ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ ඉතිහාසය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය
1815 දී සිංහල රාජාණ්ඩුව පරිසමාප්තියට පත් විය. රටේ පාලනය භාරගත් ඉංග්‍රීසීන් එතැන් පටන් රටේ දේශපාලන ක්‍රමවේදය සීඝ්‍ර ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලදි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සිය බලය මෙරට තුළ තහවුරු කරන අවස්ථාව වන විටත් ඔවුන් විසින් උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දීය අර්ධද්වීපය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය ආදී ලෝක භූමි ප්‍රමාණයෙන් සුවිශාල කොටසක් පාලනය කරමින් උන්හ. ඒ අනුව අලුතෙන් සිය අධිරාජ්‍යට ඈඳා ගන්නා ප්‍රදේශ තුළ නව දේශපාලන, ආර්ථික සහ සාමාජයීය ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉංග්‍රීසීන් ප්‍රවීණයෝ වූහ.
1815 ත් 1848 කාලය තුළ සිංහල ජනතාව විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට එරෙහිව දියත් කළ සන්නද්ධ ක්‍රියාමාර්ගයන් කිහිපයක්ම මුලින් උපුටා දමන්නට ඉංග්‍රීසීන් සමත් විය. 1833 හඳුන්වා දුන් කෝල්බෘ-කැමරන් ප්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක සභාව ද ශ්‍රේෂ්ඨාධිකරණය ද හඳුන්වා දෙනු ලැබීය. ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රචලිත කරන ලදි.
මාර්ග පද්ධතියක් මගින් රටේ සෑම කලාපයක්ම මැනවින් යා කරන්නට ඉංග්‍රීසීන් සමත් විය. 1863 වන විට ප්‍රථම දුම්රිය මාර්ගය ඉදි කිරීම ආරම්භ විය. වැවිලි කර්මාන්ත සහ පතල් කර්මාන්ත පැතිරී ගිය අතර ඊට සමගාමීව එම කර්මාන්ත මගින් ධනය උපයා ගත් දේශීය ධනවතුන් ද බිහි විය. අරක්කු රේන්ද කර්මාන්තය සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සැපයුම් කටයුතු සිදු කිරීම ද තවත් ධනහිමියන් බිහි වූ ව්‍යාපාරයන් විය
1848 න් පසුව නැවත සිංහල රාජාණ්ඩුව ස්ථාපිත කිරීම පිළිබඳ කිසිඳු බලාපොරොත්තුවක් ඉතිරි වී නොතුබුණු බව සිතිය හැකිය. උදා වී තිබූ නව යුගය තුළ නැවත රට විදේශික පාලනයෙන් මුදා ගැනීමක් පිළිබඳව හෝ අල්ප මාත්‍ර විශ්වාසයක් තැබුවේ ඉතා කුඩා පිරිසක් පමණක් වන්නට ඇත. කෙසේ නමුත් රාජ්‍ය අහිමි වූයේ නමුදු ජනතාවගේ සිතුම් පැතුම් තවදුරටත් නොනැසී පැවතුණි. ආගමෙන් සංස්තියෙන් සහ භාෂාවෙන් සිය යටත් විජිත ස්වාමියා අනුකරණය කරන්නට බොහෝ දෙනා පෙළඹෙද්දී තවත් පිරිසක් ස්වකීය ඓතිහාසික උරුමය සිත් හි දරා ගනිමින් සමාජයේ අව වරප්‍රසාදිත තත්ත්වයක දිවි ගෙවූහ.
පෘතුගීසි ආක්‍රමණ හා සමගාමීව මෙරට වෙරළබඩ කලාපවල කතෝලික ආගම ස්ථාපිත වූ අතර ලන්දේසි ආගමනයෙන් පසුව රෙපරමාදු ක්‍රිස්තියානි ආගම ද වෙරළබඩ කලාපවල ස්ථාපිත විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිල ආගමික සංස්ථාව වූයේ එංගලන්ත සභාවේ ක්‍රිස්තියානි ආගමයි. ඒ අනුව ඉංග්‍රීසීන් බලය ස්ථාපිත වීමෙන් පසුව එංගලන්ත සභාව නියෝජනය කරන මිෂනාරි ආයතන විසින් මෙරට ඔවුන්ගේ ධර්මය ප්‍රචාරය කිරීමද ආරම්භ විය. මෙම ධර්ම ප්‍රචාර කටයුතු පෘතුගීසීන් කතෝලික ආගම ප්‍රචාරය කිරීමට භාවිතා කළ අන්දමේ ම්ලේච්ඡ්‍ය ඒවා නොවුණත් එමගින් විශේෂයෙන් බුද්ධාගමට නිර්දය අපහාස එල්ල කරන ලදි. බ්‍රිතාන්‍ය පාලනය තුළදී යටපත් වූ ජාතික හැඟීම් නැවත ඇවිලී එන්නේ මෙලෙස බුද්ධාගමට මිෂනාරීන් විසින් එල්ල කරන ලද අපහාසයන්ට ප්‍රති උත්තරයක් වශයෙනි. මුල් කාලීනව අතින් පිටපත් කරන ලද ලියවිලි වශයෙන් සහ තැන තැන හුදෙකලාව සිදු නැගි සිටීම් වශයෙන් මිෂනාරීන්ට එරෙහිව සිදු වුණු ප්‍රතිරෝධයන් 1860 වන විට සංවිධානාත්මක වශයෙන් පෙරට ආ අතර බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ආරම්භ එය විය.
අපගේ නිරීක්ෂණය අනුව බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස හිමියන් විසින් 1860 දී ලංකාලෝක පුවත්පත ආරම්භ කිරීම බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සමාරම්භක සංසිද්ධියයි. පසුව උන් වහන්සේගේ මූලිකත්වයෙන්ම සියම් රජුගේ අනුග්‍රහයද සහිතව ලංකෝපකාර මුද්‍රණාලය ආරම්භ කරන ලදි. මෙම ඉදිරිගාමී මුල පිරීම් එතෙක් මුළුගැන්වී සිටි බෞද්ධයන් වෙත මහත් ආශ්වාදයක් ගෙන දෙන්නට ඇත. ඒ අනුව අතිපූජ්‍ය වළානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් හා බඩුවන්තුඩාවේ පඬිතුමාගේ පුරෝගාමීත්වයෙන් 1862 වසරේදීම ‘ලක්මිණි පහන’ පුවත්පත සහ මුද්‍රණාලය ආරම්භ විය.
බෞද්ධ පාර්ශවය මෙලෙස ක්‍රම ක්‍රමයෙන් ක්‍රිස්තියානි මිෂනාරින්ගේ සාහසික ප්‍රචාරක කටයුතුවලට එදිරිව පෙරට එමින් සිටියදී පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් සිදු කරන ලද සුප්‍රකට වාද මාලාවේ ආරම්භය වශයෙන් 1865 බද්දේගම වාදය සිදු විය. දේශ දේශාන්තරවල පවා ප්‍රචලිත වූ මෙම වාද මාලාව තුළදී මිෂනාරීන් මුහුණට මුහුණව සිදු කෙරුණු විවාදයන්ගෙන් පරාජයට පත් කෙරුණි. 1866 දී උදම්මිට වාදය සිදු වූ අතර, 1871 දී ගම්පොළ වාදය සිදු විය. පංච මහා වාද අතුරින් වඩාත් කතා බහට ලක් කෙරෙන සහ තීරණාත්මක වූ පානදුරා වාදය සිදු වූයේ 1873 දී ය.
මෙම වාද මාලාවට නායකත්වය දුන් පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානද හිමියන් ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ ඉතිහාසයෙහි ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ ඉතා වැදගත් චරිතයකි. 1844 දී උපසම්පදාව ලැබූ උන් වහන්සේ විසින් කොළඹ නගරයට වැඩම කොට කොටහේනේ දීපදුත්තාරාමය ගොඩ නගන ලදි. සියවස් 3 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවට ආක්‍රමණය කළ බටහිර ආක්‍රමණිකයන්ගේ කේන්ද්‍රස්ථානය වූයේ කොළඹයි. ඒ අනුව මෙම සමය වන විට කොළඹ බෞද්ධ බලය ඉතා දුර්වල තත්ත්වයක පැවතුණි. කොළඹ නගරයේ ප්‍රථමයෙන් පිණ්ඩ පාතයේ වැඩම කරන ලද්දේ ගුණානන්ද හිමියන් විසිනි. 1849 වන විට මාතලේ කැරැල්ලද පරාජයට පත් කොට තිබූ පසුබිමක ඉංග්‍රීසීන් විසින් කොළඹ නගරයේ බෝ ගස් කපා ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදි. මීට එරෙහිව කොළඹ නගරයේ විසූ නිර්භීත බෞද්ධයන් සමඟ එක්ව ගුණානන්ද හිමියන් බෝධිරාජ සමිතිය ආරම්භ කොට බෞද්ධ බලය පෙළ ගස්වන ලදි..
[ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ පළමු යුගය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය 2 කොටස යුතුකම සැප්තැම්බර් කලාපයෙන් සාකච්ඡා කරමු.]
-පැතුම්.ඒ.රණසිංහ
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි
[ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ පළමු යුගය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය 2 කොටස යුතුකම සැප්තැම්බර් කලාපයෙන් සාකච්ඡා කරමු.]
-පැතුම්.ඒ.රණසිංහ
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .