5/25/2015

මෛත්‍රිපාලගේ සාමය

කතෘ:යුතුකම     5/25/2015   3 comments
මේ දිනවල ද සුපුරුදු පරිද බටහිර හා ඊනියා රාජ්‍ය නොවන පඬියන් ප්‍රචාරය කරන පාඨ වෙයි. සමහර පාඨ සමාජයට ගෙන යනු ලබන්නේ එතරම් අත්දැකීම් නැති එහෙත් ඊනියා අලුත් කතා කීමට කැමති අලුත් පරපුරක යැයි කියන තරුණයන් විසිනි. තවත් පාඨ ජනාධිපතිවරුන් අගමැතිවරුන්, ඇමතිවරුන් මගින් සමාජයට ගෙන යනු ලැබෙයි.

තරුණයන්ගේ පාඨයක් වනුයේ යුද්ධයට අවසානයක් ඇත, ජයග්‍රහණයක් නැත යන්න ය. අපේ පාඨය වනුයේ යුද්ධයක් නො තිබිණි, හමුදා ක්‍රියා මාර්ගයකින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි, යුද්ධය ආරම්භ වීමට ඉඩ ඇත යන්න ය. ජයග්‍රහණයක් නැත යන්නෙහි තේරුම යුද්ධයක් පටන් ගනු ඇත යන්න ය.
මෛත්‍රිපාල කියන්නේ ඊනියා යුද්ධය ජයග්‍රහණය කළ නමුත් සාමය උදා කෙළේ තමන් කියා ය. ඔහු සාමය යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි පඬියකුවත් අපට කියා දී නැත. සමහර විට චම්පක හෝ වෙල් විදානේ ෆොන්සේකා හෝ රතන හිමි හෝ ප්රාජිත හෝ ඒ දන්නවා ඇත. චම්පක අපට වඩා හොඳින් ප්රාජිත හඳුනන බවට අපට සැකයක් නැත. එහෙත් සාමය යනු කුමක් ද? යුද්ධය දිනුවේ ය, සාමය දිනුවේ නැත යන්න කිසිම වටිනාකමක් නැති එහෙත් පඬි ශබ්දයක් ඇති පුහු පාඨයක් පමණකි.

ඊනියා සාමය යුද්ධය ආදී සියල්ල මෙවන් බටහිර ගැති ආණ්ඩු යටතේ තීරණය කෙරෙන්නේ බටහිරයන් විසිනි. බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය යොදා ගනිති. ඔවුහු එය දෙමළ බෙදුම්වාදයක් බවටත් දෙමළ ත්‍රස්තවාදයක් බවටත් වර්ධනය කළහ. චම්පකලා කලක් ඊනියා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇලවූහ, මංගලත් සමග සන්ධීය රාජ්‍යයක් බිහිකිරීමට රටවැසි පෙරමුණු පිහිටුවූහ. ඔවුන් මහින්ද කලක් යුද්ධයට විරුද්ධ විණි යැයි කියන්නේ කෙසේ ද?

පුද්ගලයන්ගේ අදහස් වෙනස් විය හැකි ය. එහෙත් එ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් අදහස් වෙනස් කරන්නෝ අවස්ථාවාදියෝ ය. චම්පිකලා මහින්ද මෙන් නොව කලක් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඉන්පසු ජාතිය මළකඳක් යැයි කියමින් මංගල හා චන්ද්‍රිකා සමග එකතු වූහ. පසුව ජාතිකත්වයට ඉල්ලුමක් ඇතැයි කියමින් සිංහල සිසුන් ඝාතනය වන විට නැවතත් ජාතික දේශපාලනයකට අවතීර්ණ වූහ. දැන් නැවතත් මෛත්‍රිපාල සමගින් දෙමළ ජාතිවාදය වෙනුවෙන් ක්‍රියා කරති. මේ අවස්ථාවාදීන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතු ය.

බටහිරයන් හා ඉන්දියයන් වර්ධනය කළ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු කළ යුත්තේ දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම ය. එය කිරීමට ද හමුදාව අවශ්‍ය ය. හමුදා කඳවුරු ඉවත්කර ඒ භූමිය ඊනියා ජනතාවකට ආපසු දෙමින් දෙමළ බෙදුම්වාදය පරාජය කළ නො හැකි ය. කඳවුරු ඉවත්කිරීම සාමය ඇති කිරීමක් යැයි මෛත්‍රිපාල සිතන්නේ ද? බටහිරයන් මෛත්‍රිපාල හොඳින් ක්‍රියා කරන්නේ යැයි කීමෙන් ගම්‍ය වන්නේ ඊනියා සාමය ඇති කිරීමක් ද? බටහිරයන්ගේ සහතික අප තුට්ටු දෙකකට මායිම් කළ යුතු නො වේ. අවස්ථාවාදී චම්පකලාට නම් ඒ වටිනවා විය හැකි ය.

මුලතිවු ප්‍රදේශයේ කොටි සැමරුම් තහනම් කරමින් උසාවි නියෝගයක් තිබියදීත් විග්නේස්වරන්ලා කොටින් සැමරුවේ ඊනියා සාමය වෙනුවෙන් ද? පිරිත් කීමට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ උසාවියට ඉදිරිපත් කරමින් මුලතිවුහි උසාවි නියෝග කැඩූවන්ට නිදහසේ ඉන්නට ඉඩ අරින්නේ, විද්‍යා දැරියට කළ අපරාධයට මුවා වී උසාවියට ගල් ගසමින් නැවතත් දෙමළ ත්‍රස්තවාදයකට පාර කපන ආනන්දිලා ආදීන් උසාවියට ඉදිරිපත් නොකරන්නේ බටහිරයන්ට මෙරට ඊනියා සාමය ඇති බව පෙන්වීමට ද? එහෙත් දෙමළ ජාතිවාදීන් ඒ උද්ඝෝෂණ ඊනියා සිංහල පොලීසියට විරුද්ධව කළ බව යුරෝපය පුරා පතුරවන දිනය වැඩි ඈතක නො වේ.

බටහිරයන්ට අවශ්‍ය අන්දමට ක්‍රියාකරන මෛත්‍රිපාලට ඇති කළ හැකි සාමයක් නැත. සාමය ද ඇතිකළ හැක්කේ බටහිරයන්ට විරුද්ධව ක්‍රියා කිරීමෙනි.

නලින් ද සිල්වා 
කාලය
2015 මැයි 24

5/24/2015

මුළු රටටම සාමය උදා වූ මැයි 19 ශෝක දිනයක්‌ ද?

කතෘ:යුතුකම     5/24/2015   No comments
සෑම ජාතියකම දහස්‌ ගණන් පුද්ගල ඝාතන නැවතී,
මුළු රටටම සාමය උදා වූ මැයි 19 ශෝක දිනයක්‌ ද?
- ආචාර්ය දයාන් ජයතිලක

අපේ රට නව ආර්ථීක හා දේශපාලන ගමන්මඟකට අවතීර්ණ කරමින් යළි කිසිදා යුද්ධයකට ඉඩ නොතබන බව පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නිමා වූ යුද්ධයෙන් සිදු වූ භෞතික හානිවලට විසඳුම් ලබා දුන්නත් බිඳුණු සිත් සුවපත් කිරීමේ ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාවත් එතුමා අවධාරණය කළා. තිස්‌ වසරක්‌ පැවති යුද්ධය නිසා බිඳුණු සිත් සුවපත් කර ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස එක්‌සත්ව කටයුතු කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලකයන් සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවත්වූ සාකච්ඡාවකි මේ.

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම සිදු කළ හැක්‌කේ කෙසේද?

රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ කාලයේ සිදුවන්නට තිබූ සහ සිදු නොවූ යම් යම් කරුණු කාරණා තිබුණු බව අප පිළිගත යුතුයි. ඒවා කවරේද යන්නත් හරි හැටි තේරුම් ගත යුතුයි. එසේම රාජපක්‌ෂ ආණ්‌ඩු කාලයේදී සිදු කෙරුණු නිවැරදි දේවල් ගැනද සඳහන් කළ යුතුයි.

සංහිඳියාවක්‌ ගැන අපට කතාකිරීමට හැකි වී තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන්ම යුදමය වශයෙන් පරාජයට පත්කළ නිසාය. එය මහින්ද රාජපක්‌ෂ මහතාට කලින් සිටි කිසිම රාජ්‍ය නායකයකුට කරන්නට හැකි වූවක්‌ නොවේ. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා එය ඉටු කිරීමෙන් මේ රටේ සංහිඳියාව ඇතිකිරීමට අවශ්‍ය එක්‌ පූර්ව කොන්දේසියක්‌ ඔහු විසින් නිර්මාණය කර ඇත. ඔහු එතැනින් නොනැවතී උතුර නැගෙනහිර ජන්ද හැකි හැම ආකාරයකින්ම 2009 සිට පවත්වනු ලැබිණි. පළාත් සභා, පළාත් පාලන, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ යන ඡන්ද හතර වර්ගයම උතුර නැගෙනහිර පවත්වනු ලැබුවේ දශක තුනකට පමණ පසුවය. එනම් උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රතිශ්ඨාපිත කළේ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යළි විවෘත කළේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයායි. එතැනිනුත් නොනැවතී දැනට යම් විවේචනයන්ට ලක්‌වන ද්‍රව්‍යමය හෝ භෞතික සංවර්ධනය විසින් උතුර නැගෙනහිර යා කිරීමකුත් රාජපක්‌ෂ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබිණි. රටක බෙදුම්වාදයක්‌ ඇතිවීමට එක්‌ හේතුවක්‌ වන්නේ ඒ රටේ අදාළ ප්‍රදේශය හෝ පළාත අනික්‌ පළාත්වලින් වෙන්වී සිටිනවා නම් පමණි. බෙදුම්වාදයට ඉඩ සලසන ඒ වෙන්වී සිටීමේ පැවැත්ම නමැති යථාර්ථය වෙනස්‌ කිරීමට මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා විශාල පියවර ගණනාවක්‌ ගත්තා. වෙන්වී සිටීමේ තත්ත්වය හුදෙක්‌ කටවචනයෙන් වෙනස්‌ කළ හැක්‌කක්‌ නොවේ. එය භාවිතාවෙන්ම වෙනස්‌ කළ යුතුයි. මේ රටේ යටත් විජිත ඉතිහාසය ගත්විට එකිනෙකින් වෙන්ව තිබූ පළාත් එක්‌ වූයේ බ්‍රිතාන්‍යයේ මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති නිසාය. බ්‍රිතාන්‍ය ආධිරාජ්‍යවාදීන් එය කළේ අපේ රට එක්‌සේසත් කිරීමට නම් නොවේ. ඔවුන් තම ආර්ථීක හා යුදමය වාසි සඳහා ගොඩනැඟූ ඒ මාර්ග පද්ධති නිසා රට ඒකාග්‍ර වුණා. එමෙන්ම මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා තමා දැනුවත්ව මහාමාර්ග, ආර්ථීක ව්‍යාපෘති සහ යාල්දේවිය මාර්ගයෙන් උතුර යළිත් දකුණ සමඟ ඒකාබද්ධ කරන්නටත් ඒ තුළින් බෙදුම්වාදී මානසිකත්වයේ ද්‍රව්‍යමය අත්තිවාරම දියකර දමන්නටත් විශාල වැඩකොටසක්‌ කළා. එසේම දරුණුතම ත්‍රස්‌තවාදී ක්‍රියාවල යෙදුණු පිරිස හැරෙන්නට එල්ටීටීඊයේ සාමාන්‍ය හේවායන් පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීමත් බිඳුණු සිත් යළි සුවපත් කිරීමේ ව්‍යාපෘතියේ ඉතා වැදගත් ආදර්ශවත් ක්‍රියාවක්‌. මේ සියලු කාරණා සැලකිල්ලට ගත් විට පසුගිය පාලන සමය තුළ යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කිරීමට විශාල වැඩ කොටසක්‌ සිදුවුණා.

අපේ රටේ එක ජනවර්ගයකට එක ජාතියකට හෝ එක්‌ ප්‍රදේශයකට සීමා කර බිඳුණු සිත් ගැන කතාකරන්න බෑ. එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මරා දැමුණු, කපා කොටා දැමුණු අතපය අහිමි කරනු ලැබූ දස දහස්‌ ගණනක සිංහල ජනතාවගේ සිත් බිඳී නැද්ද? ඒ බිඳුණු සිත් සුවකිරීමට ටීඑන්ඒ සංවිධානය හෝ ගඡේන්ද්‍ර පොන්නම්බලම්ගේ සංවිධානය හෝ මේ ආණ්‌ඩුව පියවර ගත යුතු නොවේද? සැබෑලෙස සිත් සුව කිරීම නම් එය සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සුව කිරීමේ මහා මෙහෙයුමක්‌ විය යුතුය. පැසිස්‌ට්‌වාදය පරාජය කර අප සියලු දෙනාම ලද විජයග්‍රහණය විජයග්‍රහණයක්‌ ලෙස සැමරීමෙන් කාගේවත් සිත් පෑරෙන්නේ නම් ඒ සිත්වල ඇති සිතුවිලි මොනවා දැයි අපට සිතාගත හැකියි. මැයි 19 දා සිදුවූයේ උතුරු නැගෙනහිර ජනතාව එල්ටීටීඊ වියගසෙන් මුදවාලීමයි. එසේ මුදවාලීම ශෝකයකට හේතුවක්‌ වන්නේ මන්ද? මැයි 19 යනු මැරුණු ජනතාව සැමරීමට සුදුසු දිනයක්‌ නොවේ. මන්ද? තිස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට සිදුවූ මහා ජන සංහාරය නැවතීම ඇරඹුණේa මැයි 19 වැනිදා නිසාය. මැයි 19 දා සිදු වූයේ සාමය උදාවීමයි. සාමය උදාවූ, මහා පරිමාණයෙන් මිනිසුන් මියයැම නතර වූ දිනය ශෝක දිනයක්‌ සේ සලකා මල්වඩම් තබන දේශපාලන ව්‍යාපාර හෝ ජන කොට්‌ඨාශයක්‌ රටේ ඇත්නම් ඔවුන්ගේ සිත් බිඳී ඇත්තේ මන්දැයි අපට තේරුම් ගත හැකියි. ඔවුන්ගේ සිත් බිඳී ඇත්තේ මැයි 19 දා බෙදුම්වාදී හමුදාව පරාජයට පත්වූ නිසාය. එවැනි සිත් සුවපත් කිරීමට කළ හැකි දෙයක්‌ නැත.

උතුර නැගෙනහිර ජනතාවගේ බිඳුණු සිත් සුවපත් කර සංහිඳියාවක්‌ ඇතිකිරීම සඳහා පෙඩරල් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට ඇතැමුන් යෝජනා කර තිබෙනවා?

ජාතීන් අතර සැබෑ සංහිඳියාවක්‌ ඇති කිරීමට නම් එම ක්‍රියාදාමය දෙපාර්ශවය වෙතම ගමන් කළ යුතු ක්‍රියාවලියක්‌ විය යුතුයි. දකුණ විසින් උතුරේ සංහිඳියාවක්‌ ඇති කළ යුතුවා සේම උතුර විසින් දකුණේත් සංහිඳියාවක්‌ ඇති කළ යුතුයි. නමුත් අද ඇතැමුන් යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමට නම් පෙඩරල් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම එරික්‌ සෝල්හයිම් මහතාත් ශ්‍රී ලංකාව සඳහා පෙඩරල් ක්‍රමයක්‌ පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කර තිබෙනවා. ටී.එන්.ඒ. සංවිධානය හා වත්මන් ආණ්‌ඩුව අතර ලිත නොවූ ගිවිසුමක්‌ ඇති බවත් එහි කරුණු මේ මොහොතේදී අනාවරණය කළ නොහැකි බවත් එම්. ඒ. සුමන්දිරන් මහතා තිනකුරන් පුවත්පතට පවසා තිබුණා. චෙල්වනායගම් අනුස්‌මරණ දෙසුම පවත්වමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ද පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ඇමරිකාවේ නව තානාපති ලෙස නම් කර ඇති අතුල් දෙශප් මහතා ඩේලි මිරර් පුවත්පතට 2014 ජූනි මසදී ලබාදුන් පුවත්පත් සාකච්ඡාවේදී මෙරටට පෙඩරල් ප්‍රඥප්තියක අවශ්‍යතාව පිළිබඳ තෙවරක්‌ සඳහන් කර ඇත. සංහිඳියාව ඇතිවීමට නම් මේ රටේ බහුතරය විසින් පෙඩරල් ක්‍රමයකට එකඟවිය යුතු බවට අලුත් මතවාදයක්‌ මතුවෙමින් තිබේ. නමුත් අපේ රටේ පෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීම තුළින් ඇති කළ හැකි සංහිඳියාවක්‌ නැත.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පිහිටීම හා ජන සංයුතිය ගත් කල කිලෝ මීටර් කිහිපයකට දුරින් දශලක්‌ෂ 70 ක දමිළ ජනතාවක්‌ සිටින තමිල්නාඩුවට යාබදව තිබෙන ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වල එම ජනවර්ගයටම අයිති එම භාෂාවම කතාකරන සුළුතරයක්‌ සිටින බවයි. ඒ දෙපළාත්හි පෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීම යනු එහි දැනට පවතින බලයට වඩා විශාල බලයක්‌ ඇති කිරීමයි. එනම් ලංකාවේ උතුර නැගෙනහිර හා තමිල්නාඩුව අතර අදිසි පාලමක්‌ ගොඩනැඟීමයි. තමිල්නාඩුව හා උතුර නැගෙනහිර හාවීම පෙඩරල් ක්‍රමයක්‌ හරහා නිසැක වශයෙන්ම සිදුවනු ඇත.

නව ජාතික සංහිඳියා වැඩපිළිවෙළක්‌ තුළින් බිඳුණු සිත් සුවපත් කිරීමට සැරසෙන මේ මොහොතේ යාපනයේ ඉතාමත් කනගාටුදායක සිදුවීමක්‌ ඇතිවුණා. ඒ දමිළ සිසුවියක්‌ සමූහ දූෂණයකට ලක්‌ව ඝාතනය වීමයි. ඝාතකයන් සියලු දෙනාම දමිළයින් වුවත් යාපනයේත් අවට නගර කිහිපයකත් ගැටුම්කාරී තත්ත්වයක්‌ මතුව තිබෙනවා. යාපනයේ අද මේ පැනනැඟී ඇති තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

පසුගියදා මුල්ලිවයික්‌කාල්හි පැවැති අනුස්‌මරණයේදී උතුරේ මහඇමති විග්නේශ්aවරන් මහතා කළ කතාවේදී මෙය ඉතාමත්ම ශෝකාකූල දිනයක්‌ නිසා මේ දිනයේ සිදුවූ දේවල් නිසා උතුරු පළාත් සභාව විසින් සමූල ඝාතන යෝජනාවක්‌ සම්මත කරගත් බවත්ය. මෙය අහම්බයක්‌ නොවේ. එය මුල්ලිවයික්‌කාල් සමරුවේදී මතුකරනු ලැබුවේ දමිළ විඤ්Æණය තුළ අද සිදුවී ඇති පරිවර්තනයේ සංඥාවක්‌ ලෙසයි.

ඊළඟට සිදුවී තිබෙන්නේ උතුරේ නගර කිහිපයක ඇති වූ ප්‍රචණ්‌ඩකාරී පෙළපාලිය. එයට හේතුව වී තිබෙන්නේ දමිළ තරුණ පිරිසක්‌ උතුරේ පාසල් දැරියක්‌ සමූහ දූෂණයකට ලක්‌කර මරාදැමීමයි. එවැනි සිදුවීමක්‌ සම්බන්ධයෙන් පෙළපාලි යැම

ඕනෑම රටක සර්ව සාධාරණ ප්‍රතිචාරයකි. නමුත් එම පෙළපාලි ප්‍රචණ්‌ඩ ආකාරයක්‌ ගැනීම සහ නගර කිහිපයක එකවිට සිදුවීම සැකසහිතය. මේ දුෂ්ට සිදුවීමට සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේ හෝ පොලිසියේ සිටින හෝ සිටි පුද්ගලයන් නොවේ. සිංහල ජනවර්ගයට අයත් පුද්ගලයන්ද නොවේ. සියලුම සැකකරුවන් අත්අඩංගුවටත් ගෙන ඇත. එසේනම් රජයේ ආයතනවලට හා පොලිසියට එරෙහිව ප්‍රචණ්‌ඩ ආකාරයට ප්‍රතිචාර දැක්‌වීමට තිබුණු සාධාරණ හේතු මොනවාද?

දැරියක්‌ දූෂණය කළ විට සහ මරාදැමූ විට පෙළපාලි යන සිරිතක්‌ ලෝකය පුරාම තිබේ. නමුත් ඒවා සියල්ල සාමකාමී උද්ඝෝෂණ බව නවදිල්ලියේ ඇතිවූ සිදුවීමේදීත් අපි දුටුවෙමු. මේ දමිළ දැරියගේ ඝාතකයෝ කිසිවෙක්‌ ආණ්‌ඩුවට හෝ සිංහල ජනතාවට සම්බන්ධකම් ඇති අය නොවේ. එසේ නම් පොලිසියට ගල්මුල් ගසමින් හා රජයේ ගොඩනැඟිලිවලට පහරදීමට ඇති සැබෑ හේතුව පැහැදිලිය. එසේම නගර කිහිපයක එකවිට මෙම ප්‍රචණ්‌ඩකාරී පෙළපාලි පැවැතීමෙන් ඒවා ඉබේ ඇතිවූ ඒවා නොව සැලසුම්සහගතව සිදුකළ ඒවා බවද පැහැදිලිය. මේ පෙළපාලි පැවතියේ ද මැයි 19 සමරුවට ආසන්නවය. මෙහිදී සිදු වූයේ මේ දූෂණ සිදුවීම පෙරට දමාගෙන රාජ්‍ය විරෝධී නැඟිටීමකට පෙරහුරුවක්‌ නොවේද යන්න ප්‍රශ්න කළ යුතු කාරණයකි.

සාමාන්‍ය සිවිල් ජනතාව සටන්කාමී පෙළපාලිවලට හුරුපුරුදු කිරීම පසුගිය එජාප රජය පැවතිසමයේ පොංගුතමිල් නමින් එල්ටීටීඊය සංවිධාන කළ වැඩපිළිවෙළේ අරමුණයි. දමිළ දැරිය දූෂණය කර මරාදැමීමේ සිදුවීම පෙරට දමාගෙන පසුගියදා සිදුවූයේ එම පොංගුතමිල් වැඩසටහනේ දෙවැනි මුද්‍රණයක්‌ද යන්න සාධාරණ පැනයකි. ආනන්දි සිදරන් මෙහි ප්‍රමුඛස්‌ථානයක්‌ ගැනීමත් වැදගත් කාරණයකි.

යුද්ධය අවසන්වී වසර පහහමාරක කාලය තුළ පොලිසියට ගල්මුල් ගැසීම වැනි දේ යාපනයේ සිදු වූයේ නැත. සමූල ඝාතන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේ සම්මත වූයේ ද නැත. මේ ජනවාරි 8 වැනිදායින් පසු ඇතිවූ සිදුවීම් දෙකකි. මෙබඳු දේ සිදුවන්නේ මේ ආණ්‌ඩුව තමුන්ගේ ජන්දයෙන් බිහිවූ ආණ්‌ඩුවක්‌ ලෙස උතුරේ මේ රැඩිකල් ජාතිවාදී කොටස්‌ සිතන නිසාද? ඔවුන් කෙසේ සිතුවත් ඔවුන්ට යාපනයේ මේ විදිහට හැසිරෙන්නට හැකිවී තිබෙන්නේ අද හමුදාව බැරැක්‌කවලට දමා යාපනයේ සිවිල් සමාජය තුළ සිදුවන දේවල් නිරීක්‌ෂණය කිරීමේ තත්ත්වයෙන් ඔවුන් ඉවත්කර තිබීම නිසාය. පසුගියදා මේ ගැටුම්කාරී තත්ත්වය ඇතිවනවිට උතුරේ නව ආණ්‌ඩුකාරවරයා කළ කී දේ කිසිවක්‌ පුවත්පත්වල හෝ පළ වී නෑ. මේ නිසා මධ්‍යම ආණ්‌ඩුවේ ආධිපත්‍යය අද කොතෙක්‌ දුරට උතුරේ බලපැවැත්වෙන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය. උතුරේ ආණ්‌ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මානසිකත්වයක්‌ ශීඝ්‍රයෙන් වර්ධනය වන බව පෙනේ. සංහිඳියාවේ නාමයෙන් පෙඩරල් ක්‍රමයක්‌ සහිත නව ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව සූදානම් වන බව පෙනේ. අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය වන්නේ එවිට ජනමත විචාරණයකට නොගොස්‌ ඒකීය ක්‍රමය අහෝසි කොට පෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීමටය.

දිවයින ඇසුරින්

ඕනෑ කෙනෙකුට අධිකරණ තීන්දු විවේචනය කළ හැකිද?

කතෘ:යුතුකම     5/24/2015   No comments
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූළික අයිතිවාසිම් පෙත්සම විභාගකල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත්කළ කරුණු සලකාබලා ගෝඨාභය මහතා අත්අඬoගුවට ගැනීම වලක්වන ලදි. කෙසේ හෝ ගෝඨාභය මහතා අත්අඞoගුවට ගෙන හිරකූඩුවට දැමීමේ උවමනාවෙන් කටයුතුකළ අයට මෙම අධිකරණ තීන්දුව දරාගත නොහැකිවීම පුදුමයක් නොවේ.

ඒ පිලිබඳව පළමුවෙන්ම ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පික්පොකට් අගමැති රනිල් වික්‍රමසිoහ කියා සිටියේ මෙම අධිකරණ තීන්දුවට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ හා විනුසුරුවන්ගේ සoගමයෙන් (the Commonwealth Magistrates’ and Judges’ Association (CMJA) සහ වෙනත් අදාල නීතිමය උපදෙස් ලබාගතයුතු බවත් සම්පූර්ණ විනුසුරු මඬුල්ලක් (Full Bench) විසින් තීන්දුව ගතයුතුව තිබුන බවත්ය.

විනුසුරුවන් තිදෙනාගෙන් එක් අයෙක් ඉවත්ව ගියත් අනෙක් දෙදෙනාත් සමඟ එකඟ නොවී වෙනම තීරනයක් දුන්නත් වැඩිදෙනාගේ තීන්දුව අධිකරණයේ තීන්දුව බැවින් සාමාන්‍ය පුරවැසියන් වන අපට නම් එහි කිසිවෙනසක් නොපෙනේ. අනෙක් අතට එක් විනුසුරුවෙක් ඉවත්වීම හේතුකොටගෙන අධිකරණයේ තීන්දුව කිසියම් හෙයකින් කල්තැබුයේ නම්, කෙසේ හෝ ගෝඨාභය මහතා අත්අඞoගුවට ගෙන හිරකූඩුවට දැමීමේ උවමනාවෙන් කටයුතුකළ අයගේ අභිලාශයන් මුදුන් පත්විය හැකිව තිබූබවද අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ, “ඕනෑ ගොනෙකුට යුද්ද කළහැකියයි ” කී ලක්ෂමන් කිරිඇල්ල මෙවර කියා ඇත්තේ ඕනෑ කෙනෙකුට අධිකරණ තීන්දු විවේචනය කළහැකි බවයි. “ඕනෑම ආකාරයක අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා. අධිකරණ තීන්දුවක් දුන්නාම රූපවාහිනියට ගිහින් ඒක විවේචනය කරන්න පුළුවන්”.

මේ අවස්ථාවේදී මගේ මතකයට එන්නේ, 2004 වසරේදී (චන්ද්‍රිකා කුමාරතුoග යුගයේ) එවකට මන්ත්‍රීවරයෙකුව සිටි එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමේ වරදට ශේෂ්ඨාධිකරණය ඔහුට අවුරුදු දෙකක සිරදඞුවමක් ලබාදුන් බවයි. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසුව ජනාධිපති බලතල යටතේ සමාව දී නිදහස් නොකලේ නම් එස් බී දිසානායකට දේශපාලන ලෝකයේ යනඵනමo නැතිවෙනට ඉඩ තිබිණ.

‘ඕනෑ ගොනෙකුට යුද්ද කළහැකියයි’ කියූ ලක්ෂමන් කිරිඇල්ලගේ ගොන්කතා අසා හැමෝම අධිකරණ තීණ්දු විවෙචනය කලහොත් වත්මන් ගවපලනය යටතේ අධිකරණයේ අනාගතය හා විවේචකයින්ගේ අනාගතය කෙසේ වියහැකිදැයි සිතා ගැනීමටත් අපහසුය.

S. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/23/2015

ෆූටාව සියයට හයෙනුත් පහළට වැටීම

කතෘ:යුතුකම     5/23/2015   No comments
විශ්වවිද්‍යාල සිසුන්ගේ සටන් ගැන පහුගිය දිනෙක නිර්මාල් රංජ්ත් මහතා ලියල තිබුණ පෝස්ටුවකින් මහත් විමතියට හා ලැජ්ජාවට පත් වුණා. විමතියට පත්වු‍ණේ කෙනෙකුට මෙච්චර කුහක වෙන්න පුළුවන් ද කියන කාරණය මතයි. ලැජ්ජාවට පත් වුණේ අප ද ෆූටාවේ සාමාජිකයින් වන නිසයි. ඔහු කියනවා දැන් විශ්වවිද්‍යාල සිසුන් කරන්නේ අපරිණත අරගල කියල. ඔවුන් එවැනි අරගලවලට යොමු කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයලු. එහෙම කරල රාජ්‍ය මර්දනය ඔවුන් වෙත කැඳව ගන්න හදනවලු.

බළලා මල්ලෙන් එළියට ! දැන් ආචාර්ය නිර්මාල්ට තියෙන ප්‍රශ්නය අන්තරය ඔහුගේ යහපාලන ආණ්ඩුව රජකම් කරන කොට ශිෂ්‍ය සටන් කිරීම. හැබැයි මහින්ද ආණ්ඩු කරනකොට ඔවුුන් මොනම සටනක් කළත් ප්‍රශ්නයක් නෑ.ඒවා සුප්‍රබුද්ධ සටන්. කඳුළු ගෑස් බැටන් පොලු ගහනකම් බලාන ඉන්නේ ෆේස්බුක් එක අප්ඩේට් කරන්න. ඔබ දන්නවා මීට මාස කීහිපයකට ඉහත දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය තුළ මහත් කැප කිරීම් කළ කණ්ඩායමක් තමා අන්තරය. ඔවුන් මෙම අරගලයේ දී සිය ක්‍රියාකාරීන් දෙදෙනෙකු පවා අහිමි කරගත්තා කඩවත ප්‍රදේශයේ සිදු වූ හදිසි අනතුරකින්. 2012 සැප්තැම්බර් 30 වෙනිදා අන්තරේ කැඳවුම්කරු දිවයිනට මෙහෙම කියනවා:

"අපි දකිනවා මේක හුදු වැටුප් ප්‍රශ්නයක්‌ මත නෙවෙයි කියන එක. වැටුප් ප්‍රශ්නය පවා විශ්වවිද්‍යාලවල අනාගතයට බලපානවා. මේ මොහොතේ ගත්තොත් මේ වැටුප් සඳහා පමණක්‌ මේ අරගලය දියත් වෙන්නේ නෑ."

ඇත්තට ම සටන දියත් වුණේ වැටුප වැඩිකර ගන්න. අනිත් කරුණු ගෙනාවේ සටනට කාටත් රස අයිසින් එකක් දාන්න. ඒ බව විටෙක අන්තරයත් දන්නවා. එහෙත් ඒ අවස්ථාවේ දී සංජීව බණ්ඩාර ආචාර්ය සම්මේලනයේ රෙදි කදිමට හෝදනවා. ප්‍රශ්න වන්නේ මෙහෙම ක‍ඩේ ගිය අන්තරය තමයි අද හිටපු ෆූටා සභාපති තැන රොමැන්තික මාර්ක්ස්වාදීන් කියල හෑල්ලුවට ලක් කරන්නේ. එහෙව් අන්තරේ සටන් තමා දැන් අපරිණත කියල කියන්නේ. දැන් පෙරටුගාමීන් අන්තරය මෙහෙයවූවාට අන්තරය තුළ ඉන්නේ එදත් හිටින සරසවි සිසු සිසුවියන්. ඔවුන්ගේ දේශපාලනය කවදත් එහෙමයි. ඒ නිසා තමන්ගේ වත්මන් පුද්ගලික දේශපාලන මතය අනුව දැන් අන්තරය දෙස මෙසේ බැලීම මොනතරම් කුහකත්වයක් ද? සිසුන් ආචාර්යවරුන් පිළිබඳ දැන් කෙසේ සිතනු ඇති ද? මේ ආණ්ඩුව පත් වුණු ගමන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කළා පාසැල්වල දෙමාපියන්ගෙන් සල්ලි එකතු කිරිම නීත්‍යානුකුල කරල. මේක ෆූටා සටනට ගහපු දැවැන්ත පා පහරක්. ඒත් ෆූටා මීක් නෑ. ලෝකය ගැන ෆුකුයාමා කිව්වා වගේ ෆූටා ඉතිහාසය මේ ආණ්ඩුවෙන් අවසන්. ඒත් අන්තරය තමන්ගේ සටනේ දිගට ම ඉන්නවා. ඒත් එම අරගල හිටපු ෆූටා (දැන් ඉන්න අයටත් විටෙක) සභාපතිට අපරිනත ඒවා. විටෙක ඊළඟ වැටුප් සටන හෝ මහින්ද ආණ්ඩුවක් එනකං.

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

මේ මොහොතේ පෙඩරල් බලපෑම ඉතා ප්‍රබලයි

කතෘ:යුතුකම     5/23/2015   No comments
- ආචාර්ය දයාන් ජයතිලක
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනයේ පවතින අවිනිශ්චිත, අවුල් සහගත තත්ත්වයත්, දේශීය හා විදේශීය වශයෙන් මෙරටට එල්ල වී තිබෙන අභියෝග හා කුමන්ත්‍රණ පිළිබඳවත් විස්‌තර කරන ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ පෙඩරල් පාලන ක්‍රමයක්‌ ඇති කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද කියා සිටී.

'දිවයින' සමග සාකච්ඡාවකට එක්‌වෙමින් ඔහු ඒ පිළිබඳව විස්‌තර කෙළේ මෙසේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයේ අවුල් සහගත බවක්‌ පේනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?

වර්තමාන දේශපාලන තත්ත්වය මෙතෙක්‌ පැවති වකවානුවලට වඩා වෙනස්‌ වෙන්නේ මෙහි තිබෙන සංක්‍රාන්තික බව සහ අසම්මත බව නමැති කාරණා දෙක නිසයි. සංක්‍රාන්තික බව යනුවෙන් මා අදහස්‌ කරන්නේ ජනාධිපතිවරණයකින් පසු සහ පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර තිබෙන අතරමැදි කාලය සලකායි. නමුත් එපමණක්‌ නොවෙයි මෙය සංක්‍රාන්තික වීමට තවත් හේතු දෙකක්‌ තිබෙනවා. එකක්‌ 1978 ඡේ. ආර්. ජයවර්ධන ව්‍යවස්‌ථාවේ හෙවත් දෙවැනි ජනරජ ව්‍යවස්‌ථාවේ වැදගත් අංග කිහිපයක්‌ 19 වැනි සංශෝධනයෙන් ඉවත් වී තිබීම.

අනික දේශපාලනයේත් යම්කිසි සංක්‍රමණයක්‌ සිද්ධවෙලා තිබීම. අගමැති තනතුරට 1978 කාලයේ තිබූ තත්ත්වයට වඩා වැදගත් තැනක්‌ හිමි වී තිබෙන බව පෙනෙනවා. නමුත් සමහර විට පෙනෙනවාට වඩා වැදගත්කමක්‌ හිමිවී තිබෙනවා වෙන්නත් පුළුවන්.

එක්‌සත් ජාතික පක්‍ෂය පවසන ආකාරයට ඔවුන් මහජන ඡන්දයෙන් ආණ්‌ඩු බලයට පත් වුණොත් පවතින ව්‍යවස්‌ථාව සහමුලින්ම වෙනස්‌ කර අලුත්ම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එනවා. ඒ ව්‍යවස්‌ථාවේ පෙඩරල් ගුණාංග ලක්‍ෂණ තිබෙන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රකාශයක්‌ තුළිනුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉකුත් අප්‍රේල් 25 දා එස්‌. ඡේ. වී. චෙල්වනායගම් අනුස්‌මරණ දේශනයේදී කළ සඳහනකිනුත්, නව ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතාගේ ප්‍රකාශවලිනුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා කළ පෙඩරල් ක්‍රමය ගැන සාකච්ඡා වලිනුත් අපට පෙනී යනවා. ඉතින් ඒ ආකාරයට ලංකාව ඒකීය රාජ්‍යයෙන් පිට පෙඩරල් රාජ්‍යයක්‌ කරා සංක්‍රමණය වීමේ කාලපරිච්ඡේදයකට නොදැනුවත්ව හෝ එළැඹී සිටිනවා වෙන්නත් පුළුවනි.

අවසන් වශයෙන් ලෝකය හා ලංකාව අතර තිබෙන සම්බන්ධකමත් සුවිශාල වෙනසකටත් පාත්‍රවීමේ ඉඩකඩක්‌ තිබෙනවා. ඒ මන්දයත් මංගල සමරවීර සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග පවසා තිබෙන ආකාරයට යුද්ධය අවසන් කාලයේ සිදුවුණා යෑයි කියන ඊනියා යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට දේශීය පරීක්‍ෂණයක්‌ ජුලි මාසයේ ආරම්භ කිරීමට යන අතර ඒ දේශීය යෑයි කියන පරීක්‍ෂණය තුළ ජාත්‍යන්තර සංඝටකයක්‌ හා සහයෝගයක්‌ තිබෙන බවත් ඔවුන් පවසනවා. වෙනත් ආකාරයකට කියනවා නම් දේශීය වෙස්‌මුහුණක්‌ සහිත ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ලංකා පොළොවේම පවත්වන අතර, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙරුණු ජාත්‍යන්තර පරීක්‍ෂණයේ වාර්තාව අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල ඉදිරිපත් කෙරෙනවා. ඒ ජාත්‍යන්තර වාර්තාවට රජය හිස නමයිද, දණ නමයිද එසේත් නැත්නම් අදීනව හා ප්‍රඥගෝචරව එයට එරෙහිව ජාත්‍යන්තර සභාගයක්‌ ගොඩනැඟීමට කටයුතු කරයි ද යන ප්‍රශ්නත් අප හමුවේ තිබෙනවා. ඒ නිසා අතිශය වැදගත් සංක්‍රාන්තික කාලපරිච්ඡේදයක අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ මාස කිහිපය ගත වන බව සඳහන් කළ යුතුමයි.

එයින් පැහැදිලි වන්නේ මේ සියල්ල පසුබිමේ නිශ්චිත විදේශ බලපෑම් පවත්නා බවයි...

ඒක මා අවිවාදයෙන්ම පිළිගන්නවා. දැන් ලංකා ආණ්‌ඩුවට ඇමරිකානු තානාපති හැටියට පත්වෙලා තියෙන්නේ අතුල් කෙෂොප් මහතාය. ඔහු ඉන්දීය සම්භවයක්‌ සහිත ඇමරිකානු ජාතිකයෙක්‌. ඔහු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌. ඒ මහතා ගියවර ලංකාවට පැමිණි අවස්‌ථාවේදී "ඩේලි මිරර්" පුවත්පත සමග (2014 ජුනි මාසයේදී) සම්මුඛ සාකච්ඡාවක්‌ කළා. ඒ සම්මුඛ සාකච්ඡාවේදී ලංකාව ගැන සඳහන් කරමින් ඔහු පෙඩරල් ව්‍යවස්‌ථාව කියන යෙදුම තුන් සැරයක්‌ම පාවිච්චි කර තිබුණා. ඔහු පවසා සිටියේ යුද්ධය අවසන් වී අවුරුදු 5 ක්‌ ගත වී ඇතත් රාජපක්‍ෂ ආණ්‌ඩුව ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්‌ පිළිබඳව එක්‌සත් ජනපදය සමග සාකච්ඡා කිරීමේදී පෙඩරල් ප්‍රඥප්තියක්‌ ගැන කිසිම ඉඟියක්‌ පළ නොකළ බවයි. ලංකාවේ ජනවාර්ගික ගැටලුවට පෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බවත් ඒ සඳහා තල්ලුවක්‌ දීම ඇමරිකා එක්‌සත් ජනපදයේ අභිලාෂය බවත් ඔහු එම සාකච්ඡාවේදී පවසා තිබුණා එම පුද්ගලයා අද ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පත්වී සිටිනවා.

ඊටත් වඩා වැදගත් වන්නේ අපේ අසල්වැසියා වූ ඉන්දියාවේ අගමැති වන නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණ මෙරට පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට යා යුතු බවත් පෙඩරල් ක්‍රමය ගැන තමන්ගේ විශ්වාසය තිබෙන බවත් මේ පිළිබඳව ඉන්දියාවේ පාලක පක්‍ෂය වන බී. ඡේ. පී. පක්‍ෂය තම වාර්ෂික සම්මේලනය පවත්වද්දී විදේශ ප්‍රතිපත්තිය ගැන සම්මත කරගනු ලැබූ යෝජනාවේ සඳහන් වී තිබෙන්නේ පළමුවැනි වතාවට ඉන්දීය අගමැතිවරයෙක්‌ යාපනයට ගොස්‌ 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට පෙඩරල් ක්‍රමයක්‌ ගැන ප්‍රකාශ කළ බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනවාර්ගික සංහිඳියාව සම්බන්ධයෙන් වර්තමාන ආණ්‌ඩුවේ මගපෙන්වන්නා හැටියට නිල වශයෙන් පත්කොට තිබේ. එස්‌. ඡේ. වී. චෙල්වනායගම් අනුස්‌මරණ දේශනයේදී එතුමිය පවසා සිටියේ ලංකාවේ ඇතිවූ ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ සිංහල බහුතරය ආණ්‌ඩුවේ, ආර්ථිකයේ සමාජයේ සහ නීතියේ ඒකාධිකාරයක්‌ හොබවමින් සුළුතර කණ්‌ඩායම් කොණකට තල්ලු කළ බවයි. එතුමිය එහිදී ප්‍රකාශ කළේ ඒ තත්ත්වය සහමුලින්ම වෙනස්‌ කළ යුතු බවයි.

ඉන්දියානු පුවත්පතක්‌ වන 'නිව් ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌' පුවත්පතේ කොළඹ වාර්තාකරු වන පී. කේ. බාලචන්ද්‍රන් මහතා සිය වාර්තාවේ ඒ දේශනයට දුන් සිරස්‌තලය වූයේ "සිංහල ඒකාධිකාරය හමාර කළ යුතු බව කුමාරතුංග කියයි' යන්නයි. එතුමිය ඒ කතාවේදී පැහැදිලිවම පෙඩරල් ව්‍යවස්‌ථාව යන යෙදුම භාවිත කළා. මේ සියල්ලෙන්ම අපට පෙනී යන්නේ කුමක්‌ද? ලංකාවේ පෙඩරල් ක්‍රමයක්‌ ඇති කිරීම සඳහා ඉතා පැහැදිලි බාහිර බලපෑමක්‌ සහ ඒ බාහිර කණ්‌ඩායම්වල මතය නියෝජනය කරන ප්‍රබල විදේශීය හා දේශීය දේශපාලන චරිත සිටින බවයි.

මේ බාහිර බලපෑම් සිද්ධ වන්නේ පෙඩරල් ක්‍රමයක්‌ සඳහාම නොවෙයි. ඊනියා යුද අපරාධවලට අදාළ වගකීම පිළිබඳ ප්‍රශ්නයේදී ද මෙවැනි බාහිර බලපෑම් තිබෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයකු වන මැරිඩොවුස්‌කි මහතා ලංකාවට පැමිණ උතුරේ මුල්ලිවයික්‌කාල්වලට ගොස්‌ වැල්ලේ දණ ගසා මල්වඩමක්‌ තැබුවා. එය ඇමරිකානු ජනමාධ්‍යවලත් පළවුණා. නමුත් ලංකාවේ ජනමාධ්‍යවල එය පළවුණේ නැහැ. ඔහු ප්‍රකාශ කළේ යුද්ධයෙන් මියගිය සියලු දෙනා සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ නිල සංවේගය පළකරමින් එම මල්වඩම තැන්පත් කළ බවයි.

ඉතින් මේ බාහිර බලපෑම් වලින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඊනියා යුද අපරාධකරුවන් දේශීය උසාවි මගින් කෙරෙන ස්‌වීය පරීක්‍ෂණයකට නොව දේශීය මුහුණුවරක්‌ ගන්නා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට හසුකෙරෙන බවයි.

මහා ඉන්දීය පඬිවරයෙක්‌ වූ කෞටිල්‍ය හෙවත් චානක්‍යගේ අර්ථ ශාස්‌ත්‍රය නමැති පොතේ වසර දහස්‌ ගණනකට කලින් සඳහන් කර තිබුණේ ඕනෑම රටකට ප්‍රධාන අභියෝගය අනිවාර්යයෙන්ම එල්ල වන්නේ එහි දේශසීමාව අසල ඇති අසල්වැසි ප්‍රදේශයෙන් බවයි. ලංකාව සම්බන්ධයෙන් ගත්විට අනිවාර්යයෙන්ම තමිල්නාඩුව අභියෝගයක්‌ වෙයි. එය අනිවාර්යයෙන්ම ලංකා ඉතිහාසයෙන් ඔප්පු වන දෙයකි.

කෞටිල්‍ය සිය අර්ථ ශාස්‌ත්‍රය ග්‍රන්ථයේ පවසා තිබුණේ ඕනෑම රටක සැබෑ මිත්‍රයා වන්නේ තමාගේ අසල්වැසියා නොව අසල්වැසියාගේ අසල්වැසියා බවයි. ලංකාව සම්බන්ධයෙන් මෙය තහවුරු වෙනවා. ඒ චීනයයි. චීනය සමග අපට සමීප මිත්‍රත්වයක්‌ ඇතිකර ගැනීමට තවත් හේතුවක්‌ වන්නේ ලෝක ආර්ථිකයේ නැගීගෙන එන බලවතා චීනය වීමයි. අභාවයට යන බලවතා ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු බටහිර රටවල්ය. ඉතින් චීන සහයෝගය සහිතව ලංකා ආර්ථිකය ශක්‌තිමත් තත්ත්වයට පත්කර ගැනීම ජාතියක්‌ වශයෙන් අපට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වෙනුවට චීනය සමග සම්බන්ධකම් දුර්වල කොට ඉන්දියානු ආයෝජනය රිංගවීමට ඉඩ දීමෙන් සිද්ධ වන්නේ තමිල්නාඩුව නමැති සාධකය සහිත රටක්‌ රාජ්‍යයක්‌ වන ඉන්දියාවට වුවමනාවට වඩා ආර්ථික අවකාශයක්‌ ලංකාවේ ලබාදීමයි. 

එක්‌සත් ජාතික පක්‍ෂය පවසනවා ජුලි මාසයේ මහ මැතිවරණයක්‌ පැවැත්විය යුතු බව. මංගල සමරවීර මහතාත් පසුගිය කැබිනට්‌ රැස්‌වීමේදී මේ බව පැවසී යෑයි මාධ්‍යවල වාර්තා වුණා. ඒ ගැන ඔබේ අදහස කුමක්‌ද?

එජාපය ඉදිරිපත් කරන මත සමග සාමාන්‍යයෙන් මගේ එකඟත්වක්‌ නැහැ. නමුත් වෙනත් හේතුවක්‌ නිසා මෙතනදී ඒ මතය සමග එකඟවෙන්නට සිදුවෙනවා. මතුපිටින් බලන කොට එජාපය තවදුරටත් ආණ්‌ඩු බලයේ සිටීම එජාප විරෝධී කඳවුරට වාසියක්‌. මොකද ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයත් ජාත්‍යන්තර අපකීර්තියත් බලපාන්නේ එම පක්‍ෂයටයි. එහෙත් මෙතැනදී අප මේ ප්‍රශ්නය බැලිය යුත්තේ ඉහත කී ආකාරයෙන් නොවෙයි. ජාතික අවශ්‍යතාව පැත්තෙන් බලන විට එජාප කළමනාකරණයේ දුර්වලකම සහ චීනය සමග පවතින සම්බන්ධතා වලින් ඈත්වීම නිසා ඇති වන අර්බුදයට මුහුණදිය හැක්‌කේ සැබවින්ම මහජන ඡන්දයෙන් පත්වන අලුත් ආණ්‌ඩුවකටයි. ඒ ආණ්‌ඩුව එජාප ආණ්‌ඩුවක්‌ වෙන්නත් පුළුවන්. නැතිනම් එජාප විරෝධී සභාග ආණ්‌ඩුවක්‌ වෙන්නත් පුළුවන්.

නමුත් වඩාත් වැදගත් වන්නේ ජාත්‍යන්තර සාධකයයි. මංගල සමරවීර මහතා පවසා සිටින්නේ අගෝස්‌තුවේදී එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පිළිබඳ වාර්තාව ඉදිරිපත් වන බවත්, සැප්තැම්බර් මාසයේ ජිනීවා සමුළුවේදී එය සාකච්ඡා කෙරෙනු ඇති බවයි. එතැනදී ඔහු නිවැරැදියි. මන්ද ඒ ජාත්‍යන්තර පරීක්‍ෂණය හමුවේ කුමන ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළත් ඒ ක්‍රියාමාර්ගයට මුහුණ දීමට රටේ ජනවරමක්‌ සහිත ආණ්‌ඩුවක්‌ තිබිය යුතුයි. එවැනි ආණ්‌ඩුවක්‌ ඇත්තේ නැහැ. ඉතින් මේ මහා අභියෝගවලට මුහුණ දීම සඳහා ඡන්දයෙන් තේරී පත්වූ ආණ්‌ඩුවක්‌ තිබිය යුතුමයි. ශ්‍රී ලනිපයේ සමහරු කියන්නේ වර්තමාන පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් දක්‌වා පවත්වාගෙන යැමට ජනවරමක්‌ තිබෙන බවයි. එජාපය ආණ්‌ඩු බලය හැර යන්නේ නම් ශ්‍රීලනිපය එම රික්‌තය පිරවීමට සූදානම් බවත් ඔවුන් කියනවා. නමුත් ඒක අදූරදර්ශී කතාවක්‌. මන්ද එජාපය විසින් හාරා තිබෙන වළට ශ්‍රීලනිපය පැමිණීමෙන් සිද්ධ වන්නේ, මේ වසර අග හෝ ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය අන්ත පරාජයකට ලක්‌වීමයි. එයට වඩා හොඳ විසඳුම නම් මහ මැතිවරණයයි.

දූෂණ, වංචා ආදිය සම්බන්ධයෙන් පසුගිය ආණ්‌ඩුවේ අය අත්අඩංගුවට ගනිමින් පවතිනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

මෙවැනි දේශපාලන දඩයම් නීතියට මුවාවී සිදු කිරීම මේ රටේ අලුත් දෙයක්‌ නොවෙයි. 1970 සමඟි පෙරමුණු ආණ්‌ඩු සමය මතක්‌ කළොත් ෆීලික්‌ස්‌ ඩයස්‌ ඇමැතිවරයා මේ නීත්‍යනුකූල දඩයම් සම්බන්ධයෙන් නම දැරූ දඩයක්‌කාරයකු වුණා. ඔහුගේ කාලයේදී අල්ලස්‌ කොමසාරිස්‌වරයා ද කඩාපැනීම් කරගෙන ගියා. විදේශ විනිමය වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කිහිප දෙනකු පැජට්‌ පාරේ ස්‌ථානයක රඳවා තිබුණා. ඒ සියලු දේ වලින් එම ආණ්‌ඩුවට කිසිදු වාසියක්‌ සිදු වුණේ නැහැ. ඒ කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් පසු කලෙක ගාමිණී ෆොන්න්සේකා මහතා 'සාගරයක්‌ මැද' නමින් චිත්‍රපටයක්‌ ද නිෂ්පාදනය කළා. අන්තිමට ෆීලික්‌ස්‌ගේ ප්‍රජා අයිතිවාසිකම් පවා අහෝසි වුණා.

ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව කාලෙදිත් එවැනි දේ සිදු වුණා. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 82 ජනමත විචාරණයට කලින් ශ්‍රීලනිපයේ නියෝජ්‍ය ලේකම් හා ප්‍රකට තරුවක්‌ වූ විජය කුමාරතුංග අත්අඩංගුවට ගැනීමත් ඒ කාලේ සිදුවීම් කිහිපයක්‌. විජය අත්අඩංගුවට ගත්තේ නැක්‌සලයිට්‌ කුමන්ත්‍රණයක්‌ පිළිබඳ බොරු චෝදනාවකටයි. මහ මැතිවරණයක්‌ පැවැත් වුවහොත් විජය ඇතුළු රැඩිකල්වාදී මන්ත්‍රීවරුන් 60 ක්‌ පමණ පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇතැයි ඡේ. ආර්. බය වුණා. ඒ නිසා ඔහු කළේ විජය අත්අඩංගුවට ගෙන ශ්‍රීලනිපයේ අනුර ප්‍රමුඛ දක්‍ෂිණාංශික කොටස්‌ බලවත් කිරීමට කටයුතු කිරීමයි.

අද මේ රටේ දේශපාලනයේ සිද්ධ වන්නේද එවැනි දෙයකි. මහින්ද රාජපක්‍ෂවාදීන් මීළඟ පාර්ලිමේන්තුවට විශාල ප්‍රමාණයකින් පැමිණීම වැළැක්‌වීම සඳහා නීත්‍යනුකූල මර්දනයක්‌ තමයි මේ සිදුකරගෙන යන්නේ. නීත්‍යනුකූල අයුරින් ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීම හෙවත් හිස ගසා දැමීම කරගෙන යනවා. අද මෙවැනි දේවල් කරන්නේ මහජන ඡන්දෙකින් පත් නොවූ සුළුතර ආණ්‌ඩුවකින්. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක ඊට වඩා අස්‌ථායීකරණයකට හේතු වෙනවා ඇති. එවැනි ක්‍රියාමාර්ගවලට සමාජ යුක්‌ති යුක්‌තභාවයක්‌ තිබේ යෑයි සිතාගත නොහැකියි.

නිදසුන් වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රශ්නය දෙස බලමු. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව ගෙන එන්නට සූදානම් වන චෝදනා වන්නේ 'මිග් 27 යුද ගුවන් යානා 4 ක්‌ ගෙන්වා ගැනීමයි. ඒ මිග් 27 යුද ගුවන් යානා 4 කෙසේ ගෙන්වා ගත්තත් ඒවා පාවිච්චි වූයේ සංචාරක ව්‍යාපාරය සඳහා නොවෙයි. ලංකා හමුදාවලට මහෝපකාරී සේවයක්‌ වන පරිදි සතුරාට ගුවනින් පහර දීමටයි.

මීට පෙර බටහිර රටවල් අපට යුද ගුවන් යානා තබා කිසිම යුද අවියක්‌ දුන්නේ නැහැ. එයට හේතු වූයේ ඊනියා මානව හිමිකම් ප්‍රශ්නයයි. ඉතින් කොතනකින් හෝ යුද ගුවන් යානා ගෙන්වාගෙන සතුරා ඝාතනය කිරීමට ඒවා පාවිච්චි කිරීම හා අපේ හමුදාවේ ජීවිත බේරා දීමට එම ප්‍රහාරක යානා පාවිච්චි කිරීම ඇත්ත වශයෙන්ම අගය කළ යුතු දෙයක්‌ මිස හිරේ යෑවීමට හේතුවක්‌ නොවෙයි.

ජාතියක්‌ යුද්ධයකට මුහුණ දෙන විට හැකි හැම ආකාරයකින්ම ඕනෑම රටකින් යුද අවි ගෙන්වා ගැනීම සාමාන්‍ය සිරිතක්‌. මේවා පෞද්ගලික පරිහරණයට ගෙනා ගුවන් යානා නොවෙයි.

-දිවයින

5/22/2015

නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු

කතෘ:යුතුකම     5/22/2015   No comments
රනිල් වික්‍රමසිංහ යනු ඒකාධිපතියෙකි, ෆැසිස්ට්වාදියෙකි, පොලිස් රාජ්‍යයක ප්‍රධානියෙකි, ආදී වශයෙන් විවිධ මත අද සමාජයේ පැතිරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව ය. ඔහු පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද රැස්වීම්වල හැසිරෙන්නේ ඔහු ලෝකයේ මැවුම්කරු යැයි සිතා ගනිමිනි. ඔහු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ගරු නො කරයි. තමන්ට අවශ්‍ය පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ව්‍යාජ නීතියක පිහිට පතයි. බටහිරයන්ගේ නීතිය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ද කොහොමටත් පොන්තනෝනාගේ මොකක් ද එක මෙනි. ඒ පොන්තනෝනාට අවශ්‍ය අන්දමට ය. අප රටේ ද අද එහි වෙනසක් නැත. රනිල්ට කිව යුත්තේ පොන්තමහත්තයා කියා ද?

මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ නොපිළිගත්තත්, අද මෙරට සඵල ජනාධිපති රනිල් ය. මෛත්‍රිපාල අපල ජනාධිපති ය. මෛත්‍රිපාල අගමැතිකමට කෑදර වී පක්‍ෂය ද, රට ද පාවා දී ඇත. සබරගමුව ආණ්ඩුකාරයාගේ පුතා ඩිලාන් පෙරේරා තම නියෝජ්‍ය ඇමතිකමින් අස් වී කියා ඇත්තේ මෛත්‍රිපාලට අගමැතිකම දුන්නේ නම් මහින්ද රාජපක්‍ෂ තවමත් මෙරට ජනාධිපති බව ය. ආණ්ඩුවෙන් අස් වූ හා අස්වීමට නියමිත මැති ඇමතිවරුන්ගෙන් මහින්ද කණ්ඩායමට වද්දානොගත යුතු ප්‍රධාන ම පුද්ගලයා ඩිලාන් පෙරේරා ය. ඔහු රනිල් මෙන් ම සිංහල බෞද්ධ විරෝධියෙකි. ඔහු කරන්නේ රඟපෑමකි.

ඩිලාන් කියන්නේ මහින්ද තම ජනාධිපතිකම රැකගැනීමට මෛත්‍රිපාලට අගමැතිකම දිය යුතුව තිබූ බව ද? අද මෛත්‍රිපාල ක්‍රියාකරන ආකාරය අනුව නම් ඔහුට අගමැතිකම නොදීමෙන් මහින්ද රටට කර ඇත්තේ යහපතකි. එහෙත් මහින්ද කළ ප්‍රධාන ම දේශපාලන වරද වූයේ මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම දීම ය. ඩිලාන් නියෝජ්‍ය ඇමතිකමෙන් අස්වූවත් මෛත්‍රිපාල කණ්ඩායමෙන් අස් වී නැත.

නිමල් සිරිපාල, ඩිලාන් වැන්නෝ රනිල් විවේචනය කරති. එහෙත් ඔහු බලයේ රඳවාගනු ලැබ ඇත්තේ මෛත්‍රිපාලගේ කණ්ඩායම මගිනි. රනිල් පික්පොකට් අගමැති කරනු ලැබුයේ මෛත්‍රිපාල විසිනි. ඒ බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතාවට ය. මෛත්‍රිපාලට අවශ්‍ය වූයේ තමාට අගමැතිකම නොදීම හේතුවෙන් මහින්දගෙන් පළිගැනීමට ය. එහෙත් ඔහු පාවාදෙන්නේ සිංහල බෞද්ධකම ය. ඩිලාන්ලා එයට උපකාර කරති.

රනිල් බටහිර පන්නයේ අයකු වුව ද බටහිර සම්ප්‍රදාය අනුගමනය නො කරයි. එංගලන්තයේ කම්කරු පක්‍ෂයේ නායක එඩ් මිලිබෑන්ඩ් මැතිවරණයෙන් තම පක්‍ෂය පැරදුණු විගස පක්‍ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් රනිල් මැතිවරණ විසි ගණනකින් පරාජය වුව ද පක්‍ෂ නායකකම අත් නොහැරියේ ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන බටහිරයෝ ද රනිල් අත් නො හැරියහ. එ අන් කිසිවක් නිසා නොව මෙරට ඔවුන්ට සිටින හොඳ ම සිංහල බෞද්ධ විරෝධියා රනිල් වීම හේතුවෙනි.

බටහිරයන් මෛත්‍රිපාලට ජනාධිපති අපේක්‍ෂකකම දී ඇත්තේ ඔහු ජයග්‍රහණය කළ විට රනිල්ට අගමැතිකම දීමේ පොරොන්දුව මත ය. මෛත්‍රිපාලට ඒ පොරෙන්දුව කඩකිරීමට තරම් ශක්තියක් නැත. ඔහුට කළ හැක්කේ බටහිරයන්ගේ දාසයකු වීම පමණ ය. අද රනිල් පොන්තමහතකුගේ තත්ත්වයට පත් වී ඇත්තේ ඔහුට බටහිරයන්ගේ ආධාරය තිබෙන නිසා පමණක් නොව මෛත්‍රිපාල රටට කුමක් වුවත් රනිල් ආරක්‍ෂා කරන බැවිනි. නිමල් සිරිපාලලා ඩිලාන් පෙරේරලා මෛත්‍රි කණ්ඩායමේ බලකණු වෙති.

නිමල්ලා රනිල්ගේ කෙරුවාවට අකමැති නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඔහු පරාජය කර මෛත්‍රිපාලට රනිල් අගමැති කමෙන් අස්කිරීමට බල කිරීම ය. එහෙත් ඔවුහු එසේ නො කරති. කමකට නැති බොරු විවේචනයක් පමණක් කර ජනතාව රවටති. රනිල් අගමැති ලෙස මහා මැතිවරණයක් පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට වුවත් හිතකර තත්ත්වයක් නො වේ. මෛත්‍රි කණ්ඩායමේ බහුතරය නිමල්ලා ඩිලාන්ලා අත්හැර රනිල්ට විරුද්ධව වහාම විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ය.

නලින් ද සිල්වා
කාලය
2015 මැයි 22

කඩුව දැන් ම ගන්න, නැතිනම් වැද්දා අතින් මැරෙන්න

කතෘ:යුතුකම     5/22/2015   No comments
පළාත් පාලන ආයතන විසුරවා හැරිය ද අදාළ ආයතන සඳහා මැතිවරණයක් නොපවත්වා කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමට විරෝධය පා ශ්‍රීලනිප ඇමතිවරුන් බහුතරයක් ඉල්ලා අස්වීමට යන බව දිලාන් පෙරේරා ප්‍රකාශ කරනවා. ඉල්ලා අස්වෙලා ඔවුන් ඊගාවට මොකක් ද කරන්නේ? සිදුවන දේවල් දිහා නිකං බලාන ඉන්නවා ද? මෙම ඉල්ලා අස්වීම මෛත්‍රීට කිසියම් තර්ජනයක් එල්ල කළ ද මෙතන උපක්‍රමික දුබලකමකුත් පේන්න තිබෙනවා. මම හිතන්නේ ශ්‍රිලනිපය ම තමයි තමන් ව මේ තැනට අරගෙන ආවේ. ඒ මෛත්‍රීට පක්‍ෂ සභාපතිකම ගන්න ඉඩ සැලසීමෙන්. මහින්දට එරෙහි ව ශ්‍රීලනිපය තුළ සිටි ඉතා කුඩා සුළුතරය මෛත්‍රීගේ විධායකයේ දේශපාලන හයිය ලබාගෙන කරපු දෙයක් ඒක. මේකට ඔය ඩිලාන්ල වගේ අයත් අහුවුණා නොයෙක් හේතු මත. එවර ශ්‍රිලනිපයට බැරි වුණා ලක්‍ෂ 58 ජනතා අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින්න. විමල්ලා නොහිටින්න අද තත්වය ඉතා ම දරුණු වෙලා තිබෙන්න තිබුණා. එහෙත් මේ රට පව් කරල නෑ.
දැන් නයා රෙද්ද අස්සේ දාගෙන කනවා කනවා කියල කෑ ගැහනවා. රනිල් පාලනය කරන ආණ්ඩුවක මෙහෙම වෙනවා කියල මුලින්නම හිතන්න තිබුණත් දැන් ගිය දේ ගියා. ශ්‍රිලනිපය දැන්වත් එකා වන් ව (අර මෛත්‍රීත් එක්ක මුලින් ම ගිය අය හැර) හිතන්න පටන්ගන්න ඕන. ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් රනිල්ගේ ඉඳුල් කන්න බලා සිටිම අතහැර දැමිය යුතුයි. ඇයි ඔවුන් අනුන්ගේ අගුපිල්වල ලගින්නේ. තාමත් එජාාපයේ ඡන්ද පදනම ලක්‍ෂ 30 වඩා නෑ.

ඒ අනුව, දැන් ශ්‍රිලනිපය කරන්න ඕන මෛත්‍රි ව පක්‍ෂ නායකකමෙන් ඉවත්කරන සටන. ඇයි තමන්ගේ විරුද්ධවාදී පිළේ නායකයා තමන්ගේ නායකයා කරගෙන යන්නේ. මෛත්‍රීට බෑ ශ්‍රිලනිප අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින්න. ඒකයි පළාත් පාලන ආයතන ටික ශ්‍රිලනිපයෙන් ගැලවෙන තැනට වැඩ කළේ. ඔහු රනිල් වෙනුවෙන් සේවය කරන්න බැඳි ඉන්නවා. මෛත්‍රීට මෙතනින් පස්සේ පුද්ගලික දේශපාලන අරමුණු තිබෙන්න විදියක් නෑ. ඔහු ගිහින් ඉන්නේ දේශපාලනයේ හිනි පෙත්තට. ඒත් එහෙමයි කියල ශ්‍රිලනිපය මරාගෙන මැරෙන්න කාටවත් ඉඩ දෙන්න බෑ.

අවසානයේ කොහෙ දී හරි තමන්ට රනිල්ගේ දරුණු ඒකාධිපතිත්වයට එරෙහි ව සටන් කරන්න වෙනවා කියල ශ්‍රිලනිපය තේරුම් ගන්න ඕන. ඉතින් රනිල් තවත් සවිබල ගන්නවල කරනවට වැඩිය හොඳයි නේද දැන්ම ඒක කරන එක. කඩුව ගන්න පුළුවන් වෙලාවේ ගන්න.මනමේහි වගේ (චුල්ලධනුද්ධර ජාතිකය) ශ්‍රීලනිපය හා රනිල් අතර සටනක් ආ වෙලාවක මෛත්‍රීගෙන් මේ දෙගොල්ල කඩුව ඉල්ලුවොත් ඒක අනිවාර්යෙන් ම හම්බ වෙන්නේ රනිල්ට. ඔබට අත්‍යාවශ්‍ය මොහොතේ මෛත්‍රීගේ සභාපතිකමේ ශක්තිය ලැබෙන්නේ නැහැ. මතක තියා ගන්න. මහින්ද කියල තමන් පැත්තකට විසිකරල දාල තියෙන්නේ මේ රට ඉල්ලන ආධ්‍යාත්මික විඤ්ඤානය හෙවත් ජාතියේ කඩුව. මේ අඳුර විදාරන්න පුළුවන් ඒ කඩුවෙන් විතරයි. නැතිනම් වැද්දා අතින් මැරෙන්න සූදානම් වන්න.

මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/21/2015

"යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළ කළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ...!" -මහාචාර්ය විමල් දිසානායක

කතෘ:යුතුකම     5/21/2015   No comments
මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණිය ගුරුකුලයෙන් බිහිවූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස ප්‍රකටය. සන්නිවේදන විෂයය මෙරට විශ්වවිද්‍යාලවලට හඳුන්වාදීමට පුරෝගාමී වූ එතුමා දැනට වසර තිහකට වැඩි කාලයක් ඇමෙරිකානු හා ආසියානු සරසවිවල පශ්චාත් නව්‍යවාදය, මාධ්‍ය අධ්‍යයනය, ආසියානු සිනමාව, සන්නිවේදනය, සංස්කෘතික අධ්‍යයනය හා ඥාන උත්පාදනය වැනි විෂයයන් සම්බන්ධ පාඨමාලා ඉගැන්වීමෙමෙහි නිරතව සිටියි. බටහිර ප්‍රමුඛ ලොව විවිධ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාල මගින් පළකළ 30 කට අධික ශාස්ත්‍රීය කෘති හා විශාල ලිපි සංඛ්‍යාවක් ලිවීම හේතුවෙන් ලොව ප්‍රමුඛතම විද්‍යාර්ථීයකු ලෙස විමල් දිසානායක මහතා පිළිගැනේ.

කවිය, කෙටිකතාව, නවකතාව, නාට්‍ය කලාව වැනි සාහිත්‍යාංග මෙන්ම ඒ හා සබැඳුණු නව විචාර සංකල්ප පිළිබඳව ද පැතිරුණු ශාස්ත්‍ර ඥානයක් හා පරිචයක් ඇති එතුමා පසුගියදා කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණියේය. වර්තමානයේ 'කෙටිකතාව' සරසවි හා පාසල් ශිෂ්‍යයන් වැනි ආධුනික නිර්මාණකරුවන්ද බහුලව අභ්‍යාස කරන සාහිත්‍යාංගයක් බැවින් මේ ඒ පිළිබඳ ඔහු සමග කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි.

 

 නවකතාවකින් කෙටිකතාව වෙනස්වන මූලික සංකල්ප මොනවාද? 

නවකතාව හා කෙටිකතාව අතර වෙනස රදා පවතින්නේ දීර්ඝවීම හා කෙටිවීම මත නෙමෙයි. ඇතැම් විට නවකතාවලට වඩා දිගු කෙටිකතා තිබෙනවා. මෙම සාහිත්‍ය කෘති දෙවර්ගය අතර වෙනස රඳා පවතින්නේ මුඛ්‍ය ධාරණාව යන සංකල්පය මතයි. කෙටිකතාව එක් මුඛ්‍ය ධාරණාවක් මත ගොඩනැගෙන අතර නවකතාව ධාරණා රාශියක් මත ගොඩනැගෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් කෙටිකතාවක අත්දැකීම එක් ප්‍රබල සිද්ධියකට සම්බන්ධවී ඇතත් නවකතාවක අත්දැකීම එබඳු අවස්ථා රාශියක් සමග බැඳී පවතිනවා'ඉඩිත් වෝටන්' නම් විචාරකයා පවසන අන්දමට කෙටිකතාවක් සිද්ධියක් නිරූපණය කිරීමට සැලකිල්ල යොමුකරවන අතර නවකතාව චරිත නිරූපණය කෙරෙහි සැලකිල්ල යොමු කරනවා.

කෙටිකතාකරුවාගේ කාර්යය හැකි තරම් අරපිරිමැස්මකින් යුතුව 'අභින්න කථනයක්' දැක්වීම බව 'ක්ලේටන් හැමිල්ටන්' නම් විචාරකයා පෙන්වා දෙනවා. සංෂිප්තභාවයද ඒ අනුව වැදගත් ලක්ෂණයක් බව පෙනෙනවා. 
එය සත්‍යයක්. කෙටිකතාකරුවා දැඩි සංයමයකින් යුතුව, මහත් අරපිරිමැස්මකින් යුතුව වචන භාවිතා කල යුතුයි. කෙටිකතාකරුවාගේ අභිප්‍රාය එක්තරා මුඛ්‍ය ධාරණාවක් සංස්ථාපනය කිරීම නම් ඊට සරිලන පරිදි වචන භාවිත කිරීම වැදගත්.

අංකුර කෙටිකතාකරුවන් විශාල ප්‍රමාණයක් වර්තමානයේ කෙටිකතා ලියමින් සිටිනවා. බොහෝවිට ඒවායේ අපට දක්නට ඇත්තේ කතාවස්තුවක් සහිත කෙටිකතා. නමුත් දියුණු කෙටිකතා කතාවස්තුවට වැඩිබරක් තබන්නෑ නේද?
අපට වඩාත් පුරුදු කතාවස්තුවක් සහිත කෙටිකතා. කෙටිකතා කලාවේ මුල් අවධියේ රචිත කෙටිකතා මේ ගණයට අයත් වෙනවා. මෙබඳු කෙටිකතා සාර්ථක වීමට කතාවෙහි අපූර්වත්වයක් සහ සිද්ධියේ ප්‍රබලත්වයක් තිබිය යුතුයි. එමෙන්ම මූලික අත්දැකීම යථාර්ථරූපිව විශ්වසනීයත්වයෙන් තිබිය යුතුයි. විශ්වාසනීයත්වය යනු අභ්‍යන්තර ගැලපීම නිසා ඇතිවන ඇදහිය හැකිබව.

නමුත් කෙටිකතා කලාව එක්තරා ප්‍රමාණයකට වර්ධනය වූ පසු කතාවස්තුවක් රහිත කෙටිකතා බිහිවුණා. මෙවැනි කෙටිකතාවල රසය කූඨප්‍රාප්ත වන්නේ මනෝභාවයක් හෝ භාවාවස්තාවක් නිරූපණය වීමේ ප්‍රබලත්වය උඩයි. මෙහිදී මතුපිට අරුතට වඩා සැඟවුණු ව්‍යංගාර්ථ සංකේත වැදගත්. එහෙයින් මෙයින් එක් වර්ගයක් අනෙක් වර්ගයට වඩා උසස් යැයි කිව නොහැකියි. මොකද විශ්ව කීර්තියට පත් කෙටිකතා මේ දෙයාකාරයෙන්ම බිහිවී තිබෙනවා. ඇන්ටන් චෙකොෆ්, ජේමිස් ජොයිස් වැනි කෙටිකතාකරුවන්ගේ 'කෙටිකතා' කතා ප්‍රවෘත්තියක් දක්නට නොලැබෙන උසස් කෙටිකතාවලට නිදර්ශන වගේම ගීද මෝපසාං, එඩ්ගා ඇලන් පෝ වැනි ලේඛකයන් කතා ප්‍රවෘත්තියට වැදගත් තැනක් දී තිබෙනවා.

කෙටිකතාවක හෝ නවකතාවක දක්නට ලැබෙන කතා ප්‍රවෘත්තිය (story) සහ කතාවස්තුව (plot) අතර වෙනස නිර්මාණකරුවා තේරුම්ගත යුත්තේ කෙසේද? 

කතා ප්‍රවෘත්තිය කාලයට අනුව සම්බන්ධ කරන ලද සිදුවීම් සමූහයක්. කතාවස්තුව යනු එම සිදුවිම් සමූහයට හේතුඵල සම්බන්ධය ආරූඩ කිරීමක්. මෙම කතාව විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නය මතු වන්නේ කතාවස්තුව තුළින්. ප්‍රකට ඉංග්‍රීසි නවකතාකරුවකු වන ඊ. එම්. ෆෝස්ටර් මේ වෙනස පැහැදිලි කරන්නේ මෙහෙමයි. රජතුමා මැරුණා බිසවත් මැරුණා යන්න කතා ප්‍රවෘත්තියක්. රජතුමා මැරුණා. එම ශෝකයෙන් බිසවත් මැරුණා යන්න කතාවස්තුවක්. කතා ප්‍රවෘත්තියෙහි දක්නට නොලැබෙන හේතුඵල සම්බන්ධයක් කතා වස්තුවෙහි දක්නට ලැබෙනවා. පාඨකයා කෙටිකතාවෙහි එන අත්දැකීම විශ්වාස කරන්නේ කෙටිකතාකරුවා කතාවස්තුව ගොඩනගා තිබෙන දක්ෂතාවය මතයි.

කෙටිකතාකරුවා සිය අත්දැකීම නිරූපණය කිරීම සඳහා සලකා බැලියයුතු දෘෂ්ටිකෝණ පිළිබඳව අවධානය යොමුකළ යුත්තේ කෙසේද? 
දෘෂ්ටිකෝණය යනුවෙන් අදහස් කරන්නේ කතුවරයා සිය අත්දැකීම් නිරූපණය කිරීමට තෝරාගනු ලබන මාර්ගයයි. සිය අත්දැකීම ප්‍රබල ලෙස නිරූපණය කිරීම සඳහා ලේඛකයකුට විවිධ දෘෂ්ටිකෝණ උපයෝගී කරගන්නට පුළුවන්. සර්වවේදී දෘෂ්ටිකෝණය, උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය, ප්‍රථම පුරුෂ දෘෂටිකෝණය, නාට්‍යමය දෘෂ්ටිකෝණය එම දෘෂ්ටිකෝණ අතර වැදගත් තැනක් ගන්නවා. සර්වවේදී කථන ක්‍රමය අනුව රචිත කෙටිකතාවකට නිදර්ශනයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහගේ 'වහල්ලු' කෙටිකතාව දැක්විය හැකිය. මෙවැනි කථන ක්‍රමයක් අනුගමනය කරන රචකයා මුලු අත්දකීිම මැනවින් දැන ඔහු එය ඉදිරිපත් කරන්නේ එහි හරය සම්පූර්ණයෙන්ම වටහා ගත්තෙකු පරිද්දෙන්.

ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය අනුගමනය කරන කෙටිකතානම් ප්‍රධාන චරිතයක් තෝරාගෙන ඔහුගේ ඇසින් මුලු අත්දැකීම විස්තර කිරීමයි. අමරසේකරගේ 'ශිෂ්‍යා අඳුර සහ වැස්ස' මීට නිදර්ශනයක්. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යනු මම නැමැති පුද්ගලයාට විඳීමට සිදු වූ අත්දැකීමක විලාසයෙන් කෙටිකතාව නිරූපණය කිරීමයි. සිව්වැන්න නාට්‍යමය කථන ක්‍රමයෙන් ලියවුන කෙටිකතා සිංහල සාහිත්‍යයේ තරමක් දුර්ලභයි. අජිත් තිලකසේනගේ ඇතැම් කතාවල මෙවැනි ලක්ෂණ දක්නට ලැබෙනවා. මෙම කථන ක්‍රමය අනුගමනය කරන'රචකයා' හැකි තරම් දුරට ඈත් වී චරිතයන්ගේ හැසිරීම් හා කතාබහ තුලින් සිදුවීම් ගලායාමට සලස්වනවා.

නිර්මාණකරුවා දෘෂ්ටිකෝණය හෙවත් කථන ක්‍රමය තෝරා ගැනීම මහත් කල්පනාවෙන් කළයුතුයි. කෙටිකතා රචකයා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අනුභූතියෙහි මුඛ්‍යාර්ථය මැනවින් වටහාගෙන තමා දැනවීමට යත්න දරන මුඛ්‍ය රසයේ අභිව්‍යක්තියට ඉතාමත් උචිත වූ ක්‍රමය තෝරාගැනීම ඉතා වැදගත්.

කෙටිකතාකරුවා සංකේතකරණය පිළිබඳ සැලකිලිමත්වීම නිර්මාණයක් සාර්ථකවීමට බලපාන අන්දම විස්තර කරන්නේ කොහොමද? 

කෙටිකතා නිර්මාණයේදී සංකේතකරණය ඉතා වැදගත් වෙනවා. ජේම්ස් ජොයිස් වැනි ලේඛකයන් මෙය අතිශයින් සාර්ථක ලෙස උපයෝගී කරගත්තා. සංකේත මගින් අරුත් රැසක් සැකවින් හකුලුවා දැක්වීමට කෙටිකතාකරුවාට අවස්ථාව සැලසෙනවා.

එතකොට කෙටිකතාවේ දියුණුවට ප්‍රංශ ජාතික ගීද මෝපසාං වැනි ලේඛකයන්ගේ මැදිහත්වීම ඔබ දකින්නේ කෙබඳු අයුරින්ද? 

නවීන කෙටිකතා ක්ෂේත්‍රයේ ගී ද මෝපසාංගේ දායකත්වය විපුල මෙහෙයක් ඉටු කරන්නක්. ඔහුගේ කෘති බටහිර නූතන කෙටිකතාවේ විකාශනයට විශාල වශයෙන් බලපෑවා. ඔහුගේ කෙටිකතාවල දක්නට ඇති එක් විශේෂ ලක්ෂණයක් වන්නේ කතා ප්‍රවෘත්තියට වැදගත්කමක් දීමයි. මෝපසාං ගේ බොහෝ නිර්මාණ මුල, මැද, අග යන අංගත්‍රයෙන් යුක්තයි. අපූරු කතාවස්තු උත්පාදනය කිරීමේ ඔහුට තිබූ කෞෂල්‍යය විශිෂ්ටතම ලක්ෂණයක් හැටියට විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වී තිබෙනවා. මානුෂික අවස්ථා හා පරිසරය ජීවමාන ලෙසත් ප්‍රබල ලෙසත් නිරූපණය කිරීමේ ශක්තිය ඔහුට තිබුණා. හාත්පස ලෝකය තත්වානුකූලව නිරූපණය කිරීම ඔහුගේ ලක්ෂණයක්. මෝපසාං යථාර්ථවාදියෙක්. පශ්චාත්කාලීන කෙටිකතාකරුවන් කෙරෙහි ඔහුගේ ලේඛණ දැඩි ලෙස බලපෑම් කළා. අර්නස්ට් හෙමිං වේ, අයිසැක් බාබෙල්, සමර්සෙට් මෝම් වැනි කෙටිකතාකරුවන්ගේ ලේඛනවලට ඔහුගේ සෙවනැලි වැටී තිබෙනවා. සිංහල කෙටිකතා ක්ෂේත්‍රය දෙස බලන විට ඩබ්ලිව්. ඒ. සිල්වාගේ 'දියමන්ති මාලය', වික්‍රමසිංහගේ 'ඉරුණු කබාය' මෝපසාංගේ කෘති ඇසුරින් ප්‍රතිපාදන රචනා ලෙස සලකන්න පුළුවන්. ජී. බී. සේනානායක, හේමපාල මුණිදාස වැනි ලේඛකයන් ද මෝපසාංගේ නිර්මාණවලින් නොමද අභාසය ලබා තිබෙනවා.

මෝපසාං ද ෆ්ලොබෙයාර්ගේ රචනාවලින් මුල්කාලිනව ආභාසය ලැබූවෙක්. නමුත් ඔහු පසුකාලීනව ස්වතන්ත්‍ර ශෛලියක් ගොඩනගාගැනීමට සමත්වුණා. ඔබ දකින ආකාරයට ෆ්ලොබෙයාර්ගෙන් මෝපසාං වෙනස් වන්නේ කොහොමද?

ෆ්ලොබෙයාර් හා මෝපසාංගේ නිර්මාණ අතර යම් සාම්‍යයක් දක්නට ලැබෙන බව සත්‍යයක්. නමුත් පරිකල්පන ශක්තිය අතින් වෙනස්කම් තිබෙනවා. මෝපසාංගේ පරිකල්පනය අවිස්තෘත අත්දැකීම් නිරූපණයට සරිලන එකක්. ෆ්ලොබෙයාර්ගේ පරිකල්පනය විස්තෘත අත්දැකීම් නිරූපණයට සරිලන්නක්.

එඩ්ගා ඇලන් පෝ ගේ නිර්මාණ ඇසුරෙන් පැනනැගුණු එක් වැදගත් ධර්මතාවක් වූයේ කෙටිකතාවකින් නිතරම ඒකාබද්ධ ඒකීභූත ධාරණාවක් ඉදිරිපත් කළයුතු බව. නමුත් ඇන්ටන් චෙකොෆ් ඊට ඉඳුරාම වෙනස් මගක් ගත්තෙක්. කෙටිකතා ගැන සාකච්ඡා කිරීමේදී මේ දෙදෙනාගේ දායකත්වයද අපට මඟහැර යන්න බෑ. 
කෙටිකතාකරුවෙක් හැටියට එඩ්ගා ඇලන් පෝ ගේ විශේෂත්වය ප්‍රබල කතා ප්‍රවෘත්තියක් මුල්කොටගෙන කෙටිකතා සම්පාදනය කිරීමයි. ඇතැම් විට ඔහුගේ කෘතිවල ත්‍රාසජනක ලක්ෂණ පවා දක්නට ලැබෙනවා. කෙටිකතා කලාව ජනප්‍රිය කිරීමට ඔහුගේ කෘති බොහෝ සේ උපකාරී වුණා. අද ඔහුගේ කෘති ඇමරිකාවට වඩා ප්‍රංශය වැනි රටවල ජනප්‍රියව පවතිනවා. වර්තමාන විචාර සිද්ධාන්තවේදයෙන් එඩ්ගා ඇලන් පෝ ගේ කෙටිකතා සවිස්තර විමර්ශනවලට භාජනය කොට තිබෙනවා.

අනෙක් අතට ඇන්ටන් චෙකොෆ් මීට ඉඳුරාම වෙනස්. ඔහුගේ අභිප්‍රාය වූයේ ත්‍රාසජනක කතා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නොව කිසියම් මානුෂික අවශ්‍යතාවක් කාව්‍යාත්මක ලෙස විවරණය කිරීමයි. චෙකොෆ් ගේ කතා කලාව අතීතයට හිමිි වූ එකක් යැයි ඇතැමුන් තුළ මිත්‍යා මතයක් තිබෙනවා. රොබර්ට් කාවර්(Robert Carver) නැමැති විශිෂ්ට ඇමෙරිකන් කෙටිකතාකරුවා කියා සිටින්නේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම කෙටිකතාකරුවා චෙකොෆ් බවයි. මේ කරුණ මෑතක සිද්ධියකින් මැනවින් පැහැදිලි වෙනවා. මෙවර නොබෙල් ත්‍යාගය දිනාගත්තේ කැනේඩියානු ජාතික ඇලිස් මන්රෝ (Alice Munro) නමැති ලේඛිකාව විසින්. ඇය බොහෝ දුරට අනුගමනය කරන්නේ ඇන්ටන් චෙකොෆ්ගේ කතා කලාව.

එහෙත් ඇයි සමර්සෙට් මෝම් වැනි බටහිර ඇතැම් විචාරකයින් චෙකොෆ්ගේ කෙටිකතා කලාව අවඥාවෙන් බැහැර කලේ?
බටහිර කෙටිකතා කලාව ප්‍රවාහයන් දෙකක් ඔස්සේ විකාශනය වුණා. ඉන් එකක් මෝපසාං, එඩ්ගා ඇලන් පෝ, සමර්සෙට් මෝම් වැනි කෙටිකතාකරුවන්ගෙන් නියෝජනය වෙනවා. අනෙක ඇන්ටන් චෙකොෆ්, ජේම්ස් ජෝයිස්, වැනි කෙටිකතාකරුවන්ගෙන් නියෝජනය වෙනවා. මේ කතා කලා දෙක අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. මුල් ගණයට අයත් කෙටිකතාකරුවන් දෙවන ගණයට අයත් රචකයන් අවඥාවෙන් බැහැර කරන අතර දෙවන ගණයට අයත් ලේඛකයන් මුල් ගණයට අයත් ලේඛකයන් පහත් කොට සලකනවා. මෙම වෙනස අද දක්වාත් සාහිත්‍යය ලෝකයේ දක්නට ලැබෙනවා. එහෙත් මේ දෙපාර්ශවයේම කතා කලාවන් නවක නිර්මාණකරුවන් හැදෑරීම වැදගත්.

නමුත් නවකයන් එවැනි හැදෑරීමකින් තොරව දුසිම් ගණනින් අතිසරල කෘති ප්‍රකාශයට පත්කරන බව නම් පෙනෙනවා. මොනවා හෝ ලියා කෘති ලෙස මුද්‍රණය කළ පමණින් ලේඛකයකු විය හැකිදරෑ ප්‍රවිණයකු ලෙස එවැනි නවකයන්ට දීමට තිබෙන උපදේශය කුමක්ද? 

යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළකළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ. මගේ පිළිගැනීම නම් හදිසි නොවී, තැන්පත්ව, කලබලයකින් තොරව, කාලයක් යොදවා මෙම නිර්මාණකාර්ය කළයුතු බවයි. ජේමිස් ජොයිස් නමැති කෙටිකතාකරුවා කෘති විශාල සංඛාවක් පළකළේ නෑ. ඔහු විශ්ව සම්භාව්‍ය නිර්මාණකරුවකු බවට පත් වූයේ ඔහු විසින් නිර්මිත 'ඩබිලිනර්ස්' නැමැති එක් කෙටිකතා සංග්‍රහයක් පමණක් පළකිරීමෙන්. මොහු චෙකොෆ්ගේ කෘතිවලින් මහත් අභාසයක් ලැබුවා. ජේමිස් ජොයිස්ගේ රචනා ශෛලියද ඉතා වැදගත්. ඔහුගේ කෘතීන්හි මුඛය වශයෙන් දක්නට ඇත්තේ දෘෂ්ටිගෝචර සංකල්ප රූප. ඇතැම් විචාරකයන් ඔහුගේ භාෂා ශෛලිය සංකල්ප රූපාත්මක භාෂා ශෛලියක් වශයෙන් හඳුන්වනවා. ඔහු පළකළ එම කෘතියෙන්ම විශ්ව සම්භාවනාවට පාත්‍ර වුණා.

කෙටිකතා ප්‍රමාණයෙන් කෙටි වූ පමණින් එය ඉතා ඉක්මණින් නිමකළ හැකි සාහිත්‍යාංගයක් ලෙස සැලකීමට ඇතැමුන් පුරුදු වී සිටිනවා. එහෙත් කෙටිකතාව සියුම් පරිකල්පනයක ප්‍රතිඵලයක්. එක් අතකින් බලන විට කෙටිකතාවේ ශිල්පීය පක්ෂය කෙරෙහි යොමු කරන අවධානය නවකතාවේ ශිල්පීය පක්ෂය කෙරෙහි යොමු කරන අවධානයටත් වඩා තියුණු එකක් වියයුතුයි. එම නිසා යන්ත්‍රානුසාරයෙන් මෙන් කඩිමුඩියේ කෘති පළකිරීමට දරන ප්‍රයත්නය එතරම් නුවණට හුරු එකක් නෙමෙයි.

මෙවර නොබෙල් ත්‍යාගය දිනාගත්තේ ද කෙටිකතාකාරිනියක්වීම විශේෂයි. ඇයගේ නිර්මාණ පිළිබඳව ඔබේ අදහස් මොනවාද? 

ඇලිස් මන්රෝ (Alice Munro) කෙටිකතාකාරිනියක් වශයෙන් කැනඩාවේ විශේෂ කීර්තියක් උසුලනවා. එම රටේ සෑම උසස් සම්මානයක්ම පාහේ ඈ දිනාගෙන තිබෙනවා. ඈ රුසියානු ජාතික ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණවලින් මහත් ආභාසයක් ලැබුවා. සංකීර්ණ මානුෂික අවස්ථා ඉතා ගැඹුරු ලෙසත් කාව්‍යාත්මක ලෙසත් නිරූපණය කිරීමට අලිෂ් මන්රෝ සමත් වී තිබෙනවා. මා ඉතා අගය කරන ඇයගේ එක් කෙටිකතාවක මහලු දෙමාපියන් හා සමාජයේ ඉහළට නැගගත් දූදරුවන් අතර ගැටුම ඉතා සියුම් ලෙස නිරූපණය කොට තිබෙනවා. ඇය කෙටිකතාවේ ශිල්පීය පක්ෂය කෙරෙහිත් විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙනවා. එහෙත් ඇතැම් නවීන කෙටිකතාකරුවන් මෙන් ශිල්පිය පක්ෂය අනවශ්‍ය ලෙස හුවා දක්වන්නට වෑයම්කර නෑ.

ජේමිස් ජොයිස් ද ඇන්ටන් චෙකොෆ්ගේ කෘතිවලින් මහත් ආභාසයක් ලැබූ බව සඳහන් කළා. එතකොට ඇලිස් මන්රෝගේ කෙටිකතා කෙරෙහි ජේමිස් ජොයිස්ගේ කෙටිකතා බලපා නැද්ද? 

ජේම්ස් ජොයිස්ගේ නිර්මාණ පැහැදිලි ලෙස ඈ කෙරෙහි බලපා තියෙනවා. 'ද ඩෙඩ්' නැමැති කෙටිකතාව ජොයිස්ගේ විශිෂ්ට නිර්මාණයක්. එය මානුෂික ස්මෘතිය නැමැති ප්‍රපංචය ඉතා සියුම් ලෙසත්, කාව්‍යාත්මක ලෙසත් ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක්. මෙම කෙටිකතාව සිහිගන්වන නිර්මාණ ඇලිස් මන්රෝගේ කෘති අතර තිබෙනවා

සංවාදය :- රත්තනදෙණියේ මේධානන්ද හිමි
[2014 ජනවාරි 16  දිවයින වටමඩල් මුල් වරට පලවිය.]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions