මම නිකමට මෙන් සිනමා ශාලාවකට ගොඩ වුනේ බොහෝ කලකට පසුවය. ඒ සමනල සංධ්වනිය නිසාවෙනි.
මා පැදුරු වල වී වනන්නාක් මෙන් පත්තර වල වචන පුරවන විචාරකයන් කුමක් කීවද මම මෙම සිනමා කෘතිය මහත් සේ වින්දනය කලෙමි. කලා කෘතුයකින් මම යම් හරයාත්මක දෙයක් බලාපොරොත්තු වෙමි. ඕනෑම කලා කෘතියක යම් ගැඹුරක් හරයක් ජීවන දැක්මක් තිබිය යුතුයැයි මම අදහමි. ජවනිකාවෙන් ජවනිකාව, රූප රාමුවෙන් රූප රාමුව එකිනෙක අමුනන හුය විය යුත්තේ එම දාර්ශනික හරයයැයි මම සිතමි. එය මගේ හුදෙකලා සිතුවිල්ලක් පමනක් විය නොහැකිය. මෑත කාලයේ අප රටේ ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වුනු සුජාත දියණිය සහ අභීත දියණිය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තේ ඉලවු රන් දෙපැයේ නිර්මාණකරුවන් හොම්බෙන් යවමිනි. එහි රහස අන් කිසිවක් නොව කථාංගයෙන් කථාංගයට අප වෙත සමීප කරවන උත්තරීතර මනුෂ්‍යත්වයේ සොඳුරු දහම යැයි මම සිතමි.
සමනල සංධ්වනිය අප වෙත මෝදු කරන්නේ ආධ්‍යාත්මීය ආදරයක් වටා ගෙතුනු සොඳුරු මනුෂ්‍යත්වයයි. මුදල පසුපස, කාමය පසුපස, ජනප්‍රියත්වය පසුපස දිවයන ආත්මාර්ථය කරපින්නාගත් මෙම වාණිජ සමාජයේ නිස්සාරත්වය මම එතුළින් දුටුවෙමි. හරසුන් වදනින් ගොරහැඬි සංගීතයෙන් අපව පාරවන සමාජය වනසන මිනිසා දිනෙන් දිනම කෲර ආත්මාර්ථකාමී අමනුෂ්‍යත්වය කරා දක්කන නූතන ගායකයන් සංගීතඥයන් අත්දුටු මට වාදීශ උත්තුංග මිනිසෙකි. ඔහුගේ සංගීතය මගේ සිත පහන් කරයි. හද සුවපත් කරයි. අරුත්බර වදන් පෙළ ගාම්භීර කටහඬ හද කම්පනය කරයි. මේසා භාව කලම්භනයක් මනෝ රංජනයක් කල හැකි තනුවෙන් වදනින් මේ විසි එක්වන සියවසේදීත් විශ්වය නොසිස් බැවු මට පසක් වෙයි. ජයන්ත චන්ද්‍රසිරි පසෙක සිට ඒ අරුමය පිටුපසින් ඇති රහස අපහට කියාදෙයි. ඒ කාමයද නොවෙයි. මුදලද නොවෙයි. ජනප්‍රියත්වයද නොවෙයි. ආත්මාර්ථයද නොවෙයි. අප වටා බැලූ බැලූ මානයේ පිරී ඉතිරී යන ඒ කිසිවකට ඒ ආශ්චර්යය මතුකල නොහැක. එසේනම් කුමක්දැයි ඒ මාහැඟි වස්තුව! මනස සංසිඳුවන හද සුපුෂ්පිත කරවන වාණිජ ලෝකයේ දාහයෙන් අපව මුදවා තනුවක් මත අපව පාකර හරිනා ඒ පෙළහර වාදීශ කොතැනින්නම් උගත්තේද? වාදීශයන් වටකරගත් කිසිවකු එය නොදකියි. වාණිජ ලොවතුළ සිරවුනු ප්‍රේක්ෂකයන්ට එය පෙළහරකි. නමුත් සැබෑ මිනිසත්කම හඳුනන, මිනිස් හදවතක උපදිනා ආදරය, විරහව, ආධ්‍යාත්මීය උණුසුම හඳුනන වාදීෂයන්ට එය අතැඹුලකි. අපවටා කොතෙකුත් සැරිසරන අපේම මිනිසුන්ගේ ලැමට යටින් ඇති හද ගැස්ම අපි නොදකිමු. ඔවුන්ගේ දුක වේදනාව අහිංසක අව්‍යාජ මනුෂ්‍යත්වය ස්පර්ශ කිරීමට අපි නොදනිමු. කඳුලකින් සුසුමකින් පිටවී ඔහේ පාවී යන නොදන්නා නොහඳුනන අචේතනික ආත්මයක් හා අප අතර ඇති ඒකත්වය අප නොහඳුනමු. එය අපේ නොවේයැයි අපි හඟිමු. එසේ හෙයින් අපද කඳුලින්ම, සුසුමින්ම, වේදනාවෙන්ම දැවෙමින් පිළිස්සෙමින් ආත්මාර්ථයක් පතමින් වාණිජ ලොවේ හුදෙකලාව ඉබාගාතේ දිවයමු.
නමුත් වාදීශයෝ එම අධ්‍යාත්මය ඔහුගේම ලෙස හඟියි. ඒ වෙනුවෙන් මිඩංගු කිරීමට ආධ්‍යාත්මයක් අපට නොමැති වුවද ඔහුට වෙයි. ඒ අදෘශ්‍යමාන ආධ්‍යාත්මය ස්පර්ශ කරන වාදීෂයෝ ඉන් නිපන් තනුවෙන් අපව සුවපත් කරයි. අපේ අරුතින් ඔහුට හිමි නොවුනද මනුෂ්‍යත්වයේ නාමයෙන් නිපන් ආදරයක් ඔහුට හිමිවෙයි. ඒ මනුෂ්‍යත්වයේ රැළි අතර කිමිදෙන ඔහු එහි වේදනාවෙන් කඳුළින් නිපන් මුතුකැට අහුලා අප අමුවට ගෙන එයි. කාමයෙන්, මුදලින්, ජනප්‍රියත්වයෙන්, භෞතිකත්වයෙන් පරිපීඩිත වූ අපට අස්පර්ශීය ආධ්‍යාත්මයේ සුන්දරත්වය, උත්තරීතර මනුෂ්‍යත්වයේ ආශ්චර්යය, මේ මනුලොව සැබෑම සුවය සැනසුම කුමක්දැයි ජයන්ත චන්ද්‍රසිරි තිරය පිටුපස සිට කියා දෙයි.
මුණගැසෙන අවසන් අවස්ථාව මෙය වන්නට හැකිය. මන්ද ඔවුන් සසරේ දෙපසට ගමන් ගන්නා බැවිනි. මෙම මගේ ඔහු දිගටම ගමන් කලහොත් සමහරවිට දෙවු ලොවදී ජාතක කතා රචනාකල කතුතුමන් මුනගැසී විද්වත් සංවාදයක් පැවැත්වීමට ඉඩකඩ විවරවනු ඇත. පන්සිළුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් රම්බාවගේ රංගනයෙන් ඔපවත්වුනු ඔහුගේ නිර්මාණයක් නන්දන උයනේදී තිරගත වීමටද ඉඩ ඇත. තිරස්චීන දේශීය විදේශීය සිනමා සම්මාන පසුපස ඔහු දිව නොයා යුත්තේ එබැවිනි.
මෙය හුදු ප්‍රලාපයක් නොවේ. දිනෙන් දින ස්ත්‍රී දූෂණ ළමා අපචාර මිනීමැරුම් වංචාව දූෂණ ය දුරාචාරය ඔඩු දුවමින් පවතී. තැනින් තැන බණ දෙසන දේශකයානන් වහන්සේලා නොවන්නට මවු පියන් සහෝදර සහෝදරියන් නොහඳුනන එකිනෙකා ඇන කොටාගන්නා මුරුග සංඥාව මෙම සමාජයේ පහළ වී බොහෝ කල්ය. එම තත්ත්වයෙන් රට මුදවාගැනීමට අබමල් රේණුවකින් හෝ තැත් දරනුයේ කුමන කලා මාධ්‍යකින්ද? කුමන කලා කරුවා විසින්ද? ඊනියා යතාර්ථවාදී හෝ පශ්චාත් නූතනවාදී හෝ වෙනත් කුමන හෝ කලා රචනයකින් රටට හෝ මනුෂ්‍යත්වයට හෝ සිදුවී ඇති යහපත කුමක්ද? රාගයද ද්වේශයද මෝහයද උද්දීපනය කරමින් සමාජය විලම්භීත කරවීම හැර උතුරු මිනිස් ගු ණ යන් උද්දීපනය කිරීමට තැත් දරන කිසියම් හෝ කලාවක් පවතීද? එය කලාවෙහි අරමුන නොවේයැයි පවසන්නෝ මුග්ධයෝය. ඔවුහු හුදු ජනප්‍රියත්වය, මුදල, සම්මානය වෙනුවෙන් රාගය ද්වේශය මෝහය විකුණන මාර පුතුන් වෙති.
උත්තර මිනිස්කම සමාජයෙන් දුරස් කරන පමනට අධම කාමය ද්වේශය සමාජ සම්මතය බවට පත්වෙයි. අද ඇතිවී ඇති කාම රැල්ල ඊට නිදසුනකි. ඒ ස්වභාවිකත්වය නොවෙයි. සවභාවික සංයමය, තුලනය අහිමි කෙරුනු අධ්‍යාත්මයක ආන්තික ලක්ෂණයකි.
පසුගිය සාහිත්‍ය මාසයෙදී කරන ලද සමීක්ෂණයකට අනුව තවමත් පාඨකයන් අතර ජනප්‍රියතම නවකතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතියක් බව කියැවිනි. සමීක්ෂණ ක්‍රමවේදය පැහැදිලි නැතත් එම ප්‍රතිඵලයෙන් මම මවිත නොවෙමි. එම තැන ජාතක පොතට බුදු ගුණ අලංකාරයට හෝ සැලලිහිණි සංදේශයට හිමි නොවීමට හේතු පැහැදිලිය. පැරණි සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පරිබාහිරව බටහිර පන්නයේ සමාජ ක්‍රමයක් තුළ අප සමාජය යම් දුරක් රැගෙන විත් ඇත. ඒ තුළ පැරණි කලාංග අතහැරීම වටහාගත හැකිය. එම කලාංග ජනතාව වෙත සම්ප්‍රේශණය කිරීමේ මං ඇහිරී ඇත. එසේ වුවද සමීක්ෂණයෙන් පැවසෙන්නේ නව කලාංග වැළඳ ගැනීමද මද කලකින්ම අප අත් හැර දමා ඇති බවයි. එය මාර්ටින් වික්‍රමසිංහගේ දක්ෂකමක් හෝ නූතන රචකයන්ගේ අදක්ෂකමක් ලෙස නොව සමස්ථ කලාව පිළිබඳව ජන මනස තුල ගොඩනැගීඇති උදාසීනත්වය හෝ අකමැත්ත ලෙස වටහා ගත යුතුය. කලාව ජනතාවගෙන් වෙන්වන විට ජනතාව කලාවෙන් වෙන්වීම හේතු සහිතය.
රාගය ද්වේශය හෝ මෝහය ඊනියා යතාර්ථය නොවේ. එය හුදු කෘත්‍රිම ආටෝපයක් පමණකි. ආන්තික ලක්ෂණයකි. සියොලඟම වසාගත් සුජාත දියණිය හමුවේ විළි නොවැසුනු අපේ ගැහැනුන්ගේ ටෙලි විගඩම් ප්‍රතික්ශේප වන්නේ කුමන අරුමයකින්ද? සිංහල බෞද්ධ සංස්කෘතියකින්, චින්තනයකින් සුපෝෂිත ගැඹුරු විඥානයකින් හෙබි සමාජයකට ඒ ගමන් මගින් වියුක්ත වූ කලාවක් ආරෝපනය කිරීම දරුනු අනුකම්පා විරහිත අමානුශික හිංසනයකි. අද සමාජ පරිහානිය එම හිංසනයෙන් පීඩිත සමාජයේ දුක්ඛිත අඳෝනාවයි. කලාවෙන් මිනිසුන් ඈත්වනුයේ එබැවිනි.
මෑතක සිට ලහි ලහියේ කළ එළි බසින කාම කලාව මෙම වියරුව වැරදි කොනින් අල්ලා ගැනීමේ ප්‍රතිඵලයකි. එය මිනිසාට මිනිසාත් කලාවට කලාවත් අපට රටත් දැයත් අහිමි කරමින් ඛේදාන්තයකින් නිමා වනු ඇත. මෙම මගෙහි කෙලවර මනුශ්‍ය සංහතියම තිරිසන් යෝනියට ඇද දමන ලෝක විනාශයකින් කෙළවර වන අබුද්ධස්ස සමයක් පිහිටා ඇතිබව වටහාගැනීමට තරම් සිංහල බෞද්ධ ලෝක දැක්ම බලවත්ය. ජයන්ත චන්ද්‍රසිරියන් මෙම ප්‍රවාහයෙහි උඩුගම් බලා පිහිනයි. ඔහුගේ මෙම සිනමා සිත්තම මඩෙහි පිපුණු නෙළුමක් ලෙස අප වටහාගත යුත්තේ එබැවිනි.
ඔහුට දිගාසිරි!
- ඉඳුනිල් ප්‍රසන්න
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .