1/20/2014

කැතලින්ගේ කෙටිකතාව, කලහකාරී භික්ෂුව හා විකල්ප ගෝත‍්‍රයේ සාම සංහිඳියාව

කතෘ:යුතුකම     1/20/2014   3 comments
22 කණ්ඩායමේ ධර්ම ගවේෂණය යනු ප‍්‍රවීණ ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචිත කුඩා කෙටි කථාවකි. එය 2002 වසරේ පළවූ ඇගේ ”අවරෝධය” නම් කෙටි කතා එකතුවේ එන්නකි. විවාදාත්මක තේමාවක් වටා ගෙතෙන එම කථාවේ සාරය කාලයේ දැඩි සීමාවකට කොටු කළ නොහැකි එකක් වුවද වර්තමානයේ මෙරට තුළ වඩා වැඩි තීව්රතාවකින් යුතුව ඉස්මතු වී ඇති එක් ප‍්‍රවණතාවක් මේ කථාවේ විශය පථයට අයත් වෙයි. ඒ ප‍්‍රවණතාව නම් භික්ෂූන්ගේ දේශපාලන මැදිහත් වීමය. ඒ අරභයා වන ඉතා වැදගත් නිරීක්ෂණ කීපයක් මේ කෙටි කථාව තුළ හමුවෙයි.

මේ කෙටි කථාවට විෂය වන්නේ අනාගත ශී‍්‍ර ලංකාවක් තුළ සිදුවිය හැකි යැයි උපකල්පිත සිදුවීම් පෙලකි. ඊට අදාල කාල වකවානුව නිශ්චිත නොවේ. එය කි‍්‍ර.ව 2100 හෝ 2200 වීමටද පුලූවන. කෙසේ වුවද මේ කාලය යනු බටහිර නූතනත්වය සියලූ සතුරන් පරදවා ජය කෙහෙලි නංවා ඇති කාලයකි. ක්ෂුද්‍ර තාක්ෂණ හරඹයන්ගෙන් අලංකෘත මේ සමාජය තුළ වැජඹෙන සර්ව බලධාරී දෙවියා වන්නේ පාරිභෝජනවාදයයි. මේ සමාජයේ මිනිස්සු ඉන්ද්‍රිය සංවේදිතා අවසඟ වන තරමට ඉඳුරන් පිනවන්නෝ වෙති. සිරුරු කිස, රමණය ආදී කටයුතු පවා විවෘතව සිදු කරන තරමට විශ්ව ගම්මාන බන්ධනවලින් ඔවුහු එක්සත් වී සිටිති. මේ සමාජයේ ජීවත් වන තරුණ කණ්ඩායමක් අපූරු ගවේශණයක නිරතව සිටිති. එය බුදු දහම පිළිබඳ ගවේශණයකි. මේ කාලය වන විට බුදු දහම ඉතිරිව ඇත්තේ හුදු පුද්ගල විමුක්තියේ අල්ප හා බුද්ධිවාදී දර්ශනයක් වශයෙනි. මේ තරුණ පිරිසේ ගවේශණය වන්නේ වසර දෙදාස් ගණනක් මුළුල්ලේ ආගමක්, සංස්කෘතියක් ලෙස ව්‍යාප්තව පැවති බුදු දහම හුදු දර්ශනයක් දක්වා ඌනනය වීමට බලපෑ හේතු සොයා බැලීමය. අවසානයේදී ඔවුන් ඒ පිළිබඳ දීර්ඝ වාර්තාවක් සකස් කරන අතර කැතලින්ගේ කෙටි කථාව අවසාන වන්නේ ඒ කථාවේ කුඩා කොටසක් උපුටා දක්වමිනි.

බුදුදහම කෙලසීම

මීළඟට මෙකී කෙටි කථාවේ අන්තර්ගතයට අදාල වත්මන් සමාජ කාරණා සැකෙවින් විමසා බලන්නේ නම් අද වනවිට භික්ෂුව මෙරට ජාතික දේශපාලනයේ තීරණාත්මක සාධකයකි. මේ මොහොත වනවිට සමාජ ගැටලූ අරභයා බෞද්ධ භික්ෂූන්ගේ සටන්කාමී හා උද්වේගකර මැදිහත් වීම් රැසක් දක්නට ලැබේ. ඒ බොදු බල සේනා, රාවණා බලය, සිංහල රාවය ආදී නොයෙකුත් සංවිධාන ආදිය ඔස්සේය. මෙහිදී එකී භික්ෂු මැදිහත්වීම් පිළිබඳ යම් යම් සාධාරණ විවේචන තිබිය හැකිවාක් මෙන්ම පොදුවේ අද මෙරට භික්ෂු ශාසනයේද අවනතීන් රැසක් දක්නට ලැබේ. භික්ෂු ශාසනයද වත්මන් මහා සමාජ දුෂණයේ නරක බලපෑම් වලින් සපුරා නිදහස්ව නොපවත්නකි. කෙසේ වුවද මේ ලිපියේ අරමුණ භික්ෂු ක‍්‍රියාකාරකම් වල එකී හොඳ නරක විමසා බැලීම නොවේ. වෙනමම සන්දර්භයක සිදු කළ යුතු ඒ සංවාදයට උඩින් පල්ලෙන් මැදිහත් වන්නෝ බොහෝ සිටිති. එහෙත් මෙහි අරමුණ භික්ෂු දේශපාලනයේ හොඳ නරක විමසීම වෙනුවට එහි හොඳ නරක විමසන්නන් විසින් සුලබව මතු කරන ඉතා මුග්ධ හා අදේශපාලනික තර්කයකට එරෙහිව කරුණු ගොනු කිරීමය. කැතලින්ගේ කෙටි කථාව ඒ සඳහා බලවත් අවියක් ලෙස ඇසුරු කළ හැක්කකි.

පොදු වශයෙන් බලන කල මෙරට භික්ෂු දේශපාලනය පිළිබඳ මෙරට පොදු සමාජයේ ප‍්‍රතිචාර කෙසේ වුවද මෙරට මතවාදී සමාජයේ බහුතරය ඒ පිළිබඳව දක්වනුයේ අතිශය නිශේධනාත්මක ආකල්පයකි. විශේෂයේන්ම සාහිත්‍ය, කලාව හා දර්ශනවාද ආදිය ඇසුරු කරන ප‍්‍රබුද්ධ යැයි සැලකෙන සමාජයට මේ භික්ෂු දේශපාලනය වහකදුරු වී ඇති බව ඔවුන් ඒ පිළිබඳ නොයෙක් තන්හී සුලබව මුදාහරින ප‍්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙයි. ඔවුන් මේ භික්ෂුන් හඳුන්වනු ලබන්නේ ජාතිවාදීන්, ගෝත‍්‍රවාදීන්, උන්මත්තකයන්, බුදු දහම කෙලසන්නන් හා සිවුරු ලා ගත් මැරයන් ආදී වචන වලිනි. බුදුදහමේ එන උත්තරීතර සත්‍යයන්ට පටහැනිව හැසිරෙන මේ නොමනා භික්ෂූන්ට ඔවුහු නිරතුරුවම කරුණාව මෛත‍්‍රිය සමානාත්මතව වැනි දේ සිහිපත් කර දෙති. උද්ඝෝෂණ, අරගල, කෝලහාල ආදිය භික්ෂූත්වයට අකැප බව තරයේ අවධාරණය කරති.  බැලූ බැල්මට මේ මතවාදී ප‍්‍රවේශය ලස්සන, සාධාරණ හා බාලයන් සිත් අලවනසුලූ එකකි. එහෙත් ගැටලූව වන්නේ මේ අබ්බගාත තර්කය වර්තමාන මහපොළවේ ප‍්‍රායෝගිකව සිටුවිය නොහැක්කක් වීමය. උත්තර් ඓතිහාසික සත්‍යයන් මත පිහිටා කාලීන සමාජ දේශපාලන අභියෝග මග හැර යාමට මෙන්ම ජාතිය අමතක කොට ජාත්‍යන්තරවාදී වීමට භික්ෂුන්ට බල කරන මේ යෝජනාව තුළ දේශපාලන අඳබාලකම පමණක් නොව දේශපාලන තක්කඩිකමද මනාසේ ඇතුළත් වෙයි. ඒ බව තේරුම් ගත හැක්කේ කෙසේද?

ගණිකා පතිවත හා ජාත්‍යන්තරවාදය

අප ලෙඩ රෝගවලට අකමැතිය. එහෙත් ලෙඩ රෝග ආශ‍්‍රිත ප‍්‍රශ්නවලට මුහුණ දීමට අපට සිදුවෙයි. අප ජාතිවාදයට අකමැතිය. එහෙත් බෙදීම්, විෂමතා, ගැටුම් බහුල ප‍්‍රායෝගික ලෝකයේදී අපට ජාති ආගම් ආශි‍්‍රත ප‍්‍රශ්න සමගද අභිමුඛ වීමට සිදුවෙයි. ඒ ප‍්‍රශ්න බොහෝවිට විස`දා ගැනීමට සිදුවන්නේ සාපේක්ෂව සාධාරණ ක‍්‍රමයකට මිස විශ්ව සාධාරණ ක‍්‍රමයකට නොවේ. උතුරේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට ලබාදුන් යුධමය විසඳුම විශ්ව සාධාරණ විසඳුමක් නොව  සාපේක්ෂව වඩා සාධාරණ විසඳුමකි. එවැනි ප‍්‍රශ්නවලදී ප‍්‍රශ්නයේ සමස්තය දෙස නොබලා ජාතිවාදී ලේබලය  ඕනෑම පාර්ශවයක් මත ඉතා පහසුවෙන් ඇලවිය හැකිය. අද භික්ෂූන් ඇතුළු බලවේගයන්ට චෝදනා කරන වැඩි දෙනාද වෙනත් ¥ෂිත ව්‍යාපෘතීන් මත පිහිටා මේ ලාබ සුලබ ජාතිවාදී ලේබලය භික්ෂූන් මත පහසුවෙන් අලවන්නෝ මිසක විශ්ව සාධාරණ මානව හිතවාදීහු නොවෙති. මේ බව ඉතා සැකෙවින් වටහා ගන්නේ නම් මේ භික්ෂු විරෝධීහු බොහෝ දෙනා මෙරට ඊනියා විකල්ප අවකාශය තුළින්ම ප‍්‍රාදුර්භූත වූවෝ වෙති. මොවුන් බැලූ බැල්මට උග‍්‍ර ජාතිවාද විරෝධීන් ලෙස පෙනී සිටියද ඔවුන්ගේ ජාතිවාද විරෝධය ගණිකාවකගේ පතිවත වැන්නකි. අද සිංහල වර්ගෝත්තමවාදයකට විරුද්ධව මොරදෙන මේ බොහෝ දෙනා කාලයක් තිස්සේම දෙමළ ජාතිවාදය හා එක පෙලට සිට ගත්තෝ වූහ. උතුරේ ප‍්‍රශ්නය හමුවේ දෙමළ ජාතිවාදයෙන්ද නොනැවතුන මේ පිරිස මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා ඒ පසුපස පැවති බටහිර ත‍්‍රස්තවාදයද සාධාරණීකරණය කළෝය. ඒ ආකාරයටම ඉන් අනතුරුව මතුවූ මුස්ලිම් ප‍්‍රශ්නවලදී ඔවුන් පෙනී සිටියේ මුස්ලිම් ව්‍යාප්තවාදයේද ආරක්ෂකයන් ලෙසය. කාලයක් තිස්සේ මෙරට සුරැුකිව පැවති සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව පසුගිය කාලයේදී මුස්ලිම් අන්තවාදී සුළුතරයකගෙන් එල්ල වූ තර්ජන හමුවේ මේ ඊනියා ජාත්‍යන්තරවාදීන් සිටියේ මුස්ලිම් අන්තවාදය අනියමින් යුක්ති යුක්ත කරන තැනකය. හලාල් ප‍්‍රශ්නය ආදී අවස්ථා වලදී මුස්ලිම් නොවන බහුතරයක් දෙනාට හලාල් ආහාරවලින් නිදහස් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි බෞද්ධ බලවේග  උග‍්‍ර ජාතිවාදීන් ලෙස ලේබල් කළ මේ පිරිස, සමස්ත ආහාර නිෂ්පාදනයම ඉස්ලාම්කරණය කිරීමට වෙරදැරූ මුස්ලිම් බලවේග තුළ කිසිදු ජාතිවාදයක් නොදුටූහ. සංස්කෘතියට ඉහලින් පවත්නා මානුෂික වටිනාකම් ගැන මේ ජාත්‍යන්තරවාදීන්ගේ දැක්ම අනුවම සලකා බැලූවද ඉස්ලාමයට වඩා බෞද්ධ සංස්කෘතිය කෙතරම් මානව හිතවාදී හා නම්‍යශිලී එකක්ද යන්න ඉර හඳ සේ පැහැදිලි ඇත්තක් වුවද බෞද්ධ ජාතිවාදයක් මිස මුස්ලිම් ජාතිවාදයක් වෙත ඔවුන්ගේ කිසිදු විවේචනයක් එල්ල වී නැති තරම්ය. මේ කාරණා මෙරට විකල්ප ගෝත‍්‍රිකයන්ගේ එකම නිවහන වූ ඇතැම් සති අන්ත කළු සුදු පුවත්පත්වල හැසිරීම් දෙස මොහොතක් හැරී බැලීමෙන් වුවද මනාසේ වටහා ගත හැකිය. අද මිනීමරු කෘෂි රසායන සමාගම්වලට පක්ෂව මතවාද සැකසෙමින් ඇත්තේද, කැලම් මැක්රේ වැනි පාදඩයන්ගේ ඊනියා ජනමාධ්‍යවේදයට සිංහලෙන් සහතික ලියැවෙමින් පවතින්නේද මේ විකල්ප ගෝත‍්‍රය හා ඔවුන්ගේ ප‍්‍රකාශන තුළය. බුරුමයේ භික්ෂූන්ට එරෙහිව ටයිම් සඟරාවේ පලවන ලිපිවලට පවා ඔවුන්ගේ වෙබ් අඩවි තුළ සිංහලෙන් ප‍්‍රචාරය සැපයෙයි. භික්ෂුන්ගේ ජාතිවාදයට එරෙහිව ඒ සා වෙහෙසකර අරගලයක නිරතවන මේ මහත්වරුන්ට ටයිම් සඟරාවේ ජාත්‍යන්තරවාදය දේශපාලනිකව තේරුම් ගත නොහැකි වී තිබේ. එයද නොතේරුම් කමකට වඩා ඔවුන් නිරතව සිටින දේශපාලනයේ තේරීමකි. අප විසින් නොයෙක් තැන්වලදී ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස හඳුන්වා දී ඇත්තේද මේ පිරිසමය. සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ගේ මහා පොදු සතුරාය. එය ඔවුන්ගේ මහා පොදු සතුරා වී ඇත්තේ ඔවුන්ගේ මහා පොදු මිතුරා වන බටහිර යටත්විජිතවාදයේ ඇනවුමකට අනුවය. මේ අනුව මොවුන්ගේ පෙර කී ගණිකා පතිවත බඳු ජාතිවාද විරෝධය වනාහී ලේ වැකි බටහිර යටත්විජිතවාදයේම දිගුවක් ලෙස වටහා ගැනීම මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුව වෙයි. භික්ෂූන්ගේ දේශපාලන මැදිහත් වීම් තුළ අඩුලූහුඬු කම් පැවතිය හැකි බව සැබෑය. එසේ වුවද එම අඩුපාඩු විනිශ්වය කිරීම සඳහා විකල්ප ගෝත‍්‍රිකයන්ට වේදිකා ඉදිකර දීම කිසිසේත්ම සාධාරණ ප‍්‍රවේශයක් නොවන බව මේ කාරණා ඔස්සේ අප විසින් මෙහිදී තරයේ වටහා ගත යුතුය.

දර්ශන දමන්නෝ

අවසාන වශයෙන් කැතලින් ජයවර්ධන තම කෙටි කථාවෙන් ඉ`ගි කරන ආකාරයට බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය බෙදා වෙන් කිරීම වත්මන් බෞද්ධ විරෝධීන්ගේ ප‍්‍රධානතම උපාය මාර්ගයකි. මෙහි ඇති අතිශයින් උත්ප‍්‍රාසවත් කාරණය වන්නේ ඔවුන් ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින්ම මතවාදී අවි ආයුධ සපයා ගැනීමය. මේ සූක්ෂම දේශපාලනය බොහෝ ප‍්‍රබුද්ධයන්ට හා උත්තරීතර සත්‍යයන් අදහන බව කියන සාහිත්‍ය කරුවන්ට නොවැටහෙයි. එහෙයින් කැතලින්ගේ කෙටි කථාව දේශපාලනය නොදන්නා එකී සාහිත්‍ය බබ්බුන්ට එල්ල කළ අතුල් පහරක් වැනිය.

බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය යනු එකක් නොව එකිනෙකට සම්බන්ධ දෙකකි. වෙහෙර විහාර, පන්සල්, දැවැන්ත බුදු පිළිම, බිතු සිතුවම්, පෙරහැර, බෞද්ධ කොඩි ආදිය බෞද්ධ දර්ශනයට අවශ්‍ය නැතත් බෞද්ධ සංස්කෘතියට ඒවා අවශ්‍ය වෙයි. දර්ශනය කෙතරම් අර්ථ සම්පන්න එකක් වුවද ඒ වටා නිර්මාණය වූ සංස්කෘතියකින්, සමාජ සැකැස්මකින් තොරව කිසිදු දර්ශනයකින් පොදු ජනතාවගේ ජීවිත මත හොඳ හෝ නරක බලපෑමක් ඇති කළ හැකි නොවේ. සංස්කෘතිකාංග වල පැවැත්ම ඊනියා තර්ක බුද්ධියට අගෝචර විය හැකි වුවද ප‍්‍රායෝගික ජීවිතය තුළ එය ඉතා සුලබ සාමාන්‍ය සත්‍යයකි. පොදු ජනතාව ඒකරාශි වන්නේ  සංස්කෘතියක් වටා මිස බුද්ධි ගෝචර දර්ශනවාද වටා නොවේ. මේ ඇත්ත බුදු දහම පමණක් නොව මාක්ස්වාදය ඇතුළු  ඕනෑම දර්ශනවාදයකට අදාල වන්නකි. ඒ නිසාම සංස්කෘතියෙන් ගලවා ඉවත ලූ බුදු දහමද, අද මෙරට ඒ දඬු පණ්ඩිතයන් අත කෙලි බඩුවක් බවට පත්වී ඇති පශ්චාත් නූතනවාදයක තත්ත්වයට පිරිහීම කිසිවකුට වලකාලිය හැක්කක් නොවේ.

දෙමළාට ප‍්‍රශ්න නිර්මාණය කරමින් සිටින මෙරට එක්තරා ෆුටා ඇදුරකු වරෙක පවසා තිබුණේ පන්සල්, දැගැබ්, භික්ෂූන් ආදිය නූතන ලෝකයට අවැසි නොවන බැවින් දර්ශනයක් ලෙස පමණක් බුදු දහම සුරක්ෂිත කර තැබීම සඳහා පොත පත, පරිගණක, සී.ඞී තැටි ආදිය පමණක් තිබීම ප‍්‍රමාණවත් බවය. අවරදිග ඇති අනාගමික රාජ්‍ය ගැන මනෝ විකාර දොඩවමින් සිටින කොලම්කාරයකු තවත් වරෙක පවසා තිබුණේ ඔබට සිංහලයකු හෝ බෞද්ධයකු විය හැකි වුවත් සිංහල බෞද්ධයකු වන්නේ නම් ඔබට බුදු දහම මග හැරෙන බවය. අද රැුම්බෝගෙන් වෙඩි කා ලංකාවට පැමිණි ඇතැම් ආචාර්යවරුන් කියමින් සිටින්නේ අප සිංහලයන්ගේ ගෝත‍්‍රවාදී බුදුදහමට එරෙහිව සුලාක් සිවරක්සගේ ජාත්‍යන්තරවාදී බුදුදහම කර තබා ගත යුතු බවය. ඊළාම් අභිමානයෙන් පණ ගැට ගසා ගන්නා ඇතැම් වෙබ් අඩවි කාරයන් අද අපට ඊ.ඩබ්ලියු අධිකාරම් උපුටා පෙන්වීමට පටන් ගෙන ඇත්තේ දේශාභිමානියා මානසික රෝගියකු බව අවධාරණය කිරීම සඳහාය. දේශපාලන රෝගීන්ව පහසුවෙන් නොමග යැවිය හැකි මේ වාගාලංකාර සියල්ල සැලකිය හැක්කේ බෞද්ධ සංස්කෘතියේ පැවැත්මට එරෙහිව බෞද්ධ දර්ශනය ආශ‍්‍රයෙන්ම කෙරෙන ආයුධ සපයා ගැනීම් ලෙසය. එහිදී බෞද්ධ දර්ශනයට දැඩිව පහර නොදෙන මොවුහු ඊට ගරු කරන්නන් ලෙස බොරු නැටුමක් නටන  අතරේම බෞද්ධ සංස්කෘතිය හා භික්ෂූන්ට පහරදීම සඳහා එම දර්ශනය වෙතින්ම අවිහිංසාව, මෛත‍්‍රිය, සමානාත්මතාව, විශ්ව සාධාරණත්වය ආදී සංකල්ප උකහා පෙන්වති. එසේ උකහා පෙන්වමින් කරන පහර දීමේ දත් හෝ නොදත් අවසාන අර්ථය වන්නේ ලෝක පරිමාණ හිංසනයේ ලොකුම වග උත්තරකරුවා වන බටහිර නූතනත්වයේ දෘෂ්ටිවාදී  ආරක්ෂා තරකිරීමය.  සාමයේ පරවියන් ලෙස හඳුන්වමින් උකුස්සන් අහසට මුදා හැරීම මේ විකල්ප ගෝත‍්‍රකයන්ගේ කාර්යය වී තිබේ. කැතලින්ගේ කෙටි කථාවේ එන යුගය වනාහී එවන් ප‍්‍රවේශයන් ඔස්සේ බුදු දහම සපුරා වද කර බටහිර නූතනත්වය සපුරා ජයග‍්‍රහණය කළ යුගයකි. එවන් වූ යුගයක බුදු දහමේ ස්වභාවය හා ඊට අත්වූ ඉරණමට අදාල හේතු කාරණා ගැන ලේඛිකාවගේ තියුුනු නිරීක්ෂණය උපුටා දක්වමින් මේ රචනාව අවසාන කරමි.

වසර දහස් ගණනක් මුළුල්ලේ වරින් වර හා වසර හයසීයකට ආසන්න කාල සීමාවක් තුළ අඛණ්ඩව විවිධාකාර වූ තර්ජන ගර්ජන හා අභියෝග බුද්ධාගමට එල්ල වී ඇති මුත් එහි කූට ප‍්‍රාප්තිය එළඹුනේ විසි එක් වන සියවසෙහිදී යැයි කමිටු වාර්තාවේ මුලින්ම සඳහන් වී තිබිණි.


බුද්ධාගම සංස්ථාපිත තත්ත්වයෙන් පැවතීම ඇතැම් පුද්ගලයනට පුද්ගල කණ්ඩායම් වලට නොරිසි වූ බව පෙනී යයි. (මේ හා අදාල හේතු සාධක හා ඊට පසුබිම් වූ දේශීය විදේශීය බලවේග පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පරිපූර්ණ වාර්තාවේ 3,4 ඇමිනුම් හි වෙයි. මේ අනුව බුදුදහම ආගමක් නොව දර්ශනයක් පමණකිය යන්න පිළිබඳ මතවාදයක් ගොඩනැ`ගීමේ පොදු අභිප‍්‍රායක් මේ සියලූ කොටස් තුළ වූ බව පැහැදිලිය. එසේ වුවද බුදුදහමේ ආගමික තත්ත්වය නිර්වින්දනය කිරීම සඳහා ඔවුන් විසින් සූක්ෂම වැඩ පිළිවෙලක් දියත් කරනු ලැබ ඇත්තේ ඊට එරෙහිව අවි අමෝරා ගනිමින් හෝ එහි සතුරු බලවේග ලෙස පෙනී සිටිමින් හෝ නොවීමද මෙහිලා දැක්විය හැකි විශේෂත්වයකි. සිය සටන් භූමිකාව රඟ දැක්වීමේ දී ඔවුන් විසින් සැම විටම පලිහක් කර ගනු ලැබ ඇත්තේ බුදු දහමේ හරය හා එහි සාරයමය. මේ අනුව බුද්ධාගමට එරෙහි වූ මුල්ම හී පහර එල්ල වී ඇත්තේ මෛත‍්‍රිය හා සමානාත්මතාව එකට පුරුද්දා තැනූ ඊතලයක් ඔස්සේය. ජාතික හෝ ආගමික වශයෙන් අර්බූදකාරී තත්ත්වයන් පැන නැගුනු අවස්ථාවන් හිදී වීදි බට භික්ෂූන් නිරායුධ කරනු ලැබ ඇත්තේද එම`ගිනි. කිසියම් දේශයක්, ජාතියක්, ආගමක් වෙනුවෙන් පෙනී සිටීමේ කොදෙව් මානසිකත්වයෙන් භික්ෂුව අත්මිදිය යුතු බැව් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් විසින් සපයා ගනු ලැබ ඇත්තේද බුදු දහමිනි. භික්ෂුව එවැනි  පටු සීමා මායිම් අතික‍්‍රමනය කළ යුතු බවට හේතු සාධක වශයෙන් ඉතා ආකර්ශණීය ලෙස මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛාද ගෙන හැර දක්වා තිබේ.
      
කැතලින්ගේ කථාවෙන් ගත් ඉහත කුඩා ඡේදයතුළ අතැඹුලක් සේ දක්වා ඇත්තේ පිටු සිය ගණනක කෘතියක් ලියමින් පැහැදිලි කළ යුතු තරමේ සංකීර්ණ දේශපාලන විග‍්‍රහයකි. එය ඒ දඬු පණ්ඩිතයන්ගේ බොල් වාගාලංකාර තොග පිටින් විනාශ කර දමයි.   

                                            
-ඉසුරු ප‍්‍රසංග
(2014-01-20 ලක්බිම පුවත්පතෙහි  ඇවෙන්ට් ගාඩ් පිටුවෙන් උපුටා ගති)
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/10/2014

ඇමරිකාව සහ අපි

කතෘ:යුතුකම     1/10/2014   2 comments

ත්‍රස්තවාදී රාජ්‍යය
විශිෂ්ට දේශපාලන විචාරකයකු වන නෝම් චොම්ස්කි ඇමරිකාව හඳූන්වනේ ත්‍රස්තවාදි රාජ්‍යයක් ලෙසය.
මීට දශක කිහිපයකට පෙර ගෝලීයකරණය, වෙළඳ හා ප්‍රාග්ධනය ගලා යාමක් ලෙස පමණක් පවත්වමින් තමන්ගේ ගෝලීය අධිරාජ්‍යය පවත්වා ගත නොහැකි බව ඇමරිකාව වටහා ගත්තේය. ඒ සදහා යුධමය ආධිපත්‍යයක්ද ලොව පුරා පැතිරවිය යුතු බව ඔවුහූ තීරණය කළෝය. ඒ සදහා නොයෙකුත් රටවල්වලට පය ගසා ගැනීම හා ඇතැම්වා ගැටුම් සහිත දුර්වල රාජ්‍යයන් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. ඒ සඳහා මරා දැමෙන මිනිසුන් ගණන ඇමරිකානු රජයට ගැටළුවක් නොවේ. සෘජු ලෙසම රජය මැදිහත්ව ඕනෑම යුධ අපරාධයක් කර දැමීම ඔවුනට කිසිදු හිරිකිතයක් නොවීය. ඊට අමතරව වෙනත් ත්‍රස්තවාදීන් ඇති කර, කවා පොවා උස් මහත් කර ගැනීමද සිය නොමිනිස් අභිලාෂයන් සඳහා මනා පිටුවහලක් බව ඔවුහු අවබෝධ කර ගත්හ. ඒ අනුව යමින් ලොව පුරා විසිරී සිටින ත්‍රස්ත කල්ලි වල වර්ධනය සඳහා CIA සංවිධානය හරහා උදව් කළෝය. ත්‍රරස්තවාදය නියමින් හා අනියමින් ඇමරිකානු අධිරාජ්‍යයේ සුමිතුරකු ලෙස කටයුතු කළේය.

ඇමරිකානු සාමාන්‍යය ජනතාව ඉදිරියේ, සිය මුග්ධ යුද ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීම සහ එයට පක්ෂපාත මතවාද නිර්මාණය කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා පාලක පැළැන්තිය විසින් ත්‍රස්ත භීතිය මැනවින් යොදා ගත්තේය. එසේම ත්‍රස්තවාදය මැඩීමට සතුරා වෙතට ගොස් පහර දීමේ න්‍යායක් යොදා ගනිමින් වෙනත් රටවල් තුළට ඇමරිකින් භට පිරිස් යවා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමටද ඔවුන් කිසි විටෙක මැළි නොවීය.

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නොවන්නට ඇමරිකාවට ඉරාකය වෙත යාමට කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. එම ප්‍රහාරයට ඉරාකයේ කිසිදු සබඳතාවක් නැති නිසාත් එම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත යුතු නිසාත් ඔවුහූ ” ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටනක්” ප්‍රකාශ කළහ. සැබැවින්ම එය ලෝක ගෝලය තුල තම ආධිපත්‍යය පැතිරවීමෙ සටනක් මිස සුමිතුරු ත්‍රස්තවාදයට එරෙහි අවංක සටනක් නොවීය. ඇමරිකානු ක්‍රියා කලාපය නිසා ඉරාකය තුළ පමණක් මිලියනයකට අධික මිනිස් ජීවිත අහිමි විය. තවත් අහිමි වෙමින් තිබේ. දැන් ලිබියාවද තවත් ඉරාකයක් බවට පත් වී ඇත. ලිබියාව තුල අනුගමනය කෙරුනේ අඩු වියදම් ක්‍රමකි. ඒ රට තුල සිටින ත්‍රස්තයන් පෝෂණය කර ඔවුන් ලව්වාම ගැටුම් ඇතිකරවා අහසින් පැමිණ බෝම්බ දමා බේරා ගත යුතු යැයි ලෝකයාට කියන ලද මිනිසුන්වම මරා දමමින් සිය ත්‍රස්ත පුතුන්ට මං විවර කර දුන්හ. සිරියාව තුල මේ දෙය කර ගත නොහැකිව ඔවුහූ තවමත් ලත වෙමින් සිටිති. එනමුදු තණ්හාධික පිශාච ඇමෙරිකානු වුවමනා වෙනුවෙන් අවුලවන ලද ගැටුමක් හේතුවෙන් ලක්ෂ ගණනක් මිනිසුන් සිරියාව තුළ මිය ගොස් හමාරය. තවත් මිය යමින් සිටිත්. ලංකාවට හා සමාන සළැස්මක් දියත් කර  සූඩානයද දෙකඩ කොට මිහිපිට අපායක් නිර්මාණය කර ඇත.

ඕනෑම ස්ථානයකට ඇමරිකානු ප්‍රහාර එල්ල කරන්නේ හෝ එම රටේම කොටස් ලවා රජයන් පෙරළවා තමන්ට හිතවත් රූකඩයෙකු පත් කිරීමට හෝ මොවුන් කටයුතු කරන්නේ ගෝලීය අධිරාජ්‍යය ගොඩනැගීමේ මෙම පුළුල් න්‍යායපත්‍රයට අනුකූලවමය. යුරෝපය හා ජපානය මෙන්ම සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල් පවා එම ගෝලීය අධිරාජ්‍යය ගොඩනැගීම සදහා සෑම පිටුවහලක්ම ලබා දෙන්නේ, ඒ ඔස්සේම තම තමන්ගෙ අනාගතය ගොඩනංවා ගැනීමේ අවබෝධයෙනි.

ලංකාවේ ත්‍රස්ත පුතා

ඇමරිකාවට ලංකාව වැදගත් වන්නේ ද මෙම සන්දර්භය තුළමය. එනම් තමන්ගේ ආධිපත්‍යය මෙම කලාපය තුල පැතිරවීම සදහා ලංකාවෙ පැවති ගැටළු මනා තෝතැන්නක් ලෙස ඔවුහු වටහා ගත්තේ මීට බොහෝ කලකට පෙරය. CIA සංවිධානය හරහා අල්කයිඩාවට මෙන්ම LTTE යටද ඔවුහු උදව් කළහ. ඉන්දියාවෙන් හා ලංකාවේ දමිල වෙල්ලාලයන් අතින් අවජාතක කෙරුනු ත්‍රස්තවාදය, ඉන්දියාවට වඩා බටහිරට මිතුරු ත්‍රස්තවාදයක් බවට පත් කර ගැනීමට ඔවුනට හැකි විය. එම වෙල්ලාලයන් ප්‍රභාකරන් විසින්ම ඝාතනය කළ අතර පසුව ඔවුනට ජීවත් වීමට නම් ප්‍රභාකරන්ගේ අණසකට යටත්ව සිටීමට සිදුවිය. සියළු අවාසි මධ්‍යයේ LTTE ය විසින් රජිව් ගාන්ධි ඝාතනය කෙරෙන්නේ ඇමරිකාවේ කොන්තරාත්තුවක් මත වීමට බොහෝ විට ඉඩ ඇත. ඉන් පසු පැමිණි ඉන්දියානු නායකයින් කටයුතු කළේ ඇමරිකාවෙ හිත නොරිදෙන පරිදි වන අතර ඔවුනොවුන් අතර මනා අවබෝධයකිනි. නැගී එන චීනය නිසා දෙරටටම එම අවබෝධය වැදගත් විය.

අපේ පෙර පිනකට ප්‍රභාකරන් නාහෙට නාහන කැළෑ සතෙකු විය. මිනී මැරීම මිස දේශපාලනය ඔහුට අවිෂය විය. බටහිරයන්ගේ බලපෑම් මත පැවැත්වු සෑම සාකච්චාවකින්ම LTTE නැගිට ගියේ මුලු ඊළමම එක වර ඉල්ලමිනි. ඔහු බටහිරයන්ට අවනත වී නම් මේ වන විට ඊළාම් රට බිහි වී බොහෝ කල්ය. යුද්ධ කිරීමට ඕන ගොනෙකුට හැකිය. එවන් යුද්ධයක් ලංකා රජය විසින් ආරම්භ කරනවාටද ඇමරිකාව අමනාප නොවීය. නාහෙට නාහන ප්‍රභාකරන් ලංකා රජය ලව්වාම දුර්වල කර ගත් පසු ඔහුගෙ නාහෙට තෝන් ලණුව දමා තද කර ගැනීමට ඇමරිකාව හා බටහිරයන් සිතන්නට ඇත. මෙතුවක් කලක් ලංකාවෙ යුද්ධ කළ ගොන්නුන්ට වඩා වෙනසක් මෙවර ඇති බව වටහා ගැනීම ඔවුන්ට අසීරු කාරණයක් නොවීය. තමන් විසින් කිරි පෙවූ ත්‍රස්තවාදය නමැති දරුවා මරණාසන්න වූ බව වටහා ගත් ඔවුන් එය එසේ නොවීම සඳහා අසාර්ථක වෑයමක නිරර්ථ විය. ලක් රජය ත්‍රස්තවාදයට යළි ඉඩක් නොතැබීමේ දැඩි අදිටනක සිට සෘජු තීරණ ගැනීමට නිර්භය විය.

වඩා දුර්වල කරවනු ලැබු එහෙත් ජීවත් වන ප්‍රභාකරන් කෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ඇමරිකාවට ප්‍රභාකරන් මිය යාම යනු ගෝලීය අධිරාජ්‍යය පුළුල් කරගැනීමට හා එය පවත්වා ගෙන යාම සඳහා තමන් විවර කර ගැනීමට සැළසුම් කර තිබු එක් දොරටුවක් වසා දැමීමක් විය. එසේ කිරීමට තරම් ලංකා රජය බටහිර බලපෑම් නොතකා උද්දච්ච වීම ලොව පුරා කුඩා රජයනට සැපයු ඉතා නරක පූරවාදර්ශයක් විය. එවන් වරදක් කර නිදහසේ සිටින්නට හැකි වීම ඊටත් වඩා බරපතල වැරදි ආදර්ශයකි. ගෝලීය අධිරාජ්‍යය ගොඩ නැගීමට එරෙහි පියවරක් ගන්නා ඕනැම පාලකයෙක් හා රටක් දෙස මෙම බලකාමී, ධනකාමි පාපිෂ්ට පිශාච අධිරාජ්‍යයා කරුණාවෙන් බලන්නේ නැත. මේ අකීකරු මිනිසුන් මට්ටු කිරීම ඔවුනගේ උපාය මාර්ගික ගමන් මගෙහි අනිවාර්ය අංගයකි. එසේ නොකිරීම යනු මිලියන ගණන් මිනිසුන් මරා දමමින් ඔවුන් යන ගමන් මගට හරස් වන්නන් අමතක කිරීම යන දුර්වල දේශපාලනයකි. අප පුදුම විය යුත්තේ ඔවුන් අපට නිදහසේ ඉන්න දෙනවා නම්ය. මේ මොහෙතේ ලංකාව ඔවුනට වැදගත් රටක් වීමට ආසන්නතම හේතුව මේ වෙයි.

මේ සියළු බලපෑම් එල්ල වන්නේ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමට යයි කීම ඉතා සරල කතාවකි. ඒ මඟින් ඇතැමුන් ඒ ඡන්ද ලබා ගන්නා බව ඇත්තක් වුවද, මේ බලපෑම් අපට එල්ල වන්නේ ඉහත කී සුවිසල් අධිරාජ්‍යය පවත්වා ගෙන යාමේ සුවිසල් ක්‍රමෝපායික සැළැස්මේම අංගයක් ලෙසින් විනා ඩයස්පෝරාවේ ඡන්ද ගැනීමට යයි පැවසීම පට්ටපල් කෙබරයකි. එය පාපිෂ්ට අධිරාජ්‍යයයා අහිංසක කර පෙන්වීමකි. ඩයස්පෝරා ගොඩනැංවීමද ඒ විසල් සැළැස්මේ ක්ෂුද්‍ර කොටසක් පමණි.

අපේ විදෙස් කටයුතු අමාත්‍යංශයද මේ ඩයස්පෝරා ඡන්ද කතාව කියන්නේ අනවබෝධය නිසාද නැතිනම් සත්‍යයම පැවසීම ඉහත කී රැවුලයි කැදයි දෙකම බේර ගැනීමේ ප්‍රතිපත්තියට හානිකර නිසාදැයි අපි නොදනිමු. එම සත්‍යය සඳහා ඕනෑ තරම් සාක්ෂි සාධක තිබියදීත් අපි එසේ නොකියන්නෙමු. නමුත් ඔවුනට ලක් රජය සිවිල් වැසියන් දස දහස් ගණනක් මරා දැමීයැයි අදහමින් ඒ මත ක්‍රියා මාර්ග ගැනීමට කිසිදු . පිළිගත හැකි සාධකයක් අවැසි නොවේ. එසේ මර දැමුනා යයි කියන අයගේ නම් ඔවුන් දන්නේ නැත. ඔවුනගේ නෑයන් කවුදැයි දන්නේ නැත. දින කීපයක් ඇතුළත මිය ගියා යයි කියන හතළිස් දහසකගේ මළ සිරුරු වළ දැමුවේ හෝ පිළිස්සුවේ හෝ කවුදැයි ඔවුන් දන්නේ නැත. ඉඩ ප්‍රස්ථාවක් ලත් විගස ත්‍රස්තයන්ගෙන් මිදී, ෂෙල් ප්‍රහාර එල්ල කෙරෙන හෝ කෙරුනු දිසාවට ලක්ෂ ගණන් මිනිසුන් පලා යාවිද? හතළිස් දහසක් වැනි පිරිසක් දින කීපයක් තුළ මිය ගියේ නම් රජයේ හමුදා දෙසට පැමිණි අයගේ අති මහත් බහුතරයකගේ පවුල් සාමාජිකයින් ඒ දින දෙක තුන ඇතුළත මිය ගොස් තිබිය යුතුය. එසේ නම් ඔවුන් හැඩූ කදුළෙන් සිටිය යුතුය. ඔවුන්ගේ මුහුණූ තුළ තිබුනේ සිය අසරණ දෛවවය පිළිබඳ අවිනිශ්චිතතාවක් විනා වියෝ වූ පවුල් සාමාජිකයින් පිළිබඳ හෙලන කඳුළු නොවේ යයි ඕනෑම බබෙකුට තේරුම් යා යුතුය. එය සත්‍යයක් නම් මිය ගිය අයගේ නම් ලයිස්තුවක් සාදා ඉදිරිපත් කිරීම මෙතෙක් සිදු නොවූ කටයුත්තක් නොවනු ඇත.

නමුත් මොවුන්ට සත්‍යයෙන් වැඩක් නැත. තම අභිප්‍රායයන් සපල කර ගැනීමට ඕනෑම මුසාවක් කිසිදු වෘතීයභාවයක් නැතිව මුත් වෘතීය ලෙසම ඉදිරිපත් කිරීමට ඔවුහු නොපැකිළෙති. වෘතීය මිනී මරුවන්ට වෘතීය මුසාව කජ්ජක්ද? නලින්ද සිල්වා ඇදුරුතුමා පෙන්වා දුන් පරිදි අපේ බොහෝ රාජතාන්ත්‍රිකයන් දන්නේ බටහිරයන් අහන ප්‍රශ්නවලට ඒ රාමුව තුළ සිට ගෙනම ඒවාට පිළිතුරු දීමට විනා මේ සරළ කරුණූ ඔවුනට පෙන්වා දීමට නොවේ.

පුතු නැසූ වාඩුව

ඇමරිකානු අධිරාජ්‍යයා ලංකාව මට්ටු කර්න්නේ කෙසේද? ඒ සඳහා ඇති හොඳම ක්‍රියා මාර්ගය නම් ලංකාව විසින් වසා දැමූ දොර නැවත විවර කර ගැනීමයි. මෙම අධිරාජ්‍යයා කිසි විටක එක ගලකින් එක් කුරුල්ලෙකු පමණක් පතන්නකු නොවේ.

කරන දෙයක් කිරීමට වඩාත් පහසු හා හිතකර වන්නේ, තමාගෙ නිකට පහළින් ලංකාව පිහිටා ඇති ඉන්දියාවේ ද සහයෝගයෙනි. ඉන්දියාවටත් ඇමරිකාවටත් එක ලෙස එකඟ විය හැකි අපූරු දේශපාලන ප්‍රපංචයක් ලාංකීය දේශපාලනය තුළ ඇත. ඒ අන් කිසිවක් නොව, ජේ ආර් ගෙ අදූරදර්ශී විදෙස් ප්‍රතිපත්තිය නිසා ලංකාවට තරවටු කර රජීව් ගාන්ධි විසින් බලෙන් ලබා දුන් දහතුන නමැති කාල බෝම්බයයි. ඉන්දියාවෙ පවතින අස්ථාවර ආණ්ඩුවත් දකුණු ඉන්දීය දේශපාලනයත්, දෙගොල්ලන්ගේම අභිලාෂයනුත් මනා ලෙස කළමනාකරණය කරමින් ඇමරිකාව 2012 දී ජිනීවාහිදි යුද්ධයෙන් පසු ලංකාවට එරෙහි ප්‍රථම ප්‍රසිද්ධ වෙඩි මුරය තැබීය. කුමන වේශයකින් පැමිණියත් මෙම යෝජනාවන්හි අභිප්‍රාය වූයේ ආණ්ඩුව ලවා දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවා ගැනීම හා හැකිනම් ඉන් එහා යන බලය බෙදා දීමක් දක්වා යාමට මෙරට ආණ්ඩුව හිර කිරීමය. එසේ කළ පසු ඉතිරි හරිය සාක්ෂාත් කර ගන්නා ආකාරය ඔවුහූ දනිති.

යුද්ධයෙන් පසු දිගින් දිගටම ඇමරිකාවත් ඉන්දියාවත් උත්සාහ දැරුවේද දහතුන ක්‍රියාත්මක කරවීමටයි. නමුත් ලංකාව එම උගුලට කෙළින්ම පය තැබුවේ නැත. එසේම යුද්ධයෙන් පසුව තුනෙන් දෙකක බලයක් හිමි කරගත් ආණ්ඩුව දහතුන සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට හෝ ඇබින්දක් හෝ සංශෝධනයටද නිර්භීත නොවීය. මෙහිදි අප අමතක නොකළ යුතු කාරණයක් නම් නන් දෙසින් ආණ්ඩුවට එක් වූවන් අතර, ඇති තරම් පෙඩරල් වාදීන් ද ඇත. ඔවුනට අනුව නම් ආණ්ඩුව බලය බෙදන දෙසට ගමන් කිරීම, ඇමරිකාවෙන් කීවත් නැතත් කළ යුතු දෙයකි. වඩාත් හාස්‍යයජක කාරණය නම් ඔවුන් තමන් අධිරාජ්‍යය විරෝධීන් ලෙසින් හඳුන්වා ගැනුමය. අධිරාජ්‍යය විරෝධින් ලෙස නළලේ ලේබල ලා ගැනීමට පෙර ඔවුන් කළ යුත්තේ අධිරාජ්‍යයවාදය ක්‍රියාත්මක වන ආකාරය මදක් අධ්‍යයනය කිරීමය.

උතුරු පළාත් සභා ඡන්දයට කළින් දහතුනෙහි විෂ දළ ගැලවිය යුතු බවට රට තුළින් පැන නැගි මතයට තමන් එකඟ බව පෙන්වමින්ම එම මතය යටපත් කර දැමීමේ ඉතා අපූරු දේශපාලන උප්පරවැට්ටියක් දමා උතුරේ ඡන්දය දහතුනෙහි විෂ දළ තබා පණු දතක්වත් නොසොල්වාම පැවැත්වීමට රජය කටයුතු කළේය. බෙදුම්වාදය පරාජය කළ හැක්කේ බෙදුම්වාදීනට ඉඩ නොදීමන් බව රජය නොදන්නවා විය නොහැකිය. ඒ දෙසට ගමන් කිරීම යනු නැවතත් ජාතීන් අතර බෙදීම් මානසිකත්වය ඇතිකර ස්වභාවිකවම ඉදිරියේදි ඇතිවන්නට නියමිතව තිබූ මිතුදමට තිත තබා නැවත වෛරය වැපිරවීමට ඉඩ හැරීමකි.

නමුත් එය එසේ සිදු වන්නට ඉඩ හැරියේ කිසිදු කරුණක් නිස නොව, ඉන්දියාව හා බටහිරයන් උරණ කර ගතහොත් තත්වය අසීරු වනු ඇති බවට රජයට වූ තක්සේරුව නිසා බව තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවැසි නොවේ. යුද්ධයෙන් පසු රජය අනුගමනය කළේ රැවුලයි කැදයි දෙකම බේරා ගැනීමේ පිළිවෙතකුයි. අප මොන දේ කළත් නොකළත් පෙර කී පරදි ඔවුනගේ ත්‍රස්ත පැටියා මරා දැමීමේ වාඩුව අධිරාජ්‍යයයා නමැති මහ ත්‍රස්තයා විසින් ගනු ඇති බවක් රජය නොඇදහුයේය. එයට මුහුණ දීමට සූදානම් වනු විනා එය සංහිඳවිය නොහැකි බව රජය කල්පනා කළ බව සිතීම උගහටය.
තර්ජනයට ලක් වී එයට මුහුණ දීමට වඩා දුර්දාන්ත අන්තයකි ඔවුන් පිනවන්නට යාමෙන් අත්වන්නේ. යුද්ධයෙන් පසු බටහිරයන්ගේ උදහසට ලක් නොවී සිටිනු වෙනුවෙන් දහතුනෙහි විෂ දළ නොගැලවීමෙහි විපාක විදින්නට සිදුවන්නේ ඉදිරියේදීය.

මෙවර ජිනීවා සමූළුවෙන් පසු යුධ අපරාද චෝදනා ගොනු කිරීමට මං විවර කර ගැනුමට මෙන්ම සම්බාධක බිල්ලා පෙන්වමින් රජය, මෙරට තුල අප්‍රසාදයට පත්කිරිමටත් ඔවුන් කටයුතු කරනු ඇත. රජයේ සිටින බඩ ගෝස්තර වාදි ඇමතියන්ගේ ක්‍රියාකලාපයන්ද ඒ සන්දර්භය තුලදී රජය වඩා වේගයෙන් අප්‍රසාදයට පත් කෙරුමට ඉවහල් වනු නොඅනුමානය. ඒ තුල කුමන ආණඩුවක් ඉදිරියේදි බලයට ආවත් එය ප්‍රබල බහුතරයක් නොමැති ආණ්ඩුවක් බවට පත් කර ගැනුම අධිරාජ්‍යවාදීන්ගේ අරමුණයි. එවිට රජුන් තනන්නන් බවට පත් වන්නේ අන් කවරෙකුවත් නොව දෙමළ සන්ධානයයි. එය එජාපය සමඟ වුවත් ශ්‍රීලනිපය සමඟ වුවත් කම් නැත. දහතුනට නමැති කාල බෝම්බය නිෂ්ක්‍රිය නොකිරීමේ විපාක පඬිසන් දෙන්නේ එදාටය. සිංහලයන්ගේද විශ්වාසය දිනා සිටින වත්මන් ආණ්ඩුවම සුළුතර ආණ්ඩුවක් බවට පත් කර ගෙන ඔවුන්ව හැසිරවීමේ වරමක් දෙමළ සන්ධානයට ලබා දීම අධිරාජ්‍යය වාදීන් බලාපොරොත්තුවන නියම තත්වය විය හැකිය. ඒ මඟින් අප්‍රසාදයට පත් වන මහින්ද රාජපක්ෂයන් යුධ අධිකරණයක් වෙත රැගෙන යන විට මෙරට ජනතාවත් එය ඉතා ඉක්මණින් අමතක කර දමා "එයා වරද්ද ගත්තා" යයි කියනු දැකීම එහි දෙවන පියවර විය හැකිය. ඒ වන විට මෙහි ඇත්තේ තවත් ලිබියාවකි. ඒ ඇමරිකානු හා බටහිර පැතුමයි.

දේශපාලන සන්දර්භයෙහි නොපිහිටන ආර්ථිකය

පවතින දේශපාලන සන්දර්භයෙන් විනිර්මුක්තව අපට ආර්ථික ප්‍රතිපත්තීන් සැකසිය නොහැක.

කරුණු මෙසේ නම් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු අප අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය බටහිරට වඩ වඩාත් ගැට ගසනු ලැබූ එකකට වඩා ඒ මත ඇති රැදීම අවම කෙරෙන අතට සැකසිය යුතුව තිබිනි. නමුත් පසු ගිය කාලයේ ඉදිරිපත් වුනු කිසිදු අයවැයක් තුළ අපගේ අපනයන වෙළදපල විවිධාංගීකරණය කර ගැනුම සඳහාවත් කිසිදු සැළසුමක් නොවීය. අපනයනයන්ගෙන් 20%ක් පමණ ඇමරිකාවටත්, 40% ක් පමණ යුරෝපා සමුළුවේ රටවල් වෙතත්ය. සංචාරක කර්මාන්තය මත හා විදෙස් ආයෝජන මත රදන ආර්ථිකයකින් ඈත්වීම කෙසේ වෙතත්, මෑත්වීමවත් විය යුතුව තිබුනද ආරථික සැළසුම් සැකසුනේ ඒවාට අති මහත් බරක් ලබා දෙමිනි.

බහුජාතික සමාගම්වල අමනුස්ස කමට යටව ඇති ගොවිතැන වෙනුවට හෙළ ගොවිතැන දෙස අපට නැවත හැරී බැලීමට අවස්ථාවක් දැන් උදා වී ඇත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සියළු බාධක මැද කැප වුනු මිනිසුන් කිහිප දෙනෙකුගේ අධිෂ්ටානය නිසාය. පමාවී හෝ රජයේ අවධානය ඒ වෙත යොමු වී ඇත. අප කළ යුත්තේ බටහිටරට ගැට ගැසීම නොව, සම්බාධක ආවත් නාවත් එවැන්නකට මුහුණ දිය හැකි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමය. සම්බාධක වලින් බේරීමට අනුවණ උපාය මාර්ග තෝරනවාට වඩා අප යථාර්ථයට මුහුණ දිය යුතුය. අපි නිවැරදි වැඩ පිළිවෙලක් වෙත යොමු වන්නේ නම් එයට මුහුණ දීම එතරම් ගැටළුවක් නොවනු ඇත. දැනටත් අප පමාවූවානම් වැඩිය. ගුණදාස අමරසේකරයන් මීට වසර කිහිපයකට පෙර 'මේ අන්තිම අවස්ථාවයි' නමැති ලිපියකින් මේ අවශ්‍යයතාව අවධාරණය කළ බව අපට මතකය.




-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය

12/30/2013

දෙලොවක් මැදින්

කතෘ:යුතුකම     12/30/2013   7 comments


පසු කරනා විටදි බසයෙන් කොළඹහත
දුටුවෙමි සෙබළ රුව තනනා ජොගින්පථ
නොදැනිම සසල විය මඳකට මගේසිත
ගොනුකර ලියමි ඒ සිතුවිලි කවක්මත
නුඹ සාදා වැඩ නිම කළ මුල්කොටසේ
දිව යනවා නෝනා මහතුන්සතොසේ
රඳවා වයර් දෙ කැබලි දෙසවනසුව සේ
නුඹේ හදවත ගැහෙනා රිද්මයනෑසේ
අලි වැට කැඩී දින දින මිනිසුන් මියයයි
නොවසා තබන දුම්රිය මං තවබෝමයි
ඒවා නම් ඉතින් හෙමිහිට සැදියහැකියි
නුවරුන් මහත් වුනොතින් රටටමපාඩුයි
සදනා විටදි නුඹ පාසල්ගොඩනැගිලි
නිබදව වැඩෙයි මගෙ බැතිබර සිතලියලී
සදනා විටදි ලොකු අය දුවනාපේළි
හඬවා මහද බැති සිත මිය යයිවියළී
ඇස් හිස් මස් ලේ දන් දී අපිවෙනුවෙන්
දැන් තනනවා පොඩි පාරක් නොබැනමුවින්
නැතිවද හිතට දුක සබඳේ ඇත්තකියන්
නැතිව මගේ මොළයේ අවුලක්දබලන්
මුහුවී රුහිරු හා සියොලඟවැගිරවුන
ගැළුවා කඳුළු අඹු දරු නෙතනොනැවතුන
උණු ලේ කඳුළු බීලා තෙතබරිතවුන
මෙලෙකයි පොළොව සිහ ධජ කුඹුඉන්දවුන
මිය ගිය නූඹේ සොයුරන් අද මෙලොවනැත
උන් හා අපි එක ලෙස පැතු ලොවක්ඇත
කා බී නටන අපි තනනා ලොවක්ඇත
දෙලොවක් මැදින් නුඹෙ රුව බොඳවෙලාඇත



-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/27/2013

බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන රදගුරු සභාව..

කතෘ:යුතුකම     12/27/2013   5 comments
පසුගිය දෙසැම්බර් 8 දාතමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද එඬේරික අනුශාසනා පත්‍රය නම් ලියවිල්ලේ මාතෘකාව ලෙස සඳහන්ව ඇත්තේ 'අප දේශය සමගි සංධානය තුළින් යළි ගොඩ නැංවීමක් කරා' යන තේමාවයි. නත්තල් සමය අභියස සහෝදර කතෝලික ජනයා ඉතා සාමකාමී ලෙස නත්තල සමරන අතරතුර ඊට හාත්පසින්ව වෙනස් ස්ථාවරයක සිට සිදුකරන කතෝලික සභාවේ මේ ප්‍රකාශය නම් සමගි සංධානය ගොඩ නැගීම කෙසේ වෙතත් ජාතීන් අතර බෙදුම්වාදයත් අසමගියත් එකිනෙකා තුළ දුරස්ථභාවය තව දුරටත් වර්ධනය කරන දිශාවට යොමු කරවන ලියවිල්ලක් බව එය විමසිල්ලෙන් නිරීක්ෂණය කරන විට පෙනෙන කරුණකි. කතෝලික රදගුරු සභාවේ මේ මුග්ධ ස්ථාවරය අපගේ කතෝලික හිතවතුන් බොහෝ දෙනා අනුමත නොකරන බවට සැක නැත. ත්‍රස්තවාදී අනතුරෙන් බැටකෑ පසුගිය තිස් වසර පුරාවටම කතෝලික රදගුරුවරුන් බොහෝ දෙනා දැරූ ස්ථාවරය මෙයට වඩා වෙනස් නොවූ බව අපට මතකය. නමුත් ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කර සිව් වසරකට පසුත් නිර්මාණය වී ඇති අලුත් වටපිටාව තුළදීත් සුපුරුදු ස්ථාවරය බිඳකුද වෙනස් නොකර පරණ තැටිය එලෙසම නැවතත් වාදනය කිරීම එඬේරික ප්‍රකාශනයේ මාතෘකාවේ සඳහන් සමගි සමාදානය ඇති කිරීමට නම් කිසිඳු අනුබලයක් නොලැබෙන බව පැහැදිලිය.

ත්‍රස්තවාදයට එරෙහි සටන පැවති කාලය මොවුන්ගේ මේ ස්ථාවරය බාහිර සමාජයට හොඳින් දැක ගැනීමට ලැබුනු අවස්ථාවකි. නමුත් වෙනස ඇත්තේ එකල එය සමාජගත කළේ කතෝලික සභාවේ නිල මතය ලෙස නොවේ. යම් යම් පූජකයන් හරහා හුදකලා මතයන් ලෙසයි. විශේෂයෙන් මේ විවාදිත එඬේර ප්‍රකාශනයටද අත්සන යොදා ඇති රායප්පු ජෝසප් මන්නාරම රදගුරුවරයාගේ ක්‍රියා කලාපය කොටි දේශපාලන අංශයටත් එහා යමින් කොටි සන්නද්ධ අංශයේ තවත් බලඇණියක් යැයි සිතෙන තරමට අලජ්ජී විය. ශුද්ධ වූ මඩු දේව ප්‍රතිමාව පවා ඒ දෝහී ත්‍රස්ත උවමනාව වෙනුවෙන් භාවිතා කිරීමට තරම් එකල මන්නාරම රදගුරුතුමා පසුබට නොවීය . එතකඳුද නොවේ , පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා යටතේ දඬුවම් දිය යුතු යැයි ඉල්ලීමක් කළේද මේ රායප්පු ජෝසප් 
රදගුරුතුමා ඇතුළු පූජකවරුන් 31 දෙනෙකි. නමුත් මේ පූජකවරු කණ්ඩායමම දෙමළ ජාතිකයන් බවත් , එය ඔවුන්ගේ පෞද්ගලික මතය මිස කතෝලික සභාවේ නිල මතය නොවන බව ඇඟවීමට එකල සමහරුන් උත්සාහ කළහ. මැල්කම් රංජිත් අගරදගුරුවරයා එකල එසේ හැඟෙන පරිදි ජිනීවා සමුළුව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ බවද අපට මතකය. එකල පිටතට පෙනුනේ රායප්පු ජෝසප් රදගුරුතුමා කතෝලික සභාවද ඉක්මවා යමින් හිතුවක්කාර ලෙස කටයුතු කරන බවකි. නමුත් දැන් නිකුත්ව ඇති මේ 'එඬේරික ප්‍රකාශයෙන්' එය කෙතරම් සදොස් නිගමනයක් ද යන්නත් කතෝලික සභාවේ හැසිරීම බෙදුම්වාදය ශක්තිමත් කිරීමේ දිශානතියට කෙතරම් උපකාරී වන්නේද යන්නත් හොඳින්ම පැහැදිලි වේ.

ආගමික සභාවක් විවේචනය කිරීමට 
යුතුකම සංවාද කවයේ අප සතුටු නැත. ඒ අපගේ සහෝදර කතෝලික බැතිමතුන්ගේ සිත් කම්පාවේය යන කණගටුව නිසාය. එහෙත් කතෝලික සභාව තමන්ගේ සීමාව ඉක්මවා බොහෝ දුර ගොස් ඇති නිසා සාමය වෙනුවෙන් දිවි පිදු දස දහස් ගණනක් රණ විරුවන්ගේ රුධිරයට ඇති ණයගැති භාවය වෙනුවෙන් හා අනාගතයට ගිනි තැබීම වළක්වා ගැනීමේ යුතුකම ඉටු කිරීමට අකමැත්තෙන් වුවත් සිදු වී ඇත. මෙමගින් කතෝලික සහෝදරයන්ට කිසියම් සිත් තැවුලක් ඇති වේ නම් අප ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන අතරම කතෝලික රදගුරු සභාවේ මේ අසාධාරණ  ආධානග්‍රාහී හැසිරීම ප්‍රශ්න කළ යුත්තේ සැබවින්ම අප නොව ඔබ විසින්ම බව අපි විස්වාස කරන්නෙමු. ඔබ විසින්ම රදගුරු සම්මේලනයේ මුසාවන් ප්‍රශ්න කරනවා නම් අපි පැත්තකට වී සිටීම ඉතා කැමැත්තෙන් තෝරා ගන්නෙමු.

සිංහලත්වය බලෙන් පැටවීද ?

එඬේරික ප්‍රකාශනයේ 6 වැනි පිටේ එක් තැනක මෙලෙස සඳහන් වේ.
"අනෙකුත් සුළු ජාතීන්ගේ සංස්කෘතීන් මත සිංහල භාෂාවේ සහ සංස්කෘතියේ ආභාෂය පැටවීම හේතුකොට ගෙන ජාතික එක්සත් කම බිඳ වැටීමක් සිදුවිය. මේ සියල්ලේම කණගාටුදායක ප්‍රතිඵලය වුයේ, මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි කළ, දේපල විනාශ කළ, සම්පූර්ණ ජන සමාජයක් අවතැන් කළ, ආර්ථිකය එක තැන පල් වීමට සැලැස් වූ, අර්ථ විරහිත යුද්ධයක් වෙනුවෙන් රටේ සම්පත් විශාල ප්‍රමාණයක් නාස්ති කළ, ප්‍රචණ්ඩ අර්බුදයකි"

මේ ප්‍රකාශයේ බරපතල කෲරභාවය ලෝගුවෙන් සඟවා ගත නොහැක. සිංහලයන් සිය සංස්කෘතිය බලෙන් පටවා ඇත්තේ කා මතද? රදගුරු සම්මේලනය කිසිදු සාක්ෂියකින්, කරුණූ දැක්වීමකින්, හා තර්කයකින් තොරව මෙවැනි සාහසික නිගමනයකට නිකම්ම එළැඹෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි නම් විය නොහැක. එකට ජීවත්විමේදි අපි සියළු ජනවර්ගයන්ගේ සංස්කෘතීන්ගෙන් ආභාෂය ලබා ගනිමු. සිංහලයන්ද දෙමළ සංස්කෘතියේ හා භාෂාවේ ආභාෂය ලැබූ තැන් බොහෝය. එය ස්වභාවිකය. අනෙක් සංස්කෘතීන් බලෙන් පැටවීම එතරම් වේදනාවක් නම් තමන් ලෝගු ඇද සිටින්නේ කෙසේදැයි අපි නොඅසා සිටින්නේ කෙසේද?

රදගුරු සම්මේලනයේ අත්සනින් මේ කියන්නේ 40 දශකයේ චෙල්වනායගම්ලා විසින් අධිරාජ්‍යවාදීන්ගෙන් ලද උත්තේජනය හරහා උඩට ගන්නා ලද එතැන් පටන් දෙමළ බෙදුම්වාදීන් කර තබාගෙන පැමිණ ප්‍රභාකරන්ට භාරදුන් හන මිටියම නොවේද? ජාතික එක්සත්කම බිඳ වැටුනේ වෙනකක් නිසා නොව අධිරාජ්‍යවාදීන් විසින් ඇති දැඩි කර පෝෂණය කරන ලද දෙමළ බෙදුම්වාදී ජාතිවාදය නිසාය යන්න සාම වෙළඳුන්ට නොතේරෙන සරල සත්‍යයයි. සර්වජන ඡන්ද බලයත් සමග මධ්‍යය තුළ තමන් අධිරාජ්‍ය අනුග්‍රහය මත බුක්තිවිඳි අසමමිතික බලය ගිලිහෙන බව කල් තියා දුටු චෙල්වනායගම්ලා ප්‍රමුඛ දෙමළ ජාතිවාදයේ සීයලා දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටවූයේ දැන් ටිකක් පසුව හුඟක් යන බලය අත් පත් කර කරගැනීමේ සූත්‍රයද හඳුන්වාදෙමිනි. මැල්කම් රංජිත් 
පියතුමා   ප්‍රමුඛ කතෝලික රදගුරු සභාව මේ උත්සාහ කරන්නේ දෙමළ ජාතිවාදයේ වැරැද්ද සඟවා ඒ හරහා දෙමළ ජාතිවාදෙයෙන් උපන් ත්‍රස්තවාදය නිසා සිදු වූ සියලු විනාශයන්ගේ පව් සිංහලයන් මත පටවා අත් සෝදා ගැනීමටය. එසේම ඒ හරහා ලබන ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර අභිලාෂ මත ක්‍රියාත්මක මෙහෙයුම සාධාරණීකරණය කිරීමද මේ එඬේරික ප්‍රකාශනය හරහා අපූරුවට සිදුවෙයි.එය ඉදිරි මාස කිහිපය තුළදී හොඳින් පැහැදිලි වනු ඇත.

පරාජිත බලය බෙදීම නැවත වටයකින් පෙරට ගෙන ඒම

එඬේරික ප්‍රකාශනයේ තවත් තැනක මෙලෙස සඳහන් වේ.
"යුද්ධය විසින් LTTE යේ භීෂණකාරී ක්‍රියාකාරකම් අවසන් කරනු ලැබුව ද උතුරේ ද්‍රවිඩ ජන සමාජය මුහුණ දුන් ගැටලූවලට සෑහීමකට පත්විය හැකි දේශපාලන විසඳුමක් ලැබී නැති නිසා දිගටම අසහනකාරී හැඟීමක් කැකෑරෙමින් පවතින්නේය යන්න අපගේ මතයයි.උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට බලපාන ගැටලූ වලට දේශපාලනිකව පිළිගත හැකි, නමුත් ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් සොයා ගැනීම පිණිස, රජය කල් දැමීමකින් තොරව එම ප්‍ර දේශ වල ද්‍රවිඩ දේශපාලන පක්ෂ සමග සංවාදයක් ආරම්භ කළ යුතුය. එම විසඳුම පළාත්වලට ඵලදායී සහ ශක්තිමත් බලය බෙදීමක් මත පදනම් විය යුතුය යන්න අපගේ හැඟීමයි. "

යුද්ධයෙන් පසු උතුරේ ජනතාව දේශපාලන විසඳුමක් නැති නිසා අසහනකාරීව සිටින්නේ යැයි රදගුරු සම්මේලනය පවසන්නේම උතුරේ සාමාන්‍ය දෙමළ මිනිසුන්ගෙන් වචනයක් හෝ විමසාද ? එසේත් නැත්නම් දෙමළ ප්‍රභූ දේශපාලන පැලැන්තිය ඉල්ලන ඊනියා බලය බෙදීම නොලැබුන නිසාද ?
බලය බෙදීම යන මතය මෙරට දේශපාලනය තුළ වාර ගණනාවකදී තීරණාත්මකව පරාජය කර ඇති අද වන විට දර හැවක් බවට පත්ව ඇති පරාජිත මතවාදයකි . එසේ වුවත් වරින් වර එය නැවත කතා බහට ලක් වන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලය ඒ වෙනුවෙන් යොදන ඉමහත් ශක්තිය නිසයි. මේ බටහිර ත්‍රාඩ බලය නොවන්නට 'බලය බෙදමු' යන මතය මිය ගොස් එතැන ගසුත් පැලවී හමාරය. 'රට නොබෙදමු - බලය බෙදමු ' යැයි බෝඩ් ලෑල්ල දමාගෙන බෙදුම්වාදය දෙසට එකල දක්කාගෙන ගිය ගිය තවලමට අද නැවතත් පණ දීම තුලින් සිදුවන්නේ දහස් ගණන් විරුවන් දිවි දී ලබාගත් නිදහස දේශපාලන කෛරාටිකයන්ට පාවාදීම හැර වෙනකක් නොවේ. එබැවින් උතුරේ දකුණේ කොයි පසත් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය ජනයාට ඇති ජීවන ගැටළු විසඳන මඟක් සොයනු වෙනුවට බලය බෙදීමක් පිළිබඳ මොර දෙන්නේ යළි බෙදුම්වාදය පැල කර ඒ හරහා ඵල නෙලීමට බලා සිටින කෛරාටිකයන් පමණකි. කිලිනොච්චියේ සෙල්ලදොරෙයිට මෙන්ම වැල්ලවත්තේ වේලායුදන්ට ඇති ජීවිකාව සරි කරගැනීමේ ගැටලුව හෝ තමන්ගේ භාෂාවෙන් රාජකාරියක් කරගත නොහැකි වීමේ ගැටලුව ට විසඳුම් දෙනු විනා විග්නේෂ්වරන්ලාට හෝ ශ්‍රී ධරන්ලාට බලතල දීමෙන් ජාතික එක්සත් කම ඇති වේ යැයි පැවසිය හැක්කේ එවැනි කෛරාටිකයන්ටම පමණි.

බෙදුම්වාදය වෙනුවෙන්?

වෙනම රටක් වෙනුවෙන් ඉල්ලීමකට මූලිකම අවශ්‍යතාවය වන්නේ ජාතියක් සඳහා වෙන් වූ සුවිසේෂී නිශ්චිත භූමියක්‌ පැවතීමයි. එම කොන්දේසියට එම භූමියේ නිශ්චිත ජනතාවක්‌ ජීවත්වීම, වෙනම ආර්ථිකයක්‌ පැවතීම , ස්‌වාධිපත්‍යය පැවතීම යන කරුණු කාරණා එක්‌වූ විට වෙනම රාජ්‍යයක් සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා සම්පූර්ණ වේ. දෙමළ ජාතිවාදය මතු වූ චෙල්වනායගම් යුගයේ සිට ප්‍රභාකරන් දක්වා සියලු බෙදුම්වාදීන් උතුර හා නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ජනතාවගේ නිජ බිම යැයි හඳුන්වා ගත්තේ එබැවිනි. තිම්පු සාකච්චාවේ ඉල්ලූ මූලික ඉල්ලීම් වලින් එකක් වූයේද මේ නිජබිම් අයිතිය පිළි ගැනීමයි.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පවා එකල එය ප්‍රතික්ෂේප කළ නමුත් පසුව ඉන්දීයාව විසින් දෑත් පසුපසට බැඳ බලහත්කාරයෙන් අත්සන් කරවාගත් ඉන්දු ලංකා ගිවිසුමේද සාම්ප්‍රදායික වාසභූමි ලෙස හඳුන්වා ගත්තේ මෙයයි. මේ වාසභූමි කතන්දරය එන්නේ උතුරේ අහිංසක දෙමළ මිනිහාට එයින් ලැබෙන යමක් නිසා නොවේ. දෙමළ ජාතිවාදයට තම වෙනම රාජ්‍ය පිපාසය සංසිඳවාගැනීමට අවශ්‍ය මූලික ප්‍රවාදය සකසා ගත හැකි වන්නේ ඒ කොන්දේසිය උඩ පමණක් බැවිනි.වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා අවශ්‍ය මෙම නිජබිම් සංකල්පය එඬේරික ප්‍රකාශනයේ තවත් තැනක මෙලෙස සඳහන් වේ.

"කිසියම් ප්‍රදේශයක් තමන්ගේ සාම්ප්‍රදායික වාස භූමිය යැයි යමෙකු කියා සිටින්නේ නම් එහි ද කිසිදු වරදක් නැත.උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාස භූමිය ලෙස පිළිගත හැකි ලෙස සැලකීම සහ මෙම ප්‍රදේශ වල පරිපාලනය ඔවුන්ගේම නායකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් මගින් සිදු කිරීම සාමයට සහ අනුකලනයට හෝ එක්සත් කමට බාධාවක් ලෙස සැලකීම අනවශ්‍ය යැයි අපි සිතමු. "

කිසිඳු බාහිර ඓතිහාසික සාධකයක් නොසලකා කිසිවෙකු යම් කිසි ප්‍රදේශයක් තමන්ගේ සාම්ප්‍රදායික වාසභූමි , එසේත් නැත්නම් නිජබිම් ලෙස හඳුන්වා ගැනීම කිසිඳු වරදක් නැතැයි තීරණය කිරීමට මැල්කම් රංජිත් අගරදගුරුවරයා ප්‍රමුඛ රදගුරු සම්මේලනයට බලය ලැබුනේ දෙවියන් වහන්සේගෙන්ද? ඓතිහාසික සාධක කිසිවක් නොසලකා පමණක් නොව මෑත කාලයේ පවා ත්‍රස්තවාදී දඬු අඬුවට හසු කරගෙන වසර 30 ක් පුරා කොටි සංවිදානය විසින් වාර්ගික ශුද්ධයක් කිරීමෙන් පසු තත්වය එලෙසම භාරගනිමින් රදගුරු සම්මේලනය මේ නිරුවත්ව පෙනී සිටින්නේ බෙදුම්වාදය වෙනුවෙන් මිස වනෙකකට නොවන බව තවදුරටත් සැඟවිය හැකි නොවේ. මේ එඬේරික ප්‍රකාශනයේ ජනපදකරණය සහ ජන ව්‍යුහය වෙනස් කිරීම පිලිබඳ තිබෙන සටහනයි.
" සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජන කණ්ඩායම් තුළ වේදනාවේ සහ කෝපයේ හැඟීමක් ඇති කිරීමට හේතු කාරක වන්නේ අන්‍යයන් විසින් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ හෝ සංවිධානාත්මකව හෝ ජනපද පිහිටුවීම මගින් කුමන හෝ ප්‍රදේශයක වාර්ගීක ජන ව්‍යුහය සැලකිය යුතු අයුරින් වෙනස් කිරීමට දරනු ලබන උත්සහය නිසාය. අවාසනාවකට ආරක්ෂක හමුදාවේ සෙබලූන් විශාල ප්‍රමාණයක් රැඳී සිටීම මගින් ද, ආරක්ෂක හමුදා පවුල් හා අනෙක් අය සඳහා නිවාස ගොඩනැගීම සිදුවේය යන බිය නිසා ද, උතුරේ යම් අස්ථාවර බවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙය මුළුමනින් ම අනවශ්‍ය දෙයකි. "

නිජබිම් අයිතිය පෙන්වීමට උතුර හා නැගෙනහිර පෙදෙස්වල සිටි සිංහලයන් සහ මුස්ලිම් ජාතිකයන් කොතෙක් නම් ප්‍රභාකරන්ගේ ලේ පිපාසයට හසු වන්නට ඇත්ද? උතුරෙන් සිංහලයන් පළවාහැරියේ වාර්ගික ජන ව්‍යුහය වෙනස් කිරීමට නොවේද? එකල කතෝලික සභාව අඳ ගොළු බිහිරිව සිටියේද? අදද අවතැන්ව සිටින උතුරෙන් පළවා හැරි දෙමළ නොවන්නන් පිළිබඳ වචනයක් හෝ සඳහන් කිරීමට එඬේරික ප්‍රකාශනයට අමතක වූයේ කෙසේද? සංහිදියාව ඇති කිරීමේ මග මේ යැයි පවසමින් එක් කොටසක් සම්පූර්ණයෙන් අයින් කර දමා තමන්ගේ අභිලාෂ සම්පූර්ණ වන පාර්ශවය වෙනුවෙන් පමණක් නග්නව පෙනී සිටීමෙන් ඇති වන සංහිදියාවක් නැත. උතුරේ පමණක් නොව රට පුරාම ජනපද පිහිටවීම මෙන්ම ඒ කුමන පදනමකින්ද යන්න තිරණය කරන්නේ එඬේරික ප්‍රකාශනයෙන් නොවන බව පමණක් මතක් කරමු.

තස්තවාදීන්ට බැඳි තවදුරටත් සැඟවිය නොහැකි පෙම..

එඬේරික ප්‍රකාශනයෙන් :
"උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා සිවිල් ආණ්ඩුකාරවරුන් පත් කර මේ ප්‍රදේශ වල දිවි ගෙවන ජනයාට අනෙකුත් පළාත් මෙන් තම ප්‍රදේශ පරිපාලනය කර ගැනීමට ඇති නිදහසට සහ වගකීමට බාධා නොවන ලෙස කටයුතු කිරීම.
සෑම ජන වර්ගයකටම අයත් ජනතාවට තම මළගියවුන් සිහිපත් කිරීමට ඉඩදිය යුතු අතර, හමුදා සෙබලූන් සහ කැරලිකරුවන් යන දෙපිරිස අතරින්ම යුද්ධයේ දී මියගියවුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීම අවශ්‍යය.”


උතුරේ ආණ්ඩුකාරවරයා පත් කිරීම ජනාධිපතිවරයා සතු කාර්‍‍යභාරයක් මිස රදගුරු සම්මේලනයේ වගකීමක් නොවේ. අනෙක් පසින් දැනට උතුරේ ආණ්ඩුකාරවරයා හමුදා සේවයේ සිටියේ මේ නිලය දැරීමට පෙර මිස හමුදා නිල ඇඳුමින් ආණ්ඩුකාරකම් කරන්නේ නැත. හමුදා සේවයේ සිටීම වෙන කිසිඳු නිලයක් දැරීමට නුසුදුසු කමක් යැයි රදගුරු සම්මේලනය තීරණය කරනේ දෙමළ බෙදුම්වාදී ඉල්ලීම මත පිහිටා මිස වෙනකක් නිසා නොවේ. අදද එල්ටීටී ඊ සන්නන්ධ සේවාවල නියුතු වූ ත්‍රස්ත සටන්කාමීන් කපටි සූට් ඇඳ පළාත් සභා , පාර්ලිමේන්තු නියෝජනය කිරීම පිළිබඳ රදගුරු සම්මේලනයට ප්‍රශ්නයක් නොවී හිටපු හමුදා නිළධාරියෙකු ආණ්ඩුකාරධූර දැරීම ප්‍රශ්නයක් වන්නේ එය ඊළම කරා යන ගමනේ පළමු කොන්දේසිය වී ඇති නිසා සහ බටහිරයන්ගේ ඒජන්තකම කතෝලික සභාවේ භුක්තියට සවි වී ඇති නිසා නොවේ යයි නොසිතන්නේ කෙසේද?

අනෙක් පසින් මළවුන් සැමරීම වියුක්තව සැලකූ විට ඉතා අහිංසක ඉල්ලීමක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් රාජ්‍යයක් තීරණ ගන්නේ මේ කේවල අහිංසක කම් මත නොවේ. දෙමළ ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ නොදෙන්නේ වෙනකක් නිසා නොව එමගින් උත්තේජනය වන දෙමළ ජාතිවාදය නැවතත් පසුගිය වසර තිහේ සිදු කළ විනාශය නැවත සිදු කරන්නට ඇති ඉඩ කඩ ඇහිරීමට මිස අහිංසක දෙමළ වැසියෙකුට තමන්ගේ ඥාතියෙකු සැමරීම ඇහිරීමේ පටු අරමුණින් නොවේ. යුද්ධය නිසා සෑම ජාතියකට අයත් මිනිසුන් මිය ගිය බව සැබෑය . නමුත් රදගුරු සම්මේලනය මේ ඉල්ලන්නේ එල්ටීටීඊ සාමාජිකයන් සංවිධානාත්මකව සැමරීමට ඉඩමිස වෙනකක් නොවේ . අල්කයිඩාව ත්‍රස්ත සංවිධානයක්ව තහනම්ව ඇති තත්වයක් යටතේ ඇමරිකාව , බ්‍රිතාන්‍ය තුළ අල්කයිඩා සාමාජිකයන් සැමරීමට ඉඩ ලැබේද ? රදගුරු සම්මේලනය දෙනෙත් හැර ලෝකය දෙස බැලිය යුත්තේ හොර නින්දෙන් ඇහැරීමෙන් පසුවය. එසේ නොවුනහොත් ලෝකය පුරා ඇති මේ නිදසුන් පෙනෙන්නේ නැත. ත්‍රස්තවාදීන්ට කැරළිකරුවන් යන ආදරණීය ආමාන්ත්‍රණය ලබා දීමෙන්ම කතෝලික රදගුරු සම්මේලනයේ බෙදුම්වාදයට ඇති පෙම සැඟවිය නොහැකි ලෙස එලියට පැන තිබේ.

සිංහලයන්ට හිමි තැන අහිමිවීම

අපට වැටහෙන අයුරින් නම් එඬේරික ප්‍රකාශනයේ මුග්ධම ප්‍රකාශය අඩංගු වන්නේ පහත පරිච්චේදයේය. එනම්
"ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් ලෙස හඳුන්වා දිය යුතු අතර, පාසලේ දී තම මව්බස පමණක් නොව සම්බන්ධීකරණ බස වන ඉංග‍්‍රීසි භාෂාවට අමතරව ශ්‍රී ලංකාවේ භාවිත වන තම මව්බස නොවන අනෙක් ප්‍රධාන භාෂාව ද ඉගෙනීමට සියලූ පාසල් දරුවන් සහ යෞවනයින් උනන්දු කිරීම සහ දිරි ගැන්වීම වැදගත් වෙයි. විද්‍යාර්ථින්ට සරසවි උපාධි පිරිනැමීමේ දී ත්‍රෛභාෂාමය හැකියාව තිබීම කොන්දේසියක් බවට පත් කිරීම අවශ්‍යය යන්න අපගේ විශ්වාසයයි.ඊට අමතරව, ජාතික භාෂා පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු අතර රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා, විශේෂයෙන්ම ජනතාවගේ දෛනික ජීවිත සමග ගනුදෙනු කරන තනතුරු භාෂා තුනම ප්‍රගුණ කළ අයට පමණක් විවෘත කිරීම ද අවශ්‍යය. "
 
ත්‍රයි භාෂා බලහත්කාරය අද ඊයේ කතා බහට ලක් වූ මාතෘකාවක් නොවේ. එදා ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව තිබෙද්දී එ යට අනුකූලව හොර බළලුන් සේ සිටියවුන් බිරිතානීන්ට රට යටත් වීමට පෙර පැවති ආකාරයටම එනම් සිංහලය රටේ මූලික භාෂාව කිරීමට එරෙහිව පොලු මුගුරු අතට ගත් අතීතය අපට මතකය.මේ ත්‍රයි භාෂික බලහත්කාරය එහි තවත් දිගුවක් පමණකි.උතුරේ ජනයාට තමන් කැමති භාෂාවකින් කටයුතු කිරීමට ඉඩ දෙන්න යැයි පවසන දෙමළ ජාතිවාදීන් මෙන්ම බෙදුම්වාදීන් අනෙක් පසින් බහුතර සිංහල ජනයා මත ත්‍රයි භාෂා බලහත්කාරය පටවන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය . තම මව් බසෙන් කටයුතු කිරීම ජාතියක් නැගීමට අත්‍යවශ්‍ය කරුණක් බව පිළිගත් විද්‍යාර්ථ මතය වෙද්දී අපේ රටේ මේ ත්‍රයි භාෂික බහුබූතය පිළිලයක් සේ සෑම තැනකම පැතිරෙන්නේ අනාගතය දකිමින් නොවේ.

අනාගත රැකියා අවස්ථා ත්‍රයි භාෂික උගතුන්ට පමණක් යෝජනා කිරීම මගින් කතෝලික රදගුරු සම්මේලනය මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැගූ සිංහලයන්ට පයින් ගසා ඇති බව කණගාටුවෙන් යුතුව නමුත් කිව යුතුය. බ්‍රිතාන්‍ය තුළ සිටින ඉන්දියානුවන් නිසා බ්‍රිතාන්‍යයන් හින්දි බස ඉගෙන ගන්නේ නැති නමුත් ඉන්දියානුවන් ඉංග්‍රීසියට අවශෝෂණය වේ. ලෝකය පුරා නිදසුන් පෙන්වන්නේ මේ යථාර්ථයයි. එසේනම් ලංකාව තුළද බහුතරයේ භාෂාව ඉක්මනින් සුළුතර ජනයා වෙත සම්ප්‍රෙෂණය වීම සිදු වීම හරහා අනාගත රැකියා වෙළෙඳපළ තුළ සුළු ජාතික අධිපතීත්වය බලහත්කාරීව කූට ලෙස පැතිරවීම රදගුරු සම්මේලනයේ මේ මුග්ධ යෝජනාවේ අනිවාර්‍ය අවසන් ප්‍රතිපලය වේ.

මේ යොදන්නේ කුමන බලයද?
 
මන්නාරම රදගුරුවරයා එකල ත්‍රස්තවාදය සමග එක තුරුලේ සිට බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියේ ස්ව අභිමතය මත පමණක් නොවන බවත් බෙදුම්වාදය වෙනුවෙන් කතෝලික රදගුරු සම්මේලනයම එකාවන්ව පෙනී සිටින බවත් දැන් ප්‍රත්‍යක්ෂය. තමන්ගේ සීමාව දරුණු ලෙස ඉක්මවා යමින් කතෝලික රදගුරු සම්මේලනය මේ එඬේරීක ප්‍රකාශනය හරහා පෙන්වා ඇත්තේ තමන් පසුපස සිටින බටහිර ස්වාමිවරුන්ගේ හයිය මිස වෙනකක් නොවේ. ඉදිරි මාස කිහිපයේදී ජිනීවා හරහා රට වටලෑම ඇරඹෙන බව දුර සිට දන්නා මොවුන් මේ සැරසෙන්නේ ඒ බලහත්කාරයේ දේශීය වෙළුමට බව සැඟවිය හැකි නොවේ. රදගුරු සම්මේලනය යුක්තිය මේ යැයි අපට පෙන්වන්නේ ඔවුන් පසුපස ඇති මේ බලය මිස වෙනකක් නොවේ.එඬේරික ප්‍රකාශනයේම සඳහන් පහත වැකියේන් අපි මේ සටහන සමාප්ත කරමු.

"මකියාවෙලී නම් දාර්ශනිකයා හඳුන්වා දුන් ‘යුක්තිය යනු බලයයි’ යන අතිශය පහත් දේශපාලන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම මගහැරිය යුතුවේ. "

මෙ ඔවදන රදගුරු සම්මේලනයේ ක්‍රියා කලාපයට හොඳින්ම ගැලපේ.
 



-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/18/2013

දනන්ගේ කොලම- හුලාලා..

කතෘ:යුතුකම     12/18/2013   No comments
ආයුබෝවන්ඩ! මම දනන්. දනන් ඉන්නෙ දනන් අතරමයි. දනන් කියන්නෙත් දනන් ගැනමයි. හුලා කවුදැයි දැන් දනෝ දනිති. එබැවින් හුලා නොදන්නා අපේ අගමැති තුමාටද පාරේ යන කාගේ හෝ කනට කර “හබෑටම කවුද බොලං ඔය හුලා?” කීවානම් හුලාගෙ වත ගොත දැන ගත හැකිය. 
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍යය මධ්‍යස්ථානය විසුරුවා ඇති බවට ඉතා කෙටි පුවතක් දනන්ට ඇසුනි. හැබෑටම ප්‍රව්‍ර්ත්ති වල කියන අනෙක් ඕපාදූපත් මෙහෙමෙ කෙටියෙන් කියනවා නම් කෙතරම් භාග්‍යයක් දැයි දනන්ට සිතුනි. කෙටියෙන් හෝ ඒ පුවත අසන්නට ලැබීම යහපති. දැන් දනන් බලා සිටින්නේ හුලාට එරෙහිව නීතිය ක්රියාත්මක වේදැයි කියාය. ඇතැම් විට නෙත්ති කුමාර මහතා පුවත් පත් හරහා කළ හෙළිදරව්ව නොවන්නට දනන්ට එපුවත නොඇසෙනනට ඉඩ තිබුනි. අදත් එම මධ්‍යස්ථානයේ ලොක්කා ලෙස සිටිමින්ම හුලාට තව තව සූදු කෙලීන්නට ඉඩ තිබිනි. නීති විරෝධී එහෙත් ඉහළ පැළැන්තියේ සූදු මධ්‍යස්ථානයක් වැටළූ පොලිසියේ විසි තුන් දෙනෙකුට මහ දවාලේ මාරු වීම් ලැබුනේ දනන් බලා සිටියදීමය. 

චෝගම් වලට පෙර සවි කරන ලද නගරයේ වීථි ලාම්පු එළිය වැදීම නිසා උත්සන්න වූ දෑසේ නිලංකාර දෝෂය නිසා දනන් හට බලා සිටින දේද හරි හැටි පෙනෙන්නේ නැත. දැක්කත් නොදැක්කා වැනිය. නොදැකම සිටියා නම් යහපති. නෙතට රස අඳුනක්ව ඇත්තේ විදුලි පහන් එළියමය. එනිසා අර වැටළීමේ අපරාධය කළ පොලිස් නිලධාරීනට ලැබුනු මාරුවීම් දනන්ට පෙනුනේ යාන්තමනි. හුලාලා රණ විරුවාගේ සොහොන් කොත මත පහරමින් සිටිත්. කාට කාටත් බල්ලන් එක්ක ලැග්ග විට නැගිටින්න වෙන්නේ මැක්කන් සමගිනි. මේ අය බල්ලො එක්ක ලැගීමෙහි සමත් බව දනන් අත්දැකීමෙන් දනිතත් ඇස්වල ඇති නිලංකාර ගතිය නිසා ලොක්කන්ගේ ඇඟේ මැක්කන් දනන්ට නොපෙනේ. එනිසාම මැක්කන් සමඟ නැගිටීමට ලොක්කන්ද බයක් නැත. දනන්ගේ දෑසේ නිලංකාර ගතිය ගැන දනන්ටත් වඩා හොදින් දන්නා ඒ අය මැක්කන් සමඟ නැගිටින්නේ සුදු ඇඳුමෙන්මය.දනන් හුලා දෙස බලා සිටිය යුතුය. 


-යුතුකමේ දනන්

12/17/2013

සමනල සංධ්වනිය මඩෙහි පිපුනු නෙළුමකි..

කතෘ:යුතුකම     12/17/2013   No comments

මම නිකමට මෙන් සිනමා ශාලාවකට ගොඩ වුනේ බොහෝ කලකට පසුවය. ඒ සමනල සංධ්වනිය නිසාවෙනි.
 මා පැදුරු වල වී වනන්නාක් මෙන් පත්තර වල වචන පුරවන විචාරකයන් කුමක් කීවද මම මෙම සිනමා කෘතිය මහත් සේ වින්දනය කලෙමි. කලා කෘතුයකින් මම යම් හරයාත්මක දෙයක් බලාපොරොත්තු වෙමි. ඕනෑම කලා කෘතියක යම් ගැඹුරක් හරයක් ජීවන දැක්මක් තිබිය යුතුයැයි මම අදහමි. ජවනිකාවෙන් ජවනිකාව, රූප රාමුවෙන් රූප රාමුව එකිනෙක අමුනන හුය විය යුත්තේ එම දාර්ශනික හරයයැයි මම සිතමි. එය මගේ හුදෙකලා සිතුවිල්ලක් පමනක් විය නොහැකිය. මෑත කාලයේ අප රටේ ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වුනු සුජාත දියණිය සහ අභීත දියණිය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තේ ඉලවු රන් දෙපැයේ නිර්මාණකරුවන් හොම්බෙන් යවමිනි. එහි රහස අන් කිසිවක් නොව කථාංගයෙන් කථාංගයට අප වෙත සමීප කරවන උත්තරීතර මනුෂ්‍යත්වයේ සොඳුරු දහම යැයි මම සිතමි. 


සමනල සංධ්වනිය අප වෙත මෝදු කරන්නේ ආධ්‍යාත්මීය ආදරයක් වටා ගෙතුනු සොඳුරු මනුෂ්‍යත්වයයි. මුදල පසුපස, කාමය පසුපස, ජනප්‍රියත්වය පසුපස දිවයන ආත්මාර්ථය කරපින්නාගත් මෙම වාණිජ සමාජයේ නිස්සාරත්වය මම එතුළින් දුටුවෙමි. හරසුන් වදනින් ගොරහැඬි සංගීතයෙන් අපව පාරවන සමාජය වනසන මිනිසා දිනෙන් දිනම කෲර ආත්මාර්ථකාමී අමනුෂ්‍යත්වය කරා දක්කන නූතන ගායකයන් සංගීතඥයන් අත්දුටු මට වාදීශ උත්තුංග මිනිසෙකි. ඔහුගේ සංගීතය මගේ සිත පහන් කරයි. හද සුවපත් කරයි. අරුත්බර වදන් පෙළ ගාම්භීර කටහඬ හද කම්පනය කරයි. මේසා භාව කලම්භනයක් මනෝ රංජනයක් කල හැකි තනුවෙන් වදනින් මේ විසි එක්වන සියවසේදීත් විශ්වය නොසිස් බැවු මට පසක් වෙයි. ජයන්ත චන්ද්‍රසිරි පසෙක සිට ඒ අරුමය පිටුපසින් ඇති රහස අපහට කියාදෙයි. ඒ කාමයද නොවෙයි. මුදලද නොවෙයි. ජනප්‍රියත්වයද නොවෙයි. ආත්මාර්ථයද නොවෙයි. අප වටා බැලූ බැලූ මානයේ පිරී ඉතිරී යන ඒ කිසිවකට ඒ ආශ්චර්යය මතුකල නොහැක. එසේනම් කුමක්දැයි ඒ මාහැඟි වස්තුව! මනස සංසිඳුවන හද සුපුෂ්පිත කරවන වාණිජ ලෝකයේ දාහයෙන් අපව මුදවා තනුවක් මත අපව පාකර හරිනා ඒ පෙළහර වාදීශ කොතැනින්නම් උගත්තේද? වාදීශයන් වටකරගත් කිසිවකු එය නොදකියි. වාණිජ ලොවතුළ සිරවුනු ප්‍රේක්ෂකයන්ට එය පෙළහරකි. නමුත් සැබෑ මිනිසත්කම හඳුනන, මිනිස් හදවතක උපදිනා ආදරය, විරහව, ආධ්‍යාත්මීය උණුසුම හඳුනන වාදීෂයන්ට එය අතැඹුලකි. අපවටා කොතෙකුත් සැරිසරන අපේම මිනිසුන්ගේ ලැමට යටින් ඇති හද ගැස්ම අපි නොදකිමු. ඔවුන්ගේ දුක වේදනාව අහිංසක අව්‍යාජ මනුෂ්‍යත්වය ස්පර්ශ කිරීමට අපි නොදනිමු. කඳුලකින් සුසුමකින් පිටවී ඔහේ පාවී යන නොදන්නා නොහඳුනන අචේතනික ආත්මයක් හා අප අතර ඇති ඒකත්වය අප නොහඳුනමු. එය අපේ නොවේයැයි අපි හඟිමු. එසේ හෙයින් අපද කඳුලින්ම, සුසුමින්ම, වේදනාවෙන්ම දැවෙමින් පිළිස්සෙමින් ආත්මාර්ථයක් පතමින් වාණිජ ලොවේ හුදෙකලාව ඉබාගාතේ දිවයමු. 

නමුත් වාදීශයෝ එම අධ්‍යාත්මය ඔහුගේම ලෙස හඟියි. ඒ වෙනුවෙන් මිඩංගු කිරීමට ආධ්‍යාත්මයක් අපට නොමැති වුවද ඔහුට වෙයි. ඒ අදෘශ්‍යමාන ආධ්‍යාත්මය ස්පර්ශ කරන වාදීෂයෝ ඉන් නිපන් තනුවෙන් අපව සුවපත් කරයි. අපේ අරුතින් ඔහුට හිමි නොවුනද මනුෂ්‍යත්වයේ නාමයෙන් නිපන් ආදරයක් ඔහුට හිමිවෙයි. ඒ මනුෂ්‍යත්වයේ රැළි අතර කිමිදෙන ඔහු එහි වේදනාවෙන් කඳුළින් නිපන් මුතුකැට අහුලා අප අමුවට ගෙන එයි. කාමයෙන්, මුදලින්, ජනප්‍රියත්වයෙන්, භෞතිකත්වයෙන් පරිපීඩිත වූ අපට අස්පර්ශීය ආධ්‍යාත්මයේ සුන්දරත්වය, උත්තරීතර මනුෂ්‍යත්වයේ ආශ්චර්යය, මේ මනුලොව සැබෑම සුවය සැනසුම කුමක්දැයි ජයන්ත චන්ද්‍රසිරි තිරය පිටුපස සිට කියා දෙයි. 


මේ පෙළහර දැකීමෙන් මා සිත ජනිත වූයේ පහන් සංවේගයකි. මනුදම් පිළිබඳ පුනරාවර්ජනයකි. කුසල චිත්තයකි. එම කෘතිය කලාවෙන් පරිපූර්ණයැයි කීමට මා හට එය ප්‍රමානවත්ය. පායාස නිරයේ දෙරටුව අභියස පොරකන වත්මන් වාණිජ රැල්ලේ ලෝක තත්ත්වයේ මාරාවේශ වූ කලාකරුවන්ගෙන් ජයන්ත චන්ද්‍රසිරි තීරණාත්මක ලෙස වෙනස්වන්නේ යැයි මම සිතමි. සමහර විට ඔහුත් අනෙත් කලාකරුවනුත්
මුණගැසෙන අවසන් අවස්ථාව මෙය වන්නට හැකිය. මන්ද ඔවුන් සසරේ දෙපසට ගමන් ගන්නා බැවිනි. මෙම මගේ ඔහු දිගටම ගමන් කලහොත් සමහරවිට දෙවු ලොවදී ජාතක කතා රචනාකල කතුතුමන් මුනගැසී විද්වත් සංවාදයක් පැවැත්වීමට ඉඩකඩ විවරවනු ඇත. පන්සිළුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් රම්බාවගේ රංගනයෙන් ඔපවත්වුනු ඔහුගේ නිර්මාණයක් නන්දන උයනේදී තිරගත වීමටද ඉඩ ඇත. තිරස්චීන දේශීය විදේශීය සිනමා සම්මාන පසුපස ඔහු දිව නොයා යුත්තේ එබැවිනි.


මෙය හුදු ප්‍රලාපයක් නොවේ. දිනෙන් දින ස්ත්‍රී දූෂණ ළමා අපචාර මිනීමැරුම් වංචාව දූෂණ ය දුරාචාරය ඔඩු දුවමින් පවතී. තැනින් තැන බණ දෙසන දේශකයානන් වහන්සේලා නොවන්නට මවු පියන් සහෝදර සහෝදරියන් නොහඳුනන එකිනෙකා ඇන කොටාගන්නා මුරුග සංඥාව මෙම සමාජයේ පහළ වී බොහෝ කල්ය. එම තත්ත්වයෙන් රට මුදවාගැනීමට අබමල් රේණුවකින් හෝ තැත් දරනුයේ කුමන කලා මාධ්‍යකින්ද? කුමන කලා කරුවා විසින්ද? ඊනියා යතාර්ථවාදී හෝ පශ්චාත් නූතනවාදී හෝ වෙනත් කුමන හෝ කලා රචනයකින් රටට හෝ මනුෂ්‍යත්වයට හෝ සිදුවී ඇති යහපත කුමක්ද? රාගයද ද්වේශයද මෝහයද උද්දීපනය කරමින් සමාජය විලම්භීත කරවීම හැර උතුරු මිනිස් ගු ණ යන් උද්දීපනය කිරීමට තැත් දරන කිසියම් හෝ කලාවක් පවතීද? එය කලාවෙහි අරමුන නොවේයැයි පවසන්නෝ මුග්ධයෝය. ඔවුහු හුදු ජනප්‍රියත්වය, මුදල, සම්මානය වෙනුවෙන් රාගය ද්වේශය මෝහය විකුණන මාර පුතුන් වෙති. 


උත්තර මිනිස්කම සමාජයෙන් දුරස් කරන පමනට අධම කාමය ද්වේශය සමාජ සම්මතය බවට පත්වෙයි. අද ඇතිවී ඇති කාම රැල්ල ඊට නිදසුනකි. ඒ ස්වභාවිකත්වය නොවෙයි. සවභාවික සංයමය, තුලනය අහිමි කෙරුනු අධ්‍යාත්මයක ආන්තික ලක්ෂණයකි. 


පසුගිය සාහිත්‍ය මාසයෙදී කරන ලද සමීක්ෂණයකට අනුව තවමත් පාඨකයන් අතර ජනප්‍රියතම නවකතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතියක් බව කියැවිනි. සමීක්ෂණ ක්‍රමවේදය පැහැදිලි නැතත් එම ප්‍රතිඵලයෙන් මම මවිත නොවෙමි. එම තැන ජාතක පොතට බුදු ගුණ අලංකාරයට හෝ සැලලිහිණි සංදේශයට හිමි නොවීමට හේතු පැහැදිලිය. පැරණි සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පරිබාහිරව බටහිර පන්නයේ සමාජ ක්‍රමයක් තුළ අප සමාජය යම් දුරක් රැගෙන විත් ඇත. ඒ තුළ පැරණි කලාංග අතහැරීම වටහාගත හැකිය. එම කලාංග ජනතාව වෙත සම්ප්‍රේශණය කිරීමේ මං ඇහිරී ඇත. එසේ වුවද සමීක්ෂණයෙන් පැවසෙන්නේ නව කලාංග වැළඳ ගැනීමද මද කලකින්ම අප අත් හැර දමා ඇති බවයි. එය මාර්ටින් වික්‍රමසිංහගේ දක්ෂකමක් හෝ නූතන රචකයන්ගේ අදක්ෂකමක් ලෙස නොව සමස්ථ කලාව පිළිබඳව ජන මනස තුල ගොඩනැගීඇති උදාසීනත්වය හෝ අකමැත්ත ලෙස වටහා ගත යුතුය. කලාව ජනතාවගෙන් වෙන්වන විට ජනතාව කලාවෙන් වෙන්වීම හේතු සහිතය.

රාගය ද්වේශය හෝ මෝහය ඊනියා යතාර්ථය නොවේ. එය හුදු කෘත්‍රිම ආටෝපයක් පමණකි. ආන්තික ලක්ෂණයකි. සියොලඟම වසාගත් සුජාත දියණිය හමුවේ විළි නොවැසුනු අපේ ගැහැනුන්ගේ ටෙලි විගඩම් ප්‍රතික්ශේප වන්නේ කුමන අරුමයකින්ද? සිංහල බෞද්ධ සංස්කෘතියකින්, චින්තනයකින් සුපෝෂිත ගැඹුරු විඥානයකින් හෙබි සමාජයකට ඒ ගමන් මගින් වියුක්ත වූ කලාවක් ආරෝපනය කිරීම දරුනු අනුකම්පා විරහිත අමානුශික හිංසනයකි. අද සමාජ පරිහානිය එම හිංසනයෙන් පීඩිත සමාජයේ දුක්ඛිත අඳෝනාවයි. කලාවෙන් මිනිසුන් ඈත්වනුයේ එබැවිනි.

මෑතක සිට ලහි ලහියේ කළ එළි බසින කාම කලාව මෙම වියරුව වැරදි කොනින් අල්ලා ගැනීමේ ප්‍රතිඵලයකි. එය මිනිසාට මිනිසාත් කලාවට කලාවත් අපට රටත් දැයත් අහිමි කරමින් ඛේදාන්තයකින් නිමා වනු ඇත. මෙම මගෙහි කෙලවර මනුශ්‍ය සංහතියම තිරිසන් යෝනියට ඇද දමන ලෝක විනාශයකින් කෙළවර වන අබුද්ධස්ස සමයක් පිහිටා ඇතිබව වටහාගැනීමට තරම් සිංහල බෞද්ධ ලෝක දැක්ම බලවත්ය. ජයන්ත චන්ද්‍රසිරියන් මෙම ප්‍රවාහයෙහි උඩුගම් බලා පිහිනයි. ඔහුගේ මෙම සිනමා සිත්තම මඩෙහි පිපුණු නෙළුමක් ලෙස අප වටහාගත යුත්තේ එබැවිනි. 

ඔහුට දිගාසිරි!





- ඉඳුනිල් ප්‍රසන්න

www.yuthukama.com

අම්මේ ලබන පෝයට එනවා ගෙදර

කතෘ:යුතුකම     12/17/2013   3 comments
කෙණෙහිලි කරන සුළඟට විත් හතර වටින්
බිමටම හැලෙන පොඩි පොඩි මල් බුරුතු පිටින්
මිදුලේ වෙරළු ගහ යට සුව හෙවන යටින්
කවුරුත් නැතිව ගල් බැංකුව හිඳී දුකින්
උන ලී කඩුල්ලේ ලී ටික හැර දාලා
පාරට වැවුන පොඩි තණකොළ ගලවාලා
පොල් අත්තේ රටාවට හැඩ වැඩ දාලා
ගෙදරම ලස්සනයි සුදු වැලි අතු ගාලා
දෙහි ගහ යට ලෑල්ලේ අත්තටු සලමින්
එක එක තාලෙනී උන් උන් හා දොඩමින්
ලේනුන් ගිරවු මයිනන් රොත්තක් යහමින්
බත් කන අයුරු සිතුවම් කර ගමි මනසින්
කහ රතු රෝස සුදු එක පොකුරට පිපිලා
බංගලි රෝස ගොන්නෙහි ඇති මල් පිරිලා
ලිඳ ළඟ දිය සීරාවෙ සරුවට වැවිලා
නිවිතිය වැලේ ඇති කොළ ලොකුවට හැදිලා
ඒවිද කියා නිතරම පෙර මග බලන
තාමත් හරි කෙට්ටු යැයි මැසිවිලි කියන
මට බත් බෙදන්නට හනිකට ගෙට දුවන
අම්මේ දකින්නට ආසයි නුඹෙ මුහුණ
ආවද පුතේ කියමින් හිස අතගාන
දාඩිය බිංදු මගෙ නළලේ පිසදාන
සුවපත් කරන තුන් සිත දුක් සඟවාන
ආදර තාත්තා නුඹ මගෙ සමප්‍රාණ
සමගින් කොලු කුරුට්ටන් ගම කරක් ගසයි
මලයා පණ්ඩිතයි ගෙදරම ඉතින් යටයි
අද නම් නින්ද යයි කොළඹට අනේ යසයි
එකටෙක කියන විට ගුටියක්‌ දෙන්න හිතයි
පොඩි බත් කූරන්ට කුරුමානම අල්ලා
මුනිවත රකින ඉඳහිට වලිගය හොල්ලා
ඉන්නා සීනු හැංගීලා හොර ගුල්ලා
පොල් ගානකොට එනවා ඇති පොල් ඉල්ලා
තරගෙට සින්දු කියමින් නලියන නටන
පොල් කටු අරන් සද්දෙට තාලම ගහන
දෝණිල චූටි ලා බිම වැලි බත් උයන
ආසයි බලන්නට සෙල්ලම් ගෙය හදන
හැල්මේ දුවන ලොව හා මුහු වෙන අතර
පිම්මේ දුවයි සිත නම් ගෙදරට නිතර
ගෙව්වෙමි මසක් දිගු වුන කල්පය විතර
අම්මේ ලබන පෝයට එනවා ගෙදර




-කාව්‍යා අලුත්ගෙදර

www.yuthukama.com

12/09/2013

මැන්ඩෙලාලාගේ සුසමාදර්ශය ....

කතෘ:යුතුකම     12/09/2013   4 comments
හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අභාවය ලොව ම කම්පා කිරීමට සමත්ව ඇත. විවිධ රටවල රාජ්‍ය නායකයෝ ඒ පිළිබඳ සිය ශෝකය පළ කළහ. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද ඒ අතර වූහ. ධවල මන්දිරයෙහි ඔසවා තිබූ ඇමරිකානු ජාතික ධජය මෙම මරණය වෙනුවෙන් අඩ කුඹු කෙරිණ. සී.එන්.එන් වැනි රූපවාහිනී නාලිකා සිය විකාශන කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔහුගේ මරණය වෙනුවෙන් වෙන් කළේ ය. මැන්ඩෙලා මහතාට මේ සා විශාල ප්‍රසිද්ධියක්, ගෞරවයක් ලෝකය පුරා හිමි වූයේ ඒ මහතා හිටපු රාජ්‍ය නායකයෙක් වීම නිසා ම නොවේ. ඒ මහතා සුදු වර්ණ භේද වාදයට එරෙහි ව සටන් කළ විමුක්තිකාමියෙක් විය.  මෙම සටන් හේතුවෙන් ම වසර ගණනක් සිර බත් කෑ ඒ මහතා, වර්ණභේදවාදී දකුණු අප්‍රිකානු පාලනය අවසන් කිරීම වෙනුවෙන් අනුගමනය කළ වැඩපිළිවෙල උදෙසා 1993 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබී ය. මෙසේ ලෝක ගෞරවාදරයටත්, ප්‍රසිද්ධියටත් පත් තවත් වීවරයෙකු වන්නේ ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමා ය. ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා කිහිප වරක් නිර්දේශ වූ අතර, මෙම චරිත දෙක පාදක කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපට පවා නිර්මාණය වී ඇත.

අධිරාජ්‍යවාදීන්ගෙන් ම ගෞරව සම්මාන 

මෙසේ අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පුද්ගලයන් අධිරාජ්‍යවාදී යැ යි කියන රටවල ම ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඇයි? ඊට හේතුව එම රටවල් සැබවින් ම අධිරාජ්‍යවාදී නොවීම ද? නැතහොත් අකමැත්තෙන් වුව ද ලෝක ජන මතයට හිස නැවීමට එම රටවලට සිදු වී ඇත් ද? නොඑසේ නම් මෙය එම රටවල් අනුගමනය කරන උපක්‍රමයක් ද? එසේත් නැති නම් ඊට හේතුව මැන්ඩෙලා, ගාන්ධි වැනි පුද්ගලයින් සැබවින් ම අධිරාජ්‍ය විරෝධී නොවීම ද? බටහිර අධිරාජ්‍යවාදයට නතු වූ බොහෝ රටවල නිදහස් සටන් ඇති වන්නට ඇත. එම නිදහස් සටන් වලට සම්බන්ධ බොහෝ වීරවරයින් සිටින්නට ද ඇත. එහෙත්, ඒ සෑම විරුවෙක් ම මෙසේ ලෝක මට්ටමෙන් ගෞරවාදරයට පාත්‍ර නොවන්නේ ඇයි? මේ ආකාරයට පුගලයින් කිහිප දෙනෙකු පමණක් ලෝක මට්ටමේ වීරවරයින් බවට පත් වීමේ රහස කුමක් ද? මෙම නායකයින් සමග සංසන්දනය කිරීමේ දී අපේ රටේ අනගාරික ධර්මපාල තුමා, කැප්පෙටිපොල නිලමේ තුමා, වීර පුරන් අප්පු වැනි වීරවරයන්ට හිමිවන තැන කුමක් ද? ඔවුන් අප රටේ නිදහස වෙනුවෙන් සිදු කළ කාර්යභාරය කෙබඳු දමෙම ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට ප්‍රථම බටහිර අධිරාජ්‍යවාදයේ ස්වභාවය තේරුම් ගැනීම අත්‍යාවශ්‍යය බව අපේ විශ්වාසය යි.


අධිරාජ්‍යවාදී සුසමාදර්ශයේ වෙනසක්....


බටහිර අධිරාජ්‍යවාදය ප්‍රධාන සංරචක තුනක් ඔස්සේ ක්‍රියාත්මක වේ. දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යනු එම සංරචක තුන වන අතර මේවා එකිනෙකින් ස්වායත්තව (වෙන් වෙන්ව) නොපවතී. මේවායින් එකඳු හෝ සංරචකයකට යටත් වූ රටක් සෙසු සංරචක දෙකට ද යටත් වීම ස්වභාවය යි. මේ අනුව, අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම යනු, මෙම සංරචක තුනෙන් ම නිදහස් වීම මිස එකකින් හෝ දෙකකින් හෝ නිදහස් වීම නොවන බව අවධාරණය කළ යුතු ය. මෙකී අධිරාජ්‍යවාදය වර්තමානය වනවිට කෙසේ ක්‍රියාත්මක වේ දැ යි අනගාරික ධර්මපාල තුමා කල් තියා ම දුටු බව එතුමා විසින් කරන ලද මෙම ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. "මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි. ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ." අද වන විට බටහිර ජාතීන්ගේ ඍජු යටත් විජිත ඇත් නම් ඒ අතලොස්සක් පමණි. එසේ නම් ධර්මපාල තුමා මේ ඉඟි කරන්නේ බටහිර යටත් විජිතවාදයේ අනාගත සුසමාදර්ශයක් (පැරඩයිමයක්) ගැන ය. අප එයට නව යටත්විජිතවාදයකැ යි නොකියන්නේ, මුල් යටත්විජිතවාදයේ ම දිඟුවක් ලෙස හඳුනා ගන්නා බැවිනි. මෙම දිඟුව නොහොත් වෙනස ඇති වීම ප්‍රමාද වන්නේ සුද්දන් නොමැතිව වුව ද ඔවුන්ගේ කාර්යය මෙරට දී ඉටු කළ හැකි ආකාරයේ සැලකිය යුතු ස්වදේශිකයින් පිරිසක් සිය යටත් විජිත වල බිහිවන තෙක් ය. මෙම සුසමාදර්ශීය වෙනස දකුණු ආසියානු කලාපය තුළ ඇති වන්නේ 1940 දශකය අග දී ය. සාමාන්‍යයෙන් ඕනෑ ම ක්ෂේත්‍රයක ඇති වන සුසමාදර්ශීය වෙනසක දී සිදු වන්නේ, එම වෙනස පැරැන්නන්ගේ නොසතුටටත්, තරුණයන්ගේ ආකර්ෂණයටත් ලක් වීම ය. මෙම අධිරාජ්‍යවාදී සුසමාදර්ශය ද ඉන්දියාවේ පහළ වන විට ඇති වූ එකී ප්‍රතිරෝධයකට එරෙහි සටනකට ය මහත්මා ගාන්ධි තුමා නායකත්වය ලබා දෙන්නේ. ගාන්ධි තුමාගේ ව්‍යාපාරය වියපත් බටහිර නායකයන්ගේ නොසතුටට හේතු වන්නට ඇතත්, තරුණ නායකයන්ගේ සතුටට, ප්‍රසාදයට හේතු වූවාට සැක නැත. මේ අනුව, දකුණු ආසියානු කලාපය තුළ අධිරාජ්‍යවාදයේ සුසමදර්ශීය වෙනසකට මුල පිරූ ගාන්ධි තුමා බටහිර ලෝකයේ වීරවරයෙකු ලෙසත්, ලෝක ආධිපත්‍යය බටහිරයන් සතු වීම හරහා ලෝක මට්ටමේ වීරවරයෙකු ලෙසත් ඉතිහාස ගත වී ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල් ද මේ අසන්න කාලයක දී අධිරාජ්‍යවාදයෙන් ඊනියා නිදහසක් (මෙහි දී අප ඊනියා යන්න විශේෂණ පදයක් ලෙස යොදා ගන්නේ, සැබවින් ම අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමක් එහි දී සිදු නොවුන බැවිනි. එහෙත් පහසුව තකා මින් ඉදිරියට විශේෂණ  රහිතව නිදහස යන වචනය ම භාවිත කර ඇත.) ලැබුව ද, අප්‍රිකානු කලාපයේ රටවල තත්ත්වය මීට වෙනස් විය. මෙම කලාපයේ බොහෝ රටවල් මෙම නිදහස ලබන්නේ මීට වසර ගණනාවකට පසුව ය. ඊට හේතු වන්නේ, එම රටවල මෙම නව සුසමාදර්ශය ඇති වීම පිණිස අත්‍යාවශ්‍ය සාධකයක් වූ "කළු සුද්දන් පිරිස" නිසි ආකාරව බිහි වීම ප්‍රමාද වීම ය. මෙම ප්‍රමාදයට හේතු වන්නට ඇත්තේ බටහිර අධ්‍යාපනය මෙම රටවල දී ආසියාතික රටවල තරම් සාර්ථක නොවීම විය හැකි ය.


දකුණු අප්‍රිකාව හෙවත් නොමේරූ දරුවා

ආසියානු, අප්‍රිකානු කලාපයේ සෙසු රටවල් සමග සංසන්දනය කිරීමේ දී දකුණු අප්‍රිකාවේ තත්ත්වය ඉඳුරා ම වෙනස් එකක් විය. දකුණු අප්‍රිකානු රාජ්‍යය බිහි වීම ම මෙම නව සුසමාදර්ශය තුළ නොමේරු දරුවෙකු බිහි වීම වැනි ය. එම රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන්නේ 1931 දී ය. ඒ, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සුදු ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් නිදහස ලැබීමත් සමග ය. ඊට හේතු වන්නේ දකුණු අප්‍රිකාවේ ද එකී රටවල මෙන් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත සුදු ජනයා සැලකිය යුතු ප්‍රමාණයක් වාසය කිරීම ය. මේ අනුව,මෙම නිදහස ලබා දීමේ දී දකුණු අප්‍රිකාවේ පාලන බලය හිමි වන්නේ ස්වදේශික සම්භවයක් සහිත කළු ජාතිකයන්ට නොව මෙම සුදු ජාතිකයන්ට ය. ඉන් අනතුරුව, බහුතරය ස්වදේශීය සම්භවයක් සහිත කළු ජාතිකයන් ගෙන් සමන්විත වූ  රටක සිය පාලන බලය රැක ගැනීම උදෙසා සුදු ජාතිකයන් ගත් උත්සාහය යි වර්ණභේදවාදය ලෙස දකුණු අප්‍රිකාවේ දී ඉස්මතු වූයේ. මුල සිට ම වර්ණභේදවාදී ප්‍රතිපත්තියක් දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාත්මක වුව ද, නිදහසින් පසුව සුදු ජාතික ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් ප්‍රතිපත්ති මගින් පැහැදිලි වන්නේ අනාගත "කළු සුද්දන්ගේ" පරපුරක් බිහි වීම වැලක්වීමට ඔවුන් උත්සහ කළ බවකි. පල්ලිය මගින් පවත්වා ගෙන ගිය කළු ජාතිකයන්ට වෙන් වූ පාසල් වලට ලබා දුන් ප්‍රතිපාදන 1950 දශකයේ දී කපා හැරීම මේ සඳහා උදාහරණයක් ලෙස ගත හැකි ය. කෙසේ වෙතත්, මේ වන විට බ්‍රිතාන්‍යයන් ගෙන ගිය ආකාරයේ ම පාලනයක් ගෙන යා හැකි කළු ජාතිකයන් පිරිසක් එරට බිහි වෙමින් සිටි අතර, අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ලෙස ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වන්නේ මෙම පරපුර යි. මැන්ඩෙලා මහතා නායකත්වය ලබා දෙන්නේ එම පරපුරට යි. ඔහු සටන් කරන්නේ දකුණු අප්‍රිකානු සුදු රජයේ වර්ණභේදවාදී ප්‍රතිපත්ති වලට එරෙහිව ය. ඔහු සිර ගත වන්නේ සුදු ජාතික ආණ්ඩුව පෙරලීමට ගන්නා උත්සාහ නිසා ය. අධිරාජ්‍යවාදයේ නව සුසමාදර්ශය 1970-80 දශක වන විට ලෝකය පුරා ස්ථාපිත වී තිබූ අවස්තාවක, එය දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාත්මක නොවීම කෙරෙහි බලපාන එරට සුදු ජාතික රජයේ ක්‍රියා කලාපය බටහිර රටවල ම දෝෂදර්ශනයට ලක් වීම ස්වභාවික ය. මෙම සුසමාදර්ශය සිය රටෙහි ස්ථාපිත කිරීමවෙනුවෙන් සටන් වදින මැන්ඩෙලා මහතා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වීරවරයෙක් වීම ද මේ අනුව ස්වභාවික ය. එම අධිරාජ්‍යවාදයට නතු වූ ලෝකයක එවැන්නෙක් ලෝක මට්ටමේ විරුවෙක් වීම ද ස්වභාවික ය. 

 විසංවාදී නිදහස් සටන් 

සාමාන්‍යයෙන් ආක්‍රමණිකයෙක් සිය යටත් විජිතයන්හි සිය ආධිපත්‍යය පතුරුවන්නේ එක්කෝ බලහත්කාරයෙනි. නැති නම් රැවටීම මගිනි. එවන් ආක්‍රමණිකයෙකුගෙන් සාමකාමීව නිදහස ඉල්ලීම ම විසංවාදී ය. එහෙත්, මැන්ඩෙලා මහතා සහ ගාන්ධි තුමා යන දෙදෙනාගේ ම සටන් සාමකාමී සටන් වූ බව පැවසේ. මේ දෙදෙනා ම දැන් හෝ නොදැන හෝ සිදු කර ඇත්තේ, අධිරාජ්‍යවාදයේ නව ගමන් මග කෙරෙහි ඇතැම් යටත්විජිතවාදයේ පැරණි ආකල්ප දැරූ නායකයන්ගෙන් එල්ල වූ බාධා වලට එරෙහිව සටන් වැදීම ය. තරුණ යටත්විජිතවාදීන්ගේ අභිලාෂයන් ඉටු කිරීමකි. තව ද, මේ දෙදෙනාගේ ම සටන් වල දී යටත්විජිතවාදයේ "සංස්කෘතික" සංරචකය ඉස්මතු නොවීම ද කැපී පෙනෙන ලක්ෂණයකි. අප්‍රිකානු රජ පෙළපතකින් පැවත එන මැන්ඩෙලා මහතා සිය රජ පවුලේ නැති වූ උරුමය වෙනුවෙන් පෙනී සිටියේ නැත. මිෂනාරි පාසල් හරහා අප්‍රිකානු දරුවන් ක්‍රිස්තියානිකරණය වීම ගැන කතා කළේ නැත. දේශීය ආර්ථිකයක් ගැන කතා කළ ගාන්ධි තුමා දේශීය සංස්කෘතිය රැකීමක් ගැන කතා නොකළේ ය. මේ දෙදෙනා ම ඉල්ලා සිටියේ බටහිරයන් විසින් සිය රටවල ස්ථාපිත කරන ලද පාලන ක්‍රමය තුළ ස්වදේශිකයන්ට හිමි තැන ලබා දෙන ලෙස ය. මෙවැනි නායකයන් අප රට තුළ ද සිටි අතර, ඔවුන් ලෝක මට්ටමේ නායකයන් නොවීමට එකම හේතුව මැන්ඩෙලා, ගාන්ධි වැනි නායකයින්ට සාපේක්ෂව ඔවුන්ගේ ප්‍රතිභාවේ අඩු කම යි. පසු ගිය සියවස මුල දී ඔවුන් විසින් ඉටු කළ මුල් ම කාර්ය භාරය වූයේ, ධර්මපාල තුමා විසින් මෙරට ගොඩ නඟන ලද, ප්‍රධාන වශයෙන් සංස්කෘතික සංරචකය මුල් කර ගත් සටන අඩ පණ කිරීම යි. මහජනයා අතර බෙදා හරින ලද "ධර්මපාල අර්බූදය" නම් පත්‍රිකාවක් මගින් ධර්මපාල තුමාට අපහාස කිරීමට උත්සාහ කිරීම මීට උදාහරණයක් වේ. මෙම උත්සාහය පිටුපස සිටියේ බ්‍රිතාන්‍යයෙන් ම නයිට් නාම දිනූ ඩී.බී. ජයතිලක මහතා බව එකළ ප්‍රකට වී ඇති කරුණකි. 
ගෝත්‍රික කැරලිකරුවා 

ධර්මපාල තුමාගේ සංස්කෘතික සංරචකය මුල් කර ගත් ව්‍යාපාරය එකල දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට නොහැකි වීම අප රටේ අභාග්‍යයකි. අපේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය බ්‍රිතාන්‍ය පාලන යුගයේ මුල් අවධියේ දී ම විනාශ කිරීමත්, පසුව මිෂනාරි පාසල් ඔස්සේත්, එම අච්චුවේ ම බෞද්ධ පාසල් ඔස්සේත් බිහි වූ නායකත්වය ධර්මපාල විරෝධී වීමත් ඊට හේතුව යි. මේ නිසා ම 1848 න් පසුව අපේ රටේ නිදහස් සටන් (අධිරාජ්‍යවාදීන්ගේ වචන වලින් ම කියන්නේ නම් "කැරළි") ඇති වී නැත.  එසේම, අන් රටවල ද මෙවැනි නිදහස් සටන් සිදු කළ වීරවරයින් සිටින්නට ඇත. එහෙත්, එම වීරවරයින්ට බටහිර නායකයන්ගේ, බටහිර ජන මාධ්‍ය වල සහ හොලිවුඩ් චිත්‍රපට කරුවන්ගේ ප්‍රසාදයක් හිමි නොවන්නට ද ඇත. ඒ නිසා ම ඔවුන් කිසිවෙකු නොදත් ක්ෂුද්‍ර මට්ටමේ "ගෝත්‍රික කැරළි කරුවන්" බවට පත් වන්නට ඇත. වාසනාවකට කැප්පෙටිපොල, වීර පුරන් අප්පු, අනගාරික ධර්මපාල වැනි වීරවරයින් අපේ ජන හදවත් තුළින් තව ම ගිලිහී නැත.




  - දුලන්ජන් විජේසිංහ

www.yuthukama.com


HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions