1/10/2014

ඇමරිකාව සහ අපි

කතෘ:යුතුකම     1/10/2014   2 comments


ත්‍රස්තවාදී රාජ්‍යය
විශිෂ්ට දේශපාලන විචාරකයකු වන නෝම් චොම්ස්කි ඇමරිකාව හඳූන්වනේ ත්‍රස්තවාදි රාජ්‍යයක් ලෙසය.
මීට දශක කිහිපයකට පෙර ගෝලීයකරණය, වෙළඳ හා ප්‍රාග්ධනය ගලා යාමක් ලෙස පමණක් පවත්වමින් තමන්ගේ ගෝලීය අධිරාජ්‍යය පවත්වා ගත නොහැකි බව ඇමරිකාව වටහා ගත්තේය. ඒ සදහා යුධමය ආධිපත්‍යයක්ද ලොව පුරා පැතිරවිය යුතු බව ඔවුහූ තීරණය කළෝය. ඒ සදහා නොයෙකුත් රටවල්වලට පය ගසා ගැනීම හා ඇතැම්වා ගැටුම් සහිත දුර්වල රාජ්‍යයන් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. ඒ සඳහා මරා දැමෙන මිනිසුන් ගණන ඇමරිකානු රජයට ගැටළුවක් නොවේ. සෘජු ලෙසම රජය මැදිහත්ව ඕනෑම යුධ අපරාධයක් කර දැමීම ඔවුනට කිසිදු හිරිකිතයක් නොවීය. ඊට අමතරව වෙනත් ත්‍රස්තවාදීන් ඇති කර, කවා පොවා උස් මහත් කර ගැනීමද සිය නොමිනිස් අභිලාෂයන් සඳහා මනා පිටුවහලක් බව ඔවුහු අවබෝධ කර ගත්හ. ඒ අනුව යමින් ලොව පුරා විසිරී සිටින ත්‍රස්ත කල්ලි වල වර්ධනය සඳහා CIA සංවිධානය හරහා උදව් කළෝය. ත්‍රරස්තවාදය නියමින් හා අනියමින් ඇමරිකානු අධිරාජ්‍යයේ සුමිතුරකු ලෙස කටයුතු කළේය.

ඇමරිකානු සාමාන්‍යය ජනතාව ඉදිරියේ, සිය මුග්ධ යුද ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීම සහ එයට පක්ෂපාත මතවාද නිර්මාණය කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා පාලක පැළැන්තිය විසින් ත්‍රස්ත භීතිය මැනවින් යොදා ගත්තේය. එසේම ත්‍රස්තවාදය මැඩීමට සතුරා වෙතට ගොස් පහර දීමේ න්‍යායක් යොදා ගනිමින් වෙනත් රටවල් තුළට ඇමරිකින් භට පිරිස් යවා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමටද ඔවුන් කිසි විටෙක මැළි නොවීය.

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නොවන්නට ඇමරිකාවට ඉරාකය වෙත යාමට කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. එම ප්‍රහාරයට ඉරාකයේ කිසිදු සබඳතාවක් නැති නිසාත් එම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත යුතු නිසාත් ඔවුහූ ” ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටනක්” ප්‍රකාශ කළහ. සැබැවින්ම එය ලෝක ගෝලය තුල තම ආධිපත්‍යය පැතිරවීමෙ සටනක් මිස සුමිතුරු ත්‍රස්තවාදයට එරෙහි අවංක සටනක් නොවීය. ඇමරිකානු ක්‍රියා කලාපය නිසා ඉරාකය තුළ පමණක් මිලියනයකට අධික මිනිස් ජීවිත අහිමි විය. තවත් අහිමි වෙමින් තිබේ. දැන් ලිබියාවද තවත් ඉරාකයක් බවට පත් වී ඇත. ලිබියාව තුල අනුගමනය කෙරුනේ අඩු වියදම් ක්‍රමකි. ඒ රට තුල සිටින ත්‍රස්තයන් පෝෂණය කර ඔවුන් ලව්වාම ගැටුම් ඇතිකරවා අහසින් පැමිණ බෝම්බ දමා බේරා ගත යුතු යැයි ලෝකයාට කියන ලද මිනිසුන්වම මරා දමමින් සිය ත්‍රස්ත පුතුන්ට මං විවර කර දුන්හ. සිරියාව තුල මේ දෙය කර ගත නොහැකිව ඔවුහූ තවමත් ලත වෙමින් සිටිති. එනමුදු තණ්හාධික පිශාච ඇමෙරිකානු වුවමනා වෙනුවෙන් අවුලවන ලද ගැටුමක් හේතුවෙන් ලක්ෂ ගණනක් මිනිසුන් සිරියාව තුළ මිය ගොස් හමාරය. තවත් මිය යමින් සිටිත්. ලංකාවට හා සමාන සළැස්මක් දියත් කර  සූඩානයද දෙකඩ කොට මිහිපිට අපායක් නිර්මාණය කර ඇත.

ඕනෑම ස්ථානයකට ඇමරිකානු ප්‍රහාර එල්ල කරන්නේ හෝ එම රටේම කොටස් ලවා රජයන් පෙරළවා තමන්ට හිතවත් රූකඩයෙකු පත් කිරීමට හෝ මොවුන් කටයුතු කරන්නේ ගෝලීය අධිරාජ්‍යය ගොඩනැගීමේ මෙම පුළුල් න්‍යායපත්‍රයට අනුකූලවමය. යුරෝපය හා ජපානය මෙන්ම සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල් පවා එම ගෝලීය අධිරාජ්‍යය ගොඩනැගීම සදහා සෑම පිටුවහලක්ම ලබා දෙන්නේ, ඒ ඔස්සේම තම තමන්ගෙ අනාගතය ගොඩනංවා ගැනීමේ අවබෝධයෙනි.

ලංකාවේ ත්‍රස්ත පුතා

ඇමරිකාවට ලංකාව වැදගත් වන්නේ ද මෙම සන්දර්භය තුළමය. එනම් තමන්ගේ ආධිපත්‍යය මෙම කලාපය තුල පැතිරවීම සදහා ලංකාවෙ පැවති ගැටළු මනා තෝතැන්නක් ලෙස ඔවුහු වටහා ගත්තේ මීට බොහෝ කලකට පෙරය. CIA සංවිධානය හරහා අල්කයිඩාවට මෙන්ම LTTE යටද ඔවුහු උදව් කළහ. ඉන්දියාවෙන් හා ලංකාවේ දමිල වෙල්ලාලයන් අතින් අවජාතක කෙරුනු ත්‍රස්තවාදය, ඉන්දියාවට වඩා බටහිරට මිතුරු ත්‍රස්තවාදයක් බවට පත් කර ගැනීමට ඔවුනට හැකි විය. එම වෙල්ලාලයන් ප්‍රභාකරන් විසින්ම ඝාතනය කළ අතර පසුව ඔවුනට ජීවත් වීමට නම් ප්‍රභාකරන්ගේ අණසකට යටත්ව සිටීමට සිදුවිය. සියළු අවාසි මධ්‍යයේ LTTE ය විසින් රජිව් ගාන්ධි ඝාතනය කෙරෙන්නේ ඇමරිකාවේ කොන්තරාත්තුවක් මත වීමට බොහෝ විට ඉඩ ඇත. ඉන් පසු පැමිණි ඉන්දියානු නායකයින් කටයුතු කළේ ඇමරිකාවෙ හිත නොරිදෙන පරිදි වන අතර ඔවුනොවුන් අතර මනා අවබෝධයකිනි. නැගී එන චීනය නිසා දෙරටටම එම අවබෝධය වැදගත් විය.

අපේ පෙර පිනකට ප්‍රභාකරන් නාහෙට නාහන කැළෑ සතෙකු විය. මිනී මැරීම මිස දේශපාලනය ඔහුට අවිෂය විය. බටහිරයන්ගේ බලපෑම් මත පැවැත්වු සෑම සාකච්චාවකින්ම LTTE නැගිට ගියේ මුලු ඊළමම එක වර ඉල්ලමිනි. ඔහු බටහිරයන්ට අවනත වී නම් මේ වන විට ඊළාම් රට බිහි වී බොහෝ කල්ය. යුද්ධ කිරීමට ඕන ගොනෙකුට හැකිය. එවන් යුද්ධයක් ලංකා රජය විසින් ආරම්භ කරනවාටද ඇමරිකාව අමනාප නොවීය. නාහෙට නාහන ප්‍රභාකරන් ලංකා රජය ලව්වාම දුර්වල කර ගත් පසු ඔහුගෙ නාහෙට තෝන් ලණුව දමා තද කර ගැනීමට ඇමරිකාව හා බටහිරයන් සිතන්නට ඇත. මෙතුවක් කලක් ලංකාවෙ යුද්ධ කළ ගොන්නුන්ට වඩා වෙනසක් මෙවර ඇති බව වටහා ගැනීම ඔවුන්ට අසීරු කාරණයක් නොවීය. තමන් විසින් කිරි පෙවූ ත්‍රස්තවාදය නමැති දරුවා මරණාසන්න වූ බව වටහා ගත් ඔවුන් එය එසේ නොවීම සඳහා අසාර්ථක වෑයමක නිරර්ථ විය. ලක් රජය ත්‍රස්තවාදයට යළි ඉඩක් නොතැබීමේ දැඩි අදිටනක සිට සෘජු තීරණ ගැනීමට නිර්භය විය.

වඩා දුර්වල කරවනු ලැබු එහෙත් ජීවත් වන ප්‍රභාකරන් කෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ඇමරිකාවට ප්‍රභාකරන් මිය යාම යනු ගෝලීය අධිරාජ්‍යය පුළුල් කරගැනීමට හා එය පවත්වා ගෙන යාම සඳහා තමන් විවර කර ගැනීමට සැළසුම් කර තිබු එක් දොරටුවක් වසා දැමීමක් විය. එසේ කිරීමට තරම් ලංකා රජය බටහිර බලපෑම් නොතකා උද්දච්ච වීම ලොව පුරා කුඩා රජයනට සැපයු ඉතා නරක පූරවාදර්ශයක් විය. එවන් වරදක් කර නිදහසේ සිටින්නට හැකි වීම ඊටත් වඩා බරපතල වැරදි ආදර්ශයකි. ගෝලීය අධිරාජ්‍යය ගොඩ නැගීමට එරෙහි පියවරක් ගන්නා ඕනැම පාලකයෙක් හා රටක් දෙස මෙම බලකාමී, ධනකාමි පාපිෂ්ට පිශාච අධිරාජ්‍යයා කරුණාවෙන් බලන්නේ නැත. මේ අකීකරු මිනිසුන් මට්ටු කිරීම ඔවුනගේ උපාය මාර්ගික ගමන් මගෙහි අනිවාර්ය අංගයකි. එසේ නොකිරීම යනු මිලියන ගණන් මිනිසුන් මරා දමමින් ඔවුන් යන ගමන් මගට හරස් වන්නන් අමතක කිරීම යන දුර්වල දේශපාලනයකි. අප පුදුම විය යුත්තේ ඔවුන් අපට නිදහසේ ඉන්න දෙනවා නම්ය. මේ මොහෙතේ ලංකාව ඔවුනට වැදගත් රටක් වීමට ආසන්නතම හේතුව මේ වෙයි.

මේ සියළු බලපෑම් එල්ල වන්නේ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමට යයි කීම ඉතා සරල කතාවකි. ඒ මඟින් ඇතැමුන් ඒ ඡන්ද ලබා ගන්නා බව ඇත්තක් වුවද, මේ බලපෑම් අපට එල්ල වන්නේ ඉහත කී සුවිසල් අධිරාජ්‍යය පවත්වා ගෙන යාමේ සුවිසල් ක්‍රමෝපායික සැළැස්මේම අංගයක් ලෙසින් විනා ඩයස්පෝරාවේ ඡන්ද ගැනීමට යයි පැවසීම පට්ටපල් කෙබරයකි. එය පාපිෂ්ට අධිරාජ්‍යයයා අහිංසක කර පෙන්වීමකි. ඩයස්පෝරා ගොඩනැංවීමද ඒ විසල් සැළැස්මේ ක්ෂුද්‍ර කොටසක් පමණි.

අපේ විදෙස් කටයුතු අමාත්‍යංශයද මේ ඩයස්පෝරා ඡන්ද කතාව කියන්නේ අනවබෝධය නිසාද නැතිනම් සත්‍යයම පැවසීම ඉහත කී රැවුලයි කැදයි දෙකම බේර ගැනීමේ ප්‍රතිපත්තියට හානිකර නිසාදැයි අපි නොදනිමු. එම සත්‍යය සඳහා ඕනෑ තරම් සාක්ෂි සාධක තිබියදීත් අපි එසේ නොකියන්නෙමු. නමුත් ඔවුනට ලක් රජය සිවිල් වැසියන් දස දහස් ගණනක් මරා දැමීයැයි අදහමින් ඒ මත ක්‍රියා මාර්ග ගැනීමට කිසිදු . පිළිගත හැකි සාධකයක් අවැසි නොවේ. එසේ මර දැමුනා යයි කියන අයගේ නම් ඔවුන් දන්නේ නැත. ඔවුනගේ නෑයන් කවුදැයි දන්නේ නැත. දින කීපයක් ඇතුළත මිය ගියා යයි කියන හතළිස් දහසකගේ මළ සිරුරු වළ දැමුවේ හෝ පිළිස්සුවේ හෝ කවුදැයි ඔවුන් දන්නේ නැත. ඉඩ ප්‍රස්ථාවක් ලත් විගස ත්‍රස්තයන්ගෙන් මිදී, ෂෙල් ප්‍රහාර එල්ල කෙරෙන හෝ කෙරුනු දිසාවට ලක්ෂ ගණන් මිනිසුන් පලා යාවිද? හතළිස් දහසක් වැනි පිරිසක් දින කීපයක් තුළ මිය ගියේ නම් රජයේ හමුදා දෙසට පැමිණි අයගේ අති මහත් බහුතරයකගේ පවුල් සාමාජිකයින් ඒ දින දෙක තුන ඇතුළත මිය ගොස් තිබිය යුතුය. එසේ නම් ඔවුන් හැඩූ කදුළෙන් සිටිය යුතුය. ඔවුන්ගේ මුහුණූ තුළ තිබුනේ සිය අසරණ දෛවවය පිළිබඳ අවිනිශ්චිතතාවක් විනා වියෝ වූ පවුල් සාමාජිකයින් පිළිබඳ හෙලන කඳුළු නොවේ යයි ඕනෑම බබෙකුට තේරුම් යා යුතුය. එය සත්‍යයක් නම් මිය ගිය අයගේ නම් ලයිස්තුවක් සාදා ඉදිරිපත් කිරීම මෙතෙක් සිදු නොවූ කටයුත්තක් නොවනු ඇත.

නමුත් මොවුන්ට සත්‍යයෙන් වැඩක් නැත. තම අභිප්‍රායයන් සපල කර ගැනීමට ඕනෑම මුසාවක් කිසිදු වෘතීයභාවයක් නැතිව මුත් වෘතීය ලෙසම ඉදිරිපත් කිරීමට ඔවුහු නොපැකිළෙති. වෘතීය මිනී මරුවන්ට වෘතීය මුසාව කජ්ජක්ද? නලින්ද සිල්වා ඇදුරුතුමා පෙන්වා දුන් පරිදි අපේ බොහෝ රාජතාන්ත්‍රිකයන් දන්නේ බටහිරයන් අහන ප්‍රශ්නවලට ඒ රාමුව තුළ සිට ගෙනම ඒවාට පිළිතුරු දීමට විනා මේ සරළ කරුණූ ඔවුනට පෙන්වා දීමට නොවේ.

පුතු නැසූ වාඩුව

ඇමරිකානු අධිරාජ්‍යයා ලංකාව මට්ටු කර්න්නේ කෙසේද? ඒ සඳහා ඇති හොඳම ක්‍රියා මාර්ගය නම් ලංකාව විසින් වසා දැමූ දොර නැවත විවර කර ගැනීමයි. මෙම අධිරාජ්‍යයා කිසි විටක එක ගලකින් එක් කුරුල්ලෙකු පමණක් පතන්නකු නොවේ.

කරන දෙයක් කිරීමට වඩාත් පහසු හා හිතකර වන්නේ, තමාගෙ නිකට පහළින් ලංකාව පිහිටා ඇති ඉන්දියාවේ ද සහයෝගයෙනි. ඉන්දියාවටත් ඇමරිකාවටත් එක ලෙස එකඟ විය හැකි අපූරු දේශපාලන ප්‍රපංචයක් ලාංකීය දේශපාලනය තුළ ඇත. ඒ අන් කිසිවක් නොව, ජේ ආර් ගෙ අදූරදර්ශී විදෙස් ප්‍රතිපත්තිය නිසා ලංකාවට තරවටු කර රජීව් ගාන්ධි විසින් බලෙන් ලබා දුන් දහතුන නමැති කාල බෝම්බයයි. ඉන්දියාවෙ පවතින අස්ථාවර ආණ්ඩුවත් දකුණු ඉන්දීය දේශපාලනයත්, දෙගොල්ලන්ගේම අභිලාෂයනුත් මනා ලෙස කළමනාකරණය කරමින් ඇමරිකාව 2012 දී ජිනීවාහිදි යුද්ධයෙන් පසු ලංකාවට එරෙහි ප්‍රථම ප්‍රසිද්ධ වෙඩි මුරය තැබීය. කුමන වේශයකින් පැමිණියත් මෙම යෝජනාවන්හි අභිප්‍රාය වූයේ ආණ්ඩුව ලවා දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවා ගැනීම හා හැකිනම් ඉන් එහා යන බලය බෙදා දීමක් දක්වා යාමට මෙරට ආණ්ඩුව හිර කිරීමය. එසේ කළ පසු ඉතිරි හරිය සාක්ෂාත් කර ගන්නා ආකාරය ඔවුහූ දනිති.

යුද්ධයෙන් පසු දිගින් දිගටම ඇමරිකාවත් ඉන්දියාවත් උත්සාහ දැරුවේද දහතුන ක්‍රියාත්මක කරවීමටයි. නමුත් ලංකාව එම උගුලට කෙළින්ම පය තැබුවේ නැත. එසේම යුද්ධයෙන් පසුව තුනෙන් දෙකක බලයක් හිමි කරගත් ආණ්ඩුව දහතුන සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට හෝ ඇබින්දක් හෝ සංශෝධනයටද නිර්භීත නොවීය. මෙහිදි අප අමතක නොකළ යුතු කාරණයක් නම් නන් දෙසින් ආණ්ඩුවට එක් වූවන් අතර, ඇති තරම් පෙඩරල් වාදීන් ද ඇත. ඔවුනට අනුව නම් ආණ්ඩුව බලය බෙදන දෙසට ගමන් කිරීම, ඇමරිකාවෙන් කීවත් නැතත් කළ යුතු දෙයකි. වඩාත් හාස්‍යයජක කාරණය නම් ඔවුන් තමන් අධිරාජ්‍යය විරෝධීන් ලෙසින් හඳුන්වා ගැනුමය. අධිරාජ්‍යය විරෝධින් ලෙස නළලේ ලේබල ලා ගැනීමට පෙර ඔවුන් කළ යුත්තේ අධිරාජ්‍යයවාදය ක්‍රියාත්මක වන ආකාරය මදක් අධ්‍යයනය කිරීමය.

උතුරු පළාත් සභා ඡන්දයට කළින් දහතුනෙහි විෂ දළ ගැලවිය යුතු බවට රට තුළින් පැන නැගි මතයට තමන් එකඟ බව පෙන්වමින්ම එම මතය යටපත් කර දැමීමේ ඉතා අපූරු දේශපාලන උප්පරවැට්ටියක් දමා උතුරේ ඡන්දය දහතුනෙහි විෂ දළ තබා පණු දතක්වත් නොසොල්වාම පැවැත්වීමට රජය කටයුතු කළේය. බෙදුම්වාදය පරාජය කළ හැක්කේ බෙදුම්වාදීනට ඉඩ නොදීමන් බව රජය නොදන්නවා විය නොහැකිය. ඒ දෙසට ගමන් කිරීම යනු නැවතත් ජාතීන් අතර බෙදීම් මානසිකත්වය ඇතිකර ස්වභාවිකවම ඉදිරියේදි ඇතිවන්නට නියමිතව තිබූ මිතුදමට තිත තබා නැවත වෛරය වැපිරවීමට ඉඩ හැරීමකි.

නමුත් එය එසේ සිදු වන්නට ඉඩ හැරියේ කිසිදු කරුණක් නිස නොව, ඉන්දියාව හා බටහිරයන් උරණ කර ගතහොත් තත්වය අසීරු වනු ඇති බවට රජයට වූ තක්සේරුව නිසා බව තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවැසි නොවේ. යුද්ධයෙන් පසු රජය අනුගමනය කළේ රැවුලයි කැදයි දෙකම බේරා ගැනීමේ පිළිවෙතකුයි. අප මොන දේ කළත් නොකළත් පෙර කී පරදි ඔවුනගේ ත්‍රස්ත පැටියා මරා දැමීමේ වාඩුව අධිරාජ්‍යයයා නමැති මහ ත්‍රස්තයා විසින් ගනු ඇති බවක් රජය නොඇදහුයේය. එයට මුහුණ දීමට සූදානම් වනු විනා එය සංහිඳවිය නොහැකි බව රජය කල්පනා කළ බව සිතීම උගහටය.
තර්ජනයට ලක් වී එයට මුහුණ දීමට වඩා දුර්දාන්ත අන්තයකි ඔවුන් පිනවන්නට යාමෙන් අත්වන්නේ. යුද්ධයෙන් පසු බටහිරයන්ගේ උදහසට ලක් නොවී සිටිනු වෙනුවෙන් දහතුනෙහි විෂ දළ නොගැලවීමෙහි විපාක විදින්නට සිදුවන්නේ ඉදිරියේදීය.

මෙවර ජිනීවා සමූළුවෙන් පසු යුධ අපරාද චෝදනා ගොනු කිරීමට මං විවර කර ගැනුමට මෙන්ම සම්බාධක බිල්ලා පෙන්වමින් රජය, මෙරට තුල අප්‍රසාදයට පත්කිරිමටත් ඔවුන් කටයුතු කරනු ඇත. රජයේ සිටින බඩ ගෝස්තර වාදි ඇමතියන්ගේ ක්‍රියාකලාපයන්ද ඒ සන්දර්භය තුලදී රජය වඩා වේගයෙන් අප්‍රසාදයට පත් කෙරුමට ඉවහල් වනු නොඅනුමානය. ඒ තුල කුමන ආණඩුවක් ඉදිරියේදි බලයට ආවත් එය ප්‍රබල බහුතරයක් නොමැති ආණ්ඩුවක් බවට පත් කර ගැනුම අධිරාජ්‍යවාදීන්ගේ අරමුණයි. එවිට රජුන් තනන්නන් බවට පත් වන්නේ අන් කවරෙකුවත් නොව දෙමළ සන්ධානයයි. එය එජාපය සමඟ වුවත් ශ්‍රීලනිපය සමඟ වුවත් කම් නැත. දහතුනට නමැති කාල බෝම්බය නිෂ්ක්‍රිය නොකිරීමේ විපාක පඬිසන් දෙන්නේ එදාටය. සිංහලයන්ගේද විශ්වාසය දිනා සිටින වත්මන් ආණ්ඩුවම සුළුතර ආණ්ඩුවක් බවට පත් කර ගෙන ඔවුන්ව හැසිරවීමේ වරමක් දෙමළ සන්ධානයට ලබා දීම අධිරාජ්‍යය වාදීන් බලාපොරොත්තුවන නියම තත්වය විය හැකිය. ඒ මඟින් අප්‍රසාදයට පත් වන මහින්ද රාජපක්ෂයන් යුධ අධිකරණයක් වෙත රැගෙන යන විට මෙරට ජනතාවත් එය ඉතා ඉක්මණින් අමතක කර දමා "එයා වරද්ද ගත්තා" යයි කියනු දැකීම එහි දෙවන පියවර විය හැකිය. ඒ වන විට මෙහි ඇත්තේ තවත් ලිබියාවකි. ඒ ඇමරිකානු හා බටහිර පැතුමයි.

දේශපාලන සන්දර්භයෙහි නොපිහිටන ආර්ථිකය

පවතින දේශපාලන සන්දර්භයෙන් විනිර්මුක්තව අපට ආර්ථික ප්‍රතිපත්තීන් සැකසිය නොහැක.

කරුණු මෙසේ නම් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු අප අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය බටහිරට වඩ වඩාත් ගැට ගසනු ලැබූ එකකට වඩා ඒ මත ඇති රැදීම අවම කෙරෙන අතට සැකසිය යුතුව තිබිනි. නමුත් පසු ගිය කාලයේ ඉදිරිපත් වුනු කිසිදු අයවැයක් තුළ අපගේ අපනයන වෙළදපල විවිධාංගීකරණය කර ගැනුම සඳහාවත් කිසිදු සැළසුමක් නොවීය. අපනයනයන්ගෙන් 20%ක් පමණ ඇමරිකාවටත්, 40% ක් පමණ යුරෝපා සමුළුවේ රටවල් වෙතත්ය. සංචාරක කර්මාන්තය මත හා විදෙස් ආයෝජන මත රදන ආර්ථිකයකින් ඈත්වීම කෙසේ වෙතත්, මෑත්වීමවත් විය යුතුව තිබුනද ආරථික සැළසුම් සැකසුනේ ඒවාට අති මහත් බරක් ලබා දෙමිනි.

බහුජාතික සමාගම්වල අමනුස්ස කමට යටව ඇති ගොවිතැන වෙනුවට හෙළ ගොවිතැන දෙස අපට නැවත හැරී බැලීමට අවස්ථාවක් දැන් උදා වී ඇත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සියළු බාධක මැද කැප වුනු මිනිසුන් කිහිප දෙනෙකුගේ අධිෂ්ටානය නිසාය. පමාවී හෝ රජයේ අවධානය ඒ වෙත යොමු වී ඇත. අප කළ යුත්තේ බටහිටරට ගැට ගැසීම නොව, සම්බාධක ආවත් නාවත් එවැන්නකට මුහුණ දිය හැකි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමය. සම්බාධක වලින් බේරීමට අනුවණ උපාය මාර්ග තෝරනවාට වඩා අප යථාර්ථයට මුහුණ දිය යුතුය. අපි නිවැරදි වැඩ පිළිවෙලක් වෙත යොමු වන්නේ නම් එයට මුහුණ දීම එතරම් ගැටළුවක් නොවනු ඇත. දැනටත් අප පමාවූවානම් වැඩිය. ගුණදාස අමරසේකරයන් මීට වසර කිහිපයකට පෙර 'මේ අන්තිම අවස්ථාවයි' නමැති ලිපියකින් මේ අවශ්‍යයතාව අවධාරණය කළ බව අපට මතකය.




-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුගත්1/10/2014 2:43 PM

    හොඳ පැහැදිළි කිරීමක්..ස්තුතියි.

    ReplyDelete
  2. අපට තෝරා ගැනීමක් කළ හැකිය. කළ යුතුව යුතුව ඇත. එක්කෝ අප බලය බෙදීම දෙසට ගමන් කරමින් ඊළම බිහි වන්නට ඉඩ හැරීමයි. මෙමගින් ද අපට යුධ අපරාධ චෝදනා වළක්වා ගත නොහැක. නමුත් කල් දමා ගත හැකිය. දෙවැන්න නම් ජාතික ආර්ථිකයක් වෙත ගමන් කිරීමයි. මේ දෙවැන්න නම් කළ නොහැකි බව ආර්ථිකයට අරක් ගෙන සිටිනා පඬියන් ජනාධිපති තුමාට පවසනු ඇත. සැබැව. එවැන්නක් ඔවුහු නොදනිත්. නො අදහති. එසේම මෙතෙක් කලක් රජය ගත් ආර්ථික මාවත වෙනස් කිරීමට රජයටද ලෝභ සිතෙනු ඇත. එනිසා අවසානයේ දයාන් ජයතිලකලා කියන පරිදි අධිරාජ්‍යයන්ට අවැසි පරිදි හැසිරීමට රජය හෙමිහිට තෝරා ගැනීමට බොහෝ විට ඉඩ ඇත. රජය ඒ ක්‍රියා මාර්ග මෙරට ජනයා ඉදිරියේ සාධාරනීකරණය කර පෙන්වීමටද සමත් වීමට ඉඩ ඇත. දෙමළ සන්ධානය අතට පාර්ලිමේන්තුවේ යතුර ලැබීම අනිවාර්යය. එසේ වන්නේ කුමන ඡන්දයකින්ද, කුමන වසරේද යන්න පමණි තීරණය වීමට ඇත්තේ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com