6/10/2017

දෙවියන් පිළිබඳ ප්‍රශ්නය - නිර්මාල් දේවසිරිට පිළිතුරක්

කතෘ:යුතුකම     6/10/2017   No comments

  - තමලු මලිත්ත පියදිගම-
"දෙවියන්" පිළිබඳ ප්‍රශ්නය හා ජාතික චින්තනය යන මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ලිපියක් ලියා ඇත. මේ ලිපිය ලියැවෙන්නේ ඊට පිළිතුරු ලිපියක් වශයෙනි.
නිර්මාල් දේවසිරි මහතා ගේ ලිපියේ කියැවෙන්නේ මෙබඳු දෙයකි: දෙවියන් ගැන විශ්වාස හා ගැටුණ ද දෙවියන් ගැන විශ්වාස සහමුලින් ඉවත් කිරීමට බටහිර විද්‍යාවට (හෝ නවීන විද්‍යාවට) නො හැකි විය. මීට හේතුව වූයේ බටහිර විද්‍යාවේ පරාසයෙන් සියල්ල ආවරණය නො වූ නිසා මිනිස් අවශ්‍යතාවල ආවරණය නො වූ කලාපයක් ඇති වීම ය. මේ ආවරණය නො වූ කලාපයේ අවශ්‍යතා ආගම් මඟින් තෘප්ත කෙරුණු අතර විද්‍යාව හා ආගම් අතර ඊනියා හේතුවාදීන් ඇති කළ ගැටුම් පැවතියේ මෙහි අද්දර පමණක් බැවින්, බටහිර විද්‍යාව සමඟ ම සමතුලනයක් ඇති කර ගනිමින් ආගම් ද දිගින් දිගට ම පැවතුණි. ආචාර්ය නලින් ද සිල්වා මහතා විසින් මේ සමතුලනය බිඳ හෙළමින් දේව සංකල්පයන් ආවරණය කරන මිනිස් අවශ්‍යතා පරාසය පුළුල් කරමින් බටහිර විද්‍යාව මඟින් විසඳුම් දෙන මිනිස් අවශ්‍යතා පරාසය සමඟ අතිඡාදනය කර ඇත. මේ සමඟ ම ඇති වූයේ නව දේව 'කතිකාවකි' (discourse). මේ සමඟ හේතුවාදීන් පැරණි දේව කතිකාවට එරෙහිව ඉදිරිපත් කළ තර්ක නව තත්වය සඳහා වලංගු නො වන අතර මේ නව කතිකාවට එරෙහිව බිහි වූ 'රැඩිකල්' තර්ක ද එහි සංඝඨකවලට පහර දීමට මිස බුද්ධිමය අභියෝගයක් ඇතිකිරීමට අසමත් ය.කෙසේ නමුත් මෙබඳු ඵලයක් ඇති වී තිබේ. බටහිර විද්‍යාවේ හා දේව සංකල්පයේ නව අතිඡාදන කලාපයේ පවතින මිනිස් අවශ්‍යතාවලට මේ නව කතිකාව මඟින් පොරොන්දු වූ විසඳුම් කොහි ද යන්නයි. කාලගුණ ස්ටාර් වැනි විපරීත ඉල්ලීම් ඇති වන්නේ මේ සන්දර්භයේ ය. තව ම මේ නව කතිකාව ළදරු තත්වයේ ඇති නිසා තරඟ පැවැත්වීම නො මනා අභියෝගයකි යන්න නිර්මාල් දේවසිරි මහතාට අනුව පිළිගත නො හැකි ය. දෙවියන් ගේ නව කතිකාවෙන් වැඩ ගැනීම කම්කරු විප්ලවය මෙන් වාස්තවික තත්ව ඇතිවන තෙක් බලා සිටිය යුත්තක් නො වේ. බටහිර විද්‍යාවේ අධිපතිවාදීව පැතිරුණේ කාර්මික ජයග්‍රහණ නිසා බව පවසන ඒ මහතා එස්.ඒ. වික්‍රමසිංහ මහතා මැලේරියාව මර්දන ව්‍යාපාරයේ දී සිදු කළ කාර්යභාරය දේව කතිකාව හා බටහිර විද්‍යාව ගැටුණු එක් තැනක් බවත් එහි දී බටහිර විද්‍යාව තහවුරු වීමට උපයෝගීතාවය (pragmatism) හේතු වූ බවත් කියවේ.
ඉහත සාරාංශ ගත වී ඇති තර්ක විෂ්ලේෂණය කිරීමේ දී හා අදාළ පඨිතයන් (text) විසංයෝජනය (deconstruction) කිරීමේ දීත් පෙනී යනු ඇත්තේ නිර්මාල් දේවසිරි මහතා ගේ තර්කවල  පදනම වන්නේ ඔහු ගේ නො සලකා හැරීම් (ignorance) , ජාතික චින්තනයේප්‍රතිවාදියා වීමට (අනෙකා යන්නට දේවසිරි මහතාට වඩා ප්‍රිය වනු ඇත.)  ඔහු තුළ ඇතිආශාව  (desire) (මෙය ගෝලයින් නො වන ලෙස අප හැඳිනගන්නා කඳවුරේ ම සාමාජිකයන්ගේ අදහසකි.) හා එහි දී ගොඩනැඟෙන ජාතික චින්තන ප්‍රතිවාදී කඳවුරක කඳවුරට පිටතින් (ඇතුළතින්) සිට කඳවුර බේරා ගැනීමේ වුවමනාව හෙවත් ඔහු මත ප්‍රේරණය වන (කරගන්නා) වගකීමයි. මෙහි කඳවුර යනු 'ජාතික චින්තන' අදහසට විරුද්ධ මතධාරීපඨිතයන් (texts) හා එහි කර්තෘන් අතර සම්බන්ධතාවන් මඟින් ගොඩනැඟෙන්නකි. (මෙය අර්ථ දැක්වීමක් ලෙස නො ගත යුතු ය.) මේ අතර ඒ කඳවුර තුළ ම අප විසින්නිර්මාල් අනුගාමිකයන් ලෙස හඳුන්වනු ලබන උප කඳවුරක් වේ.

පැහැදිලිව ම ව්‍යුහයක (structure) හැසිරීම තෘප්ත කරමින් කඳවුර නිර්මාණය කරනකේන්ද්‍රය ලෙස පවතින (සිටින) නිර්මාල් දේවසිරි කඳවුරින් පිටත සිටී. Center is not center යන සුප්‍රකට ප්‍රකාශය එනම් කේන්ද්‍රය කේන්ද්‍රයක් නො වේ යන්න ශාස්ත්‍රීය විග්‍රහ කළ යුත්තේ මෙවන් සන්දර්භයක ය. (එක්තරා සිද්ධියකින් පසු) ව්‍යුහයක කේන්ද්‍රය පිහිටන්නේ ව්‍යුහයට පිටතින් ය. කඳවුරේ නිර්මාපකයා වූ ද කේන්ද්‍රය වූ ද දේව-සිරි , සර්වබලධාරි දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කොට ඊට කේන්ද්‍රය ව ඇතුළතින්පිටතින් සිටින ලෙසින් කඳවුරට ඇතුළතින් පිටතින් සිටී. ඔහුගේ කතිකාවේ (discourse) ඔහුට ගෝලයින් නැත. අප ගෝලයින් ලෙස හඳුනා ගන්නන්ට ඔහු ගුරුවරයා වුව ද කඳවුර කණ්ඩායම යන පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. ව්‍යුහයක් හඳුනා ගැනීමට (ගොඩ නැඟීමට) කේන්ද්‍රයේ කාර්යභාරය මින් පෙනේ. ගෝලයින් ලෙස අප විසින් හඳුනා නො ගන්නා කඳවුරේ අය හා දේව-සිරි අතර ද ඇත්තේ ඊට ආසන්න සබඳතාවකි. කේන්ද්‍රය ව්‍යුහයේ ඇතුළතින් පිටතින් සිටී. පද්ධතිය ගොඩ නඟා කේන්ද්‍රය පද්ධතියෙන් බැහැර වීමේසිද්ධියෙන් (event) පසු අපට දැකීමට ඇත්තේ මේ ව්‍යුහය තුළ නිදහස් ක්‍රීඩනයයි. (Free play) . එහෙයින් ජාතික චින්තන ප්‍රතිවාදීන් අපට දැකීමට යෝජනා කරන ස්වායත්ත නිදහස් ක්‍රීඩනය අප දැකිය යුත්තේ විසංයෝජනය කිරීමෙන් පසු ය.

අපට 'නිර්මාල් දේවසිරි කණ්ඩායම' නම් ව්‍යුහයෙන් හා එය වටා වූ 'ජාතික චින්තන ප්‍රතිවාදී පිළ' නම් ව්‍යුහයෙන් ඉදිරිපත් වෙන පඨිත(texts) විසංයෝජනය (deconstruction)කිරීමේ දී මේ සිද්ධිය (event) අනිවාර්යයෙන් ම අප ගේ අවධානයට යොමු කළ යුතු ය. ඔවුන් ගේ ප්‍රකාශවල සැඟවුණු පූර්ව-උපකල්පන හඳුනා ගත හැක්කේ කේන්ද්‍රයේ මේ (අ)ස්වාභාවික හැසිරීම වටහා ගත් විට ය. කණ්ඩායමක් නො වන කණ්ඩායමක්, ගෝලයින් නො වන ගෝලයින් ආදී අප විසින් මේ 'කඳවුර' හැඳින්වීමට භාවිත කරනු ලබන පඨිතයන් (text) අර්ථවත් වෙන්නේ මෙවිට ය.
දැන් මාගේ ලේඛන ශෛලිය හුරු පුරුදු පාඨකයින් ඉහත ඡේදය ගැන විස්මපත් විය හැකි ය. මේ මගේ භාෂා රටාව නො වේ. මා නිතර භාවිත කරන යෙදුම් නො වේ. ප්‍රතිවාදීන් සමඟ සංවාදයක් සාර්ථක වනු ඇත්තේ දෙපාර්ශ්වය භාෂා රටාවේ පාලමක් ඇති කර ගැනීමෙනි. ඒ නිසා මේ ලිපියේ මාගේ සුපුරුදු භාෂා ව්‍යවහාරයට අමතරව පශ්චාත්නූතනවාදී ව්‍යවහාර ද යෙදෙනු ඇත. ප්‍රතිවාදීන්ට විරුද්ධව ප්‍රතිවාදීන් ගේ සංකල්ප භාවිත කිරීම උචිත දැයි යනුවෙන් යමකු ඇසිය හැකි ය. යමක් බිඳ හෙළීමේ දී අවශ්‍ය ඕනෑ ම උපක්‍රමයක් භාවිත කිරීමේ නිදහස ඇත. මා මෙහි පශ්චාත්නූතනවාදය භාවිත කරන්නේ පශ්චාත්නූතනවාදීන් මෙහෙයවා ගැනීමට භාවිත කළ හැකි තෝන් ලණුව ලෙසත් ප්‍රතිවිරුද්ධ පෙරමුණේ සටන් වදිනා බුද්ධි අංශ චරපුරුෂයකු ලෙසත් පමණි.
ප්‍රාගානුභූත (a priori) අමතක කළ කතිකාව (discourse)
නව දේව කතිකාව, පැරණි දේව කතිකාව හා විද්‍යා කතිකාව ලෙස ලෙස නිර්මාල් දේවසිරි මහතා කතිකා තුනක් ගැන කතා කර ඇත. කතිකාව යනු සංඥා , සංඥිත, වස්තු ආදියගොනු වීම ගැන අදහසකි. මේ අදහස ඉදිරිපත් කිරීමේ දී ෆූකෝ (Foucault)ට වැටහුණේ යම්කාලයක දී සත්‍ය  ලෙස සැලකෙන්නේ සමහර කතිකා පමණක් බවයි. කතිකා සත්‍ය බව හැඟීමට මූලික කරුණක් , ප්‍රගානුභූතයක් (a priori) , ඇති බව ඔහුට වැටහිනි épistème සංකල්පය එහි ප්‍රතිඵලයක් විය. යම් සංස්කෘතියක යම් කාලයක ඇත්තේ එක් épistème බව ඔහු පැවසී ය. කතිකාවන් පිළිගැනීමට ලක්වන්නේ මීට අනුව ය. ඔහු බටහිර සංස්කෘතියේ ඓතිහාසික කතිකාවත් හතරක් දුටුවේ ය. මෙය ඉතා දුර්වල විග්‍රහයක් බව ෆූකෝට ම අවබෝධ විය. පසු කලෙක ඔහු épistèmeවල සමකාලීන සහ-පැවැත්මපිළිගත්තේ ය. 
අවසානයේ අපට මින් ගත හැකිව ඇත්තේ කතිකාවන්ට ප්‍රාගානුභූත (a priori) ඇති බව ය. ඒවා සංස්කෘතිය සමඟ බද්ධ බව ය. ඒ ප්‍රගානුභූත පැහැදිලි කිරීමට épistème අසාර්ථකය. සුසමාදර්ශය හා épistème අතර පියාජේ ගේ සන්සන්දනය පැහැදිලිව ම දුර්වල ය. මේ ප්‍රාගානුභූත (a priori) සුසමාදර්ශවලට වඩා ප්‍රාථමික බව පැහැදිලි විය යුතු ය. සුසමාදර්ශ හතරක් වැනි සුළු සංඛ්‍යාවකට ගත නො හැකි බව පැහැදිලි හෙයින් දුර්වලව නමුත් ෆූකෝ හඳුනා ගැනීමට උත්සාහ කළේ සුසමාදර්ශයෙන් එහා දෙයකි.
මේ ඉව නිර්මාල් දේවසිරිට පවා වැටී ඇත. දේව කතිකාව බටහිර විද්‍යාවට විරුද්ධව කීමට මැළිවන බව කියා දැනුමට යැයි කියන්නේ එහෙයිනි.
ජාතික චින්තන ප්‍රතිවාදී පිළ අතර හුවමාරු වන බෞද්ධ කතිකාවත , ක්‍රිස්තියානි කතිකාවත, විද්‍යා කතිකාවත , මනෝ විෂ්ලේෂණ කතිකාවත ආදී යෙදුම් සඳහන් ඇතැම් රූප සටහන් දෙස අප උපහාසයෙන් බලන්නේ මේ සන්දර්භය තුළ ය.
පශ්චාත්නූතනවාදයට ස්වායත්තව ස්වාධීනව බිහි වුණු, ආචාර්ය නලින් ද සිල්වා මහතා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ චින්තනය සංකල්පයේ විශිෂ්ටත්වය මේ තත්වයසංගතව විග්‍රහ කර ගැනීමට එය සමත් වීමයි.
චින්තන (chinthana) හා සුසමාදර්ශ (paradigm)
චින්තනය යනු යම් පිරිසක් පිළිගන්නා දාර්ශනික පසුබිම (philosophical background ) හාන්‍යාය (logic) , ඥානවිභාගය (epistemology මෙය බටහිර මෙන් ontology හා වෙන් ව ගැනීම කළ නො හැකි අවස්ථා ඇත.) හා ආකල්ප (attitudes) යන කොටස් තුනෙන් සෑදුණකි. චින්තනය එම පිරිසේ දැනුමේ පදනම වේ. (එහෙත් චින්තනය දැනුමින් ස්වායත්ත නො වේ.) සංස්කෘති ඇතිවන්නේ ද චින්තනවල ය. එහෙයින් මෙය සංස්කෘතියට ද වඩා මූලික වූවකි. ආසන්න අනෙක් සංකල්පවලින් චින්තනය කැපී පෙනෙන ලෙස වෙනස් වන ඉතා වැදගත් ලක්ෂණයක් ලෙස මා
දකින්නේ චින්තනය සංස්කෘතියට ද වඩා මූලික ලෙස ගොඩනඟා තිබීමයි. අනෙක් සංකල්ප අසාර්ථක වන විට චින්තනය කාලය ගැන හෝ සංස්කෘතිය ගැන ඉදිරිපත්වන කරුණුවල දී විසංවාද ඇති නො කරන්නේ එය පිහිටුවා ඇති මෙම ස්ථානය ද නිසා ය. එහෙත් ඊට එක ම හේතුව එය නො වේ. (Civilisation ගැන යමකු විමසිය හැකිය. එය අප නො පිළිගන්නා සංකල්පයකි. Civilisation යෝජනා කරන්නේ සංස්කෘති අතර පවතින තමා එක වර්ගයක් සේ පිළගෙන පොදුවේ එකා වෙනුවෙන් එකා පෙනී සිටීමේ තත්වයයි. එය දැනුම විග්‍රහ කිරීමේ දී වැදගත් සංකල්පයක් නො වේ. අනෙක් අතට චින්තනය මෙන් නොව civilisation අනිවාර්යයෙන් පැවතිය යුත්තක් නො වේ. හන්ටිංටන් ථෙරවාද බෞද්ධ රටවල්වල ඇති civilisation නම් නො කිරීමට ප්‍රවේසම් වේ.)
චින්තනය ගැන පැහැදිලි හා සවිස්තර විග්‍රහයක් 'මගේ ලෝකය' දෙවන උපග්‍රන්ථයේ වේ.
සුසමාදර්ශය (paradigm) යනු යම් අවස්ථාවක චින්තනයක් තුළ බලයේ ඇතිකේන්ද්‍රීය ප්‍රවාදයක් (center-theory) සහිත පද්ධතියකි. මේ පද්ධතියේ ස්වයං සංගත වීමට (self-consistency) අවශ්‍ය ප්‍රවාද හා කරුණුවල විවරණ (interpretation of facts) එය බිහි වූ ඓතිහාසික ක්‍රියාවලිය මඟින් මූලික ප්‍රවාදයට අනුකූලව තෝරාගෙන ඇත. සුසමාදර්ශ දෙකක් සමකාලීනව පවතින්නේ කෙටි කාලයක් පමණක් වන අතර එහි දී එක එකෙහි සහායකයින් අතර තරඟයෙන් හා දේශපාලනික ක්‍රියාවලියක් මඟින් අදහස් ඒත්තු ගැන්වීමේ හැකියාව ලබා ගැනීමෙන් ජය ලබන සුසමාදර්ශය ඉන්පසු දිගු කලක් පවතිනු ඇත. මෙවන් ක්‍රියාවලියක් 'සත්‍යයට' ළඟා විමක් විය නො හැකි ය. වාස්තවික යථාර්ථයක් නො පවතින බැවින් දැනුම නිර්මාණයක් වන අතර දැනුමක් ඒත්තු ගැන්වීම හා තහවුරු කිරීම දේශපාලනික ක්‍රියාවලියකි.
චින්තන අතර දැනුම් හුවමාරුව
චින්තන අතර දැනුම් හුවමාරු වන ආකාර තුනක් වේ.
ආරෝපණය   :      එක් චින්තනයක් දරන පිරිසක් තවත් චින්තනයක් දරන පිරිසක් සඳහා තම චින්තනයේ  නිපදවුණු දැනුමක් යොදා ගැනීමට නියම කිරීම ඍජු හෝ වක්‍ර ක්‍රමවලින් බල කිරීම හෝ මානසික අල්ලස් දීම.
         බටහිර විද්‍යාව ලංකාවේ ව්‍යාප්ත කිරීම ඇරඹුණේ මෙසේ ය.
     2. අනුකරණය       :
              යම් චින්තනයක් දරන පිරිසක් හෝ එම පිරිසේ ඇතැමුන් වෙනත් චින්තනයක දැනුමක් එලෙසින් ම යොදා ගැනීම. එනම් දැනුමේ චින්තන පදනම වෙනස් නො කර ඒ ප්‍රවාදයන් එසේ ම භාවිත කිරීම. 
            සරච්චන්ද්‍ර මහතා රෙඩ්ෆීල්ඩ් ගේ චූල සංස්කෘති මහා සංස්කෘති ප්‍රවාදය හඳුන්වා දීම උදාහරණයකි .( බටහිර දාර්ශනිකයන්ගේ නම් හා ඔවුන් ගේ යෙදුම් -buzzwords- තමා කියන දෑට බරක් දීමට භාවිත කිරීම මීට පහළ ගණයේ අනුකරණයකි.)
     3.   අවශෝෂණය   :
                      යම් චින්තනයක් දරන පිරිසක් වෙනත් චින්තනයක දැනුම, ඊට අනුරූපීවන පරිදි (analogous) තම චින්තනයේ ගොඩනැංවීමයි. 
               ශූන්‍ය සංකල්පය බටහිර ගණිතයට ගත් ආකාරය උදාහරණයකි.
ආරෝපණය ආධිපත්‍ය විසින් අධිකාරිමයව පැටවීමක් ද, අනුකරණය ආධිපත්‍යයකටගැති වීමක් ද නිරූපණය කරන අතර අධිපතිවාදයකින් තොරව ක්‍රියාත්මක වන්නේ අවශෝෂණය පමණි. ඒ නිසා අධිපතිවාදයන්ට විරුද්ධ වන අයකුට අනුමත කළ හැක්කේ අවශෝෂණය පමණි.
යම් අයකුට වෙනත් චින්තනයක දැනුම භාවිත කළ හැකි නමුත් ඒ ඉතා අසම්පූර්ණහා දුර්වල ආකාරයෙනි. එවන් විටක පරිවේදනය (insight) ඇති වීම ඉතා කලාතුරකින් සිදුවන්නක් වන අතර එම දැනුම නිර්මාණශීලීව හා උපරිමව භාවිත කිරීමේ හැකියාව ලැබෙන්නේ ම නැති තරම් ය. යථොක්ත චින්තනයේ දැනුමේ 'වර්ධනය'වීමට මේ දැනුමෙන් කිසිදු මෙහෙයක් නො වන අතර ආගන්තුක පිළිකාවක් පිළිලයක් මෙන් අසංගත භාවයක් ඇති කිරීම මිස කිසිවක් නො කරන තරම් ය. එහෙත් අවශෝෂණය මඟින් දැනුම නිර්මාණය වන්නේ එම චින්තනයේ ම බැවින් එහි උපරිම ප්‍රයෝජන ගැනීමටත් තව දුරටත් දැනුම වර්ධනය කිරීමටත් ඉතා ඉහළ ඉඩක් ලැබේ.එහෙයින් ධෛර්යවත් කළ යුත්තේ අවශෝෂණය ම ය.

දේව සංකල්පය: කෘෂි රසායන වකුගඩු රෝගය පිළිබඳ ප්‍රවාදයට පෙර
මේ සන්දර්භය යටතේ අප දකින්නේ දේව විශ්වාසය සෑම චින්තනයක ම පාහේ පැවතුණු බව ය. ඒක දේවවාදය පැවති සර්වබලධාරි දෙවියකු ගැන විශ්වාස කළ යුරෝපයේ නූතනත්වය සමඟ දෙවියන් ගැන තිබූ ආකල්පය වෙනස් වී ඇත. බටහිර විද්‍යාව තුළ දේව විරෝධී ප්‍රාකාශනයන් තිබුණ ද, බොහෝ දෙනා ගේ අවධානය යොමු වූයේ දෙවියන් ගේ ආකල්පය වෙනස් කිරීමට ය. හේතුවාදය ලංකාවේ දේව විරෝධයක් ලෙස කේන්ද්‍ර ගත වුව ද, අයිසෙක් නිව්ටන්, අයින්ස්ටයින් ආදී හේතුවාදය ඊනියා ප්‍රයෝජ්‍ය විද්‍යාවල පදනමක් බවට පත් කළ දැවැන්තයෝ සර්ව බලධාරී දෙවියන් විශ්වාස කළ හ. මා හොඳින් කියවා ඇති පරිදි නිව්ටන් තම කෘතිවල සෑම පරිච්ඡේදයකම පාහේ අවසානයේ ඔහු යෝජනා කරන ආකාරයේ යාන්ත්‍රණයකට (mechanism) සර්වබලධාරී දෙවියන් ගේ අවශ්‍යතාව අවධාරණය කරයි. දෙවියන් ගැන ම ලියැවුණු පරිච්ඡේද ද ඇත. දේව විරෝධි බව කියන ධාරාවල ප්‍රකාශනයන්හි දReason, Nature යන පද සමඟ God යන්න අතුරුමාරු  කළ හැකි (interchangeable) බව පෙනේ.
දැන් මේ සන්දර්භය තුළ සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියන් ගේ විශ්වාසය ගැන සලකමු. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියෝ සර්වබලධාරි මැවුම්කරුවෝ නො වෙති. අප වැනි ම, අපට වඩා පින් කර ඇති , සත්ත්ව කොට්ඨාසයකි. සමහර දෙවියෝ අපට සමාන්තරව මේ ලෝකයේ ම සිටිති. සමහර දෙවියෝ සිටින්නේ අපට වඩා වෙනස්ව කාලය ගලා යන තැන්වල ය. මේ දෙවියන් ඇතැම් මිනිසුන්ට විවිධ ආකාරවලින් ගෝචර වේ.
මේ දෙවියන් දැනුම ද ලබා දී ඇත. සමහර ඍෂිවරුන් දෙවියන්ගෙන් දැනුම් ලබාගත් අතර මෑත කාලීනව පවා සමහර සිංහල බෙහෙත් එසේ සෑදූ ඒවා ය. කැටවල තෙල් හෙවත් ශ්‍රී ධන්වන්තරී තෛලය එසේ හීනයකින් පැමිණි අයකු කී අයුරින් නිර්මාණය කරන ලද මා අත් දැකීමෙන් ම සාර්ථකත්වය දන්නා ඉතා හොඳ බෙහෙතකි. ඉක්මණින් තුවාල සුව කිරීමට ඊට ඇති හැකියාව පුදුමාකාර ය.
ඉතා පැරණි පුරාවෘත නො සලකා හළ ද, රාමානුජන් තම සමීකරණ ලීවේ නමක්කාල් දෙවඟන ගේ උදව්වෙනි යන්න බැහැර කළ හැකි ද? ඒවා බටහිර ගණිතයෙන් ඔප්පු කිරීමට ඔහු නො දත් අතර ඒවා සමහරක් ඔප්පු කළේ G.H. Hardy නම් විශිෂ්ට බටහිර ගණිතඥයා ය. සමහර සූත්‍ර බටහිර ගණිතයට පටහැනි විය. ඒවා වැරදි ලෙස සලකා ඉවත දැමුණි. පුදුමාකාර ලෙස ඒ බටහිර ගණිතයට පටහැනි සූත්‍ර ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඇතැම් ප්‍රතිඵල හා සමපාත වන බව පසු කාලීන ව පෙනී ගොස් ඇත. මෙවන් ප්‍රයෝජ්‍යතා පිළිබඳ අපට කුමක් කිව හැකි ද?
මේ අයුරින් අපට කිව හැක්කේ දෙවියන් හා දැනුම අතර සම්බන්ධය අතීතයේ සිට ම පැවැති බව ය. එහෙයින් මෙම අදහසේ පුනරාගමනයට නිර්මාල් දේවසිරි ගේ විවරණය සාධාරණ නො වේ.
බටහිර විද්‍යාවේ ආගමනයෙන් පසු ලංකාවේ දෙවියෝ
බටහිර විද්‍යාවේ ලංකාවට මුල් ආගමන සිදු වූ කාලයේ පරම විඥානාර්ථවාදී සංගමය සක්‍රියව පැවතිනි. පරම විඥානාර්ථවාදය සියලු ආගම් හා විද්‍යාව ඒකාබද්ධ කිරීමේ යෝජනාවකි. සිංහල බෞද්ධ දේව සංකල්පයට දාර්ශනික විරෝධයක් මුල් කාලයේ බටහිර විද්‍යාවෙන් එල්ල කිරීමට නො හැකි වූයේ ධර්මපාලතුමා ආදීන් දැක්වූ අදහස් නිසා ය. ධර්මපාලතුමා දෙවියන්ට විද්‍යාත්මක අර්ථකථන නොදුන් අතර විද්‍යාව සමඟ ගැටුමක් දුටුවේ ද නැත. තරුණ කාලයේ බුදු දහම හා බටහිර විද්‍යාව සංගත කළ හැකි ය යන්න පිළිගත් එතුමා පසුව පරම විඥානාර්ථවාදී සංගමයෙන් ඉවත් වූයේ එවන් උපක්‍රම අසාර්ථක බවත් බුදු දහම විකෘති කිරීමක් බවත් වටහා ගනිමිනි. පසුකාලීන ලියකියවිලි බලන විට මෙම වෙනස හොඳින් පෙනේ. මුල් කාලයේ පවා එතුමා එම අදහසේ දැඩිව නො සිටි බව ( Mc Mohan ගේ මතයට විරුද්ධව ) පැවසිය හැක්කේ මුල් කාලීන ප්‍රකාශවල භාෂා ශෛලිය විමසා බැලීමෙනි. දෙවියන් බුදු දහමෙන් ඉවත් කිරීම හා අඩුවෙන් අවධාරණය කිරීම ඇරඹුණේ පසුකාලීනව මාර්ටින් වික්‍රමසිංහ හාකොවුර් යුගවල ය.
මේ යුගය බටහිර විද්‍යාව අධ්‍යාපන ආයතන ඔස්සේ ආරෝපණය කරවූ යුගයයි.අනුකාරකයන් බිහි වී ඔවුන් සමාජයේ පිළිගැනීම ලබා ගැනීමත් සමඟ 'ශාස්ත්‍රීය' ප්‍රජාව දෙවියන් දුටුවේ උපහාසයෙනි. දැනුම සම්බන්ධයෙන් දෙවියන්ට තිබූ තැන නැති විය. ආරෝපණය හා අනුකරණය නිසා සිංහල බෞද්ධ දෙවියන් විස්ථාපනය වූයේ තවත් එවැනි ම ස්වරූපයේ සංකල්පයකින් නො ව ඊට වඩා භයානක සර්ව බලධාරී දෙවියකු ගේ ස්වරූපයෙනිනිව්ටන්, අයින්ස්ටයින් ආදීහු අනභියෝගී දෙවියන් වැනි වූ අතර අනුකාරකයන් ඔවුන් ගේ මෙලොව (ලංකා) නියෝජිතයන් විය. මෙය පසුකාලීනව කුමන අතට වෙනස් වුව ද ලංකාවේ ශාස්ත්‍රීය සාකච්චාවල දී දාර්ශනික හා විද්‍යාඥ නම් ගම් විසිවන්නේ දේව සටන් පරිදි ය. ඔවුන්ගේ ප්‍රකාශවලට දේවවාක්‍යවල තැන් ලැබුණි.
කෙසේ නමුත් අවසානයේ මේ දාර්ශනික විද්‍යාඥ දෙවිවරුන්ට ප්‍රතිපක්ෂව සිංහල බෞද්ධ දේව සංකල්පය දැනුම පිළිබඳ සංවාදයට ගෙන ඒමට ආචාර්ය නලින් ද සිල්වා මහතා සමත් විය. මේ සිදුවීම් අවසානයේ නාථ දෙවියන් කී දෙයක් ප්‍රශ්න කළ නො හැකි යැයි කියන අයගෙන් පෙන්නේ චින්තන වෙනස නො සැලකූ අනුකාරක ස්වරූපයයිඅප නාථ දෙවියන් පිළිගන්නේ අපට වඩා පින් ඇති අපට වඩා විශේෂ වූ හැකියාවන් සමහරක් ද ඇති ප්‍රාණියකු ලෙස මිස අනුකාරකයන් නිවුටන් ගැන කොපර්නිකස් ගැන සිතන අයුරින් නො වේ. කොපර්නිකස් යමක් ඔප්පු කළ බව පෙළ පොතේ සටහන් වූ පමණින් එය දේව වාක්‍ය වී ඔහු එය ඔප්පු කර ඇති බව දැඩිව ගැනීමක් ඒ ගැන නො විමසීමක්, අපේ චින්තනයේ අපට හමුවන දෙවියන් කෙරේ අපට නැත. අපට ඒ තවත් ප්‍රාණියෙකි. අපේ චින්තනයේ අප දෙවියන් කී දේ පවා අපේ චින්තනයට අවශෝෂණය කරනවා මිස ආරෝපණය කිරීමට ඉඩ දීමක් හෝ අනුකරණය කිරීමක් නො කරමු.
දෙවියන් ගැන විද්‍යාත්මක අර්ථකථන
 
 මා පෙර සඳහන් කළ වික්‍රමසිංහ , අදිකාරම් , කොවුර් යුගවල දෙවියන්ට බටහිර විද්‍යාවේ අර්ථකථන දීමට පෙළඹිණි. පෙර කී ලෙස හේතුවාදයේ (rationalism) හා යථාර්ථවාදයේ (realism) ලාංකික ප්‍රවේශය සිදු වූයේ තර්ක බුද්ධියේ (reason) හෝ හේතුමය භාවයේ (causality) වැදගත්කම හෝ අනිවාර්ය බව අවධාරණයෙන් නො ව, වාස්තවිකත්වය පිළිබඳ සාකච්චාවකින් නොව ඉතා විකෘති ලෙස 'අදෘශ්‍යමාන බලවේග' විරෝධයකිනි. දෙවියන් ගැන ද මේ විරෝධය එල්ල විය. දෙවියන්ට විකල්ප විද්‍යාත්මක අර්ථකථන එක් කර ඊට මුහුණ දුන් අය අතින් දෙවියන් සූත්‍රගත (formulate) වූයේ දැනුම පිළිබඳව දෙවියන් ගැන තිබූ උපයෝගීතාවයන් ගෙන් පරිබාහිරව ය. බොහෝ අර්ථකථනවල අරමුණ වූයේ ත්‍රිපිටකය හේතුවාදීන්ට අනුකූලව තබා ගැනීමට ය. ඇත්තෙන් ම හේතුවාදීහු ද තර්කය , න්‍යාය , හේතුමය බව ගැන බුදුන් වහන්සේ කියූ දෑ අවධාරණය නො කොට තබා කාලාම සූත්‍රය ආදී සූත්‍රවල තමන්ට අවශ්‍ය කොටස් පමණක් සලකා තම තර්ක බුදු දහමින් තහවුරු කිරීමට උත්සුක වූ හ. බුදු දහමේ වචන හා තම පාරිභාෂික පදවල රූපීය සමානකම් වංචනිකව යොදා ගත් හ. හේතුවාදය හා හේතුඵලවාදය , යථාර්ථය හා යථාභූත එසේ ගළපන ලදී.

ඒ නිසා දෙවියන්ට විකල්ප අර්ථකථන දීමෙන් හා සමහර තැන් අවධාරණය නො කර සිටීමෙන් ත්‍රිපිටකය හේතුවාදී තර්ජනයෙන් රැකගැනීමට ඇතැමුන් බොළඳ උත්සාහ ගැනීම එක් අතකට නාමිකව සාර්ථක උත්සාහයක් විය.
දෙවියන් පර්සියානුවන් කිරීම, ගෝත්‍රයක් කිරීම , පිටසක්වල ජීවීන් කිරීම, සමාන්තර විශ්ව වාසීන් කිරීම , සංකේත ලෙස දැකීම එවැනි ය. මේවා යම් තරමකට සාර්ථක වීමට හේතු වූයේ පැරණි සිංහල බෞද්ධ දේව සංකල්පය මෙන් ම යක්ෂ ආදී සංකල්ප ද බහු විවරණ සහිත වීමයි. උදාහරණ ලෙස මාර සංකල්පය බුද්ධඝෝෂ හිමි ම පස් ආකාරයකට විවරණය කර ඇත. (පංච මාර සංකල්පය).එහෙත් උන් වහන්සේ එසේ කළේ දිව්‍ය පුත්‍ර මාරයා ප්‍රතික්ෂේප කිරීමට නො වේ. එසේ ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපිටකය ඉඩ නො දේ. දිව්‍ය පුත්‍ර මාරයා ගේ නම මාර නො ව ප්‍රජාපති ය. මිථ්‍යා දෘෂ්ඨික , බෞද්ධ විරෝධී , ඉහළ ම දෙව් ලොවේ නායකයා මරණයේ සංකේතයේ නාමයෙන් නම් කිරීම අරුමයක් නො වේ.
මෙයින් පෙනෙන්නේ සංකේත දේවකරණය කරන ලෙස ම (ගණ, සරස්වතී) ප්‍රාණී දෙවියන් සංකේතවලින් හැඳින්වීම ද සිදුව ඇති බව ය.මේ නිසා ඔවුන් ගේ අදහස් තරමක් සාර්ථක වුවත් මේ අර්ථ විවරණවලින් එකකට සීමා වූ ඔවුන් තම ව්‍යාපෘතිය සඳහා ත්‍රිපිටකයේ බොහෝ කොටසක් 'අමතක කළ බව' (නො තකා හැරි බව) අමුතුවෙන් කිව යුතු නැත.
සමහර දිව්‍ය ලෝක සමාන්තර බව බුදුන් වහන්සේ ම දෙසා ඇත. සංකස්ස පුරේ දී එවන් දිව්‍ය ලෝක උන් වහන්සේ මිනිසුන්ට විවර කොට පෙන්වූ සේක. සමහර දිව්‍ය ලෝකවල කාලය ගලා යන්නේ පෘථිවියට වඩා ඉතා සෙමින් ය. නිව්ටෝනීය භෞතික විද්‍යාව අනුව මුළු විශ්වයට ම ඇත්තේ එක ම කාලයකි. එකල එය අර්බුදයක් වෙන්නට ඇත.  අද අයින්ස්ටයින්ට පසු මේවා ඉතා සාමාන්‍ය දේ ය. විද්‍යාව හා සංහිඳියාවකට නො යෑමේ වරදක් අඩු ම තරමින් මේ කරුණේ දීවත් නැති බව මින් පෙනේ.
දෙවියන් පිටසක්වල ජීවීන් ලෙසත් , සමාන්තර ලෝක වාසීන් ලෙසත් විවරණය කොට හේතුවාදයේ තර්ජනයෙන් නාමිකව ගැලවීම එක් අතකට නවීන විද්‍යාව කෙරෙහි උත්ප්‍රාසයක් වන්නේ මේ සංකල්ප හේතුවාදීන් ගේ තර්ක සඳහා අතුරු මාරු කළ හැකි (interchangeable) ඒවා බැවිනි. එහෙයින් ඒවා විසඳුම් වීම ම උත්ප්‍රාසවත් ය.
මට දැන් නම අමතකව ඇති ඇමෙරිකානු ලේඛිකාවක පවසා තිබුණේ ඇයට ඇගේ ගුරුවරිය කී මේ කතාව ඉතා බලපෑම් කළ ප්‍රකාශයක් බවයි: "දැන් මිථ්‍යා කතා හා විද්‍යා ප්‍රබන්ධ අතර වෙනස තුනී වෙමින් යනවා. මලක් කතා කළා කීවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. X නම් ග්‍රහලෝකයේ මලක් කතා කළා කීවොත් කවුරුවත් අවිශ්වාස කරන්නෙත් නෑ."
මෙහි දී මට නවකතාව අධ්‍යයනය කළ Foster නම් ව්‍යුහවාදියා කී දෙයක් සිහිවේ. දෘඩ කතා වින්‍යාස (tight plots), එසේත් නැති නම් කතාවේ හොඳ ම හේතු ඵල සම්බන්ධතාවක් දක්නට ඇත්තේ සුරංගනා කතාවල හා අබිරහස් කතාවල බවයි. විද්‍යාවේ ප්‍රවාදවල විශිෂ්ටත්වයට හේතුමය දෘඩභාවය ගැන කතා කරන හේතුවාදියා ගැන අප විග්‍රහ කළ යුත්තේ කෙසේ ද? විද්‍යාත්මක ප්‍රවාද කතන්දර නම් ඒවා ලෝකයේ හොඳ ම කතන්දර බව නලින් ද සිල්වා මහතාට අභියෝග කරන හේතුවාදීහු කියතිවිය හැකි ය, එහෙත් ඊට ඔබට තරග කිරීමට සිදු වී ඇත්තේ සුරංගනා කතා සමඟ ය.
ආසනික් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් විෂයෙහි සුසමාදර්ශය හා චින්තනය
දැන් මා පෙර සඳහන් කළ පරිදි දෙවියන්ගෙන් දැනුම ලැබීම සිංහල බෞද්ධ චින්තනයේ පැවතුණේ අතීතයේ සිට ය. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ආධිපත්‍ය සමඟ බටහිර විද්‍යාව හා හේතුවාදයේ විකෘති කතිකා (discource) ආරෝපණය කරනු ලැබූ පසු ඒවාට පිළිතුරු ලැබුණේ ඒ චින්තනය අනුකරණයෙනි. දැන් මේ බටහිර විද්‍යාවෙන්වත් නව දේව මතවාදයෙන්වත් සැලකිය යුතු ප්‍රයෝජනයක් ගැනීමට ඔවුහු අසමත් වූ හ.

දැන් නලින් ද සිල්වා මහතා කළේ පැරණි දේව සංකල්පය වෙනසක් නැතුව ම සුසමාදර්ශ මාරුවක්වත් නැතිව ම නැවත මතු කිරීම ද? පැරණි දේව සංකල්පය මතු වීම මෙහි අතුරු ඵලයක් වුව ද, කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන පරීක්ෂණයේ දී දේව සංකල්පය භාවිතයේ පැරණි ප්‍රවේශයට පැහැදිලි වෙනසක් වූ බැවින් සුසමාදර්ශ වෙනසක් නො වූ බව කීමට මැළි වෙමි. එහෙත් මෙය සිංහල බෞද්ධ චින්තනය තුළ ම සිදුවූ සුසමාදර්ශ වෙනසකි.
බටහිර විද්‍යාවේ හිඩැස?
බටහිර විද්‍යාවේ ක්‍රමය පිළිබඳ සංවාදයේ ගැලීලියෝ සිට ෆෙයරබාන්ඩ් දක්වා ම , ෂෙල්ඩ්‍රේක් ආදීන් දක්වා ම වෙනස් නො වුණු එක් සංකල්පයක් වන්නේ කල්පිතයයි (hypothesis).කල්පිතයක් පරීක්ෂා කිරීම, 'තහවුරු කිරීම', ඒත්තු ගැන්වීම බටහිර සිදු කෙරේ.

දැන් කල්පිත ඇතිවන්නේ කෙසේ ද? බටහිර විද්‍යාවේ දී මෙය පවතින්නේ බුද්ධිවාදී /හේතුවාදී (rationalism), අනුභූතවාදී (positivism) , ආනුභවිකවාදි (empiricism) ආදී කිනම් දර්ශනයකට වුවත් පිටතිනි, කල්පිතයක් පහළ වීම පවතින්නේ. මෙය කිනම් විධිමත් ආකෘතියකටවත් ගත නො හැක්කක් බවට අතීතයේ සිට ම සැකයක් නො විණි. කල්පිත සපයා ගැනීමට බටහිර විද්‍යාව ක්‍රමවේද නො ඉල්ලයි.
ප්‍රතිභානය (intellect) මගින් එන අදහසක්, මිතුරකු කී දෙයක්, පෙම්වතා පෙම්වතිය ලෙස කී නැතිනම් අසනු ලැබූ බොළඳ කතාවක්, අදහස් අතර පටලා ගැනීමක් , ඇතැම් විටක මනසට එන විකාර සිතුවිල්ලක් , සිහිනයක්, කුඩා දරුවකු පැවසූ දෙයක්, විෂය නො දන්නා අයකු පැවසූ 'හිස්' කතාවක් , පිස්සෙක් පැවසූ දෙයක්, වැරදි ලෙස අවබෝධ කරගත් දෙයක්, පටලා ගත් රූපීය සමානකමක්, ‍යමකට විරුද්ධ වීමේ ප්‍රබල වුවමනාවක්, සංවාදයක දී අනිත් පසින් හෝ තමා අතින් ඉදිරිපත් වන තමන්වත් තේරුම නො දන්නා ප්‍රකාශයක් වැනි දේ පවා (මහින්ද පතිරණ මහතා සිහිවන්නේ ඇයි දැයි නො දනිමි.) කල්පිතයක මූලාරම්භය විය හැකි ය. මෙසේ ඉතා විශාල පරාසයක පැතිරෙන කල්පිතයක සම්භවය සැලකීමේ දී එයින් දෙවියකු කී දෙයක් යන්න ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැත.
ඔබට කල්පිතයක් ලෙස වඩා විශ්වාසනීය වන්නේ කෙකුලේ සිහිනයෙන් දුටු බෙන්සීන් පිළිබඳ අදහස ද, අසාර්ථක පරීක්ෂණයක් නිසා චිත්ත ව්‍යාකූල භාවයට පත් වූ - ඔළුව විකාර වූ - අයකු රට හාවුන්ගෙන් ක්‍රෝධය පිට කර ගැනීමට අධිමාත්‍රාවෙන් නියැදිය එන්නත් කිරීමෙන් පෝලියෝ රෝගයට හේතු සොයා ගැනීමේ කල්පිත ද, නාථ දෙවියන් කී ආසනික් ද? මීට පක්ෂග්‍රාහී වීමෙන් මිස පිළිතුරක් දිය හැකි යැයි නො දනිමි.
ආසනික් පරීක්ෂණය
කෘෂි රසායන වකුගඩු රෝගයට හේතු සෙවූ පරීක්ෂණය ප්‍රකටව ඇත්තේ ඉහත නමිනි. ඉතා ප්‍රසිද්ධ ලෙස මෙහි කල්පිතය ඉදිරිපත් කළේ නාථ දෙවියන් අතරමැදියන් ඔස්සේ ය. දැන් මෙහි පැහැදිලිව ම පරස්පරයක් නැති බව පෙනේ. හීන වලංගු නම් කල්පිත ගොඩනැංවීමට දෙවියන් අවලංගු වන්නේ කෙසේ ද? යමෙකුට ඒ පිළිබඳ විවරණයක් කළ හැකි නම් ඔහු ඒ පිළිබඳ පොතක් ලිවීම සුදුසු ය. විද්‍යා ඉතිහාසයේ පළමු වරට කල්පිතයක් ඇති වීම විග්‍රහ කරමින් කල්පිත නො විය හැකි ආකාරයන් දැක්වීම වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාග සියල්ල එකවර ලබා දීමට ම වටී.
දැන් අපට පෙනෙන්නේ නාථ දෙවියන්ට විරුද්ධ වීමට හේතුවක් නොමැති බව ය. නාථ දෙවියන් බටහිර විද්‍යාවේ ආසනික් වැනි සංකල්පයකින් පිළිතුරක් දුන්නේ කෙසේ ද යන්න ඇතැමුන්ට ප්‍රශ්නයකි. මෙහි දී සිදුවන්නේ භාෂා පරිවර්තනය වැන්නකි. කැවුම් යන්න oil cake ලෙස පරිවර්තනය කිරීමක් වැන්නකි. මේ භාෂා හා සංකල්ප පරතරය අතර ආතතියක් පවතී. ගැටළුවක් නැත. මේ ලැබෙන්නේ කල්පිතයකි. ඕනෑ ම වරදකින් කල්පිත බිහි විය හැකි ය. ඇත්තෙන් ම විද්‍යාවේ කතිකාව (discourse) තුළ කල්පිතයක සම්භවය නැත. නාථ දෙවියන් ගැන ඇසීමට හෝ උසුළු විසුළු කිරීම විද්‍යාත්මක කතිකාවේ කළ හැක්කක් නො වේ. නාථ දෙවියන් වෙනත් පැවැත්මක් විය නො හැකි ද යන ප්‍රශ්න පවා මේ කතිකාවේ දී අදාළ නො වේ. එය ඇත්තේ සීමාවෙන් පිටත ය.
ආසනික් ප්‍රශ්නයේ දී වැඩිපුර කතා කෙරුණු අනෙක් කරුණ නම් කිවුල් ජලයේ ආසනික් ඇති බව කීමේ පරීක්ෂණයේ දී සම්මත අගයට වඩා අම්ල භෂ්ම අගයන් මට්ටම් වෙනස් කිරීම ය. (මෙතැන දී මීට නාථ දෙවියන් ඇදගන්නේ විගඩමුන් ය.) මෙය ඊනියා විද්‍යාත්මක ප්‍රජාව අතර මහා කලබැගෑනිකට හේතු විය. මෙය ද මහා පරිමාණයේ නො සලකා හැරීම් (ignorance) මිස වෙන කිසිවක් නො වේ. පෝලියෝ රෝගයට හේතුව රෝග කාරකයාගේ විෂ දැයි සොයා බැලීමට එය රට හාවුන්ට එන්නත් කරන ලදී. කිසිදු විපර්යාසයක් සිදු නො විණි.අසාර්ථක පරීක්ෂණයේ කළකිරීමෙන් හා ශෝකයෙන් මුසපත්ව චිත්ත ව්‍යාකූලත්වයට පත් වූ -ඔළුව විකාර වූ-  පරීක්ෂකයා කෝපයෙන් යුතුව සම්මතයන්ට පිටින් අධි මාත්‍රාවලින් නියැදිය සතුන්ට එන්නත් කර අවසන් කළේ ය. ඉන්පසු සතුන්ට රෝගය වැළඳිණි. (එක් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයකු කියන්නේ ඔහු එම පරීක්ෂකයා නම් ආරම්භයේ දී ම සාන්ද්‍රණ වෙනස් කර බලන බව ය. සිදු වී ඇති දෑට 'පශ්චාත් මරණ පරීක්ෂණ' දීම සාපේක්ෂ ව පහසු බව පෙනේ. මේ වකුගඩු රෝග විශේෂඥයා මෙතරම් බුද්ධි ප්‍රභාවකින් යුතුව සිටත් නව 'සොයාගැනීමක්' කර නැත්තේ ඇයි දැයි මම මවිත වෙමි.) . 'ඔලුව විකාර වූ විට' සාන්ද්‍රණ වෙනස් කර බැලීම හොඳ නම් හොඳ සිහියෙන් එසේ කිරීමේ වරද මම නො දනිමි. සාන්ද්‍රණ වෙනස් කර බැලීම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා පරීක්ෂකයා ගේ  කාර්යභාරය විය යුතු ය.
ආසනික්වලට අමතරව කුඹුරු පස හා කිවුල ගැනත් කියන බවත් ආසනික් නොව හේතු ගොඩක් දී ඇත යන්නකුත් කියන අඳ බාලයෝ සිටිති. මේ හේතු කීම බහුවිධ හේතු ශෛලියේ එකක් නො වේ. හේතුව ආසනික් ය. ආසනික් වතුරේ දිය වූයේ කුමන ආකාරයේ සංයෝගයක් ලෙස ද එය සම්මත අම්ල භෂ්ම අගයන්වල දී පරීක්ෂණයට හසු වූයේ නැත්තේ ඇයි ද යන්න විග්‍රහ කිරීම වෙනුවෙන් කුඹුරු පසත් කිවුලත් අවශ්‍ය වේ. එනම් ආසනික් සහිත සංගත සංකීර්ණය සෑදීම විවරණය කිරීමට ඉතුරු කරුණු අවශ්‍ය වේ. ආසනික් සංගත සංකීර්ණ නො සෑදුණොත් ආස්නේට ලෙස අවක්ෂේප (precipitate) වී ජලයෙන් ඉවත් වනු ඇත.
කෘමිනාශක සම්බන්ධව මෙබඳු තත්වයක් වත් නො වුණි. පරීක්ෂණයේ දී ඒවා පරීක්ෂා වූයේ සම්මත ක්‍රමයට අනුව ම ය.
වකුගඩු රෝග පරීක්ෂණයේ දී දෙවියන් හා දැනුම අතර සම්බන්ධය ගෙනෙනු ලැබුවේ පැරණි ආකාරයට වෙනත් අයුරකිනි. බටහිර දැනුමට විරුද්ධ ප්‍රවේශයක දී බටහිර විද්‍යාව හා ආරම්භයේ ගැටීමට සිදුවන්නේ බටහිර විද්‍යාවේ භාෂාවෙන් ම ය. මෙය ආරම්භක ප්‍රවේශයකි.
විප්ලවයේ වාස්තවික තත්ව හා දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම
නිර්මාල් දේවසිරි මෙසේ කියයි:
නලින් ද සිල්වා කියන්නේ දෙවියන්ගෙන් වැඩ ගත හැක්කේ භාවනා කිරීම ආදියෙන් කිසියම් දියුණු මානසික තත්වයකට පත්වීම මගින් බවයි. එවැනි තත්වයක් සඳහා කටයුතු කිරීමට මාක්ස්වාදීන් “විප්ලවය සඳහා වාස්තවික තත්වයන් මොරා සිටින තෙක්” බලා සිටින්නාක් මෙන් බලා සිටිය යුතු නොවේ.
නිර්මාල් දේවසිරි මහතා දකින තරම් භාවනාවෙන් සිත දියුණු කිරීම සරල කරුණක් නො වේ. අදාළ භාවනා හඳුනා ගැනීමේ ගැටළුවේ සිට භාවනා කිරීමේ දී මතුවන ගැටළු හා ගතවන කාලය ද යන කිසිවක් නො සලකා කරන ලද ප්‍රකාශයක් පමණි. කොයි ආකාරයෙන් හෝ දැනුමක් නිර්මාණය කළා යැයි කියමු. මා මූලික අවස්ථාවේ ස්ටාර් තරග අනවශ්‍ය බව කීවේ මෙතනට එන තුරු ක්‍රියාවට වඩා මෙතනින් පසු ක්‍රියාව සලකා ය. එනම් මතය ප්‍රසිද්ධ කිරීම හා ඒතුගැන්වීමයි. මේ ගැන ස්ටුවර්ට් මිල් ඉතා පැහැදිලි විස්තරයක් කර ඇත.
John  Stuart  Mill  has  given  a  fascinating  account  of  the  gradual transformation  of  revolutionary  ideas  into  obstacles  to  thought. When a  new  view  is  proposed  it  faces  a hostile  audience  and excellent reasons are  needed  to gain for  it  an even moderately  fair  hearing.  The reasons  are  produced,  but  they  are  often  disregarded  or  laughed  out of  court,  and  unhappiness  is  the  fate  of  the  bold  inventors.  But  new generations,  being  interested  in  new  things,  become  curious;  they consider  the  reasons,  pursue  them  further  and  groups  of  researchers initiate  detailed  studies.  The  studies  may  lead  to surprising  successes (they  also  raise  lots  of  difficulties).  Now  nothing  succeeds  like success,  even  if  it  is  success  surrounded  by  difficulties.  The  theory becomes  acceptable  as  a  topic  for  discussion;  it  is  presented  at meetings  and  large  conferences.  The  diehards  of  the  status  quo  feel an  obligation  to  study  one  paper  or  another,  to  make  a  few  grumbling comments,  and  perhaps to  join  in  its  exploration.  There  comes  then  a moment  when  the  theory  is  no  longer  an  esoteric  discussion  topic  for advanced  seminars  and  conferences,  but  enters  the  public  domain. There  are  introductory texts,  popularizations;  examination  questions start  dealing  with  problems  to  be  solved  in  its  terms.  Scientists  from distant  fields  and  philosophers,  trying  to  show  off,  drop  a  hint  here and  there,  and  this  often  quite  uninformed  desire  to  be  on  the  right side  is  taken  as  a  further  sign  of  the  importance  of  the  theory.
නව ප්‍රවාදයක් ඇති වී එය මහජන ප්‍රචාරයට ලක්වීම මේ සංකීර්ණ ක්‍රියාවලියයි.
ෆෙයරබාන්ඩ් (Feyerabend) මෙසේ කියයි.
We can  say  today  that  Galileo was  on  the  right  track,  for  his  persistent  pursuit  of what  once  seemed to  be  a  silly  cosmology  has  by  now  created  the  material  needed  to defend  it  against  all  those  who  will  accept  a  view  only  if it  is  told  in  a certain  way  and  who  will  trust  it  only  if  it  contains  certain  magical phrases,  called  'observational  reports'.  And  this  is  not  an  exception. It is  the  normal  case:  theories become  clear and  'reasonable'  only after Incoherent  parts  of  them  have  been  used  for  a  long  time. 
ගැලීලියෝ නිරන්තරයෙන් යෙදී සිටි කලක් මුග්ධ විශ්වවේදයක් සේ පෙනුණු දෙය අද වන විට ,එක්තරා ආකාරයකින් කීවිට පමණක් කිසියම් දැක්මක් පිළිගන්නා , 'නිරීක්ෂණ වර්තා' වැනි මායාවී යෙදුම් අඩංගු නම් ම පමණක් විශ්වාස කරනා සියල්ලන්ගෙන් තමා රැකගැනීමට සමත් ලියකියවිලි නිර්මාණය කරගෙන ඇති හෙයින් ගැලීලියෝ නිවැරදි මාර්ගයේ ගිය බව අද අපට පැවසිය හැකි ය.
මේ තත්වය අපට ද අදාළ ය. දෙවියන් පිළිබඳ කවර ප්‍රවේශයක් වුවත් මේ බලය ලබා ගන්නා තෙක් බාළ බොළඳ ප්‍රතිවාදීන් ගේ විහිළුවට ලක් වීම සිදුවනු ඇත. 
නිර්මාල් දේවසිරි ගේ බටහිර විද්‍යාවේ වර්ධනය මීට ප්‍රතිපක්ෂ වූවකි යන්න සාවද්‍ය කරුණකි. මේ අදාළ තත්ව සපිරීමට පෙර ස්ටාර් තරග තැබූ ගැලීලියෝට වූ දෙයයි.
මේ කෙප්ලර් ගේ ශිෂ්‍ය හෝර්කි ගේ සටහනකි:
'I never slept on  the  24th or 25th April, day or night,  but I tested the instrument of  Galileo's  in  a  thousand  ways,  both  on  things  here  below  and  on those  above.  Below  it  works  wonderfully;  in  the  heavens  it  deceives  one, as  some  fixed  stars  [Spica Virginis,  for  example,  is  mentioned,  as  well as  a  terrestrial  flame]  are  seen  double. . I  have  as  witnesses  most excellent  men  and  noble  doctors  .  .  .  and  all  have  admitted  the instrument  to  deceive .... This  silenced  Galileo  and  on  the  26th  he sadly left  quite  early  in  the  morning  ... not  even thanking Magini  for his  splendid  meal.  .. .
මා අප්‍රේල් 24 හිත් 25 දීත් දිවා රෑ නිදි නො මැතිව ගැලීලියෝ ගේ උපකරණය දහස් අයුරකින් පොළොවේ වූ වස්තු සඳහාත් අහසේ වූ වස්තු සඳහාත් පරීක්ෂා කළෙමි. පොළොවේ එය හොඳින් වැඩ කළේ ය. ඉහළ අහසට යොමු කළ විට එහි රැවටීමක් විය. සමහර අචල තරු (Spica Virginis හා පෘථිවිය මත දැල්ලක් ආදී දෑ සඳහන් ය.) දෙගුණ වී පෙනිණි. ඉතා විශිෂ්ට මිනිස්සු හා වැදගත් ආචාර්යවරු මගේ සාක්ෂ්‍ය කරුවෝ වූ හ. ...උපකරණය රැවටීමක් බව සියල්ලෝ පිළිගත් හ.... මෙය ගැලීලියෝ නිහඬ කළ අතර ගැලීලියෝ ශෝකයෙන් 26 වෙනි දා ඉරිමා උදේ පිට වී ගියේ මාගිනී සැපයූ ප්‍රණීත ආහාරවලටවත් ස්තූති නො කරමිනි.
අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු.
මේ ප්‍රවේශයේ අප දෙවියන්ගෙන් ලබා ගන්නේ කල්පිත නිසාත් භාෂා අතර ආතතිය නිසාත් කාලය නියම කොට ප්‍රයෝජ්‍යතා ඇසීම විහිළුවකි. කල්පිතයක් ප්‍රවාදයක් වීම සංකීර්ණ ක්‍රියාවලියකි. කල්පිතවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට කාල රාමු දෙන්නේ කෙසේ ද? මේ තර්කය සඳහා බටහිර විද්‍යව හා සිංහල බෞද්ධ දේව සංකල්පය අතුරු මාරු කළ හැකි ය (interchangeable). එහෙයින් මෙය අප කෙරේ යෙදිය නො හැකි ය.
මෙතැන දී නිර්මාල් දේවසිරි තාක්ෂණය ගැන කියයි. ඔහු අමතක කරන්නේ පශ්චාත්නූතනවාදය තුළ පවා ප්ලේටෝ ගේ episteme , techni යුගල ප්‍රතිපක්ෂය සැලකෙන බව ය. එනම් තාක්ෂණය මතින් බිහිවන විද්‍යාව තාක්ෂණය පාගා ඊට ඉහළින් නැඟී සිටින බව ය. ශිල්ප මතින් බිහිවන ශාස්ත්‍ර ශිල්පවලට උසස් ලෙස නැඟී සිටින බව ය. නූතනත්වය යටතේ මෙහි සත්‍යතාවක් ඇත.
ස්විෆ්ට් ගලිවර් ගේ චාරිකා කෘතියේ තුන්වන චාරිකාවේ බැල්නිබාරි (balnibari) දේශයෙන් ශිල්ප හෙවත් තාක්ෂණික දැනුම ද , ලාපුටාව (laputa) මඟින් ශාස්ත්‍රීය දැනුම ද නිරූපණය කරයි. ලාපුටාව ඉහළින් සිටිමින් බැල්නිබාරිය ද්‍රව්‍ය හෙළීමෙන් (ශාස්ත්‍රීය ප්‍රයෝගවලින්) යටත් කරගෙන ඇත. ලාපුටාවේ මිනිසුන්ට නො තෙමෙන්නට ගෙයක් සාදාගැනීමට බැරි වුවත් ඔවුන් බැල්නිබාරි ය යටත් කරගෙන සිටිති.
සිංහල ජනතාව තුවක්කු බලා අති විශිෂ්ට තුවක්කු සෑදූ ජනතාවකි. මේ ශිල්ප දැනුම් නිදහස්ව ලබා ගත් දේය. ආරෝපිත කරන උපරිම ප්‍රයෝජන ගත නො හැකි දැනුමක් පැටවිය හැක්කේ, ශිල්පවල වැදගත් බව පෙන්වා ඒ මත ආධිපත්‍යය පිහිටුවා ඇති ශාස්ත්‍ර ආරෝපණය කිරීමෙනි. එසේ කළ පසු ශිල්පයේ උපරිම භාවිත කිරීමේ හැකියාව ආරෝපිත වූ ශාස්ත්‍රය නිසා වැසී යයි. ශිල්ප ශාස්ත්‍ර තරම් තදින් ආරෝපණය කළ නො හැකි අතර නො බෝ කලකින් තමා ගේ ම ක්‍රමයට ගැනීමට මිනිසුන්ට වැඩි පළපුරුද්දක් ඇත. ශිල්ප පොදු ජනතාවගෙන් පැන නඟිද්දී ශාස්ත්‍ර පැන නැඟුණේ අධිපති ප්‍රජාවකගෙනි. අධිපතිවාදී ලක්ෂණ බෙහෙවින් ඇත්තේ ශාස්ත්‍රවලයි. ආරෝපණය කිරීමේ උපක්‍රමවලින් ශාස්ත්‍රය ගහණ ය.
සමඟි පෙරමුණ ආණ්ඩුවේ කාර්මික අධ්‍යාපන ප්‍රතිපත්තිය පවා අසාර්ථක වීමට බලපෑ මූලික ම කරුණක් නිර්මාල් දේවසිරි ගේ පඨිතය (text) විසංයෝජනයෙන් ම දැකගත හැකි ය. කාර්මිකැරලි ඇති වූ විට හිරු එළිය රහිත කරමින් බැල්නිබාරිය වසාලන ලාපුටා දේශයේ සෙවණැල්ලට, යටකොට ය. ශිල්පවල නිදහස් වර්ධනය හා අවශෝෂණය මකා ලන උපක්‍රමයක් ලෙසභාවිත කරමිනි.
කාර්මික විද්‍යාල ආදියේ පවා ශිල්ප ඉගැන්වූයේ ශාස්ත්‍රයේ සෙවණැල්ලට, 
බටහිර තාක්ෂණය ඔස්සේ විද්‍යාව ප්‍රචලිත වූවාට වඩා සිදු වූයේ තාක්ෂ්ණයේ පැතිරීම පවත්වා ගනිමින් යටත් විජිතවල තාක්ෂණය අවශෝෂණය වීම හා වර්ධනය වීම වළක්වන අඳුරු සෙවණැල්ල වශයෙන් , කෙවිට වශයෙන්, බැඳ ඇති කඹය  ලෙසින් තාක්ෂණය සමඟ බටහිර විද්‍යාව ඈඳා යැවීමයි.
එස්.ඒ. වික්‍රමසිංහ සිද්ධිය මෙතනට අදාළ නැත. එස්. ඒ. වික්‍රමසිංහ ගේ අරමුණ වෙන එකකි. ඔහු බටහිර විද්‍යාවට නිර්මාණයක් කර නැත. නිර්මාණය කර ඇති දේ භාවිත කළා පමණි. මේ කර්තව්‍යයේ දී අධිපතිවාදයෙන් ඔහුට න්‍යායික විරෝධයක් නැත. එහි ද ඇත්තේ ක්විනීන්හි මූල ඇමරිකානු සම්භවය විද්‍යාවේ ශාස්ත්‍රීයත්වයෙන් මකා දැමීමකි. එහි දී බටහිර විද්‍යාව හෝ විකල්ප භාවිත වූයේ දැනුම පිළිබඳ කරුණට අදාළව නො වේ.
අවසාන වශයෙන් කිව යුත්තේ දේවසිරි නම් පිටතින් සිටින කේන්ද්‍රය තම කඳවුරේ නිදහස් ක්‍රීඩනය (free play)  දෘශ්‍යමාන වීම රැක ගැනීමට මේ සංවාදයේ දී ගෙන ඇති උත්සාහය අප ගේ පැසසුමට ලක් වන බවයි. ස්ටාර් තරග වැනි තර්ක පවා පවත්නා සන්දර්භයන් මතු කිරීමට ගත් උත්සාහය අගය කළ යුතු ය. ඇත්තෙන් ම මෙවන් කේන්ද්‍රයක් පවතින පද්ධතියක සිටින අයට තමාගේ නිදහස් ක්‍රීඩනයේ යෙදෙන අතරතුර දී ම කේන්ද්‍රය ගැන සියුම් ගෞරවයක් ද යටි සිතේ ඇති කර ගත හැකි වනු ඇත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions