යුදෙව් ජාතිකවාදය - 4
හීබෲ භාෂාවේ පුනර්ජීවනය තුළ බෙන් - යෙහූදා ලකුණ
![]() |
ඉතාමර් බෙන්-අවී: නූතන යුගයේ හීබෲ බස මව් බස වූ ලොව පළමුවැන්නා |
තියඩෝර් හර්ට්සල් විසින් රචිත, යුදෙව් රාජ්‍යය නම් කෘතියෙහි, අනාගත යුදෙව් රාජ්‍යයක භාෂාව සම්බන්ධයෙන් කියැවෙන ආකාරය යි මේ. නූතන දේශපාලනික සයොනවාදයෙහි පියා ලෙස සැලකෙන හර්ට්සල්, 1896 වර්ෂයේ දී මෙම කෘතිය රචනා කරන විට, හීබෲ භාෂා පුනර්ජීවනය සම්බන්ධයෙන් ඔහු කවරාකාරයේ ආකල්පයක් දරන්නට ඇත් ද යන්න මෙමගින් මනාව පැහැදිලි වේ. මෙහි දී හර්ට්සල් යෝජනා කරන්නේ, ස්විට්සර්ලන්තය බඳු විවිධ භාෂා කතා කරන ජනයාගෙන් සමන්විත යුදෙව් රාජ්‍යයකි.
එහෙත්, හීබෲ බස ජීවමාන බසක් බවට පත් කිරීමේ මූලික අත්හදා බැලීම් එලියේසර් බෙන්-යෙහූදා නම් හීබෲ භාෂා ප්‍රේමියා විසින් මේ වන විටත් ආරම්භ කර තිබුණි. මෙම අත්හදා බැලීම් සඳහා ඔහුට පර්යේෂණාගාරය වූයේ සිය පවුල ය. එහි පර්යේෂණාගාර මීයන් වූයේ සිය දරුවන් ය. ඔහුගේ මෙම අසාමාන්‍ය කැප කිරීම අප සාකච්ඡා කළ යුතු ම කරුණකි.
එලියේසර් බෙන්-යෙහූදා උපත ලබන්නේ 1858 දී රුසියානු අධිරාජ්‍යය තුළ ය. (මෙම ප්‍රදේශය වත්මන් බෙලරුස් රාජ්‍යයට අයත් වේ.) ඔහුගේ මව්බස වන්නේ යිඩිෂ් (ජර්මානු සහ හීබෲ භාෂා මිශ්‍රණයෙන් උපන් භා
ෂාවක්) ය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ කේඩර් නමින් හඳුන්වනු ලබන සාම්ප්‍රදායික යුදෙව් පාසලක ය. මෙහි දී හීබෲ භාෂාව ඉගෙන ගන්නා බෙන්-යෙහූදා, වයස අවුරුදු 12 පමණ වන විට හීබෲ බයිබලයට අයත් ග්‍රන්ථ ඇතුලු, සාම්ප්‍රදායික හීබෲ ලේඛන කියවීමේ නිපුනත්වය ලබා ගනී.
ෂාවක්) ය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ කේඩර් නමින් හඳුන්වනු ලබන සාම්ප්‍රදායික යුදෙව් පාසලක ය. මෙහි දී හීබෲ භාෂාව ඉගෙන ගන්නා බෙන්-යෙහූදා, වයස අවුරුදු 12 පමණ වන විට හීබෲ බයිබලයට අයත් ග්‍රන්ථ ඇතුලු, සාම්ප්‍රදායික හීබෲ ලේඛන කියවීමේ නිපුනත්වය ලබා ගනී.
පසු කාලීනව, හස්කලා හෙවත් යුදෙව් ඥානෝදය (Jewish Enlightenment) ව්‍යාපාරයේ අභාෂය ඔහුට ලැබේ. ආගමික භාවිතයන්ගෙන් පරිභාහිර කටයුතු සඳහා හීබෲ භාෂාව භාවිත කිරීම යුදෙව් ඥානෝදය ව්‍යාපාරය තුළ අනුබල දෙන්නක් වූ නමුත්, හීබෲ බසින් පළ වූ පුවත්පත් යනාදිය හැරෙන්නට, කථන භාෂාවක් ලෙස හීබෲ ඒ වන විට භාවිත නොවුනි. පසුව, ප්‍රංශ, ජර්මානු සහ රුසියානු භාෂා ප්‍රවීනත්වය ලබා ගන්නා බෙන් යෙහූදා වැඩි දුර අධ්‍යාපනය ලබා ගන්නේ ලැටියාවේ දී ය. පසුව, ඔහු ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගනි යි. මේ වන විට ප්‍රචලිතව ඇති එක් මතයක් වන්නේ, යුදෙව් රාජ්‍යයක් සඳහා භූමියක් සොයා ගත්ත ද, යුදෙව්වන්හට පොදු කථන භාෂාවක් නොමැති බැවින්, ඔවුන්ට කිසි දිනෙක ජාතියක් (nation) විය නොහැකි බව යි. මෙය බෙන්-යෙහූදාගේ සිතේ දැඩි ලෙස කා වැදී පවතින අතර, ඔහුගේ අධිෂ්ඨානය වන්නේ කෙසේ හෝ හීබෲ බස යුදෙව්වන් අතර අදහස් ප්‍රකාශ කළ හැකි පොදු භාෂාවක් බවට පත් කිරීම ය.
1881 දී වෙනත් රටවලින් ඊශ්‍රායලය වෙත සංක්‍රමණය වන පළමු යුදෙව් ජන කණ්ඩායමට අයත් වන බෙන්-යෙහූදාගේ පවුල ජෙරුසෙලමෙහි පදිංචි වන අතර, ඔහු එහි සිට විවිධ රැකියාවන්හි නිරත වෙමින් සිය අත්හදා බැලීම් සිදු කර යි. මුලින් ඔහු තමන් වෙත ම, හීබෲ බසින් ආමන්ත්‍රණය කර ගනිමින්, ජීවමාන භාෂාවක් ලෙස එහි ශක්‍යතාව උර ගා බල යි. මෙහි දී ඔහුට පසක් වන්නේ බොහෝ නූතන අදහස් ප්‍රකාශ කළ හැකි වචන හීබෲ භාෂාව තුළ නොමැති බවත්, එවැනි වචන නොමැතිව හීබෲ බස නූතන භාෂාවක් ලෙස භාවිත කිරීම කිසි සේ ත් ම ප්‍රායෝගික නොවන බව යි.
මේ සඳහා ඔහු නව හීබෲ වචන නිර්මාණය කළ බවත්, එම උත්සාහය හීබෲ ශබ්ධ කෝෂයක් එළි දැක්වීම මගින් කෙලවර වූ බවත් අපි පසුගිය ලිපිය මගින් ප්‍රකාශ කළෙමු. මෙම නව වචන සම්මත කර ගැනීම සඳහා හීබෲ භාෂා කමිටුවක් පිහිටුවීමට ද ඔහු මූලික විය.
ඉතාමත් අසීරු අත්හදා බැලීමක් සඳහා ඔහු යොමු වන්නේ මේ අතර ය. ඒ තම පළමු දරුවාගේ මව් බස හීබෲ බවට පත් කිරීමේ උත්සාහය යි. මෙහි දී ඔහු සිය බිරිඳ සමග, තම පුත්‍රයා වූ ඉතාමර් බෙන්-අවීහට සම්පූර්ණයෙන් ම හීබෲ බසින් ඇමතීම සිදු කර යි. ඉතාමර් කුඩා කාලයේ දී බෙන්-යෙහූදා ඔහුට වෙනත් කිසිඳු භාෂාවක් ශ්‍රවණය නොවීමට වග බලා ගනී. කොටින් ම තම දරුවා නැලවීම සඳහා රුසියානු බසින් නැලැවිලි ගී ගැයීම පවා ඔහු සිය බිරිඳට තහනම් කර යි. ඉතාමර් කුඩා කාලයේ ඔහුට වෙනත් දරුවන් සමග සෙල්ලම් කිරීම තහනම් විය. මේ නිසා ඉතාමර්ගේ කුඩා අවදියේ දී ඔහුගේ හොඳ ම මිතුරා වන්නේ බලු පැටියෙකි.
බෙන්-යෙහූදා සිය දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද මෙම ක්‍රියාමාර්ග ඉතාමත් කෲර ඒවා බව අයෙකුට ප්‍රකාශ කළ හැකි නමුත්, එහි අවසන් ප්‍රතිඵලය වූයේ, නූතන යුගයේ හීබෲ බස මව් බස වූ ලොව පළමුවැන්නා බවට ඉතාමර් බෙන්-අවී පත් වීම යි. මේ ආකාරයට සිය දරුවන් සියලු දෙනා ඇති දැඩි කිරීමට බෙන්-යෙහූදා කටයුතු කර යි. හීබෲ බස ජීවමාන බසක් බවට පත් කිරීමේ ඉදිරි කටයූතු සඳහා පසු කාලීනව මෙම දරුවන් විසින් ද අනගි මෙහෙයක් ඉටු කරනු ලබයි.
හීබෲ බස එදිනෙදා කටයුතු සඳහා යොදා ගැනීම, දැඩි භක්තිමත් යුදෙව් ප්‍රජාවගේ නොසතුටට හේතු වූ බව ද පසු ගිය ලිපියේ දී අපි සඳහන් කළෙමු. මේ නිසා මුල් යුගයේ දී, බෙන්-යෙහූදා පවුල සමාජයෙන් කොන් කර තැබීමේ නියෝග ද මෙම ප්‍රජාවන් විසින් නිකුත් කර ඇත. බෙන්-යෙහූදා විසින් පවත්වා ගෙන යනු ලැබූ හීබෲ මාධ්‍ය පුවත්පත් පවා මෙම ආගමික ප්‍රජාවන්ගේ විරෝධතා මත වසා දැමීමට ඇතැම් කාල වල දී සිදුව ඇත.
අනාගතයේ දී බෙන්-යෙහූදාගේ දරුවන් "මෝඩයින්" වනු ඇති බවට එම කාලයේදී ඇතැමුන් මත පළ කොට ඇත.
1922 වර්ෂයේ දී, වයස අවුරුදු 64 දී, එලියේසර් බෙන්-යෙහූදා කළු්‍රිය කරන විට, මේ තත්වය වෙනස් අතකට හැරී තිබිණ. ඒ වන විට, පලස්තීන ප්‍රදේශය තුළ හීබෲ බස කතා කරන්නන් සැලකිය යුතු පිරිසක් බිහිව තිබුණි. එ මෙන් ම, මේ වන විට බෙන්-යෙහූදා යුදෙව් ප්‍රජාව අතර ගෞරවණීය චරිතයක් බවට පත්ව සිටියේ ය. ඔහුගේ අවමංගල්‍යය සඳහා 30,000ක පමණ පිරිසක් සහභාගි වූ බව කියනු ලැබේ.
ලෝක ඉතිහාසයේ භාෂා පුනර්ජීවන ව්‍යාපාර සම්බන්ධයෙන් අසාමාන්‍ය ප්‍රගතියක් අත් කර ගත් සහ වඩාත් සාර්ථක වූ උදාහරණය ලෙස හීබෲ භාෂා පුනර්ජීවන ව්‍යාපාරය දැක්විය හැකි අතර, එතුළ එලියේසර් බෙන්-යෙහූදා ලකුණ ඉතා ඉහලින් සනිටුහන් වී තිබේ.
-නාරද බලගොල්ල
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .