5/30/2025

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු මැයි දින රැළිය

කතෘ:යුතුකම     5/30/2025   No comments

ජාතික ජන බලවේගය 2024 වසරේ දී විශාල ජනතා ආකර්ෂණයක් දිනා ගත් නව දේශපාලන ප්‍රවාහයකි. ඒ වන විට සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වෙත එල්ල වූ අප්‍රසාදය සුලු පටු නැත. එහි දී ජනතාවට තිබූ විකල්පය ජාතික ජන බලවේගය යි. එහි තිඹිරිගෙය ජනතා විමුක්ති පෙරමුණ යි. එහි වූ මධ්‍යගත ක්‍රමවේදය හා මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටිවාදය ජාතික ජන බලවේගය තුළ දක්නට නොමැති අතර, ඒ වූ කලී එක්තරා ආකාරයක ප්‍රොතෙස්ත්‍රන්ත හෙවත් ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස හදුනා ගැනීම වඩා සුදුසු ය. ඒ ප්‍රතිසංස්කරණවාදි ලිහිසි ප්‍රතිපදාව ම ජාතික ජන බලවේගයේ පරිහානියේ මූල බීජය ලෙස හදුනා ගත හොත් එහි ඇති වරදක් නැත.

ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිටුවා මාස හයක් ගිය තැන, සිය පිරිහීම නිරූපණය කරන මට්ටමකට පත්ව තිබේ. එහි ප්‍රථම ලිට්මස් පරික්ෂාව පළාත් පාලන ඡන්ද විමසීම විය හැකි ය. ධාතු වන්දනාව හුදු බුද්ධාලම්බන ප්‍රීතියකට වඩා දේශපාලන අරමුණු වලින් සමන්විත වූවක් බව බැහැර කළ නොහකි ප්‍රවාදයකි. මැයි දින සැමරුම ද සිය දේශපාලන ශක්තිමත් බව නිරූපනය කිරීමට යොදා ගත් ප්‍රදර්ශනවාදි හුදු අලංකාරිකයක් පමණි. පෙර අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිවල පැවැති දැඩි සංවිධානාත්මක බව, විනය, සටන්කාමීත්වය වෙනුවට ආණ්ඩු බලය ගත් ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින සැමරුම ආණ්ඩු බලය පැවැති ඉකුත් සමයන්හි එක්සත් ජාතික පක්ෂය හෝ පොදුජන පෙරමුණ හෝ පවත්වන මැයි දින බජව්වක් හා සමාන ම වූයේ ය. ජාතික ජන බලවේගයේ නායකත්වය මෙම පිරිහීමට සෘජුවම සහ පූර්ණ වශයෙන් වග කිව යුතු ය. පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය පරිපාලනය කරන ටිල්වින් සිල්වාට ප්‍රතිසංස්කරණවාදී, මධ්‍ය-දක්ෂිණාංශික ජාතික ජන බලවේගය පාලනය කළ නොහැකි බව පැහැදිලි ය. පක්ෂයේ පදනම වු 3% දැඩි සෝදාපාලුවකට ලක්ව තිබෙන බව නිරූපණය වන්නේ ජාතික ජන බලවේගයේ විසූක දස්සන සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරය නිරීක්ෂණය කරන විට ය. ජනතා විමුක්ති පෙරමුණ යනු විනයවාදී දේශපාලන ව්‍යාපාරයකි. නමුත් ජාතික ජනබලවේගය වෙතින් එම සංවිධිත විනයවාදී බව කිසි ලෙසකින් හෝ ප්‍රදර්ශනය නොවේ. ඔවුන්ට විනය යනු කොඩිවිනයකි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ නවත්වා ආහාර ගැනීම සහ මළ-මුත්‍ර කිරීම ජන බලවේග ක්‍රියාකාරින්ට අරුම නොවන්නට පුළුවන. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කාඩරය වෙතින් මෙවැනි අවිනීත දේ කිසි ලෙසකින් හෝ අපේක්ෂා කළ නොහැකි ය. පැලවත්ත කාර්යාලයේ විනය හා සංයමය ජාතික ජන බලවේගයේ පෑල දොරින් පලා ගොස් ඇති බව පැහැදිලි ය. ටිල්වින් සිල්වාගේ පැලවත්ත කාර්යාලය දැන් මොනශොවික් (ජනප්‍රිය නොවු, කුඩා කණඩායම යන අර්ථය) පාර්ශවය වී ඇත. අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේග බොල්ෂෙවික් පාර්ශවය (ජනප්‍රියවාදී බහුතර කණ්ඩායම) ටිල්වින් පෙරලා ගෙන ඉදිරියට යමින් සිටී. එහෙත්, ඒ ගමන කෙටි බව නම් පැහැදිලි ය. ඒ තුළ විනීතකම සහ විනය නැත. එය ම ජාතික ජනබලවේගයේ ගමනක නිමාවක ආරම්භය වීමට පුළුවන.


යුතුකම 2025 මැයි කලාපයේ පළවූ පාඨක ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

පුංචි ඡන්දේ පණිවිඩේ ...

කතෘ:යුතුකම     5/30/2025   No comments

2025 පළාත් පාලන ඡන්දය නිමා විය. අවසාන ඡන්ද ප්‍රතිපලය අනුව පාලක ජාතික ජන බලවේගය සමස්ත වලංගු ඡන්දවලින් ඡන්ද 4,503,930 ක් ලබා තිබුණි. එය ඡන්ද ප්‍රතිශතයක් ලෙස 43.26% කි.

කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 339 ක් වෙනුවෙන් සභිකයන් පත් කර ගැනීම සඳහා පැවති මෙම මැතිවරනයේදී සමස්ත ඡන්ද දායකයන් අතරෙන් 61.88% ක් හෙවත් ඡන්ද දායකයන් 10,616,087 ක් ඡන්දය පාවිච්චි කොට තිබූ අතර ඉන් ඡන්ද 205,277 ක් අවලංගු ඡන්ද වූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඡන්දය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 49 කින් සහ ස්වාධීන කණ්ඩායම් 257 කින් අපේක්ෂකයන් 75,589 ක් නාම යෝජනා ලබා ගෙන තිබුණි. මේ අනුව බලන කල දළ වශයෙන් සෑම ඡන්ද දායකයන් 138 දෙනෙකුට අයෙක් ඡන්ද අපේක්ෂකයෙක් ලෙස කිනම් හෝ දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සම්බන්ධ වී තිබුණි.

ඒ අනුව මෙම ඡන්ද ප්‍රතිපලය රටේ ජාතික දේශපාලන මතවාදය මත පමණක් රඳා නොපැවති බවත්, එක් එක් ඡන්ද අපේක්ෂකයාගේ පෞද්ගලික සම්බන්ධකම් සැළකිය යුතු බර තැබීමකින් මෙම ඡන්ද ප්‍රතිපලය වෙත බලපා ඇති බවත් අප වටහා ගත යුතුව ඇත. මෙම ඡන්දයේදී පළාත් පාලන ආයතන සඳහා තෝරා පත් කොට ගත යුතු සභික ධූර 8,793 න් සභිකයන් 374 ක්ම පත් වී ඇත්තේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමිනි. පෞද්ගලික සම්බන්ධතා සහ ග්‍රාමීය සංවිධාන මෙම මැතිවරණය තුළ කොතරම් වැදගත් කාර්‍යභාරයක් ඉටු කොට ඇත්ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා මෙය හොඳ නිදර්ශකයකි. දේශපාලන අදාළතාවය පිළිබඳව සළකා බලන කල්හි 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණය වූ 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල සමඟ සන්සන්දනය කිරීමේ වටිනාකම අල්ප ය. එහෙත් 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සමඟ මෙම නව මැතිවරණ ප්‍රතිපලය සන්සන්දනාත්මකව තැබීමෙන් රටේ අනාගත දේශපාලන දිශානතිය පිළිබඳව යම් අදහසක් මතු කර ගැනීමට අප හට හැකි වේ.

2024 සැප්තැම්බර් මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ ඡන්ද 5,634,915 ක් ලබා ගනිමිනි. ඉන් මාස 2 කට පසුව පැවති මහා මැතිවරණයේ දී සිය ඡන්ද සංඛ්‍යාව 6.863,186 දක්වා ලක්ෂ 12 කින් පමණ වැඩි කර ගැනීමට එම පක්ෂය සමත් විය. එහෙත් ඉන් මාස 6 කට පසුව පැවති පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයට ලබා ගත හැකි වී ඇත්තේ ඡන්ද ලක්ෂ 45 ක් පමණි. එනම් ජනාධිපතිවරණයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා ඡන්ද ලක්ෂ 11 ක් අඩු වී ඇත.

අනෙක් සියළු ජාතික දේශපාලන පක්ෂ විසින් පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණයේදී සිය ඡන්ද පදනම ඉහළ නංවාගෙන ඇති පසුබිමක පාලක ජාතික ජනබලවේගයේ ඡන්ද සංඛ්‍යාව පමණක් මෙලෙස සීඝ්‍රයෙන් පහළ බැසීම සුළු කොට තැකිය හැකි නොවේ. ජාජබ ට හිමි වූ ඡන්ද ප්‍රමාණය අඩු වීමෙහිලා කරුණු 2 ක් බල පා ඇති බව අපගේ නිරීක්ෂණයයි.

ඉන් පළමු කරුණ වන්නේ ජාජබ ය විසින් ගමට ඉදිරිපත් කළ අපේක්ෂකයන් ගම තුළ එතරම් ජනප්‍රිය අයවලුන් නොවීමයි. මේ හේතුවෙන් අනෙකුත් පක්ෂ විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයන් හට සිය පෞද්ගලික සම්බන්ධතාවයන් භාවිතා කරමින් තම තමන්ගේ ඡන්ද ගොඩවල් වැඩි කර ගැනීම සඳහා අවස්ථාව සකස් කර ගැනීමට හැකි විය. දෙවෙනි කරුණ වන්නේ ජාතික දේශපාලන වේදිකාව තුළ ජාජබ ය මුහුණ දෙමින් සිටින පසුබෑමයි. බලය ලබා ගැනීමට පෙර ජාජබ ය විසින් තමන් ඉදිරියේදී ක්‍රියාවට නංවනවා යැයි සපථ කළ වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට නොහැකි වීම තුළ ජාජබ යේ පදනම දෙදරා යමින් පවතී. බලයට පත් ඕනෑම රජයක් ස්වාභාවිකවම මුහුණ දෙන ප්‍රතිරෝධය තුළ මෙම තත්ත්වය දිනෙන් දින ඉහළ යනවා විනා පහළ යෑමක් නම් සිදු නොවන බව කිව හැකිය.

මෙම ඡන්දයේදී කැපී පෙනෙන ලෙස සිය සිය ඡන්ද ප්‍රතිශතය ඉහළ නංවා ගත් දේශපාලන පක්ෂය වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. 2024 ජනාධිපතිවරණයේදී එම පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 06 ක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට 2025 පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂය සමත් වී ඇත. මෙය තමන් ලැබූ විශාල ජයක් ලෙස හුවා දැක්වීමට එම පක්ෂය ඉක්මන් වී ඇතත් එහි යථාර්ථය එය නොවේ. 2018 දී පැවති අවසාන පළාත් පාලන මැතිවරණයේදී සමස්ත සභික සංඛ්‍යාවෙන් 38% ක් හෙවත් 3,369 ක් පත් වූයේ පොහොට්ටුව ලකුණිනි. මේ අතරින් අති බහුතරය මෙවර ද පොහොට්ටුව ලකුණ යටතේ තරඟ වැදුණි. බලයේ සිටි කාලය තුළ පළාත් පාලන සභිකයන් ලෙස තම තමන්ගේ ගම්මානවල ජනතාව වෙනුවෙන් යම් යම් උදව් උපකාර සිදු කිරීමට අනිවාර්යෙන්ම මේ පිරිසට හැකියාව ලැබුණි. පාරට ලයිට් එක දමා ගැනීමේ සිට රැකියා 100,000 වැඩපිළිවෙල යටතේ රැකියා ලබා දීම දක්වා වූ මෙම උදව් උපකාර හේතුවෙන් තම තමන් වටා පෞද්ගලික ඡන්ද සීයක් හමාරක් රැස් කර ගැනීමට මෙම පිරිස සමත් වී තිබෙන බව අමුතුවෙන් නොකිවමනාය. ඒ අනුව පොහොට්ටුව මෙවර වැඩි කරගත් ඡන්ද ලක්ෂ 06 න් 75% කට වඩා වැඩි ගොඩ පොහොට්ටුව යැයි සළකා බලා ඡන්දය ප්‍රකාශ කළ අයවලුන් නොවන බවත්, ඒ ඒ අපේක්ෂකයා වටා රැස් වූ පිරිසක් බවත් සඳහන් කළ යුතු ය.

මෙම ඡන්දයේ ජයග්‍රාහකයා වනුයේ දෙමළ බව කතා කරන ජන කොටස්වල වාර්ගිකත්වය මත පදනම් වූ පක්ෂ වන බව අපගේ නිරීක්ෂණයයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රටේ ජාතික දේශපාලන ප්‍රවාහය සමඟ සම්බන්ධ වූ මෙම ඡන්ද පදනම නැවත සිය වාර්ගික දේශපාලන ප්‍රවාහය වෙත ඈඳා ගැනීමට ඔවුන් සමත් වී ඇත.

-දක්ෂිණ ජයවික්‍රම-
යුතුකම 2025 මැයි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

එකක් හෝ රකින්නට වැළපිය යුතු ඉහිරුණු කිරි - 4

කතෘ:යුතුකම     5/30/2025   No comments

ලක්දිව උතුරුකරයේ පිහිටි ලක් පොළොවෙන් අතුරුදහන් වී ගිය පූජ්‍යස්ථාන පිළිබඳ සාකච්ඡා කිරීමට ලියැවෙන ලිපි මාලාවේ සිව්වැන්න ලෙස මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ යාපනයේ බෞද්ධ පුරාවස්තු වැඩි වශයෙන් ම විසිරී තිබූ ප්‍රදේශයක් වශයෙන් සැලකිය හැකි චුන්නාක්කම්හි පිහිටි එතරම් ප්‍රසිද්ධ නොවූ පුරාවිද්‍යා ස්ථානයක් පිළිබඳව යි. චුන්නාක්කම්හි පිහිටි නටබුන් ස්ථාන 4ක් පිළිබඳ පෝල් ඊ. පීරිස් මහතා වාර්තා කර තිබේ. ඒවා වන්නේ චුන්නාක්කම් දුම්රියපොළ අසළ දාගැබ, කොඩ්ඩියාවත්ත නටබුන් ස්ථානය, කදුරුගොඩ විහාරය සහ මෙම ලිපියෙහි කියවෙන මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල අසළ නටබුන් ස්ථානය යන ස්ථාන සතරයි.

මෙහි දී කළ ගවේෂණයේ දී ප්‍රථමයෙන්ම ම හමුවන්නේ පොකුණක් අසළ තිබු පැරණි ප්‍රතිමාවක පාද කොටසකි. මේ වන විට මෙම ප්‍රතිමා කොටස යාපනය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති අතර එම පුරාවස්තුවේ පාදයෙහි ඇති ආභරණ අනුව එය බෝසත් ප්‍රතිමාවක් බවට අනුමාන කෙරේ.

ඊට අමතරව මෙම ස්ථානයෙන් ලැබෙන පුරාවස්තු අතර බුද්ධ ප්‍රතිමා දෙකක නටබුන්, දාගැබක නටබුන් සහ පැරණි ගල් කණු, කණු මුල් ඇතුළු ගොඩනැගිලි නටබුන් වන බව පීරිස් මහතා වාර්තා කොට තිබේ.

මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල ද, අසළ පිහිටි කුඹුරු ද ඉඩම් ඇතුළු භූමියත් ගවේෂණ සහ කැණීම් කටයුතු කරන පෝල් ඊ. පීරිස් මහතා ඇතුළු පිරිසට එක් බුදු පිළිමයක කැඩී ගිය සිරසක් ද, තවත් බුදු පිළිමයක දේහ කොටස් ද හමු වී ඇත. ඉහත පිළිම දෙකෙහි ම කොටස්වල ලෝහ කූරු එබ්බවීමට කළ සිදුරු තිබුණු බැවින් මෙම පිළිම කොටස් වශයෙන් සකසා එකතු කිරීම හෝ යම් විනාශයකට පසුව පිළිසකර කිරීම සිදු කර ඇති බව පීරිස් මහතා අනුමාන කරයි. කෝවිලට යාබද කුඹුරු යාය කෙළවර පිහිටි දාගැබ් වහන්සේ චුන්නාකම් දාගැබට සමාන ඊට වඩා විශාල වූවක් බව පීරිස් මහතා සඳහන් කරයි. දෙවැනි බුදු පිළිම වහන්සේ හමු වන්නේ මෙම දාගැබ් ගොඩැල්ලට මීටර් 9 ක් පමණ එහායින් පිහිටි ගල් කණු ආදියෙන් යුක්ත වු පරිශ්‍රයකිනි. එම පිළිම වහන්සේ මුණින් අතට පොළොවෙහි තැන්පත් වීම හේතුවෙන් එය නැවත හමුවන අවස්ථාව වන විටත් සිවුරෙහි රැළි හොඳින් ආරක්ෂා වී තිබූ බව කියවේ. දකුණු අත හමු වී නොමැති අතර වම් අත කැබලි වලට කැඩී ඇත්තේ පිළිම වහන්සේ බිඳ වැටීමේ දී බව අනුමාන කරයි.

අඩි 5.5 ක් පමණ උස මෙම පිළිම වහන්සේ හිඳි බුද්ධ ප්‍රතිමාවක් විය යුතු අතර බොහෝ විට සමාධි මුද්‍රාවෙන් නිරූපිත වූවක් විය යුතු ය. පිළිම වහන්සේ තැන්පත් කර තිබූ බව සැලකෙන මධ්‍යයේ මඳක් උස් වූ රවුම් පිහිටීමක් සහිත ගලක් ද, බොරදම් සහිත හුණු ගල් පුවරුවක් ද හමු වූ අතර එම හුණුගල් පුවරුවේ ගැඹුරු විශාල නෙරුමක් සහ නොගැඹුරු කුඩා නෙරුමක් වූ බව පීරිස් මහතා සඳහන් කරයි.

මෙම ප්‍රතිමාව පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව පීරිස් මහතාගේ වාර්තාවේ දැක්වෙන්නේ පහත පරිදි ය.

“‍high degree of sanctity which once attached to the place. The building in which it had been placed, so far as one can judge at present, consisted of a central nave running east and west with aisles to north and south. The ásana is at the western end and the image was placed facing the east with a verandah or passage behind it. The floor was reached at the depth of four feet and was found to be of thick concrete So far as the excavation has gone this floor measures 56 feet from east to west and 36 feet from north to south.”

ඒ අනුව මෙය ඉතාම වටිනා ප්‍රතිමාඝරයක් බව නොඅනුමාන ය. නමුත් එහි ලකුණකුදු අද වන විට දක්නට නොලැබේ. තවත් ගල් පුවරුවක් මෙම ප්‍රතිමා ගෘහයෙන් සොයා ගැනෙන අතර එහි ද පෙර සඳහන් කළ නෙරුම දක්නට ලැබුණි. මෙය මල් ආසනයක් ලෙස පෝල් ඊ. පීරිස් මහතා අනුමාන කරන අතර පෙර සඳහන් කළ පුවරුවේ නෙරුම වන්දනාකරුවන්ගේ අත් හා පාදයන් ගැටීම නිසා ඇති වූවක් බව එතුමාගේ අදහසයි.

මෙවැනි ම වූ නෙරුම් මුලතිව් කුරුන්දි විහාරයෙන් හමු වූ ආසන සිලාවේ ද අපට දක්නට තිබෙන අතර මේවා කුමක් නිසා සෑදුණු ඒවා ද යන්න නිශ්චිත නොවේ. යම් බෙහෙත් ඇඹරීමක් වැන්නක් බවට විද්වත් මත පළ වී තිබේ. අවසාන වශයෙන් මෙම කුඹුරු යායේ වූ ගල් කණු මණ්ඩි අසළ උළු තට්ටු රාශියක් වූ බව ද මෙම ලිපියේ දැක්වේ. පුරාවිද්‍යා කොමසාරිස් එම්. එච්. සිරිසෝම මහතා සන්සෝනි කොමිසමට ද මෙම ස්ථානය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති නමුත් මෙම ස්ථානය කුමක්දැයි වර්තමානයේ නිශ්චිත ව හඳුනාගත නොහැකි ය.

එය සොයාගිය අපිට ලිපියේ කියවෙන පිහිටීම ආදී කරුණුවලට සමාන වන ස්ථානයක් ලෙස මකයාපිඩ්ඩි ගමට යාබද ව, කදුරුගොඩ විහාරයට නොදුරු ව සන්දිලිප්පායි නම් ගම්මානයේ කල්වලෙයිහි පිල්ලෙයාර් කෝවිල දැකගැනීමට හැකි වුණි. කෙසේ නමුත් පරික්ෂාවකින් තොර ව නිගමනවලට එළැඹීම නුසුදුසු ය.

-විනුක විදාණපතිරණ
යුතුකම 2025 මැයි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

යුරෝපයේ යුදෙව් විරෝධය සහ යුදෙව් ජාතිකවාදයේ නැගීම

කතෘ:යුතුකම     5/30/2025   No comments

1948 මැයි මස 14 වැනි දින ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමේ අවස්ථාව.


නූතන ඊශ්‍රායල් රාජ්‍ය බිහි වන්නේ 1948 මැයි මස 14 වැනි දින ය. ඊශ්‍රායලය බිහි වී මෙම වසරේ මැයි මාසයට වසර 77ක් සපිරෙන විට ඊශ්‍රායල් - පලස්තීන අර්බූධය නැවත වරක් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. වත්මන් ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කවර විවෙචන තිබුණ ද, ඊශ්‍රායලය බිහි වීම යුදෙව් ජාතිකවාදයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකි ය. යුදෙව් ජාතිකවාදය යනු ලෝකයේ වඩාත් ශක්තිමත් ම දාර්ශනික පදනම සහිත ජාතිකවාදී ව්‍යාපාරය විය හැකි ය.

රටක් නොමැතිව ලොව පුරා විසිර සිටි යුදෙව් ජනතාව (යුදෙව් ඩයස්පෝරාව) වෙනුවෙන් රටක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගත් යුදෙව් ජාතිකවාදී අදහස් ප්‍රධාන වශයෙන් වර්ධනය වන්නේ යුරෝපය කේන්ද්‍ර ගත කර ගෙන ය. වසර දහස් ගණනකට පෙර තමන්ට තිබුණේ යැ යි ප්‍රකාශ වන රට අහිමි වීම හේතුවෙන් විසිරී ලොව විවිධ රටවලට සංක්‍රමණය වූ යුදෙව්වන්, එම රටවල සංස්කෘතීන් සමග මුසු නොවී සිය වාර්ගික අනන්‍යතාව රැක ගැනීම සුවිශේෂී කරුණකි. ඕස්ට්‍රේලියාව හෝ වෙනත් යුරෝපීය රටක් හෝ වෙත සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන්, වැනි ජන කොටස් පරම්පරා දෙක තුනක් තුළ සිය අනන්‍යතාව නැති කර ගන්නා ආකාරය සමග මෙය සංසංදය කර බැලීම වටී. එමගින් පෙනී යන්නේ යුදෙව්වන් තුළ ඇති දැඩි ජාතිකත්ව (නොහොත් වාර්ගිකත්ව) හැඟීම යි. මේ හේතුව නිසා ම, යුදෙව්වන් කෙරෙහි යුරෝපීයයන් තුළ විරෝධාකල්ප පැන නැඟීම ස්වාභාවික ය. භාහිර පෙනුමින්, ඇඳුමින්-පැළඳුමින්, සිරිතෙන්-විරිතෙන්, ආගමින්, තමන්ට වඩා යුදෙව්වන් වෙනස් වීමත්, තම (යුරෝපීය) සංස්කෘතියට අවශෝෂණය නොවී, ඔවුන් සිය අනන්‍යතාව දිගට ම පවත්වා ගෙන යාම යුරෝපීයයන්ට රිසි නොවන්නට ඇත. මීට අමතරව යුදෙව්වන් ව්‍යාපාරික කටයුතුවල ශූරයින් වීම හේතුවෙන්, යුදෙව්වන් විසින් තමන් ආර්ථිකමය ලෙස සූරා කනු ලබන්නේ ය යන හැඟීම පොදුවේ යුරෝපීයයන් තුළ පැවතී ඇත.

යුරෝපීයයන්ගේ මෙම විරෝධාකල්පී අදහස් අතීත සාහිත්‍ය නිර්මාණ තුළින් පවා පිළිබිඹු වේ. මීට හොඳ ම උදාහරණයක් ලෙස විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට "වැනීසියේ වෙළෙන්දා (The Merchant of Venice)" වේදිකා නාට්‍යය පෙන්වා දිය හැකි අතර, එහි "ෂයිලොක්" නම් චරිතයෙන් යුදෙව්වෙකු නිරූපනය වේ. තමාගෙන් ලබා ගත් ණය මුදලක් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් ණයකරුවාගේ සිරුරින් "මස් රාත්තලක්" ඉල්ලා සිටින ෂයිලොක්ගේ චරිතය එම නාට්‍යය තුළ නිරූපනය කර ඇත්තේ ඉතා දරුණු, සට-කපට, කලු චරිතයක් ලෙස ය. අනෙක් අතට මෙහි දෙබස් හරහා ෂයිලොක්ගේ වාර්ගිකත්වය නිතර නිතර මතු කොට දැක්වීමත්, ඉහත කී යුදෙව් විරෝධය ඉස්මතු වන්නක් ලෙස හඳුනා ගත හැකි ය. නට්‍යය තුළ ෂයිලොක් චරිතයෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම් ඔහුගේ සිතෙහි නිරන්තරයෙන් ඇති පළි ගැනීමේ චේතනාව යි. එකල යුරෝපයේ ණයට මුදල් ලබා දීම, ප්‍රධාන වශයෙන් ම යුදෙව්වන් අත පැවති ව්‍යාපාරයක් බවත්, ෂයිලොක්ගේ හැසිරීම සහ චරිත ලක්ෂණ පොදුවේ යුදෙව්වන් තුළ දක්නට ලැබුණු ලක්ෂණ බවත් අයෙකුට අනෙක් අතට තර්ක කළ හැකි ය. යුදෙව් සංස්කෘතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී කුප්‍රකට "ඇසට ඇසක් - දතට දතක්" ප්‍රතිපත්තිය අපට අමතක කළ නොහැකි අතර, හානියේ ස්වභාවයට සමානුපාතිකව ඊට අදාළ දඬුවම තීරණය විය යුතු බව එයින් අදහස් වේ. යුරෝපීයනගේ මෙම යුදෙව් විරෝධයේ උච්චතම අවස්ථාව ලෙස හඳුනා ගත හැක්කේ, ආඩෝල්ෆ් හිට්ලර් විසින් මෙහෙයවන ලද යුදෙව් සංහාරය යි. මෙහි දී නාසි ජර්මනිය සිය යටත් රටවල විසූ යුදෙව්වන් කඳවුරු තුළට කැඳවා වද බන්ධනයන්ට ලක් කිරීමත්, ඇතැම් විට ඔවුන් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදවා ගැනීමත්, අවසානයේ මරණයට පත් කිරීමත් සිදු කර ඇත. මෙම ක්‍රියාවන්ට එරෙහිව යුරෝපයේ පැන නැඟුණු විරෝධය හෙතුවෙන්, යුරෝපීයයන් තුළ යුදෙව් විරෝධය යටපත් වී, ඔවුන් කෙරෙහි අනුකම්පාව ඉස්මතු වී ඇත.

යුදෙව්වන්ට විඳින්නට සිදු වූ මෙම දුක් ගැහැට නිසා ම, අනුන්ගේ රටවල දෙවන ගණයේ පුරවැසියන් වනවාට වඩා, තමන්ගේ ම රටක් නිර්මාණය කර ගත යුතු ය යන හැඟීම පොදුවේ යුදෙව්වන් තුළ වර්ධනය වූවාට සැක නැත. මේ නිසා ම කාලාන්තරයක් තිස්සේ මතු වෙමින් තිබූ යුදෙව් රාජ්‍යය ප්‍රතිනිර්මාණය කර ගැනීම සම්බන්ධ යුදෙව් ජාතිකවාදී අදහස් වඩාත් තීව්‍ර විය. යුදෙව්වන්ගේ වාර්ගික විඥානය යුදෙව් රාජ්‍ය සංකල්පය හරහා ජාතික විඥානයක් බවට පරිවර්තනය කිරීම, එතෙක් බෝහෝ දුරට ලේඛනවලට පමණක් සීමා වී පැවති හීබෲ භාෂාව නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි භාෂාවක් බවට පරිවර්තනය කර ගැනීම, යුදෙව් සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීම, තමන් දෙවියන්ගේ තෝරා ගත් ජාතිය ය යන හැඟීම සහ "පොරොන්දු දේශය" යන සංකල්පය මෙම ජාතිකවාදී අදහස් වල කැපී පෙනෙන ලක්ෂණ විය.

යුදෙව් රාජ්‍යය බිහි කළ යුතු ස්ථානය සම්බන්ධයෙන් විවිධ මත පළ වී ඇතත්, ඉන් කැපී පෙනන අදහස වී ඇත්තේ ජෙරුසෙලම ආශ්‍රිතව එම රාජ්‍යය බිහි කළ යුතු ය යන අදහස යි. මෙම අදහස පොදුවේ "සයොනවාදය" ලෙස හැඳින්වෙන අතර, "සයොනය" යනු ජෙරුසෙලමට පර්යාය පදයක් ලෙස සැලකේ. මිට පදනම වී ඇත්තේ ඓතිහාසික යුදෙව් රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසෙලම සැලකීම යි. වත්මන් ඊශ්‍රායලයේ විශාලත ම සහා වාණිජ්‍යමය ලෙස වැදගත් ම නගරය ටෙල් අවීව් වුව ද, එහි අගනුවර ලෙස සැලකෙන්නේ ජෙරුසෙලම යි. ඒ සිය අගනුවර ජෙරුසෙලම බව පලස්තීනය ද ප්‍රකාශ කරන පසුබිමක ය. සයොනවාදය දර්ශනයක් ලෙස ගොඩනඟමින්, යුරෝපයේ පළමු සයොනවාදී සමුළුව 1897 දී පැවැත්වීමේ ගෞරවය හිමි වන්නේ, නාටන් බියන්බෝම් (Nathan Birnbaum) වෙත ය.

ඔහුගේ අදහස් දේශපාලනික ස්වරූපයකට වඩා සංස්කෘතික ස්වරූපයක් ගන්නා ලදී. එහෙත්, නූතන දේශපාලන සයොනවාදයේ පියා ලෙස සැලකෙන්නේ නීතීඥයෙකු මෙන් ම මාධ්‍යවේදියෙකු ද වූ තියඩොර් හර්ට්සල් (Theodor Herzl) ය. ඔහු විසින් ජර්මානු භාෂාවෙන් රචනා කොට 1896 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද "යුදෙව් රාජ්‍යය" (Der Judenstaat) නම් පොත් පිංච, නූතන සයොනවාදට අදාළ වැදගත් ම ලෙඛනය ලෙස සැලකේ. මෙහි දී යෝජනා කර ඇත්තේ යුදෙව් රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා වූ ප්‍රායෝගික වැඩ පිළිවෙලකි.
යුදෙව් ජාතිකවාදය ගැන කතා කිරීමේ දී වඩාත් සිත් ගන්නා සුළු මාතෘකාවක් වන්නේ හීබෲ භාෂාව නූතන අදහස් ප්‍රකාශ කළ හැකි භාෂාවක් ලෙස වර්ධනය කර ගැනීම ය. හීබෲ භාෂා පුනරුද ව්‍යාපාර 19 වන ශත වර්ෂයේ දී යුරෝපය තුළ ඇරඹුණු අතර, නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි නව වචන හීබෲ භාෂා ප්‍රේමීන් විසින් නිර්මාණය කරන ලදී. පසුව පලස්තීනය තුළ ඇති වෙමින් තිබූ යුදෙව් කොලනි තුළ හීබෲ භාෂාව ඉගැන්වීමේ ව්‍යාපාර ආරම්භ කරන ලදී. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිට පලස්තීනයට පැමිණි යුදෙව් සංක්‍රමණිකයින්හට පොදු භාෂාවක් ලෙස, හීබෲ භාවිත කිරීමට මෙම ව්‍යාපාර හරහා අනුබල දෙන ලදී. ක්‍රමයෙන් එම ප්‍රදේශයේ පොදු භාෂාව ලෙස හීබෲ ප්‍රචලිත වූ අතර, එම භාෂාවෙන් ඉගැන්වීම් කරන පෙර පාසල් පවා ආරම්භ කරන ලදී.

යුදෙව් ජාතිකවාදී ව්‍යාපාර දෙස ආපසු හැරී බලන විට අපට නිරීක්ෂණය වන්නේ යුරෝපයේ එකළ පැවති යුදෙව් විරෝධය, යුදෙව් ජාතිකවාදයට උත්ප්‍රේරකයක් වී ඇති බව යි.  එම ව්‍යාපාරයේ අනෙක් මූලික ලක්ෂණය නම් ඊට ඉතා ශක්තිමත් දාර්ශනික පදනමක් පැවතීම ය. එම දාර්ශනික පදනමින් ඔබ්බට ගොස්, ඒ මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම එහි ඉතාමත් වැදගත් ලක්ෂණය යි.

-නාරද බලගොල්ල
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

විජයග්‍රහණය

කතෘ:යුතුකම     5/30/2025   No comments

යුධ ජයග්‍රහණයන් සැමරීම ලොව ශිෂ්ඨ යැ යි සම්මත සියලු ම ජාතීන් විසින් සිදු කරණු ලබන්නෙකි. යුද්ධමය ක්‍රියා මාර්ගයක් වෙත අප යොමු කර වූ, විදේශීය මෙන් ම ඇතැම් දේශීය බලවේගයන් ද තවමත් සක්‍රීය ව පවතින වටපිටාවක එම සිහිවටන සැමරීම වැදගත් වන්නේ අනාගතයේ දී යළිත් එවැනි අවදානමක් ඇති වීම වළකා ගැනීමට ය.

‘යුද වදින්නේ සාමයෙන් ජීවත්වීම සඳහා ය” යන ඇරිස්ටෝටල් පඬිවරයාගේ ප්‍රකාශය පඬි වදනක් නම් නොවේ. එය එසේ නො වන්නේ ඇරිස්ටෝටල් චින්තනයට ආවේණික දාර්ශනික දුර්වලතාවය නිස යි.
එබැවින් ම එම ප්‍රකාශය අද අප අත්විඳින බොහෝමයක් යුද්ධ සඳහා සාධාරණ ද නොවේ.
‘අප යද වදින්නේ සාමයෙන් ජීවත්වීම සඳහා ය” යන්න ලෝක ඉතිහාසයේ සාධාරනීය ලෙස අර්ථ සම්පන්න කරගත් එක් සාධනීය අවස්ථාවක් ලෙස ය, 2009 මැයි 19 වැනි වැනි දා කොටි ත්‍රස්තවාදය පරාදවා ලද යුධ ජයග්‍රහණය මා දකින්නේ.

ඒ දිනයෙදී අප හදට දැනුනු සැනසුම සැහැල්ලුව මට මෙන් ම ඔබට ද අද පවා හදවතින් ම විඳ ගත හැකි බව මම දනිමි. එය අපට (මේ රටේ ජනතාවට) සාමයෙන් ජීවත් වීමට තිබුන සියලු අවස්ථාවන් අහුරුවමින් ඒ සඳහා වූ සියලුම සිහින පවා විනාශ කරමින් තිබුනු අවධියක සැබෑ කර ගත්තකි. එය අප අධ්‍යාත්මයට අතිශය සමීප ‘සුඛිනෝවා ඛේමිනෝ හොන්තු’ (සැපවත් වේවා, බියෙන් තොර වේවා) යන පාඨය ජාතියක් වශයෙන් අප විසින් මුලු හදවතින් ම විඳගත් අවස්ථාවකි. එම හැඟීම අප අතරින් කිසිවෙකුට හෝ විඳගත නොහැකි වී නම් එය හැඳින්විය හැක්කේ කුහකකම ලෙසින් ය. යුද්ධය නිසා මෙන් ම යුද්ධයට මඟ පාදා දුන් ත්‍රස්තවාදය විසින් ද අප බොහෝ දෙනෙකුට බොහෝ දේ අහිමි කරන්නට ඇත. යුද්ධය කාට එරෙහි ව කවුරුන් විසින් කරන ලද්දක් වුව ද අවසානයේ යුධ ජයග්‍රහණය තුලින් සාමය උදා වුනේ මෙරටේ ජීවත් වුනු කෝටි දෙකක සමස්ත ජනතාවට ය.
ඇතමුන් මෙය ජාතීන් දෙකක් අතර ඇති වූ ජාතිවාදී යුද්ධයක් ලෙස සලකනු මා දැක ඇත. එය ඔවුන්ගේ දේශපාලන විඥානයේ දරිද්‍රතාවය පෙන්නුම් කරන්නක් ලෙසිනි මා දකින්නේ.


ජාතීන් අතර මෙන් ම විවිධ සංස්කෘතික කොටස් අතර ගැටුම් ඇති වීම ඉතිහාසය පුරා ම සාමාන්‍ය දෙයක් බවත් ඒවා ඔවුන් තම තමන් විසින් ම සමනය කරගන්නා බවත්, විසි එක් වැනි සියවසේ මානව විද්‍යාඥයින් විසින් වරින් වර පෙන්වා දෙනු ලැබ ඇත.
ම්ලේච්ඡත්වය ගෝත්‍රික ජනතාව අතර බහුලව දක්නට ලැබුනු දෙයක් නොවේ ය යන්න අද වන විට මානවවිද්‍යඥයින් විසින් ද පිළිගනු ලබන මතයයි. ‘ම්ලේච්ඡත්වය’ බටහිර පුනරුදයට අයත් දෙයකි. බටහිර ජාතීන්ගේ අසීමිත තණ්හාව, සම්පත් කොල්ල කෑම හා විනාශය, මානව නිදහස, ආගමික නිදහස හා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ම්ලේච්ඡත්වය හා වහල් වෙළඳාම ද පුනරුදයේ ම කොටස් ය. ඒ පුනරුදය සමඟ නොකියවෙන කතාවයි.


යටත් විජිතවාදීහු ඔවුනට සුපුරුදු කුහක කමින් ම පුනරුදය හා ම්ලේච්ඡ යටත් විජිතවාදය එකිනෙකින් වියුක්ත කතන්දර දෙකක් ලෙසින් ඉදිරිපත් කරයි. ‘පුනරුදය’ ප්‍රගතිශීලී සමාජ පරිවර්තනයක් ලෙසින් පාසැල් පෙළපොත් වලට ද අතුලත් වී ඇති බව මම දැක ඇත්තෙමි. මෙරට ඇතැම් දේශපාලන පක්ෂ 21 වැනි සියවසේ දී පවා තම දේශපාලන දැක්ම ‘පුනරුදය’ ලෙසින් හැඳින්වීම හාස්‍යජනකය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවූයේ පුනරුද (යටත් විජිත) යුගය තුල දී එළිපිට කොල්ල කමින් පෙන්නුම් කළ ම්ලේච්ඡත්වය නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමය. නව යටත් විජිතවාදය ලෙසින් හැඳින්වෙන්නේ එයයි.
ඊනියා නූතන යුගය ලෙසින් හැඳින්වෙන වර්තමාන නව යටත් විජිත යුගයේ දී ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක වන එක් ස්වරූපයක් නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදය යි. ගෝලීය බටහිර අනුග්‍රහය නොමැතිව ලොව ත්‍රස්තවාදී සංවිධාන බිහි නොවෙති.


ගෝලීය බලවත්තු කිසි විටකත් ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබූ ත්‍රස්ත සංවිධායක් නව යටත් විජිත රාජ්‍යක් තුල දී පරාජය කරනු ලැබීම නො ඉවසති. ඒ නිසා ය ඔවුන් තම අරමුණු සපුරා ගැනීම සඳහා විවධ රටවල ත්‍රස්තවාදී සංවිධාන නිර්මාණය කිරීමට අනුග්‍රහය දක්වන අතර ම, ත්‍රස්තවාදය පරාජය කළ නොහැක්කක් ය යන ප්‍රවාදය ද නිර්මණය කර දෙන්නේ.
එවැන්නක් ලොව මුල් වරට සිදු වන්නේ මේ රටේ ය.
එබැවිනි, මැයි 19 විජයග්‍රහණය ආශ්චර්යක් වන්නේ. එය නව යටත් විජිතවාද යුගයේ ම්ලේච්ඡත්වයට එරෙහිව එල්ල වුනු ප්‍රබල ම ප්‍රහාරයයි. එවන් වූ ප්‍රතිචාරයක් නව යටත් විජිතවාදීහු කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ හ.


නව යටත් විජිතවාදීහු තමන් විසින් නිර්මාණය කරනු ලබන ත්‍රස්තවාදය, නව යටත් විජිත රාජ්‍යයන් විසින් පරාජයට පත්කිරීම කිසිවිටකත් නොඉවසති. රණ විරුවන්ට රණ විරුවන් කියන්නටත් ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියන්නටත් දිව නො නැමෙන්නේ තවමත් නව යටත් විජිතවාදී මානසිකත්වයෙන් නොමිදුනු අයට පමණෙකි.
යුද්ධයට විරුද්ධව එල්ල වූ සියලු බාධාවන් ඉතාමත් දක්ෂ ලෙස කලමණාකරණය කර ගනිමින් යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මෙන් ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ, දිවිපිදූ, නන් අයුරින් සහය දුන් සියල්ලන් මෙන් ම, මැසිවිලි නො නඟා දුෂ්කර කාලය ඉවසා සිටි මෙරට ජනතාවට ද, ත්‍රස්තවාදය විනාශ කිරීමට අපට නන් අයුරින් සහය දුන් ශිෂ්ට ලෝකයේ රටවල් ද අපගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර විය යතු යි.

මේ රටේ ජීවත් වන කුහක කමින් තොර වූ ද, ශිෂ්ට සම්පන්න වූ ද සියලු ජනකොටස් කොහේ සිටියත්, විජයග්‍රහණය තම තමන්ට ඉඩ ලැබෙන අයුරෙන්, මුලු හදවතින් ම සමරණ බව මට විශ්වාසය. මේ රටේ අනාගත සුරක්ෂිතභාවය ස්ථාවර කළ හැක්කේ ඔවුන් සියල්ල ම එක ම අරමුණක් යටතේ එකට එකතු වීම තුල ම පමණෙකි.

-වෛද්‍ය වසන්ත දේවසිරි
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 5 : ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පැන නැගීම II

කතෘ:යුතුකම     5/30/2025   No comments

ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පැන නැගීම II
(මෙහි පළමු ලිපිය පසුගිය කළාපයේ අන්තර්ගත විය)

1945 වන විට 2 වන ලෝක යුද්ධය නිමා වූයේ යුරෝපීය යටත් විජිත හිමියන් හට සිය යටත් විජිත අත හැරීමට බල කෙරෙන පසුබිමක් නිර්මාණය කරමිනි. 1947 දී බ්‍රිතාන්‍යන් ඉන්දියානු උප මහද්වීපය තුළ සිය පාලනය නිමා කරනු ලැබුවේ මුස්ලිම්වරුන් වෙනුවෙන් පාකිස්ථානය නමින් වෙනම රාජ්‍යක් ස්ථාපිත කොට දෙමිනි. 1946 මහ මැතිවරණ ප්‍රතිපල අනුව මුස්ලිම්වරුන් බහුතරය වාසය කරන දිස්ත්‍රික්කවල සහාය මුස්ලිම් ලීගයට හිමි විය. එම මැතිවරණ ප්‍රතිපල මත සහ 20 සියවසේ මුල පටන් මුස්ලිම් නායකයන් ගෙන ගිය උපායශීලී පිළිවෙත මත මෙම දෙකඩ කිරීම සිදු විය.

මෙලෙස උප මහද්වීපය දෙකඩ කරමින් මුස්ලිම්වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යක් ස්ථාපිත කිරීම හින්දුවරුන් දුටුවේ සිය පැවැත්මට එල්ල කළ අභියෝගයක් වශයෙනි. RSS ඇතුළු හින්දුත්ව මතධාරී සංවිධාන විසින්, මෙලෙස සිය අඛාණ්ඩ් භාරත් සිහිනය බොඳ කොට දැමීම පිළිබඳව ගාන්ධි, නේරු ඇතුළු කොන්ග්‍රස් නායකයන් වෙත සෘජුවම චෝදනා එල්ල කරන ලදි. ඒ පිළිබඳව හින්දුත්ව මතධාරීන්ගේ කෝපය ප්‍රකට වූයේ වූයේ මහත්මා ගාන්ධි ඝාතනය කරමිනි.

මහත්මා ගාන්ධි යනු ඉන්දියාවට නිදහස ලබා ගැනීම වෙනුවෙන් දියත් වූ ‘අවිහිංසාවාදී දේශපාලන ව්‍යාපෘතියේ’ නිර්මාපකයා මෙන්ම එහි අසහාය නියමුවා ද විය. ඉන්දියාවට දේශපාලන නිදහස දිනා ගැනීමෙහිලා ක්‍රියාත්මක වූ පුළුල්තම දේශපාලන ව්‍යාපාරය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ නිල නායකයා වශයෙන් ද, ආධ්‍යාත්මික නායකයා වශයෙන් ද ඔහු පෙනී සිටියේ ය. ඉන්දියාව දෙකඩ වී මාස 5 ක් තුළ නතුරාම් ගොඩ්සේ නම් පුද්ගලයෙකු විසින් මහත්මා ගාන්ධි වෙත වෙඩි තබා ඝාතනය කරන ලදි. නතුරාම් ගොඩ්සේ හින්දුත්ව මතධාරියෙක් වූ අතර RSS සහ හින්දු මහාසභා යන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය.

ගාන්ධි ඝාතනයෙන් අනතුරුව කොන්ග්‍රස් රජය විසින් RSS සහ හින්දු මහාසභාව තහනම් දේශපාලන සංවිධාන වශයෙන් නම් කොට එහි නායකයන් අත්තඩංගුවට ගත්ත ද කෙටි කළක් තුළ එම තහනම ඉවත් කරගන්නා ලදි. 1951 දී ශ්‍යාමා ප්‍රසාද් මුඛර්ජි විසින් RSS හි දේශපාලන අංශය ලෙස භාරතීය ජනතා සංග් නම් දේශපාලන පක්ෂය ස්ථාපිත කළ විට ඊට RSS ක්‍රියාධරයන් පමණක් නොව හින්දු මහසභාව ආදී අනෙකුත් හින්දුත්ව මතධාරී සංවිධානවල ක්‍රියාකාරිකයන් ද එක් විය.

1951 සිට ක්‍රමිකව හින්දුත්ව මතධාරී විකල්ප දේශපාලන ධාරාවක් ලෙස වර්ධනය වූ භාරතීය ජනතා සංගය 1977 දී භාරතීය ලෝක් දාල්, සමාජවාදී පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගතවෙමින් ‘ජනතා පක්ෂය’ පිහිටුවීමටත්, ප්‍රථම වරට ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂ බලය පෙරළා නව ආණ්ඩුවක් පිහිටුවීමටත් සමත් විය. 1977 සිට 80 දක්වා පැවති ‘ජනතා පක්ෂ’ පාලනය කෙටි කාලයක් තුළම නිමාවට පත් වූ අතර එය ඉන්දිරා ගාන්ධිගේ කොන්ග්‍රස් ආණ්ඩුවට එදිරිව මතුව පැවති ජනතා විරෝධය සඳහා විකල්ප නවාතැන්පළක් පමණක් විය. ජනතා පක්ෂ සන්ධානය දිනා තිබූ ලෝක් සභා ආසන 295 න් භාරතීය ජනතා සංගය සතු වූයේ ආසන 93 ක් පමණි. ඒ අනුව 77-80 ජනතා පක්ෂ පාලනය හින්දුත්ව මතධාරීන් පූර්ණ වශයෙන් බලය අත්පත් කොට ගැනීමක් ලෙස හැඳින්විය නොහැකි නමුත් එය ඔවුන්ට බලය ලබා ගැනීම පිළිබඳ එක්තරා ආකාරයක පෙරහුරුවක් වූ බව කිව හැකිය.

1980 දී ජනතා පක්ෂ සන්ධානය බිඳ වැටීමෙන් අනතුරුව භාරතීය ජනතා සංගය සිය නම භාරතීය ජනතා පක්ෂය (BJP) ලෙස වෙනස් කොට ගනිමින් පක්ෂය අභ්‍යන්තරය ප්‍රතිසංස්කරණවලට බඳුන් කරන ලදි. පක්ෂයේ මතවාදය හින්දු ජාතිකවාදය මත තිර ලෙස ස්ථාපිත කරන ලදි. කෙසේ වෙතත් 1984 මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට දිනාගත හැකි වූයේ ලෝක් සභා ආසන 2 ක් පමණි.

නමුත් හින්දුත්ව මතවාදය මත තිරව පිහිටා කටයුතු කරමින්, අයෝධ්‍යාවේ රාම ජන්ම භූමිය පිළිබඳ ගැටළුව වැනි තත්ත්කාලීනව පැන නැගි මතභේදකාරී තත්ත්වයන් දේශපාලන අවස්ථාවන් ලෙස උපක්‍රමශීලීව ග්‍රහණය කර ගනිමින් හින්දුවරුන් අතර හින්දු ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන ව්‍යාපාරය ලෙස ඉස්මතු වීමට BJP ය සමත් විය. ඒ අනුව 1991 මැතිවරණයෙන් ලොක් සභා ආසන 120 ක් ද, 1996 මැතිවරණයෙන් ලොක් සභා ආසන 161 ක් ද දිනා ගත් BJP ය, 1998 දී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ස්ථාපිත කරමින් නැවත ආණ්ඩුවක් පිහිටුවීමට සමත් විය.

1998 – 2004 සමය තුළ අතල් බිහාරි වජ්පායි අගමැති දූරය දැරූ, BJP ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය න්‍යෂ්ඨික ක්ෂේත්‍රය, විදුලි සංදේශ ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍රවල කැපී පෙනෙන ජයග්‍රහන ඉන්දියාවට අත්පත් කර දීමට සමත් විය. නැවත 2004 සහ 2009 මැතිවරණවලින් පරාජයට පත් වූ BJP ය 2014 දී නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වය යටතේ ආණ්ඩු බලය ලබා ගැනීමට සමත් විය.

2014 සිට මේ දක්වා ඉන්දියාවේ පවතින BJP පාලනය එරට හින්දුත්ව මතවාදය කූටප්‍රාප්තිය දක්වා ඔසවා තැබීමට සමත්ව ඇත. එහෙත් එය ඉන්දියාවේ හින්දු ජාතිකවාදයේ අවසානය නොවේ. ශිව සේනා වැනි සංවිධාන BJP පරයා යන උග්‍ර හින්දුත්ව මතවාදී ප්‍රවේශයකින් කටයුතු කරමින් සිටී. ඉන්දියාවේ හින්දු ජාතිකවාදය යනු ගෝලීය වශයෙන් බලපෑම් සහගත දේශපාලන ප්‍රවණතාවයකි. එහි නැගී සිටීම ලෝකයේ සෙසු ජාතීන් වෙත අභියෝගයක් එල්ල කරනු ඇත.

[ලෝකයේ ක්‍රියාත්මක ජාතිකවාදී ප්‍රවණතාවයන් පිළිබඳව ගෙනහැර දැක්වෙන උදාහරණ මාලාවේ අවසාන උදාහරණය ලෙස ඇමරිකානු ජාතිකවාදය පිළිබඳව ජුනි මස කලාපයෙන් සාකච්ඡා කරමු]

-පැතුම් ඒ. රණසිංහ-
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

4/30/2025

දළදා දැක්ම පසුපස සැඟවූ දේශපාලන අරමුණු

කතෘ:යුතුකම     4/30/2025   No comments

වසර 16 කට පසුව පැවති ශ්‍රී දළදා දැක්ම 2025 අප්‍රේල් 27 වන දා නිමාවට පත් විය. දළඳා දැක්ම පැවති දින 10 ක කාලය තුළදී ලක්ෂ 6 ක පමණ ජනකායක් දළදා වහන්සේ වැද පුදාගත් බව වාර්තා විය. සංවිධාන කටයුතුවල පැවති විවිධ අක්‍රමිකතාවයන් පිළිබඳව ද, ඒ නිසාවෙන් බැතිමතුන්ට සහ මහ නුවර වැසියන්ට අත් විඳීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව ද විවිධ දෘෂ්ටි කෝණවලින් එල්ල වූ විවේචන ප්‍රදර්ශනය පැවති කාලය මුළුල්ලේ අප හට ඇසීමට දැකීමට හැකි විය.


එම සියළු අඬු ලුහුඬුතා මධ්‍යයේ වුවත් බෞද්ධ ජනතාවගේ ඉමහත් භක්ත්‍යාදරයට පත් වූ ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවංක හැඟීමෙන් යුතුව උර දුන් සියළු පාර්ශවයන් වෙත අපි අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්නෙමු.

2025 සිරි දළදා දැක්ම පවත්වනු ලැබූයේ 2024 සැප්තැම්බර් මාසයේදී ජනපති ධූරයට පත් වූ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් සිදු කරන ලද ඉල්ලීමක් පරිදිය. ජාජබ යේ පිට පළුව නියෝජනය කරන පිරිස සමන්විත වන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය වෙත එළිපිටම වෛරීසහගතව පහර ගසන්නවුන්ගෙන් ය. එම ජාජබයේ පිට පළුවේ සංකේත ගණයේ ලා සැළකිය හැකි දිවංගත ඩබ්. ජයසිරි වැනි අය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේ සිට අඩි ගසන්නට ජනතාවට කතා කළෝය. ජයසිරිලාගේ අනුප්‍රාප්තිකයන් වූ සමණලී ෆොන්සේකලා ජේතවනාරාමය දුටුවේ කුණු ගොඩක් ලෙසිනි. ජාජබයේ පිට පළුවේ මෙම සිංහල බෞද්ධ විරෝධය පිළිබඳව තවත් ප්‍රකට සහ අප්‍රකට උදාහරණ ගණනාවක් ගෙන හැර දැක්විය හැකිය. ජාජබ යේ අභ්‍යන්තර අරටුව කිසි විටෙක සෘජුව සිංහල බෞද්ධ සංස්කෘතියට පහර නොදෙයි. සිංහල බෞද්ධයන් අමනාප කොටගෙන මෙරට දේශපාලන බලය අත්පත් කොට ගැනීම හෝ පවත්වාගෙන යාම කිසි දිනෙක සිදු කළ නොහැකි බව ඔවුන් දනී. මෙම පිරිස කැමරා ඉදිරියේ හැසිරෙන්නේ සිංහල බෞද්ධයන් මෙනි. පසුගිය දිනෙන මෙරට ජ්‍යෙෂ්ඨ නායක හිමි නමක් ප්‍රකාශ කළේ තමා මුණ ගැසීමට පැමිණ තමා අතින් පිරිත් නූල් බැඳගත් අනුර කුමාර මහතා ආවාස ගෙයින් එළියට බහින විට පිරිත් නූල කඩා විසි කළ අයුරු තමන් දුටු බවයි. ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා වරක් ප්‍රකාශ කළේ තමා අතෙහි පිරිත් නූලක් බැඳ සිටීම පිළිබඳව දේශපාලන මණ්ඩලය වෙත කරුණු දැක්වීමට තමා හට සිදු වූ බවයි. මේ ජාජබ යේ අභ්‍යන්තර අරටුවේ ස්භාවයයි.

ජාජබ යේ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධය පිළිබඳව එහි න්‍යායාචාර්‍යවරුන් සිදු කොට තිබූ පැහැදිලි කිරීම වූයේ තම ව්‍යාපාරය ආමිස පූජාව මත නොව බෞද්ධ ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරන බවයි.

ජාජබයේ පිට පළුවේ සහ අරටුවේ මෙම හැසිරීම සහ ක්‍රියා කලාපය විමසා බැලූ විට ඔවුන් විසින් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා මුල පිරීම අතිශය පුදුමයට කරුණකි. 2025 සිරි දළදා දැක්ම පාරිශුද්ධ භක්ත්‍යාදරයක් රජය විසින් සංවිධානය කරවූවක් නොවන බවත් එහි සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බවත් ඉතා පැහැදිලිය. ලැබෙමින් පවතින දේශපාලන තොරතුරු, දකින්නට ලැබෙන දේශපාලන නිරික්ෂණ සහ අතීත උදාහරණ විමසා බැලූ විට දළදා ප්‍රදර්ශනය තුළින් ජාජබ ය විසින් ඉලක්ක දෙකක් ළඟා කර ගැනීමට උත්සාහ කරන බව පුරෝකථනය කළ හැකිය. ඉන් පළමුවැන්න වන්නේ තමන් වෙත ලද ඡන්ද කුට්ටියේ අති බහුතරය නියෝජනය කරන ග්‍රාමීය සිංහල බෞද්ධ ඡන්ද පදනම තෘප්ත තත්ත්වයක පවත්වා ගැනීමයි. ජාතික මතවාදයේ අවිඥ්ඥාණික වාහකයන් වන මෙම පිරිස ඉතා පසුවෙන් කළකිරීමට මෙන්ම තෘප්තියට ද පත් වන පිරිසක් බව අතීත ය විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. ප්‍රදර්ශනාත්මක චර්‍යාවන් ඔස්සේ මේ පිරිස දිනා ගැනීම රාජපක්ෂවරුන් විසින් පසුගිය දශක 2 තුළ ඉතා සාර්ථකව සිදු කරන ලදි. දැන් ජාජබ ය විසින් ද අනුගමනය කරමින් සිටින්නේ එම චර්‍යාවම ය.

දළදා ප්‍රදර්ශනය තුළින් ජාජබ ය අපේක්ෂා කරන දෙවෙනි දේශපාලන ඉලක්කය වනුයේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදී සිංහල බෞද්ධයාගේ පැවැත්මට අහිතකර තත්ත්වයන් තුළ සිංහල බෞද්ධ සමාජයෙන් එල්ල විය හැකි ප්‍රතිරෝධය සමනය කිරීම සඳහා මාර්ගයක් නිර්මාණය කර ගැනීමයි.

දළඳා ප්‍රදර්ශනය තුළින් ජාජබ ය අපේක්ෂා කරන පළමු දේශපාලන ඉලක්කය අප විග්‍රහ කර ගන්නේ පසමිතුරු ආකල්පයකින් නොවේ. රටේ ජනතාව සමනය කොට වියවුල්වලින් තොරව පවත්වා ගැනීම සඳහා දළඳා වහන්සේගේ ‘ආශිර්වාදය’ ලබා ගැනීමේ වරදක් අපි නොදකින්නෙමු. එහෙත් ඔවුනගේ දෙවෙනි ඉලක්කය නම් නිසැකයෙන්ම පරාජය කළ යුත්තකි.

ජාජබ ආණ්ඩුව ඉන්දියාව සමඟ කඩිමුඩියේ අත්සන් කළ ගිවිසුම් 07 ගැන ජනතාව අඛණ්ඩව ප්‍රශ්න කළත් ආණ්ඩුව තවදුරටත් මුනිවත රකින්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙනි. එම ගිවිසුම් තුළ මෙරට ජනතාව සසල වන අන්දමේ වගන්ති පවතින බව ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී.

එමෙන්ම ඩයස්පෝරාවේ සහ ආණ්ඩුව තුළම සිටින දේශද්‍රෝහී කල්ලියක වුවමනාවක් පරිද්දෙන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද , එම ව්‍යවස්ථාව හරහා සිංහල බෞද්ධයන් වෙත දැනට ව්‍යවස්ථාපිතව තහවුරු කොට දී ඇති උරුමය අහිමි කොට දැමීමට ද නියමිත ය


1977 ව්‍යවස්ථාව තුළ ඇතුළත් වන මෙරට සිංහල බෞද්ධ උරුමය තහවුරු කිරීම සඳහා වන වගන්ති අහසින් පහත් වූ ඒවා නොවේ. 1815 ගිවිසුම මගින් මෙරට පාලනය බ්‍රිතාන්‍ය කිරීමටය වෙත පවරා දුන් අවස්ථාවේදී ද, 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් ද ඒ උරුමය තහවුරු කොට අනාගතය වෙත පවරා දී ඇත.
ජාජබ තුළ පවතින සිංහල බෞද්ධ විරෝධය කොටස් දෙකකට බෙදා වෙන් කොට දැක්විය හැකිය. ඉන් පළමු කොටස වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු තමන්ට රිසි ලෙස රූකඩ නටවා ඉන් වාසි ලබා ගැනීම ඉලක්ක කොරගත් බාහිර බලවේග සහ එම බලවේගවල අරමුදල්වලින් යැපෙන පිරිසයි. දෙවැනි කොටස වන්නේ පළමු කොටස විසින් කාලාන්තරයක් තිස්සේ සිදු කරන සියුම් ප්‍රචාරණයට නතුව ඔලු ඔද්දල් කරගත් පිරිසයි.

මින් පළමු කණ්ඩායම සමඟ අප හට කිසිඳු සාකච්ඡාවක් නැත. අපට ඔවුන් සමඟ ඇත්තේ සටනක් පමණකි. එහෙත් දෙවෙනි කොටස සමඟ අපට සටනක් නැත. අපට ඔවුන් සමඟ ඇත්තේ සහෝදරාත්මක සංවාදයකි.

මෙම දෙවන පිරිස අප සමඟ විවෘත්ත සංවාදයකට එළඹෙන්නේ නම් ඔවුන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳව ඇතිකරගෙන ඇති නොරිස්සුම පදනම් විරහිත බවත්, සිංහල බෞද්ධ ජාතිකත්වය මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගන්නේ කෙලෙස ද යන්න පිළිබඳවත් ඔවුන් වෙත විවරණය කර දීමට අප සූදානම් ය. ජනපති අනුර කුමාර මහතා නියෝජනය කරන්නේ මින් පළමු කොටස ද දෙවෙනි කොටස ද යන්න තවමත් මෙරට ජනතාව නොදනී. ඔහු පළමු කොටස නියෝජනය කරන්නේ නම් ඔහුව එළවා දැමීමට ද, ඔහු දෙවෙනි කොටස නියෝජනය කරන්නේ ඔහු සමඟ සහෝදරාත්මකව ඉදිරියට යෑමට ද මෙරට දූ පුතුන් කටයුතු කරනු ඇත.


දක්ෂිණ ජයවික්‍රම
යුතුකම 2025 අප්‍රේල් කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

මහා සංක්‍රාන්තිය රට රටවල සැමරෙන හැටි

කතෘ:යුතුකම     4/30/2025   No comments
ඇතමුන්ට අනුව සූර්යයා මීන රාෂියෙන් මේෂ රාෂියට සංක්‍රමණය වීම මත පදනම් වූ සිංහල අලුත් අවුරුදු උදාව හින්දු මූලයක් සහිත සැමරුමකි. හින්දු ලබ්ධිකයන් වන මෙරට දෙමළ ජනතාව ද මීට සමගාමීව අවුරුදු සැමරුමක් සිදු කරන බැවින්, මේ කියන ආකාරයට එය හින්දූන්ගේ උත්සවයක් ද? වෙනත් රටවල ථේරවාදී බෞද්ධයන් මෙම අවුරුදු උදාව සමරන්නේ ද?

එසේ නම්, හින්දු සංස්කෘතියේ තිඹිරි ගෙය වූ වත්මන් ඉන්දියාව තුළ මෙකී ආකාරයේ සැමරුම් සිදු කෙරෙන්නේ ද යන්නත්, එම සැමරුම් කාවරාකාර ද යන්නත් මුලින් ම සොයා බැලීම වටී. ඉන්දියාව වූ කලි ඉතා පොහොසත් සංස්කෘතික විවිධත්වයකින් යුතු රටකි. එරට හින්දූන් අතර පවා ඇත්තේ විවිධත්වයකි. මේ නිසා, එරට ප්‍රාන්ත වශයෙන්, ජන වර්ග වශයෙන් අලුත් අවුරුද්ද සමරන්නේ කෙසේ ද යන්න සලකා බැලිය යුතු ය. 

ඉන්දියාවේ අසම් (ඇසෑම්), බටහිර බෙංගලය, ඕදීෂ (ඔරිස්සා), අරුණාචල් ප්‍රදේශ්, ත්‍රිපුරා, මණිපුර්, ආන්ද්‍ර ප්‍රදේශ්, කර්ණාටකා, තෙලංගානා, තමිල් නාඩු, කේරල, බිහාර්, පන්ජාබ්, උත්තරාකන්ද් සහ හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත ආශ්‍රිතව ජීවත් වන ජන කොටස් සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුද්දක් සමරති. ඉන්දියාවේ ප්‍රාන්තයක් තුළ පවා විශාල සංස්කෘතික විවිධත්වයක් සහිතව, විවිධ ජන වර්ග ජීවත් වන බැවින්, ඉහත සඳහන් කළ ප්‍රදේශ තුළ වෙසෙන සියලු ජනතාව එම වකවානුවේ අලුත් අවුරුදු උදාව සමරන බව මින් අදහස් නොවේ. උදාහරණයක් ලෙස අසම් සහ අරුණාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත තුළ ජීවත් වන ඇතැම් ජන වර්ග මෙලෙස අලුත් අවුරුද්ද සමරන අතර, ඔවුන් අතර පවා ඊට අදාළ චාරිත්‍ර එකිනෙකට වෙනස් වේ. මේ අනුව, වත්මන් ඉන්දියාවේ උතුරු, ඊසාන, නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයන්හි පිහිටි ප්‍රාන්ත ආශ්‍රිතව සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුද්ද සමරන ජන කොටස් ව්‍යාප්තව සිටින බව පෙනී යයි. එසේ වුව ද, ඉන්දියාවේ බටහිර සහ වයඹ ප්‍රදේශවල ජනතාව සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන්නේ මාර්තු අග හෝ අප්‍රේල් මුල කාල වකවානුවක ය.

ෆෙඩරල් රාජ්‍යයක් වන ඉන්දියාවේ, එක් එක් ප්‍රාන්තය සඳහා වෙන වෙන ම රජයේ නිවාඩු දින පවතින අතර, සිංහල අවුරුද්දට සමගාමීව සැමරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන් නිවාඩු ලබා දෙනු ලබන්නේ, පන්ජාබ්, බටහිර බෙංගලය, අරුණාචල් ප්‍රදේශ්, අසම්, මණිපුර්, ඕදීෂ, කේරල සහ තමිල් නාඩු යන ප්‍රාන්ත තුළ පමණි. මේ නිසා එම ප්‍රාන්ත තුළ එම සැමරුම් සිදු කෙරෙන ආකාරය විමසා බලමු.

වෛසාඛී - සාම්ප්‍රදායිකව නව වසරක උදාව සැමරීම වෙනුවෙන් පන්ජාබ් ඇතුලු ප්‍රදේශ කිහිපයක පැවැත්වෙන සැමරුමකි. වෛසාඛී යනු නව වසරේ පළමු මාසය යි. එහෙත් 2003 වර්ෂයේ සිට සම්මත සික්වරුන්ගේ නානක්ෂාහි දින දර්ශනය අනුව නව වසර උදා වන්නේ මාර්තු මස 14 වැනි දින ය.

පොහෙල බොයිසාක් - මෙය බෙංගල ජනතාවගේ [ඉන්දියාවේ බටහිර බෙංගලය, අසම් සහ ත්‍රිපුරා ප්‍රදේශ ආශ්‍රිතවත්, බංගලාදේශයේත් මූලිකව මෙම ජන වර්ගයට අයත් ජනතාව ව්‍යාප්තව ඇත. ඔවුහු වංග හෙවත් බංග(ල) බස කතා කරති.] බොයිසාක් මාසයේ පළමු දිනය යන අර්ථය ගෙන දේ. බොයිසාක් යනු වර්ෂයේ පළමු මාසය යි. එහි නාමය සංස්කෘත වෛශාඛ්‍ය යන්නෙන් උපන්නකි.

බෝහග් බීහු - මෙය අසම් සහ අරුණාචල් ප්‍රදේශ් වැනි ඊසාන දිග ඉන්දියානු ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් විසින් සමරනු ලබන උත්සවයකි. බෝහග් යනු අසම් වර්ෂ ක්‍රමය අනුව පළමු මාසය යි. බීහු යනු අසම් භාෂාවෙන් උත්සවය යන අර්ථය දේ. මෙයිති නව වසර - මෙයිති ජනතාව ප්‍රධාන වශයෙන් ම ජීවත් වන්නේ මණිපුර් ප්‍රාන්තයේ වන අතර ඔවුන් එහි බහුතර ජනවර්ගය වේ. මීට අමතර ඔවුහු අසම්, ත්‍රිපුරා යන ඉන්දියානු ප්‍රාන්තවල ද බංගලාදේශයේ සහ මියන්මාවේ ද ජීවත් වෙති. ඔවුහු සාම්ප්‍රදායිකව හින්දූන් නොව සනාමහී නම් ආගම අදහන්නෝ වෙති. සජිබු යනු ඔවුන්ගේ වර්ෂ ක්‍රමයට අනුව පළමු මාසයයි. මෙම වර්ෂ ක්‍රමයේ විශේෂත්වය වන්නේ එය ක්‍රි.පූ 14 වැනි සියවසේ සිට ව්‍යවහාර වන්නක් ලෙස ඔවුහු සැලකීම යි.

පනා සංක්‍රාන්ති හෙවත් මහා බිෂුබ සංක්‍රාන්ති - පනා යනු ඕදීෂ ප්‍රදේශයේ සාම්ප්‍රදායික පානයකි. මෙම පානයෙන් සංග්‍රහ කිරීම මෙම සැමරුමේ දී ඔවුන්ගේ ප්‍රධාන ම චාරිත්‍රයකි. මහා බිෂුබ සංක්‍රාන්ති යනු මහා විෂුව (equinox) සංක්‍රාන්තිය යන්න යි.

විෂු - මෙය කේරලය ප්‍රධාන කොට ගත් මලයාලම් බස කතා කරන ජනතාවගේ නව වසර සැමරුම යි.

පුත්තාණ්ඩු - තමිල් නාඩුව මූලික කර ගත් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අලුත් අවුරුදු සැමරුම යි. ශ්‍රී ලංකාව ඇතුලු සෙසු රටවල වාසය කරන දෙමළ ජනතාව ද මෙම සැමරුම සිදු කරති. පුත්තාණ්ඩු යන්නෙහි තේරුම නව වසර යන්න යි.

මේ සියලු සැමරුම් මීන රාශියේ සිට මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මත පදනම්ව ඇත.

ඉන්දියාවෙන් පරිබාහිරව මෙම සැමරුම සිදු කෙරෙන රටවල් ලෙස හඳුනා ගත හැක්කේ, නේපාලය සහ බංගලාදේශය යන දකුණු ආසියානු රටවල් සහ අග්නිදිග ආසියානු රටවල් වන මියන්මාව, තායිලන්තය, කාම්බෝජය සහ ලාඕසය යි. එසේ නම්, මෙම රටවල නව වසර සැමරෙන ආකරය මීලඟට සලකා බලමු. මෙම සැමරුම් සඳහා ද මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයාගේ සංක්‍රමණය පාදක වී ඇත.

මේ අතරින් මියන්මාව, තායිලන්තය සහ කාම්බෝජය යනු ථේරවාදී බෞද්ධයින් බහුතරයක් වාසය කරන රටවල් වේ.

නේපාල නව වසර - නේපාලයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් ජූර් සිතල්, බිස්කා ජාත්‍රා, වෛසාඛී වැනි නම් වලින් නව වසර සමරති.

පොහෙල බොයිසාක් - බෙංගල නව වසර බංගලාදේශයේ ද සැමරේ.

තිංග්‍යාන් - සිංහල අලුත් අවුරුද්දට සමගාමීව මියන්මාවේ සැමරේ. මෙහි අර්ථය සංක්‍රාන්තිය යන්න යි.

සොංග්‍රාන් - තායිලන්තයේ සැමරෙන මෙහි අර්ථය ද සංක්‍රාන්තිය යන්න යි.

මොහා සංක්‍රාන් - කාම්බෝජයේ සැමරෙන මෙහි අර්ථය මහා සංක්‍රාන්තිය යන්න යි.

පී මයි - ලඕසයේ සැමරෙන මෙහි අර්ථය නව වසර යන්න යි. සංක්‍රාන්තිය යන අරුත දෙන සොංකාන් යන වචනය ද මීට භාවිත වේ.

ප්‍රධාන වශයෙන් බංගලාදේශය, ඉන්දියාව හා මියන්මාව තුළ ජීවත් වන චාක්ම ජනයා මෙන් ම, මියන්මාව, වියෙට්නාමය, ලාඕසය සහ තායිලන්තය තුළ වෙසෙන තායි සම්භවයක් සහිත දායි ජනයා ද මෙම කාලය තුළ අවුරුදු සමරති. මෙම ජන කොටස් දෙකම ප්‍රධාන වශයෙන් ථේරවාදී බෞද්ධයන් වීම සුවිශේෂී වේ.

මේ අනුව, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මත පදනම්ව සිංහල අවුරුදු උදාවට සමගාමීව සැමරුම් සිදු කෙරෙන ප්‍රදේශයන්ගේ භූගෝලීය පිහිටීම, මෙම ලිපිය සමඟ දක්වා ඇති සිතියමෙහි (පිටුව 08) රතු කඩ ඉරෙන් වටව ඇති ප්‍රදේශය ලෙස දළව හඳුනා ගත හැකි ය. මෙම ප්‍රදේශයෙන් වැඩි භූමි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ, ඉන්දියාවෙන් පිටත බව මෙම සිතියම මගින් මූලිකව ම අපට නිරීක්ෂණය කළ හැකි ය. එසේ නම්, මෙම සැමරුම හින්දූන් විසින් නිර්මාණය කර අනතුරුව අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව ඇතුලු වෙනත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත වූවක් ද? තමන් මීට සියවස් 35කට පමණ පෙර සිට මෙම සංක්‍රාන්ති සැමරුම සිදු කරන බව මෙයිති ජනයා පැවසීමත්, ඔවුන් සාම්ප්‍රදායිකව හින්දූන් නොවීමත් අපට නොසලකා හැරිය නොහැකි නිරීක්ෂණයකි. දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව පුරා පැතිර තිබූ ආර්‍ය නොවන සංස්කෘතියක උපන් මෙම සැමරුම, පසු කාලීනව වෛදික බලපෑම් නිසා ඇතැම් ප්‍රදේශ වලින් අතුරුදන්ව ගියේ ද? මේවා අප උපන්‍යාස (hypotheses) ලෙස වැඩි දුරටත් අධ්‍යයනය කිරීම වටී

නාරද බලගොල්ල
යුතුකම 2025 අප්‍රේල් කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions