![]() |
මහා විජයබාහු රජු විසින් කරවූ අටදාගෙය |
ලංකා ඉතිහාසයේ අදුරුතම කාල පරිච්ඡේදයක් ආරම්භ කරමින් ක්‍රිස්තු වර්ෂ 1017 වැන්නේදී දකුණු ඉන්දීය චෝළයන් මෙරටට දරුණු ආක්‍රමණයක් එල්ල කරනු ලැබීය. හින්දූන්ගේ සිහිනය ලෙස හදුන්වන “අඛණ්ඩ භාරත්” සංකල්පය සැබෑ කරගැනීමට අපේක්ෂා කල පිරිසක් වශයෙන් චෝළයන් හැදින්විය හැකිය . චෝළ අධිරාජ්‍යය අග්නිදිග ආසියාව දක්වා ව්‍යාප්තව පැවති අතර ඉන්දියානු සමුද්‍රීය වෙළද ආධිපත්‍යය තම ඒකාධිකාරයක් ලෙස පවත්වාගනු පිණිස ඔවුහු විශාල වෙහෙසක් දැරීය. අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා බවට පස්වැනි මිහිඳු රජු පත්කරමින් චෝළ ආක්‍රමණිකයන්ගේ සිරකරුවන් ලෙස එතුමන් ප්‍රමුඛ පවුලේ පිරිස දකුණු ඉන්දියාවට රැගෙන ගිය බව මූලාශ්‍රයන්හි සදහන් කෙරේ. පණ්ඩුකාභය රජුගේ පටන් මෙරට අගනගරය වූ අනුරාධපුරය කොල්ලකා විනාශ කල චෝළයන් ,වර්තමානයේ “පොළොන්නරුව” ලෙස හදුන්වන “පුලස්ති පුරය” ඔවුන්ගේ මෙරට පරිපාලන මධ්‍යස්ථානය ලෙස තෝරාගනිමින් එම නගරය “ජනනාථ පුරම්” ලෙස නම් කර චෝළ අධිරාජ්‍යයේ යටත්විජියක් බවට පත්වූ මෙරට රජරට ප්‍රදේශයන් “ මුම්මඩි චෝළ මණ්ඩලම්” ලෙස නම් කරන ලදි.
දශක ගණනක් යනතුරු චෝළයන්ට එරෙහිව නැගීසිටීමට තරම් ශක්තිමත් රාජ උරුමය සහිත තැනැත්තෙකු මායා රටේ හෝ රෝහණයේ පහල නොවීය. ලංකාද්වීපයේ ගැලවුම්කරුවා වූ “මහා විජයබාහු” නමින් මෙරට චෝළයන්ගෙන් මුදවාගත් කීර්ති කුමරුන් රෝහණයේ පහළවිය. මෙය සැවොම හොදින් දන්නා කියන විජයබාහු රජතුමාගේ ඉතිහාස කතාන්දරය නොවේ. එතුමා කුඩා කල පටන් ගෙවූ දිවිය පිළිබදව ද, තමාට සහ තම පවුලට ආරක්ෂාව සැපයූ සින්නාරුබිම බුදල්නා හෙවත් බුද්ධරාජ නම් ප්‍රාදේශීය නායකයා හට පිරිනමන ලද වරදාන වරප්‍රසාද පිළිබඳව ද “පනාකඩුව තඔ සන්නස” නමින් සුපතළ සන්නස් පත්‍රයේ සදහන් වේ .ලංකා ඉතිහාසය තුළ සදහන් කෙරෙන දරුණුතම ඉන්දියානු ආක්‍රමණයෙන් රාජ්‍යය මුදවාගෙන සිංහල රාජාණ්ඩු පාලන තන්ත්‍රයත් බුද්ධ ශාසනයත් චිරස්ථායි කිරීමෙ හේතුවෙන් හෙළ රාජාවලියේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු ලෙස විරාජමාන වීමට මහා විජයබාහු රජුට හැකිවිය.
නූතන දෘෂ්ටියෙන් බැලුවහොත් විජයබාහු රජු මහ මොළකරුවෙකි. යුධමය වශයෙන් චෝළයන් මෙරටින් පලවා හැරීමට විජයබාහු රජු දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ අතර ඒ වෑයම සාර්ථක විය. ඒ වන විටත් ශ්‍රී රාජරාජ, ශ්‍රී රාජේන්ද්‍ර හා ශ්‍රී රාජාධිරාජ නමින් මෙරට භාවිතය පිණිස චෝළ පාලකයන් කාසි පවා නිකුත් කර තිබුනි. රජරට ප්‍රදේශයන්හි බුදු දහම යටපත්ව ගොස් චෝළ පාලකයන්ගේ රාජ්‍ය ආගම වූ ශෛව ආගම රජරට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවූහ. චෝළයන් මෙරටින් පලවා හැර පුලස්ති පුරයේ බලය තහවුරු කරගත් විජයබාහු රජතුමා විසින් සිංහල මහා රජදරුවන් ගේ පෙරසිරිත ප්‍රකාරව අනුරාධපුර ශුද්ධ නුවරට ගොස් පැරණි රජවරුන් වාසය කළ ඇතුල් නුවර තුළ රාජාභිෂේක වීම පිණිස රජමාලිගයක් තැනවීය. “සිංහල මස්ස” කාසි නිකුත් කල ප්‍රථම පාලකයා වූ පළමුවන විජයබාහු රජතුමා ඒවායේ සිය නාමය “ශ්‍රී විජයබාහු” ලෙස සදහන් කර ඇත. චෝළයන් ට එරෙහිව සිටි රාජ්‍යයන් ද්විත්වයක් වූ පාණ්ඩ්‍ය දේශය හා කාලිංග දේශය සමග විවාහ සබදතා ඇතිකරගනිමින් නැවත චෝළ අධිරාජ්‍යයෙන් මෙරටට ආක්‍රමණයක් එල්ල වුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට සුදුසු භූ දේශපාලන පසුබිමක් නිර්මාණය කරගැනීම විජයබාහු රජුගේ දැක්මෙහි සාර්ථකත්වය ඉස්මතු කොට දක්වන්නකි. තම සහෝදරිය වූ මිත්තා කුමරිය පාණ්ඩ්‍ය කුමාරයෙකුට විවාහ කරදුන් විජයබාහු රජතුමා කාලිංග දේශයෙන් තිලෝකසුන්දරී නම් කුමරියක් ගෙන්වා විවාහ කරගන්නා ලදි. එම විවාහ ගණුදෙනු හේතුකොටගෙන මෙරට රාජ්‍යත්වයට කාලිංග වංශිකයන්ගේ හා පාණ්ඩ්‍ය වංශිකයන්ගේ අතර සීතල යුද්ධයක් නිර්මාණය විය. එය පොළොන්නරුව රාජධානිය සියවස් දෙකක් ගතවීමටත් මත්තෙන් බිදවැටීමට හේතුවූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදි පැහැදිලි වේ.
රජරට මුදවාගැනීමට පෙර සිටම බුරුම දේශය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා ගොඩනගාගත් විජයබාහු රජතුමා බුරුමයේ අනවරථ රජු බුරුමය තුළ සිදුකළ ශාසනික ප්‍රබෝධය වැනිම ප්‍රබෝධයක් රජරට මුදවා ගැනීමට පසු මෙරට සිදුකලේය. එතුමා මෙරට පරිහානියට පත්ව තිබූ බුදුදහම යළි ශක්තිමත් ලෙස පිහිටුවලා ලීමට කටයුතු කරන ලද අතර දළදා වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට “අටදාගෙය” ලෙස වර්තමානයේ හදුන්වනු ලබන ගොඩනැගිල්ල ඉදිකරවා ඇත. දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි ආරක්ෂාව සදහා වේලෛක්කාර හමුදාව යෙදවූ බව පොළොන්නරුව වේලෛක්කාර ශිලාලේඛනයෙහි සදහන් වේ.
වසර 55ක් රාජ්‍යත්වය දැරූ මහා විජයබාහු රජතුමා උපතින් 73 වැනි වියේදී පරලෝකප්‍රාප්ත විය. හින්දූන්ගේ ග්‍රහණයට නතුකර ගෙන තිබූ රජරට ශිෂ්ටාචාරය තුල යළි බෞද්ධ බලය තහවුරු කරමින් දඔකොළ පටුනේ පටන් ගොඩවාය වරාය දක්වා සමස්ත ලංකාද්වීපයම මුදවාගෙන ඉන්දියානු ව්‍යාප්තිවාදය හමුවේ දෙකඩ වීමට තිබූ සිංහලයන්ගේ නිජබිම ආරක්ෂා කළ වීරයා පළමුවන විජයබාහු මහරජු ය. අවසාන වශයෙන් සදහන් කල හැකි කරුණ වන්නේ “ මහා විජයබාහු රජු නොවන්නට සිංහල ජාතියක් නැත” යන්නයි.
- හේමක මවින්ද්‍ය විජයතිලක
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .