6/27/2017

සයිටම් විරෝධී අරගලය යුක්තිය, සාධාරණත්වය, නීතිගරුක බව හා ශිෂ්ටත්වය වෙනුවෙන් කෙරෙන සටනකි.

කතෘ:යුතුකම     6/27/2017   No comments

එක් පසෙකින් රට බෙදන ව්‍යවස්ථාවකට අවශ්‍ය සියලු අවශ්‍යතා සැකසෙමින් තිබේ. අනෙක් පසින් එට්කා වැනි ද්‍රෝහී ගිවිසුම් හරහා  රට ඉන්දීය කොලනියක් කිරීමේ මෙහෙයුම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අතර හවුල් ආණ්ඩුව සුද්දාගේ පාලන යුගයෙන් පසු මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අති පූජ්‍ය භික්ෂූන් වහන්සේලා අලජ්ජී මර්දනයකට හසු කරමින් තිබේ.

මේ සියලු ව්‍යසන මැද සයිටම් විරෝධී අරගලයද එහි උච්ච ස්ථානයට පත්ව තිබේ. යුතුකම සංවාද කවයේ සංවිධානයෙන් මේ වසරේ පෙබරවාරි 16දා  "තරුණයා , වෛද්‍යවරයා සහ සයිටම් " යන මැයෙන් පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මේ පිළිබඳ ගැඹුරු කතිකාවක් ඇති කිරීමට මැදිහත් වූ අතර ඇතිවී ඇති නව ප්‍රවනතා ගැනත් සයිටම් විරෝධී අරගලය යුක්ති යුක්ත කළ යුත්තේ ඇයිද යන කාරණය පිළිබඳවත් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවක සටහනයි මේ.



සයිටම් විරෝධී අරගලය
නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය රැක ගැනීමට පමණක් නොව
යුක්තිය, සාධාරණත්වය, නීතිගරුක බව හා ශිෂ්ටත්වය වෙනුවෙන් කෙරෙන සටනකි.

ප්‍රශ්නය : සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් වන්නේ කෙසේ ද? රජයේ වෛද්‍ය පීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව වැඩි කරන බව රජය කියනවා...?

රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයට වඩා, නැගෙනහිර විශ්ව-විද්‍යාලයයේ වෛද්‍ය පීඨයට වඩා ප‍්‍රවීණ ආචාර්ය-මහාචාර්යවරු සයිටම් ආයතනයට සේවය කරන බව කියන්නේ සයිටම් අයිතිකාරයා විතරක් ද? වත්මන් උසස් අධ්‍යාපන ඇමැති වගේ ම හිටපු උසස් අධ්‍යාපන ඇමැතිත් පුනපුනා එ් බව කියනවා. ඉතා ව්‍යාජ ලෙස ආරම්භ කළ, වෛද්‍යවරුන් පුහුණු කිරීමට රෝහලක් පවා නොමැතිව වෛද්‍ය අධ්‍යාපනයක් දීමට මේ රටේ ජනතාව ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගත්, වෛද්‍ය උපාධියක් පිරිනැමීමට රටේ නීතිය අනුව අත්‍යාවශ්‍ය වන වෛද්‍ය සභාවේ අනුකුලතා සහතිකය අදටත් ලබා ගැනීමට අසමත් වී ඇති ව්‍යාපාරයකට රජයේ වෛද්‍ය පීඨවලට වඩා හොඳ ආචාර්ය මණ්ඩලයක් ඇති බව රාජ්‍ය විශ්වවිද්‍යාලය පිළිබඳ වගකීම දරන උසස් අධ්‍යාපන ඇමැතිතුමා ම ආඩම්බරයෙන් කියනවා නම් නිදහස් වෛද්‍ය අධ්‍යාපනයට අත්වන ඉරණම පිළිබඳ තවත් අටුවාටීකා අවශ්‍ය ද? මේ ඇමැති ගේ වගකීම විය යුත්තේ, රජයේ වගකීම විය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට උසස් ම ආචාර්ය මණ්ඩලයක් සම්පාදනය කරදීම නොවේ ද? එ් වෙනුවට, ”අපේ වෛද්‍ය පීඨ මොන වෛද්‍ය පීඨ ද, කෝ එ්වාට ආචාර්ය-මහාචාර්යවරු, කෝ එ්වාට පහසුකම්, අනේ කෝ අපට මුදල්, ප‍්‍රමිතිය ගැන කතා කරන්න ගියොත් ඉස්සෙල්ලාම රජයේ එ්වා වහන්න වේවි. එ්කට සයිටම්, අන්න නියම තැන” කියලා රටේ උසස් අධ්‍යාපන ඇමැති කියනවා නම්, සෞඛ්‍ය ඇමැති කියනවා නම්, රජය කියනවා නම් සයිටම් ස්ථාපිත වුණොත් රජයේ වෛද්‍ය පීඨවල ඉරණම ගැන කවර කතා ද?

මේ උසස් අධ්‍යාපන ඇමැති, වංචනිකව කටයුතු කරන ආයතනයක තරමටවත් ප‍්‍රමිතියක් තමන් යටතේ ඇති ආයතනවල නැති බව කියමින් එය නිවැරැදි කිරීමට පියවර ගැනීමකින් තොරව එ් ඇමැතිකමේ ම සිටීම අපි තේරුම් ගත යුත්තේ කෙසේ ද?
අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක්. එ්ත් 2016 අය-වැයෙන් අධ්‍යාපනයට 3%ක් වත් වෙන් නොකර තිබිය දී යි, ”කෝ අපට මුදල්, කෝ අපට සම්පත්” කියා මේ ඇමැතිවරු අහන්නේ. පසුගිය රජය පවතිද්දී අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ, පෙළපාලි ගිය විශ්වවිද්‍යාල ආචාර්ය-මහාචාර්යවරු අද 6% නිකමට මතක් නොකිරීම කොතරම් දුෂ්ට ද? අද විශ්වවිද්‍යාල සිසුන් ගේ පමණක් නොව දෙමවුපියන් ගේ ද උද්ඝෝෂණ කුරිරු ලෙස මර්දනය කරද්දී ඊට එරෙහි ව මේ ආචාර්යවරුන් ගෙන් එක ප‍්‍රකාශයක්, එක විරෝධතාවක් නොමැති වීම ඔවුන් එදා එ් 6% සටන්පාඨය යොදාගෙන ඇත්තේ දුෂ්ට අරමුණකින් බව මොනවට කියාපානවා.

ප්‍රශ්නය :දැන් බොහෝ විෂයන් හා සම්බන්ධ උපාධි මුදලට ලබා ගැනීමේ අවස්ථාව විවෘත වී තිබෙනවා. එතකොට වෛද්‍ය උපාධිය පමණක් රැකගැනීමට දරණ ප‍්‍රයත්නයේ අර්ථයක් තියෙනවා ද?

රජයේ ඇමැතිවරයෙක් කියලා තිබුණා සයිටම් ජනසතු කරනවා නම් ‘මොන්ටිසෝරිත්’ ජනසතු කරන්න කියලා. දැන් මේ අය කියනවා ද අපේ රටේ වැඩි දෙනෙකුට වාහන නැහැ, එ් නිසා අපිටත් ප‍්‍රාඩෝ, ලෑන්ඞ්කෲසර්, බෙන්ස් එපා කියලා. මේ ඇමැතිවරු මන්ත‍්‍රීවරු කියනවා ද රටේ කාටවත් අවුරුදු පහක් රැකියාව කරලා විශ‍්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ, එ් නිසා අපිට මේ විශ‍්‍රාම වැටුප එපා කියලා? මේ අය කළේ තමන් ගේ සාක්කු හොඳට පුරවගනිමින් රජයේ සේවකයා ගේ විශ‍්‍රාම වැටුපත් කපපු එක, ආබාධ වීම නිසා සේවා කාලය සම්පුර්ණ කරන්න බැරිවූ රණවිරුවන් විශ‍්‍රාම වැටුප ඉල්ලූ විට ගහපු එක.

දැන් මොන ක්ෂේත‍්‍රයක වුවත් අධ්‍යාපනය, හැකියාව (දක්ෂතාවය) හා අවශ්‍යතාවය මත තීරණය විය යුත්තක් මිස පොහොසත් දුප්පත් බව මත තීරණය විය යුත්තක් නොවේ. එ් නිසා මොන ක්ෂේත‍්‍රයක වුවත් අධ්‍යාපනය ලැබීමේ හැකියාව දක්ෂතාවය හා අවශ්‍යතාවය මත තීරණය වීම තමයි ශිෂ්ට. ඒක එක ක්ෂේත‍්‍රයක සිදු නොවීම තවත්් ක්ෂේත‍්‍රයක් අශිෂ්ට කිරිමට හේතුවක් ද?

එ පමණක් නොවේ. වෛද්‍ය අධ්‍යාපනය විශේෂයි. වෛද්‍ය අධ්‍යාපනය සඳහා දැරිය යුතු වන පිරිවැය ඉතා අධික වීම එසේ විශේෂ වීමට බලපාන එක හේතුවක්. මේ නිසා ම අධ්‍යාපනය වියදම් කළ හැකි මුදල මත තීරණය වීමේ දී, වෛද්‍ය අධ්‍යාපනය ලබා ගත හැකි වන්නේ සමාජයේ ඉතා ම සීමිත පිරිසකට පමණයි.

වෛද්‍යවරයා සපයන සේවය ඉතා සුවිශේෂී වීම තවත් හේතුවක්. අනික් බොහෝ සේවාවන් ජීවන තත්වය උසස් කර ගැනීම සඳහා ලබා ගන්නා සේවාවන්. එ්ත් වෛද්‍යවරයා මත රෝගීන් ගේ ජීවිතය ම රැඳී පවතිනවා. වෛද්‍යවරයන් ගේ ප‍්‍රමිතිය සහතික කරදීම ශිෂ්ට සමාජයක මූලික වගකීමක් වන්නේ මේ නිසා යි.

එ් විතරක් නොවෙයි, අපේ සමාජයේ වෛද්‍යවරයෙක් වීම සමාජ ස්ථාරයණයේ ප‍්‍රධාන මාවතක්. දුප්පත් පවුලක දරුවෙක් වෛද්‍යවරයෙක් වීම, මුදල් අතින් පමණක් නොවේ, සමාජ පිළිගැනීම අතින් ද එ් පවුල ම ඉහළට ඔසවා තබන සාධකයක්. හැකියාව මත, දක්ෂතාවය මත, තමා ගේ දරුවා රජෙක් කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ බලාපොරොත්තුව, මේ මාවත, රැක ගැනීම සමාජ සාධාරණත්වය ගැන අබමල් රේණුුවක පමණවත් තැකීමක් ඇති හැම ගේ ම යුතුකමක්. උසස් පෙළ සාමාන්‍ය සමාර්ථ ඇති මොණරාගල දරුවන් වෛද්‍යවරුන් වෙද්දී ඊට වඩා හොඳ සාමාර්ථ ගත් කොළඹ දරුවන්ට එ් අවස්ථාව නැතිවන බව කියමින් වත්මන් සමාජ සවිබල ගැන්වීමේ ඇමැති (හිටපු උසස් අධ්‍යාපන ඇමැති* සයිටම් වෙනුවෙන් වැළපීම දුෂ්ට අපරාධයක් වන්නේ මේ නිසා යි. මොණරාගල, නුවරඑළිය, මඩකලපුව, කිලිනොච්චි වැනි දිස්ත‍්‍රික්කයකින් වෛද්‍යවරයෙක් බිහිවීම මඟින් එ් පවුලට, එ් ගමට, එ් පළාතට හා පොදුවේ සමාජයට අත්වන ශාන්තිය සමඟ වෛද්‍ය වෘත්තිකයන් ගේ ම පවුලකින් නැතිනම් ඉහළ සමාජ පවුලකින් තව වෛද්‍යවරයෙක් බිහි වීම සැසදිය හැකි ද?

ප්‍රශ්නය :කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය මඟින් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන මධ්‍ය මහ විද්‍යාලය පිහිටවූ නමුත් මුදලට අධ්‍යාපනය ලබා දීමේ අවකාශය අහිමි නොකළ බවත්, සෙන්ට් තෝමස්, සෙන්ට් ජෝෂප්, සෙන්ට් බි‍්‍රජට්, ලේඞීස්, ටි‍්‍රනිටි වැනි පාසල් අදටත් පවතින්නේ එ් නිසා බවත් පැවසෙනවා....?

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආවේ ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමටත් පෙර යි. එ් නිසා බි‍්‍රතාන්‍යයන් ගේ ආධාර අනුබලය මත පිහිටුවා තිබූ පෞද්ගලික නැතිනම් ආගමික පාඨශාලා රජයට පවරා ගැනීමට යෝජනා කිරීමේ පසුබිමක් හෝ හැකියාවක් හෝ එදා තිබුණේ නැහැ. එ්ත් අප රටේ අධ්‍යාපනයේ අනාගත දිශානතිය එතුමා පැහැදිලිව එහි දී පෙන්නුම් කළා. 1945 දී සම්මත කරන ලද පනතේ පළමු නිගමනය පහත දැක්වන පරිදි යි: ”රාජ්‍ය පාඨශාලා හා ආගමික පාඨශාලා ක‍්‍රමය දැනට තිබෙන පාඨශාලා පිළිබඳ ව පමණක් ගෙන යා යුතු ය. එහෙත් සියලූ ම වර්ගයේ පාඨශාලා අලූතෙන් පිහිටුවීමට ඇති අයිතිය මින් පසු තිබෙන්නේ රජයට පමණකි.”

මේ සම්බන්ධයෙන් 56 පෙරළියට මූලික වූ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ වාර්තාව කියන්නේ කුමක් ද? ”1945 දෙසැම්බර් 15 වැනි දිනට පසුව අලූත් පාසල් පටන් ගැනීම රජයට පමණක් භාර විය. මේ නිගමනය අපිි ද අනුමත කරමු. ඉන් පසු හැම වර්ගයක ම පාසල් රජය විසින් ම පිහිටවිය යුතු ය. එ පමණක් ද නොව දැන් පවත්වාගෙන යනු ලබන සියලූම ආගමික පාසල් රජයට භාරගෙන රජයේ පාසල් හැටියට පවත්වාගෙන යා යුතු ය.”

බණ්ඩාරනායක මහතාට එ් සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. එතුමාව ඝාතනය කළා. මේ ක‍්‍රියාවලියට නායකත්වය දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය යි. එතුමිය ගේ රජය බලයෙන් පහ කිරීම ඉලක්ක කරගත් හමුදා කුමන්ත‍්‍රණයන් පවා මේ නිසා සැලසුම් කෙරුණා. සියලූ පාසල් රජයට පවරාගන්න යන එ් යෝජනාව සියයට සීයක් ක‍්‍රියාවට නොනැඟීම අතිපූජ්‍ය මඩිහේ මහ නාහිමිපාණන් විග‍්‍රහ කොට තිබුණේ මේ රටේ බහුතරයක් ජනයා පාවා දීමක් හැටියට යි.

ප්‍රශ්නය :සයිටම් ආයතනය නිදහස් සෞඛ්‍යයටත් තර්ජනයක් ද?


නිසැක ලෙස ම. මෙ රට වෛද්‍ය වෘත්තිකයන් ගේ ප‍්‍රමිතිය සහතික කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ නොතකා හරිමින්, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, ජනමාධ්‍යය ආදී ආයතන සියල්ල අපහරණය කරමින් ප‍්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවයට ඇතුළත් කරවීමට සයිටම් ආයතනය සමත් වුවහොත් සිදුවන්නේ කුමක් ද? නිදහස් සෞඛ්‍ය සේවයේ පමණක් නොව සමස්ත සෞඛ්‍ය සේවයේ ම ප‍්‍රමිතිය, විශ්වාසය බිඳවැටීම නොවේ ද? රෝගී ජීවිත අනතුරට ලක්වීම නොවේ ද?

ප්‍රශ්නය : සයිටම් උපාධිය ප‍්‍රමිතියෙන් තොර ය යි පවසන්නේ කෙසේ ද?

වෛද්‍ය සභාව යනු වෛද්‍ය වෘත්තිකයන් ගේ හා වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය සහතික කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කර පවත්වාගෙන යන ආයතනය යි. සයිටම් ආයතනයේ වෛද්‍ය පඨමාලාවන්හි හා සායනික පුහුණුවේ අඩුපාඩු පෙන්වා දී තිබෙන්නේ වෛද්‍ය සභාව විසිනුයි.

දැන් සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලැබූ බව කියන ශිෂ්‍යාවක්් සයිටම් ආයතනය, සෞඛ්‍ය ඇමැති, උසස් අධ්‍යාපන ඇමැති ආදීන් වග උත්තරකරුවන් කර නඩුවක් පැවරූ විට, සෞඛ්‍ය ඇමැති, උසස් අධ්‍යාපන ඇමැති, නීතිපති මේ රටේ ව්‍යවස්ථාදායකය මඟින් පිහිටුවා පවත්වා ගෙන යන වෛද්‍ය සභාවේ ස්ථාවරය වෙනුවෙන් පෙනී නොසිට සයිටම් උපාධිය නොපිළිගැනීම වරදක් බවට උසාවියට කරුණු කීම නිසා උසාවිය එ් ශිෂ්‍යාවට තාවකාලික ලියාපදිංචිය දෙන ලෙස වෛද්‍ය සභාවට නියෝග කළා ම, මේ ඇමැතිවරු, ”අන්න හරි, වහා ම සයිටම් උපාධිය පිළිගන්න, ආයේ කතා එපා,” කියලනේ රටට ම කිව්වේ.

සිරගතවීමේ පවා අවදානම නොතකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, ”කවුරු කිව්වත් ප‍්‍රමිතියෙන් තොර අයෙකුට වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචිය දිය නොහැකි ය” යි කළ අභීත ප‍්‍රකාශය හේතුවෙන්, එ් ප‍්‍රකාශය වෙනුවෙන් සමස්ත වෛද්‍ය සභාව ම පෙනී සීටීම හේතුවෙන්, යුක්තිය ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය ආදිය සටන් බිමට පිවිසීමේ හේතුවෙන් අද මේ අය කියන්නේ කුමක් ද?

සයිටම් වෛද්‍ය උපාධිය වහා ම පිළිගනු, එ් ගැන ආයේ කතා නොකරනු කියූ ඇමතිවරු ම අද කියනවා, එ් සිසුන් ගේ පුහුණුව සම්පූර්ණ කිරීමට තව මාස 06ක් සයිටම් රෝහලෙන් පරිබාහිරව රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙනවා ය, දැනුම තිබේ දැ යි පරීක්ෂා කිරීමට වෛද්‍ය සභාව සහභාගී කරගෙන තව විභාගයකට වාඩි කරවනවා ය කියා.

එතකොට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගේ අභීත පෙනී සිටීම නිසා නොවන්නට පුහුණුව සම්පූර්ණ නැති, දැනුම ගැන සෑහීමකට පත්විය නොහැකි පිරිසක් අපේ රටේ වෛද්‍ය වෘත්තියට ඇතුළු වෙනවා නේ ද? මෙ තෙක් කල් නියාමනයක් සහිත ව, ප‍්‍රමිතියකට අනුව පවත්වා ගෙන ආ අපේ වෛද්‍ය අධ්‍යාපනය හා වෛද්‍ය වෘත්තිය සහමුලින් ම බිඳ වැටෙනවා නේ ද?

දැන් සයිටම් ආයතනයේ කිසි ම අඩුවක්, පළුද්දක් නැතැ යි කී ඇමැතිවරු ම එහි ප‍්‍රමිතිය වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කරනවා. අඩුගානේ දැන්වත් විසදුම් නිර්දේශ කිරීමට එ් සඳහා පිහිටුවා ඇති වෛද්‍ය සභාවට ඉඩ දෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දී ඇති පරිදි, මේ දේශපාලන උන්මන්තක භාවය මිස වෙන කුමක් ද?

ප්‍රශ්නය :වෛද්‍යවරු මේ සටන කරන්නේ තමන් ගේ වරප‍්‍රසාද රැකගැනීමට යැ යි කියැවෙනවා?

මේ අරගලය වෛද්‍යවරුන් ගේ වරප‍්‍රසාද රැකගැනීම වෙනුවෙන් කරන සටනක් ය යන්න මොනතරම් ජුගුප්සාජනක ප‍්‍රකාශයක් ද? මේ වංචනික ආයතනය පවත්වා ගෙන ගියොත් ඊට අනුග‍්‍රහය දක්වන දේශපාලඥයන් හැරුණු කළ එ් මාර්ගයෙන් තමන් ගේ දරුවන් ප‍්‍රමිතියෙන් තොර හෝ වෛද්‍යවරුන් කරගැනීමේ වැඩිම ඉඩක් තිබෙන්නේ වෛද්‍යවරුන්ටනේ.... තව මේ ආයතනයේ විශේෂ දේශන පැවැත්වීම, පුහුණුව ලබා දීම, විභාග පැවැත්වීම ආදිය මඟින් අමතර ආදායම් ඉපයීමේ අවස්ථාව විවර වන්නේත් වෛද්‍යවරුන්ට ම යි. රජයේ සේවයෙන් විශ‍්‍රාම ගියාම තව දුරටත් ආදායම් වරප‍්‍රසාද ලැබීමටත් වෛද්‍යවරුන්ට මේ ආයතනය යොදා ගත හැකි යි. මේ සියල්ල පසෙක ලා වෘත්තීය ගෞරවය රැකගැනීමට, ප‍්‍රමිතිය හා නියාමනය ආරක්ෂා කර ගැනීමට වෛද්‍යවරු කරන අරගලය මේ කුණු වී දුගඳ හමන සමාජයට මහත් ආදර්ශයක්, සත්පුරුෂ ආදර්ශයක්.

ඇත්තට ම මෙය ගුරුවරුන්, හෙදියන්, ලිපිකරුවන්, ප‍්‍රවාහන සේවකයන් ආදී වෘත්තිකයන් පෙරමුණ ගත යුතු අරගලයක්. ඔවුන් ගේ දරුවන්ට ඇතුළු වීමට ඉඩ නොලැබෙන නව බමුණු කුලයක් ගොඩනැඟීම සයිටම් වැනි ආයතන ස්ථාපිත වුවහොත් වැළැක්විය නොහැකි යි. තමන් ගේ වෘත්තිය, තමන් ගේ පන්තිය පාවාදීම වෙනුවෙන්, සයිටම් ආයතනයට කඬේ යන හෙද සංගම් නායකයන් ය යි කියාගන්නන් වැනි අයට පරිහරණයට ප‍්‍රාඩෝ ලැබෙන්න පුළුවන්, ජීනීවා සංචාර ලැබෙන්න පුළුවන්, එ්ත් හෙදි සොහොයුරු-සොහොයුරියන් ගේ දරුවන්ට අද විවර වී තිබෙන අනාගතයකුයි මේ මඟින් වසා දැමෙන්නේ.


ප්‍රශ්නය: විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, ජනමාධ්‍යය - ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පදනම වන මේ ආයතන සියල්ල සයිටම් ආයතනය මඟින් අපහරණය කෙරෙන බව ප‍්‍රකාශ වුණා?
පසුගිය දා ජාතික රූපවාහිනියේ මූලිකත්වයෙන් සියලූ රජයේ හා ප‍්‍රධාන පෞද්ගලික රූපවාහිනී නාලිකා ඔස්සේ පැය ගණන් විකාශනය වුණු වැඩසටහන සලකා බලන්න.
එ් වැඩසටහනට අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා සහභාගී වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා මාහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ‍්‍රරෝ හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරු 4 දෙනා ම රජයේ වැටුප් හා අනෙකුත් පහසුකම් ලබන අය. රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රජයේ රෝහල්, රජයේ වෛද්‍යවරු හා රෝගීන් පිළිබඳ මූලික වගකීම් දරන අය. එ් සාකච්ඡුාවට සයිටම් ආයතනය වෙනුවන් කිසිවෙක් සහභාගී නොවුණාට මේ හතර දෙනා ම අදහස් දැක්වූයේ එ් ආයතනය වෙනුවෙන්!
වෛද්‍ය වෘත්තිකයන් හා වෛද්‍ය අධ්‍යාපනය නියාමනයට පිහිටුවා ඇති වෛද්‍ය සභාව වෙනුවෙන්, රජයේ සේවයෙහි යෙදෙන වෛද්‍යවරු වැඩි ම පිරිසක් සාමාජිකත්වය දරණ නිල වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන්, විශ්වවිද්‍යාල පනත අනුව පිහිටුවා ඇති වෛද්‍ය පීඨ ශිෂ්‍ය සභා වෙනුවෙන්, වෛද්‍ය පීඨ ආචාර්යවරුන් වෙනුවෙන් එක අදහසක් කියන්න එක් කෙනෙක් සහභාගී කර ගත්තේ නැහැ.
සයිටම් යනු උපාධි මුදලට අළෙවි කරන ආයතනයක්. වෙළෙඳ ආයතනයක් වෙනුවෙන් මේ විදිහට ජනමාධ්‍ය අපහරණය කළ අවස්ථාවක් ඔබට සිහිපත් කළ හැකි ද?
ජනවාරි 08 වෙනිදා වෙනසට මුල් වූ අය ගේ එක් ප‍්‍රධාන ම අදහසක් වූයේ ජනතාව ගෙන් වරමක් ලද විධායක ජනතධිපති ගේ තීන්දු තීරණ පවා ව්‍යවස්ථාදායක මණ්ඩලයක නිර්දේශයන්ට යටත් කළ යුතු බව නේ ද? 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මූලික ව ම මේ සඳහා. එතකොට වෛද්‍යවරුන් ගේ හා වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ම පිහිටුවා ඇති වෛද්‍ය සභාවේ නිර්දේශ නොතකා සෞඛ්‍ය ඇමති කටයුතු කිරීම විධායක බලය අපහරණය කිරීමක් නොවේ ද?

සයිටම් වෛද්‍ය උපාධියට පිළිගැනීම ලබා දීම සඳහා, විශ්වවිද්‍යාල පනත සංශා්ධනය කරමින් එතෙක් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් පිළිගැනීමේ බලය පවරා තිබූ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නම් ආයතනයෙන් එ් බලය ඉවත් කොට තනි පුද්ගලයෙක් වූ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට පැවරීම ව්‍යස්ථාදායකය අපහරණය කිරීමක් නොවේ ද?

බලතල ලැබුණු පසුව වුව ද පනතට අනුව වෛද්‍ය උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතනයක් පිළිගැනීමට වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය අනිවාර්ය ව තිබිය දී එ් සහතික නොලැබුණු ආයතනයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන ආයතනක් ලෙස පිළිගැනීමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? වෛද්‍ය උපාධි ප‍්‍රදානය කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි සම්පුර්ණ නොකළ ආයතනයක් වෛද්‍ය උපාධි පිරිනැමීමට අසරණ දෙමව්පියන් ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීම, ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීම, නීතිය ක‍්‍රියාත්මක කළ යුතු පිරිස නිතිය ක‍්‍රියාත්මක නොකර දැන්, ”අනේ මේ ආයතනයට රැවටුණු දෙමව්පියන්, සිසුන් පිරිසක් ඉන්නවනේ, පව්නේ, එ් නිසා එ් ආයතනය නීත්‍යානුකූල කරමු” යැ යි කීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?
සයිටම් ආයතනය අද අප සමාජයේ යුක්ති සහගත භාවය, නීතිගරුක භාවය, ශිෂ්ටසම්පන්න භාවය කෙළෙසන පිළිකාවක්. එ් පිළිකාවෙන් සමාජ දේහය රැකගැනීමට වීර්යවන්ත ව උත්සාහ කරන වෛද්‍යවරුන් හා එක්ව සිටගැනීම අප කාගේත් යුතුකමක්.

සටහන : යටියන ප්‍රදීප් කුමාර

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions