12/31/2025

සීතාවක හෙනහුරා: අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් රාජකපුරු සෙට්ටියා

කතෘ:යුතුකම     12/31/2025   No comments

සීතාවක රාජධානියේ ඉතිහාසය විමසීමේදී එහි අසිරිමත් නැගී සිටීම මෙන්ම ශෝචනීය බිඳවැටීම කෙරෙහි ද බලපෑ විවාදාත්මක චරිතයක් වන්නේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ය. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි ඔහු, පළමුවන රාජසිංහ රජුගේ සමීපතම උපදේශකයා බවට පත්වෙමින් රාජධානියේ දේශපාලනික, ආගමික සහ හමුදාමය ව්‍යුහය උඩුයටිකුරු කිරීමට සමත් විය.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සීතාවකට පැමිණෙන්නේ "ආඬි" හෙවත් හින්දු තාපසයෙකු ලෙසය. මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසු රජකමට පත් වූ පළමුවන රාජසිංහ රජු (ටිකිරි කුමාරයා) පිළිබඳව ඉතිහාසයේ මත දෙකක් පවතී. එක් මතයකට අනුව ටිකිරි කුමරු සිය පියා මැරීමේ පාපයෙන් මිදීමට මඟක් සොයමින් සිටි බවත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඊට සහනයක් නොලැබුණු තැන අරිට්ඨකී වෙණ්ඩු රජුට සමීප වී හින්දු දහම හරහා එම පාපයෙන් මිදිය හැකි බව පවසා රජු මුළා කළ බවත් කියැවේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජසිංහ රජු බුදුදහම අත්හැර, භික්ෂූන් වහන්සේලා ඝාතනය කරමින්, වෙහෙර විහාර විනාශ කර, ශ්‍රී පාදස්ථානය පවා ආඬිවරුන්ට පැවරීය. මෙම ක්‍රියාකලාපය නිසා රටවැසියා රජු කෙරෙහි බිඳුණු අතර, එයින් ප්‍රයෝජන ගත් අරිට්ඨකී වෙණ්ඩු තව තවත් රජුට සමීප වී "මානම්පෙරුම මොහොට්ටාල" යන තනතුර සහ රාජ්‍ය පාලනයේ ඉහළම බලතල ලබා ගත්තේය.

කෙසේ වෙතත්, නූතන ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මෙම "පීතෘ ඝාතක" චෝදනාව පෘතුගීසීන් සහ උඩරට පාර්ශ්වය විසින් රාජසිංහ රජු අපකීර්තියට පත් කිරීම සඳහා ගොතන ලද්දක් විය හැකි බවයි.

කෙසේ නමුත් වාර්තාගත සිදුවීම් දාමය දෙස තාර්කිකව බලන විට පැහැදිලි වන්නේ රාජසිංහ රජු වෙත එල්ල වී ඇති පීතෲ ඝාතක චෝදනාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් අරිට්ඨකී වෙණ්ඩු ඉතා සූක්ෂ්ම ලෙස රජුගේ විශ්වාසය දිනාගෙන රාජ සභාවේ බලය අත්පත් කරගත් බවයි. ඒ අනුව මෙම පුද්ගලයා උපායෙහි දක්ෂ, කාර්‍යශූර පුද්ගලයෙකු බව සනාථ වෙයි.

අරිට්ඨකී වෙණ්ඩු දක්ෂයෙකු වුවද, ඔහුගේ එකම අභිලාෂය වූයේ ස්වකීය බලය තහවුරු කර ගැනීමයි. රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ඇති වූ බල අරගලයේදී ඔහු තීරණාත්මක භූමිකාවක් ඉටු කළේය. වරෙක ඔහු රජ පවුලේ කාන්තාවක් විවාහ කර ගැනීමට විවාහ යෝජනා යොමු කරමින් රාජ්‍ය උරුමයට සෘජුවම හිමිකම් කීමට ද උත්සාහ කළේය. නමුත් රජ පවුලේ සාමාජිකයන් විසින් එම විවාහ යෝජනාව අවඥාවෙන් බැහර කළ බව කියැවේ.

සීතාවක බලය තමා සතු කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ තැන, ඔහු කලක් තමාගේ පරම සතුරන් වූ පෘතුගීසීන් වෙත ගොස් ඔවුන්ගේ සහාය පැතීය. රාජධානියේ යුද රහස් සහ දුර්වලතා හොඳින් දැන සිටි ඔහු, පෘතුගීසීන්ට සීතාවක යටත් කර ගැනීමට මඟ පෙන්වමින් වරෙක තමන්ට සෙවණ දුන් භූමිය පාවා දුන්නේය.

පසුව ඔහු "දොම් ජෙරනිමෝ" නමින් බෞතිස්ම වී පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් විය. සීතාවක බලකොටු විනාශ කිරීමටත්, රාජකීය භාණ්ඩාගාරය කොල්ලකෑමටත් ඔහු පෙරමුණ ගත්තේය. ඔහුගේ ක්‍රියාකලාපය නිසා දශක ගණනාවක් පෘතුගීසීන් පරාජය කරමින් වැජඹුණු සීතාවක රාජධානිය ඉතා කෙටි කලකින් පෘතුගීසි ආධිපත්‍යයට නතු විය. අවසානයේදී පෘතුගීසීන් විසින්ම ඔහුව සැක කර ඝාතනය කරන ලදී.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යනු සීතාවක රාජධානිය ඇතුළතින්ම දිරාපත් කළ පිළිකාවක් බඳු චරිතයකි. රජුගේ සහ ජනතාවගේ ආගමික-සංස්කෘතික බැඳීම බිඳ දැමීම, පාලන තන්ත්‍රය දුර්වල කිරීම සහ අවසානයේ සතුරා සමඟ එක්ව මව්බිමට එරෙහිව යුද වැදීම හරහා සීතාවක රාජධානිය ඉතිහාසයෙන් මැකී යාමට ඔහු ප්‍රධාන වශයෙන් වගකිව යුතුය.

වර්තමානයේ ද විවිධ වෙස් ගෙන එන "අරිට්ඨකී වෙණ්ඩුලා" සමාජයේ දැකගත හැකිය. රට පාලනය කිරීමට සුදුසු දක්ෂ "ටිකිරි කුමාරවරුන්" පවා නොමඟ යවා, ඔවුන්ව බොරු වළවල්වල ඇද දමා රට විනාශයට ඇද දැමීමට මෙවැන්නෝ සමත් වෙති. එබැවින් අපේ රටේ ඉතිහාසයෙන් උගත යුතු වටිනාම පාඩම වන්නේ මෙවැනි කූට උපදේශකයන් සහ දේශපාලන අවස්ථාවාදීන් පිළිබඳව නිරන්තරයෙන් ප්‍රවේශම් විය යුතු බවයි.

(ඡායාරූපය: ප්‍රසන්න වීරක්කොඩි මහතා විසින් නිර්මාණය කරන ලද සීතාවක රාජසිංහ රජුගේ සිතුවම)

- හේමක මවින්ද්‍ය විජයතිලක
- යුතුකම ජාතික සංවිධානය
[යුතුකම සඟරාවේ දෙසැම්බර් කලාපයේ ලිපියකි..]

www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

11/30/2025

සීතාවක යුගයේ බිහිවූ ගම්මාන

කතෘ:යුතුකම     11/30/2025   No comments

සීතාවක රාජධානිය කෝට්ටේ සහ උඩරට යුගයන් ද්විත්වය අතර පිහිටි සුවිශේෂීම රාජධානියයි. එය මෙරට ඉතිහාසය තුල කෙතරම් සුවිෂේශී වුවද ඒ සදහා හිමිව පවතින ස්ථානය ඉතා සෝචනීය ය.

මායාදුන්නේ රජු සහ සීතාවක රාජසිංහ ( 1 වන රාජසිංහ) යන රණශූර පියපුතු දෙපළ විසින් ගොඩනැංවූ දේශප්‍රේමීත්වය මත ගොඩනැගුණු රාජ්‍යයක් ලෙස සීතාවක රාජධානිය හදුනාගත හැකිය. විජයබා කොල්ලයෙන් උපන් සීතාවක රාජධානිය පෘතුගීසී විරෝධී යුධ මධ්‍යස්ථානයක් වීම නිසා මායාදුන්නේ රජුගේ කාලයේ සිටම නිතර යුද්ධයන් සිදුවූ, ඕනෑම අවස්ථාවක යුද්ධයකට හෝ ආක්‍රමණයකට මුහුණ දීමට සූදානමින් සිටි විශාල සේනාවකින් සමන්විත වූ නගරයක්ව පැවතුනි. සීතාවක රාජධානිය තුල සහ ඉන් පිටත බොහෝ ගම්මාන සදහා නම් ඇතිවීම සීතාවක යුගයේ සිදුවිය. මේ අතර මාලිගාවත්ත, මාලිගාකන්ද, ඔරුගොඩවත්ත, කොටිකාවත්ත, බියගම, යබරලුව, කම්මල්වත්ත, කඩුවෙල , පූගොඩ, කිරිබත්ගොඩ යන ග්‍රාම නාම හදුනාගත හැකිය.

ඒ එක් එක් ගම් සදහා නම් ඇතිවූ ආකාරය විමසා බලමු.

මාලිගාවත්ත - සීතාවක රාජසිංහ රජතුමන් විසින් කොළඔ කොටුවට පහර දීමට සේනා සමග පැමිණ පරංගින් කොළඔ කොටුව තුලට සීමාකර සත් මාසයක් කොටුව වටලාගෙන සිටියේය. කොළඔ කොටුවේ බළල් මස් පවා ගිනිගනන් වූ බව පැවසෙන්නේ මෙම කාලය තුලයි. එම කාලසීමාව තුල සීතාවක රාජසිංහ රජතුමා හට ඉදිකල තාවකාලික මාලිගයේ “වත්ත” මාලිගාවත්ත ලෙස හැදින්වේ.

මාලිගාකන්ද - සීතාවක රාජසිංහ රජතුමා හට තාවකාලික මාලිගය ඉදිකල උස් භූමිය “මාලිගාකන්ද” ලෙස හැදින්වේ. වර්තමානයේ විද්‍යෝදය මහ පිරිවෙන වැනි දේශීය අධ්‍යාපන මධ්‍යස්ථාන මෙම ප්‍රදේශය තුල දැකගත හැකිය.

ඔරුගොඩවත්ත - සීතාවක සේනා කොළඔ කොටුවට පහර දීමට කොළඔ දෙසට යාමේදී කැලණි නදිය ඔරු ආධාරයෙන් තරණය කල තැන “ඔරුගොඩවත්ත” නමින් හදුන්වනු ලබයි. එසේ එගොඩ වූ සේනාවන් “ලුනාව දේවාලය” ලෙස වර්තමානයේ සුප්‍රකට දේවාලයේ පඩුරු ගැටගැසූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.

කොටිකාවත්ත - කොඩි ගහ සිටවූ වත්ත, කොඩිගහ වත්ත වී පසුකාලීනව කොටිකාවත්ත වූ බව සදහන් වේ.

බියගම - බියගම ලෙස හදුන්වන ප්‍රදේශය සීතාවක රාජධානි සමයේ පරංගින් පැමිණීමට පවා බිය වූ ප්‍රදේශයක් නිසා එනමින් හදුන්වා ඇත. රාජසිංහ රජුගේ ප්‍රධාන අවි ගබඩාව එම ප්‍රදේශය කේන්ද්‍රකොටගෙන පැවති බව සාධක සහිතව සනාථ වේ.

යබරලුව - බියගම සහ මල්වාන අතර පිහිටි ග්‍රාමයක් ලෙස යබරලුව හදුනාගත හැකිය. “යබොර හෙලුව” යන අදහසින් එය යබොරලුව වී ඇත. සීතාවක රාජධානිය තුල පැවති ප්‍රධානතම යකඩ නිෂ්පාදනය කල ස්ථානය ලෙස යබොරලුව හැදින්වීමට පුළුවන. නිතර යුධයට සූදානමින් සිටි සීතාවක සේනාවන් සදහා ආයුධ තැනීමට යකඩ නිෂ්පාදනය කල නිසා එම ප්‍රදේශය පුරාවට යබොර විශාල වශයෙන් ව්‍යාප්තව ඇත. කම්මල්වත්ත - යබොරලුව අසලම පවතින සුවිශේෂීම ප්‍රදේශයක් ලෙස “කම්මල්වත්ත” හදුනාගත හැකිය. නාමයේ ලෙසින්ම එය සීතාවක රාජධානිය තුල පැවති ප්‍රධානතම යකඩ කම්හල ලෙස හදුනාගත හැකිය. සීතාවක රාජධානියේ හදවත ලෙස මෙම කම්මල්වත්ත හැදින්වුවද වරදක් නැත. මහා පරිමාණ ආයුධ නිෂ්පාදනාගාරයක් වූ මෙයට යකඩ යබරලුවෙන් ලබාගෙන ඇත.

කඩුවෙල - සීතාවක රාජධානිය සහ කෝට්ටේ රාජධානිය වෙන්වන දේශ සීමාව වූ කැලණි නදියේ සීතාවක රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශයේ පිහිටි වෙල් යායක් ලෙස කඩුවෙල පිළිබද සදහන් වේ. සීතාවක ටිකිරි කුමරුන් මුල්ලේරියා සටනට පෙර සිදුවූ බාරයක් ඔප්පු කිරීමට මෙහි පත්තිනි දෙවොලක් තනවා තම රන් කඩුව දෙවොලට පිදූ බවත් සදහන් වේ. එය කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයයි. කඩුව සමගම දෙවොලට වෙල පිදූ බැවින් කඩුවෙල වූ බව ඇතැම් තැනක කියැවේ. මුල්ලේරියා සටන ජයගත් සීතාවක සේනාවන් තම කඩු සේදූ වෙල කඩුවෙල වූ බව වෙනත් තැනක සදහන් වේ.

පූගොඩ - “පූ” යනුවෙන් අතීත සිංහල භාෂාවේ කැවුම් හදුන්වා ඇත. එබැවින් පූගොඩ යනු කැවුම් ගොඩ යන අරුතයි.

කිරිබත්ගොඩ - සීතාවක සේනාවන් සදහා කිරිබත් සැදූ ගම කිරිබත්ගොඩ ලෙස නම් වුනි.

මෙසේ වර්තමානය දක්වාම සීතාවක රාජධානියේ උරුමයක් ලෙස සදහන් කල හැකි ස්පර්ශනීය මෙන්ම අස්පර්ශනීය සංස්කෘතික උරුම ගණනාවක් හදුනාගැනීමේ හැකියාව පවතී. ඒවා රැකගැනීමට කටයුතු කිරීම පුරවැසියන් ලෙස අප සතු පරම යුතුකමක් මෙන්ම වගකීමකි..

- හේමක මවින්ද්‍ය විජයතිලක 
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com


Like us on facebook :: https://www.facebook.com/yuthukama

8/30/2025

ලංකාද්වීපයේ ගැලවුම්කාරයා මහා විජයබාහු

කතෘ:යුතුකම     8/30/2025   No comments
මහා විජයබාහු රජු විසින් කරවූ අටදාගෙය

ලංකා ඉතිහාසයේ අදුරුතම කාල පරිච්ඡේදයක් ආරම්භ කරමින් ක්‍රිස්තු වර්ෂ 1017 වැන්නේදී දකුණු ඉන්දීය චෝළයන් මෙරටට දරුණු ආක්‍රමණයක් එල්ල කරනු ලැබීය. හින්දූන්ගේ සිහිනය ලෙස හදුන්වන “අඛණ්ඩ භාරත්” සංකල්පය සැබෑ කරගැනීමට අපේක්ෂා කල පිරිසක් වශයෙන් චෝළයන් හැදින්විය හැකිය . චෝළ අධිරාජ්‍යය අග්නිදිග ආසියාව දක්වා ව්‍යාප්තව පැවති අතර ඉන්දියානු සමුද්‍රීය වෙළද ආධිපත්‍යය තම ඒකාධිකාරයක් ලෙස පවත්වාගනු පිණිස ඔවුහු විශාල වෙහෙසක් දැරීය. අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා බවට පස්වැනි මිහිඳු රජු පත්කරමින් චෝළ ආක්‍රමණිකයන්ගේ සිරකරුවන් ලෙස එතුමන් ප්‍රමුඛ පවුලේ පිරිස දකුණු ඉන්දියාවට රැගෙන ගිය බව මූලාශ්‍රයන්හි සදහන් කෙරේ. පණ්ඩුකාභය රජුගේ පටන් මෙරට අගනගරය වූ අනුරාධපුරය කොල්ලකා විනාශ කල චෝළයන් ,වර්තමානයේ “පොළොන්නරුව” ලෙස හදුන්වන “පුලස්ති පුරය” ඔවුන්ගේ මෙරට පරිපාලන මධ්‍යස්ථානය ලෙස තෝරාගනිමින් එම නගරය “ජනනාථ පුරම්” ලෙස නම් කර චෝළ අධිරාජ්‍යයේ යටත්විජියක් බවට පත්වූ මෙරට රජරට ප්‍රදේශයන් “ මුම්මඩි චෝළ මණ්ඩලම්” ලෙස නම් කරන ලදි.

දශක ගණනක් යනතුරු චෝළයන්ට එරෙහිව නැගීසිටීමට තරම් ශක්තිමත් රාජ උරුමය සහිත තැනැත්තෙකු මායා රටේ හෝ රෝහණයේ පහල නොවීය. ලංකාද්වීපයේ ගැලවුම්කරුවා වූ “මහා විජයබාහු” නමින් මෙරට චෝළයන්ගෙන් මුදවාගත් කීර්ති කුමරුන් රෝහණයේ පහළවිය. මෙය සැවොම හොදින් දන්නා කියන විජයබාහු රජතුමාගේ ඉතිහාස කතාන්දරය නොවේ. එතුමා කුඩා කල පටන් ගෙවූ දිවිය පිළිබදව ද, තමාට සහ තම පවුලට ආරක්ෂාව සැපයූ සින්නාරුබිම බුදල්නා හෙවත් බුද්ධරාජ නම් ප්‍රාදේශීය නායකයා හට පිරිනමන ලද වරදාන වරප්‍රසාද පිළිබඳව ද “පනාකඩුව තඔ සන්නස” නමින් සුපතළ සන්නස් පත්‍රයේ සදහන් වේ .ලංකා ඉතිහාසය තුළ සදහන් කෙරෙන දරුණුතම ඉන්දියානු ආක්‍රමණයෙන් රාජ්‍යය මුදවාගෙන සිංහල රාජාණ්ඩු පාලන තන්ත්‍රයත් බුද්ධ ශාසනයත් චිරස්ථායි කිරීමෙ හේතුවෙන් හෙළ රාජාවලියේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු ලෙස විරාජමාන වීමට මහා විජයබාහු රජුට හැකිවිය.

නූතන දෘෂ්ටියෙන් බැලුවහොත් විජයබාහු රජු මහ මොළකරුවෙකි. යුධමය වශයෙන් චෝළයන් මෙරටින් පලවා හැරීමට විජයබාහු රජු දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ අතර ඒ වෑයම සාර්ථක විය. ඒ වන විටත් ශ්‍රී රාජරාජ, ශ්‍රී රාජේන්ද්‍ර හා ශ්‍රී රාජාධිරාජ නමින් මෙරට භාවිතය පිණිස චෝළ පාලකයන් කාසි පවා නිකුත් කර තිබුනි. රජරට ප්‍රදේශයන්හි බුදු දහම යටපත්ව ගොස් චෝළ පාලකයන්ගේ රාජ්‍ය ආගම වූ ශෛව ආගම රජරට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවූහ. චෝළයන් මෙරටින් පලවා හැර පුලස්ති පුරයේ බලය තහවුරු කරගත් විජයබාහු රජතුමා විසින් සිංහල මහා රජදරුවන් ගේ පෙරසිරිත ප්‍රකාරව අනුරාධපුර ශුද්ධ නුවරට ගොස් පැරණි රජවරුන් වාසය කළ ඇතුල් නුවර තුළ රාජාභිෂේක වීම පිණිස රජමාලිගයක් තැනවීය. “සිංහල මස්ස” කාසි නිකුත් කල ප්‍රථම පාලකයා වූ පළමුවන විජයබාහු රජතුමා ඒවායේ සිය නාමය “ශ්‍රී විජයබාහු” ලෙස සදහන් කර ඇත. චෝළයන් ට එරෙහිව සිටි රාජ්‍යයන් ද්විත්වයක් වූ පාණ්ඩ්‍ය දේශය හා කාලිංග දේශය සමග විවාහ සබදතා ඇතිකරගනිමින් නැවත චෝළ අධිරාජ්‍යයෙන් මෙරටට ආක්‍රමණයක් එල්ල වුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට සුදුසු භූ දේශපාලන පසුබිමක් නිර්මාණය කරගැනීම විජයබාහු රජුගේ දැක්මෙහි සාර්ථකත්වය ඉස්මතු කොට දක්වන්නකි. තම සහෝදරිය වූ මිත්තා කුමරිය පාණ්ඩ්‍ය කුමාරයෙකුට විවාහ කරදුන් විජයබාහු රජතුමා කාලිංග දේශයෙන් තිලෝකසුන්දරී නම් කුමරියක් ගෙන්වා විවාහ කරගන්නා ලදි. එම විවාහ ගණුදෙනු හේතුකොටගෙන මෙරට රාජ්‍යත්වයට කාලිංග වංශිකයන්ගේ හා පාණ්ඩ්‍ය වංශිකයන්ගේ අතර සීතල යුද්ධයක් නිර්මාණය විය. එය පොළොන්නරුව රාජධානිය සියවස් දෙකක් ගතවීමටත් මත්තෙන් බිදවැටීමට හේතුවූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදි පැහැදිලි වේ.

රජරට මුදවාගැනීමට පෙර සිටම බුරුම දේශය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා ගොඩනගාගත් විජයබාහු රජතුමා බුරුමයේ අනවරථ රජු බුරුමය තුළ සිදුකළ ශාසනික ප්‍රබෝධය වැනිම ප්‍රබෝධයක් රජරට මුදවා ගැනීමට පසු මෙරට සිදුකලේය. එතුමා මෙරට පරිහානියට පත්ව තිබූ බුදුදහම යළි ශක්තිමත් ලෙස පිහිටුවලා ලීමට කටයුතු කරන ලද අතර දළදා වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට “අටදාගෙය” ලෙස වර්තමානයේ හදුන්වනු ලබන ගොඩනැගිල්ල ඉදිකරවා ඇත. දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි ආරක්ෂාව සදහා වේලෛක්කාර හමුදාව යෙදවූ බව පොළොන්නරුව වේලෛක්කාර ශිලාලේඛනයෙහි සදහන් වේ.

වසර 55ක් රාජ්‍යත්වය දැරූ මහා විජයබාහු රජතුමා උපතින් 73 වැනි වියේදී පරලෝකප්‍රාප්ත විය. හින්දූන්ගේ ග්‍රහණයට නතුකර ගෙන තිබූ රජරට ශිෂ්ටාචාරය තුල යළි බෞද්ධ බලය තහවුරු කරමින් දඔකොළ පටුනේ පටන් ගොඩවාය වරාය දක්වා සමස්ත ලංකාද්වීපයම මුදවාගෙන ඉන්දියානු ව්‍යාප්තිවාදය හමුවේ දෙකඩ වීමට තිබූ සිංහලයන්ගේ නිජබිම ආරක්ෂා කළ වීරයා පළමුවන විජයබාහු මහරජු ය. අවසාන වශයෙන් සදහන් කල හැකි කරුණ වන්නේ “ මහා විජයබාහු රජු නොවන්නට සිංහල ජාතියක් නැත” යන්නයි.

- හේමක මවින්ද්‍ය විජයතිලක
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions