වසර තිස් පහකටත් පෙරදි සිදු වූ දෙයක්
(පේරාදෙනිය විශ්ව විද්‍යාලය පසුබිම් කොට ලියා ඇති මේ කවි පන්තියේ එලිස් එක යනුවෙන් හඳුන්වා ඇත්තේ වෛද්‍ය ශිෂ්‍යයන් විසින් භාවිතා කරණ 'හැරල්ඩ් එලිස්' ගේ 'ක්ලිනිකල් ඇනටොමි' නමැති පාඩම් පොතයි )
'දුටුවාද දේවෙ උඹ
එලිස් එක එහෙම මගෙ
මේසෙ උඩ තියල ගියෙ
උදේ ලෙක්චස් යද්දි'
'කොහේ හරි ඇති ඕක
හොඳට බලපං හොයල'
කීවෙමිය ගොඩයාට
නොමුදා ම පොතින් නෙතු
'දැක්කෙ නෑ දවසටම
සුමනයව තවම මම
ඇසෙස්මන්ට් එක හෙටයි
වගක්වත් නෑ ඌට'
කියන කොටමයි සුමනෙ
වැදුනෙ කාමරෙ තුළට
ගීයකුත් මුමුණ ගෙන
බඹර පදමට වැදිල
'කරක් ගැහුවා නුවර
හවස් වරුව ම ඔහේ
දෙකක් දා ගත්ත බං
ඩෙවොන් එකෙ කන ගමං
'අතේ පිච්චිය නැතිව
අඬ අඬා හිටි උඹට
කොහෙන් ලැබුනද සල්ලි
අඩි ගහන්නට කන්න'
'විකුණුවා මං උඹගෙ
එලිස් එක ෆ්‍රෙෂෙකු හට
දෙසීයක් ලැබුන මට
හැටක් ඉතුරුයි උඹට'
මතක නෑ වදන් මට
ගොඩයගේ මුවින් නැගි
මතක තිබුනා වුනත්
ලියන්නට බෑ මෙතෙන
වසර තිස් පහකටත්
පෙරදි සිදු වූ දෙයක්
සිහිවුනේ මට මෙදින
පුවත් නරඹන අතර
විකුණනා අයුරු දැක
වරායක් නොරටනුට'
මතක නෑ වදන් මට
ගොඩයගේ මුවින් නැගි
මතක තිබුනා වුනත්
ලියන්නට බෑ මෙතෙන
වසන්ත දේවසිරි
2017.12. 09
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .