3/03/2017

ආලෝකෝ උදපාදී ඉතිහාසය පුනරාවර්තනය කිරීමක්

කතෘ:යුතුකම     3/03/2017   No comments


මේ දිනවල විකාශනය වන චිත්‍රපට අතර ප්‍රේක්ෂකයින් නැරඹිය යුතුම චිත්‍රපටයක් වන්නේ ”ආලෝකෝ උදපාදී” චිත්‍රපටයයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් හා ”කිරිමදුවැල්” චිත්‍රපටය තිර රචනය කරමින් සම අධ්‍යක්ෂණයට දායක වූ සමන් වීරමන් තිර රචනය කර ඇති ආලෝකෝ උදපාදී චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ තරුණ සිනමාකරුවකු වන චත්‍ර වීරමන් විසිනි. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුවද, ඔහු නව පරපුරේ දක්ෂ සිනමාකරුවකු බව මේ චිත්‍රපටය සාක්ෂ්‍ය සපයයි. අර්ථපතියකු ලෙස තුසිත විජයසේන මහතාද අප මෙහිදී අගය කළ යුත්තේ මේ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමට මුදල් ආයෝජනයෙන් වැදගත්ම දායකත්වය ලබාදී ඇති නිසාය. අද මෙබදු චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට තිබෙන එකම අභියෝගය වන්නේ යහපත් නිෂ්පාදකයකු සොයා ගැනීමයි. මෙරට සංස්කෘතික විඥානයට ගර්හා කරමින් ඩොලර් සම්මාදමක් සහිත පිට රට සම්මානයක් බලාගෙන තනන සිනමාපටයකට වඩා මේ රටේ බහුතර ජනයා විශ්වාසය කරමින් අපේම යටගියාව ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු කිරීම ගැන අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදකවරයාට පළමුව ස්තුතිවන්ත විය යුතුය.ආලෝකෝ උදපාදී චිත්‍රපටයට පාදක වන්නේ ලංකා ඉතිහාසයේ අති දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ වළගම්බා රාජ්‍ය සමයයි. වළගම්බා යනු ගැමුණු රජතුමාගේ සහෝදරයා වු සද්ධාතිස්සගේ බාලම පුත්‍රයා වෙයි. සද්ධාතිස්සගෙන් පසු ථූලත්ථන, ලජ්ජතිස්ස, ඛල්ලාටනාග යන ඔහුගේ අනෙක් පුතුන් තිදෙනා පිළිවෙලින් රට පාලනය කළද ඛල්ලාටනාගගෙන් පස්සෙ නිත්‍යානුකුලව රජකම හිමි වෙන්න ඕන වළගම්බා කුමාරයට වුණත්, ”මහා රත්තක” කියන සෙනවියෙක් ඛල්ලාටනාගව මරුමුවට පත්කොට සිංහාසනය පැහැර ගනී. එනිසා වළගම්බා රජුට තමන්ට හිමිවෙන්න ඕන රජකම පවා මුලින් අහිමි වී යනවා. තමන්ට පරම්පරාවෙන් උරුම රාජ්‍යත්වය පවා වළගම්බා රජුට ලබාගන්න වෙන්නේ මහා රක්තක ඇමතියා මරුමුවට පත්කර දුෂ්කර ව්‍යායාමයකින් පසුවයි. එසේ රාජ්‍ය බලය ලබාගත්ද එතැන් පටන්ම එතුමාට සිදු වුයේ අතිශය දුෂ්කර කම්කටොලුවලට මුහුණ දෙන්න. ඉතිහාසයේ වෙනත් කිසිම රජ කෙනෙකුට නොතිබූ ගණයේ අභියෝග වළගම්බා රජ්ජුරුවන්ට එල්ල වූ අතර ඔහුගේ පළමු රාජ්‍ය කාලය පස් මසකට සීමා වෙනවා. ඊට හේතුව දකුණු ඉන්දියාවෙන් මෙරට බට සත්ද්‍රවිඩයන් ආනුරධපුර රාජධානිය ආක්‍රමණය කිරීමයි. අනෙක් පැත්තෙන් රුහුණේ නකුල නගරයේ සිටි ”තීය” බ්‍රාහ්මණයා රජුට විරුද්ධව දකුණෙන් විශාල කැරැල්ලක් ගහනවා. තව පැත්තකින් රටට ඉතාමත් දුර්දශාපන්න තත්ත්වයක් ඇතිකළ බැමිණිතියා සාය නම්න් හැදින්වෙන දුර්භික්ෂ සමයත් මෙකළ උදාවෙනවා. මේ කාලය ලංකා ඉතිහාසයේ එකතරා භීම සමයක් යැයි කිව හැකියි. දකුණු ඉන්දියාවෙන් ආව සත් ද්‍රවිඩයන් සිංහලයන්ගේ ගම්බිම් ගිනි තබා විනාශ කරනවා. රටවැසියන්, කුඩා දරුවන්, භික්ෂුන් පමණක්ම නොව බත, බුලත, හරක බාන, වැව් අමුණු පවා විනාශ කරනවා. මේ චිත්‍රපටයට වස්තු වී ඇත්තේ එම අරාජික කාල පරිච්ඡේදයේ රාජ්‍ය පාලකයා සහ භික්ෂුන් මේ රට දැය සමය ආරක්ෂා කරගැනීමට කළ අපිරිමිත කැපකිරීම් කෙබදුද යන්නයි.
පර සතුරු ආක්‍රමණ, මහා සාගත, නිසා පමණක්ම නෙමෙයි රට අභ්‍යන්තරයෙන්ම ආව තීය බ්‍රාහ්මණයා වැනි දුෂ්ටයකුගේ කැරළි නිසා අවස්ථාවට සුදුසු ලෙස පසුබැසීම උපායශීලී උපක්‍රමයක් විදිහට හිතපු වළගම්බා රජතුමා එදා ආරක්ෂව පතා වෙස්සගිරිය විහාර බද වනයට පලා යනවා. ඒ දකින ගිරි නිගණ්ඨයා ”මහා කළු සිංහලයා පලා යනවා” යැයි ආරාමයේ ගෙඩිය නාද කරමින් උස් හඩින් කෑ ගසා කියනවා. එය වළගම්බා රජුට කරපු නින්දා අපහාසයක් විතරක්ම නොව රජු පසුපසින් පන්නන ද්‍රවිඩ සේනාවට රජුව අල්ලා ගැනීමට දීපු අනියම් සංඥාවක්ද වෙනවා. අධ්‍යක්ෂවරයා අවිඥානිකව හෝ ඊට ගැළපෙනම චරිතයක් වර්තමානයෙන් සොයාගෙන තිබීමත් උත්ප්‍රාස රස දනවන ජවනිකාවක්.
වළගම්බා රජු වෙස්සගිරි විහාරබද වනයට පලා යද්දී අගබිසව අනුලා දේවියත්, දෙවන බිසව සෝමා දේවියත්, දෙදරුවන් වූ මහා නාග සහ මහා චුලික කුමරුත් කැටුව යනවා. අනුලා දේවිය කියන්නේ තම සහෝදරයා වූ ඛල්ලාටනාගගේ බිසවයි. මහාරක්ථක ඇමතියා ඛාල්ලාටනාගව මරුමුවට පත්කොට රාජ්‍ය පැහැරගත් පසු අනුලා දේවියත් ඔවුන්ගේ පුතු මහා චුලිකත් වැඩෙන්නේ වළගම්බා රජුගේ සෙවණ යටතේ. පස් දෙනෙකුගෙන් යුත් රථයේ බර වැඩිවීම නිසා ගමනේ වේගය අඩාල වන බව සෝමාදේවියට වැටහෙනවා. එනිසා රජුට සතුරන්ගෙන් බේරී ඉක්මනින්ම පලා යාමට අවස්ථාව සලසා දීමේ අදහසින් ඇය රථයේ බර අඩු කිරීමට බිමට පැන සතුරන්ට බිලිවෙනවා. මේ අසම සම කැප කිරීම තුළින් පෙන්නේ රජුට වගේම රට දැය සමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඇයට තිබුණ හැගීමයි. මොකද රජු සතුරන්ට බිළි වුණොත් ද්‍රවිඩ ආක්‍රමණිකයාගෙන් රට දැය සමය නිදහස් කරගැනීමට නායකත්වය දෙන්න කෙනෙක් නැති බව සෝමා දේවිය දන්නවා. අනුලා දේවිය මේ පලා යනවිට හිටියේ ගැබ්බරව. එනිසා ඇයද ආරක්ෂා කරගත යුතු යැයි සිතා සෝමා දේවිය එදා බිළිවෙනවා. සත් ද්‍රවිඩයන්ගෙන් එක් අයෙකු රථයෙන් පැනපු සෝමාදේවිය පැහැරගෙන යළි ඉන්දියාවට යනවා. තව කෙනෙක් පාත්‍රා ධාතුව පැහැරගෙන යනවා. ඉතිරි පුලහත්ථ, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය යන පස් දෙනා පිළිවෙලින් එකිනෙකා මරා ගනිමින් වසර 14යි මාස 07ක් තිස්සේ අනුරාධපුරය පාලනය කරනවා. ඒසා දීර්ඝ කාලයක් වළගම්බා රජු කැලෑවේ සැගවි වන පලා වන මුල් කමින් සේනා සංවිධානය කළ බව වංසකතා තොරතුරු වලින් කියවෙනවා.
චිත්‍රපටයේ එක අඩුවකට අප දකින්නේ වළගම්බා රජු රට ගලවා ගැනීමට විඳී ඒ අසීමිත දුෂ්කරක්‍රියාව චිත්‍රපටයෙන් ප්‍රමාණවත් ලෙස අවලෝකනය නොවීමයි. අන් රජවරුන්ට වඩා වළගම්බා රජුගේ ශ්‍රේෂ්ඨත්වය රදා පවතින්නේ වසර 14 කට නොඅඩු කාලයක් තිස්සේ දුක්ඛසෛයියාවෙන් හා අත් නොහරින වීර්යයකින් යුක්තව සේනා සංවිධානය කොට පරසතුරු ආක්‍රමණිකයාගෙන් රට මුදාගෙන සිංහලදීපය යළි එක්සේසත් කළ නිසයි. සියලු අභියෝගවලට දුර දක්නා නුවනින් හා උපායශීලීව මුහුණ දුන් වළගම්බා රජතුමා අවසානයේ තීරණාත්මක යුද්දයකින් දාඨිය පරද්දලා යළිත් රාජ්‍ය බලය ලබාගැනීමට හැකි වෙන්නේ රජුගේ එම අත් නොහරින වීර්යය නිසයි. වංසකතාවල සැගවුණු පිටු අතර ඉතිහාසයට පමණක් උරුම වළගම්බාගේ එම ශ්‍රේෂ්ඨත්වය තිරය මත හෝ ප්‍රක්ෂේපණය කිරීමට හැකිනම් එය වළගම්බා චරිතයට කරන වඩා සාධාරණය ඉටු කිරීමකි. මන්ද මෙය මහාවංශ කතුවරයා පවා යටපත් කළ සත්‍යකි. මහාවංශ කතුවරයා වළගම්බා රජුට විශාල තැනක් නොදෙන්නේ ගැමුණු කුමාරයාගේ චරිත පරමාදර්ශ කිරීමේ කතුවර අභිප්‍රාය නිසාය. අනික මහානාම හිමියන් මහාවිහාර පාර්ශවය නියෝජනය කළ හිමි නමක් වන අතර වළගම්බා රජු ඊට ප්‍රතිපක්ෂව අභයගිරිය නම් ආයතනයක් ආරම්භ කොට ඊට විශාල අනුග්‍රහයක් දැක්වූ රජ කෙනෙකි. එනිසා එතුමාට මහාවංශ කතුවරයා අඩු වටිනාකමක් දී තිබේ. එසේ වුවත් අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍රයන් සමග ඉතිහාසය තුලනාත්මකව පිරික්සීමේදී වළගම්බා රජතුමාට මුහුණ දීමට සිදු වුයේ සුළුපටු අභියෝගවලට නොවේ. ගැමුණු කුමාරයාට පියා සහ සිය සහෝදරයා විසින් සංවිධානය කරදෙනු ලැබූ හොද පසුබිමක් පැවතියද වළගම්බා රජුට එවැනි පසුබිමක් නොතිබිණි. ඒ අතින් ගැමුණු රජ්ජුරුවන්ට නොදෙවෙනි කැපකිරීමක් වළගම්බා රජු කරතිබෙන අතර මහාවංශය අභයගිරි පාර්ශවයේ භික්ෂුවක් අතින් රචනා වුයේ නම් අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨම පාලකයා වළගම්බා වීමට ඉඩ තිබුණී. සොළි ග්‍රහණයෙන් මිදී ආරක්ෂාව පතා වෙස්සගිරි විහාරබද වනයට පලායන වළගම්බා රජතුමාට රැකවරණය සලසමින් නැවත රාජ්‍ය බලය ලබා ගැනීමට උදව් උපකාර කරනු ලැබුවේ කුපික්කල මහා තිස්ස හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විසින්. භික්ෂූන් වහන්සේලා රාජකීයයන්ව ආරක්ෂා කරමින් පෝෂණය කළේ පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන්. මහා තිස්ස හිමියන් තමන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ලෙස චිත්‍රපටයේ හදුන්වාදෙන ගෝදත්ත හිමියන් කැදවා වළගම්බා රජුගේ ප්‍රත්‍යපහසුකම් සහ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත්වන ලෙස අණ කරයි. මේ ගෝදත්ත හිමියන් පිලිබඳ සදහනක් වංසකතාවලින් අපට හමු නොවෙතත් චිත්‍රපටයේ කලාත්මක ප්‍රතිනිර්මාණයට එම චරිතය මහගු මෙහෙයක් ඉටු කරයි. ඇතැම් විට එම චරිතය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සිනමාත්මක පරිකල්පනයේ ප්‍රතිඵලයක් විය හැකියි. ඓතිහාසික කතා ප්‍රවෘත්තියේ ඇති වාර්ථා ස්වරූපය ඛණ්ඩනය කරගනු පිණිස චිත්‍රපටය උදෙසාම අමතර චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීම වරදක් නොවේ. එහෙත් එය මුලික කතා ප්‍රවෘත්තිට අභව්‍ය නොවිය යුතුය. ගෝදත්ත හිමියනේ චරිතය ඉතිහාස පුවතින් වියුක්ත නොවන තරමට එය සිනමා කෘතියට අනන්‍යව ආලෝකයක් සපයයි. ගෝදත්ත හිමියන් රජුගේ ප්‍රත්‍යපහසුකම් ගැන සොයා බලනවා පමණක් නොව තීරණාත්මක මොහොතක සිවුරු හැර පරදේශක්කාරයන්ගෙන් මේ රට ගලවා ගැනීමේ වළගම්බා රජුගේ සටනට සහය වෙයි. සේනා සංවිධානය කිරීමට උදව් දෙයි. මේ පුවත කතා තේමාවට සහ සිනමා කෘතියට අභව්‍ය නොවන්නේ සමහර භික්ෂුන් වහන්සේලා රටට අත්‍යවශ්‍ය දුෂ්කරම අවස්ථාවල රට දැය සමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එබදු කැප කිරීම් කර තිබෙන බව ඉතිහාසයේ සඳහන්ව ඇති හෙයිනි. ථේරපුත්තාභය ඊට එක් නිදසුනකි.

ජාතියක් වශයෙන් අපට තිබුනේ අනාගතයට වැටුණ සේද මාවතක් නොව බාධක මැදින් වැටි වැටී එන ගමනක් බව මේ චිත්‍රපටය තුළින් අපට යළි යළිත් මතක් කරදෙයි. එය කොතරම් දුෂ්කර ගමනක් වීද යත් යුග යුග වශයෙන් රාජධානි මාරු වූ දේශපාලන ඉතිහාසය විමසා බැලීමෙන් පෙනේ. පරසතුරු ආක්‍රමණ, කුමන්ත්‍රණ, පාවාදීම්, වගේම මහා සාගතද මේ ගමනේ දී නොවඩුව තිබුණ බාධකය. අනුරාධපුර යුගයේ බුදු දහමෙහි පරිහානිකරම කාල පරිච්ඡේදය වළගම්බා කාල පරිච්ඡේදය යැයි සිතිය හැකිය. රජරට ප්‍රදේශය සත් ද්‍රවිඩ පලනයට නතුවී තිබීමත්, වසර 12ක් තිස්සේ බැමිණිතියා සාගතය නම් දරුණු දුර්භික්ෂය ක්‍රියාත්මක වීමත් නිසා බුදුදහම විශාල අනතුරු දායක තත්වයකට පත්විය. සත් ද්‍රවිඩයන්ගෙන් බුදු දහමට කිසිම අනුග්‍රහයක් නොලැබුන අතර රට වැසියන්ටද භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය සපයා දීමට නොහැකි විය. ඒසා දිගුකාලයක් තිස්සේ පැවැති මෙම දුර්භික්ෂය කොතරම් දරුණු වීද කිවහොත් ධන ධාන්‍ය විනාශ වීම නිසා ඇතැම් භික්ෂුන් සහ ජනයා කරකොළ අනුභව කරමින් මිය ගිය බව අටුවා ග්‍රන්ථවල සදහන් වී තිබේ. වෙනත් කාල පරිච්ඡේදවල දී රජරට ප්‍රදේශය විදේශ ආධිපත්‍යට නතුවීමෙන් පසු රෝහණ ප්‍රදේශය සිංහල ජනයාගේ බුදු දහම ආරක්ෂා කරනු ලබන ප්‍රදේශයක් වශයෙන් සංවර්ධනයට පත් වුවද අටුවා ග්‍රන්ථවලට අනුව තීය බ්‍රාහ්මණයා සොළොස් වසරක් රෝහණය පාලනය කළ නිසා රෝහණ ප්‍රදේශය මුල් කොටගෙනද එවැනි සංවර්ධනයක් ඇති නොවිණි. එම නිසා මෙකල බුදුදහමෙහි විශාල පරිහානිකර තත්වයක් ඇතිවූ අතර සොළී ආධිපත්‍යයෙන් ලක්දිව නිදහස් කරගැනීමෙන් පසුව එම පරිහානිකර තත්වයෙන් බුදු දහම නිදහස් කර ගැනීම වළගම්බා රජුට පැවරී තිබුණ මුලික වගකීමකි. එබැවින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මෙකළ සිදුවූ වැදගත්ම සාසනික මෙහෙවර සේ සැලකිය හැකිය. අවාසනාවකට මෙන් අද අපට ඇත්තේ මේ ඉතිහාසය නොදන්නා වර්තමාන පරම්පරාවකි. ඊනියා සංහිදියාවක නාමයෙන් ඉතිහාසය කටුගා දමන යුගයක වර්තමාන සහ අනාගත පරම්පරාව අපේ උරුමය වෙත බැඳුනු මේ අතීතය ගැන මෙබදු චිත්‍රපට ඔස්සේ හෝ දැනගැනීම වෙසෙසින්ම වැදගත්ය. මේ සිනමා නිර්මාණය ඊට යම් ආලෝකයක් සපයන ඉතා හොඳ වෑයමකි.
මේ චිත්‍රපටයේ තවත් එක් වැදගත්කමක් වන්නේ අතීතය සහ වර්තමානය එකට ගලපා ගැනීමට හැකිවීම. ඉතිහාසයේ සිදු වූ දෙයම ඊට වෙනස් මුහුණුවරකින් වර්තමාන දේශපාලනයේද යළි යළිත් සිදුවෙමින් තිබෙන බව අපට මේ චිත්‍රපටය සිහි ගන්වයි. එදා සත් ද්‍රවිඩයන් සිංහලයන් දුර්වල කිරීමට බත බුලත, හරකබාන, වැව් අමුණු ,ගම්බිම්, විනාශ කර දැමුවා සේම ප්‍රභාකරම්ගේ තිස් අවරුදු යුද්ධයත් සිංහලයාට අත්කර දුන්නේ එබදු ඉරණමක්. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයද මායිම් ගම්මානවලට පැන කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සාමාන්‍ය ජනයා කැතිගානු ලැබුවා. පොදු ප්‍රවාහනයේ සිට ආර්ථික මධ්‍යස්ථාන දක්වා බෝම්බ තබා ආර්ථිකය විනාශ කරනු ලැබුවා. ගොවිතැන් පාළු කිරීමට මාවිල්ආරු වැනි සොරොව් වසා දැමුවා. එය වළගම්බා රාජ්‍ය සමයේ වූ භීෂණයට බෙහෙවින්ම සමානයි. එදා සත් ද්‍රවිඩයන්ගේ සේනාව කළ භික්ෂු සංහාරය අපට මෑත ඉතිහාසයේ අරන්තලාවෙන්ද හමුවෙනවා.
ඊළගට ද්‍රවිඩ ආක්‍රමණිකයන්ට සහය දැක්වූ දකුණේ සිංහලයන් පිරිසක් එදා වගේම අදත් ඉන්නවා. ඔවුන් අද සිවිල් සමාජ, විකල්ප, රැඩිකල් ආදී විවිධ වේෂයෙන් පෙනී සිටින්නෝ වෙති. මතවාදී තලයේ ඔවුන් කුමන පැහැයෙන් සිටියත් කොටි හිතවාදය සහ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වීම මොවුන්ගෙන් දැකිය හැකි පොදු ලක්ෂණයකි. සාහිත්‍ය කලා නිර්මාණ ඔස්සේද බෙදුම්වාදී මතවාද පෝෂණය කරන මොවූන් සුලබව දැකිය හැක්කේ ඊනියා කවීන් වශයෙනි. ගිරි නිගණ්ඨයා සහ තීය බ්‍රාහ්මණයාගේ පරිවාර සේනාව මොවුන්ගේ ඒ අතීත නියෝජනයයි.

තීය බ්‍රාහ්මණයා වළගම්බා රජුට එරෙහිව ද්‍රවිඩ ආක්‍රමණිකයින්ගේ විනාශකාරී කැරළිවලට උදව් දෙන්නේ යුව රජකම ලබා ගැනීමේ බලලෝබී බලාපොරොත්තුවෙන්. එහෙත් සිදුවන්නේ සත්ද්‍රවිඩයනගේ බලය තහවරු කරගැනීමට පමණක් තීය බ්‍රාහ්මණයා ඉත්තකු ලෙස යොදා ගැනීමයි. චිත්‍රපටය නරඹා එය වර්තමාන දේශපාලනයටත් කොතෙක් දුරට ගැලපේද යන්න තීරණය කිරීම ප්‍රේක්ෂකයාට බාරය. මන්ද ”තීය” වැනි ප්‍රාදේශීය බලයක් ගොඩනගාගෙන සිටි පුද්ගලයකුගේ උදව්වෙන් අද බලයට පැමිණ ඇත්තේ වෙනත් පිරිසක් නිසාය. බලය ලබාගත් පසු තීය නිෂ්ක්‍රීය පුද්ගලයකු කළ ආකාරයට ජනවාරි 08න් පසු දේශපාලනය තරම් ගැළපෙන උදාහරණයක් තවත් නැත. එදා සහ අද මේ ක්‍රියාවලියේ වෙනසකට ඇත්තේ එදා තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල දකුණේ රෝහණ ප්‍රදේශයෙන් එල්ල වුවද මෑත වකවානුවේ දී එය රජරටින් එල්ල වීමයි. එබැවින් මේ සිනමා පටය වත්මන් දේශපාලනයද පහසුවෙන් කියවා ගැනීමට අතීතය ප්‍රක්ෂේපණය කිරීමක් හා සමනය. සිංහල බෞද්ධ විරෝධී කණ්ඩායමක් සකස් කළ නව ව්‍යවස්ථා ප්‍රශ්නයක් අභිමුඛ බුදු දහම යළිත් ඒදා මෙන් අනතුරුදායක තැනකටද තල්ලු වී තිබේ. එවන් වර්තමානයක මේ මහපොළවේ ඇත්ත ඉතිහාසය යළිත් පුනරාවර්තනය කර පෙන්වීමට චත්‍ර වීරමන් ගත් උත්සාහය අගය කළ යුතුය.

ආලෝකෝ උදපාදී වැනි ඉතිහාස තේමා රැගත් සිනමා කෘතිවලට මේ යුගයේ විචාර විදුෂකයින් දක්වන ප්‍රතිචාර ගැනත් යමක් සදහන් කළ යුතුය. නුතන සිනමාවේ කෝදුව අයිතිකරගෙන තිබෙන වරළත් විචාරකයන් මේ චිත්‍රපටය පිලිබඳ නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු පෙනේ. කොළොඹ කේන්ද්‍ර කරගත් විවිධාකාරයේ සංවාද, කථිකා, සම්මන්ත්‍රණ මේ චිත්‍රපටය සදහා පවත්වනු නොපෙනේ. මෙරට සංස්කෘතික කතිකාව දියුණු කිරීමට කියා කාටත් නොතේරෙන බසින් ලියන කලා විචාරකයන්ද, අන්තර් ජාතියකට අමතන චිත්‍රපටකරුවන්ද, මාසික සඟරා මගින් ලෝක ධනවාදය හෙල්ලුම්කවන විප්ලවවාදීන්ද, එක්සත් ජාතින් විසින් ලංකාවේ යුක්තිය පසිඳලන තුරු බලා සිටින වාමාංශිකයන් ආදී නාටකීය චරිත මේ සදහා කළඑළි බසිනු නොපෙනේ. මහා සමාජය තුළ නැතත් විවිධ මාධ්‍ය ඔස්සේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට අදාලව සැලකිය යුතු ආධිපත්‍යක් පතුරවාගෙන සිටින මේ අයට අදහස් ගලා එන්නට නම් ”අම්මා සහ පුතු අතර ඇති ලිංගික සම්බන්ධය වැනි අශ්ලීල මාතෘකාවක් සිනමා කෘතියට පාදක කොටගෙන තිබිය යුතුය. නොඑසේ නම් හමුදා සොල්දාදුවකු ලවා ස්ත්‍රියක් දුෂණය කරවන රූපරාමුවක් තිබිය යුතුය. එසේත් නැත්නම් තම බිරිද නිරුවත් කර පෙන්වීම වැනි සිනමා වීරත්වයක් අධ්‍යක්ෂවරයා ආරෝපණය කරගෙන තිබිය යුතුය. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් මුළු ලෝකෙටම තිබෙන එකම බලවත් තර්ජනය ලෙස දැකිය යුතුය. එහෙම අය ඇහැරවීමට නම් යමක් මේ චිත්‍රපටය තුළ නැත.

කිහිප දෙනෙකුට පමණක් අද මේ චිත්‍රපටය කහබිලියා ගෑමක් වී ඇත්තේ එහි ඇති සිනමාත්මක දුබලතා නිසාම නොව සිංහල බෞද්ධ සංස්කෘතියට ඔවුන් තුළ ඇති පරවේණිගත රෝගයක් බදු වෛරය ඉස්මතුවන නිසාය. කිසිම සිනමා දුබලතාවක් සොයාගත නොහැකි චිත්‍රපටයක් ලෝකයේ කොහෙවත් නැති අතර හැකිතරම් අඩුපාඩු අවම සිනමා පටයක් කළත් මේ අය ඊටත් පහර දෙනු නියතය. ඒ එය බෞද්ධ සංස්කෘතික කතිකාවට රුකුල් දෙන්නක් වීම නිසාය. මාක්ස්වාදී, ලිබරල්වාදී, හේතුවාදී, පශ්චාත් නුතනවාදී, සාර සංග්‍රහවාදී වශයෙන් මතවාදීව විවිධ පැහැයෙන් සිටියත් මොවුන් මොකක්දෝ හේතුවකට කොටි හිතවාදයට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව සමපාත වෙනු දැකිය හැකි පොදු ලකුණකි. නොයෙක් ආකාරයේ සිවිල් සංවිධාන, එන්.ජී.ඕ. ආයතන හරහා සැගවුණු දේශපාලන න්‍යායපත්‍රවලට ගැටගැසී ඇති මොවුන්ගේ මනස බොහෝ විට හසුරවනු ලැබෙන්නේ කලාව කෙසේ වෙතත් උදරයේ හඬගෑම විසින්. එනිසා ඇසුරු කළයුතු කලාව කුමක්දැයි තීරණය කිරීමට ප්‍රේක්ෂකයන් ඔවුන්ගේන් නිර්දේශ පැමිණෙනතුරු සිටියයුතු නැත. බහුතර සිනමා රසිකයින් කළ යුත්තේ ඔවුන්ගේ විතණ්ඩවාදී පඩිවදන් තුට්ටුවකට මායිම් නොකර මේ සිනමා පටය නැරැඹීමයි. ”ආලෝකෝ උදපාදී”සමහර මනැස් පුතුන්ගේ විකෘති සිනමා ප්‍රබන්ධවලට වඩා මේ පොළවේ ඉතිහාසය යළිත් පුනරාවර්තනය කිරීමකි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
(2017. 02. 19 .රිවිර ඉරිදා සංග්‍රහයේ මුල් වරට පළ විය.)
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama



, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions