![]() |
ගෝල්ෆේස් අරගලකරුවන් බණ්ඩාරනායක ප්‍රතිමාවේ දෑස් කළු
රෙදි කඩකින් බැඳ දමා තිබුණි |
‘යුතුකම’ කියලා සඟරාවක්! ඒ මොනවට ද? කුමක් වෙනුවෙන් ද?
අලුත් ආණ්ඩුවකුත් පත්වෙලා. ජනතාව ඒ අයට ලොකු ජනවරමකුත් දීලා. ඒ මොනවාට ද? 76 වසරක ශාපය අවසාන කරන්න! අල්ලස, දූෂණය හා හොරකම නතර කරන්න! වෙනසක් වෙනුවෙන්! ඩොලර් ගේනන- ණය ගෙවන්න! රට සුද්ද කරන්න! පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබන්න! ඉතින් එහෙනම් තව මොනවා ද? “යුතුකම” ක් මොන එහෙකට ද? මීට වඩා යුතුකමක් තවත් තියෙනවා ද?
මොනවා වුනත්, ‘76 වසරක ශාපය අවසාන කරන්න’ කියන එක නම් හරිම අපූරු යි! ඒ මුළු කතාවම ඉන් කියවෙන හින්දා ද? 76 වසරක් තිස්සේ අප කර ඇත්තේ කුමක් ද? අද අප කර ඇති දේට වෙනස් යමක් ද? තව අවුරුදු 5න් එය 81 වසරක ශාපයක් නොවේවි ද? ගතවූ ඒ 76 වසරම ඇත්තටම ශාපයක් වුනා ද? 76 වසරක් පුරාවටම අපි රටක් ජාතියක් ලෙස කිසිවක් දිනාගෙන නැත් ද? එකදු ජයග්‍රහණයක්වත් ලබාගෙන නැත් ද?
56’ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, 71’ ජනරජ ව්‍යවස්ථාව සම්මත කරලා බිරිතානායට අපව බැද තිබුණු සියලුම නෛතික බැමි ගලවා දමා බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය තහවුරු කිරීම හා 2009’ බටහිර (බිරිතානියේ) හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් රට ආරක්ෂා කිරීම (ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීම) ඒ කාලය තුල අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයන් නොවේ ද?
ඒ සමගම ඒ සුවිශේෂ ජයග්‍රහණ අකාමකා දමන්න, ආපසු හරවන්න ගත්ත උත්සහායන් ද ඒ 76 වසර පුරාවටම අපට අත්විදින්නට සිදුවුනා නොවේ ද? ඒ මාරපායාශය ද 76 වසරක ශාපය? ඔව්; ඒ ශාපය නම් අපට ඉදිරියටත් අත්විදින්නට සිදු නොවනු ඇතැයි ඉදින් කාට නම් කිව හැකි ද?
අපි ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයෙන් පටන් ගනිමු. ඒ ‘76 වසරක ශාපයට’ වසර 65ට පමණ කලින්! එනම් 1818 නිදිහස් සටන පැරදී වසර 60 කට පමණ පසුව, එහෙමත් නැතිනම් 1848 නිදහස් සටන පැරදී වසර 30ට පමණ පසුව!! එම කාලය සුදු අධිරාජ්‍යවාදීන් ජය කෙහෙළි නගන ලද අවධියක්. මහා සංස්කෘතික පරිහානියකට හා ආර්ථික පරිහානියකට රටත් ජාතියත් ගොදුරු වෙමින් තිබූ අවධියක්. ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනය නගර තුල සංවිධිතව තහවුරු වෙමින් මුළු මහත් රට පුරා එහි සෙවනැලි පතිත වෙන්නට පටන් ගෙන! සම්බුද්ධ සසුන අනතුරක අභියස!! මෙවන් පසුබිමක අනගාරික ධර්මපාලතුමා විසින් 19වන සියවස අගභාගයේ පටන් රටපුරා යමින් ආරම්භ කරන ලද්දේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම අරමුණු කොටගත් ජාතික විමුක්ති ව්‍යාපාරයක් ය. එය සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සදහා සිංහලයා බලමුළු ගැන්වීම සදහා වූ ජාතික විමුක්ති අරගලයකි.
ඒ සදහා සංස්කෘතියෙන් ද චින්තන ශක්තියෙන්ද ආර්ථිකයෙන් ද පරිහානියට පත්ව සිටි සිංහලයා එයින් මුදවා ගත යුතු විය. හුදී ජනීජනයාගේ ආර්ථිකය නගා සිටුවීම ද ඒ ව්‍යාපාරය තුල එයින් වෙන් කළ නොහැකි වූ තවත් අරමුණකි. ඒ සදහා විවිධ ධාර්මික කර්මාන්ත ඇරඹීම සදහා ද ධර්මපාලතුමා ඒ සංචාරයන් අතරතුර දී ජනීජනයා උනන්දු කරන්නට විය. එපමණකින් නොනැවතී තෝරාගත් කිහිප දෙනෙකුම ජපානය ඇතුළු රටවල් කිහිපයකට විවිධ කර්මාන්ත මෙරට ඇරඹීම සදහා පුහුණුව ලැබීමට පිටත්කර යැවීමට ද එතුමා කටයුතු කලේය. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය තුල පක්ෂ
දේශපාලනයක් නොවී ය. භික්ෂූන් වහන්සේ සහ හුදී ජනීජනයා එතුමාගේ ශක්තිය විය. එදා ඉංගිරිසි යටත් විජිතවාදය බිය වූ එකම පුද්ගලයා ද ඔහු විය.
ඉංගිරිසි යටත් විජිතවාදීන් පමණක් නොවේ ඔහුට බිය වූයේ... බිරිතානියන්ගෙන් වරප්‍රසාද ලද එම සංස්කෘතියට අනුගත වූ අනාගතයේ දවසක රටේ පාලන බලය සුදු සෙවැනැලි යටතේ හෙබවීමට කැස කවමින් සිටි පිරිසට ද ධර්මපාලතුමාගේ ව්‍යාපාරය දරුණු අභියෝගයක් විය. ඔවුන් අතරින්, ඔවුන් වෙනුවෙන් මතුවූ ප්‍රභලයෙකි පිය පරපුරෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ක්‍රිස්තියානි පවුලකට අයත් වූ ඩී. ආර්. විජේවර්ධන මහතා. ඔහු විසින් සිය ධන බලය යොදාගෙන එවකට ප්‍රකාශනයේ පැවති සිංහල (දිනමිණ), දෙමළ (තිනකරන්) හා ඉංගිරිසි (Ceylon Daily News, The Observer) පුවත්පත් සමූහයක් ක්‍රමයෙන් මිල දී ගනිමින් සංනිවේදන මාධ්‍යයේ (පුවත්පත්) අධිරාජ්‍යක් ගොඩනගා ගැනීමට සමත් වී ය. ඒ පුවත්පත් සියල්ල එක්කර 1926 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුසිය) නමින් සමාගමක් ද ඔහු විසින් ආරම්භ කරනු ලැබීය. මෙම සංනිවේදන (පුවත්පත්) අධිරාජ්‍යයේ එක් මූලික අරමුණක් වූයේ අනගාරික ධර්මපාලතුමා ඉලක්ක කොට පහර දීමයි.
එම පුවත්පත් සමාගමේ ප්‍රහාර කෙතරම් දරුණු වී ද යත් මෙරට සිංහල බෞද්ධ හුදී ජනීජනයා විසින් බුද්ධංකුරයෙකු ලෙස සැලකූ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමාව මුට්ට කාසි හොරෙකු ලෙස හැඟවීම දක්වා දුරදිග ගිය අති දුෂ්ඨ ක්‍රියා මාර්ගයක් විය. ඒ ධර්මපාලතුමාව ජාතික දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම අරමුණු කොට ගෙන යි. එතුමා වටා එක්සිත්ව එක්රොක්ව සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු බොදු හුදී ජනීජනයා එතුමාගෙන් ඈත් කරවීම සදහා යි!
[ධර්මපාලතුමාට එරෙහි දැවැන්ත මාධ්‍ය ප්‍රහාරය හමුවේ එතුමාගේ සහ එතුමා මුල පුරන ලද ජාතික ව්‍යාපාරයේ ඉරණම කුමක් වීද? යුතුකම පෙබරවාරි කලාපයෙන් කියවමු

-අභය-
යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .