6/04/2018

ප්‍රභාකරන්, අමනකම් වලට "ස්තුතියි"

කතෘ:යුතුකම     6/04/2018   No comments

ප්‍රභාකරන්, ඔබට ස්තුතියි

2018 වසරේ මැයි 18 වන දිනය උදාවන්නේ 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු වසර 9ක් සම්පූර්ණ කරමිනි. එම වසර 9 තුළ ශ්‍රී ලංකා රාජ්‍යය කටයුතු කළ ආකාරය හා එය ඉදිරිපිට ඇති තර්ජන හා අභියෝග සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගැනීම අවශ්‍ය වේ. නමුත් ඊට ප්‍රථම 2009 යුද ජයග්‍රහණය නැතහොත් දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ ව්‍යාපාරය පරාජය කිරීමේ කටයුත්තට අගනා සේවයක් කළ ප්‍රභාකරන්ගේ මෙහෙය නොසළකා හැරිය නොහැකිය. ශ්‍රී ලංකාවේ නායකයන් හා සාමාන්‍ය ජනතාව කෘර ලෙස ඝාතනය කරමින් රටෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි ප්‍රභාකරන් යන ත්‍රස්තවාදියාට ස්තුති කළ යුත්තේ කුමක් නිසා දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. 2009 මැයි 18 වන දින යුද ජයග්‍රහණය ලැබීමට මුල්වූයේ ආරක්ෂක අංශ සිදුකළ සාර්ථක යුද මෙහෙයුම් හා කැපකිරීම බව සැබෑය. නමුත් ඒ සමඟ එම අඩියට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය නැතහොත් දෙමළ බෙදුම්වාදීන්ගේ වචන වලින් කිවහොත් දෙමළ නිදහස් අරගලය පහතට ඇද දැමීමට ප්‍රභාකරන් සිදුකළ මෙහෙය අප අවබෝධ කරගත යුතුය. ඊට ප්‍රධාන හේතුව මෙම සාධක අවබෝධ කරනොගත හොත් අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් අසරණ තත්ත්වයට පත්විය හැකි නිසාය.

කොටි සංවිධානය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට එළඹෙන්නේ 1972 වසරේ දීය. ඒ වන විට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ නියැළෙමින් ශ්‍රී ලංකාවෙන් වෙනම ඊළමක් ලබා ගැනීමේ සටනේ නියුතුව සිටියේ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පමණක් නොවේ, දෙමළ සටන්කාමී සංවිධාන 30කට වැඩි සංඛ්‍යාවක් දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ නියුතුව සිටියහ. ඒ අතරින් වඩා ප්‍රසිද්ධියට පත්වූයේ TELO, EPRLF, PLOTE, EROS හා LTTE සංවිධානයි. 1982 වන විට මෙම සියළු සංවිධාන, ඉන්දීය ඔත්තු සේවා සංවිධානය වන රෝ සංවිධානය සමඟ සබඳතා ගොඩනගා ගෙන තිබුණි. එපමණක් නොව තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් සමඟ ද සබඳතා ඇති කරගෙන තිබුණි. ඒ ආකාරයට ඉන්දීය මධ්‍යම රජයට සමීප වීමට මෙම දෙමළ බෙදුම්වාදී සංවිධාන සමත්විය. 1983 වන විට තිබුණු තත්ත්වය එයයි. උතුරේ දෙමළ ප්‍රජාව අතරින් එල්ල වන දෙමළ බෙදුම්වාදී අභියෝගය සම්බන්ධයෙන් මුණිවත රැකගෙන සිට එම ගැටළුව උග්‍ර කළ සිරිමාවෝ බණ්ඩාරනායක රජය 1977 වසරේ දී බලයෙන් පහ කෙරෙන විට අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම ඊළමක් සඳහා වූ සටන ආරම්භ කර තිබුණි. 1976 වසරේ වඩුක්කෝඩෙයි යෝජනාව සම්මත කරගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, 1977 මහ මැතිවරණයෙන් ඉහළ ජයක් වාර්තා කළේ “වෙනම දමිළ රටක් දිනාගන්නවා” යන ඉල්ලීම ඉදිරිපත් කරමිනි. ඒ අනුව 1977 වන විට උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන බිහිවී තිබුණා පමණක් නොව දෙමළ දේශපාලන නායකයෝ ඉතා සෘජුව හා විවෘතව වෙනම රටක් සඳහා පෙනී සිටියහ. සාමාන්‍ය දෙමළ ප්‍රජාවගෙන්ද ඒ සඳහා උපරිම සහාය ලැබුණි. 1982 වන විට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව හා ඔවුන්ගේ සහයෝගය ලැබෙන දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ සන්නද්ධ සංවිධාන වෙනම ඊළමක් සඳහා කටයුතු කරමින් සිටියහ. ශ්‍රී ලංකාව බරපතළ බෙදුම්වාදී අභියෝගයකට මුහුණ දී සිටියේ එලෙසය.

නිදහසට පෙර සිටම ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව, දෙමළ සමූහයා තුළට එකතු කරගැනීමට දෙමළ දේශපාලන නායකයෝ තැත් දැරූහ. මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාවගේ මව් භාෂාව දෙමළ වන නිසා දෙමළ පාර්ශවයේම කොටසක් බවට මුස්ලිම් ප්‍රජාව පත් කිරීම ඔවුන්ගේ උපාය විය. කෙසේ වෙතත් මුස්ලිම් නායකයන්ගෙන් ඒ සඳහා සහයෝගය නොලැබිණි. ඔවුහු වෙනම වාර්ගික අනන්‍යතාවයක් සිය ආගම පදනමි කරගෙන ඇති කරගත්හ. සිය මැදපෙරදිග මූලයන්ට වැදගත්කම ලබා දෙමින් දෙමළ වෙනුවට මුවර් යන අනන්‍යතාවය ඔවුහු ඇති කරගත්හ. මෙය දෙමළ බෙදුම්වාදීන්ට හා ඔවුන්ට උපකාර කළ ඉන්දියානු රජයේ කොටස් වලටද ගැටළුවක් විය. කෙසේ වෙතත් ඇතැම් බෙදුම්වාදී සංවිධාන සිය දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට මුස්ලිම් ජනතාවද එකතු කරගැනීමට සමත් විය. ඒ අනුව EPRLF වැනි සංවිධානවල දමිළ මෙන්ම මුස්ලිම් සාමාජිකයන්ද සුළු වශයෙන් දැකිය හැකි විය. එමෙන්ම නැගෙනහිර පළාත දෙමළ බෙදුම්වාදී දේශපාලනයට නතු කරගැනීම සඳහා එහි වෙසෙන මුස්ලිම් ජනයාත් ඊට එකතු කරගැනීම දේශපාලනික වශයෙන් අවශ්‍ය විය. මේ සඳහා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම සන්නද්ධ සංවිධාන කටයුතු කරමින් සිටියහ. ඔවුන්ගේ උත්සාහයන් සඵල වූයේ නම් 1982 වන විට ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළ ගැටළුව තවත් තීව්‍ර වන්නට ඉඩ තිබුණි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව, දෙමළ බෙදුම්වාදයට සෑම විටම පක්ෂපාතී හිතමිතුරෙකු විය. 1982 වසරේ දී ඉන්දීය රෝ සංවිධානය දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන සමඟ සබඳතා ඇති කරගත්තා පමණක් නොව ඉන්දියාවේදී ඔවුන්ට ආයුද පුහුණුවද ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාර ශක්තිමත් ස්ථානයකට ගෙන ආවේ ඔවුන්ය. 1983 වසරේ ජූලි මාසයේ සිදුවූ අවාසනාවන්ත දෙමළ ජන ඝාතනයෙන් පසුව ඊට මුවා වී වඩා විවෘත ලෙස ඉන්දියානුවෝ දෙමළ සන්නද්ධ සංවිධාන වෙත උදව් උපකාර සිදුකරන්නට වූහ. එපමණක් නොව දෙමළ සංවිධාන වලට සහාය පළ කරමින් ශ්‍රී ලංකාව හා ඔවුන් අතර සාකච්ඡා ඇති කිරීමට හා බලපෑම් කිරීමට මැදහත්කරුවෙකු ලෙස ඉන්දියාව කටයුතු කළේය. අවසානයේ උතුරු හා නැගෙනහිර පළාත් එකතු කරමින් වෙනම පාලන ඒකකයක් කොට දෙමළ සන්නද්ධ සංවිධාන වෙත බලය ලබා දීමට ද ඉන්දියාව කටයුතු කළේය. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා රාජ්‍යය පැවතියේ අන්ත අසරණ තත්ත්වයකය. ශ්‍රී ලංකාවේ මුළු මහත් දෙමළ ප්‍රජාවම බෙදුම්වාදයට සහාය දෙන අතරේ දී මුස්ලිම් ජනතාවද ඊට ඇඳා ගනිමින් තිබුණි. එමෙන්ම කලාපයේ බලවතා වූ ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ගැටළුවට බෙදුම්වාදීන් වෙනුවෙන් අත දැමීය. නමුත් මෙම අහිතකර දේශපාලන තත්ත්වය වෙනස් වී පැවති තත්ත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට ඉඩ සැලසුණේ ප්‍රභාකරන් විසින් සිදුකරන ලද දේශපාලන මෝඩකම් හේතුවෙන්ය.

ප්‍රභාකරන් එකින් එක තම සංවිධානයේ හා දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ හිතමිතුරන් නැති කරගත්තේය. ඒ සඳහා ඇති ජනතා සහයෝගය නැති කරදැම්මේය.

1. වෙනත් දෙමළ සංවිධාන වල සාමාජිකයන් සමූල ඝාතනය

ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට ඒමට පෙර සිටම ප්‍රභාකරන් ආරම්භ කළ පියවර වූයේ වෙනත් දමිළ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයන් ඝාතනය කිරීමය. ප්‍රභාකරන් පැවසුවේ ඊළම එකම අරමුණ වන නිසා ඒ සඳහා සංවිධාන කිහිපයක් තිබීම අවශ්‍ය නොවන බවය. කොටි සංවිධානය පමණක් ඒ සඳහා පැවතිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. එම සංවිධාන වල සාමාජිකයන්ට ප්‍රභාකරන් ලබා දුන් නියෝගය වූයේ වහාම සංවිධාන අත්හැර කොටි සංවිධානයට බැඳෙන ලෙසය. නැතහොත් කොටි සංවිධානය ඔවුන් විනාශ කරනු ඇත. මෙම තත්ත්වය මත එකිනෙකා මරා ගන්නා තත්ත්වයට දෙමළ සන්නද්ධ සංවිධාන පත්විය. කොටි සංවිධානය විසින් ටෙලෝ, ඊපීආර්එල්එෆ්, ඊරෝස් යන සංවිධාන වල සාමාජිකයෝ සිය ගණනින් ඝාතනය කරනු ලැබූහ. ඝාතනයට ලක්වුණු ටෙලෝ සංවිධානයේ සාමාජිකයන්ගේ සිරුරු සිය ගණනින් යාපනයේ වීදි පුරා ප්‍රදර්ශනය කරනු ලැබීය. අවසානයේ සිදුවූයේ කොටි සංවිධානයට එරෙහි පිරිසක් දෙමළ ප්‍රජාව තුළම බිහි වීමය. මෙම පිරිසට සිය ජීවිත ආරක්ෂා කරගැනීමට ගත හැකිව තිබූ එකම පියවර වූයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂාව පැතීමය. ඔවුහු පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සමඟ කටයුතු කරමින් කොටි සංවිධානය විනාශ කරදැමීමට සහයෝගය ලබා දුන්හ. ප්‍රභාකරන් ම්ලේච්ඡ ලෙස ඔවුන් ඝාතනය කරවීමට කටයුතු නොකළේ නම් එම තත්ත්වය උදා නොවුනු ඇත.

එමෙන්ම කොටි සංවිධානය විසින් අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන විනාශ කරනු වෙනුවට එම සංවිධාන එකමුතුව ක්‍රියා කිරීමට පෙළඹුණි නම් ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත්වෙනු ඇත. එවිට ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රජය දේශපාලනික ලෙස තව දුරටත් බලවත් වීම වැළැක්විය නොහැකිය.

2. ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ යුද්ධයට එළඹීම හා රජීව් ගාන්ධි ඝාතනය

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට සිටින ස්වාභාවික මිතුරා ඉන්දියාවයි. ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තය සෑම විටම ශ්‍රී ලංකාවේ දමිළයන්ට පක්ෂව ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් සිදුකරනු ඇත. 1980 දශකයේ ඉන්දියානු මැදිහත්වීමට මුල් වූයේද එම තත්ත්වයයි. සිය ස්වාභාවික මිතුරා නැති කරගැනීමට ද අධි මානයෙන් ක්‍රියා කළ ප්‍රභාකරන් කටයුතු කළේය. ඉන්දියාව නිර්මාණය කළ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගොස් ඉන්දීය සාම සාධක හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. ඒ අනුව වසර දෙකක් තුළ ඉන්දියානු සාම සාධක හමුදා සාමාජිකයන් දහසකට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ප්‍රභාකරන් කටයුතු කළේය. යුද්ධය ආරම්භ වූ පසු ඉන්දියානු සාම සාධක හමුදාව හා සාමාන්‍ය දෙමළ ජනතාව අතර පෙර පැවති මිත්‍රශීලි බව තවදුරටත් පැවතියේ නැත. ඒ වෙනුවට ඉන්දියානුවන්ගේ ප්‍රහාර හා තාඩන පීඩන හමුවේ දෙමළ ජනතාව තුළ ඉන්දීය රජය හා හමුදාව කෙරෙහි ඇති වූයේ අවිශ්වාසය, බිය හා කෝපය මිශ්‍රිත හැඟීමකි. ප්‍රභාකරන් විසින් ඉන්දියානු හමුදාවට ප්‍රහාර එල්ල නොකළේ නම් එවන් තත්ත්වයක් ඇති නොවන්නේය. 1983 වසරේදී කොළඹ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උතුරු නැගෙනහිරට පලා ගිය දෙමළ වැසියන් නැවතත් කොළඹට පැමිණියේ තමාට ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ යටතේ ඊට වඩා ආරක්ෂිතව වාසය කළ හැකි යැයි අවබෝධ වූ නිසාය.

13 වන සංශෝධනය තමාට ප්‍රමාණවත් නොවේ යයි තර්ජනය කරමින් ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ යුද්ධයට පිවිසියා පමණක් නොව එය ගෙන ඒමට මුල් වූ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රාජීව් ගාන්ධි චෙන්නයිහිදී ඝාතනය කිරීමට ප්‍රභාකරන් කටයුතු කළේය. මෙම පියවරෙන් තමිල්නාඩුව ඇතුළු මුළු ඉන්දියාවේම කෝපය කොටි සංවිධානය වෙතට යොමු විය. වයිකෝ, නෙදුමාරන් ඇතුළු ප්‍රබල කොටි හිතවාදීන්ටද ඒ වන විට සිදුකළ හැකි කාර්යය සීමා සහිත විය. ප්‍රභාකරන්ගේ මෙම දේශපාලනික වශයෙන් අඥාණික නමුත් අහංකාර ක්‍රියාව හේතුවෙන් ලාංකික දෙමළ දේශපාලනය සතු ප්‍රබලම ස්වාභාවික මිතුරා නැති කරගත්තේය. මෙහි බලපෑම ඉතා හොඳින් පෙන්නුම් වන්නේ දැඩි කොටි හිතවාදියෙකු හා ශ්‍රී ලංකාවට හා සිංහල ප්‍රජාවට එරෙහිව දැඩි මතදාරියෙකු වූ තමිල්නාඩුවේ සුබ්‍රමනියම් ස්වාමි නැමැත්තා රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු දැඩි කොටි විරෝධියෙකු වීමෙනි.

රජීව් ගාන්ධි ඝාතනය එසේ සිදුනොවිණි නම් මේ වන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණි. යුද ජයග්‍රහණයක් ගැන අපට කතා කිරීමට අවකාශය නැති වන්නට ඉඩ තිබුණි.

3. මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාර එල්ල කිරීම හා මුස්ලිම් ජනතාව උතුරින් පලවා හැරීම

දශක ගණනාවක් පුරා මුස්ලිම් ජනතාව, සිය දෙමළ සමූහය තුළට අවශෝෂණය කරගැනීමට දෙමළ දේශපාලන නායකයන් දැරූ ප්‍රයත්නයන් නිශ්ක්‍රීය කරමින් උතුරු නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව වෙතද ප්‍රභාකරන් සිය ප්‍රචණ්ඩත්වය මුදා හැරියේය. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට තාඩන පීඩන සිදුකළේය. 1990 වසරේ දී යාපනයේ වාසය කළ දහස් ගණනක් වූ සමස්ථ මුස්ලිම් ප්‍රජාවම පැය 24ක් තුළ ප්‍රභාකරන් බලහත්කාරයෙන් පිටත් කළේය. ඔවුන් විසින් ජීවිත කාලය පුරා හරි හම්බ කළ දේපලද අත්හැර ප්‍රභාකරන්ගේ ඊළමින් මුස්ලිම් ජනතාව පිටවිය යුතුව තිබුණි. අවසානයේ පුත්තලමට ගොස් උපන් රටේම අවතැන් වූවන් ලෙස ජීවත් වීමට උතුරේ මුස්ලිම් ප්‍රජාවට සිදුවුණි. එයින් නොනැවතුණු ප්‍රභාකරන් සිය සැබෑ ස්වරූපය පෙන්වමින් නැගෙනහිර පළාතේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර එහි සිටි සිය ගණනක් වූ මුස්ලිම් බැතිමතුන් ඝාතනය කළේය. මේ හේතුවෙන් වෙනම ඊළමක් ලබාගැනීමේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට අත්‍යවශ්‍ය සාධකයක් වූ මුස්ලිම් සහයෝගය ප්‍රභාකරන් නැති කරගත්තේය.

4. දෙමළ ළමුන් බලහත්කාරයෙන් බඳවා ගැනීම

දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට 70 දශකයේ සිටම සාමාන්‍ය දෙමළ ජනතාවගේ සහයෝගය ලැබුණි. එම තත්ත්වය 80 දශකය වන විට වර්ධනය වූ අතර 1983 ජූලි කලබල හේතුවෙන් තවත් උග්‍ර විය. 83 කලබල හේතුවෙන් කොළඹින් යාපනයට පිටත් කරනු ලැබූ තරුණ දෙමළ කොටස් නැවතුනේ දෙමළ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයන් බවට පත්වෙමිණි. මුල් කාලයේ දී සියයකටත් අඩු සාමාජිකයන් සංඛ්‍යාවක් සිටි සන්නද්ධ සංවිධාන 83න් පසුව දහස් ගණන් සාමාජිකයන් සිටින සංවිධාන බවට පත්විය. නමුත් 80 දශකය අවසාන වන විට තත්ත්වය වෙනස් විය. සිය සංවිධානයට බැඳෙන සාමාජිකයන් සංඛ්‍යාව අඩුවන විට ප්‍රභාකරන් සිදුකළේ බලහත්කාරයෙන් කුඩා දරුවන් පැහැරගෙන සිය සංවිධානයට යොදා ගැනීමය. සිය දරුවන් පැහැරගෙන යාමට කොටි සාමාජිකයන් කටයුතු කළ බැවින් සාමාන්‍ය දෙමළ ජනතාව තුළ කොටි සංවිධානය කෙරෙහි මුලින් තිබූ ගෞරවය හා පක්ෂපාතීත්වය සෙමින් නැතිවන්නට පටන් ගත්තේය. පසුකාලීනව රජයේ හමුදාවන්හි දිගු දුර මෙහෙයුම් සඳහා සහයෝගය ලබාදීමට පවා දෙමළ ජනතාව පෙළඹුනේ මෙම කෝපය හේතුවෙනි.

එමෙන්ම කුඩා දරුවන් පැහැරගෙන ළමා සොල්දාදුවන් ලෙස යොදාගන්නා බවට චෝදනා එල්ලවීමත් සමඟ කොටි සංවිධානයට විරුද්ධව ජාත්‍යන්තර මතවාදයක් ඇති වීමටද එය ඉවහල් විය. විශේෂයෙන්ම නිදහස් අරගලයක් සිදුකරන ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයා ලෙස තමාව හඳුන්වා ගැනීමට කොටි සංවිධානය උත්සාහ කළද ළමා සොල්දාදු ගැටළුව හේතුවෙන් එම උත්සාහයට වැට බැඳිණි. විශේෂයෙන් කොටි සංවිධානයට එරෙහිව ජාත්‍යන්තරයේ සටන් කළ හිටපු විදේශ අමාත්‍ය කදිරගාමර් මහතා කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා හා ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන ලෝකයටම හෙළි කළේය.

5. හමුදාමය ඉලක්ක වෙනුවට සාමාන්‍ය ජනතාව ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර දිගටම කරගෙන යාම

සන්නද්ධ සංවිධාන යම් දේශපාලන ඉලක්කයක් සාක්ෂාත් කරගැනීමට සන්නද්ධ අරගලයක් සිදුකරන විට රජයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ සිදුකළ පමණික් සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලෝකයේ හංවඩු ගැසෙන්නේ නැත. නමුත් කොටි සංවිධානය හමුදා ඉලක්ක වලට පමණක් සීමා නොවීය. රට පුරා සිංහල මුස්ලිම් භේදයකින් තොරව සිවිල් වැසියන් ඝාතනය කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. සිවිල් වැසියන් ඉලක්ක කරමින් රටපුරා බෝම්බ පිපිරවීම, මායිම් ගම්මාන වලට පැන සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් කොටි සංවිධානය හුදු බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයක් නොව දරුණු අමානුෂික ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බෞතීස්ම වුණි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දකුණේ සිංහල ජනතාව අධිෂ්ඨානශීලී වූයේද මෙම දරුණු ත්‍රස්තවාදය හේතුවෙනි. දකුණේ සාමාන්‍ය ජනතාව ඉලක්ක නොකර හමුදා ඉලක්ක වෙත පමණක් සීමා වූයේ නම් කොටි සංවිධානයට වඩා ඉහළ සහයෝගයක් හා පිළිගැනීමක් ජාත්‍යන්තරය තුළ හා ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකිව තිබුණි. දැඩි අමානුෂික හා කෘර බව හේතුවෙන් කොටි සංවිධානය තමන්ගේ ආයුද බලයෙන් ගොඩනගා ගත් දේශපාලන බලය නැති කරගත්තේය.

නමුත් කොටි සංවිධානය එක් අතකින් ඉතා වාසනාවන්ත සංවිධානයක් විය. ඔවුන්ගේ මෝඩ කම් හේතුවෙන් ඉන්දියානු සහයෝගය නැති කරගත්තද කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින තවත් විදේශීය බලවේගයක් ඇති කරගත්තේය. ඒ නෝර්වේ රාජ්‍යයයි. නෝර්වේ රාජ්‍යය 1998 දී ශ්‍රී ලංකාව හා කොටි සංවිධානය අතර සාම ක්‍රියාදාමයට පහසුකම් සැලසීමේ කාර්යභාරය ආරම්භ කළේ එකම අරමුණක් ඇතිවය. එනම් කොටි සංවිධානයට හිතකර ජාත්‍යන්තර මතවාදයක් ඇති කර ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීම හා අනුකම්පාව ලබා දීමටය. නමුත් එම උත්සාහයද නැවතත් බිඳ වැටුණේ ප්‍රභාකරන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩු නිසාය. නෝර්වේජියානුවන්ගේ උපදෙස් වලට පිටින් ගොස් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළේය. එතැනින් නොනැවතී නෝර්වේ සාම ක්‍රියාදාමය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළු දේ කිරීමට සූදානමින් සිටි රනිල් වික්‍රමසිංහ පරාජය වන සේ 2005 ජනාධිපතිවරණය වර්ජනය කළේය. ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණය උදෙසා ප්‍රභාකරන්ගේ මෙම දේශපාලන අනුවණකම් ද බොහෝ සේ දායක විය. එම අනුවණකම් හඳුනාගැනීමෙන් හා ඉන් සිදුවුණු බලපෑම තේරුම් ගැනීමට තැත් දැරීමෙන් යුද ජයග්‍රහණයේ වටිනාකම හා රජයේ හමුදාවන්ගේ කැපවීමේ වටිනාකම මඳකුදු අඩු නොවේ. නමුත් යුද ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් වශයෙන් ඉදිරියේදී ස්ථාපිත කරගැනීමට මෙම කාරණා හඳුනාගැනීම අත්‍යාවශ්‍යය.

සටහන
අයි.ජයතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions