4/04/2025

අපේ මතය - 3

කතෘ:යුතුකම     4/04/2025   No comments


90' දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැගීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසු බවත් ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂීතාවයන් ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතු බවත් අප ජනවාරි කලාපයෙන් සාකච්ඡා කළෙමු. එලෙස 90’ දශකයෙන් පසුව ලෝකය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී ප්‍රවණතාවයන් සම්බන්ධ පළමු උදාහරණය ලෙස යුතුකම පෙබරවාරි කලාපය තුළින් අප සාකච්ඡා කළේ බෝල්කන් කලාපයේ ජාතිකවාදී පැන නැගීම සම්බන්ධයෙනි. මෙම මාර්තු කලාපයෙන් අපි තවත් උදාහරණයක් විමසා බලමු.

යුරෝපයේ දක්ෂිණාංශික ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරවල නැගී ඒම

90’ දශකය වන තුරු ලෝකයේ පැවති ජාතිකවාදී ප්‍රවණතාවයන් අදියර 3 කට වෙන් කොට හඳුනාගත හැකි බව අප දැනටමත් සාකච්ඡා කොට ඇත. එම කියවා ගැනීමට අනුව ජාතිකවාදය යන වචනය පවා ප්‍රථමයෙන් භාවිතයේ යෙදෙන්නේ 17 වන සියවසේ යුරෝපයේ ජාතික රාජ්‍ය ස්ථාපිත වීම සමඟ ඇති වූ ප්‍රවණතාවය විග්‍රහ කර ගැනීමෙ පිණිස ය.

පළමු සහ දෙවන ලෝක යුද්ධ ඇති වී, පැතිරී යාමට පවා මෙම යුරෝපීය රාජ්‍යන්වල ක්‍රියාත්මක වූ ජාතිකවාදයන් හේතු විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ කම්පනය තුළ යුරෝපයේ රාජ්‍යන්වල ජාතිකවාදයන් සීඝ්‍ර ලෙස යටපත් විය. ලෝක යුද්ධයෙන් ඇති වූ ආර්ථික පරිහානිය නැවත ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා රාජ්‍යන් අතර ආර්ථික ඒකාබද්ධතාවයන් තර කර ගැනීම සඳහා වූ නැඹුරුව, සීතල යුද්ධයේ බලපෑම ආදී කරුණු ගණනාවක් මෙලෙස යුරෝපයේ රාජ්‍යන්වල පැවති ජාතිකවාදයන් යටපත් වීමට හේතු විය.

එහෙත් 90’ දශකය ආරම්භ වන විට, සීතල යුද්ධයේ නිමාවත් සමඟ යුරෝපීය රාජ්‍යන්වල නැවත ජාතිකවාදී සෙවණැලි මතු වීම ආරම්භ වූ අතර අප මේ කතා කරන මොහොත වන විට එලෙස 90’ දශකයේ මතු වූ යුරෝපීය ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර විශාල ජනප්‍රියතාවයක් අත් කරගෙන ඇත. ඉන් ඇතැම් ඒවා ඒ ඒ රාජ්‍ය තුළ තීරක දේශපාලන බලයක් හිමි කර ගැනීමට සමත්ව ඇත.

ප්‍රංශයේ ජාතික පෙරමුණ (National Front), ජර්මනියේ ජර්මනිය වෙනුවෙන් විකල්පය (Alternative for Germany-AfD), හන්ගේරියානු සිවිල් සන්ධානය (Fidesz – Hungarian Civic Alliance), ඉතාලියේ ඉතාලි සහෝදරත්වය (Brothers of Italy), ස්විස්ටර්ලන්තයේ ස්විස් ජනතා පක්ෂය (Swiss People's Party), පෝලන්තයේ නීති සහ සාධාරණත්ව පක්ෂය (Law and Justice Party), ස්වීඩනයේ ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදීන් (Sweden Democrats), ෆින්ලන්තයේ ෆින්ස් පක්ෂය (The Finns Party), ග්‍රීසියේ රන් අරුණෝදය (Golden Dawn), ඔස්ට්‍රියාවේ ඔස්ට්‍රියා නිදහස් පක්ෂය (Freedom Party of Austria), නෙදර්ලන්තයේ නිදහසේ පක්ෂය (Party for Freedom), ස්පාඥ්ඥයේ වොක්ස් පකෂය (Vox) යන දේශපාලන ව්‍යාපාර 90’ දශකයෙන් මෙපිට යුරෝපයේ හමා යමින් පවතින ජාතිකවදී රැල්ලෙහි පල නෙලා ගැනීමට සමත් වූ දේශපාලන ව්‍යාපාරවලට උදාහරණයන් වෙති. මෙම උදාහරණ ගොන්න අතරින් වඩා වැදගත් කිහිපයක් පිළිබඳව තොරතුරු විමසා බලමු.


ප්‍රංශයේ ජාතික පෙරමුණ හෙවත් ජාතික රැළිය

ජාතික පෙරමුණ පිහිටවනු ලැබුවේ 1972 වසර තරම් ඈත කාලයකදී වුවත් එය සැළකිය යුතු ජන බලයක් සහිත දේශපාලන පක්ෂයක් බවට පත් වූයේ 90’ දශකය තුළදී ය. එහි නිර්මාතෲ මෙන්ම 2011 වසර දක්වා එහි නායකත්වය දැරූ ලේ පෙන් (Jean-Marie Le Pen) දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශයේ මතු වූ පූජාඩිස්මේ (Poujadisme) ව්‍යාපාරයෙන් දේශපාලන අත්පොත් තැබූවෙකු වේ. ඇමරිකානු අනුකාරක නූතනකරණයට එරෙහි වීම, නාගරීකරණයට එරෙහි වීම, යුදෙව්වන්ට සහ සංක්‍රමණිකයන්ට එරෙහි වීම, ඉන්දු-චීනයේ සහ ඇල්ජීරියාවේ ප්‍රංශ යටත් විජිත තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීම, ප්‍රංශ ජාතික වෙළඳුන්ගේ සහ කාර්මිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙම පූජාඩිස්මේ ව්‍යාපාරයේ ලක්ෂණ වේ.

1972 සිට ක්‍රම ක්‍රමයෙන් පුළුල් වූ ජාතික පෙරමුණ සිය පළමු කැපී පෙනෙන ජයග්‍රහණය උදා කරගන්නේ 1988 ජනාධිපතිවරණයේ සමස්ත චන්ද ප්‍රතිශතයෙන් 15% ක් ලබා ගනිමිනි. එතැන් සිට ප්‍රංශ දේශපාලනයේ වඩා මතභේදකාරී සහ බලපෑම් සහගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික පෙරමුණ නැගී ආවේ ප්‍රංශයේ කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය මෙන්ම චාල්ස් ඩි ගෝල් ගේ ආභාසය සහිතව ප්‍රංශයේ ලිබරල්කරණය වෙනුවෙන් පෙනී සිටි ‘ජනරජය සඳහා නව-ගෝලිස්ට් රැලිය පක්ෂයට’ ද තියුණු අභියෝගයක් ලබා දෙමිනි.

2011 දී ජාතික පෙරමුණේ නායකත්වය ලේ පෙන්ගේ දියණිය වූ මරීන් ලේ පෙන් ට හිමි විය. ඇයගේ නායකත්වය යටතේ ජාතික පෙරමුණ වඩා පුළුල් ජනතා ආමන්ත්‍රණයක් සිදු කිරීමේ සක්‍යතාවය හිමි කරගෙන ඇත. 2018 ජාතික පෙරමුණ යන පක්ෂ නාමය නැෂනල් රැලි (National Rally) යනුවෙන් වෙනස් කරන ලද අතර ආර්ථික ආරක්ෂණවාදය සහ යුක්තිය, සාධාරණත්වය ඉලක්ක කොටගත් සටන් පාඨ ඇය විසින් පෙරට ගෙන ඇත.

2024 ප්‍රංශ ජාතික සභා (National Assembly) මැතිවරණයේ පළමු වටය ජයග්‍රහණය කිරීමට පවා ‘නැෂනල් රැලි’ සමත් වූ අතර එය මේ වන විට ජාතික සභාවේ ආසන 577 න් ආසන 143 කට හිමිකම් කියයි. තවද එය ජනාධිපති මැක්‍රෝන් වෙත තීව්‍ර දේශපාලන පීඩනයක් ලබා දෙමින් සිටින අතර මීළඟ මැතිවරණයකදී බලයට පත් වීමට පවා ඉඩ ඇත.

90’ දකයෙන් මෙපිට යුරෝපය පුරා හමා යමින් පවතින දක්ෂිණාංශික ජාතිකවාදී රැල්ල ප්‍රකට කෙරෙන තවත් උදාහරණ කිහිපයක් මීළඟ කලාපයෙන් විමසා බලමු

(සංවාදයට විවෘත්තයි)

-පැතුම් ඒ. රණසිංහ-

www.yuthukama.com
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions