
-අලුතින් කියවන්නට ....අලුත් නවකතාවක්...
පේමතෝ ජායතී අසෝකෝ - ආදර අතීතයේ අමුතු කතාව
ඉසුරු ප්‍රසංග - අප, ඔබ පළමුව ඔහු හැඳින ගන්නේ කවියකු ලෙසිනි. ජ.වි.පේ. උපායමාර්ගිකව පීලි පැනීමෙන් ස්වයං විනාශය අත්පත් කරගැනීමට පසුබිම් වූ කරුණු විග්‍රහ කොට "බිඳුණු වම් අත" කෘතිය ලියූ දේශපාලන විචාරකයා ලෙසිනි. විවිධ විෂයන් ඔස්සේ ලිපි රැසක් රචනා කළ ජාතිකවාදී ජනමාධ්‍යවේදියකු වශයෙනි.
මේ වතාවේ ඔහු අප වෙත පැමිණ ඇත්තේ නවකතාකරුවකු ලෙසිනි. එහෙත් දේශපාලන විචාරකයාට සමු දී ඇත්තේ ඔහු නො වේ.
එක් අතකින් ඔහු ගේ නවකතාව ආදරය, තාරුණ්‍යය, මිනිස් සම්බන්ධතා, ආදිය පිළිබද සියුම් ජීවිත විවරණයක් සහිත රස වෑහෙන නිර්මාණයක් වනවා සේ ම අනෙක් අතින් මෙරට වාම දේශපාලනයේ, ජාතිකවාදී ධාරාවේ මෙන් ම විකල්ප ගෝත්‍රයේ තක්කඩි දේශපාලනයේ ද සියුම් අක්මුල් ගැඹුරින් ස්පර්ශ කරන පුළුල් නිර්මාණයක් ද වේ. එතැනින් නො නැවතී එය වත්මන් සමාජ දේශපාලන වියවුල හමුවේ අප තෝරාගත යුතු අනාගත මාවත වෙත ද තියුණු ආලෝක ධාරාවක් එල්ල කරයි. එහෙත් ඉසුරු ප්‍රසංග නම් නවකතාකරුවා, දේශපාලන විචාරකයාට තමා ඉක්මවා නැඟී සිටීමට ද ඉඩ දී නැත. පාසැලේ ඩෙස්ක් ලෑල්ලක අඳින දෑකැති මිටි හදවත් සංකේතවල සිට කවි, කතා, සෝවියට් පොත්, හින්දි සිනමා වීරයන්, රස්පුටින්, බෝනි එම්. ආදී මානයන් ඔස්සේ පැතිරුණ රූප, කල්පිත චරිත හා සැබෑ චරිත, සිදුවීම්, අත්දැකීම් ආදී ප්‍රපංච සමූහයක් ඔස්සේ විසිතුරු සමාජ දේශපාලන චිත්‍රයක් අප සිතේ මැවීමට කතුවරයා සමත් වෙයි.
කෘතිය ලියා නිම කරන අතරතුර ඒ සම්බන්ධව කතුවරයා හා මා අතර ඇති වූ රසබර සාහිත්‍ය සංවාද ද මගේ සිහියට නැඟෙයි. කෘතියේ දිවෙන අදහස් පිළිබඳ ඇගයීම්වලින් හා විවේචනවලින් ඒ සංවාද පිරී පැවතුණි. සාහිත්‍ය කලාව රටට හා ජනතාවට එරෙහි දූෂිත විකල්ප කල්ලිවල බූදලයක්ව ඇති කාලයක ඉසුරු ප්‍රසංග ගේ මේ ප්‍රවේශය අතිශයින් ම වැදගත් ය. නැවුම් අදහස් ගොන්නකින් යුතු මේ නවකතාව සියල්ලන් ම කියවා රසවිඳිය යුත්තකි යන්න මගේ මතයයි.
තමලු මලිත්ත පියදිගම
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .