9/09/2014

පිහි ඇනුම

කතෘ:යුතුකම     9/09/2014   2 comments

"දැරියන් දෙදෙනාගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත. ලබන සතියේ නැවත වරක්‌ ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.
වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාය. තම නැඟණිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක්‌ ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය දැඩි මානසික පීඩනයකින් කල්ගත කර තිබෙන අතර අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක්‌ දක්‌වා ද නැත.
ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස්‌ පිහියෙන් යටි බඩට ඇන ඇති අතර දෙමාපියන් විසින් ඇයව ගසකින් වැටුනා කියා රෝහල්ගත කර ඇත."

පසුගිය දා අසන්නට සිදුවූ මේ සිත් කම්පාවන සිදුවීමට නොයෙකුත් හේතු කාරණා බලපා තිබෙන්නට පුළුවන. නමුත් දරුවන් හා සම්බන්ධව ඇසෙන බොහෝ ඛේදාන්තයන්ට පොදු වූ සාධකයක් මෙහිදීද අපට අසන්නට ලැබේ. මේ පුවත කියවන ඕනෑම අයකුට එක්වරම පෙනී යන, මෙවැනි පුවත් බොහෝමයක පොදු සාධකයක් ලෙස අපට අසා හුරු පුරුදු එම කරුණ නම් මව මැදපෙරදිග රැකියාවක නිරත වීම යි.

මේ ඛේදවාචකය පිටුපස ඇති සමාජ ආර්ථික කාරණය නුදුටුවා සේ සිටීමට අපි පුරුදු වී ඇත්තෙමුද , නැතිනම් එය නොදැකීමට අපව පුහුණු කෙරී ඇත්දැයි නොදනිමි. ඇගේ මව විදෙස් ගත වන්නේ දිළිදුකම නිසා බවත්, දරුවන් හැරදා විදෙස් ගත වනු හැරෙන්නට ඇයටද අන් මගක් ලෙස තිබෙන්නට ඇත්තේ දරුවන් ගඟට විසි කිරීම පමණක් බවත් අපට සිතීමට බොහෝ විට ඉඩ ඇත. එහෙත් සමාජයක් ලෙස අප මේ සිදු වීම් එවැනි සරල කියවීමකින් පසු අමතක කරනවා නම්, එය මෙවන් ඛේදවාචකයන් නිති ඇසෙන තත්වයකට මං සළසන්නක් බව අප විසින් සිහි කර ගත යුතුය. මේ අප අත්දකින්නේ පසුගිය දශක තුනහමාර ඇතුළත අප විසින් ගෙනගිය ආර්ථික මාවතේ අනිවාර්යය ප්‍රතිපලයක් නොවේද? මේ සියල්ල මත 'විවෘත ආර්ථිකය' යන ලේබලය අලවා විවේචනය කිරීමේ බොලඳ ක්‍රියාවකට නොව අප මේ අර අදින්නේ. හුදෙක් එම ලේබලයට පහර දෙනු වෙනුවට, අප විසින් කළේ කුමක්ද, ඒ සඳහා අප පෙළඹවූයේ කුමක්ද සහ ඒවායේ ප්‍රතිපල මොනවාද යන අවලෝකනයකි දැන් අවැසිව ඇත්තේ.


රණ විරුවන්ට පසුව ආ විරුවන්


යුද්දයක් කරමින් රට ජාතිය බේරාගන්නට ඉදිරිපත් වූ දේශජ පුතුන් රණ විරුවන් ලෙස අපි හැඳින්වූයෙමු. යුද්දයෙන් පසු අපට ඒ හා සමාන මුත් කිසියම් හාස්‍යජනක භාවයක් ද ඇති දෙපදයක් ඇසෙන්නට විය. ඕනෑම දෙයෙක් නිතර නිතර ඇසෙන විට එහි හාස්‍යයභාවයද මැකී ගොස් සාමන්‍යයකරණය වන්නේය. "රට විරුවෝ" ඒ අමුතු දෙපදයයි. රණ විරුවන් ප්‍රබාකරන් ගේ රුදුරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මේ රට ගලවා ගත්තෝය. නමුත් ඉන් පසුව අපට විදෙස් ශ්‍රමිකයන් රට විරුවන් වශයෙන් හඳුන්වන්නට සිදු වූයේ ඇයි? රණ විරුවන් සතුරාගේ උණ්ඩය හමුවේ මිය යද්දී සිය දූ දරුවන්ට පිය සෙනෙහස අහිමි වූවා සේම ගෘහ සේවිකාවන් ගුවන් ගත වෙත්ම සිය දූ දරුවන්ට මව් සෙනෙහස අහිමි වන නිසාද? අහිමි වීමම වීරත්වයට නැගීමට නොසෑහෙන බව අපි දනිමු. "රට විරුවෝ" යන දෙපදයෙහි හාස්‍යයක් ගැබ් වුවද, එහි අවාසනාවන්ත යථාර්තයක්ද ගැබ්ව ඇත. එම යථාර්තය නම් ඉතිහාසය විසින් රට ජාතිය රැකුමට රණ විරුවන් ඉල්ලා සිටියේ යම් සේද එලෙසම ඉතිහාසය විසින් රට විරුවන්ද ඒ හා සමාන බරකින් ඉල්ලා සිටින තත්වයකය මේ භූමිය පසුවන්නේ. ත්‍රස්තවාදය හමුවේ රණ විරුවන් රට බේරා ගත්තේ යම් සේද එලෙසම ගෙවුම් ශේෂය හමුවේ රට ගලවා ගැනීමට අද රට විරුවන් ඉල්ලා සිටියි.

අපෙන් පිටට යන මුදල්, අපි පිටින්ම රට තුලට කැදවා ගත යුතුය. ගෙවුම් ශේෂයෙහි සරල අරුත නම් අපෙන් පිටට ඇදී යන මුදල සහ පිටින් අප වෙත ඇදී එන මුදල අතර වෙනසයි. බොහෝ දේ අප ආනයනය කරතත්, ඉහළ ණය හා පොළී වාරිකයක් ගෙවතත්, ඒවා පියවීම සඳහා සෑහෙන තරම් අපනයනයන් අප සතු කරගෙන නැත. 

අපෙන් පිට රටට ඇදී යන විදේශ විනිමය අප යළි සොයා ගන්නේ කෙළෙසද? අපනයනය වර්ධනය සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ප්‍රාග්ධනය හා දැනුම අවැසිය. ඒවා උත්පාදනයට දිගු කාලීන, මනා සැළසුම් වුවමනාය. කෙටි කාලීන ප්‍රතිපල අත්කර ගැනීම තරමක් අපහසුය. සරලව පවසනවා මේ වසරේ අපෙන් පිට රටට ඇදී යන මුදල අප පියවා ගන්නේ කෙසේද යන පැනයක් ඇත. මේ සඳහා ගෙන ඇති එක් ප්‍රවේශයක් වී ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ණය ලබා ගැනීමයි. ණය වශයෙන් රට තුළට පිවිසෙන මුදල් මඟින් එක් අතකින් අර පිටට යන මුදලෙන් කොටසක් පියවේ. අනෙක් අතට ඒ මඟින් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය තුළින් විදෙස් ආයෝජනයට පහසුකම් සැළසී දිඟුකාලීනව ඉහත කී ප්‍රාග්ධන හිඟයට විසදුම් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව තබා ගත හැකිය. නමුත් අනාගතයේදී නැවත වරක් එම මුදල්, ණය හා පොළී වාරික ලෙස මෙරටින් පිටවන මුදලට එකතු වේ.

අපනයනයන් වර්ධනය කර ගත නොහැකි නම්, ආනයනයන් අඩු කරගත නොහැකි නම්, ඉතිරිය පියවා ගැනීම සඳහා ඉතිරි වී ඇති පහසුම ක්‍රමය වී ඇත්තේ මැද පෙරදිග ගෘහ සේවය සඳහා මෙරටින් ගැහැණුන්, අම්මාවරුන් යැවීමයි. ඒ හැර අපට වෙන අන් සරණක් නැත. ඒ නිසාමය මෙය බරපතළ සමාජ අර්බුදයක් බව දැන දැනත් රජයට එම තත්වය වර්ධනය කරමින් ඔවුන් රට විරුවන් ලෙස වර නැගීමට සිදුව ඇත්තේ.

අප මේ ආර්ථික ක්‍රමය දශක ගණනාවක් පුරා අත්හදා බලා ඇත්තෙමු. නමුත් වසරින් වසර අප විසින් අම්මලා අපනයනය වැඩිකර ගෙන ඇත්තෙමු. 1986 වසර තුළදී 3,400 පමණ කාන්තාවන් විදෙස්ගත වූ අතර 2012 වසර තුළ එය 138,500 පමණ දක්වා වැඩි කර ගැනුමට අප "සමත් වී" ඇත්තෙමු. මෙම කාන්තාවන්ගෙන් 86%ක්ම ගෘහ සේවය සඳහාය. (http://www.slbfe.lk/downloads/statis/3.pdf)


ආර්ථික කතන්දර

මෙරට තුළ නිපදවා ගත හැකි දෑ වත් මෙහි නිපදවා නොගෙනම පිටින් ගෙනෙන්නට අපි කාලයක් පුරා පුරුදු වීමු. ඇතැම් ආර්ථික පඩියෙක් එසේ කරන්නට හේතුව "ආවස්ථික පිරිවැය (opportunity cost)" යයි කියනු අපට මැවී පෙනේ. අපද ආවස්ථික පිරිවැය යන සංකල්පය සහමුලින්ම බැහැර නොකරතත් එම නිර්ණායකය භාවිතා කරන්නේ කුමන තලයක සිටද යන අවබෝධය එය ආලේප කෙරුමට පළමුව අප සතු විය යුතුය. ඉහත කී පරිදි ප්‍රතිපත්තිමය තලයක සිට ආවස්ථික පිරිවැය පිළිබඳ සලකන විට හුදු මල්‍යයමය ව්‍යවහාරික මට්ටමෙන් ඔබ්බට ගොස් සමාජ සංස්කෘතික පසුබිමක තබා එය විග්‍රහ කර ගැනුම අවැසි වන බව අවධාරණය කර ගත යුතුය.

අපගේ ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ  යන බව පුන පුනා අපට පවසද්දී, වසරින් වසර මැදපෙරදිගට ඇදී යන අම්මලා ගණන, ඒ අය විදින දහසකුත් එකක් කුරිරු වද හිංසා පිළිබඳ පුවත් මධ්‍යයේ වුව වැඩි වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙරට ඇති-නැති පරතරය වැඩි වෙමින් පවතින බව නොවේද? මෙම ආර්ථික ක්‍රමය බේරා ගැනීම සඳහා නැතුවම බැරි, විදෙස් ගත වී රට විරුවන් වීමට අවශ්‍යය දිළින්දන් ප්‍රමාණයද සපයා දීමට මෙම ආර්ථික ක්‍රමයටම හැකි වී ඇති බව අපට පෙනී යා යුතුය. 
විදෙස් ආයෝජකයින් මෙහි ගෙන්වා ගැනීමට අප බොහෝ කල් සිට දේශීය ආයෝජකයනට හිමි නොවන බදු සහන ආදී වරප්‍රසාද රාශියක් ලබා දුනිමු. එම ආයෝජකයන් මෙහි පැමිණීමට ප්‍රධානම හේතුව නම් ශ්‍රමය සඳහා යන අඩු පිරිවැයයි. ශ්‍රමය සඳහා ගෙවෙන මුදල අඩු යන්නෙන් පිළිඹීබු වන්නේ අර අත පල්ලෙන් බේරෙන දෑ දුප්පතුන්ට ලැබෙන ආර්ථික න්‍යාය බව පැහැඳිළිය. මේ විජාතික ආර්ථිකයේ පණනල ගැට ගැසී තිබෙන්නේ අඩු ආදායම් ලබන බහුතරයක් ලංකාව තුල සිටීම මතය. විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට මෙන්ම ගෙවුම් ශේෂය පියවා ගැනීමට දරුවන හැර දා රට යන්නට සූදානම් වූ දිළිදු ජනතාවක් මෙහි සිටීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. එනම් ඇති-නැති පරතරය පවත්වා ගත යුතුය. ඒක පුද්ගල ආදායම ඉහළ ගිය බවට පාරම්බාන නිලධාරියකුට හෝ දේශපාලකයකුට හෝ ඇති-නැති පරතරය ගැන සිය මුනිවත රැකීමට සිදු වී ඇත්තේ එබැවිනි. අප වැනි සංස්කෘතික පසුබිමක් ඇති රටක ඇති-නැති පරතරය අවම කර ගැනීම ඒක පුද්ගල ආදායමට වැඩි කර ගැනුමට වඩා වැදගත් වුවද තීරණ ගන්නා බොහෝ නිලධරයන්ගේ මේ සංස්කෘතික නහරය ඔවුන්ගේ අධ්‍යාපනය මගින් කපා දමා ඇත.


අපේ සෝබනය

අපි අපට උරුම අපගේ හරයන්, සභ්‍යත්ව විඥාණය අත්හැර ගොස් තරගකාරීව පසිඳුරන් පිනවන ආර්ථික ක්‍රමයක් වැළද ගතිමු. ඉන්දියාව හෝ චීනය හෝ මෙන් ජාතික ආර්ථිකයක් ගොඩ නැගෙන තුරු නොඉවසා මෙම කලාපයේ සියල්ලන්ට ප්‍රථම විවෘත ආර්ථිකය වැළද ගතිමු. දැන් අපි අපේ මව්වරුන් විකුණා කන බොන දෑ රටින් ගෙන්නන් කන ජාතියක් වී ඇත්තෙමුය යන්න අතිශයෝක්තියක් නොවන බව තේරුම් ගැනීමට අපගේ ගෙවුම් ශේෂය සකස් වන අයුරු විමසා බැලිය යුතුය. ලෝකේ කොහෙන් හෝ ගෙනෙන භාණ්ඩ මිලදී ගෙන පංචේන්ද්‍රියයන් පිනවීමට පුරුදුවී සිටින අප ද කාගේ හෝ දරුවෙකුට පිහියෙන් අනිමින් සිටින්නෙමුද යන කුකුසකින් තොරව සිත සනසාගත හැකිද? 

සෝබනය සඳහා වැඩියෙන්ම වියදම් කරන ජාතියක් බවට අප පත්ව ඇති බවට අද පවත්වන මංගල සාද වලින් ම  අවබෝධ කර ගත හැකිය. ඒ අධික වියදම දරන්නේ ඇති-හැකි අයම පමණක් නොවන බව අපි සැවොම අත්දැකීමෙන් දනිමු. අද අපේ රටේ බැංකුද මේ සෝබනයටම මුක්කු ගසමින් ඇති ආකාරය ඔවුන් ප්‍රවර්ධනය කරන ණය වර්ග වලින්ම තේරුම් ගත හැකිය. "වෙඩින් ලෝන්" සහ "කාර් ලෝන්" ඔවුනගේ ප්‍රචාරක පත්‍රිකාවල ඉහළින්ම දැකිය හැකි අතර ඔවුන් ආයෝජනය සඳහා ණයක් ලබා දීමට දක්වන්නේ ඉතා ඇල්මැරුනු උනන්දුවකි. කාලයේ බලපෑමට හසුව වෙනස් වුවද අප බොරු සෝබන කාරයන් බවට පත් වී ඇත්තේ සුද්දාගේ කාලයේ පටන්ම බව ධර්මපාලතුමාගේ බොහෝ සටහන්වලින් පැහැඳිළිය. ඒ ඔවදන් එදාටත් වඩා අදට අදාළය. ඇඩම් ස්මිත්ගේ ආර්ථික ක්‍රමවේදයන් ඉගෙන ගන්නා අතරම අප ධර්මපාල තුමාගේ ආර්ථික දර්ශනයද ග්‍රහණය කර ගත යුතුය. සෝබනයට, පුහු ආටෝපයට වියදම් කරන්නන් අවඥාවෙන් යුතුව හෙළා දුටු එතුමා තාක්ෂණික ඥානය අත්පත් කර ගැනීමට අප නිති වෙහෙසිය යුතු බව අවධාරණය කළ අතර ඒ සඳහා ජපානයට යෑමට ශිෂ්‍යත්වයක් සිය පියා ලවා පිළියෙල කෙරෙව්වේය. ඒ බව පළවන සටහන් බොහොමයකින් එකකි 'පරාර්ථය පිණිස හිතැති සත්පුරුෂයන් ඇතිවීම' යන හිසින් යුතුව සිංහල බෞද්ධයා පුවත් පතෙහි පළ කරන ලද ලිපිය.



ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුදු පුතා9/10/2014 12:41 PM

    මටත් හිතෙන්නේ අපේ රටේ මධ්‍යම පාන්තිකයන්ගේ තියෙන්නේ ලොකු "ෂෝ" එකක්. තමන්ගේ තත්වය උළුප්පලා පෙන්වා ගැනීමේ වුවමනාවකින් බොහෝ අය පෙළෙන්නේ ඒ අයත් නොදැනම. මඟුල් සාද වගේම තමාගේ වාහනයත්. වාහනය ප්‍රවාහනයට වඩා තමාගේ තත්වය පෙන්නන්න පාවිච්චි වෙන්නේ, මම දන්න සමහරක් අය ගැන මට පුදුම හිතෙනවා..ඒ අයගේ මනසින් බාගයක්ම වාහනය. ඒක්කෝ ගත්තු වාහනය එක්කෝ ගන්න ඉන්න වාහනය. එක නවකතාවක (මට මතක විදියට පියදාස සිරිසේනගේ) ගෙදර ගෑණු ළමයි ටික අශ්ව කරත්තෙන් ගිහින් නාගෙන ඇවිත් සම්බෝලයි බතුයි වගේ දෙයක් කාලා ඉන්නවා. මේක මේ රටේ සමාජය ගැන් අතිශයෝක්තියක් නෙමේ.

    ReplyDelete
  2. විමලසේන9/11/2014 2:16 PM

    රජරට ගෙවිලියෝ පිටරටට ඇස්‌ ගසති (දිවයින)

    සමන් ගමගේ

    පවතින නියඟය හේතුවෙන් මතුවී ඇති ආර්ථික දුෂ්කරතා හමුවේ රජරට ගෙවිලියන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. මේ වන විට දැඩි ලෙස නියඟයට ගොදුරු වී ඇති හබරණ, පලුගස්‌වැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෛත්‍රීගම, රඹාවැව, පඩිකාරමඩුව, හල්මිල්ලෑව, දෙටුන්නෑව ඇතුළු ග්‍රාම සේවා වසම් දහසයක පමණ ගම්මානවල මෙම තත්ත්වය උද්ගත වී ඇත.

    නියඟය නිසා පසුගිය යල මහ දෙකන්නයේම වගා කටයුතු කිරීමට නොහැකි වීමෙන් ජන ජීවිතය අඩාල වී කුලී වැඩක්‌ පවා සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙම ගම්වාසීන් දැඩි දරිද්‍රතාවට මුහුණ දී සිටින බව පලුගස්‌වැව ප්‍රාදේශීය ලේකම් ඒ. ඩී. ඩබ්ලිව්. කුමාරසිංහ මහතා සඳහන් කළේය.

    මෙම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරා දීමට රජය සහ පෞද්ගලික අංශය මැදිහත් වී විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබෙන බවද හෙතෙම කීය.

    මේ අතර එම ගම්මානවල බොහෝ තරුණියන් වගා පාළුවීමෙන් ඇති වී තිබෙන දුෂ්කරතා නිසා ඇඟලුම් රැකියා සඳහා යොමුවී සිටින බවද එම ප්‍රදේශවල සිදුකළ සංචාරයකදී අපට හමුවූ ග්‍රාම නිලධාරිවරයෙක්‌ සඳහන් කළේය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions