1/29/2018

ලෝසියස් හොරකම් කළේ ‘සිවිල් සමාජයේ රෙදි ටිකද’?

කතෘ:යුතුකම     1/29/2018   No comments
-ආචාර්ය චරිත හේරත්පසුගිය සති කීපය තුළ මෙරට දේශපාලනයේ සිදුවූ දේවල් අතරින් මගේ සිත් ගත් විශේෂතම එකක් වූයේ මහ බැංකු හොරකම ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව එළියට ඒමත් සමග යහපාලන සිවිල් සමාජ කණ්ඩායමේ අයගෙන් දකින්නට ලැබෙන ප‍්‍රතිචාරයන් සහ හැසිරීම්ය. 2015 ජනාධිපතිවරණය මුල් කරගෙන මෙරට සමාජයේ මතුවූ අලූත්ම තාළයේ සිවිල් සමාජයක් බව මා කියන්නේ ඒ ව්‍යාපාරය පටන් ගත් තාලයේ සිටමය. මෙය අලුත් තාලයේ එකක් යැයි කියන්නේ හේතු කීපයක්ම නිසාය. එක් හේතුවක් වන්නේ මේ කියන සිවිල් සමාජයේ අය තම තමන් විවිධ විවිධ සංවිධාන වගේ පෙන්නූවාට ඉන්නේ (හිටියේ) එකම කණ්ඩායමක බවය. පුරවැසි බලයල යහපාලනය ගැන සෝභිත හිමිගේ ව්‍යාපාරය, නව පරපුර, ව්‍යවස්ථාව සදහා ජාතික ව්‍යාපාරය වැනි විවිධ නම්වලින් පෙනී සිටියාට මේ හැම එකකම හිටියේ එකම කණ්ඩායම 'මිතුරන් අතරේ' තනතුරු ටික මාරු කරගනිමින්ය. උදහරණයක් ලෙසින් ගතහොත් හෙද සංගමයේ ජාතික සංවිධායක, පුරවැසි බලයේ කැදවුම්කරුය, ව්‍යවස්ථා සදහා ව්‍යාපාරයේ උප සභාපතිය, යහපාලන ව්‍යාපාරයේ ලේකම්ය, ආදි වශයෙනි. මේ සිවිල් සමාජ කණ්ඩායම්වල තියෙන අනෙක් විශේෂත්වය වන්නේ මේ හුගක් අය බරපතල දේශපාලන තේරුම් ගැනීමක් සමග සිටින කණ්ඩායමක් නොවීමය. පසුගිය මැතිවරණයේ රාජපක්ෂ පාලනයට එරෙහිව කවුරු හෝ හද දෙන අලංකාරිකයක් ඔහේ කියා දැමීම හරහා මාධ්‍ය අවකාශයේ හැසිරීම හැර බරපතල යමක් මේ අයගේ මේ 2015 චර්යාවේ දකින්නට ලැබෙන්නේම නැත්තේ ඒ නිසාය.

මගේ තේරුම් ගැනීම අනුව නම් මේ බැදුම්කර කොමිසමේ වාර්තාවත් සමග බරපතලම ආකාරයෙන් අර්බුදයට ගියේ රනිල් වික‍්‍රමසිංහ හෝ රවී කරුණානායක නොව මේ කියන සිවිල් සමාජයේ කණ්ඩායමය. ඇලෝසියස් හොරකම් කළේ මහ බැංකුවේ සල්ලි බව සැබෑය. එහෙත් ඒ හරහා ඔහු 'විද්දේ' මම මේ කියන සිවිල් සමාජයේ දේශපාලන වස්ත‍්‍රාභරණ ටිකටය. ඇලෝසියස් මේ ටික කළේ මේ සිවිල් සමාජයේ කාණ්ඩය ‘රාජපක්ෂලාගේ කට්ටිය හොරු- රනිල් නම් මරු’ වගේ දේවල් කියමින් අනෙක් අයගේ රෙදි ඇදිම ප‍්‍රශ්න කරමින් සිටින කාලයක වීම මෙහි ඇති අනෙක් වැදගත් කාරණයය.

කොමිසම් වාර්තාව ගැන වැඩි දුරට කථා කිරීමට පුවත් පත් සාකච්ජාවක් වත් එක යහපාලන සිවිල් සමාජකරුවෙක් වත් තවම තිබ්බේ නැත. තමන් නොදන්න හැම ක්ෂේත‍්‍රයකම විෂයන් ගැන කථා කරන යහපාලන සිවිල් සමාජ නායකයෙකු යැයි කියන 'බස් ගැමුනු' වගේ අයවත් මේ ගැන මොකුත් කියන්නේ නැත. සමහරුන් ඉන්නේ ‘මට ඇහුනේ නැ’ වැනි සෙයියාවෙන්ය. රාවයට කොළම් ලියන (හතර කොළමේ අය නොවේ) අපේ මිත‍්‍ර විද්වතුන් පවා මේ දවස්වල කථා කරන්නේ ‘පොළිස් කොමිසමේ කාර්යභාරය’ වැනි බර මාතෘකා මිස බැදුම් කර කොමිසමට රනිල්ගේ සම්බන්ධතාවය වැනි ‘සරල’ දේවල් ගැන නොවේ. අනෙක් අතට මීට පෙර මුල්‍ය අක‍්‍රමිකතා ගැන හැමදම වගේ ලියන දැනට එජපයට සම්බන්ධ පරන වාමාංෂික සිවිල් සමාජ කරුවන් පවා අද ඉන්නේ ‘අපි ඔව්වට නෑ’ වගේ පෙන්නා ගෙනය.

මේ කණ්ඩායම් අතරින් කීපදෙනෙකු පමණක් තමන්ගේ දේශපාලනයම වෙනස් කරනා බව පෙන්වමින් ජවිපෙට සහාය දිම වැනි ක‍්‍රියාමාර්ග තෝරාගෙන තිබෙන බව දැනටමත් ප‍්‍රසිද්ධය. (එහෙම තෝරාගෙන ඇත්තේ බැදුම්කර වාර්තාව බලා නොව ඊට ටික දවසකට පෙර සිට බවත් සැබෑය). වෙලාවේ හැටියට ඒ වැඩෙත් නරක නැත. සමාජ මාධ්‍යටක කෙනෙක් කියා තිබුනේ ‘කෙළින්ම එජාපයට යනවාට වඩා තරමක් ප‍්‍රගතිශීලි බවක්’ ඒ තෝරා ගැනීම තුළ තියෙන බවය. එහෙත් මේ සමහර සිවිල් නායකයින් ජවිපෙට යන්නේ මේ අමාරු අවස්ථාවේ පරන සිවිල් සමාජ නායකත්වයම කිලිටි නොවී තියාගෙන යන්න ඒ පාරෙන් යන එක හොද යැයි සිතන නිසා බව මගේ තේරුම් ගැනීමය. මෙය හරියට සමාන වන්නේ වාහනයක් පාර්ක් කරන්නට රියගාලක වට කීපයක් රවුම් ගසා කරන්නම දෙයක් නැති තැන අන්තිමට ඉතිරිවී තිබෙන ‘නෝ පාර්කින්’ තැනක හෝ රිය නවත්වන කෙනෙකුගේ තත්වයටය. මේ මහත්වරුන්ට ජවිපෙ හොද වෙන්නේ මේ වෙලාවේ නවත්වන්නට තැනක් නැති නිසාය. තමන්ගේ 2015 ජනවාරි දේශපාලනයේ සුජාතභාවය ඇලොසියස්ලා උස්සලා පොළොවේ ගසන තත්වයක ආන්ඩුවට උදව් කරන ගමන් පරණ රෙජමයට පහර දෙන්නට තමන් ඉන්න තැන ඉදන් නොහැකි නිසාය. මේ ඉඩෙන් යම් ප‍්‍රයෝජනයක් ගැනිමට ජවිපෙට හැකියාවක් ඇතොත් ඒ ගැන මගේ අපුලක් නැත. එහෙත් එවැනි ඉඩක් තිබේ යැයි මා සිතන්නේ නැත.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

1/28/2018

හොරු අල්ලන ව්‍යාජ නාටකය ඉදිරියට දමා අපේ මව්බිම අපට අහිමි කරන ද්‍රෝහී මෙහෙයුම [Video]

කතෘ:යුතුකම     1/28/2018   No comments
ආණ්ඩුව සහ එහි ගැත්තෝ හොරු අල්ලන ව්‍යාජ නාටකය ඉදිරියට දමා , අපේ මව්බිම අපට අහිමි කරන ද්‍රෝහී මෙහෙයුම  යටින් ක්‍රියාත්මක කරමින් තිබෙන අයුරු

- යුතුකම මාධ්‍ය හමුව
2018-01-24 කොළඹදී


ඕමාරේ කාසප නාහිමි




ගෙවිඳු කුමාරතුංග



මොහාන් සමරනායක



නීතීඥ සරත් විජේජිංහ


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ජවිපෙට ගම නොදිය යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     1/28/2018   2 comments

දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණ
අනුර - රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්...

සුපුරුදු ආකාරයටම ඊනියා දූෂණ විරෝධයක් පෙරටු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ. බැඳුම්කර හොරාට රට බිලිදීම සඳහා හැකි සියලු මෙහෙයුම් දියත් කොට දූෂණ විරෝධය ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් තිබිය නොහැකි වුවද, ඔවුන්ගේ භූමිකාව ගැන වැඩිදුරටත් විමසා බැලීම මෙහිදී බෙහෙවින් වැදගත්ය. ඒ මන්දයත් ජවිපෙ දූෂණ විරෝධී වෙස්මුහුණ පිටුපස ඇති රටට එරෙහි දේශපාලනය ඉතා සූක්ෂම එකක් වන නිසාය. එය හඳුනාගැනීමට වැඩි දේශපාලන අවබෝධයක් අවශ්‍ය වන නිසාය. ප්‍රධාන පක්ෂවල විගඩම් තරම් පැහැදිලි ලෙස ජවිපෙ තක්කඩි දේශපාලනය රටට නොපෙනෙයි. මේ නිසාම ඔවුන්ගේ දූෂණ විරොධී වෙස්මුහුණ පිටුපස ඇති සැබෑ මුහුණ කුමක්දැයි වටහා ගත යුතුය. මෙහි ඇත්තේ ඒ සඳහා ඔබ විසින් සිහියට නඟා ගත යුතු මෑත ඉතිහාසයට අදාළ දේශපාලන සිදුවීම් කීපයක් පමණි. පසුගිය ඉතිහාසය පුරාම ජවිපෙ මේ රටට එරෙහිව දියත් කළ දුෂ්ට මෙහෙයුම් සාර්ථක වූයේ නම් අද මේ රට තිබෙනු ඇත්තේ කොතැනද? යන්න අප මේ මැතිවරණයේදී කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.
  • 2008 වසරේදී විමල් ඇතුළු ජාතික මතවාදය නියෝජනය කළ පිරිස් කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීමට එහි ඔත්තුකාර නායකයන්ට හැකිවිය. එය ජවිපෙ නායකයන් එජාපය සමග සහයෝගයෙන් දියත් කළ මෙහෙයුමක් බව එකල එජාප හිතවාදී මාධ්‍යවල හැසිරීමෙන්ද මනාව තහවුරු වූ අතර, මේ ඉවත් වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ මෙරට ජාතික බලවේග නියෝජනය කළ කඳවුරෙන් තීරණාත්මක ලෙස බිඳී ගියේය.
  • 2008න් පසු මේ නායකයන් දිගින් දිගටම ජවිපෙ මෙහෙයවන ලද්දේ එජාපය ප්‍රමුඛ විජාතික බලවේගවල න්‍යායපත්‍රයට අනුවය. එතැන් සිට ජවිපෙ සටන් පාඨ, ක්‍රියාමාර්ග, සතුරන් මිතුරන් සියල්ල උඩු යටිකුරු වූ අතර එහි ජයග්‍රාහී සමයේ ජවිපෙ පරම සතුරන් වූ බොහෝ දෙනා 2008 බිඳීමෙන් පසු ජවිපෙ මිතුරන් බවට පත්විය.
  • යුද්ධය ඉතා තීරණාත්මකව පැවති 2008 වසරේ අග භාගයේ පැවති අයවැය ඡන්ද විමසීමේදී ජවිපෙ එජාපය හා එක්ව ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කළේය. ඔවුන්ගේ දුෂ්ට ප්‍රයත්නය සාර්ථක වූයේ නම් ත්‍රස්තවාදයට එරෙහි සටන මුළුමනින්ම කඩාකප්පල් වනු ඇති අතර එය වලක්වා ගත හැකි වූයේ විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු ඒ වනවිට ජවිපෙන් ඉවත් වී සිටි නිසාය.
  • එතැනින්ද නොනැවතී ජවිපෙ දිගින් දිගටම යුධ ජයග්‍රහණයට එරෙහිව අඛණ්ඩ මෙහෙයුමක් දියත් කළේය. ව්‍යාජ ලෙස යුද්ධය වෙනුවෙන් පෙනී සිටිමින්, යුද මෙහෙයුම් සිදුකරන දේශපාලන නායකත්වය පරාජය කිරීම සඳහා හැකි වෙර යොදා කටයුතු කළ මේ පිරිස, යුධ ජයග්‍රහණයට එරෙහිව විශාල වශයෙන් බොරු ප්‍රචාරද පතුරුවා හරිනු ලැබූහ. 2009 මැයි 18 වැනිදා දක්වාම ජවිපෙ පිළිවෙත වූයේ ආණ්ඩුව යුද්ධය නොකරන බවට බොරු පතුරුවමින් ආණ්ඩුව පරාජය කළ යුතුය යන මතය නොනවත්වා සමාජගත කිරීමය. ඉසුරු ප්‍රසංග විසින් රචිත බිඳුණු වම් අත කෘතියේ මේ කාරණය නිදසුන් සහිතව මනාව පෙන්වා දී තිබේ. ජවිපෙ මේ දුෂ්ට මෙහෙයුම සාර්ථක වූයේ නම්, තවමත් මේ රට එකිනෙකා මරා ගන්නා, තැන තැන බෝම්බ පිපිරෙන කාළකණ්ණි රටක් වනු ඇති බව අප කිසිවිටෙතක් අමතක කළ යුතු නැත.
  • 2010 ජනාධිපතිවරණය වනවිට ජෙනරාල් ෆොන්සේකා නැමති ඊනියා පොදු අපේක්ෂකයෙකුට මුවා වෙමින් එජාපය බලයට ගෙන ඒමේ තක්කඩි මෙහෙයුමට ජවිපෙ සෘජුවම දායක වූහ. ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වතාවට රතු කොඩි සහ කොළ කොඩි සහිත වේදිකා ඉදිවිය. 2015 ජනාධිපතිවරණයේදී වටේ කැරකෙමින් එජාප මෙහෙයුමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ 2010 දී සෘජුවම ඒ වෙනුවෙන් පෙනී සිටි බව අද බොහෝ දෙනාට අමතක වී ඇත.
  • මෙවැනි ද්‍රෝහී ක්‍රියාමාර්ග හරහා ජවිපෙ ජනබලය මෙන්ම අභ්‍යන්තර ශක්තියද දිගින් දිගටම පහත වැටිණි. රටට ආදරය කරන බලවේග ජවිපෙ වෙතින් දුරස් වෙමින්, ඒ වෙනුවට එන්ජීඕ මතධාරී විපරිත කල්ලි කණ්ඩායම් ජවිපෙ වටා රොක් වන්නට වූහ. විශාල සාමාජික පිරිසක් ජවිපෙ හැර ගිය අතර, සිය අතීත අභිමානවත් භූමිකාව වෙනුවට එය ඉතා වේගයෙන් රට ඉදිරියේ නිවට හා විහිළුකාර පක්ෂයක් බවට පත්විය.
  • 2010 මහ මැතිවරණය මේ පරිහානියේ තීරණාත්මක අවස්ථාවකි. එය කොතෙක්ද යත් මේ මැතිවරණයේදී එජාපය හා එක්ව තරග කිරීමට ජවිපෙ විශාල උත්සාහයක් දැරූ බව අද බොහෝ අයට අමතකය. ප්‍රසිද්ධ ප්‍රකාශ පවා නිකුත් කරමින් දියත් කළ මේ ඇඬියාවට එජාපයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලත් තැන, ඔවුන්ගේ පිළිවෙත වූයේ ජෙනරාල් ෆොන්සේකා මුල් කරගත් ව්‍යාජ සන්ධානයක් අටවා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීමය. ඒ ඔස්සේ 2004 දී ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු ආසන තිස්නවය 2010 වනවිට හතර දක්වා පහත වැටිණි. රටේ සැබෑ ජයග්‍රහණවලට එරෙහිව යමින් ඔවුන් ගෙන ගිය ද්‍රෝහී දේශපාලනයේ ප්‍රතිපලය එය වූ අතර ජවිපෙ ඔත්තුකාර නායකයන්ට අවශ්‍ය වූයේද ජවිපෙ එවැනි ඛේදජනක ඉරණමක් කරා ඇදගෙන යාමය.
  • එතැන් සිට මහින්ද විරෝධය ජවිපෙ එකම සටන් පාඨය බවට පත්විය. අධිරාජ්‍යවාදයට, බෙදුම්වාදයට, යටත්විජිතකරණයට එරෙහිව අතීතයේදී සෑම පෙරමුණකම අරඹා තිබූ සියලු සටන් අත හැර දැමූ මේ අමන රැළ එතැනින්ද නොනැවතී එම බලවේගවල සෘජු ආරක්ෂකයෙක් බවටද පත්විය. ජිනීවා මෙහෙයුම් ආදිය හමුවේ ජවිපෙ හැසිරීම සහ එන්ජීඕ සංවිධානවල හැසිරීම අතර වෙනසක් නොවීය. රටේ ජාතික ජයග්‍රහණවලට අදාළ සෑම ප්‍රශ්නයකදීම ඔවුන් කටයුතු කළේ ඒ ආකාරයෙනි.
  • මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ද්‍රෝහී බලවේගවල මෙහෙයවීමෙන් දියත් වූ අසත්‍ය ප්‍රචාර ආදියේ හොඳම ප්‍රකාශකයෙක් වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් තමන් සතු අල්ප බලය එජාපය වෙනුවෙන් උපරිම ලෙස ක්‍රියාවේ යෙදවූහ. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි සාධාරණ විවේචන පමණක් නොව අතිශය අසාධාරණ විවේචන හා ගල් පැලෙන බොරු දිවා රූ පතුරුවමින් කාලයක් තිස්සේ රනිල් බලයට ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දැරූ මේ පිරිස 2015 ජනාධිපතිවරණයේදීද තම උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළහ. රනිල් වික්‍රමසිංහ නැමති අතිශය විනාශකාරී නායකයාට රට ගොදුරු කිරීම සඳහා වැඩිපුරම බොරු ගෙතූ වාමාංශික ගොබෙල්ස් වූයේ අනුර දිසානායකය.
  • අනුර දිසානායකගේ එජාප ගැති පිළිවෙතට විරෝධය පළකරමින් ජවිපෙ හිටපු නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා පවා ජවිපෙ අතහැර යනුයේ මෙවැනි පසුබිමක් තුළය. එයට ජවිපෙ ප්‍රතිචාරය වූයේ සෝමවංශට මානසික රෝගයක් තිබේය යන මතය තම පක්ෂ සාමාජිකයන් අතර පතුරුවා හැරීමය. 
  • යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ජවිපෙ සෑම තීරණාත්මක අවස්ථාවකදීම ආණ්ඩුවේ වැඩපිළිවෙල හා මතවාදය ආරක්ෂා කළේය. රට බේරාගත් රණවිරුවන් බිල්ලට දෙන අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීම වැනි දුෂ්ට ජිනීවා මෙහෙයුම් ආදියේ සිට ආණ්ඩුවේ සෑම පනතකටම ජවිපෙ ජන්ද හය නොමසුරුව පුද කෙරිණි. මහින්දට යගදාවලින් පහර දෙන අතරේ රනිල්ට ඉරටුවලින් පහර දෙමින්, බොරු ආණ්ඩු විරෝධී රංගනයක් පෙන්වුවද ඔවුන්ගේ සැබෑ පිළිවෙත වූයේ එයය.
  • ඒ සියල්ලට වඩා ජවිපෙ කළ ලොකුම පාවාදීම වූයේ රනිල්ගේ විනාශකාරී නව ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය. ත්‍රස්තවාදයට එරෙහිව මේ රට ලබාගත් සියලු ජයග්‍රහණ නැවත පාවාදෙන, ජාතිවාදී පදනමින් රට කෑලිවලට කඩා දමන, අන්ත ජාතිවාදී බෙදුම්වාදී බලවේගවලට කප්පම් දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ යහපැවැත්ම මරණීය අනතුරකට ඇදහෙලන, බෙදී වෙන්වී එකිනෙකා මරාගන්නා රටක් නිර්මාණය කරන මේ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටීම තරම් ද්‍රෝහීකමක් තවත් නැති බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.


    මෙහි ඇත්තේ ජවිපෙ සැබෑ දේශපාලනය කුමක්දැයි වටහා ගැනීමට තුඩු දෙන කාරණා කීපයක් පමණි. අද රණවිරු දඩයමට උඩගෙඩි දෙමින්, අතුරුදන්වූවන්ගේ කාර්යාල පිහිටුවීමට ජන්දය භාවිතා කරමින්, බැඳුම්කර මහ හොරාගේ සූක්ෂම දේශපාලන ආරක්ෂකයා ලෙස කටයුතු කරමින්, එන්ජීඕ කල්ලි හා එකපතේ වළඳමින්, අන්ත ජාතිවාදීන්ගේ පරගැති ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් මේ රට ගෙන යන්නට උත්සාහ දරන්නේ කොතැනටද යන්න සිහිබුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය. අද බොරු දූෂණ විරෝධී මුහුණක් පෙන්වා ඔවුන් ලබා ගන්නා සෑම ඡන්දයක්ම අනාගතයේදී මේ රටට එරෙහි මෙවන් ද්‍රෝහී මෙහෙයුම් සඳහා නොමසුරුව භාවිත වන බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. මේ මැතිවරණයේදී ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඒ නිසාය.

යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

1/25/2018

රනිල් ඉවත් කළ යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     1/25/2018   No comments
පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් එසේ ඉවත් විය යුත්තේ ඇයි යන කාරණාවත් පැහැදිලි කරමින් සමාජ ජාලා වෙබ් අඩවි තුළ බොහෝ අවස්ථාවල ලිපියක් සංසරණය වෙමින් පැවතිණ. එම ලිපියේම සඳහන් පරිදි එය ලියා ඇත්තේ ජනවාරි 8 වෙනි දින යහපාලනයට ඡන්දය දුන් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දැඩි ගෞරවයකින් හා බලාපොරොත්තු සහගත බවකින් යුතුව සිටි පුද්ගලයෙකි. රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් යුතු බවට ඔහු සිදුකරන යෝජනාව මම ද තරයේ එකඟ වන නමුත් ඒ ඊට වඩා බොහෝ වෙනස් හේතුන් මතයි.

ශ්‍රී ලංකාව යනු ආර්ථික වශයෙන් දුර්වල නිසි ඉදිරිගාමී සැලැස්මක් නැතිව ඉබාගාතේ යන රටක් ලෙස පැවතීමට ප්‍රධානම හේතුව කුමක් දැයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්නේ විමසුවහොත් අති බහුතරයක් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලකයින් අමු හොරු වීම බවයි. නමුත් මම සළකන ආකාරයට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වළක්වන ප්‍රධානම බාධකය “දේශපාලනඥයින් හොරු වීම” නොවේ, මේ රටේ ජනතාව විශේෂයෙන් උගත් බුද්ධිමත් යයි කියා ගන්නා ජනතාව දේශපාලන දැනුවත්භාවය අතින් දක්වන අධික දුර්වලතාවයයි. සාක්ෂරතාවයෙන් ඉහළ රටක් යැයි ශ්‍රී ලංකාව සැළකුවද දේශපාලන සවිඥානික බව අතින් ඉතාම දුප්පත්ය. විශේෂයෙන්ම “ඉංග්‍රීසි උගත් බුද්ධිමත් ප්‍රජාව” අතර ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය දුර්වලය. මෙම සමාජමය ගැටළුවේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය මම සළකමි. තමන්ගේ රට මුහුණ දෙන අභියෝග හා තර්ජන, එහි නූතන දේශපාලන ඉතිහාසය හා ඒ ඒ දේශපාලකයින් ශ්‍රී ලංකාවට ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන ජනතාවක් සිටියේ නම් රනිල් වික්‍රමසිංහ වැන්නෙකුට කිසිදා 2015 දී යළි මේ රටේ අග්‍රාමාත්‍යධූරයට පත්විය නොහැකිය. ශ්‍රී ලංකාව රටක් ලෙස එම අනවබෝධයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින අතර අනාගතයටත් විඳිනු ඇත.

රනිල් වික්‍රමසිංහ යනු වසර 40ක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියැළී සිටි පුද්ගලයෙකි. සිව් වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණු කෙනෙකි. නමුත් ඔහු විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් යහපත් දායකත්වයක් සොයා ගැනීමට ඉතා අපහසුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක හා අර්බුදකාරී සිදුවීම් ගණනාවකට ඔහුගේ නම ඈඳී තිබේ. බටලන්ද වධකාගාර පවත්වා ගැනීම, මිලේනියම් සිටි සිද්ධිය හා බැඳුම්කර සිද්ධිය ලෙස ජනාධිපති කොමිසම් තුනකින්ම ඔහුගේ කාර්යභාරය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එය දේශපාලකයෙකු වශයෙන් එතරම් යහපත් වාර්තාවක් නොවේ.

වසර 30ක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්, ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාන්විත දෙකක් සිදුකළ රටක වන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩ ලීමට ඒ ඒ ආණ්ඩු දැඩි ක්‍රියාමාර්ග ගත්තේය. නමුත් වධාකාගාරයක් තුළ නිවෙසක පදිංචිව සිටි බවට සාක්ෂි වලින් තහවුරු කරගත් එකම දේශපාලකයා වන්නේත් රනිල් වික්‍රමසිංහයි. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සිරගත කළ ගෝනවල සුනිල් නැමැත්තා 1981 වසරේ දී ජනාධිපති සමාවක් ලබාගත්තේය. ඒ පිටුපස එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකු සිටි බව බොහෝ දෙනා දන්නා කාරණයකි. පසුව මෙම ගෝනවල සුනිල් නැමැත්තා 83 වසරේ වැලිකඩ දෙමළ සිරකරු ඝාතනය ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ අයෙකු විය. රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ආරක්ෂකයා වූයේ ද මේ ගෝනවල සුනිල් නැමැත්තායි. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සමයේ දී කොළඹ පාසලකට දරුවෙකු ඇතුළත් කරගැනීමට අවශ්‍ය නම් ගෝනවල සුනිල් වෙත යායුතු බව ප්‍රසිද්ධ රහසකි. රනිල් වික්‍රමසිංහගේ එවකට ඡන්ද කොට්ඨාශය වූ බියගම ප්‍රදේශයේ සිට ජනතාව බිය වැද්දූ පාතාල නායකයා ගෝනවල සුනිල්ය. එපමණක් නොව ස්ත්‍රී දූෂණයකට වැරදිකරු වූ මේ පුද්ගලයාට සාමදාන විනිශ්චයකාර පදවියකුත් පිරිනැමුණි. මෙවැනි ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහ යටතේ යහපාලනය අපේක්ෂා කරන උගත් බුද්ධිමත් ජනතාවක් ගැන සිතා ගැනීමටත් අපහසුය.

බටලන්ධ වධකාගාර පවත්වා ගැනීම සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමට අනුව රනිල් වික්‍රමසිංහ එම වධකාගාරය තිබූ භුමියට අයත් නිවසක දින ගණන් රැඳී සිට ඇත. එමෙන්ම ඉහළින් ලැබුණු නියෝග මත ශ්‍රී ලංකා පොලිසියේ ඩග්ලස් පීරිස් යන අය පුද්ගලයින් පැහැරගෙන ගොස් එහි රඳවා වධ බන්ධනයක්ට ලක් කර ඇත. පසුව ජනාධිපති කොමිසමට සාක්ෂි දීමට නොහැකි වන සේ මෙම ඩග්ලස් පීරිස් යන පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පිටමං කෙරිණි. ඉන්පසුව 2000 වසරේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය නැවත ඩග්ලස් පීරිස් ශ්‍රී ලංකාවට ගෙන ආ විට, ඔහු ප්‍රකාශ කළේ තමාට රනිල් වික්‍රමසිංහගෙන් ජීවිත තර්ජන ඇති බවයි. බටලන්ධ වධකාගාරයේ සිටි ඩග්ලස් පීරිස්ගේ සාක්ෂි නැතිවත් ජනාධිපති කොමිසම නිර්දේශ කළේ බටලන්ද වධකාගාර සිදුවීමට අදාළ දේශපාලකයා වන රනිල් වික්‍රමසිංහගේ සිවිල් අයිතිය ඉවත්කළ යුතු බවයි. ඒ අනුව 2001, 2015 යන වසර වල තුන් වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට ජනාධිපති කොමිසමක් විසින්ම නිර්දේශ කළ පුද්ගලයෙකි. නැවතත් රනිල් වික්‍රමසිංහ ලවා යහපාලනයක් උදාකරගැනීමේ උගත් බුද්ධිමතුන්ගේ සිහිනය මුලාවකි.

රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පාලනයට කෙතරම් නොහැකියාවක් දැක්වුවද ඉතා වාසනාවන්ත පුද්ගලයෙකි. 1993 වසරේ කොටි බෝම්බයකින් ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්වූ පසු අගමැතිවරයා ලෙස පත්වූයේ රනිල්ය. එතෙක් ශ්‍රී ලංකා හමුදාව මුහුණ දුන් බරපතලම යුධ පරාජය වන පුනරින් කඳවුරට එල්ල වූ ප්‍රහාරය සිදුවූයේ රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධූර කාලයේ දීය. නැවතත් 1994 දී ජනාධිපතිවරණ රැළියකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ගාමිණි දිසානායක මරු මුවට පත් වූ අතර සුදුසු නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයේ නැති බැවින් රනිල් වික්‍රමසිංහ නායකයා ලෙස පත්විය. එතැන් සිට මේ වන තුරු පක්ෂයේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහයි. ඒ කාලය තුළ අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තුන්වරක් වෙනස් වී ඇත. දිගින් දිගටම මුහුණ දෙන මැතිවරණ පරාජයන් හමුවේ සිය නායකත්වය බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ විවිධ කූඨ උපක්‍රම යෙදුවේය. මොහුගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කිරීම විහිළුවක් නොවන්නේද?

2001 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන රනිල් වික්‍රමසිංහ මැතිවරණ ජයග්‍රහණය ලබාගත් සැණින් සිදුකළේ නෝර්වේ තානාපතිවරයා වූ ජොන් වෙස්ට්බෝග්ට ඇමතුමක් ගැනීමයි. රනිල් ගේ පණිවුඩය වූයේ නෝර්වේ සාම ක්‍රියාදාමය ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි. ඒ වන විට පෙර පැවති චන්ද්‍රිකා රජයේ කදිරගාමර් විදේශ අමාත්‍යවරයා නෝර්වේජියානුවන් පිළිබඳව සැක සංකා සහිත බවකින් සිටියේය. ඔවුන්ගේ තිබුණු කොටි පාක්ෂික බව විශේෂයෙන් සෝල්හයිම් හා බාලසිංහම් අතර සබඳතාවය පිළිබඳව සැක කළේය. රනිල් වික්‍රමසිංහට එය අදාළ වූයේ නැත. ශ්‍රී ලංකාවේ අනෙකුත් පාර්ශවයන් දක්වන අදහස් නොවිමසා බටහිර රටවල තානාපති කාර්යාල වලට රිසිසේ ශ්‍රී ලංකාව පාලනය කරන්නට විය. නෝර්වේජියානුවෝ විසින් බාලසිංහම් සමඟ සකස් කළ සටන් විරාම ගිවිසුමකට පෙබරවාරි 22 වන දින අන්ධයෙකු සේ අත්සන් කළේය. එම ගිවිසුම ශ්‍රී ලංකාවට අහිතකර ද නැතිද යන්නවත් සොයා බැලීමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළේය. හමුදා ප්‍රධානින්ට එම ගිවිසුම පෙන්වූයේ ගිවිසුම අත්සන් කිරීමට පැය 24ක් ඇතුළතයි. ඔවුන්ගේ අදහස් විමසුවේ ද නැත. රටේ නායිකාව දැනුවත් කළේද අවසාන මොහොතේදීය. පෙර දින පාර්ලිමේන්තුවට පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම අත්සන් නොකරන බවයි. නමුත් ඒ සියල්ල අමතක කර පෙබරවාරි 22 වන දින ගිවිසුමට අත්සන් කළේය. ඔහු රටේ නායකයා නොවන නිසාත් ව්‍යවස්ථාවට අනුව එවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ බලයක් ඇත්තේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට වූ නිසාත් එය ව්‍යවස්ථාව උල්ලංඝනයකි. නමුත් අත්සන් කළාට පසුව චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙත ගොස් ගිවිසුම ඇගේ මේසය මතට විසිකර “ඔන්න මම අත්සන් කලා” යැයි කීවේය. ඉන්පසුව එළඹුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් අඳුරු සමයකි.

ශ්‍රී ලංකාව නැවතත් යටත් විජිතයක් වූවා වැනිය. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව අගමැතිවරයාට වගකීමක් නැත. ඔහුට අණ දෙන්නේ නෝර්වේජියානු හෝ වෙනත් බටහිර තානාපති කාර්යාලයකිනි. සටන් විරාම ගිවිසුම යටතේ කොටි සාමාජිකයන් කොළඹට පැමිණියහ. රජයට අයත් උතුරු නැගෙනහිර පෙදෙස් තුළට පැමිණියහ. කොටි ධජය යටතේ කාර්යාල ඇති කරගත්හ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක මර්මස්ථානයක් වූ ත්‍රි මලේ නාවික කඳවුර වටකරමින් කොටි කඳවුරු අළුතින් ඉදිකරන්නට විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොටි සාමාජිකයෝ යුරෝපා සංචාර කරමින් ගමන් මළු පුරවාගෙන කටුනායක ගුවන් තොටුපලින්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ මළු පරීක්ෂා කළේ නැත. රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඔවුන්ට පුදුමාකාර නිදහසක් ලැබුණි. ගුවන් තොටුපලේ VIP පහසුකම් ලැබුණි. එපමණක් නොව එම මළු ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගුවන් හමුදා හෙලිකොප්ටර්ද ලබා දුන්නේය. ඒ පිළිබඳ විවේචන රනිල් සත පහකට මායිම් කළේ නැත. ඒ වෙනුවට සිදුකළේ එසේ විවේචනය කරන පුද්ගලයින් ජාතිවාදීන්, ආයුධ වෙළෙන්දන්ගේ ඒජන්තයින් හා සාම විරෝධීන් ලෙස හංවඩු ගැසීමයි. සිය ක්‍රියා පටිපාටිය නිවැරදි කරගැනීමට කිසි දිනක පියවර ගත්තේ නැත.

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට එරෙහිව සටන් කළ දෙමළ සංවිධාන වල දේශපාලන නියෝජිතයන් එකින් එක කොටි පිස්තෝල කල්ලිය දඩයම් කළේය. රනිල් වික්‍රමසිංහ රජය යටතේ ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය බරපතල ගැටළුවකට මුහුණ දුන්හ. කොළඹට කොටි බෝම්බකරුවන් ඇතුළු වීම පිළිබඳව බුද්ධි අංශ ප්‍රධානීන් හා ආරක්ෂක උපදේශක ලබා දෙන වාර්තා “අසත්‍ය වාර්තා” ලෙස බැහැර කළේය. ලෝකයේ කිසිදු රටක නොවූ විරූ අයුරින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ රැස්වීම් වලට සහභාගී වීමට විදේශිකයෙකුට අවසර ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි කාලයේ දී ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වල සහායෙන් යුතුව යුධ හමුදාව විසින් ප්‍රභාකරන්ගේ පාලන කලාපය තුළ දිගු දුර මෙහෙයුම් වලින් කොටි නායකයින් දඩයම් කිරීමට ආරම්භ කර තිබුණි. ඒ සඳහා පවත්වා ගෙන ගිය ආරක්ෂක නිවෙස්නයක සිටි හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන මාධ්‍ය ගෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රසිද්ධ කළේය. අවසානයේ ප්‍රභාකරන් විනාශ කිරීමට සූදානම් කළ දිගු දුර මෙහෙයුම අත්හැර දැමීමට සිදුවිණි. රනිල් වික්‍රමසිංහ බලයට ඒමට පෙර ප්‍රභාකරන් එක්වතාවක් ආරක්ෂක අංශ බෝම්බ ප්‍රහාරයකින් තුවාල වී තිබුණි. ඒ අනුව බුද්ධි අංශ විසින් රටේ සතුරා ඉලක්ක කරගැනීමේ මෙහෙයුම සාර්ථක අවසානයක් කරා ගෙනයාමට කටයුතු කරමින් සිටියේය. රනිල් එම මෙහෙයුම නැවැත්වූවා පමණක් නොව ඊට සම්බන්ධ බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ද ප්‍රසිද්ධ කළේය. අවසානයේ බුද්ධි අංශ සාමාජිකයන් හා ඔවුන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයින් රැසක් කොටි පිස්තෝල කල්ලියේ ඉලක්ක බවට පත්විය. එය කුප්‍රකට මිලේනියම් සිටි පාවාදීමයි. මේ රනිල් ගේ දෙවසර තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පහළට ගෙනා ආකාරයයි.

එපමණක් නොව ඉතිහාසයේ නොවූ විරු අයුරින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදය ජාත්‍යන්තරකරණය කරමින් නෝර්වේජියානුවන්ට රිසි සේ කොටි සංවිධානයට ජාත්‍යන්තර පිළිගැනීම හා අනුකම්පාව ලබාගැනීමට ඉඩ කඩ ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහගේ අදහස වූයේම රටේ සාම ක්‍රියාදාමය ජාත්‍යන්තරකරණය කළ යුතු බවයි. නෝර්වේජියානුවන්ගේත් කොටි සංවිධානයේත් අදහස වූයේ එයමයි. එම ජාත්‍යන්තරයෙන් ගැලවීමට පසුව පැමිණි ශ්‍රී ලංකා රජයන්ට දැඩි පරිශ්‍රමයක් ගන්නට විය.

2004 වසරේ දී රනිල් වික්‍රමසිංහ නැවත පරාජය විය. බලයට පැමිණ වසර දෙකක පමණ කාලයකින් බලය හැරදා යෑමට ඔහුට සිදුවුණි. නමුත් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට දැවැන්ත හානියක් කිරීමට ඔහු සමත් විය. ඔහුගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේ කදිරගාමර් විදේශ අමාත්‍යවරයායි. ඔහු පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහගෙන් විමසුටේ රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම විදෙස් රටවලට පවරා දී ඇත්දැයි යන්නයි. බලය අහිමි වූ රනිල් වික්‍රමසිංහ, ජනාධිපති පුටුව වෙත ඇස ගසාගෙන සිටියේය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ධූර කාල දෙකම අවසානය. රනිල් වික්‍රමසිංහට අභියෝගයක් වන කෙනෙකු පෙනෙන මානයේ සිටියේ නැත. නමුත් ශ්‍රී ලංකා ජනරජයේ හා එහි වැසියන් එතරම්ම අවාසනාවන්ත නොවීය. රනිල් විසින්ම කිරි පොවා ඇති දැඩි කළ කොටි ත්‍රස්තවාදියා රනිල්ව රැවටුවේය. අවසානයේ රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ නොහැකි යැයි පැවසූ කොටි ත්‍රස්තවාදය වසර දෙකහමාරක් තුළ පරාජය කළේය.

රාජපක්ෂ ජනාධිපති සටන් කළේ ප්‍රභාකරන් සමඟ පමණක් නොවේ. 2005 දී තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුව රාජපක්ෂ රජය පෙරළා දමා නැවත තමා අතට බලය ලබා ගැනීමට රනිල් නොයෙක් වර උත්සාහ ගත්තේය. ශ්‍රී ලංකා රජය කොටි සංවිධානයට එරෙහි යුද්ධය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන විට ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩ කරන බව පවසමින් යුරෝපා සංවිධානයට ගොස් කේළාම් කීවේය. 2007 වසරේ දී ජපන් විශේෂ නියෝජිතයා හමුවී ශ්‍රී ලංකා රජයට ආධාර ලබා දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේය. ජපන් නියෝජිතයා ශ්‍රී ලංකාවේ ජනතාවට එසේ කිරීමට තමාට නොහැකි බව කියා සිටියේය. යුද ජයග්‍රහණ ලබමින් සිටින රජය පෙරළා දැමීමට 2007 අයවැයේ දී උත්සාහ කළේය. යුධ ක්‍රියාන්විතයට අවශ්‍ය ලෙස ආරක්ෂක වියදම් පියවා ගැනීමට ගෙනා අයවැය පරාජය කිරීමට දෙමළ සන්ධානය සමඟ එකතු විය. රාජපක්ෂ රජයේ දක්ෂකමින් එයින් ශ්‍රී ලංකාව ගැලවිණි. මේ 2015 දී නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසයයි. තම පාලන කාලය තුළ කොටි සංවිධානයට ශක්තිමත් වීමට ඉඩ සැලසූ, යුද ජයග්‍රහණයට බාධා කළ, යුධ ජයග්‍රහණය හෑල්ලු කළ අතරම 2015 දී නැවත බලයට පැමිණි පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවත් එම අපරාධකරුවන්ට දඬුවම් කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක් ඇති කරන බවටත් එකඟ වෙමින් යෝජනාවක් සම්මත කරගැනීමට සම අනුග්‍රහය දැක්වූවේය. මේ රනිල්ගේ වර්තමානයයි. රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමුගත යුතුය. ඊට ප්‍රධානම හේතුව සිය දේශපාලන දිවිය පුරා ඔහු විසින් ශ්‍රී ලංකා ජනරජයට හා පුරවැසියන්ට සිදුකළ හානියයි. ඔහුට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙකු වීමේ අවම සුදුසු කමවත් නැත. එනම් ඔහු තුළ ශ්‍රී ලංකාව හෝ එහි ජීවත් වන මිනිසුන් කෙරේ පක්ෂපාතීත්වක් නැත. තම රට කෙරෙහි පක්ෂපාතීත්වයක් නොමැති අයෙකු නායකයෙකු වන්නේ කෙසේද?

එමෙන්ම නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලම ලෙස පාසල් ඉතිහාස පොතටත් රනිල්ගේ නාමය එකතු විය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/14/2018

මුල ඉඳන්ම බැඳුම්කර මඟඩිය යට ගැසුවේ මෙහෙමයි

කතෘ:යුතුකම     1/14/2018   No comments
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය [ විශේෂ හෙළිදරව්ව ]
2018 ජනවාරි 05 දින "අයිලන්ඩ්" පත්තරයේ කතු වැකියේ මෙවැනි දෙයක්‌ සඳහන් විය.
2015 ජුනි මස 30 වන දින අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මුල් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ලිපිගොනුවක්‌ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබුණා. ලිපිගොනුව කියවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ එය අපරාධ නඩුවක ස්‌වභාවය ගෙන තිබූ නිසා, එම ලිපිගොනුවට C/187/161/2015 දරණ ලිපි ගොනු අංකය ඇතුළත් කළා. මෙය සිදුවූයේ එවකට නීතිපති යුවන්ජන් විඡේතිලක මහතාගේ ධුර කාලයේදීය. මෙම ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරයකුගේ අවධානයට ලක්‌ වූ අතර, බැලූ බැල්මට එහි විශාල මුදල් වංචාවක්‌ මේ බැඳුම්කර විකිණීමෙන් සිදුව ඇති බව ඔහුට වැටහුණ නිසාද, එම බැඳුම්කර වංචාවෙන් ඉහත පැහැදිලිව බැලූ බැල්මට අපරාධයක ස්‌වභාවය හෙළිදරව් වන හෙයින් ද, වහාම පරීක්‌ෂා කොට තොරතුරු වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස සටහනක්‌ යොදමින් එය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනියකට යවනු ලැබුවා.

ඩිව් ගුණසේකර මහතාගේ පළමු වැනි කෝප් වාර්තාවෙන් මේසා විශාල මුදල් වංචාවක්‌ සම්බන්ධව කරන එළිදරව්ව සභාගත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා පමණක්‌ නොව ඩිව් ගුණසේකර මහතා නැවත පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පත් නොකිරීමට පත්වූ රජය තීරණය කළා. ඊට පසු, මෙම රජය පිහිටවූ අතර, ඉන්පසු මෙම ලිපි ගොනුවේ ස්‌වභාවය පූර්ණයෙන්ම වෙනස්‌ කරමින්, CF/08/2015 යන අංකයෙන් එය රහස්‍ය ලිපිගොනුවක්‌ ලෙස නම් කොට, නඩුවේ ස්‌වභාවය අපරාධ නඩුවකින් සාමාන්‍ය සිවිල් නඩුවක්‌ බවට පත් කර, යුවන්ජන් විඡේතිලක මහතා සටහනක්‌ යොදා තිබූ අතර, ඉන්පසු එය සිවිල් අංශයේ නීතීඥවරයකු වෙත යවනු ලැබුවා. ඔහු ද ඒ සම්බන්ධව සිවිල් අධිකරණයේ නඩු පැවරීමට මුදල් ලබා ගැනීමට සියල්ල සූදානම් කර තිබුණ ද, පසුව එම නඩු ගොනුවට කුමක්‌ සිදුවුණේ දැයි නොදන්නා බව එම කතු වැකියේ සඳහන් කර තිබුණා.

අද දින මහත් කතාබහට ලක්‌ව තිබෙන බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාවේ අඩංගු කරුණු මොනවාදැයි සාමාන්‍ය මහජනතාව නොදන්නා නමුත්, බැඳුම්කර කොමිසමේ අන්තර්ගතය සම්බන්ධව ජනාධිපතිතුමා කරන ලද ප්‍රකාශය අනුව, මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට මෙය යවා ඇති බව සඳහන් වුණි. එලෙසම අගමැතිතුමා ද, මෙම කොමිසම මාස දහයක්‌ තුළ කර ඇති සේවයට තුති කරමින් එම ගොනුව ප්‍රථමයෙන්ම නීතිපතිවරයාට යවන ලද්දේ ඔහුගේ කාර්යාලයෙන් බව පවසා එහි වාසිය ද, ඔහු ලබාගැනීමට ඉතා ළදරු උත්සාහයක යෙදුනු බව අපට පෙනුණා.

ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ද, අගමැතිවරයා ද, බෝලය නීතිපති දෙපාර්තමේන්තුවට පාස්‌ කොට ඇත්තේ තමන්ගේ ගැලවීමට බව ඒකාබද්ධ විපක්‌ෂය කියා තිබුණි. එසේ නම්, අපට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක්‌ ඉටුවේදැයි සොයා බැලීම, ජනවාරි අටවැනිදා මෙම රජය පිහිටුවීමට ඡන්දය දුන් සැමගේ බලාපොරොත්තුව විය යුතුය. මේ සම්බන්ධයෙන් 'දි අයිලන්ඩ්' පත්‍රය 2017.08.02 දින ද, කතු වැකියක්‌ මගින් මෙම කරුණම ප්‍රකාශ කර තිබුණ ද, ඒ සම්බන්ධයෙන් කිසිවකු සැලකිල්ලට ගත් බවක්‌ පෙනෙන්නට නැත.

මේ පිටුපස සිටින අදිසි දේශපාලනඥයා කවුදැයි සියලු මැදහත් දූෂණ විරෝධී ජනතාව දැනගත යුතුය. එම නිසාම, මෙම ගොනුවට අත්වු ඉරණම ගැන මවිසින් සොයා ගන්නා ලද කරුණු කීපයක්‌ මෙසේය.

ඩිව් ගුණසේකර මහතාගේ කෝප් කමිටු වාර්තාවේ අන්තර්ගත කෙටි සටහනක්‌ ඇතුළු අනෙකුත් සාක්‌ෂි සටහන් වලද, උද්ධෘතයන් සහිත ලිපිගොනුවක්‌ සකසා එය නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්‌ෂ වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නාගහවත්ත මහතා විසිනි. මෙම ලිපිගොනුව පෞද්ගලිකව ඔහු විසින් එවකට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම අපරාධ නඩු මෙහෙයවන ජ්‍යෙෂ්ඨතම නීතිවේදියා වූ ජනාධිපති නීතීඥ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාට භාරදී ඇත. එම ලිපිගොනුවේ ඩිව් ගුණසේකර මහතා ඉදිරියේ දුන් සාක්‌ෂිවල පූර්ණ විස්‌තරයක්‌ ද තිබුණා. එහිදී විශේෂයෙන්ම මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් මේ අන්දමට අධික ලංසුවකට බැඳුම්කර ගැනීමට තීරණය කොට මේසා විශාල පාඩුවක්‌ සිදුවූයේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට ඔහු විසින් ඉතා පැහැදිලි ලෙස කියා තිබුණේ, මේ සියල්ල සිදු කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත බවය. මේ අනුව, ඩිව් ගුණසේකර මහතාගේ කෝප් වාර්තාව නොතිබුණ ද, එහි අඩංගු සියලු කරුණු සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරන ලද සාක්‌ෂි ද, අඩංගුව තිබූ හෙයිනි.

මේ කරුණු හේතුවෙන් ඉතා පැහැදිලිව අගමැතිගෙන් ප්‍රශ්න කිරීමක්‌ කළ යුතුව තිබූ නිසා, මේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි හා සාධාරණ මතයකට එළඹීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨතම නීති නිලධාරිනියකට මෙම ලිපිගොනුව යවා සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඉදිරි විමර්ශන කටයුතු කර ලිපිගොනුව තමා වෙත ඉදිරිපත් කරන ලෙස පියවර ගන්නා ලෙස සටහනක්‌ යොදා මෙම නිලධාරිනියට යවා තිබේ. ඉන්පසු මේ සම්බන්ධයෙන් පියවර ගත්තේ දැයි ඔහුට දැනගත නොහැකි වූ නිසා එය සොයා බැලීමට මොහු විසින් මෙම නිලධාරිනිය කැඳවා ප්‍රශ්න කළවිට එම ලිපි ගොනුව තමා සතුව නැති බවත්, එය නීතිපති යුවන්ජන් විඡේතිලක මහතාගේ කැඳවීම මත ඔහුට යවන ලද බවත්, පවසා තිබුණා. ඊට පසු මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ පැවැත්වීම නොකරන බව ගම්ලත් මහතා දැනගත් නිසා මෙම ලිපිගොනුව සෙවීමට ඔහු මහන්සි ගෙන ඇත. මෙම ලිපිගොනුවේ ඇති අපරාධ ස්‌වභාවය හා මෙම මහා මුදල් වංචාවේ විශාල පරාසය ගැන සුහද ගම්ලත් මහතා ද, පුදුම වී සිටියා. ඔහුගේ අවුරුදු තිස්‌ ගණනකට අධික නීති වෘත්තීය තුළ මෙවැනි විශාල මූල්‍ය වංචාවක්‌ ගැන පරීක්‌ෂණ කර නොමැති බව ඔහුට වැටහුණා. ඒත් මේ ලිපිගොනුව සොයා ගැනීමට නොහැකි වුණා. ඊටපසු, මෙම ලිපිගොනුව සම්පූර්ණයෙන්ම එහි අපරාධ ස්‌වභාවය වෙනස්‌ කරමින් මෙම පරීක්‌ෂණය සම්බන්ධ මූලික කරුණු අනුව මෙය අපරාධ නොව සිවිල් නඩුවක්‌ බවට තීරණය කරමින්, මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ඇති සම්ප්‍රදායන්ටද පටහැනිව රහසිගතව සුහද ගම්ලත් මහතාටද, නොදන්වා නීතිපතිවරයා විසින් මෙහි ස්‌වභාවය වෙනස්‌ කිරීම ගැන සුහද ගම්ලත් මහතා විමතියට පත්වුණා.

ඊට ටික දිනකට පසු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් රන් අකුරින් මුද්‍රණය කරන ලද වටිනා ආරාධනා පත්‍රයක්‌ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යවා ඔවුන්ට මහා බැංකුවේ ඉහළ මාලයක ඇති තරු පහේ භෝජන සංග්‍රහයකට සහභාගි වන ලෙස ආරාධනා කර තිබුණා.

ලබන සතියට

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

DKP හසු වූ රට රැකි විරුවන් දඩයම් කරන පාදඩ මෙහෙයුම...

කතෘ:යුතුකම     1/14/2018   No comments
පොලිසිය කතා ගොතයි හිටපු කොටියා ඇත්ත කියයි

මාස දහයකට ආසන්න කාලයක්‌ නිරපාරදේ රිමාන්ඩ් ගත කර සිටි කොමදෝරු ඩී. පී. කේ. දසනායකට සහ කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුලු නාවික හමුදා විරුවන්ට පසුගියදා ඇප ලැබුණි. යහපාලනයේ ඊලාම්ගැති ප්‍රතිපත්තිය රට ඉදිරියේ තබමින් නාවික හමුදාවේ වීර පිරිස මාස දහයක්‌ පුරා හරිහමන් හේතුවක්‌ නොමැතිව රිමාන්ඩ්ගත වී සිටියේය.

දෙසැම්බර් 4 වෙනිදා සිට 14 වෙනිදා දක්‌වා ලංකාවේ සංචාරයක නියුතු එක්‌සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ නිළධාරීන් මේ පිළිබ`දව විමසා බැලීම සඳහා බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට ගියේය. එපමණක්‌ නොව හමුදා කදවුරු ඇතුලේ පවා ඇවිද්ද නමුත් දසනායක හෝ සුමිත් රණසිංහ බලහත්කාරයෙන් සිරගත කර තිබෙන ආකාරය පිළිබඳව සොයා බලන්නට නොගියේය. දසානායකගේ දියණිය සිය පියාට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම කණ්‌ඩායම හමුවීමට උත්සාහ කළ ද අවම තරමින් ඇය කියන්නට උත්සාහ දරන්නේ කුමක්‌දැයි අසන්නටවත් එක්‌සත් ජාතීන්ගේ එම කණ්‌ඩායමට වුවමනා නොවීය.

2009 මැයි 28 දින තමන්ගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ විසින් පිරිසක්‌ පැහැරගෙන රඳවා තබා කප්පම් ලබාගෙන ඇතැයි යන චෝදනාව පිළිබඳව මුලින්ම පැමිණිල්ලක්‌ සිදුකරන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසිනි. මේ චෝදනාව පිළිබඳ විමර්ශනය ඇරඹෙන්නේ ඊට වසර හතකට පසුවය.

විමර්ශනය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙමින් එදා චෝදනාලාභියා වූ සම්පත් මුණසිංහ වෙනුවට දසනායක සහ සුමිත් රණසිංහ වෙත පුද්ගලයන් එකොළොස්‌ දෙනෙකු රඳවා තබාගෙන කප්පම් ලබාගෙන ඇතැයි යන චෝදනාව එල්ල කරන්නට පොලිසිය ඉදිරිපත් විය. එසේ වෙතත් ඒ සඳහා වන හරිහමන් චෝදනා පත්‍රයක්‌ පොලිසිය අත තිබුණේ නැත. මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදයට එරෙහිව කරන මෙහෙයුම් සම්බන්ධයෙන් කටයුතු කරන බ්‍රිතාන්‍ය ජාතික බෙන් එමර්සන් 2017 ජුලි 14 වැනි දින කොළඹදී මෙම පැහැර ගැනීම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක්‌ කළේය. එනම් යුද සමයේ සිදුවූ පැහැර ගැනීම් 11 ක්‌ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා කමාන්ඩර්වරයකු රජය අත්අඩංගුවට ගෙන ඇති බවය. එමර්සන් ඒ පිළිබඳව තම සතුට ප්‍රකාශ කළේය. එමර්සන් වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේ රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්‌සත් ජාතීන් සතුටු වන නමුත් එම යහපාලන රජයට තව බොහෝ දුරක්‌ යැමට ඇති බවත් ය.

මේ චෝදනාව එල්ල වනුයේ මුහුදු කොටි නායක සුසෙයි ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිය පහරක තරමේවත් හානියක්‌ නොකර ඔවුන්ට අභය දානය ලබා දුන් මිනිසාටය. යුද්ධයේ අවසන් දින කිහිහිපය අතිශය සංකීර්ණ විය. කුඩා බෝට්‌ටු 700 පමණ පැමිණි සිවිල් වැසියන් 13000 ආසන්න ප්‍රමාණයක්‌ නාවික හමුදා ආරක්‍ෂක වළල්ලට ඇතුළු වූහ. මේ පිරිස නිරුපද්‍රිත කිරීමේ වගකීම දැරුවේ දසනායකය. එහෙව් දසනායකට කප්පම් පතා මිනිස්‌ ඝාතන කළා යෑයි චෝදනා එල්ල වී තිබේ. රටක ඇති බරපතළම අපරාධය අපරාධකරුවන් රිසිසේ හැසිරීම නොවේ. අවංක මිනිසුන් ඒ දෙස නිසොල්මනේ බලා සිටීමය. කොමදෝරු දසනායක වැනි විරුවන් දඟගෙට යන විට, ඇති වේදනාව එයය. එක්‌ නාවික හමුදා නිලධාරියෙක්‌ දසනායකට සිරගෙය ප්‍රාර්ථනා කරන්නේ, දසනායකට ලැබීය යුතු ශිෂ්‍යත්ව ඔහුට දිනා ගැනීමටය. කාලය, දේශය ඒ තරමටම නපුරු වී ඇත.

දසනායකට එල්ල වී ඇති චෝදනාව සරල ලෙස ගත් කල මෙසේය.

පොලිස්‌ වාර්තා අනුව මෙම පැහැරගැනීම සිදුවන්නේ වර්ෂ 2008 සැප්තැම්බර් මස 17 දිනය. මෙම සමූහ ඝාතනයේ පළමු සැකකරු මේ වනවිට ඉන්නේ ඇප පිට නිදහස්‌වය. ඔහු එවකට සිටි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන ආරක්‌ෂක නිලධාරියාය. එවකට ලුතිනන් කමාන්ඩර්වරයෙක්‌ වන ප්‍රධාන සැකකරු සම්පත් මුණසිංහ නමැත්තෙකි. ඔහුගේ උපදෙස්‌පිට අලි අන්වර් නමැති ඔත්තුකරුවකුගේ තොරතුරු මත දෙහිවල ප්‍රනාන්දු මාවතේ පිහිටි නිවසකදී රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේෂ්වරම් රාමලිංගම්, මොහොමඩ් තිලාන්, මොහොමඩ් සාජිත් යන අය පැහැර ගෙන තිබිණි. ප්‍රධාන සැකකරුගේ උපදෙස්‌ පිට ඔවුන් පැහැර ගන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් උපයන ත්‍රොaනන් අන්නා නමැති පුද්ගලයෙක්‌ හා සම්බන්ධව ව්‍යාජ ක්‍රෙඩිට්‌කාඩ් ඇසුරින් කොළඹ අවට ප්‍රදේශයේ මුදල් කොල්ලකන බවට ලද තොරතුරු අනුව බව අධිකරණ වාර්තාවල සඳහන් වේ.

මෙසේ පැහැරගත් පුද්ගලයන් කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා මූලස්‌ථානය පිහිටි ස්‌ථානයකට රැගෙන ගොස්‌ ඇත. අනතුරුව 2008 අගෝස්‌තු මාසයේ සිට 2009 මාර්තු මාසය තෙක්‌ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ හා 2009 අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්‌වා ශ්‍රී ලංකා නාවික තාටාකාංගන ආයතනය තුළ හා ශ්‍රී ලංකා නාවික සාගරික විද්‍යා ආයතනය තුළ පිහිටි ගන් සයිඩ් නමැති ස්‌ථානයේ රඳවා තබාගෙන ඇතැයි එම වාර්තා දක්‌වයි. මේ පුද්ගලයන් අතුරුදන් වී ඇත්තේ ඉන් අනතුරුවය. මේ පිළිබඳ සැලවූ පසු නාවික හමුදාව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා පිළිබඳව පරීක්‍ෂා කළ බවත්, එහිදී අතුරුදන් කළ තවත් පුද්ගලයින් පස්‌දෙනකුගේ ජාතික හැඳුනුම්පත් හා වෙනත් සාක්‍ෂි හමුවූ බවත් මේ අනුව අතුරුදන් කර ඇති මුළු පුද්ගලයන් ගණන 11 බවත් නාවික හමුදාව වාර්තා කර තිබුණේය.

මේ පුද්ගල අතුරුදන් වීම සම්බන්ධව මුලින්ම රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ එවකට නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. ඔහු පැමිණිල්ල ගොනු කරන්නේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියාට එරෙහිවය. ඒ වර්ෂ 2009.05.28 දිනය. නාවික හමුදාපතිවරයා ලෙස කරන්නාගොඩ විසින් එම පැමිණිල්ල කරන්නේ කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙතය. පැමිණිල්ල ගොනුකරන විට නාවික හමුදාවෙන් පැන ගොස්‌ සිටි මේ තැනැත්තා රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේය. පුරා වසරක්‌ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස්‌ පොලිසිය විසින් වර්ෂ 2011 මාර්තු මස 30 දා අධිකරණයට වාර්තා කරන්නේ මේ අපරාධයට මෙම සැකකරු සම්බන්ධ බවය.

එහෙත් අධිකරණ ක්‍රියාවලිය වෙනත් මඟක්‌ ගන්නේ තමන් මේ අපරාධයට සම්බන්ධ නැති බවත්, තමන් සමඟ වූ පුද්ගලික ආරවුලක්‌ මත මේ අපරාධයට තමන් පැටලවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී. කේ. පී. දසනායක එක්‌කළ සැළසුමක්‌ බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. ඩී. කේ. ප.දසනායකට චෝදනා එල්ලවන්නේ ඉන් අනතුරුවය.

අධිකරණය හමුවේ ඇති බී වාර්තා අනුව ඔහු සැකකරුවෙක්‌ බවට ඉදිරිපත් වී ඇති චෝදනා තුනකි. එක්‌ චෝදනාවකින් කියෑවෙන්නේ පැහැරගත් පුද්ගලයන් දෙදෙනෙක්‌ පැහැර ගැනීම පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවය. ඒ සම්බන්ධව ඔහු ක්‍රියාත්මක නොවූ බවය. අනෙක්‌ චෝදනාවෙන් කියැවෙන්නේ මේ පැහැර ගැනීම සිදුකළ වකවානුවේ එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නිලධාරීන් දෙදෙනකුගේ ප්‍රධානියා ලෙස කොමදෝරු දසනායක කටයුතු කර ඇති බවය. තුන්වැනි චෝදනාව එල්ලවන්නේ නඩුවේ ප්‍රධාන සැකකරුගෙනි. ඔහු අධිකරණයට කියන්නේ මෙම ඝාතන වැල සිදුවන්නේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී. කේ. පී. දසනායකගේ මෙහෙයවීම යටතේය.

මේ චෝදනා සම්බන්ධව ඩී. කේ. පී. දසනායක විසින් දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් අධිකරණයට කරුණු දක්‌වා තිබේ. සාක්‍ෂි සහිතව ඉදිරිපත් වූ එම දිවුරුම් ප්‍රකාශය ප්‍රකාරව පුද්ගලයන් පැහැර ගැනීම ගැන දැනුවත් කළා යෑයි කියන වකවානුවේ ඔහු ලංකාවේත් සිට නැත. ඒ වනවිට ඔහු සිටින්නේ කොරියාවේ විශේෂ පාඨමාලාවක්‌ හදාරමිනි. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාගේ හා චූදිත නිලධාරීන්ගේ සාක්‍ෂි උපුටා දක්‌වමින් දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු කිසිම විටෙක උක්‌ත නිලධාරීන් දෙදෙනාගේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැත.

එමෙන්ම වර්ෂ 2016 ඔක්‌තෝබර් 05 දින රහස්‌ පොලිසිය හමුවේ සාක්‍ෂි දෙන හිටපු හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දීර්ඝ ප්‍රකාශයක්‌ කරමින් තමන්ට එල්ල වුණ චෝදනා මෙන්ම කොමදෝරු ඩී. කේ. පී දසනායකට එරෙහිව ඇති චෝදනා තර්කානුකූලව ප්‍රතික්‍ෂේප කරයි.

ඩී. කේ. පී. දසනායක දැනට නාවික හමුදාවේ සිටිනා විශිෂ්ටතම නිලධාරීන් අතලොස්‌ස අතරින් කෙනෙකි.

වර්ෂ 1992 වන විට එල්.ටී.ටී.ඊ යට යාපනය සම්බන්ධ කරනා එකම සැපයුම් මාර්ගය පිහිටි කිලාලි කලපුවේ නව අනුඛණ්‌ඩ පිහිටුවා එම මාර්ගය අවහිර කරනු ලැබීම, රිවිරැස මෙහෙයුම ඇරඹී තිබූ වර්ෂ 1995 දී එල්.ටී.ටී.ඊ හමුදා සෙබලුන් 250 ක්‌ සමඟ එල්.ටී.ටී.ඊ බෝට්‌ටු 12 කට කොටු වූ රණගජ නෞකාව මුදා ගැනීමට 486 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, වර්ෂ 1995 - 96 කාල වලදී කොළඹ වරාය ආශ්‍රිත මුහුදු මංකොල්ලකෑම් වැළැක්‌වීම, වර්ෂ 1997 පරාක්‍රමබාහු නෞකාවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාර වළක්‌වා එය බේරා ගැනීමට කටයුතු කළ පී 440 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, එම යාත්‍රාවේම අණ බාර නිලධාරියා ලෙස කොටි වෛද්‍ය අංශ ප්‍රධානී දොස්‌තර ඩෙස්‌ ඇතුළු සිව් දෙනෙක්‌ යාත්‍රාවක්‌ සමඟ අත්අඩංගුවට ගෙන එල්.ටී.ටී.ඊ බෝට්‌ටු විනාශ කිරීම, ඇතුළු ක්‍රියාන්විත ගණනාවක්‌ ඔහුගේ නාවුක හමුදා සංග්‍රාම ජීවිතයේදී දසනායක විසින් සිදුකර තිබිණි. යුද සමයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු කටයුතු කළේය. ඒ අවසන් මහා සටනේ දී මුලතිව් මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරමිනි.

ජනාධිපතිවරයෙක්‌ විසින් ලිතව ප්‍රශංසාවට ලක්‌කළ, දැනට නාවික හමුදාවේ සිටිනා එකම නිලධාරියා දසනායකය. ඒ රෙකමදාරුව ඔහුට ලැබෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. නාවික හමුදාපතිවරුන් සිවුදෙනෙක්‌ යටතේ ප්‍රශංසා ලේඛන 10 ක්‌ ලද නිලධාරියා ඔහුය. හෙතෙම රණවික්‍රම පදක්‌කම් 04 ක්‌ දිනා ගත්තේය. රණ සූර පදක්‌කම් දිනා ගත්තේය. ඩී. කේ. පී. දසනායක එවැනි නිලධාරියෙකි.

හරියාකාර චෝදනා ගොනු කිරීමකින් තොරව, එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් සතුටු කිරීම උදෙසා හෝ ඊළාම්වාදීන්ට තුටු පඬුරු ලබාදීම උදෙසා දසනායක සහ සුමිත් යන වීරයන් දෙදෙනාට කප්පම් චෝදනා එල්ල කර දස මාසයක්‌ සිරගත කර සිටියදී ඔවුන්ට ඇප ලබන්නේ අමුතු ආකාරයටය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකු විසින් අධිකරණයට දන්වා සිටින්නේ, තමන් පොලිසියේ කියමන අනුව අසත්‍ය ප්‍රකාශයක්‌ කළ බවත් ඒ අනුව තමන්ට අධිකරණය හමුවේ විශේෂ සාක්‌ෂියක්‌ ලබා දීමට වුවමනා බවත්ය. සිය සාක්‌ෂියේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික විජයකාන්ත සඳහන් කරන ලද්දේ, රහස්‌ පොලිසිය විසින් තමන්ට සාක්‌ෂි ලබා දිය යුතු ආකාරය කියා දී එය ලියා ගත් බවය.

විජයකාන්තන්ගේ සාක්‌ෂියෙන් පසුව දසානායක සහ සුමිත් රණසිංහ ඇතුළු හයදෙනා තවදුරටත් රිමාන්ඩ් ගත කර තබා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදා විය. පස්‌වැනි හා හයවැනි සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධත්වයක්‌ නොදක්‌වන බව මෙම අවස්‌ථාවේ අධිකරණයට දැනුම් දුන්නේය. එසේම ඩී. කේ. පී. දසනායක හා සුමිත් රණසිංහ ඇතුළු සෙසු සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එකම සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හයදෙනා අතරින් දෙදෙනකුට ඇප ලබාදීමට විරුද්ධත්වයක්‌ දැක්‌වීමත් සෙසු සැකකරුවන් හතර දෙනාට ඇපදීමට විරුද්ධත්වයක්‌ නොදැක්‌වීමත් අධිකරණයට උභතෝටික ප්‍රශ්නයක්‌ වන බව ප්‍රකාශ කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නාවික හමුදා රණවිරුවන් සියලුදෙනාටම ඇප ලබා දුන්නේය.

මනෝඡ් අබයදීර

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook: https://www.facebook.com/yuthukama

1/11/2018

කල් තියා අප දුටු ජන 8 විප්ලවය

කතෘ:යුතුකම     1/11/2018   No comments
‍‍‍# වර්ණ රසිකාගේ ආදරය

ආදරය තරම් කවියට විෂය වන තවත් මාතෘකාවක් නැති තරම්ය. කවි ලියන නොලියන බොහෝ දෙනා ආදරය හමුවේ මොහොතකට හෝ කවියන් බවට පත්වෙති. මේ සුලබ බව, පොදු බව, තරගය හමුවේ සිත කිඳායන පෙම් කවියක් ලිවීම අතිශය බැරෑරුම් අභියෝගයකි. වර්ණ රසිකා යනු මේ අභියෝගය හමුවේ හොඳින් සටන් කිරීමට දන්නා සූක්ෂම ආදරවන්තියකි. ඇය සයිබර් අහසේ නොනවත්වාම කවි ලියයි. එහෙත් එකදු කවි පොතක් හෝ පළ කර නැත. පළ කරන්නට උවමනාවක් ඇති බවක්ද පෙනෙන්නට නැත. ආදරය ගැන බොහෝ කවි ලියූවද තමාගේ කවි ගැන වැඩි ආදරයක් ඇයට නැත. ඒ නිසාදෝ ඇය ඔහේ ලියාගෙන ලියාගෙන යන්නේ කවියේ ඇද පලුදු, කඩතොලු ගැන වැඩි තැකීමක් නැතිවය. ඒ නිසාම තව දුරටත් ඔප නැංවිය හැකි අපූරු කවි, ඇද පලුදු සහිතවම ඔහේ එළියට වීසිවෙයි. ඒ අතර පවා ඉසියුම් නිමැවුම් බහුලය. මා වඩාත් කැමති ආදරය ගැන රසිකා ලියන කවිවලටය. බොහෝ දෙනාට හසු නොවන ප්‍රේමයේ සූක්ෂම ඉසව් ඇගේ කවි ඇසට ගෝචරය.

ආදරේ යනු යන්ට දීමය
ආයෙ ආවොත් ඉන්ට දීමය
යන්ට දුන්නේ ආයේ ඒ යැයි
සිතාගෙනමය
ආයෙ එනකල් බලා ඉන්නෙත්
ඒ නිසාමය

වර්ණ රසිකා යෞවනියක නොවේ. ප්‍රේමයේ පැටිවිය, යොවුන් විය, මැදිවිය ඉක්මවා ගිය වියපත් කාන්තාවකි. වියපත් බව විසින් ඇති කළ උපේක්ෂාව, ජීවිත පරිඥානය මෙන්ම ආදරය හමුවේ වහා වෙනස්වන සුලු මල් වියේ ඉක්මන් හදගැස්මද ඇගේ කවිය මනාව හැඩකරයි. එය බුද්ධියේ සහ හදවතේ අපූර්ව සංකලනයක් වැනිය. වැදගත්ම කාරණය වන්නේ අත් කරගැනීම පමණක් නොව අතහැරීමද ආදරයේ චමත්කාරයට අයත් බව ඇය විශ්වාස කිරීමය. මෙය ආදරයේ නිදහස අන් සියල්ලට ඉහළින් තිබිය යුතු යැයි ව්‍යාජ සටන් පාඨ වර නඟන නොමේරු කවි පැටවුන්ට සහ ඔවුන්ගේ පියවරුන්ට එල්ල කළ කණේ පහරක් වැනිය. දෘෂ්ටිමය වශයෙන් ඔවුන් අභිභවා යා හැකි දේශපාලන පරිණතභාවයක් ඈ තුළ නැතත් ඇගේ ආදර අවිඥානය ඉඳහිට ඔවුන්ගේ ව්‍යාජත්වයට එරෙහිව නැගිටියි. එය ඇයත් නොදැනම සිදුවන්නක් විය හැකි වුවද, ඒ නැගිටීම විටෙක ඇගේ කවියටත් වඩා මිහිරිය.

# කවිය සහ ළදරු වැඩිහිටියා

බුද්ධිය ගැන, තර්කය ගැන, සිහි නුවණ ගැන, බොහෝ දෙනා අභිමානයෙන් කතා කළද මිනිසා යනු හිතන තරම් තර්කානුකූල, සහේතුක හෝ බුද්ධිමය සත්ත්වයෙක් නොවේ. මිනිසාගේ සැබෑ ජීවිතය වැඩි වශයෙන්ම පිරී ඇත්තේ අතාර්කික, අහේතුක දෙයින් බව අමුතුවෙන් නොකිව යුත්තකි. බොළඳ බව යනුවෙන් බොහෝ දෙනා බැහැර කරන දෙයද මේ අතාර්කිකත්වයේම එක්තරා ප්‍රකාශනයකි. බොළඳ බවට එරෙහි වන බොහෝ දෙනා සැබෑ ජීවිතයේදී කොතෙකුත් බොළඳකම් පෙන්වති. කවියට කලාවට බුද්ධිය මෙන්ම මේ බොළඳකමද අත්‍යවශ්‍ය ලෙසම වැදගත්ය.
අප ලෝකය අවලෝකනය කොට එහි මනෝහාරීත්වයෙන් ආලෝලනය වීමේ ගුණය ළමා වියේදී ලබාගනිමු. මේ ගුණය සිය පැසුණු වියේදීද නොසිඳ රැකගත් තැනැත්තා කවියෙක් හෝ ලේඛකයෙක් වෙයි, යනුවෙන් සෝවියට් ලේඛක කොන්ස්තන්තයින් පවුස්තව්ස්කි ලියූ වදන් පෙළක් මෙහිදී මගේ සිහියට නැඟෙයි. කුඩා දරුවෙකු සමග වැලි කෙළින ඉසිවරයා යන අපූර්ව යෙදුමකින් ආරියවංශ රණවීර කවියා හැඳින්වීමට කේ. කේ. සමන් කුමාර උත්සුක වන්නට ඇත්තේද මේ නිසා යැයි සිතමි.

# රාවුල්ගේ සමුගැනීම

කියුබානු ජනාධිපති රාවුල් ක්‍රස්තෝ තව නොබෝ දිනකින් සිය ධුරයෙන් විශ්‍රාම යන බව අසන්නට ලැබිණි. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ මරණය හමුවේ දැනුණු සිත් වේදනාව තරම් නොවෙතත් මේ පුවත මා තුළ ඇති කළේ වචනයට නැංවිය නොහැකි අන්දමේ කුමක්දෝ සන්තාපයකි. ලෝකයේ සියල්ල වෙනස්වන බවත්, පරමාදර්ශ සාපේක්ෂ බවත්, වීරයන් මියැදෙන බවත් හොඳින්ම පසක් කරගෙන සිටින කාලයක වුවද, දුර රටක හිඳින මේ වියපත් නායකයා තවමත් මගේ ඇතුළාන්තයට එල්ල කරන බලපෑම සුළුපටු නැත. කුමන බාධා, අර්බුද, සීමාකම් මැද වුවද සමාජවාදය ඔස්සේ කියුබාව අත්කර ගත් ජයග්‍රහණ අපමණය. මජර පාරිභෝජනවාදයෙන් ගිලන් වී විඳවන ලෝකයට කියුබාවෙන් උගත හැකි පාඩම්ද බොහෝය. ලබාගත් ජයග්‍රහණ උගසට නොදෙමින්, තම සීමාකම් ඉක්මවා යාමේ ගමනකට ප්‍රවේශ වීමට නව නායකත්වයක් යටතේ කියුබාවට හැකි වේ නම් රාවුල්ගේ සමුගැනීම විසින් යුගයක අවසානය සනිටුහන් නොකරන බව නොඅනුමානය.

# එදා මා දුටු ජනවාරි අට

මේ සටහන ලියන අද දිනය ජනවාරි අට වැනිදාය. ජනවාරි අට ආණ්ඩු පෙරළියට අදට හරියටම වසර තුනක් සම්පූර්ණ වෙයි. ඒ ගැන බොහෝ අයට බොහෝ විග්‍රහයන් තිබිය හැකිය. පහත උපුටා දක්වා ඇත්තේ 2015 ජනවාරි අට බල පෙරළිය ගැන එම පෙරළිය සිදුවීමට පෙරාතුව එදා මා ලියූ සටහනකි.
“හොරකම්, නාස්තිය, අයථා ඉපයීම්, විගඩම් නාඩගම්, බලයේ අවභාවිත යෙදවීම්, ආදී රටේ කලක් තිස්සේ ඔඩු දුවා තිබූ හොරි, දද, කුෂ්ඨ මහින්දගේ පාලනය තුළද පැවති බව සැබෑය. යහපාලනය බලයට එනුයේ මේ හොරි, දද, කුෂ්ඨ, තව සිය ගුණයක් විශාල කර පෙන්වා ඒවා සුවකරන බවට තරයේ පොරොන්දු ලබා දෙමිනි. එහෙත් සැබෑවටම එයින් සිදුවනු ඇත්තේ හොරි, දද, කුෂ්ඨ, තව දුරටත් වැඩි කරන අතරේම, රටේ කශේරුවටද පහර දී එයද කඩා බිඳ දැමීමය. දද කුෂ්ඨ පෙන්වා රටේ කොන්ද කැඩීමට සැරසෙන මේ යහපාලන ව්‍යසනය අප විසින් පරාජය කළ යුත්තේ ඒ නිසාය.”
ජනවාරි අට ගැන වැඩිමනත් දෑ මෙහි ලිවීමට ඉඩක් නැත. එදා මා සැකෙවින් සිදුකළ පුරෝකථනය අද වනවිට කොතරම් දුරට නිවැරදි වී ඇද්ද නැද්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමි.

-ඉසුරු ප්‍රසංග - 2018 ජනවාරි 10 බදාදා මව්බිම

කොදෙවු සන්දේශය -

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook: https://www.facebook.com/yuthukama

1/09/2018

මොරගහකන්ද සමුද්‍රය සහ මැජික්

කතෘ:යුතුකම     1/09/2018   No comments
1968 වසරේ මහවැලි සම්පත් සංවර්ධනය පිළිබඳ සිදුකළ කෘෂිකාර්මික ප්‍රබෝධය ඉලක්ක කරගත් ශක්‍යතා අධ්‍යයනයක් මගින් අඹන්ගඟ හරස්කර බෝවතැන්න සහ මොරගහකන්ද ජලාශ ඉදිකිරීමට යෝජනා විය.

අනතුරුව එම මහවැලි මහ සැලැස්ම යථාර්ථයක් බවට පත් පත්කළ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1976 වසරේ දී බෝවතැන්න ජලාශය නිමවා රටට දායාද කළාය. කෙසේ වුවද මොරගහකන්ද ජලාශය තනවා පදවිය ඇතුළු උතුරු මැද ජලයෙන් සුපෝෂිත කිරීමේ මැතිනියගේ සිහිනය 1977 අගේ ආණ්ඩුවේ පරාජයත් සමග බිඳවැටිණි.

77 බලයට පත් එජාප ආණ්ඩුව මහවැලි සැලැස්ම ගොවිතැන නොව ජල විදුලිය ඉලක්ක කළ කඩිනම් ව්‍යාපාරයක් බවට කණපිට පෙරළු අතර කෘෂිකාර්මික සංවර්ධනය අරමුණු කරගත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉන් ඉවත් කෙරිණි. පසුව ඇතැම් අවස්ථාවල මොරගහකන්ද ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන සිදු කළ ද ඒවා බොල් ලේඛනවලට සීමා විය.

කෙසේ වුවද දශක 3ක් කොටි ත්‍රස්තවාදයෙන් බැටකෑ ජාතියේ විමුක්ති සටනට නායකත්වය ලබා දීම භාරගත් මහින්ද රාජපක්ෂ මහතා ඊට සමගාමිව රට නැවත ස්වයංපෝෂිත කිරීමේ සටන ද ආරම්භ කළේය. මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය 2007 ජනවාරි 25 වෙනි දින ආරම්භ වන්නේ ඒ සටනේ ජයස්ථම්භයක් ලෙසය.

දශක හතරක් තිස්සේ පමා වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුමට 2012 ජුනි මස 8 වෙනි දින චීනයේ සිනෝ-හයිඩ්‍රෝ සමාගම සහ ශ්‍රී ලංකා රජය අත්සන් තැබෙන්නේ ඉනික්බිතිවය. ඒ දශක තුනක් ජනාධිපතිවරු හතර දෙනෙක් යටතේ හිඟන්නාගේ තුවාලය බවට පත් ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කොට යන්තම් වසර තුනකිනි.

මේ ව්‍යාපෘතිය යථාර්ථයක් වූ පසු මෙතෙක් නිකරුනේ මුහුදට ගලා යන ජලය ඝන මීටර් දශ ලක්ෂ 818ක් රට සශ්‍රීක කිරීමට යොදාගැනීමට හැකි වන අතර මොරගහකන්ද සමුද්‍රයේ සම්පූර්ණ ජල ධාරිතාව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ජලාශයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

මේ ව්‍යාපෘතිය සඳහා එවකට රුපියල් මිලියන 32800ක් ඇස්තමේන්තු කළ අතර ඒ යටතේ අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82,000 ක් කන්න දෙකේදීම වගා කිරීමට උවමනා ජල පහසුකම් සහ මෙගාවොට්ස් 27 ක විදුලිය උත්පාදනයක්ද අපේක්ෂා කළේය.

මේ අනුව මොරගහකන්ද සමුද්‍රය ද හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ, දක්ෂිණ අධිවේගී මාර්ගය, වරාය නගරය වැනි සිය ගණනක් සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මහින්ද රාජපක්ෂ මේ රටට දායාද කළ තවත් මහා උරුමයක් බවට අටුවා ටීකා අවශ්‍ය නැත.

එහෙත් 2017 දෙසැම්බර් 2 වෙනිදා විදුලිබල උත්පාදනය අත්හදා බැලීම සඳහා දියවර නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා මොරගහකන්ද තනා මැජික් පෙන්නු බව රටට කීවේය. එම කතාව තුළ මොරගහකන්ද සමුද්‍රයේ සැබෑ නිර්මාතෘවරයා වන මහින්ද රාජපක්ෂ ගැන වචනයක් හෝ සඳහන් වූයේ නැත.

මේ මැජික් කතාව අසා සිටින කල අපට සිහිපත් වන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ හීන් සැරය ළමා කතාවය. රාත්‍රී කුණාටු සහිත වැසි නිසා ඇද වැටුණු දැවැන්ත ගස් දෙස උදෑසන විස්මයෙන් බලන ගෝනහාමිට වැටුණු ගසක රිකිල්ලක ලැග සිටි කටුසු හාමි කියන්නේ 'මේවා මගෙයි අලි හාමිගෙයි වැඩ' කියාය. එහෙත් නූතන කටුසුහාමිලා කියන්නේ මේවා තමන්ගේම වැඩ කියාය. කෙසේ වුවද මේ රටේ ජනතාව ගෝන හාමිලා නොවන බව ඒ කටුසු හාමිලා අවබෝධ කරගත යුතුය.

මොරගහකන්ද සමුද්‍රය වර්තමාන පාලකයන්ගේ මැජික් එකක් නම් රුවන්වැලි සෑය ගැමුණු රජුගේ නොව එහි කටයුතු අවසන් කළ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක් යැයි ඉතිහාසය නැවත ලිවිය යුතුය. එහෙත් එය එසේ වන්නේ නැත.

අනෙක් අතට තමන්ට පෙර රජකම් කළ රජවරුන් කරවූ වෙහෙර විහාරවලට වන්දනාවේ ගොස් අසල ගල් පුවරුවක එය තමන්ගේ වැඩක් යැයි උජාරුවෙන් ලියා තැබූ නිශ්ශංකමල්ල රජු ඉතිහාසයේ විකටයකු වූ පරිදිම වර්තමාන නිශ්ශංකමල්ලලාද අනාගත ඉතිහාසයේ විකටයින් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

මහින්ද රාජපක්ෂලා කෙරෙහි වෛරයෙන් ඔවුන් ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති නතර කොට අපේ මාතෘභූමියෙන් පළිගත් පාලකයන්ගේ වියරුවට මොරගහකන්ද සමුද්‍රය ගොදුරු නොවීම පිළිබඳ අප තුළ ඇත්තේ සැනසිල්ලකි. එසේම මාගම්පුර වරාය කොමළියට අත් වූ ඉරණම මොරගහකන්ද සමුද්‍රයට අත් නොවේවා යැයි ප්‍රාර්ථනා කරනු හැර අපට කළ හැකි දෙයක් නැත.
[වියත් මග]


යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions