7/30/2025

අධ්‍යාපන ඇමතිවරියට ඉතිහාසය වහ කඳුරු ද?

කතෘ:යුතුකම     7/30/2025   No comments
අධ්‍යාපන ඇමතිවරියට ඉතිහාසය වහ කඳුරු ද?

ලංකාවේ ඉතිහාස අධ්‍යාපනය කුමක් සඳහා ද යන්න නැවත සිතා බැලිය යුතුය. අප රටේ සහ ජනතාවගේ පැවැත්මට තර්ජනයක් වන අයුරින් මේ වන විට ඉතා සැළසුම් සගහතව විකෘති ඉතිහාසයක් ගොඩ නගමින් තිබේ. බෙදුම්වාදී යුද්ධය නිමා කිරීම සඳහා ලක් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ‘ජන සංහාරයක්’ ලෙස අරුත් ගන්වමින් එය දෙමළ දරුවන්ට ක්‍රමානුකූලව උගන්වමින් සිටී. කැනඩාවේ සමහර ප්‍රාන්තවල පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය තුළට ජන සංහාර ප්‍රවාදය ඇතුළත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් පවතී. තවද කැනඩාවේ සහ යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ පවුල්වල දරුවන්ට දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ දැනටමත් විෂයයක් ලෙස මෙම ‘ජන සංහාර’ මිත්‍යාව උගන්වමින් සිටී. මේ පිළිබඳව යුතුකම යූටියුබ් චැනලය මගින් මීට ඉහතදී හෙළිදරව්වක් සිදු කරන ලදි.

දෙමළ ජන සංහාරයක් පිළිබඳව මිත්‍යා මතයක් දෙමළ සයස්පෝරාවේ දරුවන් වෙත විෂයමාලා ගතකොට උගන්වමින් සිටී.

(ඡායාරූපය උපුටා ගැනීම තැම්ල් ගාර්ඩියන් වෙබ් අඩවියෙන්)

නැගෙනහිර පළාතේ පිහිටුවන ලද මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය නිරූපණය කෙරෙන කෞතුකාගාරයක් තුළ ව්‍යාජ ඉතිහාසයක් තොරතුරු ප්‍රචාරය කරමින් එම ජනතාවට වෙනම රටක් ලබාගැනීම සඳහා පෙළඹවීම් ඇති කෙරෙන ආකාරයේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව මීට කලකට ඉහත වාර්තා කෙරිණි. සිංහල බෞද්ධ ජනතාව අතර ද සිය ඉතිහාසය කෙරෙහි ඇති ඒකමිතිය සිඳී යන ආකාරයේ ව්‍යාජ ඉතිහාස තොරතුරු බෙදා හරිමින් පවතී. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිපලය වන්නේ ජන සමාජය බිඳී ගිය, ආතතීන්ගෙන් පිරුණු එකක් බවට පත් වීමයි. එය රටෙහි සහ ජනතාවගේ ප්‍රගතියට ඇති කරන්නේ ඉතා අහිතකර බලපෑමකි.

80 සහ 90 දශකය තුළ ලංකාවේ පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාස විෂය ඉවත් කොට තිබුණි. ඒ, ඉතිහාසය ඉගෙන ගැනීම තුළින් ලංකාවේ ‘බහුවාර්ගික ලේබලය ඇලවීමට බාධාවක්’ වන බවට එවකට පාලකයන් තීරණය කොට තිබූ බැවිනි. 80 දශකයට පෙර ලංකාවේ පාසල් තුළ ඉතිහාසය ඉගැන්වීම සිදු වුවද එය සිදු වූයේ බටහිර දෘෂ්ටිකෝණයකිනි. මෙම පශ්චාත් යටත් විජිත සමය තුළ බ්‍රිතාන්‍ය අනුකාරක ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වුණි. ඉතිහාසය නැවත අනිවාර්‍ය විෂයයක් බවට පත් වූයේ 2005 වසරේදීය. එය ලංකාවේ ඒකීයත්වය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අලුතින් සිතා බැලීමට පෙළඹවූ යුගයක් වී තිබුණි.


“අග්නිදිග විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කොට ඇති මුස්ලිම් කෞතුකාගාරයෙන්, රට පුරා ඇති ස්ලාමීය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, පාසල් හා මද්‍රාසා පාසල්වල ඉගැන්වෙන ලංකා ඉතිහාසය පිළිබඳ විෂය නිර්දේශ දෙස බැලීමේදී පෙනී යන්නේ ලංකාවේ මුස්ලිම් ඉතිහාසය පිළිබඳව දීර්ඝ කතාවක් දැනටමත් ගොඩ නගා අවසන් බවය”

(චම්පික රණවක මහතා විසින් රචිත අල් ජිහාද් අල්කයිදා කෘතියෙන්)

2005 සිට මේ දක්වා පාසල් තුළ ඉගැන්වෙන ඉතිහාසය විෂය නිර්දේශය වෙනස් විය යුතු කාලය දැන් එළඹ තිබේ. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළු ඉතිහාසය පෙළ පොත්, විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් අප විසින් අධ්‍යනය කරන ලදි. ඒ අනුව අපගේ නිරීක්ෂණය වන්නේ අපගේ ජාතිය මුහුණ දෙමින් පවතින වත්මන් අභියෝග ජන ගැනීම සඳහා අවශ්‍ය කරන දෘෂ්ටිය වත්මන් ඉතිහාස විෂය නිර්දේශය තුළින් දරුවන් වෙත ප්‍රදානය නොකෙරෙන බවයි.

විෂය නිර්දේශය තුළ ලංකාවේ නූතන ඉතිහාසය පිළිබඳව හැඳින්වෙන්නේ 1978 ව්‍යවස්ථාව දක්වා පමණි. ඉන් අනතුරුව ඇති වූ උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරවල නැගීම, කළු ජූලිය, ඉන්දු ලංකා ගිවිසුම, 87-89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, ඊලාම් යුද්ධය, සාම ගිවිසුම, එල්ටීටීඊ සංවිධානයේ අවසානය, ආර්ථික ප්‍රතිසංස්කරණය ආදී සිදු වීම් කිසිවක් මෙම විෂය නිර්දේශය තුළින් දරුවන් වෙත හඳුන්වා දෙන්නේ නැත. එසේම 78 ට කලින් සිදු වූ 1962 කුමන්ත්‍රණය, 1971 කැරැල්ල ආදී දැන ගත යුතුම සංසිද්ධීන් පවා කිසිම හඳුන්වා දීමක් සිදු නොකොට වසන් කොට දමා ඇත.

ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨත්වය පැහදිලි කිරීම සඳහා විෂය නිර්දේශයේ කාලච්ඡේද ගණනාවක් වෙන් කොට ඇත. නමුත් ලංකාවේ පැවැත්මට අතිශය බලපෑම් සහගත දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ දේශපාලනයේ හැසිරීම හඳුන්වා දීම සඳහා කිසිඳු සඳහනක් යොදා නොමැත.

ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ලා ගත් කළ අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ විකාශනය පිළිබඳව ද, චීනය සහ ගිනිකොන ආසියාව පිළිබඳව ද යම් හැඳින්වීමක් සිදු කෙරෙන්නේ නම් වර්තමාන ලෝකය තේරුම් ගැනීම සඳහා ඒ තුළින් දරුවන්ට මනා පිටිවහලක් සැපයෙන්නට ඉඩ තිබුණි.

මෙවන් පසුබිමක් තුළ ඉතිහාසය පිළිබඳ හරි වැටහීමක් නොමැති දරුවන් ‘රෝං ජෙනරේෂන්’ ලෙස වල්මත් වීම පුදුමයක් නොවේ. අප යෝජනා කරන්නේ ඉතිහාසය සමඟ ගැට ගැසී ඇති දේශපාලනය බාල දරුවා වෙත මුදා හැරීම නොවේ. අප විසින් යෝජනා කරන්නේ ඉතිහාසයේ සිදු වූ සංසිද්ධීන් සැඟවීමකින් තොරව ළමා පරපුර වෙත හෙළිදරව් කිරීම ඉතිහාසය විෂය මාලාවෙන් සිදු කළ යුතු බවයි. එය තම තමන්ගේ දෘෂ්ටීන්ට අනුව විවරණය කර ගැනීම දරුවන්ට පැවරිය යුතුය. අප විසින් සිදු කළ යුත්තේ හඳුන්වා දීමයි.

එසේ නම් මෙම සීමාකම් ජය ගැනීම සඳහා අප විසින් වහාම සිදු කළ යුතුව ඇත්තේ විෂය මාලා යාවත්කාලීන කිරීමක් තුළින් වඩා ප්‍රයෝජනවත් ඉතිහාස දැනුමක් ජාතියේ දරු පරපුර වෙත ලබා දීමට කටයුතු කිරීමයි. එහෙත් ඒ පියවර පසෙක තබා වත්මන් ආණ්ඩුව දැන් කඩිමුඩියේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ඉතිහාසය විෂය අනිවාර්ය විෂය ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිණිසය.

වත්මන් අධ්‍යාපන ඇමතිවරියට මෙලෙස ඉතිහාසය විෂය අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීම සඳහා පවතින උනන්දුව අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයේ පවතින දහසකුත් එකක් වූ අනෙක් අඩුපාඩු සපුරාලීම සඳහා පැවතියේ නම් පසුගිය මාස කිහිපය තුළ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගව් ගණනක් පෙරට යෑමට ඉඩ තිබුණි. නමුත් සිංහල බෞද්ධයන් සමඟ උපන් ගෙයි වෛරයක් ඇති ඇමතිවරිය හට ඒ සියල්ලටම වඩා ඉක්මනින් කිරීමට අවශ්‍යව ඇත්තේ ඉතිහාසය විෂය දරුවන්ගෙන් ඈත් කොට තැබීමයි. මක්නිසාද ඉතිහාසය මැනැවින් හැදෑරූ අනාගත පරපුරක් තුළ ඇය පතන LGBTQ ලෝකය බිහි කරගත නොහැකි වන බැවිනි.

මිනිසාට ඉගෙනීම අවශ්‍ය වන්නේ වර්තමාන ලෝකය විවරණය කර ගෙන අනාගතය සඳහා මුහුණ දීම පිණිසය. රජයක් විසින් රටේ ළමා පරපුර වෙත අධ්‍යාපනය ලබා දීම සඳහා ආයෝජනයක් සිදු කරන්නේ නම් එහි ඉලක්කය විය යුත්තේ රටේ අනාගතය භාර ගැනීම සඳහා සුදුසු විචක්ෂණභාවයකින් යුතු සබුද්ධික පුරවැසියෙක් නිර්මාණය කිරීමයි. එහෙත් ලංකාවේ වත්මන් අධ්‍යාපනය එවන් දැක්මක් සහිත එකක් නොවන බව පැහැදිලිවම පෙනී යයි. වත්මන් රජය විසින් යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක ගත වී ඇත්තේ පවතින අධ්‍යාපන ක්‍රමයේ මෙම දුර්වලතා නිශේධනීය කිරීම සඳහා නොවේ. වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක ගත වී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන මතවාද සමාජය වෙත එන්නත් කිරීම සඳහා ය.

ලංකාවේ ඉතිහාසය පෙළ පොත් සහ විෂය නිර්දේශ සැකසීම සඳහා මාලනී ඇඳගමගේ සිට නිර්මාල් දේවසිරි දක්වා පළල් දෘෂ්ටිමය විවිධතාවයකින් යුතු පිරිසක් සම්බන්ධ වී තිබේ. නිර්මාල් දේවසිරි වැනි ඊනියා ඉතිහාස උගතුන්ගෙන් පිරුණු කමිටු තුළ දැනට පවතින අයුරින් වත් ඉතිහාසය විෂයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට හැකි වීම පිළිබඳව අප දිවංගත මාලනී ඇදගම වැනි මහත්ම මහත්මීය පින් අනුමෝදන් කළ යුතුය.

නිර්මාල් දේවසිරිලා අතට දැන් ඇකඩමියාවේ පමණක් නොව දේශපාලනයේ සුක්කානම ද මෙරට ජනතාව විසින් ඡන්දයෙන් පවරා ඇත. ඔවුන් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෝ වෙති. එහෙත් හිටිහැටියේ නිර්මාල් දේවසිරි මහතා හරිනි අමරසූරියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව සාප තැබීමට පෙළඹී ඇත. මේ බව දුටු ළඟ චූන් ජාතිකවාදීන් ද නිර්මාල් දේවසිරිලාගේ ප්‍රකාශ උඩ තබාගෙන යන බව පෙනේ. මෙම පිරිස මෙලෙස ළඟ චූන් වී නිර්මාල්ලාව උස්සාගෙන යන්නේ නිර්මාල් කියන දෑ ගැන හරි හැටි අවබෝධයකින් ද?

නිර්මාල්ගේ අදහසට අනුව ඉගැන්විය යුත්තේ නිර්මාල්ලා ඇතුළු ඊනියා වම්මුන් ඉතිහාසය ලෙස දකින විපරීත කරුණු දැක්වීමයි. ඔවුනට අනුව මහාවංශය සහ ඒ සමඟ කියවෙන සිංහල බෞද්ධයාගේ ඉතිහාසය වැදගත් දෑ නොවේ. මේ අනුව ඉතිහාසය විෂය විෂයමාලාවෙන් ඉවත් කිරීම සඳහා කැස කවන හරිනි අමරසූරියලාගේ ද, අපබ්‍රංශ ඉතිහාසයක් ඉගැන්වීම සඳහා යෝජනා කරන නිර්මාල් දේවසිර්ලාගේ ද අභිලාෂය දෙකක් නොව එකක් බව අප විසින් සිහි බුද්ධියෙන් යුතුව වටහා ගත යුතුය. වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවාද යන්න තවමත් ඔවුන් විසින් නිශ්චිතව දක්වා නැත. හරිනිලා තැන තැන නා නා විධ ප්‍රකාශ සිදු කරමින් මුට්ටිය දමා බැලීමේ සෙල්ලම කරගෙන යන බව පෙනේ. කෙසේ වෙතත් පළමු අදියරේ දැමූ මුට්ටි සියල්ලට මේ වන විට කුඩු වෙන්නට පොලු පහරවල් ලැබී ඇත. නමුත් ජනතාවගේ ආධ්‍යාත්මය තේරුම් ගැනීමට අවම උත්සාහයක් වත් නොදරන පාලන තන්ත්‍රයක් විසින් සහනයක් නම් බලාපොරොත්තු විය නොහැකිය. ඒ නිසා අවදියෙන් සිටිමි. සංවිධානය වෙමු. සංවිධානය කරමු.

දක්ෂිණ ජයවික්‍රම
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 7 : ශ්‍රී ලංකාවේ ජාතිකවාදය

කතෘ:යුතුකම     7/30/2025   No comments


අපේ මතය - 7
ශ්‍රී ලංකාවේ ජාතිකවාදය

අපගේ මව්බිම වන මෙම දිවයිනෙහි නිල නාමය ශ්‍රී ලංකාව යනුවෙන් නම් කරනු ලැබුවේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙනි. වසර 2,500 ක් තරම් අතීතයක් දක්වා දිය යන ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු වේ. එම ඉතිහාසය පුරාවිද්‍යාත්මක සාධක මගින්ද, වංශකතා සාහිත්‍ය මගින්ද පමණක් නොවේ ලෝකයේ වෙනත් රාජධානීන් තුළින් සොයා ගන්නා ලද පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යමය මූලාශ්‍ර මගින් ද සනාථ කොට ඇත.

වසර 2,500 ක ඉතිහාසය තුළ මෙම දිවයින දේශපාලනමය වශයෙන් ඒකඡත්‍ර වූ අවස්ථා මෙන්ම නොවූ අවස්ථාද විය. ඇතැම් කාලවලදී දිවයින රාජධානි කිහිපයකට බෙදී ගොස් පැවතුණි. එසේ වුවත්, එවන් කාලවලදී පවා තමන් එකම ජාතියකට අයත් වූ ජනතාවක් ය යන ජාතික හැඟීම රටවැසියා තුළ නොනැසී පැවතුණි.

1815 දක්වා ශ්‍රී ලංකාව තුළ ස්වදේශික රාජාණ්ඩු පැවතුණි. රාජ්‍යයේ වැසියන්ගේ ජාතිකත්වය ‘සිංහල’ වූ බැවින් එකල්හි රාජ්‍යයේ නිල නාමය වූයේ ‘සිංහලේ’ යන්නයි. රාජ්‍යයේ ආගම බුද්ධාගම විය. සිංහලේ රාජ්‍යත්වය ඇතැම් තැන්හිදී වෙනත් වාර්ගික සම්භවයන් සහිත වූ පුද්ගලයන් අතටද උරුමයෙන් හිමි විය. ජන්මයෙන් වෙනත් ජනවර්ගවලට අයත් වූවන් පවා බුදු සමය වැළඳ ගැනීමෙන් අනතුරුව සළකන ලද්දේ සිංහලේ රජු වශයෙනි.

ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක පටන් ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමනයේ අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් වේ. මේ හේතුවෙන් ලෝකයේ නොයෙක් ජනවර්ගවලට අයත් ජනතාව මෙහි පැමිණ පැළපදියම් වූහ. එලෙස පැමිණුනු සංක්‍රමණික ජනවර්ග පවා බුදු සමය සිය ආගම ලෙස පිළිගැනීමෙන් සහ සිංහල භාෂාව සිය භාෂාව ලෙස භාවිතයට ගැනීම ආරම්භ කිරීමෙන් අනතුරුව සිංහල ජාතිකයන් බවට පත් විය.

16 වන සියවසේ මුල සිට එල්ල වූ බටහිර යුරෝපීය බලපෑම් හේතුවෙන් ක්‍රමිකව සිංහලේ රාජධානි පරිහානියට ලක් විය. දිවයින වටා පිහිටි මුහුදු තීරය සහ නාවුක තොටුපලවල් අහිමි වීම කරණ කොටගෙන සීඝ්‍ර විපර්‍යාසයන්ට බඳුන් වෙමින් පැවති ලෝකය හා සම්බන්ධතා පවත්වා ගැනීමට සිංහලේ රාජධානි අසමත් විය. මේ සමඟම සියවස් ගණනක් පවත්වාගෙන ආ ආගතුකයන් සිය ජාතිය වෙත අවශෝෂණය කර ගැනීමේ සක්‍යතාවය ද සිංහල ජාතිය වෙතින් කෙමෙන් හීන විය.

1815 උඩරට ගිවිසුම මගින් සිංහලේ අවසාන රාජධානියේ පාලනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට පත් විය. එතැන් සිට 1848 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි සන්නද්ධ නැගී සිටීම් කිහිපයක් සිදු විය. 1818 වෙල්ලස්ස සටන, 1848 මාතලේ සටන ඒ අතර ප්‍රධාන වෙයි. ඊට අමතරව 1820, 1823 සහ 1824 වර්ෂ වලදීද සන්නද්ධ නැගී සිටීම් සඳහා සිංහල ජනතාව සූදානම් වූ බව ඉංග්‍රීසි වාර්තා අනුව තහවුරු වේ. නමුත් ඒවා ලත් තැනම ලොප් විය. මෙම මුල් කාලීන සන්නද්ධ ප්‍රයත්නයන් සියල්ලක්ම ඉලක්ක ගත වූයේ නැවත සිංහල රාජාණ්ඩුව ස්ථාපිත කිරීම පිණිසය.

මේ අතර බ්‍රිතාන්‍යන් විසින් සමස්‍ත දිවයිනම ආවරණය වන පරිදි පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරන ලදි. එහි සේවාවන් සඳහා ඉංග්‍රීසි භාෂාව උගත් ස්වදේශිකයන් බඳවා ගන්නා ලදි. මෙම ආණ්ඩුවේ රැකියාවන් සඳහා ස්වදේශිකයන් පුහුණු කිරීම සඳහා ක්‍රිස්තියානි පල්ලිය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් ද ඇති කරන ලදි. තවද මෙම යුගයේදී ධනය ඉපයීම සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් වෙත ඇගෑලුම්කම් පෑම අනිවාර්ය විය.

මෙම පසුබිම මත තම සහෝදර රටවැසියා අමතක කොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙනුවෙන් කත් අදින සමාජ පංතියක් මෙරට බිහි විය. ඔවුන් භාෂාවෙන්, ආගමෙන් සහ සිරිත් විරිත්වලින් යුරෝපීයයන් අනුකරණය කරන්නෝ වූ අතර මෙරට පොදු ජනයාගේ ඇවතුම් පැවතුම් සහ සිංහල ශිෂ්ඨාචාරයේ උරුමයන් පිළිකෙව් කරන්නෝ වූහ.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ මුල් බීජ රෝපණය වන්නේ 19 වන සියවසේ දෙවන බාගය තුළ උද්ගත වුණු ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සමගිනි. එතැන් සිට ශ්‍රී ලංකාවේ ජාතිකවාදය විකාශනය වූ ආකාරය සහ එහි වත්මන් තත්ත්වය නිවැරදිව විග්‍රහ කර ගැනීම සඳහා එය අප විසින් පහත පරිදි යුග 5 කට බෙදා දක්වන්නෙමු.

I - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය
II - 1919 සිට 1956 පෙරළිය දක්වා යුගය
III - 1956 සිට 1987 ඉන්දු ලංකා ගිවිසුම තෙක් යුගය
IV - 1987 සිට 2009 එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම දක්වා වූ යුගය
V - 2009 න් පසු මේ දක්වා

මෙතැන් සිට ඉහත යුගයන් 5 විවරණය කර ගනිමින් සිදු කරන්නා වූ තොරතුරු දැක්වීම අප විසින් සිදු කරනු ලබන්නේ එය අපට අනාගත මාවත තෝරා ගැනීම සඳහා මගපෙන්වීමක් ලබා දෙන බැවිනි. මෙම ඉතිහාස විවරණය තුළ කිසිවෙකු හෙළා දැකීමට අප හට වුවමනාවක් නැත.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාව තුළ එක් යුගයක් තුළ ප්‍රගතිශීලී යුග කාර්යභාරයක් ඉටු කළ මිනිසුන් තවත් යුගයකදී ඊට ඉඳුරාම වෙනස් මාවත් ඔස්සේ පියමන් කොට ඇත. අනාගතයේදී ද නිසැකවම මේ යතාර්ථය යළි යළිත් අත් විඳීමට සිදු වනු ඇත.

මාවත තුළ යන එන මිනිසුන් පෙනී නොපෙනී යන නමුත් මාවත නොවෙනස්ව පවතී.

[ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ පළමු යුගය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය- පිළිබඳව යුතුකම අගෝස්තු කලාපයෙන් සාකච්ඡා කරමු.]

පැතුම් ඒ. රණසිංහ
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

6/30/2025

යුදෙව් ජාතිකවාදය - 2 : යුදෙව් රාජ්‍යය බටහිරයන්ගේ මිතුරෙකු වූ හැටි

කතෘ:යුතුකම     6/30/2025   No comments

යුදෙව් ජාතිකවාදය - 2
යුදෙව් රාජ්‍යය බටහිරයන්ගේ මිතුරෙකු වූ හැටි

යුදෙව් ඉතිහාසය විමසා බලන විට (පසුගිය ලිපියේ ද සාකච්ඡා කළ පරිදි), යුරෝපීය රටවල දී යුදෙවුවන්ට එරෙහිව දැඩි විරෝධතා පැවැති බව සහ ඔවුන් වෙත දැඩි ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වූ වකවානුවක් පැවතී ඇති බව පෙනී යයි. මධ්‍යතන යුගයේ කුරුස යුද්ධ මාලාවේදී, යුදෙවුවන් මුස්ලිම් රටවලට සහාය දැක්වූ බව කියනු ලැබේ. මීට ප්‍රධානම හේතුව බටහිර ජාතීන් අතින් තමන්ට සිදු වූ කෙනෙහෙළිකම් විය හැකි ය.

මෙවන් පසුබිමක් තුළ, ඊශ්‍රායලය ගොඩනැගීම කෙරෙහි බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් සහාය දැක් වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

විසි වන සියවසේ මැද භාගය වන විට, සයොනවාදය නමින් හැඳින් වූ, ජෙරුසෙලම කේන්ද්‍ර කරගත් යුදෙව් රාජ්‍යය ගොඩනැංවීම සම්බන්ධ අදහස් බොහෝ දුරට වර්ධනය වී තිබූ අතර, එම අදහස් දැරූවන් උපක්‍රමිකව ඊට අදාළ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියහ. 1917 දී බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ආතර් බැල්ෆර්, ප්‍රකාශයක් (බැල්ෆර් ප්‍රකාශය) නිකුත් කරමින්, යුදෙව් ජනතාවට පලස්තීනයේ සිය ජාතික නිජබිම (National Home) ලෙස ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සහාය පළ කළේ ය. ඒ වන විට යුරෝපීයයන් කුරුස යුද්ධ මාලාවකින් පරාජයට පත්ව තිබූ අතර, ජෙරුසෙලම කේන්ද්‍ර කරගත් පලස්තීනය තුර්කියේ ඔස්මන්වරුන් (ඔටෝමන්වරුන්) සතුව පැවතුණි. පලස්තීනයෙන් ඔවුන් පලවා හැර එහි බ්‍රිතාන්‍ය බලය තහවුරු කර ගැනීම, නොඑසේ නම්, තමන්ට පක්ෂපාතී යුදෙව් රාජ්‍යයක් එහි ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ අරමුණ වූවා විය හැකි ය. මෙහි දී යුදෙව් රාජ්‍යය මගින් මැද පෙරදිග මුස්ලිම් බලය තුලනය කිරීම බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල ඉල්ලකයක් වූවාට සැක නැත. අනෙක් අතට, යුදෙව්වන් එවක යුරෝපයේ ගොඩනගා ගෙන තිබූ වෙළඳ ආධිපත්‍යය හේතුවෙන්, ඔවුන් සතුව පැවැති මූල්‍ය ශක්තිය, යුද්ධ වලදී තමන්ට ලබා ගැනීම බටහිරයන්ගේ අපේක්ෂාව විය.

පළමු ලෝක සංග්‍රාමයේදී ඔස්මන්වරුන්, මධ්‍ය බලවතුන් (Central Powers) හෙවත් ජර්මනිය, ඔස්ට්‍රියාව, හංගේරියාව වැනි රටවලට පක්ෂව කටයුතු කළහ. මේ අතර, එයට විරුද්ධ පාර්ශ්වය වූ මිත්‍ර බලවතුන් (Allied Powers) ලෙස, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව වැනි රටවලට පක්ෂව යුදෙවුවන් කටයුතු කළහ. මෙහිදී එම පාර්ශවය වෙත පලස්තීනයේ බලය තහවුරු කර දීමත්, ඒ හරහා එහි යුදෙව් රාජ්‍යය බිහි කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව විය. එම අපේක්ෂාවට කොල එළියක් දල්වමින්, 1918 වන විට ඔස්මාන්වරු පරාජයට පත්ව, පලස්තීනයේ බලය තහවුරු කර ගැනීමට මිත්‍ර බලවත්තු සමත් වෙති. මෙහි දී මිත්‍ර බලවතුන් අතර ඇති වන එකඟතාවක් අනුව පලස්තීනයේ භාරකාරීත්වය 1920 සිට බ්‍රිතාන්‍යයට හිමි වේ. ඒ අනුව 1948 දක්වා පලස්තීනය පවතින්නේ බ්‍රිතාන්‍ය පාලනයක් යටතේ ය.
මේ කාල වකවානුව තුළ සංවිධානාත්මක නොනිල පාලන ව්‍යුහයක් පලස්තීනය තුළ ස්ථාපනය කර ගැනීමට යුදෙව් ප්‍රජාව සමත් වූ අතර, මෙම පාලන ව්‍යුහය අර්ධ වශයෙන් නිල ආයතන ලෙස එවක බ්‍රිතාන්‍ය පාලනය විසින් පිළිගනු ලැබ තිබිණි. 1940 දශකයේ අග භාගය යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සිය යටත් විජිත සඳහා නිදහස ලබා දීම සලකා බලන ලද කාල වකවානුවකි. 1948 බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය තුළ සිය බලය අත් හැරීමත් සමග ම, යුදෙව්වන්ගේ නොනිල පාලන අධිකාරිය විසින් ඊශ්‍රායලය නිදහස් රටක් ලෙස ප්‍රකාශ කරන ලදී. නොනිල යුදෙව් නායකයා ලෙස සැලකුණු දවීද් බෙන්-ගුයෝන් (David Ben-Gurion) ඊශ්‍රායලයේ ප්‍රථම ජනාධිපතිවරයා විය. 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊශ්‍රායලය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබීම සිදු වන්නේ මෙම පසුබිම තුළ ය. නූතන ඊශ්‍රායලය බිහි වීමේ දී සහ ඉන් පසුව සෝවියට් සංගමයේ නොහොත් වත්මන් රුසියාවේ ක්‍රියා කලාපය තරමක් සංකීර්ණ ස්වභාවයක් ගනී. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිශේධ බලය ද හිමි සෝවියට් සංගමය, ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ දී ඊට පක්ෂ ස්ථාවරයක් දරා ඇති නමුත්, පසු කාලීනව ඊශ්‍රායලය බටහිර ගැති රාජ්‍යයක් ලෙස සලකා ඊට විරුද්ධ ස්ථාවරයක් ගෙන ඇත. සෝවියට් සංගමයේ එම මුල් ස්ථාවරය කෙරෙහි, දෙවන ලෝක යුද්ධයේ දී යුදෙව්වන්ගේ හැසිරීම බලපාන්නට ඇත. මීට අමතරව දවීද් බෙන්-ගුයෝන් සමාජවාදී ප්‍රතිපත්ති දැරූවකු වීම ද සෝවියට් සංගමයේ එම හැසිරීමට හේතු වූවා විය හැකි ය. පසු කාලීනව අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර පැවති යුද්ධවල දී සෝවියට් සංගමයේ සහාය අරාබි රටවලට ලබා දී ඇත.

දෙවන ලෝක යුද සමය වන විට බ්‍රිතානය සහ එක්සත් ජනපදය වෙත යුදෙව්වන්ගේ සහාය ලබා දීම වඩාත් කැපී පෙනෙන අතර, නාසි යටත් විජිත වෙතින්, එක්සත් ජනපදය වැනි රටවලට පලා ගිය යුදෙව් විද්‍යාඥයින් බොහොමයකගේ සහාය එම රටවලට හිමි විය. යුදෙව් ධනවතුන් නිල සහ නොනිල මාර්ග ඔස්සේ මෙම රටවලට යුද්ධයේ දී මූල්‍යමය සහාය ලබා දී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ යුධ බැඳුම්කර (war bonds) යුදෙව් ධනවතුන් විසින් විශාල ලෙස මිලට ගෙන ඇත.

යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම්වලට පොදු මූලයක් සහිත වුව ද, මේ හා බැඳුනු සංස්කෘතීන් ඓතිහාසිකව එකිනෙකා හා ගැටී ඇත. වත්මන් යුදෙව්-මුස්ලිම් ගැටුම සහ බටහිර-මුස්ලිම් ගැටුම මෙන්ම අතීතයේ යුරෝපයේ පැවති යුදෙව්-බටහිර ගැටුම සහ කුරුස යුද්ධ මාලාව මෙහි විකාශයන් ලෙස හඳුනා ගත හැකි ය. 20 වන සියවසේ මුල සිට ඇති වී ඇති යුදෙව්-බටහිර සංධානය, එම දෙපාර්ශවය විසින් ම සිය අරමුණු මුදුන් පත් කර ගැනීම උදෙසා ඇති කර ගන්නා ලද්දක් වන බැවින්, එම සංධානය කෙසේ කෙළවර වනු ඇති ද යන්න දැන් ම පුරෝකතනය් කිරීමට නොහැකි ය.

-නාරද බලගොල්ල
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

ලොව සභ්‍යත්වය හා ම්ලේච්ඡත්වය පිළිබඳ කතන්දරයක්

කතෘ:යුතුකම     6/30/2025   No comments

මීට අවුරුදු 2333 කට පෙර අපේ මහින්ද හාමුදුරුවෝ තවත් පස් දෙනෙකු සමඟ මිහින්තලයට වැඩම කළෝ ය. උන් වහන්සේලා ළඟ භික්ෂුවකට කැප වූ අත්‍යවශ්‍ය කලමනා මිස අවි ආයුධ හෝ තෑගි බෝග හෝ අන් කිසිවක් හෝ නොවූ හ.

මහින්ද හාමුදුරුවෝ තිස්ස රජුන් සමග සුහද බුද්ධිමය සංවාදයක යෙදුනෝ ය. තමන් මේ රටේ භාරකාරයා මිසක අයිතිකරු නොවන බවත් රාජ්‍යයේ මිනිසුන් පමණක් නොව සියලු සත්වයන් හා ගහකොළ මෙන් ම භූමිය ද රැක ගැනීම රජකුගේ වගකීම බව ද රජුට මතක් කර දුන්නේ ය. බුදු සමයේ හරය හකුලා දක්වන ධර්ම දේශනාවක් ද කළෝ ය.

පසු දින රජතුමාගේ ආරාධනයෙන් අනුරාධපුරයට වැඩම කොට රජුගේ සහ පිරිවරට, රාජ්‍ය නිළධාරීන්ට හා පොදු ජනතාවට ද ධර්ම දේශනා කළ අතර රජතුමාගේ ඉල්ලීම පිට මේ රටේ බුදු සසුන පිහිටුවීමට අවශ්‍ය අවවාද අනුසාසනා ද කළෝ ය.

මේ සියලු කටයුතු සාර්ථකව නිමා කළ උන් වහන්සේ යළි මිහින්තලයට වැඩ ම කොට පරිනිර්වානය දක්වා ම එහි වැඩ වාසය කළෝ ය.

එදා මෙදා තුර ගෙවීගිය කාලය තුල බුදු සමය මෙරට මහ පෙළොවේ ආගම විය. රජුන්ගේ ආගම විය, පොදු ජනතාවගේ ආගම විය. එය මේ බිමේ උරුමය, අධ්‍යාත්මය, සංස්කෘතිය, සභ්‍යත්වය හා පොදු ජන විඥානය බවට ද පත් විය.

වරින් වර සතුරු කරදර එල්ල වුව ද සිංහල බුදු සමයට ම්ලේච්ඡතම වූ ද සාහසික වූ ද තර්ජනය එල්ල වූයේ ඉතිහාඥයින් විසින් පුනරුද යුගය ලෙසින් හඳුන්වනු ලබන යුගය තුළ දී ය. දහසය වන සියවස ආරම්භයේ දී පෘතුගීසීන් මෙහි පැමිණයේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියොජිතයා වූ වතිකානුවේ පාප් වහන්සේ විසින් මුලු ලෝකයටම බලපවත්වන ලෙසින් නිකුත් කරන ලද ආඥාවක් ද (papal bull) සමඟ ය.

ඊට අනුව ඔවුන් අල්ලා ගන්නා සියලුම භූමි වල මනුෂ්‍යයන් කිතු සමයට හරවා ගැනීමටත්, ඊට එකඟ නොවන්නන් මරා දැමීමටත්, ඒ රටවල සම්ප්‍රදායික ඇදහීම් හා සම්බන්ධ සිද්ධස්ථාන විනාස කර දැමීමටත් ඒ ඒ රටවල වස්තුව හිතු මතයේ කොල්ල කෑමටත් ඔවුනට අවසරය දී තිබුනි.

පෘතුගීසීහු එම ආඥාව හොඳින් ක්‍රියාත්මක කළ හ. කෝට්ටේ රජ මාළිගාව තුලට ඔවුන් ඇතුලු වන්නේ සීතාවක මායාදුන්නේ රජු වෙතින් එල්ල වන සතුරු උවදුරු වලින් රජුන්ට ආරක්ෂාව සලසන මුවාවෙනි. හමුදා නිළධාරීන් සමඟ රජ මාලිගයට වදින කතෝලික පූජකවරුන් රජුට කිතු සමය වැළඳ ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ එසේ නොකළ හොත් රජ දෙවියන් වහන්සේගේ උදහසට ලක් විය හැකි බව ද කරුණාවෙන් මතක් කර දෙමිනි.

එය කෙළවර වන්නේ රාජ්‍යයේ උරුමක්කාරයා වූ රජුගේ මුණුබුරු ධර්මපාල කුමාරයා කිතු සමය වැළඳ ගැනීම සඳහා පෘතුගීසීන්ට බාර දීමෙනි.

කිතු සමය වැළඳ ප්‍රතික්ෂේප කරන බුවනෙකබාහු රජතුමා දෙවියන් වහන්සේගේ උදහසට ලක්ව මාළිගාවේ සිටි පෘතුගීසි හේවායෙකුගේ තුවක්කුවක් වැරදීමකින් පත්තු වී මිය යයි.

පෘතුගීසින්ගේ රූකඩයක් ලෙසින් රජකම් කළ ධර්මපාල රජුගේ (දොන් ජුවන්) රාජ්‍ය කාලය තුළ දී බුදුන් වහන්සේ පවා වැඩි කැළණි විහාරය ද ඇතුලු මුහුදු බඩ වෙහෙර විහාර 400 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කිරීමද සිංහල බෞද්ධයින්ට විරුද්ධව නීතිය අවභාවිතා කිරීම් ද සිදු විය. අවසන ධර්මපාල රජු විසින් ලියවිල්ලකින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසි රජුට පවරා දෙනු ලැබීය.

පෘතුගීසීහු කන්ද උඩරට රාජ්‍ය සම්බන්ධයෙන් ද කෝට්ටේ රාජ්‍යයටම සමාන වූ පිළිවෙතක් අනුගමනය කළ හ. ඒ මන්නාරමේ පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ සිටි කන්ද උඩරට කරලියැද්දේ රජුගේ දියණියක වූ කුසුමාසන දේවිය දෝන කතිරිනා නමින් බෞතීස්ම කරන ලදුව කන්ද උඩරට රාජ්‍යත්වයට පත්කිරීමට උත්සාහ ගැනීමෙනි. එම ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ පෘතුගීසීන් අතර දොන් ජෝන් නමින් ප්‍රසිද්ධ වූ කන්ද උඩරට ප්‍රභූවරයෙකුගේ පුත් කොනප්පු බණ්ඩාර උපායෙන් හා වික්‍රමයෙන් විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රජ බවට පත් වීමෙනි. විමලධර්මසූරිය විසින් කුසුමාසන ඔහුගේ අගමෙහෙසිය බවටත් පත් කර ගන්නා ලදි.

විමලධර්මසූරියගේ රාජ්‍ය කාලය තුල දී දෙවරක්ම මහනුවර රාජධානිය ආක්‍රමණයෙන් අත්පත් කර ගැනීමට අසමත් වුනු පරංගීහු ඉන් පසු වරින් වර කන්ද උඩරට සිංහල ගම්බිම් වලට කඩාවැදී කෙත්වතු බවභෝග විනාශ කරමින් හා මනුෂ්‍ය ඝාතන කරමින් නිවට වූ ද ම්ලේච්ඡ වූ ද ත්‍රස්ත පිළිවෙතක් අනුගමනය කරන ලදි. මෙරට සිංහල බෞද්ධයන්ට දේපළ වස්තු හා ජීවිත අහිමි විය. තවද තම දරුවන් උඩදමා බයිනෙත්තුවේ අමුණනවා බලා සිටීමට පවා සිදු වී ම දක්වා වූ නොයෙක් ප්‍රමණයේ ගැහැට විඳීමට ඔවුනට සිදු විය.

එහෙත් කිසිම ආක්‍රමණිකයෙකුට මහින්ද හිමියන් තවත් පස් දෙනෙකු සමඟින් නිරායුධව මෙරට ස්ථාපිත කළ බුදු සමයේ පදනම බිඳහෙළිය නොහැකි විය. ඉනුත් වසර දෙසිය ගණනකට පසු ලොව හිරු නොබසින අධිරාජ්‍යය පිහිට වී යැයි කියන ඉංගිරිසිකාරයන් පවා මේ රටේ බලය ස්ථාපිත කරගත්තේ බුදු සමය හා දේවාගම් ආරක්ෂා කරන බවට ලියවිල්ලක ලියා දී පොරොන්දු වෙමිනි. අද පවා ඇතමෙකුට මේ රට ඊනියා නිරාගමික රාජ්‍යක් බවට පත් කිරීමට උවමනා වී ඇත්තේ මන්දැයි සිතා බැලීම ලිපිය කියවන ඔබට බාරයි.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි-
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

එකක් හෝ රකින්නට වැළපිය යුතු ඉහිරුණු කිරි - 5

කතෘ:යුතුකම     6/30/2025   No comments

පෙර සිව්වැනි ලිපියේ දී අපි මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල අසළින් හමු වූ බෝධිසත්ව පාද කොටස සහ ඊට යාබද ව හමුවූ ප්‍රතිමා ගෘහය සම්බන්ධයෙන් සාකච්ඡා කළෙමු. මකයාපිඩ්ඩි ගම්මානයේ පුරාවස්තු ගවේෂණය සැක නොසන්සිඳුවන, ආකර්ෂණය වඩවන එකකි. මකයාපිඩ්ඩි ජල මූලාශ්‍රයට යාබද ව ම පිහිටි මීනාක්ෂි අම්මාන් කෝවිල් භූමියේ සිදුකළ ගවේෂණයෙන් පෝල් ඊ. පීරිස් මහතා සොයාගන්නා ලද පුරාවස්තු කිහිපයකි. ඉන් එකක් ශෛලමය කොත් කැරැල්ලක් වූ අතර අනෙක බෝධිසත්ව සිරසක් විය. එම බෝධිසත්ව සිරස බොහෝ දුරට ගෙවී තිබූ අතර, මුහුණේ අවයව නොපෙනෙන තරමට කාලයත් සමඟ හායනය වී තිබී ඇත. දකුණු කනෙහි ලම්බකර්ණ ලක්ෂණය පෙන්නුම් කෙරී ඇති අතර පිටුපසින් විශාල ව නිර්මාණය කොට ඇති ජටා මකුටය/ හිස් වැස්ම පෙර නොවූ විරූ පරිදි අනන්‍ය සහ අලංකෘත වූවක් වන්නට ඇති බව පෝල් ඊ. පිරිස් මහතාගේ මතය යි.

එතුමා මෙම හිස පෙර අප සඳහන් කළ අදාළ ජල තටාකය අසළ තිබූ පාද යුග්මය අයත් පිළිම වහන්සේගේ හිස වන්නට ඇතැයි අනුමාන කරයි. වර්තමානය වන විට මෙම බෝධිසත්ව ශීර්ෂ කොටස යාපනය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට තිබේ.

මින් අනතුරු ව පෙර කී ජල තටාකයට පිය මැනීමට ඇති සෝපාන පන්තියේ අවසානයට තිබූ තරමක අර්ධ කවාකාර පියගැටය දකින පීරිස් මහතා එහි තිබු ඇතැම් දිගු රේඛාමය කැටයම් සලකුණු පිළිබඳ සැක උපදවයි. කෝවිලෙහි බ්‍රාහ්මණ පූජකවරුන්ගේ අවසරය මත එම ශිලා කොටස ගොඩ ගන්නා එතුමාට හමුවන්නේ තවත් සුවිසල් බුද්ධ ප්‍රතිමාවක බඳ කොටසකි. එය සම්පූර්ණ වශයෙන් අඩි 8.5ක් පමණ උස වන බුදුපිළිමයකට අයත් බව සැලකෙන අතර එහි සිවුරු රේඛා; ද්විත්ව රැළි සහිත ව, පරිපූර්ණ ව දක්වා ඇති බව ප්‍රකාශ වේ.

මෙම මෙම ප්‍රතිමා වහන්සේ දැනට කුමන ස්ථානය පවතින්නේ ද යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි වුවත් මෑතකාලීන ව වෛද්‍ය රුවන් මාරසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද කෘතියෙහි මෙම බුද්ධ ප්‍රතිමා කොටස යාපනය, පුතුක්කුලමින් හමු වූ බව දක්වා ඇත. එම කෘතියේ දක්වා ඇති ඡායාරූපය අනුව මුල් ඡායාරූපයට වඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ හායනයට ලක් වී ඇති බවක් පෙනීයයි.
වෛද්‍ය රුවන් මාරසිංහ මැතිතුමා ඡායාරූප ගතකර ඇති පුතුක්කුලමෙන් හමුවූ බව කියන ප්‍රතිමා කොටස



මීට අමතර ව එම ස්ථානයෙන්ම තවත් ශෛලමය පුරාවස්තුවක් පීරිස් මහතා විසින් සොයා ගන්නා ලද අතර එය යම් ප්‍රතිමාවකට අයත් පද්ම පීඨයක් වීමට ඉඩ ඇත. තව ද මෙම ගම්මානයේ තවත් ළිඳකින් සහ ජල තටාකයකින් කොත් කැරලි දෙකක් එතුමා විසින් සොයාගන්නා අතර පුල්ලෙයාර් ප්‍රතිමාවක් වශයෙන් භාවිතා කරන ලද එවන්ම වූ කොත් කැරැල්ලක් ද එතුමා විසින් සොයාගනු ලබයි.

උඩුවිල් යනු කඳුරුගොඩට යාබද ව ඇති පැරැණි වැවකින් ද සමන්විත තවත් ගම්මානයකි. මෙම ගම්මානය ද පරීක්ෂා කරන පෝල් ඊ. පීරිස් මහතාට එහි එක්තරා කෝවිලකින් තවත් කොත් කැරලි හතරක් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර, එම කොත් කැරලි එම ස්ථානයෙන් රැගෙන යාමට ද කෝවිල් පරිපාලනය අවසර ලබා දී ඇත.

මීට අමතර ව චුන්නාකම් අවටින් ම හමුවූ තවත් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන්; පීරිස් මහතා විසින් ම මුල්වරට යාපනයෙන් සොයාගනු ලැබූ බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය ලෙස හඳුන්වනු ලබන චුන්නාකම් දුම්රිය පොළ ආසන්නයේ පිහිටි දාගැබ හැඳින්වීමට හැකි ය.

එතුමා විසින්ම දක්වන ලෙසට කන්කසන්තුරේ වෙත දුම්රියෙන් ගමන් කරන විට චුන්නාකම් දුම්රියපොළ ආසන්නයෙන් එතුමා දුම්රිය ජනේලයෙන් දකින්නා වූ එක්තරා ගොඩැල්ලක් එතුමාගේ අවධානය දිනා ගනු ලබන අතර මාස කිහිපයකට පසු එම ගොඩැල්ල නිරීක්ෂණය කරන එතුමා යාපනය අර්ධද්වීපෙන් සොයා ගනු ලබන ප්‍රථම දාගැබ සොයාගනු ලබයි.

පෙර ලිපියක අප සඳහන් කරන ලද කෝපායි වෙතින් හමුවී යාපනය කොටුව වෙත ප්‍රවාහනය කරන ලද හුණුගල් කොත් කැරැල්ල මෙම ගම්මානයේ ළිඳක් කැණීමේ දී හමුවූ බව පීරිස් මහතා විසින් සඳහන් කරන අතර ඒ අනුව එකී කොත් කැරැල්ල මෙම දුම්රියපොළ අසළ දාගැබට අයත් වූවක් වීමට ඉඩ ඇත.

අපගේ මේතාක් ලිපි තුළ චුන්නාකම් නොහොත් හුණුගම හෙවත් කඳුරුගොඩ අවට ප්‍රදේශයේ පිහිටි බෞද්ධස්ථාන කිහිපයක් පිළිබඳව සඳහන් කරනු ලැබිණි.

1. චුන්නාකම් දුම්රියපොළ අසල දාගැබ

2. චුන්නාකම් බුද්ධ ප්‍රතිමාව හමු වූ කොඩ්ඩියාවත්ත දාගැබ සහ නටබුන්

3. චුන්නාකම් මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල සහ මීනාක්ෂි අම්මාන් කෝවිල අසළ නටබුන් රාශිය

4. කදුරුගොඩ සුප්‍රකට ස්ථූපාවලිය සහිත පුරාවිද්‍යා ස්ථානය

5. උඩුවිල්හි කෝවිලකින් ලැබුණු කොත් කැරලි එම ස්ථාන අතර වේ.

ඒ අනුව මෙම ප්‍රදේශය ඉතාමත් වැඩි පුරාවස්තු ඝනත්වයක් තිබූ ප්‍රදේශයක් බව කිසිදු සැකයකින් තොර ව ප්‍රකාශ කළ හැකි අතර මේ අනුරාධපුර හෝ තිස්‌සමහාරාමය තරමට ම ඉතා පැරණි අතීත නාගරික ජනාවාසයක් බව ද වෙනත් කැණීම් මගින් හෙළි වී ඇත.

කෙසේ නමුත් අද යටකී බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන අතරින් ඉතිරි වී ඇත්තේ කඳුරුගොඩ දාගැබ් භූමිය පමණක් වීම කණගාටුවට කරුණකි. අනෙකුත් පුරාවිද්‍යා ස්ථාන සියවසක් තුළ අපට අහිමි වී ඇති අතර යම් හෙයකින් ඒවා ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව තිබුණේ වී නම් එය අපගේ ශිෂ්ඨාචාරයේ ප්‍රෞඪත්වය කියාපාන එකකට එකක් අතිශයින් වැදගත් සාධක වනු නොඅනුමාන ය.

විනුක විදාණපතිරණ
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

දෙවෙනි සීතල යුද්ධය ඇරඹී අවසන්

කතෘ:යුතුකම     6/30/2025   No comments

එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් උතුරු අත්ලාන්තික් ගිවිසුමට අත්සන් තබමින් (1949 අගෝස්තු 29)

සීතල යුද්ධය හෙවත් නිරවි යුද්ධය යනුවෙන් හැඳින්වෙන්නේ එකිනෙකා පරයා ලෝක බලවතා වීම පිණිස එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර 1947 සිට 1991 දක්වා කාල සීමාව තුළ ඇතිවුණු හැළ හැප්පීම් මාලාවයි. මෙකී සීතල යුද්ධය තුළදී මෙම ප්‍රධාන බලවත් රාජ්‍යන් දෙපළ එකිනෙකා සමඟ සෘජු යුද්ධයකට නොපෙළඹුණු අතර ඒ වෙනුවට අන්‍ය උපක්‍රම භාවිතා කරමින් ප්‍රතිවාදියා බිම හෙළීම සඳහා ප්‍රයත්න දරණ ලදි.

1947 මාර්තු 12 දින කොන්ග්‍රස් සභාව ඇමතූ එවකට එක්සත් ජනපද ජනාධිපති හැරී ටෲමන් විසින් ‘කොමියුනිස්ට් ව්‍යාප්තිය හමුවේ තර්ජනයට ලක්ව සිටින රටවල්වලට එම තර්ජනයට එරෙහිව නැගී සිටීම සඳහා එක්සත් ජනපදයේ ආධාරය හිමි වන බව ප්‍රකාශ කරන ලදි. එම ප්‍රකාශය කොමිනියුස්ට්වාදී සෝවියට් දේශයේ බල ව්‍යාප්තියට අභියෝග කරමින් සිදු කළ ප්‍රකාශයක් වූ අතර එම ප්‍රකාශය සැළකෙන්නේ සීතල යුද්ධයේ සමාරම්භය ලෙසයි.

මෙම සීතල යුද්ධය තුළ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය සෘජුව යුධ ගැටුමකට සම්මුඛ නොවුණත් ඔවුන්ගේ ආයුධ, ධනය සහ මානව සම්පත ලෝකයේ වෙනත් රටවල භූමි ප්‍රදේශවල සිදු වූ යුධ ගැටුම් සඳහා යොදවමින් වක්‍ර යුධ ගැටුම්වල (Proxy conflicts) නියැලෙන ලදි. කොරියානු යුද්ධය, වියට්නාම් යුද්ධය සහ ඇෆ්ඝනිස්ථාන් යුද්ධය මෙලෙස සීතල යුද්ධයේ බලපෑමට ලක් වූ විනාශකාරී යුධ අත්දැකීම් විය.


මීට අමතරව සිය මතවාද ලෝකයේ ප්‍රචලිත කරමින් ජාතීන්ගේ පක්ෂපාතීත්වය සිය කඳවුරු වෙත දිනා ගැනීම සඳහා එක්සත් ජනපදයත්, සෝවියට් දේශයත් තරඟකාරීව කටයුතු කරන ලදි. කලාව, සාහිත්‍ය, මාධය ආදී ක්ෂේත්‍ර තුළ විශාල ධනස්කන්ධයක් වැය කරමින් මේ මතවාදීමය යුද්ධය දියත් වුණි. තවද එකිනෙකා පරයා අභ්‍යාවකාශ තාක්ෂණය, යුධ තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය ආදී තාක්ෂණික ක්ෂේත්‍රවල නවෝත්පාදන සිදු කිරීම සඳහා පෙර නොවූ විරූ වෙහෙසක් දරන ලදි.

එසේම ප්‍රති විරුද්ධ රට අස්ථාවර කිරීම අරඹයා රටවල් දෙක විසින්ම එකිනෙකාට විරුද්ධව දියත් කොට ගන්නා ලද ඔත්තු සේවා මෙහෙයුම් ගිනිය නොහැකි තරම් විය. මෙම සීතල යුද්ධය සැබෑ යුද්ධයකට ආසන්න වූ සංසිද්ධීන් කිහිපයක්ම සිදු විය. 1962 කියුබානු මිසයිල අර්බුදය, Able Archer 83 ලෙස හැඳින්වෙන ඇමරිකානු නාවුක අභ්‍යාස සිද්ධිය මේවාට උදාහරණ ලෙස දැක්විය හැකිය.

මේ අයුරින් දශක 4 ක් පුරා දික් ගැස්සී ගිය ලෝකය අත්දුටු පළමු සීතල යුද්ධය නිමාවට පත් වූයේ සෝවියට් සමූහාණ්ඩුව විසිරුවා හැරීමත් සමඟිනි. සෝවියට් සමූහාණ්ඩුවේ එම බිඳ වැටීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙසද මෙම සීතල යුද්ධයේ බලපෑම හඳුනාගත හැකිය. ඒ අනුව අවසාන වශයෙන් පළමු සීතල යුද්ධය නිමා වූයේ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සන්ධානයට ජයග්‍රහණය අත් කර දෙමිනි. එතැන් පටන් ගෙවුණු දශක 2 ක පමණ කාලයේදී ලෝකයේ තනි බලවතා බවට පත්වූයේ එක්සත් ජනපදයේ නායාකත්වයයෙන් යුතු නේටෝ යුධ සන්ධානයයි.

1991 සීතල යුද්ධය නිමා වූ දා පටන් 2014 දක්වා ලෝකයේ අනභිබවනීය බලවතා ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව විසින් ඇෆ්ඝනිස්ථානය, ඉරාකර, ලිබියාව ආදී රාජ්‍යන් සෘජුවම ආක්‍රමණය කරන ලදි. පෝලන්තය, හන්ගේරියාව සහ චෙක් යන රාජ්‍යන් නේටෝ සන්ධානයට ඈඳා ගන්නා ලදි. රටවල්වල ස්වෛරීයභාවය සුලබව උල්ලංඝනය කරමින් මිලිටරි මෙහෙයුම් දියත් කරන ලදි.

මෙලෙස ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සන්ධානය භුක්ති විඳි ලෝක සුපිරි බලවතාගේ භූමිකාව පළමු සීතල යුද්ධයෙන් පසුව ප්‍රථම වරට අභියෝගයට ලක් වූයේ 2008 දී රුසියාව විසින් ජෝර්ජියාවේ දකුණු ඔසටියා සහ අබ්කාසියා යන ප්‍රදේශවලට හමුදාව යොමු කිරීමත් සමඟය.

1991 දී සෝවියට් සමූහාණ්ඩුව රටවල් 15 කට කැඩී ගිය අතර සෝවියට් සමය තුළ ඔවුන් ළඟා කරගත් තාක්ෂණික සහ යුධමය ශක්තියෙන් වැඩි කොටස රුසියානු සමූහාණ්ඩුව සතු විය. ළඳරු රුසියානු සමූහාණ්ඩුව එහි මුල් වසර 10 තුළ දැඩි ආර්ථික පීඩනයකින් හා දේශපාලන අස්ථාවරභාවයකින් දුර්වලව පැවතුණි. නමුත් එය නිදා සිටි යෝධයෙක් බඳු විය.

2000 වසරේදී රුසියාවේ බලයට පත් වූ ව්ලැඩ්මියර් පුටින් ජනපතිවරයාගේ නායකත්වය යටතේ රුසියාව නැවතත් ක්‍රමයෙන් සිය ආර්ථික, යුධ සහ රාජ්‍ය තාන්ත්‍රික ශක්තිය වර්ධනය කරගත් අතර එම ගමනේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රුසියාව විසින් 2008 දී ජෝර්ජියාවේ දකුණු ඔසටියා සහ අබ්කාසියා (South Ossetia and Abkhazia) ප්‍රදේශ සිය හමුදා බලය යොදා ජෝර්ජියාවෙන් වෙන් කොට වෙනම රාජ්‍ය වශයෙන් ස්ථාපිත කරන ලදි. අප නිරීක්ෂණය කරන අන්දමට වත්මන් සීතල යුද්ධය හෙවත් දෙවන සීතල යුද්ධයේ ආරම්භක සන්ධිස්ථානය මෙයයි. ඉන් නොනැවතුණු පුටින්ගේ රුසියාව 2014 දී එතෙක් යුක්‍රේනයට අයත්ව පැවති ක්‍රිමියාව හමුදා බලය යොදා රුසියාවට ඈදා ගන්නා ලදි. රුසියාව විසින් 2008 දී ජෝර්ජියාවට එරෙහිව ද, 2014 දී යුක්‍රේනයට එරෙහිවද හමුදා යොදවන විට ඒ රටවල් පැවතියේ නේටෝවට සමීප වෙමිනි. ඒ අනුව රුසියාවේ මෙම මිලිටරි මැදිහත්වීම් නේටෝවට එල්ල කරන ලද අභියෝගයක් ද විය. 1991 න් පසුව නේටෝවට මෙයාකාර අභියෝගයක් එල්ල කළ ප්‍රථමයා රුසියාව විය.


එක්සත් ජනපද ප්‍රමුඛ නේටෝ හවුලේ යුධ බලයට රුසියාව අභියෝග කරමින් සිටියදී අනෙක් පසින් ආර්ථික දැවැන්තයෙකු අඬු විහිදා නැගී සිටියේ ය. එම ආර්ථික දැවැන්තයා චීනයයි. චීනයේ මෙම අතිධාවනකාරී ආර්ථික නැගී ඒම මුල්වරට විද්‍යාමාන වූයේ 2008 ගෝලීය මූල්‍ය අර්බුධය සමගිනි. මූල්‍ය අර්බුධය හමුවේ එක්සත් ජනපද සහ යුරෝපා ආර්ථික බිඳ වැටීමට ලක් වෙද්දී චීනයේ ආර්ථිකය නොසෙල්වී වර්ධන අගයන් පවත්වා ගෙන යාමට සමත් විය. මෙය බටහිර තිගැස්මකට ලක් කිරීමට සමත් විය.

සිය රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ක්‍රමය සාර්ථක පල නෙලා දෙන බවට ඇති වූ ආත්ම විශ්වාසය තුළ චීනය සෙමෙන් නමුත් ස්ථාවර ලෙස තමන්ගේ තටු දිග හරින්නට විය. 2013 වන විට ඉපැරණි සේද මාවත යළි සිහි ගන්වමින් සමස්ත ආසියාවේ වෙළඳ බලය චීනය වෙත කැටි වන බල මෙහෙයුමක් වන එක් තීරයක් එක් මාවතක් (Belt and Road) වැඩසටහන ආරම්භ කරන ලදි. මේ අතර සිය මිලිටරි අංශ ඉතා ශක්තිමත් ලෙස බල ගැන්වීමට ඔවුනට හැකි විය.

පළමු සීතල යුධ සමයේ සෝවියට් දේශය සහ චීනය අතර පැවතියේ එතරම් යහපත් සම්බන්ධතා නොවේ. රටවල් දෙකම මාක්ස්වාදී සමාජවාදී අදහස් ගුරු කොට පැවතියත් පසමිතුරුකම් රාශියකින් එම රටවල් ඈත් වී පැවතුණි. නමුත් 2009 වන විට මේ රටවල් දෙක වෙන්ව ගමන් කිරීමට වඩා එක්ව ගමන් කිරීමේ වැදගත්කම වටහාගෙන තිබුණි. තම රාජ්‍යන්ගේ අභිද්ධිය සහ අවිච්ඡින්න පැවත්ම සඳහා එක්සත් ජනපද නේටෝ බලය පාලිත තත්ත්වයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මොවුන් දුටුවෝය.

චීනය සහ රුසියාව විසින් 2009 දී ඉන්දියාව සහ බ්‍රසීලය එක් කොට ගනිමින් BRIC හවුල ගොඩ නංවාගත් අතර එම හවුල මේ වන විට BRICS+ ලෙසින් දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව එක් කර ගනිමින් බලවත් වෙමින් සිටී. චීනය සහ රුසියාව විසින් BRICS+ සන්ධානය මෙහෙයවන්නේ ඇමරිකානු ඩොලරයට හිමිව ඇති ලෝක ආර්ථිකය පාලනය කිරීමේ තීරක බලය බිඳ හෙළීමට බව පැහැදිලිය. ඇමරිකානු ඩොලරයේ ගෝලීය ආර්ථික තීරක බලය බිඳ වැටුණු දිනක එක්සත් ජනපදයේ බලය ක්ෂය වී යාම වළක්වාලිය නොහැකිය.

දිනෙන් දින කඳවුරු 2 ක් ලෙස ලෝකය බෙදී යමින් පවතී. එක්සත් ජනපද සහ නේටෝ සංධානයේ අරියාදුවලට ලක් වූ අප්‍රිකාවේ, මැදපෙරදිග සහ ලතින් ඇමරිකාවේ රටවල් රුසියානු චීන හවුල දෙසට ඇදී යමින් පවතී. මේ අතර චීන රුසියානු අරියාදුවලට ලක් වූ නැගෙනහිර යුරෝපයේ, බෝල්කන් කලාපයේ සහ ඉන්දු චීන කලාපයේ රටවල් එක්සත් ජනපද සහ නේටෝ හවුල දෙසට ඇදී යමින් පවතී. මෙම බල කඳවුරු තවමත් යුධ බිමක් තුළ මුහුණට මුහුණ හමු වී නැති නමුත් ලොව පුරා ප්‍රොක්සි යුධ බිම් තුළ තම තමන්ගේ බලය උරගා බලමින් සිටී. ඉතින් 2008 පටන් ක්‍රම ක්‍රමයෙන් මතු වී අද වන විට උඩු දුවා තිබෙන්නේ දෙවන සීතල යුද්ධය මිස අන් යමක් නොවේ.

මෙලෙස ඇරඹී ගෙවී යන්නේ තවත් සීතල යුද්ධයක්‍ බව අප පමණක් නොව ලොව පුරා වෙසෙන නිරීක්ෂකයන්, විචාරකය්ටන් ගණනාවක්ම දැනටමත් ප්‍රකාශ කොට ඇත. ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ද ඉකොනොමිස්ට් සඟරාවේ හිටපු ජ්‍යෙෂ්ඨ සංස්කාරක එඩ්වර්ඩ් ලුකාස් (Edward Lucas) මේ පිළිබඳව මීට ඉහතදී සිය නිරීක්ෂණ ප්‍රකාශයට පත් කොට ඇත. වරක් ෆෙඩරල් සභාව අමතමින්, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපය දෙසට පැතිරීමට ගන්නා උත්සාහය පුටින් ජනාධිපතිවරයා විසින් නිර්වචනය කළේ නව සීතල යුද්ධය වශයෙනි.

පළමු සීතල යුද්ධයට වඩා දෙවන සීතල යුද්ධයේ සුවිශේෂීතාවයන් රාශියක් පවතී. පළමු සීතල යුද්ධය තුළ බල කඳවුරු 2 ක් සහ එම කඳවුරු 2 තුළ පැහැදිලි නායකන් දෙපළක් දැක ගත හැකි විය. දෙවන සීතල යුද්ධය තුළ බල කඳවුරු දෙකක් පැවතුණත් එම එක් එක් කඳවුර තුළ තනි නායකත්වයක් දැක ගත නොහැකිය. ඒ වෙනුවට එක කඳවුරක් තුළ බලවතුන් කිහිප දෙනෙකු ක්‍රියාත්මක වන බව පෙනේ. චීනය සහ රුසියාව එක් බල කඳවුරක් තුළ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව, සමාන අභිලාෂයන් උදාසා සහයෝගයෙන් ක්‍රියා කළ ද ඒවා එකිනෙකා මත නොයැපී ස්වාධීනව කටයුතු කරන අයුරු දැකගත හැකිය. මේ පිළිබඳව නිදර්ශනයක් සපයන කදිම උදාහරණයක් වන්නේ චීනය සහ රුසියාව ඉන්දියාව අරභයා කටයුතු කරන ආකාරයයි.

ඇමරිකාව ප්‍රමුඛ නේටෝ කඳවුර තුළද මීට සමාන තත්ත්වයක් දැකගත හැකිය. පලස්තීන ප්‍රශ්නයේදී ඇමරිකාවේ ස්ථාවරයට වඩා වෙනස් ස්ථාවරයන් මත පිහිටා යුරෝපා සංගමයේ රටවල් ක්‍රියා කරනු දැක ගත හැකි විය.

ඒ අනුව දෙවෙනි සීතල යුද්ධය බල කඳවුරු දෙකකට බෙදී ගිය බල කේන්ද්‍ර කිහිපයක් අතර සිදු වන ගැටුමක් බවට පත්ව ඇත. බාගදා ඇතැම් බල කේන්ද්‍ර අනාගතයේදී සිය කඳවුර මාරු කිරීමට පවා ඉඩ ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ අපගේ ස්ථාවරය විය යුත්තේ බල කඳවුරකට ගොනු නොවී බල කේන්ද්‍ර සමඟ ගනුදෙනුව පලදායී ලෙස පවත්වාගෙන යාමයි. රටක් වශයෙන් භූ දේශපාලනයේදී අප හට ගැනීමට සිදු වන ස්ථාවරයන් වඩා සංකීර්ණත්වයකට පත් වනුයේ මේ හේතුව නිසාවෙනි.

- දක්ෂිණ ජයවික්‍රම -
යුතුකම සඟරාවේ ජුනි කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 6 : ඇමරිකානු නව ජාතිකවාදය

කතෘ:යුතුකම     6/30/2025   No comments

අපේ මතය - 6
ඇමරිකානු නව ජාතිකවාදය

ඇමරිකානු ජාතිකවාදයේ මූල බීජ 18 වන සියවසේදී පැන නැගි ඇමරිකානු විප්ලවය දක්වා දිව අතීතයට දිවෙයි. මෙම යුගයේදී, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට එරෙහිව සටන් වැදුණු ඇමරිකානු ජනතාව තුළ තමන් ලෝකයේ වෙනත් ජාතීන්ට වඩා සුවිශේෂී බවට අදහසක් ඇති විය. අලුතින් බිහි වූ ජාතියක් ලෙස ඇමරිකාව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශය ලෙස පෙනී සිටිය යුතු බවත්, ලෝකයටම නූතන අගනාකම් කියා දීමේ වගකීම තමන් සතු බවට ඔවුන් සිතන ලදි. මෙම සංකල්පය "ඇමරිකානු අසාමාන්‍යතාවය" (American Exceptionalism) ලෙස ඇමරිකානු කොමියුනිස්ට්වාදීන් විසින් විග්‍රහ කරයි. විශ්වාසයට පදනම් විය.

19 වෙනි සියවස පුරා උතුරු ඇමරිකානු මහද්වීපය මුළුල්ලේ ව්‍යාප්ත වීම සඳහා යුරෝපීය ඇමරිකානුවෙන් වෙත උත්තේජනයක් සැපයුවේ මේ සිතිවිල්ලයි. 1861 සිට 1865 දක්වා දික් ගැස්සී ගිය ඇමරිකානු සිවිල් යුද්ධය විසින් ද ඇමරිකානුවා තුළ ‘අප එක්සත් ජනපද වැසියෝ වම්හ’ යන අදහස ශක්තිමත් කරන ලදි. පසුව උතුරු ඇමරිකානු මහද්වීපය ද ඉක්මවා ලෝකයේ අන් රාජ්‍යන් සඳහා ද අත පෙවීමටත්, එම අතපෙවීම් සාධාරණීකරණය කර ගැනීමටත් ඇමරිකානුවාව මෙහෙයවූයේ ද මේ සිතිවිල්ලම මිස අන් යමක් නොවේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ පැරණි වලව්කාර ජාතීන් පරයා ඇමරිකා එක්සත් ජනපදය ලෝක බලවතෙකු වශයෙන් නැගී සිටියේ ය. එහිදී එක්සත් ජානපදයේ ප්‍රතිවාදියා මෙන්ම තරඟකරුවා බවට පත් වූයේ සමාජවාදී සෝවියට් සංගමයයි. සෝවියට් සංගමයට එදිරිව ලෝක බල අරගලයේ නියුතු වෙද්දී වඩා ජාත්‍යන්තරවාදී වෙස් මුහුණක් පැළඳ ගැනීමට ඇමරිකාවට සිදු විය. ඔවුන් විසින් එම වෙස් මුහුණේ හැඩය ලෝකය හමුවේ නිර්වචනය කළේ ලිබරල් ජාත්‍යන්තරවාදය වශයෙනි.

ඒ අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව එළඹි නිරවි යුධ සමයේදී ඇමරිකනු ජාතිකවාදය ලිබරල් ජාත්‍යන්තරවාදය (Liberal Internationalism) යටතේ යටපත් වූ බවක් පෙනෙන්නට තිබුණෙ. එසේ වුවද සැබැවින්ම වී තිබුණේ ලිබරල් ජාත්‍යන්තරවාදය නැමැති අලංකාර වෙස් මුහුණක් පැළඳ ඒ මුවාවෙන් තවදුරටත් ඇමරිකානු බලය, ඇමරිකානු අගනාගම් ලෝකයේ ව්‍යාප්ත කරවීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කිරීමයි. මෙම සමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, NATO, සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතන හරහා ඇමරිකාව ලෝක පාලනයේ සුක්කානම තමන් සතු කර ගැනීමට ප්‍රයත්න දරණ ලදි 1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීම සමඟ එක්සත් ජනපදය ලෝක පොලිස් කාරයාගේ තත්ත්වයට පත් වුණි. එසේ වුවද ඔවුන් ප්‍රාර්ථනා කළ පරිදි ආර්ථිකය සමෘද්ධියේ උපරිමයට ළඟා වීමට හෝ ලෝකය තමන්ට අවශ්‍ය තරමට අවනතව සහ සන්සුන්ව තබා ගැනීම තවදුරටත් ළඟා කොට ගත නොහැකි ඉලක්ක ලෙස පැවතුණි. රට අභ්‍යන්තරයේ ආර්ථික අසමානතාවය ඉතා ප්‍රබල ලෙස ජනතාව පීඩාවට පත් කරමින් පැවතුණි. 2001 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්ක්වයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මෙවන් පසුබිමක ය. පසුව 2008 දී ආර්ථික අර්බුධයකට මුහුණ දීමට එක්සත් ජනපදවාසීන්ට සිදු විය. මේ අතර ඇමරිකානුවාගේ ධනය ට්‍රිලියන ගණනින් වැය කොට ලෝකයේ ජාතීන්ගේ පක්ෂපාතභාවය එක්සත් ජනපදය වෙත රඳවා ගැනීම සඳහා දැරූ උත්සාහය ව්‍යර්ථ වී තිබුණි. දශක කිහිපයක් තිස්සේ ලිබරල් ජාත්‍යන්තරවාදයේ සළු පිළිවලින් වසා පැවති ඇමරිකානු ජාතිකවාදී චින්තාවන් යළි ඉස්මතු වීමට මග පෑදුනේ මේ අයුරිනි.

America Firs යන ප්‍රචාරක පාඨය ඔසවාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ මෙම පසුබිම තුළය. America First යන සටන් පාඨය ට්‍රම්ප් විසින් නිපදවූවක් නොවේ. එය සියවසකට වඩා පැරණි ඉතිහාසයක් සහිත, ඇමරිකානුවාගේ අභිලාෂය පිළිබිඹු කරන තේමාවකි. ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබුවේ ශූර දේශපාලන ඉවකින් යුතුව මතු වෙමින් පැවති ප්‍රවණතාව ග්‍රහණය කර ගැනීමයි. ගෝලීයකරණය ප්‍රතික්ෂේප කිරීම, දැඩි සංක්‍රමණ සීමා පැනවීම, පැරිස් ගිවිසුම, උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම (NAFTA) ආදී ජාත්‍යන්තර ගිවිසුම්වලින් ඉවත් වීම මේ හා සමඟම සිදු විය.

මේ සියල්ලට අමතර ඇමරිකාව අභ්‍යන්තරයේ තීව්‍ර ලෙස මතුවන සංස්කෘතික ජාතිකවාදය නොතකා හැරිය නොහැකි සාධකයකි. ඉවැන්ජලික ක්‍රිස්ත්‍රියානි ඇදහීමට ප්‍රමුඛතාවය ලබා දීම සහ ධවල උත්තමවාදය පිළිබඳ අදහස් ද මෙම සංස්කෘතික ජාතිකවාදය පසුපස පැමිණෙති.

2020 මහ මැතිවරණයේදී ට්‍රම්ප් පරාජයට පත් වී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළත් ඇමරිකානු නව ජාතිකවාදයේ ක්‍රමික නැගීම ආපසු නොහැරුනි. ඒ අනුව එහි තවත් පිම්මක් ලෙස නැවත වරක් 2024 ජනාධිපතිවරනයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය පෙරටත් වඩා උණුසුම් ජාතිකවාදී සටන් පාඨයක් වූ Make America Great Again යන පාඨය අතැතිවය. USAID වැනි ආයතන හරහා ඩොලර් පොම්ප කරමින් ලෝකයේ ජාතීන්ගේ පක්ෂපාතීත්වය තමන් වෙත දිනා ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් වලංගු නොවන බව සිතන ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පාලනය කේවල්කරණය තුළින් ලෝකය දිනා ගැනීමේ උත්සාහයක නිරත වන බව පෙනී යයි. මෙම ජාතිකවාදයේ නැගීම හමුවේ ලෝකය තුළ ඇමරිකානුවා කොන් වීමකට ලක් වෙන බවට ලිබරල්වාදීන් විසින් තර්ක කළත් බහුතර සාම්ප්‍රදායික ධවල ඇමරිකානුවා තවදුරටත් ජාතිකවාදය වෙත ආශක්ත වීම වැළැක්විය නොහැකිය.
[ලෝකයේ ක්‍රියාත්මක ජාතිකවාදී ප්‍රවණතාවයන් පිළිබඳවත්, ඒවා එකිනෙකට කොතරම් වෙනස්ව පවතීද යන්නත් පසුගිය කලාපවල ඇතුළත් වූ ලිපි මගින් පැහැදිලි කරන ලදි. ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කිරීම එළඹෙන කලාපයේ පටන් ආරම්භ වනු ඇත

යුතුකම සඟරාවේ ජුනි කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

2025 ජූනි කලාපය - 2025 ජූනි කලාපය

කතෘ:යුතුකම     6/30/2025   No comments

යුතුකම කතු වැකිය......

2025 ජූනි කලාපය

අපගේ සභ්‍යත්ව රාජ්‍ය උරුමයෙන්ද, ව්‍යවස්ථාවෙන්ද, නීතියෙන්ද, පූර්ව භාවිතාවෙන්ද තහවුරු කොට ඇත. අප හමුවේ පවතින පළමු අභියෝගය වනුයේ එකී සභ්‍යත්ව රාජ්‍යයේ පැවැත්මට එල්ල වී පවතින අභියෝග හඳුනාගෙන එම අභියෝග පිටුදැකීමයි.

මෙලෙස අපගේ සභ්‍යත්ව රාජ්‍යයේ පැවැත්මට එල්ල වී පවතින අභියෝග අභ්‍යන්තර සහ බාහිර වශයෙන් නිරවුල්ව වෙන් කොට ගැනීම අත්‍යාවශ්‍ය වේ.

රටේ වෙසෙන හුදී ජනයාට සතුටින් ජීවත් විය හැකි සශ්‍රීකත්වය උදා කර දීම අප මුහුණ දී ඇති අභ්‍යන්තර අභියෝගයකි. කුසගින්න පෙරට ආ කළ දේශප්‍රේමය සහ ජාතිමාමකත්වය තවදුරටත් වලංගු මාතෘකා නොවනු ඇත.

අප අපේක්ෂා කරන සශ්‍රීකත්වය වෙත අප හට ගමන් කිරීමට තිබෙන මාර්ග අවුරා දමා අපගේ භූමිය සහ සම්පත් තම තමන්ගේ භූ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට ලෝක බලවතුන් විසින් සිදු කරන්නා වූ අත පෙවීම් අප මුහුණ දෙන බාහිර අභියෝගයකි. මෙම බාහිර අභියෝග ජය ගැනීමට නම් අප විසින් හැකිතාක් දුරට අභ්‍යන්තර ඒකාත්මිකතාවක් පවත්වා ගත යුතුය.

ජාතික අරමුණු වෙනුවෙන් ඒකාත්මික නොවීම අපගේ දියුණුව ඇණ හිටීමට බලපා ඇති ප්‍රබල අභ්‍යන්තර අභියෝගයකි. පසුගිය කාලය පුරාවට මෙරට ජනතාව සිදු කර ඇත්තේ මැතිවරණවලදී එක් පිලක් පරාජය කිරීමේ වෛරී චේතනාවෙන් යුතුව අනෙක් පිලට ඡන්දය පාවිච්චි කිරීම පමණි. අවම වශයෙන් සභ්‍යත්ව රාජ්‍යයේ පැවැත්ම සහ අනාගතය වෙනුවෙන් යම් යම් තලවල ක්‍රියාත්මක වන ජාතික සංවිධාන අතර පවා පොදු ජාතික අරමුණක් වෙනුවෙන් ඒකාත්මික වීමක් නොමැත. එවැනි ඒකාත්මික වීමක් සඳහා උත්සාහයක් වත් දරා නොමැති තරම් ය.

සීහලේ ලෝක උරුම පදනම විසින් කැඳවනු ලැබූ ‘දේශප්‍රේමී ජාතිමාමක ජාතික සමුළුව’ පසුගියදා (2025.06.28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණි. යුතුකම ජාතික සංවිධානය වශයෙන් අපද ඊට සහභාගී වීමු. සභාවේ මුලසුන හෙබවූ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ මෙම සමුළුව ජාතික කඳවුර තවමත් ජාතික දේශපාලන පොරපිටිය තුළ නොසැළී සිටින බවට ලබා දෙන සංඥාවක් වන බවයි.

මේ අතර සමුළුව ඇමතූ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සඳහන් කළ, අපද නිතර නිතර සිතා බැලූ කරුණක් පිළිබඳව මේ වන විට යුතුකම ජාතික සංවිධානය නැවතත් ගැඹුරින් සිය අවධානය යොමු කරමින් සිටී. ජාතික සංවිධාන එකිනෙක අතර ජාතිය හමුවේ පවතින අභියෝග පිළිබඳව සහ අප ගත යුතු මග පිළිබඳව විවිධ විසංවාදී අදහස් පැවතිය හැකි මුත් එකී එකඟ විය නොහැකි තැන් පසෙක තබා එකඟ විය හැකි තැන් මත පිහිටා ජාතික සංවිධාන සම්මේලනයක් ස්ථාපිත කිරීම කාලෝචිත බවට උන්වහන්සේ දේශනා කරන ලදි.

එසේ නම් අප ප්‍රථමයෙන් සහෘද ජාතික සංවිධාන අතර පවතින එකඟ විය හැකි තැන් මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා නොපමාව ප්‍රයත්නයක් දැරිය යුතුය.

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions