1815 මාර්තු මාසයේ දී උඩරට
සිංහල රාජ්‍ය බිඳ වැටෙන්නේ අභ්‍යන්තර වියවුල් නිසා ය. මේ කාලය වනවිට ඉංගිරිසිහූ
තමන්ට සහජයෙන්ම උරුම වු වංකබව හා චපල
පිළිවෙතට සරිලන අයුරින් උඩරට රාජ්‍ය තුල අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින් සිටියහ.
කන්ද උඩරට ඉංගිරිසි ආක්‍රමණයට
ආසන්නම හේතුව ලෙස ගැනෙන රජුගේ පාක්ෂිකයන් පිරිසක් හා ඇහැළේපොලගේ පිරිසක් අතර ජනවාරි 10 වැනි දා රාත්‍රියේ හංවැල්ලේදී ඇති වූ
ගැටුම නොගිණිය හැකි සුළු සිද්ධියක් ලෙසින් ඉංග්‍රිසි හමුදාවේ වෛද්‍ය නිළධාරියාව
සිටි හෙන්රි මාෂල් විසින් ම සඳහන් කර ඇත.
එමෙන්ම සිංහලේ රජුගේ කෘරත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා හුදු කරුණාව
පෙරදැරිව උඩරට ආක්‍රමණය කළේය යන ප්‍රලාඵය ද හෙන්රි මාර්ෂල් සෝපහාසයෙන් බැහැර කරයි.
මේ ආක්‍රමණයේ අවාසනාවන්ත අවසන් ප්‍රතිථලය වූයේ 1815 මාර්තු මාසයේ දී වසර දෙදහස් ගණනක් අවිච්ඡින්නව මෙරට පැවති සිංහලේ බෞද්ධ රාජ්‍යය, ගිවිසුමක් මඟින් එංගලන්තයේ මහරජුට පවරා දීම යි.
1803 දී උඩරට රාජ්‍යය ආක්‍රමණය
කිරීමට ගොස් ඉංගිරිසින් ලැබූ අපකීර්තිමත් පරාජය 1815 දී ජයග්‍රහණයක් බවට පෙරළුනේ
ඔවුන් සතු වූ වීරෝධාර භාවයක් නිසා නොව
ඔවුනට ආවේණක වූ චපල ගතිය
හා වංක ස්වාභාවය නිසාය. ඒ බව ඔවුන් විසින්
අත්සන් කිරීම සඳහා උඩරට නායකයින් වෙත ඉදිරිපත් කළ ගිවිසුමේ ස්වභාවය මෙන්ම එය ක්‍රියාත්මක
වූ ආකාරයෙන් ද පැහැදිලි වෙයි.
උඩරට ගිවිසුමේ දෙවැනි
වගන්තියෙන් වඩුග රජුගේ කිසිම නෑදෑයෙකුට සිංහල දේශයේ කිරුළ දැරීමට අයිතියක් නොමැති
බව ද, ඉනුත් ඔබ්බට ගොස් කිසිම දෙමළ ජාතිකයෙකුට ද ඒ සඳහා අයිතියක් නැත යන්න ද
සඳහන් වෙයි.
එහි පස්වැනි වගන්තයෙන් මෙරට රජුන් මුලෑදෑනිවරුන් මෙන්ම පොදු ජනතාවද අදහන්නාවූ බෞද්ධාගමත් සාසනයත්, දේවාගමත් නොකඩවා පවත්වාගෙන යෑමත් ඒ සඳහා සංඝයා ද විහාරස්ථාන ද දේවාල ද නොනවත්වා පවත්වාගෙන යෑමට හා ආරක්ෂා කරගෙන යෑමට අවශ්‍ය බව ද පිළිගෙන තිබේ.
මේ වගන්ති දෙක උඩරට
ගිවිසුමට ඇතුලත් වීම එංගලන්ත පාර්ලිමේන්තුව තුළ
දැඩි විවේචනයට ලක් විය. මෙසේ විවේචනයට ලක්වීමට හේතුවූයේ අධිරාජ්‍ය විසින්
සිය යටත් විජිතයක් තුල උතුම් වූ ක්‍රිස්තියානි දහම ස්ථාපිත කිරීම වෙනුවට ‘මිථ්‍යා
දිට්ඨික ආගමක්’ වූ බුදු දහම ප්‍රවර්ධනය කිරීමට අනුබල දීම ක්‍රිස්තියානි රාජ්‍යකට
අයිතියක් නැති ය යන ආකල්පය යි. ඔවුන් ඒ චෝදනාවෙන් ගැලවුනේ එම වගන්තිය සිංහල ජනතාව
රැවටීම සඳහා පමණක් යොදා ගත් වගන්තියක් බව ප්‍රකාශ කරමිනි.
එමෙන්ම මේ රට තුල පසු කලෙක පිළිකාවක් සේ වර්ධනය වූ දෙමළ ජාතිවාදයේ මුල් බීජයද උඩරට ගිවිසුම තුලින් ම හිතාමතා නිර්මාණය කරන ලද්දකැ යි මට නම් සිතේ. මන්ද උඩරට ගිවිසුම අත්සන් කරන වකවානුව වනවිට දී මෙරට ජාතිභේදයක් නිර්මාණය වී තිබුනු බවට සාධක නැත. දෙමළ ජාතිකයෙකුට මෙරට රජවීමට නොහැකිය යන්න සිංහලයන්ගේ සංකල්පයක් නොවේ. මන්ද සිංහලයාගේ ප්‍රධාන භූමිකාව බුදුදහම රැකගැනීම මිස සිංහලයා රැකගැනීම නොවේ. සිංහලයා රැකෙනු යුත්තේ බුදුදහම රැක ගැනීමටය.
මෙරට සංඝයා වහන්සේලා හා
ජනතාව විසින් උඩරට ගිවිසුමට වසර 68 කට පෙර සිංහලේ රජු වශයෙන් නායක්කර් වංශිකයෙකු
වූ කීර්ති ශ්‍රී රාජසිංහ පත්කරගත් අතර අවුරුදු 33ක් වූ එතුමාගේ රාජ්‍ය කාලය තුළ
සාසන දියුණුව වෙනුවෙන් කරණ ලද මෙහෙය අතිවිශාලය.
අද මෙරට ඇතැම් අනුකාරක
උගතුන් සිතා සිටින අයුරු, සිංහලේ යන්නෙන් හැඳින්වුනේ ජාතිවාදී රාජ්‍යක් නොව,
සියලු ජාති ආගම් වලට සහජීවනයෙන් ජීවත් විය හැකි බෞද්ධ ව්‍යවස්ථාවක්
සහිත රාජ්‍යකි.
මේ බෞද්ධ ව්‍යවස්ථාවේ
සලකුණු පිළිබඳව ජෝන් ඩොයිලි විසින් පවා විස්තර කර දී ඇත.
ස්වභාවයෙන් ම
තුච්ඡ ජාතියක් වූ ඉංගරිසිහු අත්සන් කළ දා සිටම ගිවිසුම කඩකිරීම ද ආරම්භ කළෝ ය. එදා
සිටිම සිංහලයෝ ද ඉංගිරිසින්ට එරෙහිව නොනවතින අරගලයක් ආරම්භ කළෝ ය. අදටත් එය අවසන්
වී නැත.
-මහාචාර්ය වසන්ත දේවසිරි-
www.yuthukama.comhttps://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .