12/16/2014

මේ ක්‍රියාදාමය බණ්ඩාරනායක ඝාතනයට සමානයි

කතෘ:යුතුකම     12/16/2014   2 comments

-ආචාර්ය ගුණදාස අමරසේකර

ජනාධිපතිවරණය හමුවේ රට තුළ නිර්මාණය වී ඇති වාතාවරණය හා එය පිටුපස ඇති බලවේග ගැනත්. වත්මන් තත්ත්වය නිවැරදිව වටහා ගැනීමේ අවශ්‍යතාවත් පැහැදිලි කරගනිමින් සමාජ - දේශපාලන චින්තකයකු හා ක්‍රියාධරයකු ද වන ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකර සමඟ සිදු කළ සංවාදයකි. 

* “පොදු අපේක්ෂකයා” තමන් බව ප්‍රකාශ කරමින් මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රීලනිප හිටපු මහ ලේකම්වරයා ගත් ක්‍රියාමාර්ගය ගැන ඔබේ කියැවීම කෙබඳු ද? 
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරපු ප්‍රකාශය රූපවාහිනියෙන් බලාගෙන ඉඳිද්දී මගේ මතකය මීට අවුරුදු 55 කට එහා එක් ආන්දෝලනාත්මක සිද්ධියකට ගියා. ඒ, බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීම. සිරිසේන මහත්තයා කළෙත් ඒ වගේම වැඩක්.
මොකද, මේක දේශපාලන ඝාතනයක්. මේ දෙකම ඝාතන. ඒ වගේම මේ ඝාතන දෙක අතර යම් යම් සමානකම් ද මා දුටුවා. ඒවාට යාමට පෙර තවත් කාරණා කිහිපයක් නිරාකරණය කර ගැනීම අවශ්‍යයි. සිරිසේන මහත්තයා කරපු මේ දේශපාලන ඝාතන කුමන්ත්‍රණය පිටුපස හිටියේ කවුද කියන එක හඳුනාගැනීම පළමුවැන්නයි.
මං දකින හැටියට මේක සිරිසේන මහත්තයා හරි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හරි, රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි කළ දෙයක් නෙවෙයි. මේ සියලු දෙනාම කුමන්ත්‍රණයේ හවුල්කරුවන් වුණාට ඒක පිටුපස හිටියේ විජාතික සතුරු බලවේගයි. ප්‍රභාකරන් ඉවරයක් කරලා ත්‍රස්තවාදය අවසන් කළ දා පටන්ම දියත් කරපු කුමන්ත්‍රණය තමයි මේ. ඒ නිසා දේශපාලන ත්‍රස්තවාදයේ කූට ප්‍රාප්තිය හැටියට මේක හඳුන්වන්න පුළුවන්. මේක පිටුපස හිටියේ කවුද කියල හොඳටම පෙනෙන එක තැනක් තමයි ඉතාම රහසිගතව මෙය ක්‍රියාත්මක කිරීමට විදේශීය තානාපති කාර්යාල හරහා චන්ද්‍රිකා දුරකථන ඇමතුම් ලබාගෙන තිබීම. එක් අතකින් අපි මේ ගැන පුදුම විය යුතු නෑ. මොකද, ත්‍රස්තවාදයට මුල් වුණේත් ඔය රටවල් නිසා. 

* ඔබ කල්පනා කරන හැටියට මේ විදිහේ කුමන්ත්‍රණයක් දියත් වුණේ ඇයි? 
මූලික පරමාර්ථ කිහිපයක් හඳුනගන්න පුළුවන්. එකක් තමයි, මහින්ද රාජපක්ෂ රජය මානව හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව මත අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට රැගෙන යාම. ඒක ජනාධිපතිතුමා බලයේ සිටියදී කරන්න බෑ. ඒ නිසා එතුමාව අයින් කරන්න ඔවුන්ට අවශ්‍යයි. යුද අපරාධ අධිකරණයට ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම් ඇතුළු හමුදා ප්‍රධානීනුත් රැගෙන යාමට අවශ්‍ය පසුබිම දැනටමත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙදී හදලා ඉවරයි. ලබන මාර්තුවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයේ නොසිටියොත් මේ බලවේගවලට තමන්ගේ වුවමනාව ඉටුකර ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා අවශ්‍ය ඊළඟ පියවර තමයි මේ සකසමින් ඉන්නෙ. අපේ මිනිස්සු මේක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන.
මේක මාරාන්තික සටනක් බව අමතක නොකළ යුතුයි. ඊළඟට මේ කුමන්ත්‍රණයේ තරම පසුගියදා අල් ජසීරා නාළිකාවේ විකාශය වුණු ගෝලීය දෙමළ සංසදයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහභාගිවුණු සාකච්ඡාවෙදීත් පැහැදිලි වුණා. සුරේන්ද්‍රන් පැහැදිලිවම ඔවුන්ගේ සැලැස්ම, අරමුණ කිව්වා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට ඔවුන්ට අවශ්‍යයි. දෛවයේ සරදම කියන්නෙ රජීව විජේසිංහ මන්ත්‍රීවරයෙක් හැටියට ජාතික ලැයිස්තුවෙන් පත් කළේත් ජනාධිපතිතුමා.

* බෙදුම්වාදය හා මේ අතර සම්බන්ධයක් දැකිය හැකි ද? 
මේ කරන්න හදන්නෙ රට බෙදා වෙන්කිරීම තමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටියදී එය කරගන්න බැරි බව පසුගිය කාලය මුළුල්ලේ ම පැහැදිලි වුණා.
ඔහු එළියට ඇදල දාලා තමන්ගේ ගැත්තෙක් වන රනිල් වික්‍රමසිංහ වැනි අයෙක් ඊට ගෙන එන්න හදන්නෙ ඒකයි. ඒ වැඩේ මෛත්‍රීපාල සිරිසේන ඉතා හොඳින් කරනවා. සිරිසේන මහත්තයා තමන්ගේ පළමු ප්‍රකාශයෙන්ම මොකක්ද කිව්වෙ. 18 වෙනි සංශෝධනය ඉවත් කරනවා කිව්වා. හැබැයි 13 ගැන වචනයක් කිව්වෙ නෑ. 17, 18 නෙවෙයි 13 යි වැදගත්. මේ ද්‍රෝහී බලවේග වෑයම් කරන්නෙ රනිල් වික්‍රමසිංහ සියලු විධායක බලතල සහිත අගමැති කරවීමටයි.
තමන් ජනාධිපති වුණාම ඒක කරනවා කියල සිරිසේන මහත්තයා කිව්වා. තමන්ට ඡන්දය දුන් හා මුළුමහත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අභිමානය ඔහු නැති කළා. රනිල් ආවොත් වෙන දේ හොඳටම පැහැදිලියි. ඔහු මතින් විදේශීය සතුරු බලවේග මෙහෙ ඊළාමය හදනවා. අපේ තරුණයෝ දහස් ගණනින් ජීවිත දුන්නෙ මේකටද? අත්-පා අහිමි කර ගත්තේ මේකටද?
බොහෝ දෙනෙක් නොදකින තවත් කාරණයක් තමයි, මේ කුමන්ත්‍රණය මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමට ප්‍රයත්න දැරීම. විශේෂයෙන් මේ රටේ සිංහල, බෞද්ධ හා ජාතික බලවේග නියෝජනය කරන ප්‍රධානම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ නොකර තමන්ගේ අරමුණු ඉටුකර ගත නොහැකි බව විජාතික සතුරු බලවේග දන්නවා. ඒ නිසා ඔවුන් දිගටම මේක කරන්න හැදුවා. බණ්ඩාරනායක ඝාතනයේ පටන්ම වරින්වර එය සිදුකරන්න හැදුවා.

* බණ්ඩාරනායක ඝාතනය පිටුපස විජාතික බලවේග සිටිය හැකි බවද ඔබ කියන්නෙ? 
ඒ පිටුපස සී. අයි. ඒ එක ඉන්නවාය කියල කටකතා තිබුණා. මමත් ඒවා විශ්වාස කළේ නෑ. නමුත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන රාජා වනසුන්දර මහත්මයා මෑතකදී මට පැහැදිලි කළ හැටියටත් අපට ඒක පිළිගන්න වෙනවා. සිරිසේන මහත්තයා කළ දේශපාලන ඝාතනයෙන් වෑයම් කරන්නේත් ශ්‍රීලනිපය වැනසීමටයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රනිල්ට පාවා දෙන්න යන්නෙ ඒකට තමයි. බණ්ඩාරනායක ඝාතනයට භික්ෂූන් දෙනමක් සම්බන්ධයි. කැලණි හිටපු විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවොයි, තල්දූවේ සෝමාරාම හාමුදුරුවොයි. වෙඩි තිබ්බෙ සෝමාරාම හාමුදුරුවො කියලයි කිව්වෙ. නමුත්. මේක පිටුපස හිටියේ විජාතික බලවේග බව පැහැදිලියි.
සිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක් විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත් හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්. මෙතැනදි මතුවන ප්‍රශ්නය ඇයි මෙහෙම බෞද්ධ භික්ෂූන් මේවාට යොදාගන්නෙ කියන එක. මොකද ඔවුන් දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පදනමක් බව. පංච මහා බලවේගයේ අංක එක සංඝයා වහන්සේයි. මේ වැඩ නිසා සංඝයාවහන්සේ අවමානයට ලක්වන බව ඔවුන් දන්නවා. එදා බණ්ඩාරනායක ඝාතනයේදීත් ඒක වුණා. කාලයක් යනතුරු ඒ අවමානය මකන්න බැරි වුණා. මේ බලවේග වෑයම් කරන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බිම දාන්න කියන එක අපි තේරුම් ගන්න ඕන.

* විධායක ධුරය අහෝසි කිරීම ද රට ඉදිරිපිට ඇති පළමු ප්‍රශ්නය? 
ඕක අහෝසි කරන්න ‍මේ රටේ මිනිස්සුන්ට ඕනද? නෑ. අනෙක මේ ක්‍රමය අපේ අතීත රාජ්‍යත්වයට කිට්ටුයි. දසරාජ ධර්මයෙන් රට පාලනය කළ රාජ්‍යත්වයක් අතීතයේ තිබුණේ. මේ විධායක ජනාධිපති ක්‍රමයෙනුත් ඔය කියන විදිහේ හානියක් රටට වුණේ නෑ. මේක නොතිබුණා නම් තවමත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය එහෙමමයි. මේක නොතිබුණා නම් පාර්ලිමේන්තුවෙ ඉන්න ජනතා නියෝජිතයො බෙදුම්වාදීන්ගේ කෝටි 2, 3 ට අනික් පැත්තට ගන්න තිබුණා. එහෙම වුණා නම් යුද්ධය කරන්න පුළුවන් වෙයිද? ඒ නිසා මං නම් හිතන්නෙ මේ විධායක ක්‍රමය වෙනස් කළ යුතු නෑ. සුද්දා හදපු මේ දේශපාලන ක්‍රමය නම් අපි වෙනස් කළ යුතුයි. සෝල්බරි කළේ මේක බෙරි කළ එකයි. අයිවර් ජෙනිංග්ස් හදපු වෙස්ට් මිනිස්ටර් ක්‍රමය වෙනුවට වෙනත් ක්‍රමයක් අප ගෙන ආ යුතුයි. සිරිසේන මහත්තයට මේ පාවාදීම කරන්න ලැබුණෙත් ඔය ක්‍රමය නිසා තමයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්වන වතාවට බලයට පත්වුණාම මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම ගැන අවධානය යොමුකර එය ක්‍රියාත්මක කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. විධායක ක්‍රමයට එරෙහිව පුහු ඝෝෂා නඟන්නෙ ජනාධිපතිතුමා පරාජය කරන්න බැරි නිසා මිසක වෙන දෙයක් නිසා නෙවෙයි. රජයට සුදු හුණු ගාන්න මං සූදානම් නෑ. ඒත්; දැන් විතරද දූෂණ වෙන්නෙ. කලින් වෙලා නැද්ද? මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය තුළ දූෂණ නවත්වන්න බෑ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට චෞර රැජන කියල අභිෂේක වුණේ ඇයි? අපි මැරිල ඉපදුණේ නෑ. මේ එක්කම මට චෝදනාවකුත් තියෙනවා. ඒ, ජනාධිපතිතුමා 2010 දී බලයට පත් වූ පසු ජාතික බලවේග නොතකා හැරියා ද කියන එකයි.
එතුමා වටා සිටි ඇතැම් උපදේශකයන් නිසා එහෙම වුණා කියල අපට සිතෙනවා. ජනාධිපතිතුමාට මේ කුමන්ත්‍රණයෙන් වුණත් තේරුම් යා යුතුයි, ‍ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නැති වුණාට දේශපාලන ත්‍රස්තවාදය අවසන් නැති බව. ඒ නිසා දැන්වත් 13 අහෝසි කර මේ දේශපාලන ක්‍රමය, ව්‍යවස්ථාව වෙනස් කිරීමට ක්‍රියා කළ යුතුයි.
මේ වතාවෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුණොත් ඒ පරාජය වෙන්නෙ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා නෙවෙයි, මුළුමහත් රටයි, ජාතියයි. ඒ නිසා රටත්, අනාගත පරපුරත් ගැන සිතන සෑම දේශ හිතෛෂියකුම ඒ බව දැනගෙන ක්‍රියා කළ යුතුයි. එහිදී මොන වරදක් තිබුණත් එය අමතක කර රට - ජාතිය හා අනාගත පරපුර වෙනුවෙන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවිය යුතුයි.
[දිණමිණ ]

-යුතුකම සංවාද කවය 
www.yuthukama.com

12/15/2014

එළාරගේ පරාජය සිහිපත් කරන ජාතිය ප්‍රභාකරන්ගේ පරාජය අමතක කරයි!

කතෘ:යුතුකම     12/15/2014   2 comments
ලිබියානු නායක මුහමර් අල් ගඩාෆි විපක්‍ෂ කැරලිකරුවන් විසින් අල්ලාගනු ලැබුවේ 2011 ඔක්‌තෝබර් 21 වැනිදාය. පුරා වසර 42 ක්‌ ලිබියාව පාලනය කළ ගඩාෆි අවසානයේ කැරලිකරුවන්ට හසුවුණේ බෝක්‌කුවක්‌ යට සැඟවී සිටියදීය. තමා බලය හොබවන කාලයේදී හෙතෙම සිය විරුද්ධවාදීන් හඳුන්වා දෙනු ලැබුවේ මීයන් ලෙසය. බටහිර ලෝකය ලිබියානු නායකයාගේ මරණය අසා අත්පුඩි තලන්නට විය. ලිබියානු නායකයාගේ මරණයෙන් පසු ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ලැබී එරට ජනී ජනයා සාමයෙන් උනුන් වැළඳ සිනහසෙමින් ජීවත්වනු ඇතැයි බටහිර ලෝකයත් ඇමරිකාවත් බලාපොරොත්තු විය. එහෙත් දන්නා යකා පලවා හැර නොදන්නා යක්‍ෂයන් දුසිම් ගණනක්‌ කැඳවා ගැනීම නිසා අද ලිබියාවට සිදුව ඇත්තේ කුමක්‌ද? සම්පූර්ණ අරාජික අසාර්ථක රටක්‌ බවට පත්වීම නොවේද? ලංකාවේ යහපාලනය ගැන කතා කරන ගිහි පැවිදි සියලු දෙනාටමත් මෙය ඉතා හොඳ පාඩමකි. අප්‍රිකානු කලාපයේ ඉතාම හොඳම ජීවන මට්‌ටම පැවැතියේ ලිබියානු රාජ්‍යය තුළය. නමුත් අද එරටට ගුවන්යානයක්‌ ගොඩබැස්‌සවීමට බැරි තත්ත්වයක්‌ උදාවී ඇත. ලිබියාව කෑලි කෑලිවලට කැඩී ගොස්‌ අවිගත් මුස්‌ලිම් අන්තවාදි කණ්‌ඩායම් තම ගෝත්‍රයට අයත් ප්‍රදේශ පාලනය කිරීමට පටන්ගෙන තිබේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නමට පමණකි. එසේ නම් අදත් ගඩාෆි ජීවත්ව සිටියානම් ලිබියාව තවමත් සාමකාමීය. ඊනියා යහපාලනය වෙනුවෙන් ලිබියානු වැසියෝ දිවිදෙති.

යහපාලනය යනු රටක්‌ අස්‌ථාවර කිරීමට යොදාගන්නා උපකරණයක්‌ දැයි අපට සැක සිතේ. 2015 ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 25 ක්‌ පමණි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර සිටම අතුරලියේ රතන හිමියෝ යහපාලනය ගැන කතා කළහ. නමුත් එය සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක්‌ හෝ උවමනාවක්‌ වූයේ නැත. කොළඹ කේන්ද්‍රීය කරගත් රාජ්‍ය නොවන සංවිධානවලට නම් මහින්ද රාජපක්‍ෂ රජය ගැනත් එහි ක්‍රියාකාරිත්වය හා යහපාලනය ගැනත් ප්‍රශ්නයක්‌ පැවතිණි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් එදා පුරා පැය තුනක්‌ බණ දේශනා පවත්වත්දී යහපාලනය ගැන කතා කළ බවක්‌ අපට නම් මතක නැත. සෝම හිමියන් අපවත්වී වසර 11 ක්‌ ගෙවුණේ ඉකුත් සිකුරාදාය. එදා උන්වහන්සේගේ අභාවයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා මන්ත්‍රීකම් දිනා ගත් භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද සෝම හිමි පැතූ බෞද්ධ රාජ්‍ය අමතක කර පිවිතුරු හෙටක්‌ ගැන කතා කරති. මෙය සැබැවින්ම බරපතළ වංචාවකි. එදා 2003 දෙසැම්බර් 24 වැනිදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ආදාහන උත්සවය පැවැත්විණි. ඒ ආදාහන උත්සවයට පෙර දින රූපවාහිනිය ඔස්‌සේ හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර සිටියේ සෝම හිමියන්ගේ ආදාහන උත්සවයෙන් පසු කවරකු හෝ අන්‍යාගමිකයන්ට පහර දුනහොත් දැඩි දඬුවම් දෙන බවය. එසේම සෝම හිමියන්ගේ ආදාහනය සිදුවී අවසානයේ නිවෙස්‌ බලා යමින් සිටි බෞද්ධයන්ටද කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරනු ලැබීය. එවක පොලිසිය භාර සිටියේ අන්කවරකුවත් නොව හිටපු ජනාධිපතිනියයි. ඒ කාලයේ එක්‌සත් ජාතික පක්‍ෂය බලයේ සිටියද ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපතිනිය යටතට ගෙන තිබිණි. එදා බෞද්ධයන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කළ පිරිස්‌ සමඟ පිවිතුරු හෙටක්‌ සාදන්නේ කෙසේද යන්නත් අපට නම් ප්‍රශ්නයකි. "බුදු හිමියන්ටත් කලි යුගයේ දෙවියන්ගේ පිහිටයි" යන ගීත පාඨය සිහිවන්නේ මෙවැනි අවස්‌ථාවලදීය.

විරුද්ධ පක්‍ෂ කණ්‌ඩායම්වලට යහපාලනය මෙන්ම විධායක ජනපතික්‍රමය මතක්‌ වූයේ ජනපති මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා ගැනීමට කිසිම සටන් පාඨයක්‌ නොවූ විටය. යහපාලනය වෙනුවෙන් අරාබි වසන්තය ඇරඹුනේ 2010 දෙසැම්බර් මාසයේදීය. මුලින්ම ටියුනීසියාවේ ජනපති බෙන්අලි පලවා හැරීය. පසුව අරාබි වසන්තය ඊජිප්තුවට, ලිබියාවට, යේමනයට පැතිරී සිරියාවේ කැරැල්ල ආරම්භ විය. අරාබි වසන්තයට පින්සිදුවන්නට සිරියානු වැසියන් ලක්‍ෂ දෙකක්‌ ඝාතනය වී අවසානය. දැන් යහපාලනය වෙනුවෙන් සිරියානු වැසියෝ දිවි දෙති. අරාබි වසන්තයේ එක්‌ සුජාත දරුවෙක්‌ ලෙස සුන්නි වහාබ්වාදි අයි.එස්‌.අයි.එස්‌. යක්‍ෂයාද බිහිවිය. ජනාධිපතිවරණ වේදිකාවල යහපාලනය පවුල්වාදය ගැන වෛරී ප්‍රකාශ නිකුත් කරන කිසිවෙක්‌ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදුවූ ඊනියා අරාබි වසන්තය හරහා මියගිය ලක්‍ෂ ගණනක්‌ දෙනා ගැන කතා කරන්නේ නැත.

අරාබි වසන්තය පිළිබඳව බටහිර ලෝකය බෙහෙවින් සතුටු වූවා සේම මෙවර ජනාධිපතිවරණයේ දී රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය වනු දැකීම සියලු විදේශ බලවේගවල ඒකායන ප්‍රාර්ථනය බව අමුතුවෙන් කිවයුතු නැත. International Crisis Group නමැති සංවිධානය ඉකුත් 09 වැනිදා මෙරට ජනාධිපතිවරණ ගැන නිවේදනයක්‌ නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ මුස්‌ලිම් ඡන්ද වැලැක්‌වීම සඳහා බොදුබල සේනාව ක්‍රියා
කිරීමට ඉඩ ඇති බවයි. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් එම ආණ්‌ඩුව අස්‌ථාවර කිරීමටද බොදුබල සේනාව ක්‍රියාකිරීමට ඉඩ ඇති බවය. එසේ නම් විදේශීය බලවේගවල අවශ්‍යතාව කුමක්‌ දැයි පැහැදිලිය. කවර බලවේග ක්‍රියාත්මක වුවද රටේ ජනතාව අකෘතඥවනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. වසර දෙදහසකට පෙර දුටුගැමුණු රජු විසින් එළාර රජු පරාජය කර යළි රට එක්‌සේසත් කිරීම ගැන අප නැවත නැවතත් සිහිකරමු. එලෙසම ජනාධිපතිවරයා මීට වසර 5 කට පෙර ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌තනඩය සහමුලින්ම වනසා රට මුදා ගැනීම මෙතරම් ඉක්‌මනින් අමතක කිරීම සුදුසුද? එනිසාම සිංහල බෞද්ධයා කිසිවිටක අකෘතඥයකු විය යුතු නැත. ජනතාවට අවශ්‍ය තීන්දුව ඔවුන් විසින් ගනු ඇත. නමුත් අරාබි වසන්තය මෙරටට කැඳවන අමන තීරණ ගත යුතු නැත. මීට වසර පහකට පෙර රට තිබුණු අයුරු අමතක කිරීම කිසි ලෙසකින්වත් කළ යුතු නැත.

 
-චතුර පමුණුව
[දිවයින]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

නායකයින් ආත්ම කේන්ද්‍රීය වීම උදෙසා තරුණයා ගොනාට ඇන්දවීම

කතෘ:යුතුකම     12/15/2014   8 comments
ඒ පැත්තෙන් මේ පැත්තට එන්නේ කවුද? මේ පැත්තෙන් ඒ පැත්තට යන්නේ කවුද? ඒ අද දේශපාලන ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන ජවනිකාවකි. මෙහිදී වඩා වැදගත් වන්නේ යන්නේ එන්නේ කවුද කියන කාරණයට වඩා ඔවුන් යන්නේ එන්නේ කුමන හේතුවක් මතද යන කාරණයයි. අපි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පටන් ගනිමු.

විධායක ජනපති ධූරය අහෝසි කරනවාද, නැත්ද?

විධායක ජනපති ධූරය අහෝසි කිරීම බැලූ බැල්මට ඉතා ආකර්ෂණීය සටන් පාටයකි. නමුත් එය එතරම් සරල කාරණාවක්ද නොවේ. 1978 ජයවර්ධන ජනාධිපති තුමා විසින් විධායක ජනපති ක්‍රමය ඇතුලත් කරමින් සැදූ වත්මන් ව්‍යවස්ථාවේ බොහෝ වගන්ති විධායකය සමඟ සබධතාවක් ඇත. එසේ අහෝසි කරනවා නම් ඒ සියළුම වගන්තිද සංශෝධනය කළ යුතුය. ඒ ඇතැම් අනෙක් වගන්ති සංශෝධනය, විධායකය අහෝසි කිරීමටත් වඩා තීරණාත්මකය. දේශපාලනිකය. උදාහරණයක් ලෙස දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ටාධිකරණ තීරණය ලැබෙන්නේ විනිසුරුවන් නව දෙනෙකුගෙන් පස් දෙනෙකුගෙන් පමණි. (සැබවින්ම එයින් ද එක් අයෙක් එයට පක්ෂ වූවාද නැතිද යන්න විවාද සම්පන්නය) ඔවුන්ද එමඟින් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය වන ශ්‍රී ලංකාව ඒකීය රටක් යන්න උල්ලංගනය නොවන බව පවසන්නේ ජනාධිපතිවරයා විසින් පළාත් සභාවලට ආණ්ඩුකාරවරයකු පත් කරන නිසාය. අද බෙදුම්වාදීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් උතුරු පළාතට පත් කරන ලද ආණ්ඩුකාරවරයා වන මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙනුවට වෙන අයකු පත්කිරීමයි. මෙහි ඇති බැරෑරුම් කම තේරුම් ගැනීමට ඒ ප්‍රමාණවත්ය. විධායක ජනපති ධූරය අහෝසි කරනා විට ජනාධිපතිතුමා විසින් පත්කරන පළාත් ආණ්ඩුකාරවරයාට සිදු වන්නේ කුමක්දැයි යන්නට මුනිවත රැකීමම වංචාවකි. යමෙකු මේවා ගැන හරියට නොසිතා තමන් විධායකය අහෝසි කරනවා  යයි සිංහ නාද පවත්වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමටය.

විධායක ජනපති ධූරය අහෝසි කරනවාත් සමඟ ව්‍යවස්ථාව පුළුල් වෙනසකට ලක් කළ යුතු වන අතර වඩා වැදගත් වන්නේ ඒ වෙනස කුමක්ද යන්නයි. චන්ද්‍රිකා ගෙනෙන්නට උත්සාහ කළ පැකේජය තුළ විධායකය අහෝසි වන්නේ මෙරට දෙකඩ කරවීමට බලා සිටිනා බටහිරයන්ගේ මනදොළ පිනවීමට ඒකීයභාවය බිද දමමින් මෙරට ෆෙඩරල් හෝ කොන්ෆෙඩරල් තත්වයක් දක්වා ඇදගෙන යාමෙනි. රනිල් එයට ගිනි තබන්නට ඇත්තේ රට ෆෙඩරල් වන නිසා නොව, එවක තමන්ට මීලඟට ලැබේ යයි සිතා සිටි විධායක ජනපති ධූරය ඉවත්වන නිසා බව සිතාගැනීම වඩා නිදොස් යයි සිතමි.

විධායක ජනපති ධූරය සම්බන්ධයෙන් යමක් සිරිසේන මහතාද පවසන බව පැහැඳිලිය. එජාපය ඇතුළු වෙනත් පක්ෂ හා සංවිධාන සමඟ එතුමා විහාර මහා දේවි උද්‍යානයේදී අත්සන් තබන්නේ විධායක ජනපති ධූරය දින සියයක් ඇතුලත අහෝසි කර දැමුමටයි. නමුත් එම ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර ජාතික හෙළ උරුමය සමඟ අත්සන් තබන්නේ විධායක ජනපති ධූරයේ අහිතකර බලතල පමණක් සංශෝධනයටයි. අහිතකර බලතල සංශෝධනයට එකඟ වනවා යනු විධායකය දිගටම පවත්වා ගැනීමට එකඟ වීමකි. එනිසා මේ ගිවිසුම් දෙක ඉඳුරාම එකිනෙකට පරස්පරය.

මෙහි ඇති ඉතාමත්ම අවාසනාවන්ත තත්වය නම් අද වත්මන් දේශපාලකයින් පත්ව ඇති දුර්ධාන්ත මට්ටමයි. යහ පාලනය සහ ප්‍රජාත්ත්‍ර්වාදය ඇති කරන්නට එන වීරයෝ තමන්ගේ තක්කඩි ගතිය ලොවට පෙන්වන්නේ තමන් යහපාලනය හා ප්‍රජාත්න්ත්‍රවාදය ඇති කරන බවට අත්සන් යොදන ගිවිසුම් තුළමය. දේශපාලනය ගැන ඉතා සරල නොගැඹුරු කියවීමක් ඇති තරුණයකු ඒගොල්ලොන්ගේ ගිවිසුම් ඒ ගොල්ලෝ බේරාගත්තාවේ, අපිට ඕනෑ මේ මහින්ද පරද්දන්න යයි කියනු ඇසුවෙමි. සැබවින්ම ඒ තරුණයාගේ සහ සිරිසේන, රනිල්, චන්දිර්කා, මනෝ ගනේෂන් හා චම්පික හවුලේ දේශපාලනයෙහි ඇති වෙනසක් නැත. මොවුන් මේ අත්සන් තබන්නේ සිය පුද්ගලික දේපළ සම්බන්ධ ගිවිසුම් වලට නොව, මේ රට පිළිබඳ ගිවිසුම්වලටය. මේ රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව විසින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනු උදෙසා පවරන ලද බලයේ අනුහසිනි මේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් පන්නයට ගිවිසුම් වලට අත්සන් තබන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පරමාධිපත්‍ය බලය හිමි ජනතාව අවඥාවට ලක්වන්නේ 'යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය' නළලේ ගසාගෙන එන්නන් අතර ඇතිකරගන්නා ගිවිසුම් තුළමය. මුසාබස් දෙඩීමට පමණක් නොවා ඒවාට අත්සන් දැමීමට කිසිදු හිරිකිතයක් නැති අයගෙන් අපට බලාපරොත්තු විය හැකි යහපාලනය කුමක්ද? මේ තත්වය තුළ සිරිසේන මහතා රජයෙන් ඉවත් වන්නේ විධායක ජනපති ධූරය අහෝසි කිරීමට හෝ එහි බලතල කප්පාදුවට හෝ යන දෙකෙන් එකක් හෝ මත නොවන බව උකුණූ හිසක් තරම්වත් මොළයක් ඇති මිනිසෙකුට වටහා ගත හැක.

ඖෂධ පනත සොරාගැනීම

එසේ නම් ඔහු ඉවත් වන්නේ ඇයි? අපට මීළඟට සිත යොමු කළ හැක්කේ රජයෙන් ඉවත් වී පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවේ ඔහු පැවසූ අනෙක් කරුණු දෙක වෙතය. ඉන් පළමු වැන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තුමේන්තුව තුළදී යම් අයකු විසින් සොරකම් කිරීමයි. එසේ සොරකම් කරන ලද නම් ඔහු විසින් කළ යුත්තේ කුමක්ද? ඒ ගැන කිය කියා නිකම් සිටීමද? එයද නායකයකුගෙන් අප බලාපොරොත්තු වන භාවිතාව? ඔහු කළ යුත්තේ නැවත එම කෙටුම්පත ඉදිරිපත් කිරීම සහ සොරකම් කළ වුන් සොයා ඔවුනට නිසි දඬුවම් දීමය. කෙටුම්පතෙහි පිටපත් කිහිපයක් කිහිප දෙනෙකු අත තිබෙන බව ඕනෑම තොත්ත බබෙකුට සිතාගත හැකි කරුණකි. සියළුම පිටපත් (සිරිසේන මහතා ළඟ තිබෙන පිටපත සහ පරිගනක තුළ ගබඩා වී ඇති පිටපත්ද ඇතුළුව) විනාශ කර ඇත්නම් එය නැවත වරක් කෙටුම්පත් කළ හැකිය. එසේ නම් මෙවැනි ලාමක කතා කියන්නේ අර සරල තරුණයන් ගොනාට අන්දන්නට නොවේද?

මෙහිදී සිදු වන්නට ඇත්තේ කුමක්දැයි අපට අනුමාන කළ හැකිය. සිරිසේන මහතා තමාට මරණ තර්ජන තිබෙන බව වරක් අපට පැවසුවා මතකය. ඒ, මේ ඖෂධ පනත සම්බන්ධයනි. ලොව පුරා විශාල ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බව අපි අසා ඇත්තෙමු. ඔවුන්ගෙන් සිරිසේන මහතාගේ චරිත ශක්තිය ගැන අවබෝධයක් ඇති යමෙක් ඔහුට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කළේය. ඉන් පසුව සිරිසේන මහතාගේ පනත් කෙටුම්පත නැති විය. එක නිර්ණාමික දුරකතන ඇමතුමක් ඔස්සේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නවතා දැමීමට හැකි පෞර්ෂයකින් හෙබි ඔහු ඒ පිළිබද අන් අයට දොස් පැවරීම නම් අපූරු මෛත්‍රියකි.

සිගරට් පැකට්ටුවට රූප

ඔහු ඉදිරිපත් කළ අනෙක් කාරණය නම් සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% දක්වා යාමට එරෙහිව අධිකරණය යම් තීන්දුවක් ලබා දීමය. අධිකරණයට තීන්දු ගන්නට සිදුවන්නේ පවතින නීතිමය තත්වයන්ට අදාළවය. රටේ නීතිය සැකසීමේ බලය ඇත්තේ සිරිසේන මහතාද නියෝජනය කරන ව්‍යවස්ථාදායකටයි. සිරිසේන මහතා කළ යුතුව තිබුනේ කළින්ම නීතියක් සාදා ගැනීමය. එනම් පනතක් ඉදිරිපත්කර එය පාර්ලිමේන්තුවේ සම්මත කොට සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% ක් අනිවාර්ය කිරීම රටේ නීතියක් බවට පත් කිරීමයි. එසේ නොකළ ඔහු, සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80%ක් අඩංගු කරන්නැයි නියෝගයක් ලබා දුන්නේය. එම නියෝගයට එරෙහිව දුම්කොළ සමාගම් උසාවි ගියහ. ඔහු එය පනතක් ලෙස සම්මත කරගෙන නොසිටි නිසා අධිකරණයට තීන්දු ලබා දීමට සිදුවන්නේ පවතින අනෙක් නීතිමය තත්වයන් උඩය. එනිසා සිරිසේන මහතා මෙහිදී යහපත් චේතනාවකින් කටයුතු කරන්නට ඇති වුවත් ඔහු නිවැරදි ක්‍රියාදාමය අනුගමනය නොකර නිසා එයද සාක්ෂාත් කරගැනුමට ඔහුට නොහැකි විය. දැන් ඔහු ජනතාවට කියන්නේ තමාට ඇමතිව සිට ඒවා කර ගත නොහැකි වූ නිසා තමා ජනපති කරදෙන ලෙසය. ජනපති වූ පසු ඔහුට මුහුණ දෙන්නට සිදු වන අභියෝගයන් හමුවේ ඖෂධ පනතත්, සිගරට් රූපත් ඉතා කුඩා ඒවා බව ඔහු නොදන්නවා විය නොහැකිය. එම අභියෝග ඇමති මට්ටමේ දී ජයගත්තා නම් ඔහුට අභියෝගයක් ජය ගැනීමේ කිසියම් හෝ හැකියාවක් ඇති බව අපට සිතන්නට තිබුනි.

ඔහු ආණ්ඩුවෙන් එළියට බැස්සේ විධායක ජනපති ක්‍රමයට එරෙහිව හෝ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ නොවන බව පැහැඳිලිය. ඖෂධ පනත හෝ සිගරට් රූප ක්‍රියාත්මක කරවා ගත නොහැකි වීම ඔහුගේ දුර්වල චරිත ශක්තියද පිළිඹීබු කෙරෙන්නක් නොවේද? එසේ නම් ඔහු පිල් මාරු කළේ ඇයි? එයද ඉතා පැහැඳිලි යයි සිතමි. ඒ අන් කවරක් නිසාවත් නොව පුද්ගල කේන්ද්‍රීය අභිලාෂයන් වන තමාට අගමැතිකම නොලැබීම සහ එහි වාඩුව ජනපති වීමෙන්ම පියවා ගැනීමේ චේතනාවෙන් යුක්තවය.  රජය පරදවන්නට හැකි නම් තවත් අය පනින්නට සූදානමින් සිටින නිසා ඒ සියළු දෙනා පනිනු ඇතැයි ඔහු සහ චන්ද්‍රිකා ගණන් බලන්නට ඇත. නමුත් චම්පිකද වරක් පැවසූ පරිදි මිණිගෙඩිය කරේ බඳින්නට ගිය පසු ඒ සඳහා අනුබල දුන් බොහෝ දෙනෙකු ආවේ නැත.

ආත්ම කේන්ද්‍රීය ගැටළු හා ජාතික දේශපාලනය අතර ඇති සහසම්බන්ධය

කරුණු මෙසේ නම් සිය පුද්ගල කේන්ද්‍රීය අභිලාෂයන් වෙනුවෙන් එළියට බැස්ස සිරිසේන මහතා “අයියෝ සිරිසේන” තත්වයට පත්වේද? අපි එසේ නොසිතමු. ඡන්දය, සිංහල දෙමළ හා මුස්ලිම් ආදී ජාතිකත්ව පදනමකින් සලකා බැලීම එතරම් හිතකර තත්වයක් නොවේ. නමුත් අප අකැමැත්තෙන් වුවත් භූමියේ පවතින යථාර්ථයන්ට මුහුණ දිය යුතුය. අප අකමැතියි කියා යථාර්ථය අමතක කොට සිහිනයක පාවෙමින් අපට තීන්දු ගත නොහැකිය. උතුරු නැගෙනහිර ඡන්දවලින් බහුතරයක් තවම ක්‍රියාත්මක වනුයේ දෙමළ සන්ධානයේ සිතැඟි පරිදිය. තිස් වසක් කුරිරු යුද්ධයෙන් බැට කමින් බලහාත්කාරයෙන් දශක තුනක් ඔස්සේ ප්‍රකෘතියෙන් බැහැර කරවා තබන ලද අපගේ ඒ සහෝදර ජනතාව නිදහසේ සිතන්නට පුරුදු වී නැත. එයට යම් කලක් ඔවුන් ගනු ඇත. එතෙක් ඔවුන් ඉහළින් එන බෙදුම්වාදී දෙමළ සන්ධානයෙන් එන නියෝගයන්හි වහළුන් පමණි. එතෙක් ඔවුනගේ ඡන්ද බෙදුම්වාදීය. සිංහලයන්ගේ ඡන්ද දෙකට බෙදා බහුතර සිංලයන්ගේ බලය නිෂේධනය කර බෙදුම්වාදී අරමුණු ඔස්සේ නැටවෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ මීළඟ පාර්ලිමේන්තු සටනේද සැලකිය යුතු කාර්ය භාරයක් සිරිසේනගෙ මෙන්ම චම්පිකලාගේ පුද්ගලික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම හා ගැටගැසෙනු ඇත.

නායකයින් තමන් වෙත එන පුද්ගලික ගැහැට ඉවසීමට පුරුදු පුහුණු විය යුතුය. ඒවාට මුහුණ දිය හැකි පෞර්ෂයකින් හෙඹි නොසැලෙන චරිත ශක්තියක් තමන් තුළ වඩවා ගත යුතුය. එසේ නොවන කල්හි, එම කුඩා පුද්ගලික කෙනිත්තිලි වල වාඩුව ගන්නා අටියෙන් දේශපාලනය කරන්නට යාමෙන් ඔවුන් නවතින්නේ බෙදුම්වාදී අධිරාජ්‍යවාදීන්ගේ අගු පිලේය. ඇහැලේපොළ චරිතය අපට ඉතිහාසයෙන් කියා දෙන පාඩම එය නොවේද?  චන්ද්‍රිකාට, සිරිසේනට මෙන්ම චම්පිකටත් ප්‍රමුඛ වී ඇත්තේ තමනට පුද්ගලිකව සිදුවූ හෝ සුදුවූවා යයි සිතන අසාධාරණකමක වාඩුව ගැනීම බව අවබෝධ කර ගැනුමට සිරිසේන මහතා එකම දිනයකදී අත්සන් තැබූ එකිනෙකට පටහැණි ගිවිසුම් දෙක වුවත් ප්‍රමාණවත්ය. ඔවුන් අභ්‍යන්තරික වශයෙන් මෙහෙය වෙන්නේ වෛරය විසිනි. හාස්‍යජනක කාරණය නම් එම වෛරයට මෛත්‍රී පාලනයක් යැයි නම් තැබුමය. මේ අයද බොරුවට හෝ දොස් පවරන විධායකය බිහිකිරීම පමණක් නොව, කළු ජූලිය, දේශපාලන පක්ෂ තහනම් කිරීම, මැතිවරණ නොපැවැත්වීම ආදී ඇත්තටම යහපාලනය නොතිබූ, මේ රට නියම අධර්මිෂ්ට යුගයක් කරා මෙහෙය වුනු ජේ ආර් ජයවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමාව වූයේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි කිරීම බව අපට අමතක නැත.

වෛරය, මෛත්‍රී වේශයෙන් මතුවිය හැකි බව බුදු දහමෙහි සඳහන්ය. නගරය හා සම්බන්ධ වන එහි යන එන, අන්තර්ජාලයේ ගොසිප් පුවත් ඔස්සේ "කාරණා කාරයකු" බවට පත්වන, තම ජාතියට උරුම ඉව අධ්‍යාපනය ඔස්සේ විනාශයට පත්කරගත් තරුණයින් කිහිප දෙනෙකු මේ මෛත්‍රී වේශයට රැවටී සිටිනු දැකිය හැක. බාහිරට පෙනෙන ලස්සන  සහ නවමු සටන් පාඨ වන විධායකය අහෝසි කිරීම, යහපාලනය ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වැනි සටන් පාඨ මඟින් ඒ තරුණයා ගොනාට අන්දා ඇත. කෙසේ වුවත් තවමත් හොඳ ඉවක් ඇති, සැමදාමත් රට මර උගුල්වලින් බේරා දෙන ගැමි ජනයාගෙ ඉවට නම් මෛත්‍රිය සහ වෛරය හඳුනා ගැනීම එතරම් ගැටළුවක් නොවේ.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/10/2014

ඒ ලේකම්ට මේ ලේකම්

කතෘ:යුතුකම     12/10/2014   No comments
මහින්දගේ සැලුන් දොර කටු කම්බි ගසා වසා ඇතැයි එජාපය කීවා වේලාසන වැඩි බව පෙනේ. තිස්‌ස අත්තනායක එජාපයේ මහ ලේකම්කම අතහැර ගියේ, මේ කතාව කියා දින කිහිපයක්‌ ගතවන විටය. ඇසට ඇසක්‌ දතට දතක්‌ න්‍යායෙන් මහලේකම්ට මහ ලේකම් හුවමාරු වී තිබේ. මේ මාරුවීම් සමඟ කතා ගොඩක්‌ ද ප්‍රචාරය වී තිබේ.

තිස්‌ස ආණ්‌ඩුවට යන විට සමහරු ඇසුවේ තිස්‌සට කීයක්‌ දුන්නාද කියාය. එහෙම අහන අය මෛත්‍රී විපක්‍ෂයට යන විට එහෙම ප්‍රශ්න අහන්නේ නැත. තිස්‌ස කියන්නේ 29 වතාවක්‌ පරාජය වූ පක්‍ෂයක ලේකම්ය. මෛත්‍රී කියන්නේ ලේකම්කමට අමතරව ඇමැතිවරයෙකි. එහෙම බලනකොට, තිස්‌සට ලංසුවක්‌ තැබුවා නම් මෛත්‍රීට ඊට වඩා ලොකු ලංසුවක්‌ තැබිය යුතු වෙයි. අනික්‌ අතට එජාපයෙන් කවුරුන් හෝ ආණ්‌ඩුවට ආවොත්, එහි ගණන් කියන්නට එජාපයේ අය පසුබට නොවෙති. එයින් පෙනෙන්නේ එජාප පාක්‍ෂිකයන් කරමත තබාගෙන විශ්වාස කරන චරිත ලංසුවලට යට වෙන බවද?

මෛත්‍රීපාල එජාපයට එන්නටත් පෙර සිය පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂත්වය ඔහුට පරිත්‍යාග කිරීමට එජාප පාක්‍ෂිකයන්ට සිදුවිණි. වෙන එකක්‌ තබා තමන්ගේ කැමැත්ත පොදු අපේක්‍ෂකයකු ලෙස සිරිසේනට කියා එජාපය කියන්නට පෙර, එය ප්‍රකාශ කළේද සිරිසේන විසින්මය. පක්‍ෂයක්‌ මෙවැනි කැපකිරීමක්‌ කරනවා නම් එය හොර රහසේ කරන්නේ නැත. කෘත්‍යාධිකාරී මණ්‌ඩල පාර්ලිමේන්තු කණ්‌ඩායම හා අවසානයේ මහා සම්මේලනයකින් ද අනුමැතිය ගත යුතුව තිබිණි. දැන් එජාපය තිබෙන තත්ත්වය අනුව එහා පැත්තෙන් අපේක්‍ෂකයන් ගැනීම සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති හෙයින් දෝ ඒ ගැන එසේ කරන ක්‍රමවේදයක්‌ නැතිසේය. අඩුම තරමේ තමන්ගේ පක්‍ෂය සහාය දෙන අපේක්‍ෂකයා සමඟ ගිවිසුමකවත් අත්සන් කළේ නැත. ජාතික හෙළ උරුමය පවා මෛත්‍රීපාලට සහයෝගය දුන්නේ ගිවිසුමක්‌ අත්සන් කරය. ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් හයර් කිරීම එජාපයට දැඩි සාමාන්‍ය තත්ත්වයක්‌ වෙමින් තිබෙන නිසාදෝ එහෙම දේවල් කෙරෙන්නේ නැත. සජිත් ප්‍රේමදාස කිහිපවරක්‌ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ "නායකතුමා ඉල්ලන්න නැත්නම් මම ඉල්ලන්නම්" කියාය. එහෙම කියපු සජිත් පවා දැන් කරන්නේ හයර් කරන ලද මෛත්‍රීපාලට සහාය ලබාදීමය. 

ආණ්‌ඩුවට තිස්‌ස පැන්නේය. එසේ වූවාට තිස්‌ස ජනාධිපති අපේක්‍ෂක කරන්නට ආණ්‌ඩුව ගත්තේ නැත. ආණ්‌ඩුවේ අපේක්‍ෂකයාට සහාය දෙන කෙනෙක්‌ එනවාට අමතරව වෙනත් දේවල් තිස්‌සට එතැනදී හිමිවන්නේ නැත. ආණ්‌ඩුව තිස්‌ස තබාගෙන සිටින්නේ නියම තැනින්ය. වරක්‌ එජාපයේ නියෝජ්‍ය නායකයා වූ කරු ජයසූරිය ආණ්‌ඩුවට ගියේය. දැන් එහි මහලේකම් ගොස්‌ තිබේ. එසේ වුවත් ආණ්‌ඩුව ඔවුන් තියාගත්තේ තරු රැසේ එක්‌ තරුවක්‌ ලෙසය. ඒත් ආණ්‌ඩුවෙන් ගිය මෛත්‍රී එජාපය විසින් සිය හදවත බවට පත්කරගෙන තිබේ. එජාපයේ සියලු දෙනා ඒ සඳට පාළු මකනා තරු බවට පත්වී තිබේ.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලා, එයට සහාය දෙන චරිතයක්‌ බවට මෛත්‍රී පත්කර ගත්තේ නම් එතැනදී තත්ත්වය නිවැරැදිය. මෙතැන සිදුවී තිබෙන්නේ අතිරේක ක්‍රීඩකයා, කණ්‌ඩායම් නායකයා කර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔහුගේ අවශ්‍යතාවයට හැසිරවීමය.

දෛවයේ සරදම වන්නේ පච මල්ල ගෙදර යවමු කියා රට වටා පෝස්‌ටර් ගැසූ එජාපයම, චන්ද්‍රිකාව මුදුන් කරගෙන මෛත්‍රීට සහාය දීමය. වසර එකොළහක්‌ පුරා එජාපය විසින් සියලු චෝදනා ගොනු කළේ චන්ද්‍රිකාට එරෙහිවය. ආණ්‌ඩුවට අද චෝදනා එල්ල කරන්නේ කටකතා මගිනි. කොහේ හෝ ඈත ගමක කුඹුරක්‌ ගොඩ කළත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන විපක්‍ෂ මන්ත්‍රීවරු, ආණ්‌ඩුව කළා යෑයි කියන කිසිම 'හොරකමක්‌' ගැන සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍රයක්‌ පාර්ලිමේන්තුවේදී ගොනු කර නැත. එවැනි සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍ර ගොනු කරමින් එජාපය විසින් දූෂණ හෙළි කළේ චන්ද්‍රිකාගේය. එහෙම චන්ද්‍රිකාව කර තියාගෙන යන්නේ එජාපයමය. 

එජාපය විසින් ආණ්‌ඩුවට නිතරම චෝදනා කළේ ජනතාවට වේලක්‌ කන්න බැරි තරමට බඩු මිල වැඩියි කියාය. එහෙම කියාගෙන යන අතරේ 'ඇමැතිගේ මල්ලිගේ සහල් මාෆියාව' ගැන ද එජාපය කතා කළේය. ජීවන බර වැඩිවීමට එක හේතුවක්‌ ලෙස සඳහන් වූයේ එයය. ඒ චෝදනාවට ලක්‌ වූ මෛත්‍රී දැන් එජාපයේ ද සහාය දෙන අපේක්‍ෂකයාය. දැන් ඒ ගැන කතාවක්‌ ඒ පැත්තෙන් නැත.

ඒ වෙනුවට දැන් කතාව තියෙන්නේ ආණ්‌ඩුවේය. එදා සහල් මාෆියාව කතාව කියද්දී, නිශ්ශබ්දව සිටි ආණ්‌ඩුව අද ඒ කතාව කියන විට, එජාපය අහන්නේ ඇයි එදා පියවරක්‌ නොගත්තේ කියාය. කෙනෙක්‌ ගියාට පසු ෆයිල් එළියට දාන්නේ මොකද කියා, ආණ්‌ඩුවට චෝදනා එල්ල වන්නේ මේ පසුබිමෙහිය. "ඉන්නකොට කොයි වරදක්‌ කළත් රකිනවා. ගිය ගමන්ම ෆයිල් එළියට දානවා" මෙහෙම කියන එජාපයට තමන් එදා එළියට දාපු ෆයිල් අද සඟවාගෙන කතා කරති. ආණ්‌ඩුව විසින් ගිය ගමන් ෆයිල් එළියට දැමීමත්, තමන්ගේ පැත්තට ආ පසු තමන් එතෙක්‌ එළියට දමා තිබූ ෆයිල් විපක්‍ෂය හැංගීමත් දෙකම එකමය. ඒ දෙකෙන්ම කරන්නේ එකම වැඩේය.

මෛත්‍රී ගිය පසු ආණ්‌ඩුව ඔහුට චෝදනා කරන විට එජාපය එයට පිළිතුරු දෙන්නේ 'ඉද්දී ඕවා කිව්වේ නැත්තේ ඇයි කියාය" එහෙම කියන එජාපය දයාසිරි ආණ්‌ඩුවෙන් ගිය විට හොඳ පදමට කතා කිව්වේය. කරු ඇතුළු දහහත්දෙනා ආණ්‌ඩුවට ගිය ගමන්ම එජාපය කිව්වේ, කෝප් වාර්තාවෙන් හෙළි වූ දූෂණවලින් ගොඩ යන්නට ඔවුන් එසේ ගිය බවය. කොහොම වුණත් තිස්‌ස ගැන එජාපය කුමක්‌ කියනු ඇද්දැයි ඉදිරියේදී බලා ගත හැකි වනු ඇත.

ෆොන්සේකාගේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක කැටගොඩත් ආණ්‌ඩුවට එක්‌විය. ෆොන්සේකාගේ පක්‍ෂයට, අනෝමා හැරුණු විට ඉතිරිව සිටි තත්ත්වයක්‌ තිබූ එකම පුද්ගලයා කැටගොඩය. ඔහුත් ආණ්‌ඩුවට ගිය විට ෆොන්සේකාගේ පක්‍ෂය පවුලේ පක්‍ෂයක්‌ බවට නිතැතින්ම පත්වේ.
ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා වූයේ 2010 දීය. ඊළඟ ජනාධිපතිවරණය වන විට ඔහු ලක්‌වී ඇති ඉරණම පැහැදිලිය. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෛත්‍රීට මෙන් නොව, ෆොන්සේකා වෙත සියලු බලවේග එකට සහය දුන්නේය. එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය එක වේදිකාවේ සිට ෆොන්සේකාට සහාය දුන්නේය. ඒ ෆොන්සේකා අද වන විට අඹුසැමි පක්‍ෂයක්‌ බවට පත් වී තිබීම, අද පොදු අපේක්‍ෂකයාට හොඳ ආදර්ශයකි. ඇත්තේ යැම් ඊම් පමණයි කියා සරත්චන්ද්‍රයන් කිව්වා සේ, දැන් දේශපාලනයේ බහුලව ඇත්තේද යැම් ඊම්ය. ඒ යැම් ඊම් සියල්ලම පෞද්ගලික කාරණාවලින් එහාට ගොස්‌ පොදු ජනතාවගේ මනස හසුරුවන තැනකට යැම අමාරුය. නමුත් ඒ යැම් ඊම්වලින් පක්‍ෂ අමාරුවේ ද වැටෙනාකාරය නම් දැන් ඇස්‌පනාපිටම පෙනේ. ඒ ලේකම්ට මේ ලේකම් ගැනීම ගැන ද කල්පනා කළ යුත්තේ එතැන් සිටය.

-මනෝඡ් අබයදීර
(දිවයින) 

අමරසේකරයන්ගේ නිර්මාණ සහ සමාජය

කතෘ:යුතුකම     12/10/2014   No comments
රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩල ක‍්‍රියාවට නංවන මාසික සාහිත්‍ය සංකථන සම්මන්ත‍්‍රණ මාලාවේ අටවැන්න ජේ්‍යෂ්ඨ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකර සාහිත්‍ය කලා සම්ප‍්‍රදානය තේමා කොටගත් මෙම මස 11  වෙනිදා , බ‍්‍රහස්පතින්දා ප.ව.  3.00   ශ‍්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

 අමරසේකරයන් අද අප අතර සිටින ජේෂ්ටතම හා විශිෂ්ටතම සාහිත්‍යයධරයාය. සිංහල සාහිත්‍යයයේ නවකතාව, කෙටිකතාව, කවිය මෙන්ම සාහිත්‍ය විචාරය යන අංශයන් උදෙසා ඔහුගේ මෙහෙවර ඉතා සුවිශේෂීය. එමෙන්ම ඒවායේ හැඩය සහ ප්‍රගමනය උදෙසා ඔහුගේ මතවාදී බලපෑමද ඉතා ත්‍රිවුරය. 

මෙම සංකථනයේදී ‘තථ්‍යවාදී සමාජ දෘෂ්ටිය හා ගුණදාස අමරසේකරගේ නවකතා’ යන මැයෙන් ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ද ‘අමරසේකරගේ කෙටිකපතා මගින් ප‍්‍රතීත සමාජ දේශපාලන කතිකාව’ යන මැයෙන් මහාචාර්ය පියසීලි විජේමාන්න ද ‘නුතන කාව්‍ය  සම්ප‍්‍රදාය ගවේශණය හා හෘදය ආමත‍්‍රණය යන මැයෙන් ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර ද  දේශන පවත්වති.

යුතුකම සංවාද කවය
www.yuthukama.com

සිරිසේනගේ මහා වියවුල

කතෘ:යුතුකම     12/10/2014   1 comment
පියදාස සිරිසේන මහතා'මහා වියවුල' නවකතාව ලීවේ අවුරුදු සීයකටත් ඉස්සර 1909 දීය. අරක්කු ජාවාරමෙන් අසීමිතව ධනවත් වූ ඒ නිසාම මුහන්දිරම් පදවියක් ලැබූ පොරෝනිස් ගුණසේකර රාළහාමිගේ ඉංග්‍රීසි පන්නයට හැදුනු සංකර සිරිත් විරිත් වලට  ගරු කල ජෝර්ජියානා දෝනිඇන්දා මුල් කරගෙන එතුමා මෙය ලියා ඇත්තේ හෙළ සිරිතේ අගය වඩාත් කතාබහ කරන්නටය.

ටෙනිස් ගහන , අස්සයාගේ පිටේ යන , විස්කි බ්‍රැන්ඩි බොන ජොර්ජියානා හාමුට මඟුලක් කර දෙන්නට රාළහාමිට උවමනා වී ඔත්තුකරුවෙකුට කියා ගම් බිම් බලන්නට කැඳවාගත් මනමාලයා සිංහල කුල සිරිතට කළ උගත් බුද්ධිමත් ව්‍යාපාරිකයෙකු වූ  ධනපාල තෙන්නකෝන්ය. ජෝර්ජියානාගේ අඟර දඟර නිසා දුටු පමණින්ම ධනපාලට මගුල එපා වුණත් අවුල වූයේ ධනපාල උන්නැහේ ජෝර්ජියානාග ආවතේවට සිටි චාම් ගැමි යුවතියක් වූ ලිසී සමග සම්බන්ධ වීමයි. දෝනි ඇන්දා දීග දීමට ඉක්මන් වූ රාළහාමි කළේ ඔහුද දැනසිටි ජෝර්ජියානා ආශ්‍රය කළ ඉලන්දාරි සිව් දෙනා අතරින් ඕනෑ ගොයියෙක් බැඳගන්න අවසර දීමයි.  ජෝර්ජියානාට ඉස්සෙල්ලාම මතකයට ආවේ සිරිල් වික්‍රමතිලක තරුණයාය . මතකයට ආ අනුපිළිවෙලින් මගුල ලෑස්ති විය. රාලහාමිගේ දෑවැද්ද රුපියල් 5000කි.  ඒ කාලයේ හැටියට එය පන්කොටියක් වගේය.  මඟුල් ගෙදරට විස්කි බ්‍රැන්ඩි පොට් වයින් , බීර , ජින් , ලෙමනේඩ් , කේක් , පස්ටෑල් , විස්කෝතු , හැම් බේකන් , අස්ව කරත්ත , ඇඳුම් පැළඳුම්ඔවා මේවා වියදමද රුපියල් 4412 කි දෑවැද්දේ වටිනාකමට ආසන්න වියදමකින් මගුලත් කලාලු.

ජෝඩුව හනිමූන් ගියේ මහනුවර ක්වීන්ස් හෝටලයටය. නමුත් එහෙම ගිහින් දවසක් හමාරක් ගතවන විට  ජෝර්ජියානාට සිතුනේ තමන් සිරිල් බැන්දාට වඩා සිව් දෙනා අතර සිටි ජිම් පෙරේරා වඩා හොඳ බවය. එහි ප්‍රතිඵලය වූයේ ජෝර්ජියානා ජිම් පෙරේරාද මහනුවරට කැඳවාගැනීමයි. එහි අනිත් ප්‍රතිඵලය සිරිල් උන්නැහේ ජිමීට පොල්ලක් කැඩෙන තුරු පහර දීමයි.  පොරෝනිස් උන්නැහේට සිද්ධිය ආරංචි වී නුවර යන විට කට්ටිය පොලිසියේය. සිව් දෙනාගෙන් අනිත් ඇත්තා වූ තිමොන්ති දාබරේ මහණ වෙන්නට කැලේ වැදිලාය .අගක් මුලක් නැති නොගැලපෙන සම්බන්ධකම් මත ගලා ගිය පියදාස සිරිසේන මහතාගේ "මහා වියවුලේ" කතන්දරය ඔය ආකාරය.

සිරිසේන මහතාගේ කතාව මට සිහි වූයේ පසුගියදා අපේ රටේ දේශපාලනයේ ඇති වූ සිද්ධි දැකලාය. එහි කතානායකවරයාද සිරිසේන මහත්මයෙකි. දේශපාලනය අත්භූත ස්වරූපයකට හැරුණා වගේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා එක් මොහොතකින් විපක්ෂයේ සමහරු නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා යයි රටට කීවේය. ලංකාවේ පැරණිම විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකයා ඔහු යැයි කීමට තරම් ඇද වැටී තිබුණේය. ජනාධිපති අපේක්ෂකයා තමන් දිනුවොත් දින සියයකින් විපක්ෂ නායකවරයා විධායක අගමැතිවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා කාරයන්ගෙන් චන්දය ඉල්ලා සිටියේය.එක්සත්  ජාතික පක්ෂ පසුව කීවේ දින සියයකින් නොව පැය 24කින් අගමැති ධූරය තමන්ට අවශ්‍ය බවයි.කට්ටිය එකතු වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට කියලාය.
මේවා කරන්නට පාර්ලිමේන්තුවේ 2/3ක් අවශ්‍යය. පැය 24න් ඒවා කරන අයිරු දන්නේ දෙවියෝ පමණි.අයවැය විවාදයේ  අවසාන දිනයේදී රජය පැරදවීමට බලා සිටියත් රජය චන්ද 152 ගන්නා විට අනිත් පැත්තට 57 කි. විධායක අගමැතිවරයා පත් කල පසු මේ දර දිය ඇද්ද අයට වන්නේ මොනවාදැයි තවත් ප්‍රශ්නයකි.
දේශපාලනය කූඨ ව්‍යාපාරයක් බවට පත් කර ගත් ඇත්තන්ට ඊලඟට බලන්නට වන්නේ පියදාස සිරිසේන මහතාග "මහා වියවුළ" ට පසුව පළ ක්ළ පොතයි. එහි නම " අපට වෙච්ච දේය"

-අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  
[ලංකාදීප]

යුතුකම සංවාද කවය
www.yuthukama.com



12/09/2014

බෞද්ධ භික්‌ෂුවක්‌ හමුවේ පැරැදුණු මහා ඇලෙන්සැන්ඩර් අධිරාජ්‍යයා

කතෘ:යුතුකම     12/09/2014   No comments

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.

වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.

ඇලෙක්‌සැන්ඩර්ගේ ආපසු හැරීම ගැන පාසල් අධ්‍යාපනය තුළදී ඉගැන්වූ කරුණ වූයේ අවුරුදු ගණනක්‌ තම ගම්බිම්වලින් දරු මල්ලන්ගෙන් ඉවත්ව යුද්ධ කරමින් සිටි හමුදාවට යුද්ධය හොඳටම ඇතිවී ඉන් හෙම්බත්වී සිටි බවත්, අවසන් වරට පරාජය කළ පෝරස්‌ රජු ද (පංජාබයේ) දරුණු සටනක්‌ කිරීම හා ඔහුගේ අභීත, එඩිතර ගතිගුණ ඇලෙක්‌සැන්ඩර්ගේ මනස සෙලවීමට සමත්වූ බවත්ය.

නමුත් තමාගේ දිග්විජය චාරිකාව ගැන සටහන් තබා ඇති ඇලෙක්‌සැන්ඩර් ගේ වාර්තාවල කියෑවෙන්නේ වෙනත් දෙයකි. පෝරස්‌ රජු පිsළිබඳ සාධකය හා යුද්ධ හමුදාව හෙම්බත්ව සිටීම පිළිබඳ විස්‌තරද එහි ඇතුළත් වුවත්, තමාගේ ආපසු හැරීමට හේතුව බව දක්‌වන්නේ රජුගේ සිතට කා වැදී ගිය එක්‌තරා අවබෝධාත්මක හැඟීමකි. මේ අවබෝධය ඔහුට ලබාදී ඇත්තේ බෞද්ධ භික්‌ෂුවක විසිනි. මේ තරම් විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැංවුවත් රජු විසින් එය භුක්‌ති විඳින්නේ කෙසේද යනුවෙන් භික්‌ෂුව විසින් විමසන ලද ප්‍රශ්නයට අධිරාජ්‍යයා නිරුත්තර විය. ඔහුට එය අවබෝධ වූයේ එවිටය.

ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය.

තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුනි. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්‌වේ.

භික්‌ෂුව - මහා අධිරාජය මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක්‌ කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. නිදිමත ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.

භික්‌ෂුව - මහා අධිරාජය ෘ ඔබට බඩගිනි ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. බඩගිනි ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්‌ හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක්‌ පමණක්‌ ගනිමි.

භික්‌ෂුව - මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. පිපාසය ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක්‌ පානය කරන්නේද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.

භික්‌ෂුව - එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?

මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබූ අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිට ආරාමයට එන අනෙකුත් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන් වේ. දිග්විජයෙහි ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර්ට හැකිවිය.

එදින රාත්‍රියේ තමන්ට නින්ද නොගිය බවත්, ආරාමයේ භික්‌ෂුව විසින් කියූ දේවල් ගැනම සිතමින් සිටි බවත්, පසුදින උදය වරුවේම ආරාමය වෙත ගිය ඇලෙක්‌සැන්ඩර් තම තීරණය උන්වහන්සේට දන්වා සිටි බවත් සටහන් කර ඇත. එහි සඳහන් වන්නේ තවදුරටත් රටවල් යටත් කර ගැනීම අවසන් කර ආපසු හැරීමට තීරණය කළ බවයි.

යටත්කර ගත් ප්‍රදේශ පාලනයට සේනාපතිවරුන් හමුදාංක සමග නතර කර ඇලෙක්‌සැන්ඩර් ආපසු හැරුණේ අගනුවරට ආපසු ගිය වහාම ආරාමයක්‌ ඉදිකරන බව හා එහි විසීමට භික්‌ෂුන් වහන්සේලා කිහිප නමක්‌ වඩම්මාගෙන යැමට දූතයන් එවන බවට ඉහත කී නායක භික්‌ෂුන් වහන්සේට ප්‍රතිඥ දීමෙන් පසුවය.

මේ කිසිවක්‌ ඉටු කිරීමට ප්‍රථම, එනම් තම රට බලා ආපසු යැමටද ප්‍රථම අතරමඟ බැබිලෝනියාවේදී (වත්මන් ඉරාකය) ඇලෙක්‌සැන්ඩර් හදිසියේ මියගියේය. එම නිසා ඔහුගේ බලාපොරොත්තු හා සැලසුම් සියල්ල ඉන් අවසන් විය.

ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් 2003 නවම් මස බෞද්ධාලෝකය සඟරාවට සපයන ලද ලිපියක්‌ ඇසුරිණි)

-සනත් ලියනගේ/දිවයින

12/07/2014

ජනාධිපතිවරණ තීන්දුව හා ජාතික බලවේගයන්ගේ අනාගතය

කතෘ:යුතුකම     12/07/2014   3 comments
ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පුදුම සහගත පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. විපක්ෂය තම අපූරු පොදු අපේක්ෂකයා තෝරාගත් ආකාරයම මේ අතරින් වඩා බලවත් නාට්‍යෝචිත අවස්තාවක් වෙයි. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු රාශියක් තිබේ. මේ සටහනේ අරමුණ වනුයේ මෙවන් පසුබිමක් හමුවේ මෙරට ජාතික බලවේග මුහුණ පා ඇති අභියෝග කවරාකාර වේදැයි විමසා බැලීමය. එය සැලකිය හැක්කේ ජාතික බලවේග මේ මොහොතේ ගත යුතු තීරණය ගැන නිගමන දීමකට වඩා ඔවුන්ට පසුකර යාමට සිදුවී ඇති සංකීර්ණ දේශපාලන මොහොත හා එය ජාතික ව්‍යාපාරයේ අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරය පිළිබඳ කරුණු සලකා බැලීමක් ලෙසය.

2005 සහ 2015

2005 ජනාධිපතිවරණයේදී ජවිපෙද ඇතුළත් ජාතික බලවේගයන්ගේ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. ඒ සහයෝගය රටට ඉතා වැඩදායක එකක් බවට පත්වූයේ 2009 වනවිට කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වීම නිසාය. මීළඟට 2010 වනවිට හදිසියේ දේශපේ‍්‍රමී රෙදි පොරවා ගත්තවුන්ද ඇතුළුව සියලූ ජාතික බලවේග ජනාධිපතිවරයා සමග එක පෙලට සිට ගනු ලැබුවේ 2005ටත් වඩා වැඩි සුබවාදී බලාපොරොත්තු රාශියක්ද සහිතවය.ත‍්‍රස්තවාදය පිළිබඳ අතිශය තීරණාත්මක ප‍්‍රශ්නයෙන් පසු රටේ ඉදිරි ගමන යහපත් අතට වෙනස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වනු ඇතැයි එදා රටේ බලවත් විශ්වාසයක් පැවති අතර 2005 ටත් වඩා අතිශයින් ශක්තිමත් හා ආස්වාදනීය ජනවරමක් 2010දී මහින්ද රාජපක්ෂට හිමිවනුයේද ඒ අනුවය. මේ රටේ තීරණාත්මක වෙනසක් සඳහා නිදහසින් පසු මෙරට ජනනායකයකුට හිමිවූ හොඳම සහ වටිනාම අවස්තාව 2010 මෙකී ජනවරම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එසේ වුවද ඒ ජනවරමින් වසර හතරහමාරකට පසු අද අපට දක්නට ලැබෙන්නේ ඒ මහා අපේක්ෂා අතිශය ඛේදජනක ලෙස සුන්වී යමින් තිබෙන තත්ත්වයකි.

    මේ ආණ්ඩුව ජාතික බලවේගවල ආණ්ඩුවක් බව එහි සතුරු මිතුරු දෙපාර්ශවය විසින්ම හැඳින්වුවද උතුරේ යුද්ධය හැර අන් කිසිදු වැදගත් ප‍්‍රශ්නයක් සම්බන්ධව ආණ්ඩුව පුළුල් ජාතික දැක්මකින් තියා අවම මිනිස් සිහිබුද්ධියකින් හෝ කටයුතු කර නැත. උතුරේ ප‍්‍රශ්නයේදී පවා යුද්ධය අවසන් කළා විනා ඒ පසුපස තවමත් නොනිමී ඇවිලෙන ජාත්‍යන්තර දේශපාලන යුද්ධය හමුවේ ආණ්ඩුව පෙන්වන හැසිරීමද අතිශයින් ලාමකය. අද වනවිට නැගී එමින් පවතින මුස්ලිම් අන්තවාදයේ බියකරු තර්ජනය හමුවේද ඒ හැසිරීම එසේමය. උතුරා හැලෙන සංවර්ධන මෙහෙයුම් ගැන පුරසාරම් නිතර අසන්නට ලැබුණද රටේ ඉදිරි ගමන පිළිබඳ නිසි උපායමාර්ගික දැක්මක් ආණ්ඩුව සතුව නොමැති බවට ඒ සංවර්ධන මෙහෙයුම් තුළින්ම කදිම උදාහරණ සපයා ගත හැකිය. ආර්ථික අතින් පමණක් නොව අධ්‍යාත්මික අතින්ද අද රටේ ජනතාව ඇද වැටී ඇති දරිද්‍රතාවයේ තරම මනාව පැහැදිලි වන්නේ වේගයෙන් ඉහල යමින් තිබෙන අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, මත් උවදුර, ස්තී‍්‍ර  දූෂණ, ලමා අපචාර ආදිය ඔස්සේය. අද මේ සියල්ල සිදුවන්නේ දේශපේ‍්‍රමය පිළිබඳ විශාල ඝෝෂාවක් යටතේද වීම අතිශයින් ඛේදජනක තත්ත්වයකි. විජාතික සතුරන්ට එරෙහිව නඟන සෝබනකාරී ඝෝෂාවන් යටතේ ජාතික සතුරන් තොග ගනනේ බහුඛණ්ඩනය කෙරෙන රටක ජීවත් වීමට අද අපට සිදුවී තිබේ. අද මේ රටේ කෙරුම්කාරයන් වී ඇත්තේ බාල විජාතික විරෝධය තවරා ගත් ජාතික පාදඩයන් රංචුවකි. ඉතිහාසයේ කවරදාකවත් නැති අන්දමින් බලය අතිශය නිර්ලජ්ජිත ලෙස අවභාවිතයේ යොදවන, සෙල්ලම් පිස්තෝල ඔසවා ගත් මැරයන් අතින් මහ දවාලේ නීතිය  දූෂණයට ලක්වන, සංවේදී කලාකරුවන්ගේ සිට පහලම දේශපාලන හෙංචයියා දක්වා වූ සියලූ චෞරයන් මහජන දේපල වනසමින් අසීමිත ලෙස මුදල් හම්බකරන, ස්තී‍්‍ර  දූෂකයන්, කුඩු කාරයන්, මිනීමරුවන්, කැසිනෝ කාරයන්, රාජ්‍ය බලතල හොබවන, බාල සිල්ලර දේවලින් කෙලවරක් නැතිව සමාජ මනස හා රටේ අධ්‍යාත්මික හරය  දූෂණය කරන, මුළු රටම පාදඩයන්ගේ විගඩම්කාරයන්ගේ අවල කෙලි බිමක් බවට පත් කර ඇති මේ දහදුරා දේශපාලනය හමුවේ අද වඩාත්ම අනාතභාවයට පත්ව ඇත්තේ මේ ආණ්ඩුවට දේශපේ‍්‍රමීත්වය තැවරූ ජාතික බලවේග බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අද ආණ්ඩුවෙන් ඉවත් වී සිටින හෙළ උරුමයේ ප‍්‍රවේශය අවංක එකක් වන්නේ නම් එම පක්ෂයට ඇති සාධාරණ ගැටලූවද මෙයම විය හැකිය. සාධාරණ විවේචනයක් සහිතව අසාධාරණ කඳවුරකට එක් වේ නම් එය හෙළ උරුමයේ දේශපාලන සිය දිවි නසා ගැනීම විය හැකිවුවද ඒ කාරණය මත ඔවුන් මතුකරන විවේචනය කිසිසේත්ම නිශේධනීය එකක් බවට පත් නොවේ.

ආණ්ඩු විරෝධී ව්‍යාපාරය

වත්මන් ආණ්ඩුවේ කෙතරම් වැරදි පැවතියද ආණ්ඩුව පෙරලා දමා බලයට ගෙන ආ හැකි අවම හෝ සාධනීය ව්‍යාපාරයක් තවමත් මේ රට තුළ නිර්මාණය වී නැත. ජාත්‍යන්තර බලවතුන්ගේද සහය ලබන ඝෝෂාකාරී ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් කලක සිට මෙරට ක‍්‍රියාත්මකව තිබුණද ඒ ව්‍යාපාරය ප‍්‍රායෝගික ශක්තිය අතින් බංකොලොත් ව්‍යාපාරයක් වනවා පමණක් නොව රටට අහිතකර අභිලාෂයන් හා අරමුණු පෙරදැරි කරගත් ව්‍යාපාරයක්ද වන්නේය. ඔවුන් තම සටන සඳහා තෝරාගත් පොදු ඊනියා පොදු අපේක්ෂකයාගේ ස්වභාවයම මේ ව්‍යාපාරයේ බංකොලොත් ස්වභාවය ගැන ඉතා තාර්කික ප‍්‍රශ්න මතු කරන්නකි. මෛතී‍්‍රපාල යනු ශි‍්‍රලනිපයේ මහ ලේකම්වරයා ලෙස වත්මන් ආණ්ඩුවේ වැරදි පිළිබඳ වගකීමෙන් කෙසේවත් නිදහස් කළ නොහැකි පුද්ගලයෙකි. ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලූ චෝදනාවලට මෛත‍්‍රීපාල මහතාද සෘජුව හා වක‍්‍රව වගඋත්තර කාරයෙකි. අද විපක්ෂයට තම යහපාලනයේ සටන සඳහා දූෂිත යැයි කියන රෙජීමයේම ඉහල පුටුවක් බිලී බා ගැනීමට සිදුවීම සරදම්කාරී දේශපාලන විහිළුවක් වන්නේ ඒ නිසාය. අඩුම තරමේ මෛතී‍්‍ර ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව බාහිර හෝ අභ්‍යන්තර අරගලයක නිරත වූ අයකු හෝ වේ නම් මේ ප‍්‍රවේශය යම් පමණකින්වත් සාධාරණ විය හැකි වුවද මෛත‍්‍රී යනු අවසාන මොහොත දක්වා ආණ්ඩුව සමග කටයුතු කොට හිටි අඩියේ කඳුලූ සලමින් යහපාලන සටනකට අවතීර්ණ වූ දේශපාලන කවටයෙකි. අව්‍යාජව පැන නැගිය යුතු සටනක් වෙනුවට යටි කූට්ටු දේශපාලන කුමන්ත‍්‍රණයක ස්වභාවය රැස් විදා ප‍්‍රකට කරන මෛතී‍්‍රගේ මෝඩ ප‍්‍රවේශයම ඔහුගේ නිසැක පරාජය තහවුරු කරවන එක් හේතුවකි.  අද රටට විශාල වෙනසක් අවශ්‍ය බව පැහැදිලි වුවද ඒ වෙනස කළ යුතු වන්නේ බලය උසුලන පිරිසට වඩා දශමයකින් හෝ සාධණීය ව්‍යාපාරයක් ඔස්සේ මෝඩ දේශපාලන සූදුකාරයන්ගෙන් සමන්විත වත්මන් ආණ්ඩු විරෝධී බලවේගය ඔස්සේ නොවේ.  රට ලබාගත් ඓතිහාසික ජයග‍්‍රහණ සමග පවා වෛරයකින් පසුවන ඒ ජයග‍්‍රහණ ආපසු හැරවීම සඳහා කි‍්‍රයාකළ හා කි‍්‍රයාත්මක වෙමින් සිටින මේ විෂම බලවේගය නැවත ඔසවා තැබීමෙන් රට මුහුණ පා සිටින අර්බුදය කිසිදු ආකාරයකින් නැවත පිළිසකර කළ හැකි නොවේ. යම් හෙයකින් මේ බලවේගය ජයග‍්‍රහණය කළහොත් රට මේ දක්වා ලැබූ ජයග‍්‍රහණ පවා නැවත පාවා දෙමින්, රටේ අද පවතින ස්ථාවරබව පවා බිදී විසිරෙමින් රට නැවත ඇද වැටෙනු ඇත්තේ බෙහෙවින් අරාජික හා අස්ථාවර අඩියකටය. අද චම්පික රණවක වැනි අය පවා මේ පිරිස සමග එක්වී ජාතික බලවේග සහිත යහපාලනයක් ගොඩනැගීම ගැන නන් දොඩවමින් සිටීම කනගාටුව දනවන විහිළුවකි. මහින්දගේ ආණ්ඩුව තුළවත් කළ නොහැකි වූ විප්ලවයක් කිරීමට රනිල්ගේ බලවේගය තුළින් හැකිවෙතැයි චම්පික විස්වාස කරන්නේ නම් හෙළ උරුමය තම ඉතිහාසයේ ගනු ලබන මෝඩම දේශපාලන තීරණය එය වන බව කිව මනා නොවේ.අද පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇදුරන් ප‍්‍රසිද්ධියේම දෙසන නරිවාදම් වලට අනුව ඔවුන්ගේ ප‍්‍රධාන අභිලාෂය වන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් තොරවූ ආණ්ඩුවක් තැනීමය. එවැනි දවල් සිහින දකින්නන් පරාජය කිරීම මර්වින් වර්ගයේ ඇමතිවරුන් පරාජය කිරීමටත් වඩා වැදගත් දේශපාලන අවශ්‍යතාවයකි.

අර්බුදයේ පසුබිම

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික බලවේග මහත් අසීරුතාවකට ඇද දමන මූලික පසුබිම සකස් වන්නේ ඉහත මතුවන කාරණා අනුව බව ඉතා පැහැදිලිය. දූෂිත ආණ්ඩුවක අත්තනෝමතිකකම් සහ දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක දුෂ්ඨ බලවේග අතර පැත්තක් නොගෙන බැරි තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබේ. මේ ජනාධිපතිවරණය යනු කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එක පැත්තක් තෝරාගැනීමට සිදුවන තරඟයකි. මේ දෙකෙන් එකක් තෝරාගනු විනා ඒ දෙකටම අයත් නොවන හා තමන්ගේ අභිමානයට කැලැලක් නොවන තරමේ වෙනත් විකල්ප තීරණයකට යාමේ හැකියාවක් මේ නිශ්චිත මොහොතේ ජාතික බලවේග සතුව නැත. තම මතවාදී පෞර්ෂය භාවිතා කරමින් රජුන් තැනීම විනා තමන්ගේම වූ ස්වාධීන ජනතා බලයක් ගොඩනංවා ගැනීමට එම ව්‍යාපාර අසමත් වී තිබීමද මේ තත්ත්වයට හේතුවකි. අද ජාතික බලවේගවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහින්ද දිනවීමේ තීරණය ගැනීමට සිදුවන දේශපාලන සන්දර්භය මෙවැන්නක් බව පැහැදිලිය.අපට කී‍්‍රඩා කිරීමට සිදුවන්නේ පිටියේ පවත්නා තත්ත්වයන්ට අනුව මිස හිතින් මවා ගත් ලෝකයක පය තබාගනිමින් නොවේ.අද හෙළ උරුමය හැර අනෙක් සියලූ ජාතික හා බෞද්ධ සංවිධාන ඒ සන්දර්භය තුළ සාපේක්ෂව අඩු නපුර සහිත තීරණය වෙත එළැඹී ඇත්තේ ඒ අනුවය.

ජාතික බලවේග අද මුහුණ දී සිටින මේ උහතෝකෝටිකය දිගු දේශපාලන පසුබිමක්ද සහිත එකක් වෙයි. මෑත අතීතයේදී මෙරට ජාතික මතවාදයේ ලොකුම ද්‍රව්‍යමය බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ තම නිසි මාවතින් හා ආණ්ඩුවෙන්  බැහැරව නන්නත්තාර වූයේ ජනපතිගේ පළමු පදවි ප‍්‍රාප්තිය අවධියේදීමය. ඔවුන් විසින් මහපොළවේ තරයේ පිහිටවූ මතවාදයේ ශක්තියද සහිතව ඒ වෙනුවෙන් පෙනී සිටි ජාතිමාමක බුද්ධිමතුන්, ජානිපෙ, හෙළ උරුමය, වැනි පක්ෂ කණ්ඩායම් ආදිය ආණ්ඩුව හා අඛණ්ඩව රැු`දී සිටියද ආණ්ඩුවට තල්ලූවක් දීමට විනා, එහි සුක්කානම නිසි පරිදි හැසිරවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් හෝ  තීරණාත්මක බහුජන ශක්තියක් එම පාර්ශවයන් සතු නොවීය. එම ශක්තිය පැවතියේ ජාතික චින්තනයක් තියා අබැටක තරමේ සිහිබුද්ධියක් හෝ නොමැති මජර ශි‍්‍රලනිප දේශපාලඥයන් අතය. එහි ප‍්‍රතිපලය වූයේ දේශපේ‍්‍රමී සායමින් හැඩවූ  දූෂිතයන්ගේ දින දින තරවන අත්තනෝමතික බලය හමුවේ සියලූ ජාතික බලවේග නොසිතූ විරූ තරමේ අනාත නන්නත්තාර භාවයකට ඇද වැටීමය. මෙහිදී ජාතික බලවේගවලට ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකි වූවා පමණක් නොව ඒ සඳහා තීරණාත්මක බලපෑමක් ඔවුන්ගෙන් සිදුවූ බවක්ද පෙනෙන්නට නැත. ඔවුන්ගේ අවම බලපෑම් හෝ සැලකීමේ වුවමනාවක් ආණ්ඩුවටද නොතිබූ අතර පහුගිය කාලය පුරාම දක්නට ලැබුණේ විවේචනාත්මකව බලපෑම් කිරීමට වඩා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පමණක් කැපවූ ජාතික ව්‍යාපාරයක් බව ඉතා කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුව ඇත. අද පවා රටේ සියලූ ප‍්‍රශ්න අමතක කොට වත්මන් ආණ්ඩුවේ ඇතැයි කියන කෙහෙල්මල් ජාතිකත්වයක් ගැන නන් දොඩවමින්, තම බුද්ධිමය පෞර්ෂය විහින් නැති නාස්ති කරගන්නා මහඇදුරන් දකිනවිට ඇතිවන්නේ ජුගුප්සාජනක කලකිරීමකි. මෙය සියලූ ජාතිකවාදී චින්තකයන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන් හා භික්ෂු සංවිධාන ආදී සියලූ දෙනා තමන් කෙරේම වූ බලවත් විවේචනයක් සහිතව ආපසු හැරී බැලිය යුතු තත්ත්වයක් බව කිවමනා නොවේ.

අද වනවිට අමරසේකර ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති බවට ෆුල්බ‍්‍රයිට් පඬියන් අතින් සරදම් සහගත ප‍්‍රවාද ගොඩනැගෙන දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. රටේ සැබෑ ජයග‍්‍රහණ සඳහා අතිශය තීරණාත්මක මැදිහත් වීම් සිදුකළ විමල් වීරවංශ වැනි අද්විතීය දේශපාලන පෞර්ෂයන් රජවාසල කවටයන් ලෙස නාමකරණය කෙරෙන හා ඔවුන්ගේ අනාගත භූමිකාවද විනාශ කරදමන  දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. එහිදී විවේචකයන්ගේ අභිලාෂය කුමක් වුවත් තර්කානුකූල හා සාධාරණ ලෙස එම විවේචන මතු කළ හැකි තත්ත්වයක් මේ දේශපාලනය විසින්  ඕනෑවටත් වඩා හොඳින් නිර්මාණය කර තිබේ. ඉදිරි කාලය සඳහා මේ අර්බුදය පෙරටත් වඩා වලංගු විය හැකි බව ජාතික බලවේග තරයේ සිහි තබාගත යුතුය.

කාලීන අභියෝගයෙන් ඔබ්බට

ජාතික බලවේග සතු සැබෑ විකල්පය වනුයේ රජුන් තැනීම නොව රටට ගැලපෙන තමන්ගේම වූ දැක්මක් සහිත ජාතිකත්වය යනු කුමක්දැයි ගැඹූරින් වටහා ගත් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමය. අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ අඩමානයට හෝ මේ කාර්යය සඳහා මැදිහත් වුවද යළි කිසිදා ඔවුන්ගෙන් එවැනි මැදිහත් වීමක් අපේක්ෂා කළහැකි වන්නේ නැත. ඒ නිසාම කා අතින් හෝ එවන් ව්‍යාපාරයක් නිර්මාණය විය යුතු වන අතර එවැන්නකින් තොරව මේ රටට හෝ ජාතික බලවේගවලට යහපතක් සිදුවන්නේ නැත. රජුන් තැනීම පිළිබඳ කාලීන අභියෝග අමතක කළ නොහැකි වුවත් ජාතික බලවේග එවන් කාලීන අරමුණු තුළ පටුවෙමින් තමන්ගේ අනාගතය විනාස කරගත යුතු නැත.

පසුගිය වතාවේ මහින්ද දිනවීමෙන් ජාතික බලවේගවලට අත්වූ අපකීර්තියේ තරම ඔවුන් මනාව තක්සේරු කරගත යුතුය. ඉදිරියටත් අත්විය හැකි අපකීර්තියේ තරම හා නැවත වරක් වත්මන් ආණ්ඩුවට දේශපේ‍්‍රමය තැවරීමෙන් රටට සිදුවීමට නියමිත අන්තරායන් පිළිබඳවද ඔවුන් මීට වඩා බරපතල වගකීමකින් සිතා බලන තැනකට ආ යුතුය. රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක මැදිහත් වීම් කළ හැකි විමල් වැනි දේශපාලන නායකයින් හුදු රජුන් තැනීමේ සරල තැනකින් තම ඓතිහාසික භූමිකාව අවසාන කරගත යුතු නැත. ජාතික බලවේග වෙතින් ආණ්ඩුව කෙරේ බලවත් විවේචන එල්ල විය යුතුවා පමණක් නොව ඒ විවේචන ප‍්‍රායෝගිකව බලපෑම් සහගත ආවුද බවට පත්කර ගැනීමේ උපක‍්‍රම වෙතද ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුය. ජාතික බලවේග මේ මොහොතේ තමන් අභිමුව ඇති අභියෝගය මෙන්ම ඔවුන් මුහුණ පා සිටින අසීරුතාවය පිළිබඳවද පුළුල් සංවාදයක් ඇති කළ යුතුය. එවැනි ප‍්‍රවේශයකින් තොරව කොන්දේසි විරහිත සහයක් මහින්දට ලබාදේ නම් එය ජාතික බලවේග විසින් සියතින්ම තම පෞර්ෂය හා දේශපාලන අනාගතය විනාස කරගන්නා තීරණයක් බව අකමැත්තෙන් හෝ අවධාරණය කළ යුතුව ඇත.ජනාධිපතිවරණය පිළිබඳ කාලීන ප‍්‍රශ්නයේ සන්දර්භමය සීමාවෙන් ඔබ්බට ගොස් මේ ප‍්‍රශ්නය දෙස බලන අයකුට මේ ලිපියේ අවධාරණය වටහා ගැනීම අසීරු නොවේ යැයි සිතමි.

-ඉසුරු ප‍්‍රසංග  :මුරගල 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions