ධර්මිෂ්ඨ සමාජයක්’ උදාකිරීමට යැයි 1977 දී බලයට පැමිණි බටහිර හිතවාදී නව ලිබරල්වාදී (හා ධනවාදී) ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් මුලින්ම කරනු ලැබූ කාර්යයන් අතර ප්‍රධානම කාර්යයක් වූයේ අපරාධ යුක්ති කොමිෂන් සභාව විසින් 1975 වසරේ දී, ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවන ලද රජයක් ආයුධ සන්නද්ධව පෙරලා දැමීමට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කොට සිටි වාමාංශික විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්ට නිදහස ලබා දීම යි. වාමවාදී පක්ෂ ද එකතුව ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවන ලද ජාතිකවාදී රජයක් ආයුධ සන්නද්ධව පෙරලා දැමීමට උත්සහ කළ ජවිපෙ නායකයින්ට, බලයට පැමිණ වසරක් යාමට පෙර නිදහස ලබා දෙන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එජාප රජය, එදා එම ප්‍රජාතන්ත්‍රවාදී රජයට නායකත්වය සැපයූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7ට අහෝසි කොට ඇයව පාර්ලිමේන්තුවෙන් ද නෙරපා දැමීමමට කටයුතු කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?
ප්‍රජා අයිතිය අහෝසි කිරීම හේතු කොට ගෙන 1982 දී පවත්වන ලද පලමු ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමෙන් ඇයව වලකනු ලැබූ අතර ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් නිදහස ලැබූ වාමාංශික විජේවීර මහතා එම ජනාධිපතිවරණයට තරග කරනු ලැබී ය. ඉන් ජය ලබන ජේ. ආර්. ජයවර්ධන මහතා එම වසරේම පවත්වන ලද ‘ජනමත’ විචාරණය (කළගෙඩි ලාම්පු සෙල්ලම) ඔස්සේ පාර්ලිමෙන්තුවේ කාලය ද තවත් වසර 6කින් දිගු කරගනු ලැබී ය. නව ලිබරල්වාදි ආර්ථිකයකට රට මුළුමනින්ම පරිවර්තනය කිරීමට පියවර ගනු ලැබූ ජයවර්ධන රජය එමගින් ආර්ථික ක්‍රියාවලියට රජයේ මැදිහත් වීම අකුලන්නට විය. නිෂ්පාදන ක්‍රියාවලියෙන් රට මුළුමනින්ම ඉවත් වන්නට වූ අතර සේවා ආර්ථිකයේ ගොදුරක් බවට රට පත්වන්නට විය. සාමූහිකත්වය වෙනුවට පුද්ගලවාදය ඉස්මතුවන්නට විය. මැද පන්තිය පුළුල් වන්නට වූ අතර කිසිවකින් තෘප්ත කල නොහැකි පරිභෝජනවාදී පිසාචයන් අරක්ගත් දේශයක් බවට මුළු රටම පත් වන්නට වී ය. ‘ධර්මිෂ්ඨ සමාජයක්’ උදාකිරීමට යැයි බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජය දුෂ්ඨත්වයෙන් පිරි අධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගන්නට වූයේ එසේය.
එහිදී ජවිපෙ ගත් ක්‍රියා මාර්ගය කුමක් වී ද ? තවදුරටත් ඔවුන් ජාතික නායකත්වයක් විනාශ කිරීමේ කොටස්කරුවන් නොවී ද? ජාතිකත්ව රජයක් බිහිවීම වැළැක්වීමේ අරමුණක් ඉන් පසුවවත් ඔවුනට නොවී ද?
බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් නැවතත් ජාතිකවාදී රජයක් පිහිටුවීමට තිබූ අවස්ථාවක් 1988 වසරේ දී උදා වී ය. ඒ 1987 වසරේදී ඉන්දියාවේ බලපෑමට යටත්ව අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පැන නැගුනු දැවැන්ත විරෝධය හමුවේ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ගොඩනැගුනු පුළුල්ම ජාතික සංධානය හරහා ය. ජවිපෙ විසින් එය වලකනු ලැබුයේ 88’ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නන් මරා දමන බවට තර්ජනය කරමින් හා එය වර්ජනය කරන ලෙස ජනතාවට බල කරමින් හා තර්ජනය කරමින් එකම භීිෂණයක් රට පුරා මුදා හැරීමෙනි. එමගින් ආර්. ප්‍රේමදාස මහතාට බලයට ඒමට ඉඩ හසර විවර කර දීමෙනි. ඒ සමගම බිහි වූයේ අති බිහිසුණු භීම සමයකි. එම භීම සමය අවසාන වන විට දසදහස් ගණනක තරුණ ජීවිත රටට අහිමි වී තිබුනි. බණ්ඩාරණායක මැතිනියගේ නායකත්වය ද රටට එතැනින්ම අහිමි විය.
ඉන්පසුව නැවතත් ජාතිකවාදී රජයක් බිහිවනුයේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. එම රජයට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් 2009 දී බටහිර හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් රට ආරක්ෂා කිරීමට හැකි විය. එය නිදහසින් පසුව රටක් ලෙස අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණය විය.
දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර නැවත රට එක්සේසත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ ගෙන ගිය මානුෂීය මෙහෙයුමේ දී එජපෙ හා ජවිපෙ ක්‍රියා කලේ කෙසේ ද?
මහින්ද රාජපක්ෂ මහතාට 2005දී බලයට ඒමට ජවිපෙ (විමල් වීරවංශ කණ්ඩායම) උදව් වූ නමුත් වැඩිකල් නොගොස්ම උතුරේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය වීමට ආසන්නව තිබිය දී ජවිපෙ මහින්ද රාජපක්ෂ රජයට එරෙහි වන්නට විය. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය වන්නට ආසන්නව තිබිය දී ඉතා තීරණාත්මක මොහොතක අයවැය පරාජය කිරීමට එජාප මෙන්ම ජවිපෙ ද තැත් කරනු ලැබී ය. විමල් වීරවංශ ඇතුළු ජවිපෙ කණ්ඩායම ජවිපෙ එම ක්‍රියා මාර්ගයට එරෙහිව එයින් ඉවත්ව කටයුතු නොකරන්නට එදා ත්‍රස්තවාදය පරාජය කිරීම සිහිනයක් වන්නට ද තිබුණි.
මහින්ද රාජපක්ෂ රජය අල්ලස, දූෂණය හා හොරකමට එරෙහි යහපාලන සටන් පාඨය හරහා 2015 වසරේදී පරාජය කරනු ලැබී ය. ඒ සදහා ජවිපෙ දැක්වූ දායකත්වය රටට රහසක් නොවේ. එහෙත් වැඩි දවසක් නොගොසින්ම හමා ගිය මහින්ද සුළග ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා පෙර නොවූ විරූ තරම් බලවත්ව නැවතත් කරලියට පැමිණි නමුත් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් බලයට පැමිණීම වැලැක්වීමම අරමුණු කොටගෙන යහපාලන ආණ්ඩුව විසින් ගෙනෙන ලද ව්‍යවස්ථා සංශෝධනය හේතුකොට ගෙන ඔහුට 2019 ජනාධිපතිවණයට තරග කිරීමට නොහැකි වී ය. ඒ වෙනුවට නායකත්වයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාව ද වැඩිකල් නොගොස්ම බලයෙන් පහකරනු ලැබී ය. ඒ සදහා දියත් වූ වැඩ පිළිවෙල තුල ප්‍රධාන වශයෙන්ම බටහිර (ඇමෙරිකාව හා බිරිතානිය) හා ඉන්දියාව සිටි බවට සැකයක් තිබිය නොහැකි ය. එසේම ඒ සදහා එක් වූ දේශීය හවුල්කරුවන් අතර පෙර සදහන් කළ ජාතිකත්වයට එරෙහිවූ බලවේග ද නොඅඩුවම ක්‍රියාකාරී වී ය.
අද මූලික වශයෙන් ජවිපෙ නායකත්වයෙන් යුතු මාලිමා ආණ්ඩුවක් බලයට පැමිණ ඇත. ඒ අපට පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් ලබා දෙන්නට යි!
-අභය-
www.yuthukama.com
www.yuthukama.com
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .