6/04/2018

ප්‍රභාකරන්, අමනකම් වලට "ස්තුතියි"

කතෘ:යුතුකම     6/04/2018   No comments
ප්‍රභාකරන්, ඔබට ස්තුතියි

2018 වසරේ මැයි 18 වන දිනය උදාවන්නේ 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු වසර 9ක් සම්පූර්ණ කරමිනි. එම වසර 9 තුළ ශ්‍රී ලංකා රාජ්‍යය කටයුතු කළ ආකාරය හා එය ඉදිරිපිට ඇති තර්ජන හා අභියෝග සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගැනීම අවශ්‍ය වේ. නමුත් ඊට ප්‍රථම 2009 යුද ජයග්‍රහණය නැතහොත් දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ ව්‍යාපාරය පරාජය කිරීමේ කටයුත්තට අගනා සේවයක් කළ ප්‍රභාකරන්ගේ මෙහෙය නොසළකා හැරිය නොහැකිය. ශ්‍රී ලංකාවේ නායකයන් හා සාමාන්‍ය ජනතාව කෘර ලෙස ඝාතනය කරමින් රටෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි ප්‍රභාකරන් යන ත්‍රස්තවාදියාට ස්තුති කළ යුත්තේ කුමක් නිසා දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. 2009 මැයි 18 වන දින යුද ජයග්‍රහණය ලැබීමට මුල්වූයේ ආරක්ෂක අංශ සිදුකළ සාර්ථක යුද මෙහෙයුම් හා කැපකිරීම බව සැබෑය. නමුත් ඒ සමඟ එම අඩියට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය නැතහොත් දෙමළ බෙදුම්වාදීන්ගේ වචන වලින් කිවහොත් දෙමළ නිදහස් අරගලය පහතට ඇද දැමීමට ප්‍රභාකරන් සිදුකළ මෙහෙය අප අවබෝධ කරගත යුතුය. ඊට ප්‍රධාන හේතුව මෙම සාධක අවබෝධ කරනොගත හොත් අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් අසරණ තත්ත්වයට පත්විය හැකි නිසාය.

කොටි සංවිධානය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට එළඹෙන්නේ 1972 වසරේ දීය. ඒ වන විට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ නියැළෙමින් ශ්‍රී ලංකාවෙන් වෙනම ඊළමක් ලබා ගැනීමේ සටනේ නියුතුව සිටියේ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පමණක් නොවේ, දෙමළ සටන්කාමී සංවිධාන 30කට වැඩි සංඛ්‍යාවක් දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ නියුතුව සිටියහ. ඒ අතරින් වඩා ප්‍රසිද්ධියට පත්වූයේ TELO, EPRLF, PLOTE, EROS හා LTTE සංවිධානයි. 1982 වන විට මෙම සියළු සංවිධාන, ඉන්දීය ඔත්තු සේවා සංවිධානය වන රෝ සංවිධානය සමඟ සබඳතා ගොඩනගා ගෙන තිබුණි. එපමණක් නොව තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් සමඟ ද සබඳතා ඇති කරගෙන තිබුණි. ඒ ආකාරයට ඉන්දීය මධ්‍යම රජයට සමීප වීමට මෙම දෙමළ බෙදුම්වාදී සංවිධාන සමත්විය. 1983 වන විට තිබුණු තත්ත්වය එයයි. උතුරේ දෙමළ ප්‍රජාව අතරින් එල්ල වන දෙමළ බෙදුම්වාදී අභියෝගය සම්බන්ධයෙන් මුණිවත රැකගෙන සිට එම ගැටළුව උග්‍ර කළ සිරිමාවෝ බණ්ඩාරනායක රජය 1977 වසරේ දී බලයෙන් පහ කෙරෙන විට අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම ඊළමක් සඳහා වූ සටන ආරම්භ කර තිබුණි. 1976 වසරේ වඩුක්කෝඩෙයි යෝජනාව සම්මත කරගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, 1977 මහ මැතිවරණයෙන් ඉහළ ජයක් වාර්තා කළේ “වෙනම දමිළ රටක් දිනාගන්නවා” යන ඉල්ලීම ඉදිරිපත් කරමිනි. ඒ අනුව 1977 වන විට උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන බිහිවී තිබුණා පමණක් නොව දෙමළ දේශපාලන නායකයෝ ඉතා සෘජුව හා විවෘතව වෙනම රටක් සඳහා පෙනී සිටියහ. සාමාන්‍ය දෙමළ ප්‍රජාවගෙන්ද ඒ සඳහා උපරිම සහාය ලැබුණි. 1982 වන විට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව හා ඔවුන්ගේ සහයෝගය ලැබෙන දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ සන්නද්ධ සංවිධාන වෙනම ඊළමක් සඳහා කටයුතු කරමින් සිටියහ. ශ්‍රී ලංකාව බරපතළ බෙදුම්වාදී අභියෝගයකට මුහුණ දී සිටියේ එලෙසය.

නිදහසට පෙර සිටම ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව, දෙමළ සමූහයා තුළට එකතු කරගැනීමට දෙමළ දේශපාලන නායකයෝ තැත් දැරූහ. මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාවගේ මව් භාෂාව දෙමළ වන නිසා දෙමළ පාර්ශවයේම කොටසක් බවට මුස්ලිම් ප්‍රජාව පත් කිරීම ඔවුන්ගේ උපාය විය. කෙසේ වෙතත් මුස්ලිම් නායකයන්ගෙන් ඒ සඳහා සහයෝගය නොලැබිණි. ඔවුහු වෙනම වාර්ගික අනන්‍යතාවයක් සිය ආගම පදනමි කරගෙන ඇති කරගත්හ. සිය මැදපෙරදිග මූලයන්ට වැදගත්කම ලබා දෙමින් දෙමළ වෙනුවට මුවර් යන අනන්‍යතාවය ඔවුහු ඇති කරගත්හ. මෙය දෙමළ බෙදුම්වාදීන්ට හා ඔවුන්ට උපකාර කළ ඉන්දියානු රජයේ කොටස් වලටද ගැටළුවක් විය. කෙසේ වෙතත් ඇතැම් බෙදුම්වාදී සංවිධාන සිය දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට මුස්ලිම් ජනතාවද එකතු කරගැනීමට සමත් විය. ඒ අනුව EPRLF වැනි සංවිධානවල දමිළ මෙන්ම මුස්ලිම් සාමාජිකයන්ද සුළු වශයෙන් දැකිය හැකි විය. එමෙන්ම නැගෙනහිර පළාත දෙමළ බෙදුම්වාදී දේශපාලනයට නතු කරගැනීම සඳහා එහි වෙසෙන මුස්ලිම් ජනයාත් ඊට එකතු කරගැනීම දේශපාලනික වශයෙන් අවශ්‍ය විය. මේ සඳහා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම සන්නද්ධ සංවිධාන කටයුතු කරමින් සිටියහ. ඔවුන්ගේ උත්සාහයන් සඵල වූයේ නම් 1982 වන විට ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළ ගැටළුව තවත් තීව්‍ර වන්නට ඉඩ තිබුණි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව, දෙමළ බෙදුම්වාදයට සෑම විටම පක්ෂපාතී හිතමිතුරෙකු විය. 1982 වසරේ දී ඉන්දීය රෝ සංවිධානය දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන සමඟ සබඳතා ඇති කරගත්තා පමණක් නොව ඉන්දියාවේදී ඔවුන්ට ආයුද පුහුණුවද ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාර ශක්තිමත් ස්ථානයකට ගෙන ආවේ ඔවුන්ය. 1983 වසරේ ජූලි මාසයේ සිදුවූ අවාසනාවන්ත දෙමළ ජන ඝාතනයෙන් පසුව ඊට මුවා වී වඩා විවෘත ලෙස ඉන්දියානුවෝ දෙමළ සන්නද්ධ සංවිධාන වෙත උදව් උපකාර සිදුකරන්නට වූහ. එපමණක් නොව දෙමළ සංවිධාන වලට සහාය පළ කරමින් ශ්‍රී ලංකාව හා ඔවුන් අතර සාකච්ඡා ඇති කිරීමට හා බලපෑම් කිරීමට මැදහත්කරුවෙකු ලෙස ඉන්දියාව කටයුතු කළේය. අවසානයේ උතුරු හා නැගෙනහිර පළාත් එකතු කරමින් වෙනම පාලන ඒකකයක් කොට දෙමළ සන්නද්ධ සංවිධාන වෙත බලය ලබා දීමට ද ඉන්දියාව කටයුතු කළේය. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා රාජ්‍යය පැවතියේ අන්ත අසරණ තත්ත්වයකය. ශ්‍රී ලංකාවේ මුළු මහත් දෙමළ ප්‍රජාවම බෙදුම්වාදයට සහාය දෙන අතරේ දී මුස්ලිම් ජනතාවද ඊට ඇඳා ගනිමින් තිබුණි. එමෙන්ම කලාපයේ බලවතා වූ ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ගැටළුවට බෙදුම්වාදීන් වෙනුවෙන් අත දැමීය. නමුත් මෙම අහිතකර දේශපාලන තත්ත්වය වෙනස් වී පැවති තත්ත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට ඉඩ සැලසුණේ ප්‍රභාකරන් විසින් සිදුකරන ලද දේශපාලන මෝඩකම් හේතුවෙන්ය.

ප්‍රභාකරන් එකින් එක තම සංවිධානයේ හා දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ හිතමිතුරන් නැති කරගත්තේය. ඒ සඳහා ඇති ජනතා සහයෝගය නැති කරදැම්මේය.

1. වෙනත් දෙමළ සංවිධාන වල සාමාජිකයන් සමූල ඝාතනය

ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට ඒමට පෙර සිටම ප්‍රභාකරන් ආරම්භ කළ පියවර වූයේ වෙනත් දමිළ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයන් ඝාතනය කිරීමය. ප්‍රභාකරන් පැවසුවේ ඊළම එකම අරමුණ වන නිසා ඒ සඳහා සංවිධාන කිහිපයක් තිබීම අවශ්‍ය නොවන බවය. කොටි සංවිධානය පමණක් ඒ සඳහා පැවතිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. එම සංවිධාන වල සාමාජිකයන්ට ප්‍රභාකරන් ලබා දුන් නියෝගය වූයේ වහාම සංවිධාන අත්හැර කොටි සංවිධානයට බැඳෙන ලෙසය. නැතහොත් කොටි සංවිධානය ඔවුන් විනාශ කරනු ඇත. මෙම තත්ත්වය මත එකිනෙකා මරා ගන්නා තත්ත්වයට දෙමළ සන්නද්ධ සංවිධාන පත්විය. කොටි සංවිධානය විසින් ටෙලෝ, ඊපීආර්එල්එෆ්, ඊරෝස් යන සංවිධාන වල සාමාජිකයෝ සිය ගණනින් ඝාතනය කරනු ලැබූහ. ඝාතනයට ලක්වුණු ටෙලෝ සංවිධානයේ සාමාජිකයන්ගේ සිරුරු සිය ගණනින් යාපනයේ වීදි පුරා ප්‍රදර්ශනය කරනු ලැබීය. අවසානයේ සිදුවූයේ කොටි සංවිධානයට එරෙහි පිරිසක් දෙමළ ප්‍රජාව තුළම බිහි වීමය. මෙම පිරිසට සිය ජීවිත ආරක්ෂා කරගැනීමට ගත හැකිව තිබූ එකම පියවර වූයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂාව පැතීමය. ඔවුහු පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සමඟ කටයුතු කරමින් කොටි සංවිධානය විනාශ කරදැමීමට සහයෝගය ලබා දුන්හ. ප්‍රභාකරන් ම්ලේච්ඡ ලෙස ඔවුන් ඝාතනය කරවීමට කටයුතු නොකළේ නම් එම තත්ත්වය උදා නොවුනු ඇත.

එමෙන්ම කොටි සංවිධානය විසින් අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන විනාශ කරනු වෙනුවට එම සංවිධාන එකමුතුව ක්‍රියා කිරීමට පෙළඹුණි නම් ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත්වෙනු ඇත. එවිට ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රජය දේශපාලනික ලෙස තව දුරටත් බලවත් වීම වැළැක්විය නොහැකිය.

2. ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ යුද්ධයට එළඹීම හා රජීව් ගාන්ධි ඝාතනය

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට සිටින ස්වාභාවික මිතුරා ඉන්දියාවයි. ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තය සෑම විටම ශ්‍රී ලංකාවේ දමිළයන්ට පක්ෂව ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් සිදුකරනු ඇත. 1980 දශකයේ ඉන්දියානු මැදිහත්වීමට මුල් වූයේද එම තත්ත්වයයි. සිය ස්වාභාවික මිතුරා නැති කරගැනීමට ද අධි මානයෙන් ක්‍රියා කළ ප්‍රභාකරන් කටයුතු කළේය. ඉන්දියාව නිර්මාණය කළ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගොස් ඉන්දීය සාම සාධක හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. ඒ අනුව වසර දෙකක් තුළ ඉන්දියානු සාම සාධක හමුදා සාමාජිකයන් දහසකට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ප්‍රභාකරන් කටයුතු කළේය. යුද්ධය ආරම්භ වූ පසු ඉන්දියානු සාම සාධක හමුදාව හා සාමාන්‍ය දෙමළ ජනතාව අතර පෙර පැවති මිත්‍රශීලි බව තවදුරටත් පැවතියේ නැත. ඒ වෙනුවට ඉන්දියානුවන්ගේ ප්‍රහාර හා තාඩන පීඩන හමුවේ දෙමළ ජනතාව තුළ ඉන්දීය රජය හා හමුදාව කෙරෙහි ඇති වූයේ අවිශ්වාසය, බිය හා කෝපය මිශ්‍රිත හැඟීමකි. ප්‍රභාකරන් විසින් ඉන්දියානු හමුදාවට ප්‍රහාර එල්ල නොකළේ නම් එවන් තත්ත්වයක් ඇති නොවන්නේය. 1983 වසරේදී කොළඹ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උතුරු නැගෙනහිරට පලා ගිය දෙමළ වැසියන් නැවතත් කොළඹට පැමිණියේ තමාට ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ යටතේ ඊට වඩා ආරක්ෂිතව වාසය කළ හැකි යැයි අවබෝධ වූ නිසාය.

13 වන සංශෝධනය තමාට ප්‍රමාණවත් නොවේ යයි තර්ජනය කරමින් ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ යුද්ධයට පිවිසියා පමණක් නොව එය ගෙන ඒමට මුල් වූ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රාජීව් ගාන්ධි චෙන්නයිහිදී ඝාතනය කිරීමට ප්‍රභාකරන් කටයුතු කළේය. මෙම පියවරෙන් තමිල්නාඩුව ඇතුළු මුළු ඉන්දියාවේම කෝපය කොටි සංවිධානය වෙතට යොමු විය. වයිකෝ, නෙදුමාරන් ඇතුළු ප්‍රබල කොටි හිතවාදීන්ටද ඒ වන විට සිදුකළ හැකි කාර්යය සීමා සහිත විය. ප්‍රභාකරන්ගේ මෙම දේශපාලනික වශයෙන් අඥාණික නමුත් අහංකාර ක්‍රියාව හේතුවෙන් ලාංකික දෙමළ දේශපාලනය සතු ප්‍රබලම ස්වාභාවික මිතුරා නැති කරගත්තේය. මෙහි බලපෑම ඉතා හොඳින් පෙන්නුම් වන්නේ දැඩි කොටි හිතවාදියෙකු හා ශ්‍රී ලංකාවට හා සිංහල ප්‍රජාවට එරෙහිව දැඩි මතදාරියෙකු වූ තමිල්නාඩුවේ සුබ්‍රමනියම් ස්වාමි නැමැත්තා රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු දැඩි කොටි විරෝධියෙකු වීමෙනි.

රජීව් ගාන්ධි ඝාතනය එසේ සිදුනොවිණි නම් මේ වන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණි. යුද ජයග්‍රහණයක් ගැන අපට කතා කිරීමට අවකාශය නැති වන්නට ඉඩ තිබුණි.

3. මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාර එල්ල කිරීම හා මුස්ලිම් ජනතාව උතුරින් පලවා හැරීම

දශක ගණනාවක් පුරා මුස්ලිම් ජනතාව, සිය දෙමළ සමූහය තුළට අවශෝෂණය කරගැනීමට දෙමළ දේශපාලන නායකයන් දැරූ ප්‍රයත්නයන් නිශ්ක්‍රීය කරමින් උතුරු නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව වෙතද ප්‍රභාකරන් සිය ප්‍රචණ්ඩත්වය මුදා හැරියේය. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට තාඩන පීඩන සිදුකළේය. 1990 වසරේ දී යාපනයේ වාසය කළ දහස් ගණනක් වූ සමස්ථ මුස්ලිම් ප්‍රජාවම පැය 24ක් තුළ ප්‍රභාකරන් බලහත්කාරයෙන් පිටත් කළේය. ඔවුන් විසින් ජීවිත කාලය පුරා හරි හම්බ කළ දේපලද අත්හැර ප්‍රභාකරන්ගේ ඊළමින් මුස්ලිම් ජනතාව පිටවිය යුතුව තිබුණි. අවසානයේ පුත්තලමට ගොස් උපන් රටේම අවතැන් වූවන් ලෙස ජීවත් වීමට උතුරේ මුස්ලිම් ප්‍රජාවට සිදුවුණි. එයින් නොනැවතුණු ප්‍රභාකරන් සිය සැබෑ ස්වරූපය පෙන්වමින් නැගෙනහිර පළාතේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර එහි සිටි සිය ගණනක් වූ මුස්ලිම් බැතිමතුන් ඝාතනය කළේය. මේ හේතුවෙන් වෙනම ඊළමක් ලබාගැනීමේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට අත්‍යවශ්‍ය සාධකයක් වූ මුස්ලිම් සහයෝගය ප්‍රභාකරන් නැති කරගත්තේය.

4. දෙමළ ළමුන් බලහත්කාරයෙන් බඳවා ගැනීම

දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට 70 දශකයේ සිටම සාමාන්‍ය දෙමළ ජනතාවගේ සහයෝගය ලැබුණි. එම තත්ත්වය 80 දශකය වන විට වර්ධනය වූ අතර 1983 ජූලි කලබල හේතුවෙන් තවත් උග්‍ර විය. 83 කලබල හේතුවෙන් කොළඹින් යාපනයට පිටත් කරනු ලැබූ තරුණ දෙමළ කොටස් නැවතුනේ දෙමළ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයන් බවට පත්වෙමිණි. මුල් කාලයේ දී සියයකටත් අඩු සාමාජිකයන් සංඛ්‍යාවක් සිටි සන්නද්ධ සංවිධාන 83න් පසුව දහස් ගණන් සාමාජිකයන් සිටින සංවිධාන බවට පත්විය. නමුත් 80 දශකය අවසාන වන විට තත්ත්වය වෙනස් විය. සිය සංවිධානයට බැඳෙන සාමාජිකයන් සංඛ්‍යාව අඩුවන විට ප්‍රභාකරන් සිදුකළේ බලහත්කාරයෙන් කුඩා දරුවන් පැහැරගෙන සිය සංවිධානයට යොදා ගැනීමය. සිය දරුවන් පැහැරගෙන යාමට කොටි සාමාජිකයන් කටයුතු කළ බැවින් සාමාන්‍ය දෙමළ ජනතාව තුළ කොටි සංවිධානය කෙරෙහි මුලින් තිබූ ගෞරවය හා පක්ෂපාතීත්වය සෙමින් නැතිවන්නට පටන් ගත්තේය. පසුකාලීනව රජයේ හමුදාවන්හි දිගු දුර මෙහෙයුම් සඳහා සහයෝගය ලබාදීමට පවා දෙමළ ජනතාව පෙළඹුනේ මෙම කෝපය හේතුවෙනි.

එමෙන්ම කුඩා දරුවන් පැහැරගෙන ළමා සොල්දාදුවන් ලෙස යොදාගන්නා බවට චෝදනා එල්ලවීමත් සමඟ කොටි සංවිධානයට විරුද්ධව ජාත්‍යන්තර මතවාදයක් ඇති වීමටද එය ඉවහල් විය. විශේෂයෙන්ම නිදහස් අරගලයක් සිදුකරන ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයා ලෙස තමාව හඳුන්වා ගැනීමට කොටි සංවිධානය උත්සාහ කළද ළමා සොල්දාදු ගැටළුව හේතුවෙන් එම උත්සාහයට වැට බැඳිණි. විශේෂයෙන් කොටි සංවිධානයට එරෙහිව ජාත්‍යන්තරයේ සටන් කළ හිටපු විදේශ අමාත්‍ය කදිරගාමර් මහතා කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා හා ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන ලෝකයටම හෙළි කළේය.

5. හමුදාමය ඉලක්ක වෙනුවට සාමාන්‍ය ජනතාව ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර දිගටම කරගෙන යාම

සන්නද්ධ සංවිධාන යම් දේශපාලන ඉලක්කයක් සාක්ෂාත් කරගැනීමට සන්නද්ධ අරගලයක් සිදුකරන විට රජයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ සිදුකළ පමණික් සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලෝකයේ හංවඩු ගැසෙන්නේ නැත. නමුත් කොටි සංවිධානය හමුදා ඉලක්ක වලට පමණක් සීමා නොවීය. රට පුරා සිංහල මුස්ලිම් භේදයකින් තොරව සිවිල් වැසියන් ඝාතනය කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. සිවිල් වැසියන් ඉලක්ක කරමින් රටපුරා බෝම්බ පිපිරවීම, මායිම් ගම්මාන වලට පැන සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් කොටි සංවිධානය හුදු බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයක් නොව දරුණු අමානුෂික ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බෞතීස්ම වුණි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දකුණේ සිංහල ජනතාව අධිෂ්ඨානශීලී වූයේද මෙම දරුණු ත්‍රස්තවාදය හේතුවෙනි. දකුණේ සාමාන්‍ය ජනතාව ඉලක්ක නොකර හමුදා ඉලක්ක වෙත පමණක් සීමා වූයේ නම් කොටි සංවිධානයට වඩා ඉහළ සහයෝගයක් හා පිළිගැනීමක් ජාත්‍යන්තරය තුළ හා ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකිව තිබුණි. දැඩි අමානුෂික හා කෘර බව හේතුවෙන් කොටි සංවිධානය තමන්ගේ ආයුද බලයෙන් ගොඩනගා ගත් දේශපාලන බලය නැති කරගත්තේය.

නමුත් කොටි සංවිධානය එක් අතකින් ඉතා වාසනාවන්ත සංවිධානයක් විය. ඔවුන්ගේ මෝඩ කම් හේතුවෙන් ඉන්දියානු සහයෝගය නැති කරගත්තද කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින තවත් විදේශීය බලවේගයක් ඇති කරගත්තේය. ඒ නෝර්වේ රාජ්‍යයයි. නෝර්වේ රාජ්‍යය 1998 දී ශ්‍රී ලංකාව හා කොටි සංවිධානය අතර සාම ක්‍රියාදාමයට පහසුකම් සැලසීමේ කාර්යභාරය ආරම්භ කළේ එකම අරමුණක් ඇතිවය. එනම් කොටි සංවිධානයට හිතකර ජාත්‍යන්තර මතවාදයක් ඇති කර ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීම හා අනුකම්පාව ලබා දීමටය. නමුත් එම උත්සාහයද නැවතත් බිඳ වැටුණේ ප්‍රභාකරන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩු නිසාය. නෝර්වේජියානුවන්ගේ උපදෙස් වලට පිටින් ගොස් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළේය. එතැනින් නොනැවතී නෝර්වේ සාම ක්‍රියාදාමය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළු දේ කිරීමට සූදානමින් සිටි රනිල් වික්‍රමසිංහ පරාජය වන සේ 2005 ජනාධිපතිවරණය වර්ජනය කළේය. ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණය උදෙසා ප්‍රභාකරන්ගේ මෙම දේශපාලන අනුවණකම් ද බොහෝ සේ දායක විය. එම අනුවණකම් හඳුනාගැනීමෙන් හා ඉන් සිදුවුණු බලපෑම තේරුම් ගැනීමට තැත් දැරීමෙන් යුද ජයග්‍රහණයේ වටිනාකම හා රජයේ හමුදාවන්ගේ කැපවීමේ වටිනාකම මඳකුදු අඩු නොවේ. නමුත් යුද ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් වශයෙන් ඉදිරියේදී ස්ථාපිත කරගැනීමට මෙම කාරණා හඳුනාගැනීම අත්‍යාවශ්‍යය.

සටහන
අයි.ජයතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/27/2018

වහා මහ මැතිවරණයක් උදෙසා සටන් කරමු - ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     5/27/2018   No comments
අයුක්ති සහගත - ප්‍රජාතත්ත්‍ර විරෝධී - ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවමු !

ජනතා අභිලාෂයන්ට අනුරූප ආණ්ඩුවක් බිහිකිරීමට
වහා මහ මැතිවරණයක් උදෙසා සටන් කරමු
- ගෙවිඳු කුමාරතුංග




යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

5/24/2018

මේක නීති විරෝධී ආණ්ඩුවක් - ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා

කතෘ:යුතුකම     5/24/2018   No comments
"මේක නීති විරෝධී ආණ්ඩුවක්."
රට පාලනය කරන ව්‍යවස්ථාදායක සභාවත් අසාධාරණයි , අයුක්තිසහගතයි
-ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා/

------------------------------------

ජාතික ආණ්ඩුවක් යන්න 19වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති අකාරය අනුව වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යෑම නීති විරෝධී බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.

යුතුකම සංවාද කවය විසින් මැයි 22 දා සංවිධානය කරන ලද "රට අස්ථාවරයි - ජනතාව අසරණයි.විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු " මැයෙන් වූ සම්මන්ත්‍රණයේ මුලසුනේ මුඛ්‍ය දේශනය සිදු කරමින් ඔහු මේ අදහස් පළ කළේය.

ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වා ගනිමින් ජාතික ආණ්ඩුවට අනුරූප වන පරිදි ඇමතිවරු ගනන ආදිය තීරනය කරමින් පවත්වාගෙන යන මේ ආණ්ඩුව නීති විරෝධී බැවින් වහාම මෙය පෙරළා ජනතා අභිලාශයන්ට අනුරූප
ආණ්ඩුවක් බිහි කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම 19 වන සංශෝධනය යටතේ නිර්මාණය කළ ව්‍යවස්ථාදායක සභාවද අයුක්ති සහගත , අසාධාරණ පාලන ව්‍යුහයක් බව පෙන්වා දෙන ජනාධිපති
නීතීඥ  මනෝහරද සිල්වා මහතා ඒ හරහා රටෙන්ම චන්දයෙන් පත් වන විධායක ජනාධිපතිවරයා ඉක්මවා දිස්ත්‍රික්ක දෙකක චන්දයෙන් පත් වන අගමැතිවරයා හා විපක්ෂනායක වරයා විසින් රටේ වැදගත් තීරණ සියල්ලම ගන්නා තත්වයට පත්ව ඇතැයි පෙන්වා දෙයි.

ව්‍යවස්ථාදායක සභාවේ සාතිශය බහුතරය විපක්ෂනායකවරයා හා අගමැතිවරයා විසින් පත් කිරීම හරහා මේ තත්වය නිර්මාණය වී ඇති බවත් වහාම මේ විකෘති
ව්‍යුහය වෙනස් කළ යුතු යැයිද අවධාරණය කලේය.

මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්,

-සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/23/2018

මේ පාපතර ආණ්ඩුව ගෙදර යවමු ! - ඇල්ලේ ගුණවංශ නාහිමි

කතෘ:යුතුකම     5/23/2018   No comments

මේ පාපතර ආණ්ඩුව ගෙදර යවමු !
මව්බිමේ - බුද්ධ චීවරයේ - අපේ කමේ සුවඳ හඳුනන පාලනයක් හදමු !

-ඇල්ලේ ගුණවංශ නාහිමි

මේ පොළවේ සුවඳ නොහඳුනන වත්මන් පාලකයන් විසින් අද වන සිට සියලු අංශයන්ගෙන්ම රට අගාධයට හෙළා අවසන් අතර මේ උවදුරෙන් රට මුදවාගැනීමට සියළු දේශමාමක ජනයා එක්ව පෙරට පැමිණිය යුතුයැයි ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවසූහ.

යුතුකම සංවාද කවය විසින් ඊයේ (22) සංවිධානය කරන ලද "රට අස්ථාවරයි - ජනතාව අසරණයි.විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු " මැයෙන් වූ සම්මන්ත්‍රණයේ මුලසුනේ මුඛ්‍ය දේශනය සිදු කරමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ.

බුද්ධ චීවරය දැරූ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට අවමන් කරමින් , නින්දා කරමින් , සිර ගත කරමින් ආණ්ඩුව ගමන් කරමින් සිටින මේ පාපතර ගමන නොදැක්කා සේ සිටීම හරහා ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් නිදහස් විය නොහැකි බවද උන් වහන්සේ අවධාරණය කළහ.
ගහේ කොළේ වෙලේ පැලේ ඉපනැල්ලේ සුවඳ හඳුනන මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැන් සිටින්නේ ඒ හරයන් කිසිවක් නොහඳුනන කල්ලියක් සමග බැවින් ඔහුටද දැන් මේවායේ අගය නොපෙනෙනවාදැයි උන් වහන්සේ ප්‍රශ්න කළහ.

මේ පාපයන්ගෙන් නිදහස් වීමට ජනාධිපතිවරයා තවමත් ප්‍රමාද නැතැයි පැවසූ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ මේ තිරශ්චීන පාලනය පෙරළා ජාතියට උවමනා පරිදි වැඩකරන පාලකයෙකු පත් කරගැනීමට පෙරට එන්න යැයි
භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටියහ.

ඇල්ලේ ගුණවංශ නාහිමියන් පැවැත්වූ සම්පූර්ණ අනුශාශනාව පහත සබැඳියෙන්.

සටහන : යටියන ප්‍රදීප් කුමාර


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/18/2018

ලංකාවේ විකල්ප උගත්තු දෙවැනි ලෝක යුද්ධ කාලේ රුසියාවේ හිටියා නම් කියන කතා ටිකක්..

කතෘ:යුතුකම     5/18/2018   No comments
> රට ජාතිය වෙනුවෙන් මිනී මරන, අහිංසක ජර්මානුවන්ගේ හිස් මතට බෝම්බ අතාරින ජාතිවාදී රුසියන් රතු හමුදාව...

> තවත් රටක මිනිස්සු තොග පිටින් මරලා ලේවලින් කිරිබත් උයාගෙන කන නරුම රුසියානු අධිපතිවාදය...

> යුගයක රජයන අදහස් කියන්නේ පාලක පන්තියේ අදහස්... ව්‍යාජ සමාජවාදී රතු සලුවක් පොරව ගත්තු අන්ත දූෂිත ඒකාධිපති පාලක පන්තියේ දෘෂ්ටිවාදය තමයි අද දේශප්‍රේමය ඔස්සේ මිනීමරු ජාතිවාදය, යුධවාදය, මිල්ටරිකරණය දක්වා ගමන් කරලා තියෙන්නේ... මාක්ස්.... අල්තුසර්... ලැකාන්... ෆුකෝ... ඩෙරීඩා....

> නාසිවාදියෝ කියන්නේ පීඩිත පන්තියේ අපේම සගයෝ... නාසි තරුණයෝ ආයුධ ගන්න, ගෑස් කාමර හදන්න බලපාපු හේතු තියනවා. ඒ හේතුවලට විසඳුම් නොදී පලය විනාශ කළාට වැඩක් නෑ.

> අපි කරන්න ඕන නාසිවාදය බිහිවුණු ආර්ථික සමාජ මූලයන්ට විසඳුම දෙන එක මිසක් යුද්ධ කරලා ලේ හලන එක නෙමෙයි.

> ස්ටාලින් දන්නේ නැතුවට මාක්ස් පවා ජාතීන්ගේ වෙන් වීමේ අයිතිය පිළිගත්ත බව. ආර්ය ජාතියට ඒ අයිතිය නැද්ද? අපි ආර්යයන්ගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

> යුද්ධ කරලා කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ සමාජ දේශපාලන ගර්භාෂය තුළ එක හිට්ලර් කෙනෙක් මැරුවට තව හිට්ලර්ලා සිය ගාණක් උපදිනවා. මේකට අවශ්‍ය වෙන්නේ දේශපාලන විසඳුමක්.

> මේ යුද්ධෙන් පස්සේ ඇති වෙන්නේ බැරැක්ක සමාජයක්... රටම මිල්ටරිකරණය වෙලා යුධ උන්මාදයෙන් ගිනි කන වැටෙනවා.

> මිනිස්සුන්ට තමන්ගේ සැබෑ සතුරා අඳුන ගන්න බැරි වුණාම බොරු සතුරෙක් ඕන වෙනවා.

> අද ඒකාධිපති ස්ටාලින් කල්ලිය තමන්ගේ නොහැකියාව වහගන්න ෆැසිස්ට්වාදී නාසිවාදී බිල්ලෙක් මවනවා. හිට්ලර් කියන බිල්ලා පෙන්නලා තමයි මේ ඊනියා සමාජවාදී පාලකයෝ තමන්ට එරෙහි සැබෑ පන්ති බලවේග මර්දනය කරන්නේ...

> යුද්ධාතල්වලින් රටම නිර්වින්දනය වෙලා ඉද්දි හාල්, පොල්, කිරිපිටි, බස් ගාස්තු ඉහළ යනවා.

> ජර්මන් සංහාරයෙන් පසු කවි නොලියවෙනු ඇත.

> ස්ටාලින් හිට්ලර්ට සල්ලි දීලයි යුද්ධෙ දිනුවේ. ඒ නිසා ස්ටාලිනුත් නාසිවාදියෙක්.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/16/2018

සල්ලිවලට ගිවිසුම් හරහා රට පාවාදෙන ජාතිභ්‍රෂ්ටයෝ

කතෘ:යුතුකම     5/16/2018   No comments

දූෂණයේ ඇති ප්‍රධානම ගැටලුව දූෂණය නොවේ. දූෂණයේ ඇති ප්‍රධාන ගැටලුව රට පාවා දීමට දූෂණය යොදා ගැනීමයි.

ශ්‍රී ලංකාව සිංගප්පුරුව සමඟ භාණ්ඩ, සේවා, ආයෝජන සහ ආගමන විගමන යන සියලුම ක්ෂේත්‍රයන් ඇතුලත් ඉතා පුලුල් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර ඇත. එසේම නොබෝ දිනකින් ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීමට ද නියමිතය. චීනය සහ තායිලන්තය සමඟද මෙවැනි පුලුල් ආර්ථික ගිවිසුම්වලට එලැබීමට රජය මානබලමින් සිටියි. මේ ගිවිසුම් සඳහා රජය එළඹෙන්නේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නොමැතිවය. විදේශීය වෘත්තිකයන්ට රට තුළට එන්නට ඉඩ සැලසුවද ශ්‍රී ලංකාව තුළ වෘත්තිකයන් ලියාපදිංචියට සහ නියාමනය සඳහා අවශ්‍ය කිසිදු ක්‍රියාමාර්ගයක් ස්ථාපිත නොකරය. එපමණක් නොව මෙම ගිවිසුම් මඟින් රටට වාසිද අවාසිද යන්න සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යනයක්වත් සිදු නොකරය. කොටින්ම මලික් සමරවික්‍රම අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන, කේ. ජේ. වීරසිංහ ඇතුලු වෙළඳ ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීම සඳහා කටයුතු කරන්නේ වළං කඩයකට පැනගත් ගොනුන් රැළක් මෙනි.

රජය මෙලෙස කටයුතු කරන්නේ විදේශීය බලපෑම් මත බව පැහැඳිලිය. මෙලෙස රටට අගතියක් අත්වන පරිදි ක්‍රියා කිරීම සඳහා වුව රජයට කිසියම් පිරිසක් මෙම කාර්යයෙහි යොදවා ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා රජය අනුගමනය කර ඇත්තේ අපූරු ක්‍රියාමාර්ගයකි. මෙම නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා කටයුතු කිරීමට ඒ සඳහා සුදුසුකම් නැති පුද්ගලයන් එක්කර ගන්නා අතරම ඔවුනට මෙම ගිවිසුම් මඟින් වෙනත් පෞද්ගලික වාසි හිමි වීම අමතර සුදුසුකමක් බවට පත්ව තිබේ. එක වර්ගයේ කුරුල්ලන් එක අත්තේ වසන්නාක් මෙන් මේ ක්‍රියාදාමය සඳහා දූෂිතයන් හට දූෂිතයන් එක් වී තිබේ. රුපියල් සත ඉදිරියේ වර්තමාන සහ අනාගත පරපුර පාවා දීමක මේ දූෂිතයන් නියැළෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායෙමේ පුද්ගලයන් වාසි ලබන ආකාරය පැහැදිලි කර ගැනීම මඟින් මෙම අත්තනොමතික ක්‍රියාදාමය ඉදිරියට ඇදගෙන යනා ආකාරය ගැන අදහසක් ලබා ගත හැකිය.

සිය හදිසි අභාවය සිදුවන තෙක්ම එට්කා ගිවිසුමේ සහ චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි. ඔහු එසේ කටයුතු කර ඇත්තේ බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරය. එම බහුජාතික සමාගම විසින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ නිපදවන භාණ්ඩ මෙරටට ආනයනය කර අලෙවි කිරීමය. එවැනි සමාගමක සභාපතිවරයෙක් ආනයනික බදු සහන ලබා දෙන භාණ්ඩ ලැයිස්තුව තීරණය කෙරෙන ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් කිරීම ඉතා පැහැදිලිවම බැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමකි.

 කැලේගමගේ අභාවයෙන් පසුව එම තනතුර සඳහා පත් කළ කේ. ජේ. වීරසිංහ සම්බන්ධ කාරණය වඩාත් ජුගුප්සාජනකය. කේ. ජේ වීරසිංහ මෙම ආර්ථික ගිවිසුම් සඳහා සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Apparel Association Forum - JAAF) උපදේශකයෙකු වශයෙන් "වැටුපක්" ලබාගත්තේය. ඇඟලුම් නිෂ්පාදනය හෝ ඇඟලුම් වෙළඳාම සම්බන්ධයෙන් හෝ ප්‍රවීණයකු නොවූ වීරසිංහ ඊනියා උපදේශකයෙකු ලෙස ඉහළ වැටුපක් එම ආයතනයෙන් ලබාගත්තේ කෙසේද යන්න අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ ඉරණම සමඟ බැදී පවතින්නකි.

Lead Negotiator for Sri Lanka on FTAs
ලංකාවේ ඇගලුම් ඉන්දියාවට අපනයනය කරන විට බදු සහන යටතේ ඉන්දියාව වෙත ලබා දිය හැකි ඇඟලුම් සඳහා කෝටාවක් (සීමාවක්) පවතියි. එට්කා ගිවිසුම තුළ කේ. ජේ. වීරසිංහ එම සීමාව වැඩි කර ගැනීමට විශාල ප්‍රයත්නයක් දරමින් සිටියි. පෙබරවාරි 21 වනදා ඉන්දියාවේ ආරම්භවූ අටවන එට්කා සාකච්ඡා වටය සඳහා ලංකාවේ පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරමින් යයි පවසමින් ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ටියුලි කුරේ නම් පුද්ගලයෙකු පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රයට හොරෙන්ම සහභාගී කරවීය. 

වීරසිංහ කොතෙක් උත්සාහ දැරුවත් මෙම ඇඟලුම් කෝටාව ඉවත් කිරීමට ඉන්දියාව තවම එකඟ වී නොමැති වීම මඟින් සිය කේවල් කිරීමේ බලය උපරිම මට්ටමකට පවත්වා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. වීරසි‍ංහට එය ඉටු කරගැනීමට නම් ඉන්දියවට අවශ්‍ය ඉන්දියානු භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකාවේදී බදු සහන ලබාදීමට සිදුවේ.  ඒ මඟින් සිදු වන්නේ ජනාධිපතිතුමා රැක ගත යුතු යයි පවසන දේශීය නිෂ්පාදකයා විනාශ වීමයි. කේ. ජේ. වීරසිංහ  ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයෙන් ලැබුවේ වැටුපක්ද අල්ලසක්ද යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවේ.

රවී රත්නායක - Bridging the Gap NGO
මෙම සාකච්ඡා කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීම මොහුට ලබාදීම ඉබ්බා දියේ දැමීමකි. මේ පුද්ගලයා අනෙක් රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අලෙවි කිරීම සඳහා උපදෙස් ලබා දෙන අතරම ලංකාවේ වෙළඳ ගිවිසුම් සකස් කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටුකරන්නේ කෙසේද? 

 පිටරටවල වුවමනාවලට සේවය කරමින් වැටුප් ලබන අතරම ඒ රටවලව අවශ්‍ය පරිදි මෙරට තුළ වැඩ කරනවාට දෙනවාට අපේ බදු මුදලින්ද මේ දූෂිතයෝ වැටුපක් ලබති. ඔහු වෙනත් රටවලින් උපදේශනය සඳහා යයි කියමින් ලබාගන්නේ ශ්‍රී ලංකාව, අනෙක් රටවල භාණ්ඩ සඳහා වෙළදපලක් බවට පත් කර දීම සඳහා වන අල්ලසක් නොවේද?

අරිත වික්‍රමනායක - නිත්‍යා පාට්නර්ස්
ආචාර්ය අරිත වික්‍රමනායකට මෙම ආර්ථික ගිවිසුම්වල නීතිමය සැකැස්ම සහ ආයෝජන පිළිබඳව වගකීම පවරා ඇත. ඔහුට අයත් නිත්‍යා පාට්නර්ස් නම් සමාගමක් වෙයි. එහි කාර්යය වන්නේ ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන පිළිබඳ නීති උපදෙස් සැපයීමයි. නීතිපති දෙපාර්තුමේන්තුව තුළ සේවය කරන තම පුත්‍රයාගේ සහ තවත් ඥාතියකුගේ දායකත්වය මෙම ආර්ථික ගිවිසුම් වල නීතිමය සැකැස්ම සකස්කිරීම සඳහා ඔහු විසින් ලබා ගෙන ඇත. මෙම ආර්ථික ගිවිසුම් නිසා ඇතිවන නීතිමය ගැටලු නිසා නිත්‍යා පාට්නර්ස් හි සේවා දායකයන් ප්‍රමාණය සහ එම සමාගමේ ආදායම අනිවාර්යයෙන් ඉහළ යනු ඇත. මෙම ගිවිසුම් මඟින් ගැටලු වැඩිපුර උද්ගතවන තරමට අරිත වික්‍රමනායකට වාසිය.

මේ මඟින් පැහැදිලි වන්නේ රුපියල් සත ඉදිරියේ මවුබිම පාවාදෙන අමනයන් කිහිප දෙනෙකු නිසා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවකට වන්දි ගෙවන්නට සිදුවන බව නොවේද? රජය මේ දූෂිතයන් මේ කාර්යය සඳහා යොදා ගන්නේ මේ දුර්ධාන්ත කර්තව්‍යය සිදු කරවා ගැනීමට ඇති හොඳම දේ මේ සඳහා මෙවැනි දූෂිතයන් පිරිසක් යොදවා ගැනීම බව යහපාලන රජය ඉතා නැවැරදිව අවබෝධ කරගෙන ඇති නිසා බවට සැකයක් නැත. 

-ලසන්ත වික්‍රමසිංහ

5/10/2018

රුපියල බාල්දු වීම හා තෙල් මිල

කතෘ:යුතුකම     5/10/2018   No comments
-ආචාර්ය නාලක ගොඩහේවා-
පසුගිය වසර 3 පුරාවට රජයට ජනතාවට දුන් සහනයක් ගැන කතා කරන්නට තිබුනානම් ඒ 2015 දී වත්මන් ආණ්ඩුව විසින් තෙල් මිල පහත හෙලීමය. එසේ කරන්නට හැකි වූයේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල විශාල වශයෙන් අඩුවූ නිසාය.

නමුත් අද සිට යලිත් ලංකාව තුල තෙල් මිල ඉහල ගොස් ඇත. රජය පවසන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගිය නිසා ලංකාව තුලද තෙල් මිල ඉහල දැමීමට සිදුව ඇති බවයි.

නමුත් මේ තර්කය සම්පූර්ණයෙන්ම නිවැරදි නැත. මන්ද තවමත් ලංකාව තුල තෙල් මිල ඉහල දැමීමට අවශ්‍ය වන තරමට ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගොස් නැති නිසාය.

පසුගිය කාලයේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල විශාල වශයෙන් අඩුවූ විට ලංකා තුල තෙල් මිල අඩුකිරීමද රජය කලේ මහජනතාවට දිය යුතු වාසියෙන් කොටසක් රජය තබාගෙන බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැක.

2009 -2014 කාලය පසුගිය අඩ සියවස තුල ලෝකයේ තෙල් මිල ඉහලම අගයක තිබූ කාලයයි. මේ කාලයේ බොර තෙල් බැරලයක් ලෝක වෙළඳ පොලේ අලවි වූයේ ඇමෙරිකානු ඩොලර් 110ක පමන අගයකටය.

නමුත් 2014 අගෝස්තු සිට තෙල් මිල ක්‍රමයෙන් පහලට එන්නට පටන් ගත් අතර එවකට පැවති රජය ඒ අනුව ලංකාව තුල තෙල් මිල පහත දැමීමට කටයුතු කලේය.

උදාහරණයක් ලෙස ලෝක වෙළඳ පොලේ බොර තෙල් බැරලය ඩොලර් 110 සිට 90 ට අඩුවූ විට පසුගිය රජය ලංකාව තුල පෙට්‍රල් ලීටරය රුපියල් 167 සිට 157 ට අඩු කලේය

බොර තෙල් බැරලය ඩොලර් 90 සිට ඩොලර් 70 ට අඩුවූ විට පසුගිය රජය පෙට්‍රල් ලීටරය රුපියල් 157 සිට 150 ට අඩු කලේය

2015 ජනවාරී මාසයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලා ඉතා විශාල ප්‍රමාණයකින් පහත වැටුනි. ඒ බැරලය ඩොලර් 70 සිට ඩොලර් 46 දක්වාය. ඒ වන විට පත්ව සිටි නව රජය පෙට්‍රල් ලීටරය රුපියල් 150 සිට 117 ට අඩු කලේය

කොටින්ම කියනවා නම ලෝක වෙළඳපොලේ මිල 35% පමන අඩුවන විට රජය ජනතාවගේ තෙල් මිල අඩුකලේ 22% කින් පමනි.

පසුගිය රජය සමයේ ලෝක වෙලඳ පොලේ තෙල් මිල වත්මන් අගයට සමීපව පැවති සෑම අවස්ථාවකම පසුගිය රජය ජනතාවට තෙල් දුන්නේ වත්මන් රජයට වඩා අඩු මිලකටය.

උදාහරණයක් ලෙස අපි පෙට්‍රල් මිළ ගනිමු
  • 2004 ඔක්තොබර් තෙල් බැරලයක් $ 50 විට පෙට්‍රල් ලීටරය රුපියල් 70 
  • 2005 ජූනි තෙල් බැරලයක් $ 55 විට පෙට්‍රල් ලීටරය රුපියල් 80 
  • 2006 දෙසැම්බර් තෙල් බැරලයක් $ 65 විට පෙට්‍රල් ලීටරය රුපියල් 92 
  • 2009 දෙසැම්බර් තෙල් බැරලයක් $ 85 විට පෙට්‍රල් ලීටරය රුපියල් 115

එසේ නම් 2015 දෙසැම්බර් තෙල් බැරලයක් $ 46 වූ විට පෙට්‍රල් ලීටරය රුපියල් 70 ට අඩුවෙන් දිය යුතුව තිබුනි. නමුත් වත්මන් රජය රුපියල් 117 ක් පාරිභෝගිකයින්ගෙන් අය කලේය.

වර්ථ්මානයේ ලෝක වෙලඳපොලේ තෙල් මිලේ උච්ඡාවචනය $ 70-$ 80 අතර වේ. ඒ නිසා පසුගිය රජයේ පූර්වාදර්ශය අනුව ලංකාවේ පෙට්‍රල් ලීටරය රුපියල් 110 ට වඩා වැඩි විය නොහැක.

එසේ නම් පෙට්‍රල් ලීටරය රුපියල් 117 සිට 137 ට ඉහල දම්මේ ඇයි ?

"රුපියල බාල්දු වීමේ ප්‍රතිවිපාක දැන් ඔබට පෙනෙනවාද?" කියා ජනතාව අර මඩ වගුරක් සිට තප්පුලන අහවල් ආර්ථික ඔස්තාර් ගොය්යාගෙන් ඇසිය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ජාතියේ විජයග්‍රහණය උඩින් ඩෝසර් යයි...විජිතපුරයත් විනාශයි!

කතෘ:යුතුකම     5/10/2018   No comments
සිංහල ජාතියේ හදවත පණ ගැසුණේ මෙතැනදීය. ජාතියේ වීර කාව්‍ය සඳහා උච්ඡ ස්‌ථානය වන්නේ මෙයය. ආක්‍රමණික එළාර පරදා දුටුගැමුණු මහ රජතුමා ජයගත් ජය භූමිය මෙයය. තෙමේ මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේය. 'සම්බුද්ධ ශාසනයේ චිරස්‌චිතිය සඳහාම වන්නේය' යනුවෙන් ජාතියේ වීරයා, ද්වන්ද සටනක යෙදුණු ස්‌ථානය, ඩෝසර් දමා සුණු විසුණු කර දැමීමේ ශෝකජනක කතාව, වෙසක්‌ පුන් පොහෝ දිනකම ලිවීමට සිදුවීම ජාතියේ අවසනාවකට වඩා, මේ රට කරවන අයගේ ජාතිය කුමක්‌ද යන්න පහදා දෙනු ඇතිය.

අනුරාධපුර රාජධානිය යටත් කරගෙන වසර 44 ක්‌ තිස්‌සේ රජකම් කළ එළාර ආක්‍රමණිකයාට එරෙහිව දුටුගැමුණු රජතුමා විසින් කළ යුද්ධයේ වැදගත්ම අවස්‌ථාවක්‌ වූයේ විජිතපුර සටනයි. ක්‍රි.පූ. 161 වර්ෂයේ සිදුවූ මෙම සටන නොවන්නට සිංහල ජාතියක්‌ හෝ ලක්‌දිව තුළ බුද්ධාගමක්‌, ඉතුරු නොවන්නට ඉඩ තිබුණි.

එළාර, ක්‍රි.පූ. 205 දී ශ්‍රී ලංකාවේ එවකට රජකළ අසේල රජු පරදා අනුරාධපුරය අගනුවර කරගෙන එළාර නමින් රජ වී වසර 44 ක්‌ ලක්‌දිව පාලනය කළේය.

සිංහල හා බෞද්ධ රාජ්‍ය ස්‌ථාපිත කිරීමේ ඓතිහාසික අවශ්‍යතාවය මත, එළාර පරාජය කොට රට එක්‌සේසත් කිරීමේ වගකීම, කාවන්තිස්‌ස රජුගේ පුත් දුටුගැමුණු කුමාරයා සිය කර මත පටවා ගත්තේය. ලක්‌දිව වැඩිම ප්‍රදේශයක්‌ සිය බලයට නතු කර ගත්තද, අඩසිය වසකට ආසන්න කාලය මුළුල්ලේම කාවන්තිස්‌ස රජු විසින් පාලනය කළ රුහුණ තම ග්‍රහනයට යටත් කර ගැනීමට එළාරට නොහැකි විය.

එසේම කාවන්තිස්‌ස රජුගෙන් එළාරට අභියෝගයක්‌ද නොවීය. එහෙත් කාවන්තිස්‌ස රජුගේ අභාවයෙන් පසුව රුහුණේ රජ වන දුටුගැමුණු කුමාරයා සිය අත්නොහළ හැකි වගකීම බවට පවරා ගන්නේ, එළාරට අභියෝග කිරීමය. එම අභියෝගය ප්‍රකාරව දසමහා යෝධයන් හා දහස්‌ ගණනක සෙබළ මුළුවක්‌ සමඟ මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් රුහුණු මාගම් පුරයෙන් පිටත්ව එළාරගේ සුළු හා ප්‍රබලම බලකොටු විනාශ කරමින් හා එළාරගේ සේනාවල ඉහළ නායකයන් මරා දමමින් ද, ගම් නගර පුරා තම අණසක පතුරුවමින් ද, මහවැලි ගඟ පසුකර අනුරාධපුරය කරා ඇදෙන දුටුගැමුණු රජුට විශාලම අභියෝගයක්‌ එල්ල වූයේ විජිතපුර දීය.
ඉන් අවුරුදු 300 කට පමණ පෙර පඩුවස්‌දේව රජුගේ මස්‌සිනා හෙවත් භද්දකච්චායනා බිසවගේ සොහොයුරකු වන විජිත විසින්, විජිතග්‍රාමය හෙවත් මහාවංශයේ සඳහන් වන පරිදි විජිත නගර ගොඩනගන ලදී. මෙම ප්‍රදේශයේ පණ්‌ඩුකාභය රජුගේද යුධ සටන් පැවති බවට, ඉතිහාසය පෙන්වා දෙයි. ඉදිරි ප්‍රදේශයන්හි ඇතිවූ දරුණු සටන් වලින් පරාජයවූ එළාරගේ සේනාව ජීවිත ආරක්‌ෂාව සහ නැවතත් ශක්‌තිමත් වීමේ අරමුණින් විජිතපුරය කරා පසු බැස ආහ. බිඳවැටුණූ බලකොටු වල සිට, සිංහල සේනාවේ ප්‍රහාර දරාගත නොහැකිව හා ප්‍රතිප්‍රහාර දී ගත නොහැකිව පලා ආ එළාරගේ සෙනෙවියන් හා සෙබළුමෙන්ම අනෙකුත් ප්‍රබලම බලඇණි වලින් ද තරකොට, ඉදිරියට ඇදෙන දුටුගැමුණු රජුට තීරණාත්මක ප්‍රහාරයක්‌ එල්ල කිරීමට එළාර සැලසුම් කළේය. ආරක්‌ෂක උපක්‍රම හා උගුල් වලින් සමන්විත විජිතපුර බලකොටුව, එළාරගේ ශක්‌තිමත්ම බලකොටුවක්‌ විය. එය, දිය මඩ අගල්වලට අමතරව ප්‍රාකාර බිත්ති තුනකින් වටවී තිබී ඇති අතර, එම එක්‌ ප්‍රාකාර බිත්තියක උස රියන් 18 බැගින් විය. බලකොටුවේ උතුරු, දකුණු, නැඟෙනහිර සහ බස්‌නාහිර යන දිසා හතරෙහි යකඩ වලින් නිමවන ලද ශක්‌තිමත් ගේට්‌ටු හතරකි. බලකොටුව තුළ ආරෝහ සන්නාහයෙන් සැරසුණු යුද භටයන් දහස්‌ ගණනකි. රාජාවලියේ විස්‌තර ඇති පරිදි විජිතපුරය දෙවැනි වන්නේ අනුරාධපුරයට පමණි.

විජිතපුරය අල්ලා ගැනීම සඳහා, සිංහල හමුදාවට මාස 4 ක කාලයක්‌ ගතවූ අතර, මාස 4 ක්‌ ගතවීමෙන්ම, විජිත පුරය කෙතරම් ශක්‌තිමත් බලකොටුවක්‌ වී දැයි සිතා ගත හැකිය. මෙහිදී දසමහා යෝධයන් මෙන්ම දුටුගැමුණු රජුගේ කණ්‌ඩුල ඇතා ද සුවිශේෂී කාර්ය භාරයක්‌ ඉටු කරන ලදී. මේ සියලු දේ අවසානයේ දුටුගැමුණු රජතුමා යුද බෙර නාදය හා ධජ ඉහළට එසවීමෙන් අනතුරුව විජිතපුරයට අවසන් පහරදීම ආරම්භ කළේය. ඒ අනුව සිංහල සේනාව එකවරම නගරයේ ගේට්‌ටු හතරම අක්‍රමණය කළේය. ඔහු නන්දමිත්‍ර, සුරනිමල සහ කණ්‌ඩුල ඇතා සමඟ ප්‍රධාන පහරදීම දකුණු ගේට්‌ටුව දෙසට දියත් කරන අතරතුර භරණ, කච්චදේව, ඵුස්‌සදේව සහ ලාභියවසභ පෙරටුකරගත් සේනාව උතුරු සහ බටහිර ගේට්‌ටු දෙසට ප්‍රහාර දියත් කළේය. මහසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය සහ වේළුසුමන එක්‌ව නැඟෙනහිර ගේට්‌ටු වෙත පහරදුනි. වේළුසුමනගේ අශ්වාරෝහක සටන දැක සහ සේනාව නැඟෙනහිර ගේට්‌ටුව දෙසට දියත් කළ මෙහෙයුමෙන් ගේට්‌ටුවේ ආරක්‌ෂකයෝ බියවී ගේට්‌ටුව අත්හැර පලා ගියෝය.


එළාරගේ සේනාව පවුරේ උඩ සිට පවුරු බිත්තිය බිඳීමට දරණ සෑම ප්‍රයත්නයකදීම උණු කරන ලද යකඩ හා තෙල් පහළ සිටින සේනාව වෙත විසිකරන අතරතුර ඔහුගේ දුනු හේවායින් පවුරේ සිට ඊතල විඳිමින් ඔවුන් දෙසට එන ආක්‍රමණය වැළැක්‌වීමට දැඩි ප්‍රයත්නයක්‌ දැරුවෝය. දකුණු ගේට්‌ටුව බිඳ දැමීමට කණ්‌ඩුල ඇතා ප්‍රයත්න දරන අතරතුර එවන් ප්‍රහාරයකට ඇතා ලක්‌වීමෙන්, දැඩි ලෙස තුවාල ලැබීය. එහෙත් වහා තුවාලවලට ප්‍රතිකාර කිරීමෙන් හා ඝන සමකින් ඇතාගේ සම ආවරණය කරමින් පසු දුටුගැමුණු රජතුමා නැවත පවුර බිඳ දමන ලෙස ඇතාට විදානය කළේය. ඇතා එය බිඳ දැමීමත් සමඟ නගරයට ඇතුළු වූ දුටුගැමුණුගේ හමුදාව විජිතපුර බලකොටුව අල්ලා ගත්තේය. දසමහා යෝධයන් ද පවුරු බිත්තිය තැන් කිහිපයකින් බිඳ දමා නගරයට අතුල්වී එළාරගේ හමුදාවට දැඩි ප්‍රහාරයක්‌ දියත් කළේය.

බලකොටුව තුළට වන් සිංහල හමුදාව සතුරන්ට එරෙහිව විනාශකාරී යුද්ධයක නිරත විය. කණ්‌ඩුල ඇතු රථ රෝදයක්‌ හොඬ වැලෙන් ගෙන සොලීන්ට පහර දුන්නේය. නන්දිමිත්‍ර ගැල් තට්‌ටුවක්‌ ගෙන සතුරන් තැළුවේය. ගෝඨයිම්බර පොල් ගසක්‌ ගලවා ගෙන එයින් පහර දෙන්නේය. මහාසෝණ සතුරන් තැලීමට තල් කඳක්‌ ගත්තේය. සුරනිමල අත දැවැන්ත කඩුවකි. ථේරපුත්තාභය අති මහත් වූ යකඩ පොල්ලකි. වේළුසුමන අසුපිට නැග සතුරන් ලෙත් ගැසුවේය. යක්‌ෂ ගෝත්‍රික අංගම් සටන්කරුවෝ සොලීන්ගේ බෙලි කපා දැමුවහ.

එළාරගේ විසි මහා යෝධයන්ගෙන් ඉතිරි වූ පිරිසත් සමඟ, දිවි ගලවා ගැනීමට හැකිවූ එළාරගේ සෙබළු, අනුරාධපුරය බලා දුවමින් පලා ගියහ. විජිතපුර නගරයේ බලය අල්ලා ගැනීම යනු සිංහල සේනාවට අනුරාධපුරය අල්ලා ගැනීම වේගවත් කිරීමකි. අවසානයේදී දුටුගැමුණු රජු යුද්ධයේ සිය කොටස නිම කරමින් එළාර පරදා ක්‍රි.පූ. 161 දී රට එක්‌සේසත් කළේය.

පසුගිය දිනක ඩෝසර් යොදමින් විනාශ කර දමන්නේ ජාතියේ මහා වංශ කතාවේ සඳහන් එම ජයග්‍රාහී භූමියය.

දුටුගැමුණු රජතුමන් එළාර බළකොටුව සුනු විසුණු කිරීමට පෙර එහි වටා තිබුණ ගල්වැටියේ ඔත්තු බැලූ ස්‌ථාන අද ද දක්‌නට ලැබේ. එම ස්‌ථාන උස්‌ගල සහ බැලුම්ගල නමින් හැඳින්වේ. විජිතපුර බළකොටුව වටා තිබෙන පාහිවල දිගන්වල දඹුලු ඔය, නබඩවල දිය අගල් ලෙස යොදාගෙන ඇත. ධාතුසේන රජතුමා විසින් කලාවැව පසුව ඉදිකිරීමේදී විජිතපුර බළකොටුවේ විශාල භූමි ප්‍රමාණයක්‌ කලාවැවේ දියට යටවී ඇත.

එළාර දුටුගැමුණු යුගයෙන් අනතුරුව මහනාම ධාතුසේන රජතුමන් මහසෙන් යටතේ විවිධ වකවානුවල විජිතපුර කඳු වැටියේ සිට මානෑව කන්ද දක්‌වා ඉදිකළ වෙහෙර විහාරවල නටබුqන් අද ද අභිමානනීයව පවතී.

කලාවැව, විජිතපුර, උස්‌ගල, පූගොල්ලාගම, ගල්ළිඳයාය, නඛාවෙහෙර, සිට මානෑව කන්ද අසල ඇති අතිවිශාල පොකුණ දක්‌වා අනුරාධපුර යුගයට නෑකම් කියන මෙම ප්‍රදේශයේ තැනින් තැන මුරගල්, මල්ආසන, කොරවක්‌ගල්, ගල්දොරටු, ශ්‍රී පතුල් බහිරව රූප සඳකඩපහණ, විශාල ගල්කණු, කැසිකිළි ගල් ප්‍රදේශය පුරාවට පැතිර තිබේ.
 

පරණ යෝධ ඇළට සහ ජයගඟට මැදිව පූගොල්ලාගම පිහිටා ඇත. අලුත් පුලියන්කුලම, පූගොල්ලාගම එගොඩ, පූගොල්ලාගම මෙගොඩ ගල්ළිඳයාය, ප්‍රදේශයේ වනයට වැසී ඇති නටබුන් විශාල ප්‍රමාණයකි. ඇතැම් නටබුන් ස්‌ථාන අද ජනාවාසය.

පූගොල්ලාගම පිහිටි බැලුම්ගල අවට රජ සමයේ විහාරස්‌ථානයක නටබුqන් විශාල ප්‍රමාණයක්‌ වනගතව තිබේ. මේ සා විශාල ජාතික වශයෙන් වැදගත් වටිනා පුරාවස්‌තු ප්‍රදේශය පුරා පැතිර තිබුණත් ඒ පිළිබඳව ගවේෂණය කර සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි. බැලුම්ගල යට ගබඩාවක්‌ ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතර එම ගබඩාව විශාල ගලකින් වසා තිබීම නිසා එය විවෘත කළ නොහැක. බැලුගම්ගල අසල ඇති වෙහෙර ගරා වැටී කැලයෙන් වැසීගොස්‌ තිබේ. එහි නටබුqන් ස්‌ථාන කිහිපයක්‌ම නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති බව දක්‌නට ඇත. ගම්මාන ඉදිකරන මුවාවෙන් පූගොල්ලාගම බැලුම්ගල අවට පුරාවස්‌තු ඩෝසර් කිරීම හදකම්පා කරවන දසුනකි. මෙම ස්‌ථානයේ අක්‌කර තිහක්‌ පමණ ඩෝසර් කිරීම නිසා පුරා වස්‌තු විශාල ප්‍රමාණයක්‌ ගැලවී තල්ලුකිරීම නිසා පස්‌වලට යට කර ඇත. නිධන් වස්‌තු සෙවීමේ අරමුණෙන්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද මෙය සිදු කර තිබේ.

ඉපලෝගම රණවිරු ගම්මානය ඉදිකිරීමේදී මෙවැනිම ඉරණමක්‌ අත්විය. එදා එහි කළ විනාශය පස්‌යට වළලා ඇති අතර තිබුණ නිධන් වස්‌තුවලට සිදුවූ දෙයක්‌ නැති බව ප්‍රදේශයේ ජනතාව අදටත් කතා කරති.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කරුණාරත්න බණ්‌ඩාර මහතා - ගම් උදාව වැඩසටහන යටතේ මෙම ස්‌ථානයේ ඉඩම් දෙන්න ඉල්ලුම්පත් කැඳවා තිබෙනවා. ගමක්‌ හදන්න බැලුම්ගලම තෝරා ගත්තේ නිධන් ලබා ගැනීමේ උපායක්‌ ලෙසයි. බැලුම්ගල පැත්තේ හේන් කොටපු ගමේ අයට නඩු දැම්මා හිරේ දැම්මා දැන් ඩෝසර් දාලා වටිනා කැලෑව කපලා පරිසර විනාශ කරලා පුරාවස්‌තු ගලවා දැමීම බලධාරීන්ට නොපෙනීම පුදුම දෙයක්‌ නේද......?"

රංජිත් තිලකසිරි මහතා - මේ ඩෝසර් කරලා තිබෙන්නේ ජාතියේ උරුමයන්. මම එදා ගමේ හිටියේ නැහැ. මම හිටියානම් ඩෝසරයට පැනලා මේ විනාශය නවත්වනවා. අපේ මී මුත්තෝ හදපු මේ පුරා වස්‌තු අපි රකින්න ඕනේ. මේ දක්‌වා ගමේ කෙනෙක්‌ ගලක්‌ ගැලෙව්වේ නැහැ. නමුත් ආණ්‌ඩුවේ බලධාරින්ට ඕනේ විදිහට පුරාවස්‌තු විනාශ කරනවා......"

නිමල් මහින්ද මහතා - මිනිස්‌සු පදිංචි කරන්න ගම්මාන හැදිය යුතුයි. ඒත් වටිනා පුරා වස්‌තු විනාශ නොකර. බැලුම්ගල අපිට පන්සලක්‌ හදලා දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

බැලුම්ගල අවට තිබුණ මල් ආසන සඳකඩ පහණ දැවැන්ත ගල් කණු දැතින් ඉවත් කිරීමට නොහැකි නිසා ගම්මාන හැදීමේ මුවාවෙන් ඩෝසර් යොදා මේ විනාශ කර ඇත්තේ ජාතික උරුමයන්ය. මේ විනාශයන් පිළිබඳව කතා කරන්නට කෙනෙක්‌ නැත. රටේ උරුමය හිමි ජාතිය වෙනුවෙන් වචනයක්‌ හෝ කතා කළහොත් ළගින්න වෙන්නේ හිරේ විලංගුවේය. ඒ වෙනුවෙන් ඕනෑ තරම් මාංචු කුට්‌ටම්, වෙඩි උණ්‌ඩ සූදානම්ය. මේ ඉරණම, අන් ජනවර්ගයක හෝ ආගමික ස්‌ථානයකට වූවා නම් පාලකයෝ එක පොරයට එහි දුවති. ඒවා යළි තිබුණු ලෙස සකසන්නට නිසැක ලෙසම උපදෙස්‌ දෙනු ඇති. ඒ උනන්දුව ඇති පාලකයන් පිරිසක්‌ දැනට ජාතියට නැත. ජාතියේ මේ ජයග්‍රාහී බිමට හෙට දවසේ කුමක්‌ සිදුවන්නේ ද යන්න විමසිලිමත් නොවුවහොත්, විජිතපුර සටන ඉතුරු වනු ඇත්තේ චිත්‍රයක පමණය.

කැකිරාව සුදත් ඒකනායක  [Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions