1/20/2014

කැතලින්ගේ කෙටිකතාව, කලහකාරී භික්ෂුව හා විකල්ප ගෝත‍්‍රයේ සාම සංහිඳියාව

කතෘ:යුතුකම     1/20/2014   3 comments

22 කණ්ඩායමේ ධර්ම ගවේෂණය යනු ප‍්‍රවීණ ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචිත කුඩා කෙටි කථාවකි. එය 2002 වසරේ පළවූ ඇගේ ”අවරෝධය” නම් කෙටි කතා එකතුවේ එන්නකි. විවාදාත්මක තේමාවක් වටා ගෙතෙන එම කථාවේ සාරය කාලයේ දැඩි සීමාවකට කොටු කළ නොහැකි එකක් වුවද වර්තමානයේ මෙරට තුළ වඩා වැඩි තීව්රතාවකින් යුතුව ඉස්මතු වී ඇති එක් ප‍්‍රවණතාවක් මේ කථාවේ විශය පථයට අයත් වෙයි. ඒ ප‍්‍රවණතාව නම් භික්ෂූන්ගේ දේශපාලන මැදිහත් වීමය. ඒ අරභයා වන ඉතා වැදගත් නිරීක්ෂණ කීපයක් මේ කෙටි කථාව තුළ හමුවෙයි.

මේ කෙටි කථාවට විෂය වන්නේ අනාගත ශී‍්‍ර ලංකාවක් තුළ සිදුවිය හැකි යැයි උපකල්පිත සිදුවීම් පෙලකි. ඊට අදාල කාල වකවානුව නිශ්චිත නොවේ. එය කි‍්‍ර.ව 2100 හෝ 2200 වීමටද පුලූවන. කෙසේ වුවද මේ කාලය යනු බටහිර නූතනත්වය සියලූ සතුරන් පරදවා ජය කෙහෙලි නංවා ඇති කාලයකි. ක්ෂුද්‍ර තාක්ෂණ හරඹයන්ගෙන් අලංකෘත මේ සමාජය තුළ වැජඹෙන සර්ව බලධාරී දෙවියා වන්නේ පාරිභෝජනවාදයයි. මේ සමාජයේ මිනිස්සු ඉන්ද්‍රිය සංවේදිතා අවසඟ වන තරමට ඉඳුරන් පිනවන්නෝ වෙති. සිරුරු කිස, රමණය ආදී කටයුතු පවා විවෘතව සිදු කරන තරමට විශ්ව ගම්මාන බන්ධනවලින් ඔවුහු එක්සත් වී සිටිති. මේ සමාජයේ ජීවත් වන තරුණ කණ්ඩායමක් අපූරු ගවේශණයක නිරතව සිටිති. එය බුදු දහම පිළිබඳ ගවේශණයකි. මේ කාලය වන විට බුදු දහම ඉතිරිව ඇත්තේ හුදු පුද්ගල විමුක්තියේ අල්ප හා බුද්ධිවාදී දර්ශනයක් වශයෙනි. මේ තරුණ පිරිසේ ගවේශණය වන්නේ වසර දෙදාස් ගණනක් මුළුල්ලේ ආගමක්, සංස්කෘතියක් ලෙස ව්‍යාප්තව පැවති බුදු දහම හුදු දර්ශනයක් දක්වා ඌනනය වීමට බලපෑ හේතු සොයා බැලීමය. අවසානයේදී ඔවුන් ඒ පිළිබඳ දීර්ඝ වාර්තාවක් සකස් කරන අතර කැතලින්ගේ කෙටි කථාව අවසාන වන්නේ ඒ කථාවේ කුඩා කොටසක් උපුටා දක්වමිනි.

බුදුදහම කෙලසීම

මීළඟට මෙකී කෙටි කථාවේ අන්තර්ගතයට අදාල වත්මන් සමාජ කාරණා සැකෙවින් විමසා බලන්නේ නම් අද වනවිට භික්ෂුව මෙරට ජාතික දේශපාලනයේ තීරණාත්මක සාධකයකි. මේ මොහොත වනවිට සමාජ ගැටලූ අරභයා බෞද්ධ භික්ෂූන්ගේ සටන්කාමී හා උද්වේගකර මැදිහත් වීම් රැසක් දක්නට ලැබේ. ඒ බොදු බල සේනා, රාවණා බලය, සිංහල රාවය ආදී නොයෙකුත් සංවිධාන ආදිය ඔස්සේය. මෙහිදී එකී භික්ෂු මැදිහත්වීම් පිළිබඳ යම් යම් සාධාරණ විවේචන තිබිය හැකිවාක් මෙන්ම පොදුවේ අද මෙරට භික්ෂු ශාසනයේද අවනතීන් රැසක් දක්නට ලැබේ. භික්ෂු ශාසනයද වත්මන් මහා සමාජ දුෂණයේ නරක බලපෑම් වලින් සපුරා නිදහස්ව නොපවත්නකි. කෙසේ වුවද මේ ලිපියේ අරමුණ භික්ෂු ක‍්‍රියාකාරකම් වල එකී හොඳ නරක විමසා බැලීම නොවේ. වෙනමම සන්දර්භයක සිදු කළ යුතු ඒ සංවාදයට උඩින් පල්ලෙන් මැදිහත් වන්නෝ බොහෝ සිටිති. එහෙත් මෙහි අරමුණ භික්ෂු දේශපාලනයේ හොඳ නරක විමසීම වෙනුවට එහි හොඳ නරක විමසන්නන් විසින් සුලබව මතු කරන ඉතා මුග්ධ හා අදේශපාලනික තර්කයකට එරෙහිව කරුණු ගොනු කිරීමය. කැතලින්ගේ කෙටි කථාව ඒ සඳහා බලවත් අවියක් ලෙස ඇසුරු කළ හැක්කකි.

පොදු වශයෙන් බලන කල මෙරට භික්ෂු දේශපාලනය පිළිබඳ මෙරට පොදු සමාජයේ ප‍්‍රතිචාර කෙසේ වුවද මෙරට මතවාදී සමාජයේ බහුතරය ඒ පිළිබඳව දක්වනුයේ අතිශය නිශේධනාත්මක ආකල්පයකි. විශේෂයේන්ම සාහිත්‍ය, කලාව හා දර්ශනවාද ආදිය ඇසුරු කරන ප‍්‍රබුද්ධ යැයි සැලකෙන සමාජයට මේ භික්ෂු දේශපාලනය වහකදුරු වී ඇති බව ඔවුන් ඒ පිළිබඳ නොයෙක් තන්හී සුලබව මුදාහරින ප‍්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙයි. ඔවුන් මේ භික්ෂුන් හඳුන්වනු ලබන්නේ ජාතිවාදීන්, ගෝත‍්‍රවාදීන්, උන්මත්තකයන්, බුදු දහම කෙලසන්නන් හා සිවුරු ලා ගත් මැරයන් ආදී වචන වලිනි. බුදුදහමේ එන උත්තරීතර සත්‍යයන්ට පටහැනිව හැසිරෙන මේ නොමනා භික්ෂූන්ට ඔවුහු නිරතුරුවම කරුණාව මෛත‍්‍රිය සමානාත්මතව වැනි දේ සිහිපත් කර දෙති. උද්ඝෝෂණ, අරගල, කෝලහාල ආදිය භික්ෂූත්වයට අකැප බව තරයේ අවධාරණය කරති.  බැලූ බැල්මට මේ මතවාදී ප‍්‍රවේශය ලස්සන, සාධාරණ හා බාලයන් සිත් අලවනසුලූ එකකි. එහෙත් ගැටලූව වන්නේ මේ අබ්බගාත තර්කය වර්තමාන මහපොළවේ ප‍්‍රායෝගිකව සිටුවිය නොහැක්කක් වීමය. උත්තර් ඓතිහාසික සත්‍යයන් මත පිහිටා කාලීන සමාජ දේශපාලන අභියෝග මග හැර යාමට මෙන්ම ජාතිය අමතක කොට ජාත්‍යන්තරවාදී වීමට භික්ෂුන්ට බල කරන මේ යෝජනාව තුළ දේශපාලන අඳබාලකම පමණක් නොව දේශපාලන තක්කඩිකමද මනාසේ ඇතුළත් වෙයි. ඒ බව තේරුම් ගත හැක්කේ කෙසේද?

ගණිකා පතිවත හා ජාත්‍යන්තරවාදය

අප ලෙඩ රෝගවලට අකමැතිය. එහෙත් ලෙඩ රෝග ආශ‍්‍රිත ප‍්‍රශ්නවලට මුහුණ දීමට අපට සිදුවෙයි. අප ජාතිවාදයට අකමැතිය. එහෙත් බෙදීම්, විෂමතා, ගැටුම් බහුල ප‍්‍රායෝගික ලෝකයේදී අපට ජාති ආගම් ආශි‍්‍රත ප‍්‍රශ්න සමගද අභිමුඛ වීමට සිදුවෙයි. ඒ ප‍්‍රශ්න බොහෝවිට විස`දා ගැනීමට සිදුවන්නේ සාපේක්ෂව සාධාරණ ක‍්‍රමයකට මිස විශ්ව සාධාරණ ක‍්‍රමයකට නොවේ. උතුරේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට ලබාදුන් යුධමය විසඳුම විශ්ව සාධාරණ විසඳුමක් නොව  සාපේක්ෂව වඩා සාධාරණ විසඳුමකි. එවැනි ප‍්‍රශ්නවලදී ප‍්‍රශ්නයේ සමස්තය දෙස නොබලා ජාතිවාදී ලේබලය  ඕනෑම පාර්ශවයක් මත ඉතා පහසුවෙන් ඇලවිය හැකිය. අද භික්ෂූන් ඇතුළු බලවේගයන්ට චෝදනා කරන වැඩි දෙනාද වෙනත් ¥ෂිත ව්‍යාපෘතීන් මත පිහිටා මේ ලාබ සුලබ ජාතිවාදී ලේබලය භික්ෂූන් මත පහසුවෙන් අලවන්නෝ මිසක විශ්ව සාධාරණ මානව හිතවාදීහු නොවෙති. මේ බව ඉතා සැකෙවින් වටහා ගන්නේ නම් මේ භික්ෂු විරෝධීහු බොහෝ දෙනා මෙරට ඊනියා විකල්ප අවකාශය තුළින්ම ප‍්‍රාදුර්භූත වූවෝ වෙති. මොවුන් බැලූ බැල්මට උග‍්‍ර ජාතිවාද විරෝධීන් ලෙස පෙනී සිටියද ඔවුන්ගේ ජාතිවාද විරෝධය ගණිකාවකගේ පතිවත වැන්නකි. අද සිංහල වර්ගෝත්තමවාදයකට විරුද්ධව මොරදෙන මේ බොහෝ දෙනා කාලයක් තිස්සේම දෙමළ ජාතිවාදය හා එක පෙලට සිට ගත්තෝ වූහ. උතුරේ ප‍්‍රශ්නය හමුවේ දෙමළ ජාතිවාදයෙන්ද නොනැවතුන මේ පිරිස මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා ඒ පසුපස පැවති බටහිර ත‍්‍රස්තවාදයද සාධාරණීකරණය කළෝය. ඒ ආකාරයටම ඉන් අනතුරුව මතුවූ මුස්ලිම් ප‍්‍රශ්නවලදී ඔවුන් පෙනී සිටියේ මුස්ලිම් ව්‍යාප්තවාදයේද ආරක්ෂකයන් ලෙසය. කාලයක් තිස්සේ මෙරට සුරැුකිව පැවති සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව පසුගිය කාලයේදී මුස්ලිම් අන්තවාදී සුළුතරයකගෙන් එල්ල වූ තර්ජන හමුවේ මේ ඊනියා ජාත්‍යන්තරවාදීන් සිටියේ මුස්ලිම් අන්තවාදය අනියමින් යුක්ති යුක්ත කරන තැනකය. හලාල් ප‍්‍රශ්නය ආදී අවස්ථා වලදී මුස්ලිම් නොවන බහුතරයක් දෙනාට හලාල් ආහාරවලින් නිදහස් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි බෞද්ධ බලවේග  උග‍්‍ර ජාතිවාදීන් ලෙස ලේබල් කළ මේ පිරිස, සමස්ත ආහාර නිෂ්පාදනයම ඉස්ලාම්කරණය කිරීමට වෙරදැරූ මුස්ලිම් බලවේග තුළ කිසිදු ජාතිවාදයක් නොදුටූහ. සංස්කෘතියට ඉහලින් පවත්නා මානුෂික වටිනාකම් ගැන මේ ජාත්‍යන්තරවාදීන්ගේ දැක්ම අනුවම සලකා බැලූවද ඉස්ලාමයට වඩා බෞද්ධ සංස්කෘතිය කෙතරම් මානව හිතවාදී හා නම්‍යශිලී එකක්ද යන්න ඉර හඳ සේ පැහැදිලි ඇත්තක් වුවද බෞද්ධ ජාතිවාදයක් මිස මුස්ලිම් ජාතිවාදයක් වෙත ඔවුන්ගේ කිසිදු විවේචනයක් එල්ල වී නැති තරම්ය. මේ කාරණා මෙරට විකල්ප ගෝත‍්‍රිකයන්ගේ එකම නිවහන වූ ඇතැම් සති අන්ත කළු සුදු පුවත්පත්වල හැසිරීම් දෙස මොහොතක් හැරී බැලීමෙන් වුවද මනාසේ වටහා ගත හැකිය. අද මිනීමරු කෘෂි රසායන සමාගම්වලට පක්ෂව මතවාද සැකසෙමින් ඇත්තේද, කැලම් මැක්රේ වැනි පාදඩයන්ගේ ඊනියා ජනමාධ්‍යවේදයට සිංහලෙන් සහතික ලියැවෙමින් පවතින්නේද මේ විකල්ප ගෝත‍්‍රය හා ඔවුන්ගේ ප‍්‍රකාශන තුළය. බුරුමයේ භික්ෂූන්ට එරෙහිව ටයිම් සඟරාවේ පලවන ලිපිවලට පවා ඔවුන්ගේ වෙබ් අඩවි තුළ සිංහලෙන් ප‍්‍රචාරය සැපයෙයි. භික්ෂුන්ගේ ජාතිවාදයට එරෙහිව ඒ සා වෙහෙසකර අරගලයක නිරතවන මේ මහත්වරුන්ට ටයිම් සඟරාවේ ජාත්‍යන්තරවාදය දේශපාලනිකව තේරුම් ගත නොහැකි වී තිබේ. එයද නොතේරුම් කමකට වඩා ඔවුන් නිරතව සිටින දේශපාලනයේ තේරීමකි. අප විසින් නොයෙක් තැන්වලදී ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස හඳුන්වා දී ඇත්තේද මේ පිරිසමය. සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ගේ මහා පොදු සතුරාය. එය ඔවුන්ගේ මහා පොදු සතුරා වී ඇත්තේ ඔවුන්ගේ මහා පොදු මිතුරා වන බටහිර යටත්විජිතවාදයේ ඇනවුමකට අනුවය. මේ අනුව මොවුන්ගේ පෙර කී ගණිකා පතිවත බඳු ජාතිවාද විරෝධය වනාහී ලේ වැකි බටහිර යටත්විජිතවාදයේම දිගුවක් ලෙස වටහා ගැනීම මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුව වෙයි. භික්ෂූන්ගේ දේශපාලන මැදිහත් වීම් තුළ අඩුලූහුඬු කම් පැවතිය හැකි බව සැබෑය. එසේ වුවද එම අඩුපාඩු විනිශ්වය කිරීම සඳහා විකල්ප ගෝත‍්‍රිකයන්ට වේදිකා ඉදිකර දීම කිසිසේත්ම සාධාරණ ප‍්‍රවේශයක් නොවන බව මේ කාරණා ඔස්සේ අප විසින් මෙහිදී තරයේ වටහා ගත යුතුය.

දර්ශන දමන්නෝ

අවසාන වශයෙන් කැතලින් ජයවර්ධන තම කෙටි කථාවෙන් ඉ`ගි කරන ආකාරයට බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය බෙදා වෙන් කිරීම වත්මන් බෞද්ධ විරෝධීන්ගේ ප‍්‍රධානතම උපාය මාර්ගයකි. මෙහි ඇති අතිශයින් උත්ප‍්‍රාසවත් කාරණය වන්නේ ඔවුන් ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින්ම මතවාදී අවි ආයුධ සපයා ගැනීමය. මේ සූක්ෂම දේශපාලනය බොහෝ ප‍්‍රබුද්ධයන්ට හා උත්තරීතර සත්‍යයන් අදහන බව කියන සාහිත්‍ය කරුවන්ට නොවැටහෙයි. එහෙයින් කැතලින්ගේ කෙටි කථාව දේශපාලනය නොදන්නා එකී සාහිත්‍ය බබ්බුන්ට එල්ල කළ අතුල් පහරක් වැනිය.

බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය යනු එකක් නොව එකිනෙකට සම්බන්ධ දෙකකි. වෙහෙර විහාර, පන්සල්, දැවැන්ත බුදු පිළිම, බිතු සිතුවම්, පෙරහැර, බෞද්ධ කොඩි ආදිය බෞද්ධ දර්ශනයට අවශ්‍ය නැතත් බෞද්ධ සංස්කෘතියට ඒවා අවශ්‍ය වෙයි. දර්ශනය කෙතරම් අර්ථ සම්පන්න එකක් වුවද ඒ වටා නිර්මාණය වූ සංස්කෘතියකින්, සමාජ සැකැස්මකින් තොරව කිසිදු දර්ශනයකින් පොදු ජනතාවගේ ජීවිත මත හොඳ හෝ නරක බලපෑමක් ඇති කළ හැකි නොවේ. සංස්කෘතිකාංග වල පැවැත්ම ඊනියා තර්ක බුද්ධියට අගෝචර විය හැකි වුවද ප‍්‍රායෝගික ජීවිතය තුළ එය ඉතා සුලබ සාමාන්‍ය සත්‍යයකි. පොදු ජනතාව ඒකරාශි වන්නේ  සංස්කෘතියක් වටා මිස බුද්ධි ගෝචර දර්ශනවාද වටා නොවේ. මේ ඇත්ත බුදු දහම පමණක් නොව මාක්ස්වාදය ඇතුළු  ඕනෑම දර්ශනවාදයකට අදාල වන්නකි. ඒ නිසාම සංස්කෘතියෙන් ගලවා ඉවත ලූ බුදු දහමද, අද මෙරට ඒ දඬු පණ්ඩිතයන් අත කෙලි බඩුවක් බවට පත්වී ඇති පශ්චාත් නූතනවාදයක තත්ත්වයට පිරිහීම කිසිවකුට වලකාලිය හැක්කක් නොවේ.

දෙමළාට ප‍්‍රශ්න නිර්මාණය කරමින් සිටින මෙරට එක්තරා ෆුටා ඇදුරකු වරෙක පවසා තිබුණේ පන්සල්, දැගැබ්, භික්ෂූන් ආදිය නූතන ලෝකයට අවැසි නොවන බැවින් දර්ශනයක් ලෙස පමණක් බුදු දහම සුරක්ෂිත කර තැබීම සඳහා පොත පත, පරිගණක, සී.ඞී තැටි ආදිය පමණක් තිබීම ප‍්‍රමාණවත් බවය. අවරදිග ඇති අනාගමික රාජ්‍ය ගැන මනෝ විකාර දොඩවමින් සිටින කොලම්කාරයකු තවත් වරෙක පවසා තිබුණේ ඔබට සිංහලයකු හෝ බෞද්ධයකු විය හැකි වුවත් සිංහල බෞද්ධයකු වන්නේ නම් ඔබට බුදු දහම මග හැරෙන බවය. අද රැුම්බෝගෙන් වෙඩි කා ලංකාවට පැමිණි ඇතැම් ආචාර්යවරුන් කියමින් සිටින්නේ අප සිංහලයන්ගේ ගෝත‍්‍රවාදී බුදුදහමට එරෙහිව සුලාක් සිවරක්සගේ ජාත්‍යන්තරවාදී බුදුදහම කර තබා ගත යුතු බවය. ඊළාම් අභිමානයෙන් පණ ගැට ගසා ගන්නා ඇතැම් වෙබ් අඩවි කාරයන් අද අපට ඊ.ඩබ්ලියු අධිකාරම් උපුටා පෙන්වීමට පටන් ගෙන ඇත්තේ දේශාභිමානියා මානසික රෝගියකු බව අවධාරණය කිරීම සඳහාය. දේශපාලන රෝගීන්ව පහසුවෙන් නොමග යැවිය හැකි මේ වාගාලංකාර සියල්ල සැලකිය හැක්කේ බෞද්ධ සංස්කෘතියේ පැවැත්මට එරෙහිව බෞද්ධ දර්ශනය ආශ‍්‍රයෙන්ම කෙරෙන ආයුධ සපයා ගැනීම් ලෙසය. එහිදී බෞද්ධ දර්ශනයට දැඩිව පහර නොදෙන මොවුහු ඊට ගරු කරන්නන් ලෙස බොරු නැටුමක් නටන  අතරේම බෞද්ධ සංස්කෘතිය හා භික්ෂූන්ට පහරදීම සඳහා එම දර්ශනය වෙතින්ම අවිහිංසාව, මෛත‍්‍රිය, සමානාත්මතාව, විශ්ව සාධාරණත්වය ආදී සංකල්ප උකහා පෙන්වති. එසේ උකහා පෙන්වමින් කරන පහර දීමේ දත් හෝ නොදත් අවසාන අර්ථය වන්නේ ලෝක පරිමාණ හිංසනයේ ලොකුම වග උත්තරකරුවා වන බටහිර නූතනත්වයේ දෘෂ්ටිවාදී  ආරක්ෂා තරකිරීමය.  සාමයේ පරවියන් ලෙස හඳුන්වමින් උකුස්සන් අහසට මුදා හැරීම මේ විකල්ප ගෝත‍්‍රකයන්ගේ කාර්යය වී තිබේ. කැතලින්ගේ කෙටි කථාවේ එන යුගය වනාහී එවන් ප‍්‍රවේශයන් ඔස්සේ බුදු දහම සපුරා වද කර බටහිර නූතනත්වය සපුරා ජයග‍්‍රහණය කළ යුගයකි. එවන් වූ යුගයක බුදු දහමේ ස්වභාවය හා ඊට අත්වූ ඉරණමට අදාල හේතු කාරණා ගැන ලේඛිකාවගේ තියුුනු නිරීක්ෂණය උපුටා දක්වමින් මේ රචනාව අවසාන කරමි.

වසර දහස් ගණනක් මුළුල්ලේ වරින් වර හා වසර හයසීයකට ආසන්න කාල සීමාවක් තුළ අඛණ්ඩව විවිධාකාර වූ තර්ජන ගර්ජන හා අභියෝග බුද්ධාගමට එල්ල වී ඇති මුත් එහි කූට ප‍්‍රාප්තිය එළඹුනේ විසි එක් වන සියවසෙහිදී යැයි කමිටු වාර්තාවේ මුලින්ම සඳහන් වී තිබිණි.


බුද්ධාගම සංස්ථාපිත තත්ත්වයෙන් පැවතීම ඇතැම් පුද්ගලයනට පුද්ගල කණ්ඩායම් වලට නොරිසි වූ බව පෙනී යයි. (මේ හා අදාල හේතු සාධක හා ඊට පසුබිම් වූ දේශීය විදේශීය බලවේග පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පරිපූර්ණ වාර්තාවේ 3,4 ඇමිනුම් හි වෙයි. මේ අනුව බුදුදහම ආගමක් නොව දර්ශනයක් පමණකිය යන්න පිළිබඳ මතවාදයක් ගොඩනැ`ගීමේ පොදු අභිප‍්‍රායක් මේ සියලූ කොටස් තුළ වූ බව පැහැදිලිය. එසේ වුවද බුදුදහමේ ආගමික තත්ත්වය නිර්වින්දනය කිරීම සඳහා ඔවුන් විසින් සූක්ෂම වැඩ පිළිවෙලක් දියත් කරනු ලැබ ඇත්තේ ඊට එරෙහිව අවි අමෝරා ගනිමින් හෝ එහි සතුරු බලවේග ලෙස පෙනී සිටිමින් හෝ නොවීමද මෙහිලා දැක්විය හැකි විශේෂත්වයකි. සිය සටන් භූමිකාව රඟ දැක්වීමේ දී ඔවුන් විසින් සැම විටම පලිහක් කර ගනු ලැබ ඇත්තේ බුදු දහමේ හරය හා එහි සාරයමය. මේ අනුව බුද්ධාගමට එරෙහි වූ මුල්ම හී පහර එල්ල වී ඇත්තේ මෛත‍්‍රිය හා සමානාත්මතාව එකට පුරුද්දා තැනූ ඊතලයක් ඔස්සේය. ජාතික හෝ ආගමික වශයෙන් අර්බූදකාරී තත්ත්වයන් පැන නැගුනු අවස්ථාවන් හිදී වීදි බට භික්ෂූන් නිරායුධ කරනු ලැබ ඇත්තේද එම`ගිනි. කිසියම් දේශයක්, ජාතියක්, ආගමක් වෙනුවෙන් පෙනී සිටීමේ කොදෙව් මානසිකත්වයෙන් භික්ෂුව අත්මිදිය යුතු බැව් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් විසින් සපයා ගනු ලැබ ඇත්තේද බුදු දහමිනි. භික්ෂුව එවැනි  පටු සීමා මායිම් අතික‍්‍රමනය කළ යුතු බවට හේතු සාධක වශයෙන් ඉතා ආකර්ශණීය ලෙස මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛාද ගෙන හැර දක්වා තිබේ.
      
කැතලින්ගේ කථාවෙන් ගත් ඉහත කුඩා ඡේදයතුළ අතැඹුලක් සේ දක්වා ඇත්තේ පිටු සිය ගණනක කෘතියක් ලියමින් පැහැදිලි කළ යුතු තරමේ සංකීර්ණ දේශපාලන විග‍්‍රහයකි. එය ඒ දඬු පණ්ඩිතයන්ගේ බොල් වාගාලංකාර තොග පිටින් විනාශ කර දමයි.   

                                            
-ඉසුරු ප‍්‍රසංග
(2014-01-20 ලක්බිම පුවත්පතෙහි  ඇවෙන්ට් ගාඩ් පිටුවෙන් උපුටා ගති)
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. භික්ෂු දේශපාලනයේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන සිංහල බෞද්ධයන්ටත් විවේචන තියෙන්න පුළුවන්. සිංහල බෞද්ධ විරෝධීන් කොහොමත් භික්ෂු දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අනුව භික්ෂූන් සිටිය යුත්තේ සෑම විට ම වන ගතව භාවනා කරමින්. ශාසනය රැක ගැනීම වගේ දේවල් උන්වහන්සේලාට අදාළ දේවල් නෙවෙයි, ඔවුන් කියන විදියට. ඒ වගේ ම මොවුන්ගේ විවේචන බැලූ බැල්මට පෙනෙන්නේ බෞද්ධයන් ගැන අනුකම්පාවෙන් ඉතා සද් බාවයෙන් කරන විවේචන වගේ. මේ නිසා ම සිංහල බෞද්ධයන් ඇතැම් විට ඔවුන්ගේ අතකොළු වෙනවා. මෙවැනි බෞද්ධ ප්‍රතිරූපකයන් අපි නිවැරදිව හඳුනා ගත යුතු යි. කෙටි කතාවක් පාදක කර ගෙන එවැන්නන් ගැන කරපු ඉතා හොඳ විග්‍රහයක් මේක.

    ReplyDelete
  2. ලසන්ත වික්‍රමසිංහ1/21/2014 1:44 PM

    භික්ෂුව විවේචනය කරන බොහෝ දෙනෙකුට තියෙන්නේ සිංහල බවුද්ධ විරෝධය. නමුත් මෙය ඉතා සංකීර්ණයි. භික්ෂුව කැරලිකාරී වීම සුදුසු දෙයක් කියලා කියන්නත් බැහැ. මට නම් හිතෙන්නේ මේකේ වැරැද්ද තියෙන්නේ ගිහියන්ගේ. ගිහියන් නිවටයන් මෙන් සිටින නිසාද භික්ෂුවට කැරලිකාරී වීමට සිදු වෙලා තියෙන්නේ කියන ප්රශ්නය මතු වෙනවා.
    අනෙක් අතට සිංහල බවුද්ධ ගිහියන්ට සිය රට ජාතිය ආගම ගැන තැකීමක් නැති නිසා භික්ෂුව මේ තත්වයට පත් වෙලාද? නැතිනම් බලධාරීන් අතින් ඉටු විය යුතු වගකීම් ඉටු නොවන නිසා භික්ෂුවට ඒ සදහා ඉදිරිපත් වෙන්න සිදු වෙලාද? එහෙමත් නැතිනම් පාලකයින් අපගේ උරුමය නොසළකා, ඒ මත පිහිටා සමාජ ආර්ථික ක්‍රමයක් සැකසීම ගැන නොසිතන නිසා භික්ෂුව මේ තත්වයට පත්වෙලාද? මේකේ වරද උන් වහන්සේලා පිට පටවා අත සෝදා ගැනීම සමාජයේ වගකීම නෙමෙයි. මට හිතෙන විදියට මේ පෙනෙන්නෙත් අපේ ආර්ථික සමාජ දේහය සැකසෙන ආකාරය අපගේ චින්තනය, උරුමය හා බද්ධ නොවීමේ ගැටළුවයි.

    ReplyDelete
  3. යම් කලක මේ බුද්ද ශාසනය කහ සළුවක් පමණක් ඇග තවරා මසුන් මරන්නකු සේ ජීවත්වන තත්වයට පිරිහී තිබුනත් වුවත් ඔහු වෙත සාසනය උදෙසා දෙන දානය මහත් අනිසංශ වේ යනුවෙන් බුදුන්වහන්සේ වදාරා තිබේ.

    එබැවින් බික්ෂුන්ට අපහස නොකරනු !

    සාසනය රැකගැනීමට රාජ්‍ය බලය අත්‍යවශ්‍ය යුගයකදී රජය බොරු සර්වාගමික ප්‍රතිපත්තිය අනුගමනය කරන බැවින් සහ උපාසක පිරිස කිසිවක් කරගත නොහැකි විට සාසනය රැකීමට බික්ෂුන් වහන්සේලාට දේශපාලනය කිරීමට සිදුවී ඇත.

    එය බෞද්ධයන් වෙනුවෙන් සාසනය පැවැත්ම සදහා වේ.!!!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com