සියවස් ගණනාවක් පුරා යුරෝපීය ආක්‍රමණ ගණනාවකට මුහුණ දෙමින් සිය ස්වෛරීත්වයත් තම වැසියන්ගේ ආරක්ෂාවත් වෙනුවෙන් සටන් කළ උඩරැටියන් ගැන අපි දනිමු. 18 වන සියවස අවසාන භාගයේ දිවයිනේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය ජාතික රොබට් පර්සිවල් (1805) විසින් උඩරැටියන් හඳුන්වන ලද්දේ ස්වාධීනත්වයේ අභිමානයෙන් යුත් ජනකොටසක් ලෙසය (පි. 233).
නමුත් උඩරැටියන් 1815
මාර්තු මාසයේ දී බ්‍රිතාන්‍යයන් සමඟ ගිවිසුමක් අත්සන් කරමින් බ්‍රිතාන්‍ය කිරීටයට
යටත් විය. එම ගිවිසුම අත්සන් කර දැනට සියවස් දෙකක් පමණ ගෙවී ගොස් ඇත. ඒ
සම්බන්ධයෙන් ලිපි, පොත් ගණනාවක්
ලියවී ඇත. නමුත් එම ගිවිසුමෙන් පසුව උඩරැටියන්ට අත්වුණු ඉරණම පිළිබඳව අප ඇති තරම්
අවධානය යොමු කර තිබේ දැයි යන්න ගැටළුවකි. උඩරැටියන්ගේ ඛේදවාචකය ගැන ඉතිහාසඥයන්ගේ
අවධානය යොමු වන්නේ මඳ වශයෙනි.
උඩරට ගිවිසුම 1815 දී
අත්සන් කෙරුණේ උඩරට නිලමේවරුන් හා ඉංග්‍රීසි නියෝජිතයන් අතරයි. ලන්දේසි - මලබාර්
බලාධිපත්‍යය හමුවේ සිය සංස්කෘතිය, සම්ප්‍රදායන්
හා ආර්ථික නිදහස නැතිවීමේ තර්ජනයට මුහුණ පා සිටි සිංහලයන්ට මලබාර් රජුගෙන් මිදී තම
රාජ්‍යය හා ජනයා ආරක්ෂා කරගැනීමට අවශ්‍ය විය. ඒ අනුව උඩරට ගිවිසුම අත්සන් කෙරිණ.
ඇතැමුන් මේ සිංහල ප්‍රධානීන් දෙමළ රජුට විරුද්ධ වූ ජාතිවාදීන් යැයි හංවඩු ගසන අතර
තවත් කොටසක් ඉංග්‍රීසීන්ට රජු පාවා දුන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසයි. ඒ සම්බන්ධයෙන්
තර්ක කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. කෙසේ වෙතත් සිංහල රාජධානියේ හා ජනයාගේ ආරක්ෂාව
උදෙසා ඉංග්‍රීසීන් සමඟ එකඟතාවයකට ඒම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සිංහල ප්‍රධානීහු
දුටුවහ. නමුත් ඉංග්‍රීසීන් විසින් උඩරැටියන් කෲර ලෙස රවටන ලදී.
1. තමන් විසින්ම
අත්සන් කරන ලද 1815 ගිවිසුම උල්ලංඝණය කිරීමට ඉංග්‍රීසිහු කටයුතු කළහ. තමන්
රැවටීමකට ලක්වූ බව අවබෝධ කරගත් සිංහල ප්‍රධානීන් නැවතත් උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ගෙන්
ගලවාගෙන ආරක්ෂා කරගැනීමට ප්‍රයත්න දැරූහ. ඒ 1818 වසරේ දීය. නමුත් ඒ වන විට
උඩරැටියන්ගේ බල බිඳීමට ඉංග්‍රීසිහු සමත්ව සිටියහ.
2. උඩරට රාජධානිය
ආරක්ෂා කරගැනීමට සිංහල ප්‍රධානීන් විසින් 1818 වසරේ දී දරණ ලද උත්සාහය අවසාන වූයේ
ඉංග්‍රීසීන් විසින් සිංහලයන් සංහාරය කරනු ලැබීමෙනි. එහිදී කාන්තාවන් හා කුඩා ළමුන්
පවා ඉංග්‍රීසි හමුදාවන් අතින් මැරුම් කෑ බව වාර්තා වේ. එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ
අණ කිරීම යටතේ ගම්වැසියන් මරා දැමූ පසුව ගම් පවා ගිනිබත් කරන ලදී. උදාහරණයක් ලෙස
1817 දෙසැම්බර් 9 වන දින ඉංග්‍රීසි හමුදාවේ මේජර් මැක්ඩොවෙල් බදුල්ලේ මඩුගල්ල ගම
සම්පූර්ණයෙන් ගිනිබත් කරන ලද අතර ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා එය ප්‍රශංසාවට ලක් කර
සෙස්සන්ට අනුකරණය කරන ලෙසත් පවසා ඇත. (CO 54/56 7th Nov.
1817) ඉංග්‍රීසි හමුදාවේ ක්‍රියා
පිළිවෙත හේතුවෙන් ඌව පළාතේ ජනයා සාගතයෙන් ද බැට කෑවේය. ඌව පළාතේ ඇතැම් ගම්මාන වල
වයස 18ට වැඩි පිරිමි වැඩිහිටියන් ඉතිරි වූයේම නැත.
කැරැල්ල මර්ධනයේ දී තමන්ට
අවනත නොවන උඩරට ප්‍රධානීන් ඝාතනය කිරීමට ද ඉංග්‍රීසීහු වගබලා ගත්හ. ඇතැමුන් මුරුසු
දිවයිනේ සිරභාරයට පත් කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස උඩරැටියන් කිසිදු නායකත්වයක්
නැති අසරණ ජනකොටසකගේ තත්ත්වයට පත් විය.
3. කෝල්බෲක්
කොමිසමේ යෝජනා අනුව නායකත්වයක් නැතිව අසරණ වී සිටි උඩරැටියන්ගේ සාම්ප්‍රදායික
භූමිය ඉංග්‍රීසීන් විසින් තමාට අවැසි ලෙස කැබැලි කරමින් එහි ජනයාගේ ජීවන ක්‍රමය
සම්පූර්ණයෙන්ම විකෘති කිරීමට කටයුතු කරන ලදී.
1815 දී ඉංග්‍රීසීන්
විසින් උඩරට ග්‍රහණය කරගන්නා ලද අවස්ථාවේ උඩරට රාජ්‍යය මධ්‍යම සානුවේ සිට
මුහුදුකරය හෝ ලන්දේසි දේශ සීමාව දක්වා වූ විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පැවතිණ.
එම ප්‍රදේශ නුවර පළාත් යනුවෙන් ඉංග්‍රීසීහු හැඳින්වූහ. ලන්දේසීන්ගෙන් ලබා ගත්
මුහුදු බඩ ප්‍රදේශ වෙනමත් නුවර පළාත් වෙනමත් මුල් අවස්ථාවේ දී පාලනය විය. 1833
වසරේ දී උඩරට ප්‍රදේශය මුහුදු බඩ ප්‍රදේශ පළාත් හා ඒකාබද්ධ කර මුළු රටම පළාත් පහකට
බෙදන ලදී. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සරළ මෙන්ම ගොරහැඬි ද විය. මහනුවර
රාජධානියට අයත්ව තිබූ පහත රට ප්‍රදේශ කැබලි කර මුහුදු බඩ පළාත්වල කොටස් හා ඒකාබද්ධ
කරන ලද්දේ ප්‍රදේශ දෙක අතර සාම්ප්‍රදායිකව පැවැති වෙනස්කම් ගැන කිසිදු තැකීමකින්
හෝ අවබෝධයකින් හෝ තොරවය. මූලික අරමුණ වූයේ උඩරැටියන්ගේ ජාතිමාමක හැඟීම් දුබල කරනු
වස් උඩරට රාජධානිය අංගච්ඡේදනය කිරීමය. මේ අළුත් පලාත් අතරින් මධ්‍යම පළාතට පැරණි
මහනුවර රාජධානියේ කේන්ද්‍රය අන්තර්ගත විය. සිංහලයන්‍ගේ පැරණි කෘෂි ශිෂ්ඨාචාරයේ
හදබිම කැබලි කරන ලදුව ඉන් කොටසක් වූ නුවරකලාවිය, යාපනය හා දෙමළ බහුතර පළාත් සමඟ සම්බන්ධ කර උතුරු පළාතේ කොටසක් බවට පත් කරන
ලදී. තමන්කඩුව, ත්‍රිකුණාමලය
සමඟ බද්ධ කර නැගෙනහිර පළාතේ කොටසක් බවට පත් කරන ලදී. ඉංග්‍රීසි පාලකයන් විවෘතවම
කියා සිටියේ පැරණි උඩරට ප්‍රදේශ එකිනෙකින් වෙන් කිරීමෙන් ඔවුන්ගේ දේශපාලනික
එකමුතුව බිඳ දැමීමේ උග්‍ර අවශ්‍යතාව හේතුවෙන් එසේ කළ බවය.
උතුරු හා නැගෙනහිර පළාත් වලට සම්බන්ධ කරන ලද නුවර පළාත් වල වැසියන්ට ජීවත් වීමට වූයේ දෙමළ පරිපාලකයන් යටතේය. දෙමළ පාසල්, දෙමළ නිලධාරීන් වැඩ කළ කච්චේරි කරා යාමට ඔවුන්ට සිදුවිය. පසුකාලීන ඉංග්‍රීසි වාර්තාම හෙළි කරන ලද පරිදි මෙම ප්‍රදේශ වල ජීවත් වූ සිංහලයන් ක්‍රමානුකූලව දෙමළකරණය වීම සිදුවී ඇත.
ඇතැම් වාර්තා වල සඳහන්
ආකාරයට ඉංග්‍රීසීන්ගේ මෙම උත්සාහට විරුද්ධව ඉංග්‍රීසි කිරීටයට ආයාචනා කිරීමට ද
උඩරට සිංහලයන් කටයුතු කර ඇත. 1834 වසරේ දී සංදේශයක් භාර දෙමින් උඩරැටියන් පිරිසක්
ආයාචනා කර සිටියේ තම නිජභූමිය අංගච්ඡේදය කර මුහුදු බඩ පළාත් සමඟ ඒකාබද්ධ කිරීමේ
වෑයම නවත්වන ලෙසය (CO/54/137). යටත් විජිත පාලකයන් ඒ දුක්ගැනවිලි කණට ගත්තේ
නැත. වර්තමානය වන විට එසේ ඈඳාගත් ප්‍රදේශ වලින් සමහරක් වසර 3000කට වැඩි අතීතයක්
ඇතැයි කියන දෙමළ නිජභූමියේ කොටසක් ලෙස සැළකෙයි.
4. උඩරට රාජධානියේ සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන් විනාශ විය. උඩරැටියන් බහුතරයක් ගොවිතැන් වල නියුතු ගොවි ප්‍රජාවක් විය. ඔවුන්ගේ ආර්ථිකයේ පැවැත්ම සඳහා ගොවි ඉඩම් හා වැව් අමුණු අත්‍යාවශ්‍ය විය. මේවා ප්‍රතිසංස්කරණය කරමින් පවත්වා ගෙන යාම ඊට පෙර සිටි නුවර රජවරුන්ගේ ප්‍රධාන වගකීමක් විය. නමුත් බ්‍රිතාන්‍යයන් සාම්ප්‍රදායික ආර්ථිකය විනාශ මුඛයට ඇද දැමූහ. වැව් අමුණු ප්‍රතිසංස්කරණය කෙරුණේ නැත. ගොවිතැනට අවශ්‍ය රාජ්‍ය සහාය ලැබුණේ නැත. උඩරැටියන්ගේ සාම්ප්‍රදායික ආර්ථිකය සහමුලින්ම විනාශ මුඛයට ඇද දැමිණි.
5. ඉන්පසුව බ්‍රිතාන්‍ය
පාලකයෝ උඩරැටියන්ගේ ගොවි ඉඩම් මංකොල්ල කෑහ. විවිධ අණ පනත් ගෙනමින් ඉඩම් අත්පත්
කරගන්නා ලදී. ඒ ඉඩම් පසුව බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට විකුණා දමන ලදී. වර්ෂ 1837 හා
1845 අතරතුර පමණක් එලෙස අක්කර 349, 870ක ඉඩම් ප්‍රමාණයක් උඩරැටියන්ගෙන්
මංකොල්ලකා තිබුණි. මේ අනුව උඩරට ගොවි ජනයා සිය ගොවි ඉඩම් හා සාම්ප්‍රදායික ආර්ථික
අවස්ථා අහිමි වූ දුප්පත්කමින් බැට කන අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවක් බවට
පත්විය. මේ හේතුව නිසාම උඩරට කැලෑ අභ්‍යන්තරයට සංක්‍රමණය වී හේන් වගාවට යොමු වීමට
ඔවුන්ට සිදුවිය.
6. සිය ඉඩම් හා
සාම්ප්‍රදායික ආර්ථිකය අහිමි වීමෙන් බැට කෑ උඩරට ගැමියා තමන් ලක්ව සිටි දුෂ්කරතාවය
හේතුවෙන්ම ඉතා පහසුවෙන් එවක පැතිර ගිය මත්ලෝලි භාවයට ගොදුරු විය. බ්‍රිතාන්‍ය රජයේ
අනුග්‍රහය යටතේ මත්ලෝලි භාවය ව්‍යාප්ත කරන ලද බව පැවසේ.
7. බ්‍රිතාන්‍ය
වැවිලිකරුවන්ට උඩරැටියන්ගේ ඉඩම් පවරා දුන් පසුව බ්‍රිතාන්‍යයන් සිදුකළේ
උඩරැටියන්ගේ සාම්ප්‍රදායික නිජභූමියේ ජන සංයුතිය සදාකාලික ලෙස වෙනස් කිරීමයි. ඉංග්‍රීසීන්
විසින් කොල්ලකා ගත් උඩරට ඉඩම් වල දකුණු ඉන්දියාවෙන් දෙමළ භාෂාව කතා කළ දාලිත් ජනයා
ගෙනවිත් ශ්‍රමිකයන් වශයෙන් දහස් ගණනින් පදිංචි කරන ලදී. ඇතැමුන් නැවතත් සිය
ගම්බිම් බලා ඉන්දියාවට ගිය ද උඩරට පදිංචි වූ ඉන්දියානු ශ්‍රමික ජනගහණය 1871 -
123,654, 1881 – 205, 495, 1891
– 262, 362, 1901 – 441, 601 හා 1911 – 513, 463 ලෙස අනුක්‍රමයෙන් වැඩි
විය.1948 වන විට ලක්ෂ ගණනක් වූ ඉන්දියානු දාලිත් ජනකොටසක් උඩරැටියන්ගේ නිජභූමියේ
පදිංචිකරුවන්ව සිටියහ.
8. මේ ආකාරයට උඩරැටියන් සිය නිජභූමිය තුළම දුප්පත් හා අනාරක්ෂිත තත්ත්වයට ඇද දැමූ පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර ටොරින්ටන් සිදුකළේ ඔවුන් මත මහා විශාල බදු බරක් හෙළීමය. අසරණ උඩරට ගැමියාට තමා සතුව ඉතිරිව තිබූ කුඩා ඉඩම් ද මුහුදු බඩ ප්‍රදේශ වල සිට පැමිණි මුස්ලිම් හා චෙට්ටි ව්‍යාපාරිකයන්ට උකස් කිරීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උඩරට ප්‍රදේශයන් තුළ මුස්ලිම් ජනකොටස වේගයෙන් ව්‍යාප්ත වී උඩරට ජනසංයුතිය තවදුරටත් වෙනස් විය.
9. උඩරැටියන් ප්‍රධාන
වශයෙන්ම බෞද්ධ ජනකොටසකි. ඉංග්‍රීසි පාලනය යටතේ, විශේෂයෙන් මුල් අවධියේ
බෞද්ධයන් මර්ධනයට ලක් කෙරිණි. ඔවුන්ට සිය ආගමික කටයුතු කරගෙන යාමට බාධා පැමිණියේය.
බෞද්ධාගමික කටයුතු යම් තරමකින් හෝ ආරම්භ වූයේ 1860 සිටය. දළදා පෙරහැර පැවැත්වීමට ද
බාධා ඇති විය.
10. මේ සියළු
අසාධාරණයන්ට විරුද්ධව උඩරට ගැමි ජනයා 1848 වසරේ දී නැගී සිටියහ. ඔවුන්ට තමන් පෙළූ
බ්‍රිතාන්‍ය පාලකයන් එළවා දමා තමන්ගේම පාලකයෙක් යටතට තම නිජභූමිය ගෙන ඒමට අවශ්‍ය
විය. නමුත් එය කෲර ලෙස බ්‍රිතාන්‍යයන් විසින් මර්ධනය කරන ලදී. මාතලේ ප්‍රදේශයේ
උඩරැටියන් සියගණනින් මරා දමමින් කැරැල්ල මර්ධනය කළ බව ආණ්ඩුකාර ටොරින්ටන් සඳහන් කර
ඇත (CO/54/250, 14.8.1848).
11. උඩරැටියන්ට
සිදුවූ අනෙක් බලවත්ම හානිය නම් ඔවුන් දේශපාලන නියෝජනයක් නැති ජනකණ්ඩායමක් බවට පත්
කරනු ලැබීමයි. එය සමස්ථයක් වශයෙන් දිවයින පුරා සිටි සිංහල බෞද්ධයන් මුහුණ දුන්
අසාධාරණයකි. ඔවුන් සතුව දේශපාලන නියෝජනයක් නැති කම හේතුවෙන්ම ඉහත දැක්වූ
අසාධාරණකම් වලට මුහුණ දෙන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්නට කිසිදු කෙනෙක් සිටියේ
නැත.
1833 වසරේ දි ඇරඹි ව්‍යවස්ථාදායක
සභාව තුළ බර්ගර්, මලබාර් හා සිංහල යන කොටස් තුනට සමාන නියෝජනයක් ලබා
දුණි. මෙම ජනවර්ග වල ජනගහන අනුපාත සළකා බැලූ විට පෙනෙන්නේ සිංහලයන්ට දේශපාලන
වශයෙන් ඉතා දුර්වල ස්ථානයක් හිමිව තිබූ බවය. එලෙස ලැබුණු සිංහල නියෝජනයත් හිමි
වූයේ බෞද්ධයෙකුට නොව ක්‍රිස්තියානි ආගමිකයෙක්ටය. එම නියෝජිතයා බෞද්ධයන් වෙනුවෙන්
පෙනී සිටියේ නැත. උඩරැටියෙක් නියෝජිතයෙක් ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරුණේ ද
1880 තරම් පසුකාලීනවයි. ඒ උඩරැටියන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු නොව ආණ්ඩුකාරවරයාට
හිතවත් නුවර රදළ පවුලකින් පැමිණෙන්නෙකුටයි.
20 වන සියවස මුල් කාලයේ දී
උඩරැටියන්ගේ ගැටළු ගැන විශේෂයෙන් ඉඩම් හිඟය හා ජන සංයුතිය වෙනස් කිරීම හේතුවෙන්
ඔවුන් ලක් වූ අසාධාරණයන් ගැන කතා කිරීමට ඇතැමුන් පෙළඹුණ ද ඊට නිසි අවධානය ලැබුණේ නැත.
නිදහසින් පසුව එම ගැටළු වලට පිළියම් සෙවීමට උත්සාහ ගැණුන ද උඩරැටියන් මහජාතියේ
කොටසක් ලෙස සැළකුණු හෙයින් ඔවුන්ට සිදුවූ අසාධාරණයන් ගැන කතා කිරීම ද ඊට පිළියම්
සෙවීම ද සැළකුනේ ජාතිවාදයක් ලෙසය.
උඩරට සිංහලයන් මුහුණ
දුන්නේ සංහාරයකටය. මේ ගැන කරුණු සොයා බලා නිසි ලෙස වාර්තා කිරීමේ උත්සාහයක් විමලානන්ද
තෙන්නකෝන් ගත්ත ද ඔහුගේ ඇවෑමෙන් පසුව එම උත්සාහය යට ගියේය. අද අප ඉදිරියේ ඇත්තේ
කුමක් ද? උඩරට සිංහලයන් මුහුණ දුන් ඛේදවාචකය පිළිබඳ තොරතුරු ඒකරාශි කිරීම,
උඩරැටියන්ගේ සංහාරය ගැන වාර්තා කිරීම, එයට
ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් නිසි පිළිගැනීම ලබා ගැනීමට කටයුතු කිරීමය.
විශේෂයෙන් ලංකාවේ මානව හිමිකම් ගැන දොඩවන බ්‍රිතාන්‍ය රජයට උඩරැටියන්ගේ ඛේදවාචකයට
ඔවුන් වගවිය යුතු බව දන්වා සිටිය යුතුය.
www.yuthukama.com
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .