![]() |
සිතුවම : අවුන් සාන් ශ්වේදගොන් විහාරයේදී සිය සුප්‍රසිද්ධ
නිදහස් ප්‍රකාශය සිදු කරමින් (1945) |
ලෝකයේ දැවැන්තම ථෙරවාද බෞද්ධ ජනතාවක් වෙසෙන රාජ්‍ය වන්නෙ මියන්මාරයයි. මියන්මාරයේ සමස්ත ජනගහනය මිලියන 54 කට අධික වේ. ඉන් 90% ක් බෞද්ධයන් වෙති.
1989 ට පෙර මියන්මාරය හැඳින්වූයේ බුරුමය වශයෙනි. ලංකාව බ්‍රිතාන්‍යට යටත් වන මොහොත වන විටත් බුරුමය පැවතියේ ශක්තිමත් බෞද්ධ රාජාණ්ඩුවක් යටතේ බලයේ වර්ධනීය අවස්ථාවකය. ඒ වන විට එහි බලය වර්තමාන ඉන්දියාවේ ඇසෑම්, මනිපූර් දක්වා ද විහිදී තිබිණි. බ්‍රිතාන්‍යන්ට සහමුලින්ම බුරුමය අල්ලා ගැනීමට හැකි වූයේ 1824 දී ඇති වූ පළමු ඇන්ග්ලෝ-බුරුම යුද්ධයේ පටන් 1885 දක්වා ඇදී යුධ සටන් මාලාවකින් අනතුරුව ය.
1885 දී බුරුම රජු අල්ලා ඉන්දියාවට පිටුවහල් කළ ද බුරුමය නිශ්චලව සහ තමන්ට අවනතව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍යන් අපොහොසත් විය. බුරුමයේ විවිධ ප්‍රදේශවල නිරන්තරව බ්‍රිතාන්‍ය විරෝධී අරගල හට ගන්නා ලදි. ශ්‍රී ලංකාවේ මෙන්ම බුරුමය තුළද බ්‍රිතාන්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය මුවහත් කරනු ලැබූයේ භික්ෂූන් වහන්සේලා විසිනි. නමුත් ශ්‍රී ලංකාවේ නොවූ විරූ ලෙස බුරුම ජාතික ව්‍යාපාරය දේශපාලන මෙන්ම සන්නද්ධ විරෝධතාවන්ගෙන් ද සමන්විත විය. ඒ අනුව තමන්ට කරදර ගෙන දෙන බුරුම බෞද්ධ බලය මර්ධනය කොට දැමිය යුතු එකක් ලෙස අධිරාජ්‍යවාදීන් විසින් පැහැදිලිවම හඳුනාගෙන තිබුණි.
1915 දී උපත ලද අවුන් සාන් (Aung San) නම් උත්කෘෂ්ට නායකයා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී අරගලය නවීන මුහුණුවරකින් ඉදිරියට ගෙන ගිය සටන් කාමියෙක් විය. 18 වන වියේදී රැන්ගුන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස අධිරාජ්‍ය විරෝධී දේශපාලනය ආරම්භ කළ තරුණ අවුන් සාන් කෙටි කලක් තුළ විවිධ දේශපාලන කණ්ඩායම් ගොඩ නගමින්, ඒවාට නායකත්වය සපයමින් ජාතික නායකයෙක් වශයෙන් ඉස්මතු විය. ඔහුගේ ව්‍යාපාරවල මූලස්ථාන බෞද්ධ පන්සල් ආශ්‍රිතව නිර්මාණය වී තිබූ අතර 1939 දී ඔහු ප්‍රථම වරට අත්තඩංගුවට පත් වන්නේ ද ශ්වේදගොන් (Shwedagon) විහාරයේදී ය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් බුරුමය නිදහස් කර ගැනීම සඳහා කැප වීමෙන් යුතුව කටයුතු කළ තවත් තරුණ නායකයන් 30 දෙනෙකු තෝරාගත් අවුන් සාන් 1941 දී බුරුමයෙන් පිට වූයේ ජාතික විමුක්ති අරගලයක් සඳහා අවශ්‍ය කරන අවි පුහුණුව ලබා ගැනීම වෙනුවෙනි. ගිනිකොනදිග ආසියාවේ බ්‍රිතාන්‍ය බලයට ප්‍රතිරෝධීව ක්‍රියා කරන ජපන් අධිරාජ්‍යයෙන් අවි පුහුණුව ලබා ගැනීමට මොවුන් කටයුතු කරන ලදි. පුහුණුවෙන් අනතුරුව අවුන් සාන්ගේ නායකත්වය යටතේ බුරුම නිදහස් හමුදාව පිහිටවනු ලැබීය. බුරුම නිදහස් හමුදාවේ සහයෝගය ද සහිතව බ්‍රිතාන්‍ය පරාජය කොට සහමුලින්ම පාහේ බුරුමය අල්ලා ගැනීමට 1942 වන විට ජපනුන් සමත් විය.
අවුන් සාන්ගේ ක්‍රියාකාරීත්වය තුළ දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණයක් වූයේ ඔවුගේ ඉලක්කය බුරුම ජාතික නිදහස වෙනුවෙන් පමණක් කේන්ද්‍ර ගත වී තිබීමයි. ජපානය විසින් බුරුම ජාතිකවාදී ව්‍යාපාරයට සහයෝගය ලබා දුන්නේ II ලෝක යුද්ධයේදී ජපානය ක්‍රියාත්මක කළ උපායමාර්ගයන්හි එක් පියවරක් වශයෙන් විනා තමන් කෙරෙහි ඇති විශේෂ ආදරයකින් නොවන බව අවුන් සාන් ඇතුළු නායකයෝ තේරුම් ගෙන තිබුණි. ඒ අනුව පළමුව ජපනුන් හා එක්ව බ්‍රිතාන්‍යන් එළවා දැබූ අවුන් සාන්ගේ බුරුම ජාතික හමුදාවපසුව බුරුම කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදී පක්ෂය හා සන්ධානගතව ෆැසිස්ට් විරෝධී පෙරමුණ පිහිටුවා ගනිමින් බ්‍රිතාන්‍යන් හා එක්ව ජපන් හමුදාවට පෙරළා පහර දුනි
ඉන්දියන් සාගර කලාපයේ බ්‍රිතාන්‍ය අණ දෙන්නා වූ මවුන්ට් බැටන් සාමිවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා අවුන් සාන් 1945 දී ශ්‍රී ලංකාවේ මහනුවරට පැමිණි බවත් එහිදී ඔහු දළඳා වහන්සේ වැද පුදාගත් බවත් කියැවේ.
අප්‍රමාදීව පරිපූර්ණ නිදහසක් ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යන් සමඟ ගිවිසුම්ගතව සිටි අවුන් සාන් 1947 පැවති මැතිවරණයෙන් ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය. මේ මුළු කාල වකවානුව තුළම පූර්ණ නිදහස නම් මස් රාත්තලම ඉල්ලා අවුන් සාන් සිදු කළ මුරණ්ඩුකම් බ්‍රිතාන්‍යන්‍ට හිසරදයක් වූ බවට සැකයක් නැත.
කරුණු කාරණා මෙසේ ගැළපෙමින් තිබියදී නිදහස ලබා ගැනීමට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී 1947 ජූලි 19 දා අවුන් සාන් ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය තුවක්කුකරුවන් කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් සිය කාර්‍යාලය තුළම සමූල ඝාතනයට ලක් වූයේ බුරුමයේ අනාගත නායකත්වය වෙනුවෙන් දැඩි රික්තකයක් ඉතිරි කරමිනි. එය බුරුමය අස්ථාවර වීමේ ආරම්භය විය. මෙම සමූලඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ 1940-42 කාලය තුළ බ්‍රිතාන්‍යන් යටතේ බුරුමයේ අගමැති ධූරය හෙබවූ අබෞද්ධයෙකු වූ යූ සෝ (U Saw) ටය. මෙම සමූලඝාතනය ඉතා සූක්ෂම කුමන්ත්‍රණයක් වූ බවත් ඝාතකයන්ට අවි සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය නිලධාරීන් බවත් පසුව හෙළි වූ අතර අද පවා මෙහි සමස්ත සිද්ධි දාමය අභිරහසකි.
කෙසේ වෙතත් ජාතික නායකයන් සමූලඝාතනය කොට මාස කිහිපයක් ඉක්ම ගිය තැන්හි 1948 ජනවාරි මාසයේදී බුරුමයට පූර්ණ නිදහස හිමි විය. එහෙත් මේ දක්වාම බුරුයේ පවතිනුයේ වියවුල් ජාලාවක ය.
බුරුමය සම්පත් ආකරයකි. අදටත් ලෝකයේ ප්‍රමුඛ සහල් නිෂ්පාදකයන් අතර 07 වන ස්ථානය හොබවන්නේ බුරුමයයි. රත්‍රන්, තඹ, ඊයම්, ටින් ආදී ලෝහයන්ගෙන් ද, ස්භාවික වායු සහ පොසිල ඉන්ධන ආදී බලශක්ති ප්‍රභවයන්ගෙන් ද, රූබි සහ කුරුවින්ද ආදී වටිනාකම් සහිත පාෂාණයන්ගෙන් ද බුරුමය ඉතා පොහොසත් ය. එහෙත් බුරුමය තවමත් සංවර්ධනය නොවූ දරිද්‍රතාවයෙන් පෙළෙන රටකි. සම්පත් බහුලතාවය ඛේදවාචකයක් බවට පත්ව, එහි බලපෑමෙන් අන්ත පීඩාවට පත් වූ රටක් පිළිබඳ උදාහරණයක් අවශ්‍ය නම් ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ බුරුමයයි.
යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .