9/17/2014

රාග නිශ්‍රිත නව ප්‍රබන්ධකථා (නවල්) කියවීම ඥානාභිවෘද්ධියට හේතු නොවේ.

කතෘ:යුතුකම     9/17/2014   1 comment

උඩරට සිංහල මහ ධනවතුන් නැතත් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් කුරුඳු, පොල්, පැඟිරි, මිහිරන් යන ද්‍රව්‍ය වෙළඳාම් කිරීමෙන් ස්වල්ප ධනයක් රැස්කරගෙන තිබේ. මේ ධන රැස්රීන්ම් කර ගැනීමට පරදේශික ශාස්ත්‍රාචාරීන් ගෙන් ශිල්ප ශාස්ත්‍රයක් මේ ධනවත්හු උද්ග්‍රහණය නොකොළෝයි. මොවුහූ ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශීන්ගේ බලයෙන් පොල්, කුරුඳු ආදිය වැවීම කොට ධන රැස් කර ගත්තෝය. ඇතැම් සිංහලයෝ මිහිරන් පතල්වලින් ධනවත්හු වී සිටිති. මෙසේ රැස් කළාවූ ධනයෙන් සිංහල ධනවතුන් කරන්නේ කුමක්දැයි විභාග කට යුත්තේය. සිංහලයන්ට අයිති රටෙන් සෛංහල බලයෙන් ධන උපදවාගෙන ස්වදේශාලයෙන් ස්වජාතිය, ආගම, රට වර්ධනය කිරීමට ඒ ධනය වියදම් නොකොට අපේ සිංහල ධනවතුන් පළමු කොට කරන්නේ සුද්දාගේ තොප්පිය හිසට දැමීම, ගෙයක් කරවා එයට සුද්දාගේ රටේ තිබෙන ගමක් නමක් දීම, පුතාට හැමිල්ටන්, ආකිලෙයයස්, ඇල්පින්ස්ටන්, ඩන්කන්, ඔස්බර්න් යන නම් රාශියක් ඒකාබද්ධ කොට පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, දියස්, පීරිස් ආදි පරංගි නම් වලට යා කරගැනීම යනුයි.

ධනවත් එකම සිංහලයකුටවත් ප්‍රඥාව තිබේ නම් දැන් මේ කරන විකාර කරන්නේ නැත. ධනවතාගේ පුතා කරන්නේ කලිසම්, තොප්පි, කෝට්, ටයි, කොලර්, කමිස, සපත්තු ඇඳගෙන කටේ සිගරට් එකක් ගසාගෙන දුම් පිටකරමින් වේගයෙන් දුවන අශ්වයකු රෝද දෙකේ බැඳ කොල්ලුපිටියේ ගෝල්පේස් පාරේ එලවාගෙන යාමයි. ශාස්ත්‍රාදිය කිසිත් නූගත් මවුපිය දෙදෙනා පුරාණ චාරිත්‍රාදිය පැවැත්වූ නමුත් ආකිලෙයස් හැමිල්ටන් මල්කිසෙදෙක් පුත්‍රයා සහ මැටිල්ඩා ග්‍රෙස්ලිලියන් ගර්ටියුඩ් නම් දුව පුරාණ කුලධර්ම ප්‍රතික්ෂේප කොට යුරෝපීය චාරිත්‍රානුකූලව ගමන් කරති. මිරිස්, කරපිංචා කොළ, කොහිල දලු, කුරුම්බා ඇට්ටිවල්ලක් එකතු කරන ලද කූඩයක් නැතහොත් වට්ටියක් මෙන් පිදුරුවලින් කරන ලද හැට් එකක් හිස දමාගෙන රාගනිශ්ශ්‍රිත 'නොවල්' ග්‍රන්ථ කියවන ගවුම් අඳින සිංහල තරුණ ස්ත්‍රීන් ගැන අනුකම්පා කිරීම නොවටීද? ගෝල්පේස් හෝටලයේ පිටිපස්සේ දොරෙන් ඇතුළු වී කළු අප්පුගෙන් විස්කි ග්ලාස් එකක් මිලදී පානය කොට සිංහල ධනවතාගේ පුත්‍රයා අනාර්ය ක්‍රියාවල යෙදෙන්නේය. ඇතැම් සිංහල තරුණ-තරුණියෝ වැඩි ධන වියදම් කොට කාගිල්ස්, වයිට්වේ, ලෙඩ්ලා යනාදී ඉංග්‍රීසි වාණිජයන්ගේ ආපනශාලාවලට පැමිණ ටුවිඩ්, හෝම්ස්පන්, ආදි ඉංග්‍රීසි පිළිවෙළට 'පැෂන්' එකට කලිසම්, කෝට්, ගවුම්, බ්ලවුස් ආදිය මස්සවාගෙන ගෙන අඳිති. බොහෝ ධන වියදම් කිරීමට අකමැති සිංහල තරුණ-තරුණියෝ පිටකොටුවේ කාරල්ලාගේ සාප්පුවට හෝ කුරයියා, පාවයියා, පින්තු, මැලේ යන පරවරුන්ගේ ආපනශාලාවලට හෝ පැමිණ 'ලේටස් පැෂන්' වලට අනුකූලව රෙදිපිළි මිලදීගෙන ඇදීම කරන්නාහ. සිංහල තරුණ එක කොටසක් සුද්දාගේ සාප්පුවට ගොස් සුද්දා කියන ඕනෑම බොරුවක් විශ්වාස කොට අත තිබෙන ධනය වියදම් කොට ගනියි. අනික් කොටස යුරෝපීය ක්‍රිස්තියානින් කරන අධම ක්‍රියා නොකරන පක්කීර් තම්බිගේ සාප්පුවේ තිබෙන තොප්පි ආදිය මිලදී ගෙන තමන්ගේ ධනය අනර්ථයේ වියදම් කර ගනියි.

දෙමළා පවා තමන් අඳීන වස්ත්‍රය ස්වකීය තන්තුවායන් ලවා වියවාගෙන අඳියි. මරක්කලයාද හම්බයාද තමා අඳින සරම වියවාගෙන ඇඳීම කරයි. සිංහලයාට ඒ තරමටවත් කරගැනීමට ඥානයක් නැත. කිසි ශිල්පයක් නොදත් සිංහලයාට වියන්ට පුළුවන් කොහු පැදුරක් හෝ පන් පැදුරක් හෝ පමණ යි. පරදේශික සුද්දා නැති වූ දාට කොහු ලණුවක් ඉනේ බැඳගෙන පැදුරු කෑල්ලක් ඔතා ගැනීමට ගවුම් කලිසම් අඳින ස්ත්‍රී-පුරුෂයනට සිද්ධ වේවි.

මෙලොව නානා ජාති, ගේනා කුල, නානා ගෝත්‍ර දකිනු ලැබේ. විපර්යාස ඥානය, විපර්යාස ගති, විපර්යාස දෘෂ්ටි ඇති මනුෂ්‍ය කොටසක් සිංහලයන් හැර වෙන නැත. මෙතෙක් කල් පහතරට සිංහලයෝ පමණක් මේ විපර්යාසවලට අසුවී සිටියෝය. කලක පටන් උඩරට සිංහලයෝද විපර්යාස දැලේ වැටෙන්ට පටන් ගත්තෝය.

'සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝදයා'

පිටරටින් අප රටට පැමිණෙන පරදේශීන් විසින් මේ දෙපදය සිංහලයන්ට නිග්‍රහ වශයෙන් සජ්ජායනා කරනු ලැබේ. ක්‍රිස්තියානීන්ගේ පල්ලිවල මෙසේ ගීතිකා කියනු ලැබේ.

"where every prospect pleases but only man is vile"

මේ දෙපදයේ තේරුම (ලංකාවේ) සියලු දේ රමණිය යි මනු‍ෂ්‍යයා පමණක් තිරශ්චීනය යනුයි. පරම්පරා කථා, ඉතිහාස කාථා, ධර්ම කථා, පුරාණ සිංහල ග්‍රන්ථවල අන්තර්ගතයි. සුද්දාට දාසකම් කරන සිංහලයෝ මේ කිසිත් නොදැන යුරෝපීය බීම, යුරෝපීය කෑම, වස්ත්‍රාභරණ, යුරෝපීය නාම, යුරෝපීය දුෂ්චරිත ගෙන අනර්ථයට වැටෙති. සිංහළ මඟුලකට අභිනව යුවළට ත්‍යාග යවන්නේ කෘවට් ස්ටාන්ඩ් Cruet Stand, බටර් ඩිෂ් Butter Dish, කේක් බාස්කට් Cake-Basket, බිස්කට් බොක්ස් Biscuit Box, ජෑම් පොට් Jam Pot, ෂුගර් බෝල් Sugar bowl යනාදි සුද්දාට ප්‍රයෝජනවත් ද්‍ර‍ව්‍යයි. ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රවල අසවල් ගෘහ බන්ධනයට අසවල් අය මේ මේ ත්‍යාග එව්වාහු යයි කියා ත්‍යාග වට්ටෝරුව ප්‍රසිද්ධ කරනු ලැබේ. කෘවට් ස්ටාන් එකක් එක ගෘහයකට ප්‍රමණ වන්නේය. එක මඟුලකට කෘවට් ස්ටාන් දහය දොළහ ලැබේ. මේ අන්දමේ ගොන් මෝඩකම කරන අධම අන්ධබාල මනුෂ්‍ය කොටසක් ලොව තවත් ඇත්තේ එකම වර්ගයයි.  එ නම් අප්‍රිකාවේ ක්‍රිස්තියානිය පිළිගෙන සිටින කළු කාබේරි සුළු කොටසයි. යුරෝපීය වත් පිලිවෙත් කරන සිංහල කොටසත් ක්‍රිස්තියානිය පිළිගත් ඒ කාබේරි කොටසත් එක අන්දමටම ක්‍රියා කරයි.

මේ විපර්යාස අත්හැර ආර්ය ජාතික දඹදිව්වාසීන් ගෙන් පැවතෙන සිංහල සහෝදරයනි! ආර්ය චාරිත්‍ර, ආර්ය ඇඳුම්, ආර්ය නාම රැගෙන ශිල්පකර්මාන්ත ඉගෙනගෙන සිංහල ජාතිය ශ්‍රේෂ්ට ජාතියක් කිරීමට වීර්ය කරනු මැනවි. ප්‍රතිපත්ති අන්තර්ධානය වූ කල ශාසනය පවතින්නේ නැත. වත්-පිළිවෙත් පැවැත්වීම නොකරන තැනැත්තා කිසි කලක අභිවෘද්ධියකට නොපැමිණෙන්නේය. වත්-පිළිවෙත්, පරම්පරාගත කුල ධර්ම අනුව නොයන මනුෂ්‍යයා වනචරයෙකි. ඒ ඒ ජාතීන්ට යෝග්‍ය වූ වත්-පිළිවෙත් සහ ප්‍රදේශ ප්‍රඥප්තිද පනවාගැනීම හේතුකොටන්ගෙන ජාති සමගිය පවතින්නේය.

බ්‍රහ්මණයාගේ බ්‍රහ්මණ ධර්මයක් තිබේ. ක්ෂත්‍රියාගේ ක්ෂත්‍රිය ධර්මයක් තිබේ. වෛශ්‍යයාගේ වෛශ්‍යය ධර්මයක් තිබේ. ධර්මයක් නැති ශුද්‍රයා යයි සංඛ්‍යා කර තිබේ. සිංහල තරුණයන් ස්වකීය කුලධර්ම අත්හැර ම්ලේච්ඡ අනාර්ය අපවිත්‍ර ශුද්‍රයන්ට අයිති අනර්ත ධර්මයන් භාවිත කරමින් ටික කලෙකින්ම සිංහල ජාතිය ශුන්‍යය බවට පැමිණෙනවා නිසැකය. සිංහල ස්වල්ප දෙනෙක් ධනවත්ව මහජනකාය හීන භාවයට පැමිණ පරදෙමළුන්ගේ සංඛ්‍යාවට වැටුණොත් අහෝ කොපමණ හානියක්ද? එක විටම ජාතිය නැතිවී යාම වඩා හොඳයි. අනාථව දාස කර්ම කර්මින් අඥානව සිටීම ආර්ය ධර්මයට විරුද්ධයි.

සිංහල ජාතිය අභිවෘද්ධියට පමුණුවා ගැනීමට ගිහි පැවිදි දෙකොටසම සමඟියෙන් සමාදානයෙන් ඒකීය භාවයෙන් ක්‍රියා කට යුතුයි. ශාස්ත්‍රශාලා ශිල්පශාලා විවෘත කොට සිංහල බාලක බාලිකාවන්ට බාල කාලයේ සිට ශිල්ප කර්මාන්ත උද්ග්‍රහණය කට යුතුයි. ජර්මනිය, ඇමරිකාව, දඹදිව, ජපානය, එංගලන්තය, ප්‍රංසය, ඉතාලිය යන රටවලට සිංහල තරුණයන් යවා ශාස්ත්‍ර ශිල්ප ඉගැන්වීමට මාර්ග තැනිය යුතුයි. විපර්යාස ගති අලසකම් අත්හැර ගිහි පැවිදි දෙකොටසම සමඟියෙන් ක්‍රියා  කිරීමට උත්සාහ කට යුතුයි. ධනවත් සිංහල තරුණ මහතුන් විසින් ස්වකීය ධනය අනර්ථයේ වියදම් නොකොට ආර්ය සිංහල ජාතිය දියුණු කිරීමට වියදම් කට යුතුයි. දිවා රාත්‍රී දෙක්හිම සිංහලයන් වීර්ය කළොත් පස් වර්ෂයක් තුළදී සිංහළ ජාතිය දියුණු අඩියකට පමුණුවාගත හැකිය.

ශ්‍රී බුද්ධ වර්ෂ 2455 වප් මස අවතුදුස්වක නම් තිථිය ලත් ශනි දින හෙවත් 1911 ඔක්තෝම්බර් මස 21 වැනි සෙනසුරාදා 'සිංහල බෞද්ධයා' පත්‍රයේ අනගාරික ධර්මපාලතුමා විසින් ලියා පළ කරන ලද ලිපියකි.

 

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. විමලසේන9/17/2014 12:13 PM

    සැබෑම ජාතියේ පියා මෙතුමාය. මෙතුමාගේ හඬ අද, එදාටත් වඩා අවැසි වී ඇත්තේ ඒ බව ඕනාවටත් වඩා පසක් කරවමිනි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com