![]() |
සිතුවම : ඇහැළේපොල, මොල්ලිගොඩ සහ කපුවත්තේ යන උඩරට සිංහල
ප්‍රධානීන් 1815 දී ඉංග්‍රීසි ඔත්තු සේවා ප්‍රධානී ජෝන් ඩොයිලි හා සාකච්ඡා
පවත්වමින් |
වඩුගයන්ව පන්නලා දාන්න ඇහැළේපොලට මහ විසාල වුවමනාවක් තිබුණා. ඒ වුවමනාව පිටුපස්සෙ සිංහාසනේ ඉඳගන්න තිබුණු කෑදරකමත් නොතිබුණාය කියන්න අපිට බැහැ. වඩුගයන්ව පන්නලා දාන්න ඇහැළේපොල උදව් ගත්තෙ ඉංග්‍රීසීන්ගෙන්. ජාතියට එල්ල වෙලා තියන එක අභියෝගයක් ජය ගන්න ජාතියට කිසිම සහ සම්බන්ධයක් නැති පරදේසක්කාරයන්ගෙන් උදව් ගන්නවා.
ඇහැළේපොලව අල්ලන්න රාජසිංහ සබරගමුවට මිනිස්සු එවපු වෙලාවෙ ඉංග්‍රීසීන් ළඟට පැනලා යන්නෙ නැතුව සබරගමුවෙ මිනිස්සු එක්ක එකතු වෙලා සටන් කිරීමේ විකල්පය ඇහැළේපොළ තෝරා නොගත්තෙ ඇයි? එහෙමත් නැත්නම් තමන්ට තිබුණු ධනය සහ බලය යොදවලා රහසිගතව සිංහල සෙනඟක් සූදානම් කරලා නොසිතූ මොහොතක රාජසිංහට පහර දීලා සිංහාසනේ ඉඳගන්න ඇහැළේපොල උත්සාහ නොකළේ ඇයි? එහෙමත් නැත්නම් තමන්ට කලින් රාජසිංහට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්ත තමන්ගෙ ඥාතියා වෙච්ච පිළිමතලාවෙලා එක්ක එකතු වෙලා රාජසිංහව වට්ටන්න වැඩ කළේ නැත්තෙ ඇයි?
අපිට ඉතිහාසෙ වෙච්චි දේවල්වලට නිර්වචන දෙන්න බැහැ. ඒත් අපිට හිතන්න පුළුවන්.
දුරදිග බලලා හදාගත්තු සැලසුමක් නැතිකම, තමන් පිළිබඳව ඇති අවිශ්වාසය, තමන්ට වඩා වැඩි ධාරිතාවයක් තියන මිනිස්සු එක්ක වැඩ කරද්දි තමන්ගෙ තැන අහිමි වෙයි කියලා ඇති වෙන බිය, සැප සම්පත් විඳින්න තියෙන කෑදරකම වැනි කාරණා ඇහැළේපොලගෙ හැසිරීමට බලපාන්න ඇති.
කොහොම වුණත් ඇහැළේපොලත් පතන්නා වූ බෝධියකින් නිවන් දකින්නය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි තවදුරටත් ඇහැළේපොලගෙ තියරිය ඉදිරියට ගෙන යන්න අපි සූදානම් නොවිය යුතුයි.
එතකොට කෙනෙක් අහන්න පුළුවන් කොනප්පු බණ්ඩාරගෙ තියරියම නේද ඇහැළේපොලත් අරගෙන උරගාලා බැලුවෙ කියලා. මොකද්ද මේ කොනප්පු තියරිය. කොනප්පු තියරියෙ අදියර දෙකයි. පළවෙනි අදියර වුණේ පරංගින්ගෙන් උදව් අරගෙන සීතාවක රාජසිංහට ගහලා සෙංකඩගල නුවර බලපුළුවන්කාරයෙක් විදියට පැළපදියම් වුණු එක. දෙවෙනි අදියර වුණේ සෙංකඩගල භික්ෂූන් වහන්සේලා සහ අනික් බලපුළුවන්කාරයො එක්ක එකතු වෙලා පරංගියට ගහලා පරංගියාව සෙංකඩගලින් පන්නලා
දාන එක.
මොකද්ද මේ ඇහැළේපොල තියරියෙයි කොනප්පු තියරියෙයි වෙනස. ඇහැළේපොල හැදුවෙ අනුන්ගෙ පානෙන් එළිය බලන්න. ඉංග්‍රීසිකාරයාට කියලා රාජසිංහව එලවගන්න කෑල්ල විතරයි ඇහැළේපොළගෙ සැලසුමේ තිබුණෙ. එයා හිතන්න ඇති ඊට පස්සෙ ඉංග්‍රීසිකාරයා බන්දේසියක තියලා ගෙනැල්ලා තමන්ගෙ ඔලුවට ඔටුන්න දායි කියලා. ඉතින් අන්තිමට මොකද්ද වුණේ. 1818 සිංහල සෙනඟ දාස් ගාණකගෙ ලේ ගංගාවටත් වග කියන්න ඕන මූසල හැඟීමකුත් එක්ක හිරකාරයෙක් වෙලා එයාට මුරුසියෙදි මැරෙන්න වුණා.
කොනප්පුත් පරංගියා ළඟ හැදුණා වැඩුණා, පරංගියාගෙ උදව් ගත්තා තමයි. හැබැයි කොනප්පු ළඟ හොඳට දුරදිග බලලා හදාගත්තු අදියර දෙකක් දක්වා දික්ගැස්සෙන ලොකු හීනයක් තිබුණා. එයා පරංගියා ළඟ ඉඳගෙන පරංගියාගෙ භාෂාව, ශිල්ප ක්‍රම ගැන හොඳට ඉගෙන ගත්තා. පරංගියා එක්ක එක්කහු වෙලා හිටිය පාතරැටියන්ගෙ ලස්කිරිඥා යුද සෙනඟ එක්කත් හොඳ ඇයිහොඳයිකමක් හදාගත්තා. ජීවිතේ ගැන භය පැත්තකින් තියලා, මාළිගාවල සැප අමතක කරලා තමන්ම සටන් පෙරමුණුවල යුද්දෙට බැස්සා. ඕන්න ඕකයි වෙනස.
අපේ උදවිය ඕන පරදේසක්කාරයෙක් එක්ක ඇයි හොඳයිකම තියාගත්තට කමක් නැහැ. හැබැයි තමන්ගෙ රට ජාතිය අනතුරේ වැටෙන විදියට උන්ට වහල්ලු වෙන්න හොඳ නැහැ. උන් කාලා ඉතුරු වෙන දංකුඩ කන්න ලෑස්ති වෙන්න එපා. පරදේසක්කාරයන්ගෙන් රටේ වැඩවලට උදව් ගන්න පුළුවන්. නමුත් එයාලා සීමාව පනිනවා නම් අවශ්‍ය මොහොතෙ දි අවශ්‍ය විදියට එයාලව දාං ලෑල්ලෙන් අයින් කරන්න පුළුවන් විදියෙ සැලසුමක් අපි අතේ තියෙන්න ඕන. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න ඕන කරන හයිය අපි හදාගෙන තියෙන්න ඕන.
ලෝකයේ හැම ජාතයකටම තමන්ගේම අභිලාෂයන් තියනවා. ජාතියක් තවත් ජාතියකට උදව් කරන්නෙම තමන්ගෙ ජාතිය වෙනුවෙන් ප්‍රතිලාභයක් බලාගෙන. අපේ සමහර උදවිය හිතන්නෙ මේ විදියට ජාතීන් උදව් කරන්නෙ අපිට තියන හැබෑම ආදරේකට කියලා. වමේ චින්තනය තියන අය හිතනවා වමේ මුල් තියන රටවල් අපිට හරි ආදරෙයි කියලා. දක්ෂිණාංශික චින්තනයක් තියන අය හිතනවා ලිබරල් මුල් තියන රටවල් අපිට උදව් කරන්නෙ අපේ සමාජය හැබෑම යහපත් සමාජයක් කරන්නය කියලා. එහෙම සිතීම මුලාවක් බව අපේ ජාතිකවාදීන් තේරුම් ගන්න ඕන. අපි ලෝකය එක්ක ගනුදෙනු කරද්දි අපේ අභිලාෂයන් පෙරදැරි කරගත්ත අපේම න්‍යාය පත්‍රයක් හදාගන්න ඕන.
-චරක ජනිත
යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .