ඡායාරූපය : නිලාවරෙයි දාගැබ් වහන්සේ මතට අත් සෝදන දකුණේ වන්දනාකරුවන්
ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය දශක ගණනාවක් තිස්සේ ස්වදේශිකවාදීන්ගේ මෙන්ම ඊට විරුද්ධවාදීන්ගේ ද නිරන්තර සාකච්ඡාවට ලක්වෙන මාතෘකාවකි. උතුරේ පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ කතිකාවත ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයේ මුලටම එන කරුණක් වන අතර ජාතික ගැටුම්වල මුල්ම කාලයට අයත් 1958 දී වාර්තා වූ මූලික ම සිද්ධියක් ලෙස යාපනය කෞතුකාගාරයේ පුරාවස්තු විරූපී කිරීම වාර්තාවල දැක්වේ. නිජබිම් මිත්‍යා මතය මඩින්නා වූ සක්ක ගල් වන් මෙම පුරාවස්තූන් රැක ගැනීම ජාතියක් වශයෙන් තිරසාරත්වය සලකන ඕනෑම ජාතිමාමක අයෙකුගේ වගකීමකි. යාපනය අර්ධද්වීපය සැලකූවිට එහි සිංහල බෞද්ධ උරුමය දකුණේ ජාතිකවාදීන් පවා සාකච්ඡා කිරීමට පසුබට වන සහ විශ්මයාවහව බලන මාතෘකාවකි. කෙසේ නමුත් යාපනයේ සැලකිය යුතු සිංහල බෞද්ධ උරුමයක් තිබූ බවට සාක්ෂි සාධක පවතින අතර එම සාක්ෂි සාධක පසුගිය ශතවර්ෂය තුළ දකුණු ඉන්දියානු ආක්‍රමණවල දී සිදු වූවාටත් වඩා වේගයෙන් මැකී යමින් පවතියි.
වර්තමානයේ යාපනය දිස්ත‍්‍රික්කය තුළ පිහිටා ඇති පුරාණ යුගයට අයත් බෞද්ධ පුරාවස්තු දැකගැනීමට හමුවන්නේ ඉතාම අල්ප ව ය. දැනට යාපනයෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතියට අයත් කොට දැක්විය හැකි පුරාණ ස්මාරක ලෙස හමුවන්නේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමියත්, නිලාවරෙයි පතුල නොපෙනෙන ළිඳ අසළ පුරාවිද්‍යා භූමියත්, නෙල්ලියඩි කනගසිංගප්පිල්ලෙයාර් කෝවිල අසළ පැරණි ළිඳත්, කරෙයිතිව්හි කරෙයිනගර් වෙහෙරපිට්ටි පුරාවිද්‍යා භූමියත් පමණකි.
ඒවායින් ද යම් හෝ ආරක්ෂිත මට්ටමක ඇත්තේ කදුරුගොඩ පුරාවිද්‍යාස්ථානය පමණක් වන අතර ඉතිරි ස්ථාන සියල්ල ඉතා දැඩි අවදානමකට ලක් වී පවතියි. කරෙයිනගර් වෙහෙරපිට්ටි පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය කිරීමට හෝ මැනුම් කටයුතු කිරීමට ප‍්‍රදේශවාසීන් විසින් අදාළ බලධාරීන්ට ඉඩකඩ ලබා නොදෙන අතර ඒවා නිරීක්ෂණය කිරීමට පැමිණෙන්නන්ට ද ආයුධ සහිත ව ඉතා ප‍්‍රචණ්ඩ ලෙස ප‍්‍රතික්‍රියා දැක්වීමට ඔවුහු හුරු වී ඇත්තෝ ය. නිලාවරෙයි දාගැබ් වහන්සේ කිසිදු සංරක්‍ෂණයකින් තොර ව විනාශ වී යමින් පවතින අතර දකුණේ සිට පතුල නොමැති ළිඳ නැරඹීමට පැමිණෙන කණ්ඩායම් ද එම දාගැබ් වහන්සේ කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වනවා පෙනෙන්නට නොමැත. දාගැබ් වහන්සේ පසෙකින් ජල කරාමයක් සවිකර ඇති අතර දකුණෙන් පැමිණෙන නඩ ආහාර ගෙන අත හෝදන්නේ ද දාගැබ මතට ය.
මෙම ලිපි මාලාවේ අරමුණු වන්නේ එසේවත් දක්නට නොමැති අපට අහිමි වී ගිය උරුම ස්ථාන පිළිබඳ ජනතාව මඳක් හෝ දැනුවත් කිරීම යි.
වර්තමානය වන විට භෞතික ව ද, මතකයෙන් ද ගිලිහී ගොස් ඇති එවන් එක් ස්ථානයක් නම් යාපනය මන්තුවිල් ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටා තිබූ වේරක්කාඩු නම් ස්ථානය යි.
මේ පිළිබඳව පළමු වරට වාර්තා කරනු ලබන්නේ 1921 දී Ceylon Antiquary and Literary Register හි සත්වැනි වෙළුමට Some Ruins in Jaffna යන ලිපිය රචනා කරන එස්. ඥානප්‍රකාසර් පියතුමා යි. එතුමා එම ස්ථානය හඳුන්වන ‘වේරක්කාඩු’ වදනෙහි ‘වේර’, සිංහල භාෂාවේ ‘වෙහෙර’ යන වචනයෙන් ව්‍යුත්පන්න වූ බව කියයි. එවිට ‘වේරක්කාඩු’ යන වදන ‘වෙහෙර කැලේ’ යන අරුත දෙයි. ඥානප්‍රකාසර් පියතුමා එම ස්ථානයේ තිබූ නටබුන් ගොඩැලි බෞද්ධ දාගැබකට/හෝ කිහිපයකට අයත් විය හැකි බව සටහන් කරයි. එසේම එම ස්ථානය කැණීම් කළ යුතු බව ද එතුමා දක්වයි. මේ පිළිබඳව ඉන් පසු 1980 දශකයේ දී වාර්තා කරන යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය පොන්නම්බලම් රඝුපති මහතා එම ස්ථානය වෙනස් ප්‍රවේශයකින් වාර්තා කරනු ලබන අතර එතුමා යම් විරුද්ධවාදී චින්තනයකින් යුක්ත අයෙක් වූ බව ග්‍රන්ථ පරිශීලනය කිරීමේ දී වටහා ගත හැකි ය.
එතුමාට අනුව එම ස්ථානයේ ‘වේර’ යන නම ශාකයක් නිසා බැවහැර වූවක් වන අතර, එය විහාරයක් නොව මාළිගාවක් බව එතුමා අදහස් කරයි.
1955 දී ප්‍රකාශයට පත් කළ අඟලේ සිතියමේ මෙම ස්ථානය Veratidal (mounds) ලෙස දැක්වෙන අතර Tidal එනම් jply; යනු උස් ගොඩැල්ල යන්න යි. වර්තමාන පුරාවිද්‍යා ගවේෂණ තුළ මෙම ස්ථානය පිළිබඳ කිසිදු දත්තයක් වාර්තා නොවන අතර රඝුපති මහතා විසින් දක්වන ලද භූගෝලීය ක්‍රමාංකිත ඛණ්ඩාංක පමණක් ඉතිරි වී ඇත. දැනට පෙනෙන අන්දමට වේරක්කාඩු නටබුන් භූමිය බොහෝ දුරට ඝන ජනාවාස ස්ථානයක් වී හමාර අතර එම ස්ථානයේ අනාගතයේ දී හෝ කැණීමක් හෝ ගවේෂණයක් හෝ වීමට ඉඩ ඇතැයි සිතීම පවා දුෂ්කර ය.
-විනුක විදානපතිරණ-
යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .