12/09/2013

මැන්ඩෙලාලාගේ සුසමාදර්ශය ....

කතෘ:යුතුකම     12/09/2013   4 comments

හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අභාවය ලොව ම කම්පා කිරීමට සමත්ව ඇත. විවිධ රටවල රාජ්‍ය නායකයෝ ඒ පිළිබඳ සිය ශෝකය පළ කළහ. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද ඒ අතර වූහ. ධවල මන්දිරයෙහි ඔසවා තිබූ ඇමරිකානු ජාතික ධජය මෙම මරණය වෙනුවෙන් අඩ කුඹු කෙරිණ. සී.එන්.එන් වැනි රූපවාහිනී නාලිකා සිය විකාශන කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔහුගේ මරණය වෙනුවෙන් වෙන් කළේ ය. මැන්ඩෙලා මහතාට මේ සා විශාල ප්‍රසිද්ධියක්, ගෞරවයක් ලෝකය පුරා හිමි වූයේ ඒ මහතා හිටපු රාජ්‍ය නායකයෙක් වීම නිසා ම නොවේ. ඒ මහතා සුදු වර්ණ භේද වාදයට එරෙහි ව සටන් කළ විමුක්තිකාමියෙක් විය.  මෙම සටන් හේතුවෙන් ම වසර ගණනක් සිර බත් කෑ ඒ මහතා, වර්ණභේදවාදී දකුණු අප්‍රිකානු පාලනය අවසන් කිරීම වෙනුවෙන් අනුගමනය කළ වැඩපිළිවෙල උදෙසා 1993 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබී ය. මෙසේ ලෝක ගෞරවාදරයටත්, ප්‍රසිද්ධියටත් පත් තවත් වීවරයෙකු වන්නේ ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමා ය. ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා කිහිප වරක් නිර්දේශ වූ අතර, මෙම චරිත දෙක පාදක කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපට පවා නිර්මාණය වී ඇත.

අධිරාජ්‍යවාදීන්ගෙන් ම ගෞරව සම්මාන 

මෙසේ අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පුද්ගලයන් අධිරාජ්‍යවාදී යැ යි කියන රටවල ම ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඇයි? ඊට හේතුව එම රටවල් සැබවින් ම අධිරාජ්‍යවාදී නොවීම ද? නැතහොත් අකමැත්තෙන් වුව ද ලෝක ජන මතයට හිස නැවීමට එම රටවලට සිදු වී ඇත් ද? නොඑසේ නම් මෙය එම රටවල් අනුගමනය කරන උපක්‍රමයක් ද? එසේත් නැති නම් ඊට හේතුව මැන්ඩෙලා, ගාන්ධි වැනි පුද්ගලයින් සැබවින් ම අධිරාජ්‍ය විරෝධී නොවීම ද? බටහිර අධිරාජ්‍යවාදයට නතු වූ බොහෝ රටවල නිදහස් සටන් ඇති වන්නට ඇත. එම නිදහස් සටන් වලට සම්බන්ධ බොහෝ වීරවරයින් සිටින්නට ද ඇත. එහෙත්, ඒ සෑම විරුවෙක් ම මෙසේ ලෝක මට්ටමෙන් ගෞරවාදරයට පාත්‍ර නොවන්නේ ඇයි? මේ ආකාරයට පුගලයින් කිහිප දෙනෙකු පමණක් ලෝක මට්ටමේ වීරවරයින් බවට පත් වීමේ රහස කුමක් ද? මෙම නායකයින් සමග සංසන්දනය කිරීමේ දී අපේ රටේ අනගාරික ධර්මපාල තුමා, කැප්පෙටිපොල නිලමේ තුමා, වීර පුරන් අප්පු වැනි වීරවරයන්ට හිමිවන තැන කුමක් ද? ඔවුන් අප රටේ නිදහස වෙනුවෙන් සිදු කළ කාර්යභාරය කෙබඳු දමෙම ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට ප්‍රථම බටහිර අධිරාජ්‍යවාදයේ ස්වභාවය තේරුම් ගැනීම අත්‍යාවශ්‍යය බව අපේ විශ්වාසය යි.


අධිරාජ්‍යවාදී සුසමාදර්ශයේ වෙනසක්....


බටහිර අධිරාජ්‍යවාදය ප්‍රධාන සංරචක තුනක් ඔස්සේ ක්‍රියාත්මක වේ. දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යනු එම සංරචක තුන වන අතර මේවා එකිනෙකින් ස්වායත්තව (වෙන් වෙන්ව) නොපවතී. මේවායින් එකඳු හෝ සංරචකයකට යටත් වූ රටක් සෙසු සංරචක දෙකට ද යටත් වීම ස්වභාවය යි. මේ අනුව, අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම යනු, මෙම සංරචක තුනෙන් ම නිදහස් වීම මිස එකකින් හෝ දෙකකින් හෝ නිදහස් වීම නොවන බව අවධාරණය කළ යුතු ය. මෙකී අධිරාජ්‍යවාදය වර්තමානය වනවිට කෙසේ ක්‍රියාත්මක වේ දැ යි අනගාරික ධර්මපාල තුමා කල් තියා ම දුටු බව එතුමා විසින් කරන ලද මෙම ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. "මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි. ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ." අද වන විට බටහිර ජාතීන්ගේ ඍජු යටත් විජිත ඇත් නම් ඒ අතලොස්සක් පමණි. එසේ නම් ධර්මපාල තුමා මේ ඉඟි කරන්නේ බටහිර යටත් විජිතවාදයේ අනාගත සුසමාදර්ශයක් (පැරඩයිමයක්) ගැන ය. අප එයට නව යටත්විජිතවාදයකැ යි නොකියන්නේ, මුල් යටත්විජිතවාදයේ ම දිඟුවක් ලෙස හඳුනා ගන්නා බැවිනි. මෙම දිඟුව නොහොත් වෙනස ඇති වීම ප්‍රමාද වන්නේ සුද්දන් නොමැතිව වුව ද ඔවුන්ගේ කාර්යය මෙරට දී ඉටු කළ හැකි ආකාරයේ සැලකිය යුතු ස්වදේශිකයින් පිරිසක් සිය යටත් විජිත වල බිහිවන තෙක් ය. මෙම සුසමාදර්ශීය වෙනස දකුණු ආසියානු කලාපය තුළ ඇති වන්නේ 1940 දශකය අග දී ය. සාමාන්‍යයෙන් ඕනෑ ම ක්ෂේත්‍රයක ඇති වන සුසමාදර්ශීය වෙනසක දී සිදු වන්නේ, එම වෙනස පැරැන්නන්ගේ නොසතුටටත්, තරුණයන්ගේ ආකර්ෂණයටත් ලක් වීම ය. මෙම අධිරාජ්‍යවාදී සුසමාදර්ශය ද ඉන්දියාවේ පහළ වන විට ඇති වූ එකී ප්‍රතිරෝධයකට එරෙහි සටනකට ය මහත්මා ගාන්ධි තුමා නායකත්වය ලබා දෙන්නේ. ගාන්ධි තුමාගේ ව්‍යාපාරය වියපත් බටහිර නායකයන්ගේ නොසතුටට හේතු වන්නට ඇතත්, තරුණ නායකයන්ගේ සතුටට, ප්‍රසාදයට හේතු වූවාට සැක නැත. මේ අනුව, දකුණු ආසියානු කලාපය තුළ අධිරාජ්‍යවාදයේ සුසමදර්ශීය වෙනසකට මුල පිරූ ගාන්ධි තුමා බටහිර ලෝකයේ වීරවරයෙකු ලෙසත්, ලෝක ආධිපත්‍යය බටහිරයන් සතු වීම හරහා ලෝක මට්ටමේ වීරවරයෙකු ලෙසත් ඉතිහාස ගත වී ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල් ද මේ අසන්න කාලයක දී අධිරාජ්‍යවාදයෙන් ඊනියා නිදහසක් (මෙහි දී අප ඊනියා යන්න විශේෂණ පදයක් ලෙස යොදා ගන්නේ, සැබවින් ම අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමක් එහි දී සිදු නොවුන බැවිනි. එහෙත් පහසුව තකා මින් ඉදිරියට විශේෂණ  රහිතව නිදහස යන වචනය ම භාවිත කර ඇත.) ලැබුව ද, අප්‍රිකානු කලාපයේ රටවල තත්ත්වය මීට වෙනස් විය. මෙම කලාපයේ බොහෝ රටවල් මෙම නිදහස ලබන්නේ මීට වසර ගණනාවකට පසුව ය. ඊට හේතු වන්නේ, එම රටවල මෙම නව සුසමාදර්ශය ඇති වීම පිණිස අත්‍යාවශ්‍ය සාධකයක් වූ "කළු සුද්දන් පිරිස" නිසි ආකාරව බිහි වීම ප්‍රමාද වීම ය. මෙම ප්‍රමාදයට හේතු වන්නට ඇත්තේ බටහිර අධ්‍යාපනය මෙම රටවල දී ආසියාතික රටවල තරම් සාර්ථක නොවීම විය හැකි ය.


දකුණු අප්‍රිකාව හෙවත් නොමේරූ දරුවා

ආසියානු, අප්‍රිකානු කලාපයේ සෙසු රටවල් සමග සංසන්දනය කිරීමේ දී දකුණු අප්‍රිකාවේ තත්ත්වය ඉඳුරා ම වෙනස් එකක් විය. දකුණු අප්‍රිකානු රාජ්‍යය බිහි වීම ම මෙම නව සුසමාදර්ශය තුළ නොමේරු දරුවෙකු බිහි වීම වැනි ය. එම රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන්නේ 1931 දී ය. ඒ, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සුදු ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් නිදහස ලැබීමත් සමග ය. ඊට හේතු වන්නේ දකුණු අප්‍රිකාවේ ද එකී රටවල මෙන් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත සුදු ජනයා සැලකිය යුතු ප්‍රමාණයක් වාසය කිරීම ය. මේ අනුව,මෙම නිදහස ලබා දීමේ දී දකුණු අප්‍රිකාවේ පාලන බලය හිමි වන්නේ ස්වදේශික සම්භවයක් සහිත කළු ජාතිකයන්ට නොව මෙම සුදු ජාතිකයන්ට ය. ඉන් අනතුරුව, බහුතරය ස්වදේශීය සම්භවයක් සහිත කළු ජාතිකයන් ගෙන් සමන්විත වූ  රටක සිය පාලන බලය රැක ගැනීම උදෙසා සුදු ජාතිකයන් ගත් උත්සාහය යි වර්ණභේදවාදය ලෙස දකුණු අප්‍රිකාවේ දී ඉස්මතු වූයේ. මුල සිට ම වර්ණභේදවාදී ප්‍රතිපත්තියක් දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාත්මක වුව ද, නිදහසින් පසුව සුදු ජාතික ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් ප්‍රතිපත්ති මගින් පැහැදිලි වන්නේ අනාගත "කළු සුද්දන්ගේ" පරපුරක් බිහි වීම වැලක්වීමට ඔවුන් උත්සහ කළ බවකි. පල්ලිය මගින් පවත්වා ගෙන ගිය කළු ජාතිකයන්ට වෙන් වූ පාසල් වලට ලබා දුන් ප්‍රතිපාදන 1950 දශකයේ දී කපා හැරීම මේ සඳහා උදාහරණයක් ලෙස ගත හැකි ය. කෙසේ වෙතත්, මේ වන විට බ්‍රිතාන්‍යයන් ගෙන ගිය ආකාරයේ ම පාලනයක් ගෙන යා හැකි කළු ජාතිකයන් පිරිසක් එරට බිහි වෙමින් සිටි අතර, අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ලෙස ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වන්නේ මෙම පරපුර යි. මැන්ඩෙලා මහතා නායකත්වය ලබා දෙන්නේ එම පරපුරට යි. ඔහු සටන් කරන්නේ දකුණු අප්‍රිකානු සුදු රජයේ වර්ණභේදවාදී ප්‍රතිපත්ති වලට එරෙහිව ය. ඔහු සිර ගත වන්නේ සුදු ජාතික ආණ්ඩුව පෙරලීමට ගන්නා උත්සාහ නිසා ය. අධිරාජ්‍යවාදයේ නව සුසමාදර්ශය 1970-80 දශක වන විට ලෝකය පුරා ස්ථාපිත වී තිබූ අවස්තාවක, එය දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාත්මක නොවීම කෙරෙහි බලපාන එරට සුදු ජාතික රජයේ ක්‍රියා කලාපය බටහිර රටවල ම දෝෂදර්ශනයට ලක් වීම ස්වභාවික ය. මෙම සුසමාදර්ශය සිය රටෙහි ස්ථාපිත කිරීමවෙනුවෙන් සටන් වදින මැන්ඩෙලා මහතා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වීරවරයෙක් වීම ද මේ අනුව ස්වභාවික ය. එම අධිරාජ්‍යවාදයට නතු වූ ලෝකයක එවැන්නෙක් ලෝක මට්ටමේ විරුවෙක් වීම ද ස්වභාවික ය. 

 විසංවාදී නිදහස් සටන් 

සාමාන්‍යයෙන් ආක්‍රමණිකයෙක් සිය යටත් විජිතයන්හි සිය ආධිපත්‍යය පතුරුවන්නේ එක්කෝ බලහත්කාරයෙනි. නැති නම් රැවටීම මගිනි. එවන් ආක්‍රමණිකයෙකුගෙන් සාමකාමීව නිදහස ඉල්ලීම ම විසංවාදී ය. එහෙත්, මැන්ඩෙලා මහතා සහ ගාන්ධි තුමා යන දෙදෙනාගේ ම සටන් සාමකාමී සටන් වූ බව පැවසේ. මේ දෙදෙනා ම දැන් හෝ නොදැන හෝ සිදු කර ඇත්තේ, අධිරාජ්‍යවාදයේ නව ගමන් මග කෙරෙහි ඇතැම් යටත්විජිතවාදයේ පැරණි ආකල්ප දැරූ නායකයන්ගෙන් එල්ල වූ බාධා වලට එරෙහිව සටන් වැදීම ය. තරුණ යටත්විජිතවාදීන්ගේ අභිලාෂයන් ඉටු කිරීමකි. තව ද, මේ දෙදෙනාගේ ම සටන් වල දී යටත්විජිතවාදයේ "සංස්කෘතික" සංරචකය ඉස්මතු නොවීම ද කැපී පෙනෙන ලක්ෂණයකි. අප්‍රිකානු රජ පෙළපතකින් පැවත එන මැන්ඩෙලා මහතා සිය රජ පවුලේ නැති වූ උරුමය වෙනුවෙන් පෙනී සිටියේ නැත. මිෂනාරි පාසල් හරහා අප්‍රිකානු දරුවන් ක්‍රිස්තියානිකරණය වීම ගැන කතා කළේ නැත. දේශීය ආර්ථිකයක් ගැන කතා කළ ගාන්ධි තුමා දේශීය සංස්කෘතිය රැකීමක් ගැන කතා නොකළේ ය. මේ දෙදෙනා ම ඉල්ලා සිටියේ බටහිරයන් විසින් සිය රටවල ස්ථාපිත කරන ලද පාලන ක්‍රමය තුළ ස්වදේශිකයන්ට හිමි තැන ලබා දෙන ලෙස ය. මෙවැනි නායකයන් අප රට තුළ ද සිටි අතර, ඔවුන් ලෝක මට්ටමේ නායකයන් නොවීමට එකම හේතුව මැන්ඩෙලා, ගාන්ධි වැනි නායකයින්ට සාපේක්ෂව ඔවුන්ගේ ප්‍රතිභාවේ අඩු කම යි. පසු ගිය සියවස මුල දී ඔවුන් විසින් ඉටු කළ මුල් ම කාර්ය භාරය වූයේ, ධර්මපාල තුමා විසින් මෙරට ගොඩ නඟන ලද, ප්‍රධාන වශයෙන් සංස්කෘතික සංරචකය මුල් කර ගත් සටන අඩ පණ කිරීම යි. මහජනයා අතර බෙදා හරින ලද "ධර්මපාල අර්බූදය" නම් පත්‍රිකාවක් මගින් ධර්මපාල තුමාට අපහාස කිරීමට උත්සාහ කිරීම මීට උදාහරණයක් වේ. මෙම උත්සාහය පිටුපස සිටියේ බ්‍රිතාන්‍යයෙන් ම නයිට් නාම දිනූ ඩී.බී. ජයතිලක මහතා බව එකළ ප්‍රකට වී ඇති කරුණකි. 
ගෝත්‍රික කැරලිකරුවා 

ධර්මපාල තුමාගේ සංස්කෘතික සංරචකය මුල් කර ගත් ව්‍යාපාරය එකල දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට නොහැකි වීම අප රටේ අභාග්‍යයකි. අපේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය බ්‍රිතාන්‍ය පාලන යුගයේ මුල් අවධියේ දී ම විනාශ කිරීමත්, පසුව මිෂනාරි පාසල් ඔස්සේත්, එම අච්චුවේ ම බෞද්ධ පාසල් ඔස්සේත් බිහි වූ නායකත්වය ධර්මපාල විරෝධී වීමත් ඊට හේතුව යි. මේ නිසා ම 1848 න් පසුව අපේ රටේ නිදහස් සටන් (අධිරාජ්‍යවාදීන්ගේ වචන වලින් ම කියන්නේ නම් "කැරළි") ඇති වී නැත.  එසේම, අන් රටවල ද මෙවැනි නිදහස් සටන් සිදු කළ වීරවරයින් සිටින්නට ඇත. එහෙත්, එම වීරවරයින්ට බටහිර නායකයන්ගේ, බටහිර ජන මාධ්‍ය වල සහ හොලිවුඩ් චිත්‍රපට කරුවන්ගේ ප්‍රසාදයක් හිමි නොවන්නට ද ඇත. ඒ නිසා ම ඔවුන් කිසිවෙකු නොදත් ක්ෂුද්‍ර මට්ටමේ "ගෝත්‍රික කැරළි කරුවන්" බවට පත් වන්නට ඇත. වාසනාවකට කැප්පෙටිපොල, වීර පුරන් අප්පු, අනගාරික ධර්මපාල වැනි වීරවරයින් අපේ ජන හදවත් තුළින් තව ම ගිලිහී නැත.




  - දුලන්ජන් විජේසිංහ

www.yuthukama.com


, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. නෙල්සන් මැන්ඩෙලා බටහිරයන්ට අවැසි සුසමාදර්ශයක් තුළ සිටි බව සබෑවකි. ඔහු එම සුසමාදර්ශය තුළ සිටගෙන බටහිරයන්ට අභියෝග කළේය. නමුත් එම රාමුවෙන් ඔහු පිටු පැන්නේ නැත යන්න නිදොස් යයි සිතමි. අද අප දකින බොහෝ කළු සුද්දන්ට, සුද්දන්ට අභියෝග කරනු තබා සුද්දන්ව හරියට කොපි කරගන්නටද බැරිය. කොටින්ම ඔවුන් “අසාර්ථක කළු සුද්දන්ය”. ඒ අනුව මැන්ඩෙලා සාර්ථක කළු සුද්දෙකි. අපේ රටේ සාර්ථක කළු සුද්දන් ඉතා අල්පය. මැන්ඩෙලා බටහිරයන්ගේ සුසමාදර්ශය තුළ සිර වීම නිසා අදත් දකුණු අප්රිකාවේ බහුතර කළු මිනිසුනට සිදුව ඇත්තේ දෙවන පුරවැසියන් සේ ජීවත් වීමටය. මැන්ඩෙලා කෙනෙකු නොසිටියා නම් ඒ අඩුව, සුසමාදර්ශයට පිටින් ගොස් විසදීමට තැත් දරන්නන් බිහි වන්නට ඉඩ තිබිනි. එසේ වූවා නම් එම සටන් ඇතැම් විට පරාජය වන්නට ද ඉඩ තිබිනි. දැන් නම් දකුණු අප්රිකාවේ කළු ජාතිකයන් කොහොමටත් පරාජය තමන්ගේ උරුමය ලෙස බාර ගෙන සිටින්නන් නොවේද? ඔවුන්ට නිවහල් සිතක් ඇති බව සිතීමට අපහසුය..මැන්ඩෙලා එයට වග කිව යුතුද?

    ReplyDelete
  2. මෙහිදි අප සිහි කර ගත යුතු තවත් කරුණක් ඇත. මැන්ඩෙලා මෙන්ම ගාන්ධිද දේශානුරාගී මිනිසුන්ය. කළු සුද්දෙකුට දේශප්රේමියකු විය හැකිය. නිවට කළු සුද්දකුව යම් රටක් තුළින් මතු කර ගත නොහැකි වූ කළ, සුද්දන් ගනුදෙනු කිරීම සඳහා කැමති සහ තෝරාගන්නේ එවැනියන්ය. ඔවුහු දේශප්රේමීන් වුවුද ඔවුන් කටයුතු කරනුයේ සුද්දාගේ රාමුව තුළය. ඔවුන් සමඟ ගනුදෙනුවකට සුද්දා සූදානම්ය. එය සුද්දා හොදින් දන්නා ආකාරයේ තමා විසින්ම නීති සකසන ලද තරඟයකි.
    මැන්ඩෙලා සහ ගාන්ධි එකම ආකාරයෙන් දැකිය හැකිද යන්න නොදනිමි.
    දකුණූ අප්රිකාවෙන් ආදර්ශය ගෙන සාදන ලද අපේ LLRC වාර්තාවද කළු සුද්දන්ගේම ක්රියා මාර්ගයකි. සුද්දන් මෙම වාර්තාවට ආසය. අපි ආසා නැත. අපට මෙය සුද්දාට පෙන්වීමට සාදාගත් ලියවිල්ලක් සහ වැඩපිලිවෙලක් පමණි. එහෙත් අපි එය පිළියෙල කොට සුද්දාගේ රාමුව තුළ සිරවීමට එකග වී සිටින්නෙමු. සුද්දා අකැමැති ආකාරයේ ජයක් නම් අපට එම රාමුව තුළ සිටිමින් ලබා ගැනීම සිහිනයකි. මැන්ඩෙලාගෙන් අප උගත් පාඩම එය විය යුතුව තිබිනි.
    එම රාමුවට පිටින් ගිය ලෝක නායකයෝ බොහොමයක් අකාලයේ මරු දුටුහ. මෑතකදී බොහෝ අයට පිළිකා වැළදිනි. පිදෙල් කැස්ත්රෝ කිසි දිනක බටහිරයනට වීරයකු නොවනවා පමණක් නොව, ඔහු දුෂ්ටයකුද වනු ඇත. අනගාරික ධර්මපාලතුමා අපේ රටේ පොදු ජන හදවත් තුළින් නොමැකෙනු ඇත. එහෙත් මෙරට ලොකු කළු සුද්දන්ට එතුමා ජාතිවාදියෙකි. පොඩි කළු සුද්දන් එතුමාගේ එතරම් වැදගත්කමක් නොදකිනු ඇතිය.

    ReplyDelete
  3. ඇත්තටම අපේ රටේ උනේ ධර්මපාල තුමා ගෙනගිය වැඩපිළිවෙල වෙනත් ඒ හා සමාන (නමුත් අවබෝධයෙන් තොර ) වැඩපිළිවෙලකින් යටපත් කිරීමයි. මහදුරු නලින් සිල්වා මෙයට කියන්නේ ඕල්කට් බුදුදහම (සංස්කෘතිය) කියලයි. ඒක තමයි ඇත්තටම එදා උනේ. අපේ රටේ අද වනවිටත් තිබෙන ප්‍රදාන අඩුව තමයි පානදුරාවාදයෙන් ධර්මපාලතුමාට ලැබුන අවබෝධය හෝ එහිදී සාකච්චාවට ගත් කරුණු සමාජගත නොවීම. අපි එයට සම්බන්ධ පුද්ගල නාම, ස්ථානය, වර්ෂය ආදිය කටපාඩම් කරන එක විතරයි කරන්නේ. ධර්මපාලතුමා ගැන උනත් අපි දන්නේ ඔය ප්‍රසිද්ධ කියමන සහ ගෙරිමස් කන්න එපා කියපු එකයි විතරයි නේද?. නියම බෞද්ධ දර්ශනය පිළිබඳව නිවැරදි අවබෝදයක් ලැබුනොත් අදත් ධර්මපාලතුමන්ලව ඇතිකරගැනීම කරන්න බැරිදෙයක් නෙවෙයි. මහදුරු නලින් සිල්ව වැන්නන් කරන්නේ මෙයයි. නමුත් එයත් බොරු බෞද්ධ සංස්කෘතියක් (නියම දෙය ගැන අවබෝධයෙන් තොරව) ගැන කියන්නන් යටපත් කරමින් සිටී. වකුගඩු රෝගය හරහා නැවත අපට සංස්කෘතික නිදහසකට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇත. කෙටි කලින් ඉක්මන් විසදුම්ද අවශ්‍ය උවත් එමගින් නියම නිදහස ලැබීමේ මාර්ගය අවහිර නොවිය යුතුය. නමුත් අද එවැන්නක් සිදුවෙමින් පැවතීම මැන්ඩෙලා ගැන කතාකිරීමට වඩා අපගේ අවදානයට යොමුකරගැනීම වටින්නේය යන්න මගේ අදහස වේ.

    ReplyDelete
    Replies
    1. this video is an interesting one on Mendela

      https://www.youtube.com/watch?feature=player_embedded&v=T7HyuLPWF9I

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com