදී ලෝකයක් බිහි කර ගැනීමේ මාර්ගය මේ යැයි න්‍යායාත්මකව සූත්‍රගත කොට පෙන්වා දුන් පුරෝගාමීන් වන්නේ මාක්ස්, එංගල්ස් ආදීන්ය. සමාජවාදය යනු මාක්ස්වාදයම නොවෙතත් මාක්ස්ගේ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම බැහැර කරන සමාජවාදීන් නොමැති තරම්ය. මිනිස් සත්ත්වයාගේ සහජ චර්‍යාව පිළිබඳව උත්සුක නොවන මාක්ස්වාදී සමාජවාදය භෞතිකවාදී ඇසකින් ලෝකය නිර්වචනය කරමින් ඒ තුළ විසඳුම් සෙවීමට ප්‍රයත්න දරයි. අවසානාත්මක වශයෙන් එය යෝජනා කරන්නේ රාජ්‍ය දිය කර හරිනු ලැබූ, ලෝකය තනි යායක් වූ, නිෂ්පාදන සම්පත් සාමූහිකව සහ සමානත්වයෙන් භුක්ති විදින පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් ස්ථාපිත කිරීමටය.

මේ අයුරින් බලන කල ලිබරල් ධනවාදය මිනිස් සත්ත්වයාගේ සහජ උන්නතිකාමී සහ තිරශ්චීන හැසිරීම් ඒ අයුරින්ම භාරගැනීමට සූදානම් අතර මාක්ස්වාදී සමාජවාදය ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස මුළුමනින්ම මිනිසාගේ සහජ හැසිරීම් සහ හැඟීම් නොතකා හැර පරමාදර්ශී ලෝකයක් පිළිබඳ සිහිනය මවා පෙන්වයි.

ලිබරල් ධනවාදයේ සහ මාක්ස්වාදී සමාජවාදයේ අගනාකම් සහ සීමාකම් පිළිබඳවත්, ඒවායේ ප්‍රායෝගික භාවිතාවේ දී ලිබරල් සමාජවාදය, රාජ්‍ය ධනවාදය වැනි විකෘතීන් හටගෙන ඇති අන්දමත්, ඒවා ඒ ඒ රාජ්‍යන් තුළ ඇති වුණු තත්ත්වයන් සමඟ අනුගත වී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සුබසාධනවාදය ආදී ප්‍රවාහයන් ලෙස ක්‍රියාත්මක වන ආකාරයත් අප වෙනම සාකච්ඡා කළ යුතුය.

ලිබරල් ධනවාදයත්, මාක්ස්වාදී සමාජවාදයත් යන චින්තන ධාරාවන් ද්විත්වයම වරින් වර අධිපතිවාදී සහ ව්‍යාප්තවාදී ප්‍රවේශයන්ට එළඹ ඇත. එකී අධිපතිවාදී ව්‍යාප්තවාදයන්ට එදිරිව 'ජාතීන්' විසින් ස්වකීය දේශපාලන ආධිපත්‍යයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා නිර්මාණය කොටගත් දේශපාලන මතවාද පොදුවේ ජාතිකවාදයන් ලෙස වර්තමාන සන්දර්භය අනුව සරලව නිර්වචනය කොට දැක්විය හැකිය. ලෝකයේ ජාතිකවාදී දේශපාලන භාවිතාවන් ගණනාවක් නිරීක්ෂණය කළ හැකිය. ඒ සියල්ල එකිනෙකට වෙනස් අනන්‍යතා ලක්ෂණවලින් සමන්විත වන අතර ඒවායේ ඇති එකම පොදු ගුණාංගය වනුයේ ඒවා යම්කිසි අධිපතිවාදී ව්‍යාප්තවාදයකට එරෙහිව ස්වකීය ජාතික පැවැත්ම උදෙසා කටයුතු කිරීමයි.

අනූව දශකය වන තුරු ලෝකයේ පැවති ජාතිකවාදී ප්‍රවණතාවයන් ප්‍රධාන අදියර ත්‍රිත්වයකට වෙන් කොට දැක්විය හැකිය.

01. ජාතිකවාදය (nationalism) යන යෙදුම මුල්වරට භාවිතයට යෙදෙන්නේ 17 වන සියවසේදී බටහිර යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීමට තුඩු දුන් සහ එම රාජ්‍යන්වල ආර්ථික නැගීමට තුඩු දුන් මතවාදය හැඳින්වීම සඳහාය.

02. එලෙස ජාතික රාජ්‍ය ගොඩනගාගත් බටහිර යුරෝපා ජාතීන් ලිබරල් ධනවාදය සමඟ සහවාසයේ යෙදෙමින් ලෝකය ශිෂ්ටාචාරගත කිරීමේ ඊනියා මෙහෙයුම දියත් කොට ඇමරිකා, අප්‍රිකා සහ ආසියානු කලාපය සිය යටත්විජිත කොලනි බවට පත් කරගත් අතර එවිට එම යටත්විජිතකරණයට එරෙහිව එම ඇමරිකා, අප්‍රිකා සහ ආසියානු කලාපයන් තුළ ජාතිකවාද පැන නැඟිණි. බටහිර යුරෝපයේ ලිබරල් ධනවාදී අධිරාජ්‍යවාදයට එරෙහිව යටත්විජිත තුළ පැන නැඟුණු ජාතිකවාදී ව්‍යාපාර 20 වන සියවස මුල් භාගයේදී මාක්ස්වාදී සමාජවාදය සමඟ සන්ධානවලට එළඹෙමින් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පෙන්වන ලදි.

03. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එළඹුණු දශක කිහිපය තුළ දී සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ මාක්ස්වාදී සමාජවාදී බලකඳවුරද තරගකාරී ලෙස සිය අධිපතිවාදය ව්‍යාප්තවාදී ස්වරූපයෙන් ලෝකය පුරා පැතිරවීමට උත්සුක වීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට එරෙහිව ද ජාතිකවාදී පැන නැගීම් ලෝකයේ විවිධ කලාපවල සිදු විය. එම ජාතිකවාදී පැනනැඟීම් එවර ලිබරල් ධනවාදයේ සහයෝගය ද සහිතව ක්‍රියාත්මක විය.

අනූව දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැඟීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසුය. ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂ අනන්‍යතා ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතුය.

90 දශකයෙන් මෙපිට ලෝකය තුළ නිරීක්ෂණය වන ජාතිකවාදී පැන නැගීම් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ සුවිශේෂතාව පිළිබඳව ඉදිරි කලාපය තුළින් සාකච්ඡාවට බඳුන් කරමු.

(සංවාදයට විවෘතයි)

පැතුම් ඒ.රණසිංහ
ලේකම් - යුතුකම ජාතික සංවිධානය

(යුතුකම මාසික සඟරාවේ ජනවාරි කලාපයේ ලිපියකි )

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම ජාතික සංවිධානයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions